- නිශාන්ත කමලදාස
මිනිස්සු පොත පතින් ද ගුරුවරුන්ගෙන් ද සමාජයෙන් ද බොහෝ උගනිති. ඒ අසා දැන ගෙන ය. දැක බලා ගෙන ය. ඔවුන් ඉගෙන ගන්නා දෙවැනි ක්‍රමයක් ද ඇත. ඒ යමක් කිරීමෙනි. පළමු දැනුමෙන් වැරදි නොකර ඉන්නට පෙළඹවීමක් ලැබෙන අතර දෙවැන්නෙන් වැරදි කර ඒ තුළින් ඉගෙනීමට ඉඩ හසර ලැබේ. මේ දෙආකාරය ම කෙනෙකුට ප්‍රයෝජනවත් ය. පළමු ක්‍රමය දැනුම ලබා ගැනීමට ප්‍රමුඛත්වය දෙන අතර දෙවැන්න කුසලතා ප්‍රගුණ කිරීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වයි. එහෙත් ක්‍රම දෙකින් ම දැනුම මෙන් ම කුසලතා ඔප් නංවා ගැනීමට මග විවර වේ.
සැලසුම් කරණයේ දී අප ප්‍රයෝජනයට ගන්නේ මේ දෙආකාරයෙන් ම අතීතයේ අප ලබා ගත් දැනුම ය, කුසලතා ය. එහෙත් මේ දැනුම හා කුසලතා සර්ව සම්පූර්ණ නැත. ඒ නිසා ම අපේ සැලසුම ක්‍රියාත්මක කිරීමේ දී අප අපේක්ෂා කළ ප්‍රතිඵල ම ලබා දෙන්නේ නැත. එහෙත් එය අපට ඉගෙන ගන්නට අවස්ථාවක් ලබා දෙන්නේ ය. එයින් මිදීම සඳහා සියල්ල දැන ගෙන සියලු කුසලතා සම්පූර්ණ කර ගෙන ඉතා ම නිවැරදි සැලසුම හදන්නට අප උත්සහ කළොත් කව දා වත් වැඩක් නම් පටන් ගන්නට ලැබෙන්නේ නැත. එහෙත් අප වැඩ ආරම්භ කළ යුතු ය. ඒ වැඩ කිරීම තුළ ද අපට ඉගෙනීමට අවස්ථා උදා වන නිසා ය. ඒ ඉගෙනීම් මත පදනම් කර ගෙන සැලසුම නැවත විමසිය හැකි නිසා ය. යාවත්කාලීන කළ හැකි නිසා ය.
වැඩ කර ගෙන යන විට අප කලින් නොසිතූ අකරතැබ්බයන්ට මුහුණ දීමට සිදු විය හැකි ය. අපට සිතන්නට අමතක වූ කාරණයක් මතු වී අපට අභියෝග කිරීමට ද ඒ තුළ ඉඩ තිබේ. ඒ අවදානම් සහිත ඍණ පැත්ත ය. එහෙත් ඊට සමාන ව අප නොසිතූ ධන පැත්තක් ද මතු විය හැකි ය. ඒ අප නොසිතූ පාර්ශව වලින් ලැබෙන අනේක විද උදව් ය. මිනිසුන් වාසනාව යයි කියන්නේ මේ අනපේක්ෂිත ලාබයන්ට ය. අප ක්‍රියාත්මක නොවූයේ නම් මේ ලාබ ලැබෙන්නේ නැත. ඒ නිසා ද සියල්ල සූදානම් නැතැයි සිතමින් වැඩක් කල් දැමීම මෝඩ කමක් වන්නේ ය. මේ අත්දැකීම් සියල්ල නව ඉගෙනුම් ය. ඒවා අපේ දැනුමට එක් කර ගත යුතු ය. වැරදීම් පමණක් නොව ලැබූ අමතර ලාබ ද ඒ සඳහා ඉවහල් කර ගත යුතු ය.
ඒ නිසා ඉගෙනීම වැඩ කිරීමෙන් ස්වායත්ත දෙයක් ලෙස නොව ඒ හා බැඳුණු දෙයක් ලෙස අප තේරුම් ගත යුතු ය. අප ලබා ඇති දැනුම සැලසුම් කිරීමටත්, සැලසුම වැඩ කිරීමටත්, වැඩ ප්‍රතිඵල වලටත්, ප්‍රතිඵල විමසුමෙන් ලබන දැනුම අපේ දැනුම් භාණ්ඩාගාරයටත් වශයෙන් මේ චක්‍රය කැරකෙන බව අප විසින් මතක තබා ගත යුතු ය. ඊළඟ කටයුතු වල දී අපට දැන් නව දැනුමෙන් පෝෂණය වුන මනසකින් වඩාත් නිවැරදි සැලසුම් ඇති කර ගැනීමටත් පෙර පරිදි ඒ චක්‍රය නැවත නැවතත් කර කැවීමටත් අවකාශ ලැබෙන්නේ ය. ක්‍රියාකාරිත්වය තුළ නව කුසලතා ද ඇති කර ගැනීමට හැකි වන්නේ ය. ඊට අමතර ව අපේ ආකල්ප පවා ප්‍රශ්න කිරීම් වලටත් ඒ හරහා නැවත හැඩ ගස්වා ගැනීමටත් ඉඩ ලැබෙන්නේ ය.
