අලුත්ගම බේරුවල ගැටුමේ – පරාවළල්ලක් වූ තොරතුරු


යුද්ධයක දී ගැටුමක දී මුලින්ම අනතුරට ලක් වන්නේ සත්‍යය (තොරතුරු) යයි කියමනක් තිබේ. අලුත්ගම බේරුවල ගැටුමේදී එහි සත්‍යතාවය මොනවට පැහැදිලි විය. මිනිසුන් හා දේපලවලට කරන හානියට වඩා තොරතුරුවලට සිදුවන හානිය නිසා ඇති වන අතුරු විපාක අති මහත් ය. එය නැවත නැවතත් පරාවළල්ලක් ලෙස කැරකී අවුත් මිනිසුන්ට හා දේපලවලට හානි සිදු කරන නිසා ය.

තොරතුරු ගලා යාම පාලනය කිරීම ගැටුමක් වැඩි දියුණු නොවී සමතයකට පත් කිරීමේ එක් ක්‍රමයක් ලෙසට සමාජය තුළ පිළිගැනීමට ලක්ව තිබේ. අලුත්ගම බේරුවල සිද්ධියේදී රජයේ මැදිහත්වීම මත මාධ්‍ය ඒ ගැන තොරතුරු පළකිරීමෙන් වැළකී සිටියේ ඒ අනුව විය යුතු ය. එහෙත් තොරතුරු ගලා යෑම නැවතුනේ නැත. ඇති වූ හිස්තැන පිරවනු ලැබුයේ ඕපා දූප කටකතා හා උවමනාවෙන් පළ කරන ලද ද්වේශ සහගත බොරු මගිනි.

තීරණ ගැනීමේදී මිනිසුන් පදනම් වන්නේ තොරතුරු මත ය. ඒ නිසා ම තොරතුරු පිළිබඳ පිපාසාවක් මිනිසුන් තුළ තිබේ. විශේෂයෙන්ම වසන් කරන්නට තතනන විට ඒ ගැන උනන්දුව කීප ගුණයකින් වැඩි වේ.

තොරතුරු නැති තැන කටකතා නැතත් අතීතය අනුසාරයෙන් උපකල්පනයන්ට එළඹෙන්නට මිනිස්සු කටයුතු කරති. මේ උපකල්පන අනුමානයන් පමණකි. ඒවා වැරදි වන්නට ද පුලුවන. ඒත් තොරතුරු නැති විට ඒවා සත්‍ය ලෙස පිළිගෙන තොරතුරු වලින් ඇති කරන හිඩස ඒවායින් පිරවීමට සිදු වේ.

තොරතුරු තාක්ෂණය දියුණු වී ඇති අද වැනි යුගයක සැගවීම කොතරම් සාර්ථක ද යන්න අමතරව මතු වෙන ගැටළුවකි. මේ සිද්ධිය ගැන නිල මාධ්‍ය නිහඩව සිටිය දී නිල නොවන මාධ්‍ය සක්‍රීය ලෙස මැදිහත් වුනු බවත් ජාත්‍යන්තර මාධ්‍ය සිද්ධිය ගැන පළ කර තොරතුරු ද සීමිත පිරිසකට වුව ලබා ගත හැකි වූ බවත් අපි දනිමු.

අලුත්ගම බේරුවල ගැටුම තුළ අප දැක්කේ තොරතුරු පාලනය නොකිරීමේ ගැටළු නොවේ. එසේ පාලනය කිරීමෙන් ඇති වූ ගැටළු ය.

නිල ප්‍රවෘත්තියක් බොහෝ විට සැක හැර දැනගෙන ඉදිරිපත් කරන්නේ නමුදු නිල නොවන ප්‍රවෘත්ති පිළිබඳ එවැනි වගකීමක් නැත. ඒ නිසා නිල මාධ්‍යයන්ට නිල නොවන ලෙස හෝ වාරණ පැනවීම ඇති කරන්නේ වඩාත් අයහපත් තත්වයකි.

සැකය විචිකිච්ඡාව අතිශය භයානක ලෙස සිද්ධියෙන් පසු ද ඉතිරිව තිබේ. වැරදි කරුවන් කවුද සිද්ධිය ඇති වූයේ කෙසේ ද එවැනි සිද්ධි මතු ඇති නොවන තැනට වැඩ කටයුතු සිද්ධ වෙනු ඇත් ද යන ප්‍රශ්න සියල්ල එලෙසම ඉතිරිව තිබේ.

