අතරමැදියාගේ සූරා කෑම – ඇත්තක් ද? හිතලුවක් ද?


See the source image

බැණුම් අහන තරමක් බැණුම් අහන්නේ අතරමැදියන් ය. කවුද මේ අතරමැදියන්. ඒ නිෂ්පාදකයාගේ නිෂ්පාදන / ගොවීන්ගේ අස්වැන්න පාරිභෝගිකයා අතට පත් කරන දාමයේ ඉන්නා මිනිසුන් ය. සංවිධාන ය. නිෂ්පාදන එකතු කරන්නන්, ඒවා ප්‍රවාහනය කරන්නන්, තොග වෙළඳුන්, සිල්ලර වෙළඳුන් යනුවෙන් මේ දාමයේ බොහෝ දෙනෙකු ඇත. සහල් වගේ දෙයක් සම්බන්ධයෙන් නම් ඊට හාල් මෝල් ද පැකට් කරන්නන් ද වශයෙන් තවත් අය එක් වෙති. මත්ස්‍ය නිෂ්පාදන වැනි තවත් නිෂ්පාදන සම්බන්ධයෙන් නම් ඒවාට කල් තබා ගැනීමේ මධ්‍යස්ථාන ද එක් වන්නේ ය.

මේ හැම එක ගොඩට දමා ඔවුන්ට එරෙහිව එල්ල කරනු ලබන චෝදනාව එක ය. ගොවියන්ගෙන් හා නිෂ්පාදකයන්ගෙන් ගන්නේ ගන්නේ කුණු කොල්ලයට ය. අපට විකුණන්නේ ගිනි ගණන් වලට ය.

බැලූ බැල්මට චෝදනාව සාධාරණ ය. ඇත්ත ය.

එහෙත් හොඳින් පිරික්සා බලන විට එය එසේ ම නොවන බව පෙනී යන්නේ ය. මේ මිල පරතරයට හේතු බොහෝ ය. පළමු ව, මේ නිෂ්පාදන බොහෝමයක් මග දී විනාශයට පත් වන්නේ ය. විකුණා ගත නොහැකි තත්වයට පත් වන්නේ ය. කල් ඉකුත් ව යන්නේ ය. ඒ සඳහා වැය වී ඇති පිරිවැය ද ඉතිරි නිෂ්පාදන විකිණීමෙන් ආවරණය කර ගත යුතු ය. දෙවැන්න ප්‍රවාහනයට පිරිවැයක් ඇත. එය ඩීසල් පෙට්‍රල් සඳහා පමණක් නොවේ. වාහන සඳහා යන මූලික වියදම ද ලීසිං මිල ද නඩත්තු වියදම ද සේවක පඩිනඩි ද බලපත්‍ර ගාස්තු ද ඇතුළත් ය. තොග ද සිල්ලර ද ගබඩා කොට තබා ගත යුතු ය. ඒ ස්ථාන සඳහා එක්කෝ කුලී ගෙවිය යුතු ය. නැත්නම් ආයෝජනය කළ යුතු ය. බදු ගෙවිය යුතු ය. විකුණා මුදල් නැවත ලැබෙන තුරු මුදල් ආයෝජනය කළ යුතු ය. ඒවාට පොලී ගෙවිය යුතු ය. මේ ව්‍යාපාරික කටයුත්ත ඉගෙන ගත යුත්තේ ද අලාභ පාඩු විඳ අත්දැකීම් හරහා ය. ඒවා ද අවසාන විශ්ලේෂණයේ ආවරණය කර ගත යුතු ය. නිෂ්පාදකයාට ගෙවූ මිලට වඩා අඩු මිලකට විකිණීමට සිදු වන අවස්ථා ද නැත්තේ නැත. එහෙම වෙලාවක ඒ අලාභය ද වෙනත් දිනයක දී හෝ ආවරණය කර ගත යුතු ය.

අතරමැදියන් ඔය කියන තරම් විශාල ලාභයක් ගන්නවා නම් අපටත් ඔය වෙළඳාමට බැසිය හැකි ය. සුපිරි ලාභයක් ඇති ඔ්නෑ ම දෙයකට ආයෝජනය ගලා යන්නේ ඉබේට වගේ ය. එසේ නොවන්නේ ඔය කියන තරම් ලාභයක් ඔයින් නොලැබෙන නිසා ය. ඒ ලබන ලාභය සඳහා කට්ටක් කන්නට සිදු වන නිසා ය. ඒ ආයෝජනයේ අවදානමක් තිබෙන නිසා ය.

අතරමැදියන් කරන්නේ සේවයකි.

නිෂ්පාදකයාට බෙදාහරින්නට බැරි ය. ඒ නිෂ්පාදනය ඇණ හිටින නිසා ය. පාරිභෝගිකයාට නිෂ්පාදකයා ළඟට යෑමට වෙලාවක් නැත. ඒ ආදායම් උපදවන රැකියාවල නියුතු නිසා ය. අතරමැදියා ඉවත් කරන්නට ගොස් කෙළවෙන්නේ ඒ රස්සාවට ය. නැතිනම් විවේකයට ය. ඒ කියන්නේ කුටුම්භ දිවියට ය.

අතරමැදියා යනු පාලමකි. පාලමක අගය දන්නේ ඒවා නැති මිනිසුන් ය. ඒවා කැඩි බිඳි ගිය විටය. ඒ බව මනාව පැහැදිලි වූයේ කෝවිඩ් වසංගතයට ලොක් ඩවුන් වූ විට ය. නිෂ්පාදන නාස්ති වී ගිය අතර නාගරික ජනයා ඒවා මිල දී ගත නොහැකි ව හීල්ලූහ.

අපගේ ජීවිත පහසු කරනු සඳහා තවදුරටත් අපි අතරමැදියන් සොයා යමින් සිටිමු. ඌබර් පික්මී ඒ සඳහා මෑතක උදාහරණ ය.  

අතරමැදියන්ගේ ඒකාධිකාරයක් ඇති තැනක ඔවුන් සුපිරි ලාභ ලබන බව ඇත්ත ය. අප කළ යුත්තේ එවැනි ඒකාධිකාරයන් ඇති වීම අවම කිරීම විනා අතරමැදියන් ඉවත් කිරීම නොවේ.

අන්තර්ජාලය හා තොරතුරු තාක්ෂණය අනවශ්‍ය අතරමැදියන් ඉවත් කරමින් අවශ්‍ය අතරමැදියන් නිර්මාණය කරමින් සිටින්‌නේ ය. ඒ තුළ වුව ද ඒකාධිකාරයන් බිහි වීමේ අනතුරක් ඇති නමුත් ඒ සඳහා සංවේදී වීමෙන් අපට වඩා යහපත් වෙළඳ පරිසරයක් ගොඩ නගා ගත හැකි ය.