සියලු දැනුම තමන් සතු වන තුරු කල් යල් බලන අයට සැලසුම් කිසි දා සම්පූර්ණ කර ගැනීමට වත් ක්‍රියාත්මක කිරීමට වත් හැකි වන්නේ නැත. ඒ නිසා ම ඔවුන් අලුතෙන් ඉගෙන ගන්නා දෙයක් ද නැති තරම් ය.
සමහරු සැලසුම් කල් දමන්නේ දැනුම නැති නිසා නොවේ. සැලසුම් සකස් කිරීමට හෝ ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කුසලතා තමන් තුළ නැතැයි යන බිය නිසා ය. ඇත්තට ම නම් ඔවුන්ට ඇත්තේ කුසලතා වල ප්‍රශ්නයක් නොව ආකල්ප වල ප්‍රශ්නයකි. පිහිනිය හැකි සියලු ක්‍රම ශිල්ප හදාරා වතුරට බහින අය අඩු ය. වතුරට බැස දැඟලීමෙන් ඉගෙන ගන්නා ක්‍රම ශිල්ප ද කුසලතා ද වැඩි දුරටත් ක්‍රම ශිල්ප හදාරන්නට අවශ්‍ය පෙළඹවීම අපට සපයන්නේ ය. මේ කල් දැමීමේ උවමනාව ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක් යැයි කීවේ ඒ දැනුම අප මග හරින නිසා ය.
මේ මග හැරීම පිටුපස අසාර්ථක වෙතැයි යන බය ද එසේ සිදු වුව හොත් අපහසුතාවට පත් වෙතැයි යන ලැජ්ජාව ද තිබේ. බොහෝ දෙනෙකු තව තවත් දැනුම සොයන්නේ තමන් සතු කුසලතා ගැන සැක උපදවා ගන්නේ අභියෝගවලට මුහුණ දීම කල් දමා ගනු පිණිස ය. ඔබ එවන් කෙනෙකු නම් මේ සටහන ඔබේ උදව්වට නොඑනු ඇත. තවත් අයකු මෙසේ කරන්නේ අලස කම නිසා ය. එවන් කෙනෙකුට ද මෙයින් පිහිටක් ලැබිය නොහැකි ය. අනවශ්‍ය බය හා ලැජ්ජාව ද අලස කම ද යන මේ සියල්ල පිටු දැකිය යුතු ආකල්ප ය, දුර්ගුණ ය.
මේ අයට ඇතැම් විට කාගේ හෝ තල්ලුවක් අවශ්‍ය විය හැකි ය. “ඔබට කළ හැකිය” යන විශ්වාසයක් කිසිවකු විසින් ඔවුනට ලබා දීමෙන් ඔවුන් ගොඩ ගත හැකි ය. පිහිනීමට පෙරුම් පුරමින් ඉන්නා එහෙත් වතුර තිබෙන හතර මායිමට නොයන්නා කෙනෙකුට වතුරට බැසීමට ඇතැම් විට බාහිර දිරියක් අවශ්‍ය විය හැකි ය. ඔහු සමග එතැනට සේන්දු වීමට හා දිරි දීමට කෙනෙකු අවශ්‍ය විය හැකි ය.
තවත් සමහර විට මේ මග හැරීම පිටුපස ඇත්තේ තමන් වටා ඉන්නා හිතවතුන් විසින් ඔලුවට දමන ලද අනතුරු ඇඟවීම් විය හැකි ය. සමහරු හිතවත් කමට ද සමහරු හිතවත් කමේ නාමයෙන් ක්‍රියාවෙන් වැළැක්වීමට ද මේ අනතුරු ඇඟවීම් කරති. දැනටමත් බියෙන් ඉන්නා කෙනෙකුට අලස ව ඉන්නා කෙනෙකුට මේ අනතුරු ඇඟවීම් මී පැණි සේ රසවත් ය. ගිලෙන්නට යන මිනිසාට පිදුරු ගහක් මෙන් මේවා ද එල්ලෙන්නට කල්පනා වෙන වැල් ය.
මෙසේ කෙනෙකු අකර්මණ්‍ය කිරීමට බලවේග රාශියක් තිබෙන නමුත් දිරි දීමට ඇත්තේ සුළු පිරිසකි. අවදානම් ගැනීමට අකමැති ශ්‍රී ලංකාව වැනි රටවල මේ තත්වය උග්‍ර ය. ඒ නිසා ම මේ ගැන අවධානයෙන් සිටිමින් මේ සතුරා පරාජය කළ යුතු ය. එයින් අදහස් කරන්නේ විමසීමකින් තොර ව අවදානම් ගත යුතු බව නොවේ. අනතුරු පිළිබඳ ගණනය කරමින් වැටහීමක් ඇති ව අවදානම් ගත යුතු බව ය.