නීතිය හා සාමය රකින ආයතන ඒවා නිසි ලෙස ඉටු කළේ ද එසේ නොවූයේ නම් ඒ මන්ද? පුංචි සිද්ධියකින් ඇරඹුන මේ ගැටුම මහා අර්බුදයක් බවට ප්‍රකාශයට පත් වූයේ මේ ආයතනවල තිබෙන කුමන අඩුපාඩු නිසා ද? මෙවැනි අර්බුද විනාශකාරී ලෙස විකාශනය වීම වළක්වන්නට රටේ පවතින නීති ප්‍රමාණවත් ද? ඒ ප්‍රශ්නවලට ද හරි හමන් උත්තර සොයා ගත නොහැක්කේ ගැටුම ද අදාළ විශ්වාසනීය තොරතුරු නැති නිසා ය.

සමහරු කියන විදිහට මේ ගැටුම වර්ධනය වීමට පොලීසිය හා හමුදාව ද හේතූ වුයේ නම් ඔවුන් විසින් කරන පරීක්ෂණයකින් සැබෑ වැරදි කරුවන් අසුවේ ද යන ප්‍රශ්නය ද බරපතළව මතුව තිබේ. මාධ්‍යවල මිනිසුන් නගන ප්‍රශ්න තුළ මේවා නිරූපනය වේ.

කළමනාකරුවන්ට මෙයින් උගත හැකි පාඩම වන්නේ තොරතුරු වසන් කිරීමට වඩා සැබෑ තොරතුරු හෙලිදරව් කිරීම බොහෝ තත්වයන් යටතේ වඩා යහපත් බව ය. ඊට අමතරව වැරදි තොරතුරු වැරදි බව ඔප්පු කර පෙන්වීම ද ඊට අමතරව වැදගත් බව ය.

දැනුවත් මිනිසුන් සෑම විටම වඩාත් හොදින් හැසිරෙන අතර සගවන විට සගවන්නේ සගවන්නට දෙයක් තියෙන නිසාය යන හැගීම ඇතිවීම එහි දී සැළකිල්ලට ගත යුතු ය.

තොරතුරු දැන ගැනීමට ජනතාවට (හා සේවකයන්ට) අයිතියක් ඇතිවා පමණක් නොවේ. නිවැරදි තොරතුරු සැපයීමට වගකීමක් ද කළමනාකාරිත්වයට තිබේ. ඊටත් අමතරව එසේ නොකර සිටීමෙන් දැනුවත් සමාජයක වඩාත් වැඩි පාඩුව ද උරුම වන්නේ කළමනාකරිත්වයට ය. ඒ නිසා තොරතුරු සැපයීමට දැඩි වුවමනාවක් ද කළමනාකාරිත්වයට තිබිය යුතු ය.

අලුත්ගම බේරුවල අර්බුදය – චක්‍රය කරකනවා ද? ඉන් මිදෙනවා ද?


දැන් ගිනි ගෙන අවසාන ය. බිලි ගෙන අවසාන ය.

මුලින් ඇති වුනේ පුංචි විරසකයකි. දැන් එය විශාල අර්බුදයක් බවට පෙරලිලා ය. මුලින් ඇති වුන ගැටළුව පුද්ගලයින් අතර ය. දැන් එය ජාතීන් අතරට පැතිර ගොසින් ය.

හරියට කළමනාකරණය නොකළොත් එය නුදුරේදී රටම ගිලගනු ඇත්තේ ය.

මෙයට වගකිව යුතු වන්නේ කවුද? ඔබ ඒ ප්‍රශ්නය අසන්නේ කාගෙන් ද යන්න අනුව ඔබට උත්තර ලැබෙනු ඇත්තේ ය.

ඔබ එය බොදුබල සේනාවෙන් අසන්න. ඔවුන් කියනු ඇත්තේ එයට වගකිව යුත්තේ මුස්ලිම් අන්තවාදීන් බව ය. ඔබ ගුටි කෑ මුස්ලිම් ජාතිකයෙකුගෙන් අසන්න. බොහෝවිට ඔහු කියනු ඇත්තේ අලුත්ගම රැස්වීම සංවිධානය කළ බොදුබල සේනාව බව ය.

ඊළගට ඔබ දැන් කළ යුත්තේ කුමක් දැයි අසන්න. ඔබ ඒ ප්‍රශ්නය අසන්නේ කාගෙන් ද යන්න අනුව නැවතත් ඔබට උත්තර ලැබෙනු ඇත්තේ ය.

ඔබ එය බොදුබල සේනාවෙන් අසන්න. ඔවුන් කියනු ඇත්තේ අන්තවාදී මුස්ලිම් මිනිසුන්ට දඩුවම් කළ යුතු බව ය. පොලීසිය එසේ නොකරන නිසා ජනතාවට එසේ කරන්නට සිදු වූ බව ය. ඔබ ගුටි කෑ මුස්ලිම් ජාතිකයෙකුගෙන් අසන්න. බොහෝවිට ඔහු කියනු ඇත්තේ අලුත්ගම රැස්වීම සංවිධානය කිරීමෙන් ටවුමට ගිනි තැබූ බොදුබල සේනාවට දඩුවම් කළ යුතු බව ය. මෙතෙක් ඔවුන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ දීම ගැන ඔවුන් ආණ්ඩුවට ද බණිනු ඇත්තේ ය. ආණ්ඩුව කිසිවක් කරන්නේ නැත්නම් ඒ වගකීම ද තමන්ට පවරා ගැනීමට සිදුවනු ඇතැයි ඔවුන් කියන්නට ද පුලුවන. එලිපිට නැතත් තම තමන්ටවත් කියාගන්නට පුලුවන. පුදුමය එසේ නොකියවුනොත් ය.

මේ සිදුවන්නේ බුද්ධිමය සංවාදයක් නම් නොවේ. වැඩිපුර ඇත්තේ පරල වූ හැගීම් ය. එයින් මෙහෙයවෙන සංවාදයක් ය.

බුද්ධියෙන් මැදිහත් වන කෙනෙක් කියන්නේ වෛරයෙන් වෛරය නොසන්සිදෙන බව ය. මෛත්‍රීයෙන් වෛරය ජයගත යුතු බව ය. කැරකෙන චක්‍රය නැවතෙනු ඇත්තේ එවැනි මැදිහත් වීමකිනි.

එහෙත් හැගීම් කතා කරනේනේ වෙනත් භාෂාවකිනි. ඒ භාෂාව අසනු ඇත්තේ ගැහැව්වහම ගහන්නේ නැතිව භාවනා කරන්න ද කියා ය. ඒ අත වනන්නේ කැරකෙන චක්‍රය දිගින් දිගට කරකවන්නට ය.

ගැටුම් කළමනාකරණය කිරීමට හදවතට නොහැක්කේ ඒ නිසා ය. ඒ සඳහා බුද්ධිමය මැදිහත් වීමක් අවශ්‍ය ඒ නිසා ය. හැගීම් වලින් නොඇවිස්සිනු සන්සුන් මනසක් අවශ්‍ය ඒ නිසා ය.

නැතහොත් සිදුවන්නේ විෂම චක්‍රය දිගින් දිගට විනාශය ගෙන දෙමින් කැරකීම ය. එයින් ගැලවීමට එයින් එලියට ආ යුතු ය.

මෛත්‍රීයේ හස්තය දිගු කිරීමට කවුරුන් හෝ මුල් විය යුතු ය. එහි වැඩි වගකීම ඇත්තේ වඩාත් ශක්තිමත්, වඩාත් බලය ඇති, වඩාත් පිරිස ඇති, වඩාත් බුද්ධිය ඇති කණ්ඩායමට ය.

බොහෝ විට වන්නේ දෙගොල්ලන්ම තමන් ප්‍රමාණවත් ලෙස ශක්තිමත් නැතැයි යන සැකයෙන් හා හීනමානයෙන් පෙලීම නිසා ඒ මෛත්‍රීයේ හස්තය දිගු කිරීමට ඉක්මන් නොවීම ය. එවිට සිදුවන්නේ චක්‍රය වඩ වඩා වේගයෙන් කැරකෙන්නට පටන් ගැනීම ය. එය විසල් විනාශයකින් මිසක අවසන් විය නොහැකි ලෙස කැරකෙන්නට පටන් ගැනීම ය.

දැන් මේ සිදුවෙමින් තිබෙන්නේ එය නොවේ ද?

අප නොදුටු – මාටින් ලූතර් කිං දුටු – සිහිනය


පහත පළවන්නේ මාටින් ලූතර් කිං එදා දුටු සිහිනයයි. මෙය මුලින් පරිවර්තනය කරන ලද්දේ මවිසින් රචිත නායකත්වය පොතට ඇතුළු කිරීම පිණිස ය. නායකයෝ සිහින දැකිය යුතු ය. එදා ඔහු දුටු සිහිනය බොහෝ දෙනෙකු අවදි කරන්නට සමත් විය. එය ඔබට ආශ්වාදයක් ගෙන දෙනවාට අමතරව සිහින දැකීමට ඔබව යොමු කිරීමට ද පුලුවන. ඒ නිසාම එය මෙසේ බ්ලොග් සටහනක් ලෙස ඇතුළු කළෙමි.

__________________________________________________________________
ශ්‍රේෂ්ඨ ඇමරිකානුවකු මීට ශත වර්ෂයකට ඉහත දී නිදහසේ ප‍්‍ර‍්‍රකාශනය අත්සන් තැබීය. අප තවමත් වෙසෙන්නේ ඔහු ගේ යෝධ සෙවනේ සිටගෙන ය. අසාධාරණයේ නපුරු ගිනිදැල් වලින් පුළුස්සනු ලැබ සිටි දස දහස් සංඛ්‍යාත නිග්‍රෝවරුන්ට බලාපොරොත්තුවේ රශ්මි කදම්බයක් ලෙස මේ යෝධ ප‍්‍රකාශනය එදා දිස් විය. දිර්ඝ රාති‍්‍රයක අත් අඩංගුවට පත් කෙනෙකුට දක්නට ලැබෙන අරුණෝදයක් මෙන් එය දිස් විය.

එතෙකුදු වසර සියයක් ඇවෑමෙන් පසු ද නීග්‍රෝවරුන් තවමත් නිදහස් නැතැයි යන කටුක යථාර්ථයට මුහුණ දීමට අපට සිදුව තිබේ. වසර සියයකට පසුව ද වෙන් කර තැබීමේ හා වෙනස්කම් වලට ලක් කිරීමේ විලංගු වලින් නීග්‍රෝවරුන් ගේ අත් පා අති ශෝචනිය ලෙස අකර්මණ්‍යය කර තිබේ. වසර සියයකට පසුව ද සෞහාග්‍යයෙන් හා යස ඉසුරින් පිරුණු මහා සමුදුරක් මැද තනිව පවතින දුප්පත්කමේ දුපතක නීග්‍රෝවරු ජිවත් වෙති. වසර සියයකට පසු ද ඇමරිකානු සාමාජයේ කෙළවරක නීග්‍රෝවරු දුක් විඳින අතර තමන්ගේ නිජබිම තුළ ඔවුන් පිටමං කරනු ලැබ තිබේ.

තම ජාතියේ අගනගරය වෙත චෙක්පතක් මාරු කර ගැනීමට අප පැමිණියාට මෙය සමානය. අපගේ සමූහාණ්ඩුව නිර්මාණය කළ නිර්මාණ ශිල්පීන් විසල් වචනවලින් ව්‍යවස්ථාව ද නිදහසේ ප‍්‍රකාශනය ද ලියන විට ඔවුහු සෑම ඇමරිකානුවකු විසින්ම අනුගමනය කිරීමට වගකීමෙන් බැඳෙන පොරොන්දු පත‍්‍රයකට අත්සන් තැබුහ. මෙමගින් සියලූ මිනිසුන්ට ජිවත් වීමේ නිදහස හා සතුට සොයා යෑමේ ආපසු ගත නොහැකි අයිතියක් සඳහා පොරොන්දුවක් ලැබුණි.

කළු ජාතිකයින් හා සම්බන්ධව නම් මේ පොරොන්දු පත‍්‍රයට ඇමරිකාව ගරු කර නැති බව පැහැදිලිය. මේ ශුද්ධ වු වගකීමට ගරු කරනවා වෙනුවට අරමුදල් ප‍්‍රමාණවත් නොවේය යන සළකුණ සහිතව ආපසු හරවා එවන ලද අගරු චෙක්පතක් ඇමරිකාව විසින් නීග්‍රෝවරුන්ට ලබා දි තිබේ. එහෙත් සාධාරණත්වයේ බැංකුව බංකොලොත්ය යන්න ඇදහීම අපි ප‍්‍රතික්ෂේප කරමු. මේ ජාතිය සතු අවස්ථාවන් නැමති සේප්පු තුළ අරමුදල් හිඟ බව අපි පිළි නොගනිමු. අපි මේ වෙක්පත-අප ඉල්ලූ විට ලැබිය යුතු යුක්තියේ ආරක්ෂාව සහ නිදහසේ පොහොසත් කම ලබා දෙන මෙම චෙක්පත- මාරු කර ගැනීමට පැමිණ සිටිමු.

දැන්ය යන බිය ජනක හදිස්සිය පිළිබඳව ඇමරිකාවට මතක් කිරීමට අපි මේ ශුද්ධ වු ස්ථානයට පැමිණ සිටිමු. මේ සීතලව ලිස්සා යාමේ හෝ ක‍්‍රමක‍්‍රමයෙන් යමුය යන මත්ද්‍රව්‍යයෙන් සප්පායම්ව නිදි වැදීමේ හෝරාව නොවේ. මේ අඳුරු සහ වෙන්කර තැබීමෙන් තනි වු නිම්නයෙන් එගොඩ වී වාර්ගික සාධාරණත්වයේ හිරු කිරණ වලින් එළිය ලද මාවතේ ගමන් ඇරඹීමට කාලයයි. දෙවියන් ගේ දරුවන් සියල්ලට ඉඩ ප‍්‍රස්ථාවේ දොරටු විවර කර දීමට කාලයයි. වාර්ගික අසාධාරණත්වයේ ගිලා බහින වැලි කන්දක් තුල එරෙමින් තිබෙන අපගේ ජාතිය සහෝදරත්වයේ ඝන ගල්තලාව මතට ගැනීමට කාලයයි.

නීග්‍රෝවරුන් ගේ අධිශ්ඨානය අවතක්සේරු කිරීමට සහ මේ මොහොතේ හදිසිය ග‍්‍රහණය නොකර ගැනීම ජාතියට මරණීය විය හැකිය. නීග්‍රෝවරුන්ගේ නීත්‍යානුකූල අසහනය නැමැති ගිනියම් වු ගී‍්‍රෂ්ම සෘතුව නිදහස හා සාමානාත්මතාවය නැමැති සප‍්‍රාණික සරත් සෘතුව ලඟා වන තෙක් පවතිනු ඇත. 1963 යනු අවසානය නොව ආරම්භයයි. නීග්‍රෝවරුන්ට තම කෝපය පළ කරන්නට අවස්ථාවක් ලැබිණැයි ද එය ප‍්‍රමාණවත් යයි ද සලකා නැවතත් සාමාන්‍ය ජිවිතයට පා නගන්නට ඇමරිකාව සිතතොත් ඊට කෲර නැගිටීමකට මුහුණ දීමට සිදු වනවා ඇත. නීග්‍රෝවරුන්ට පුරවැසි අයිතිය හිමිවන තෙක් විවේකය හෝ සංහිඳියාව ඇමරිකාවට නොලැබෙනු ඇත. සාධාරණත්වයේ දීප්තිමත් දිනය උදා වන තෙක් ජාතියේ අත්තිවාරම කැරලිකාරිත්වයේ වේරම්භ වාතයෙන් දිගින් දිගටම කම්පා වෙනු ඇත.

සාධාරණත්වයේ මාලිගාවේ ඉමට පැමිණ සිටින, එහි උණුසුම විඳිමින් සිටින, මගේ ජනතාවට ද කීමට යමක් ඇත. අපගේ යුක්ති යුක්ත ස්ථානය ලබා ගැනිම සඳහා අනුගමනය කරන කි‍්‍රයාවලිය තුළ වැරදි කි‍්‍රයා සම්බන්ධයෙන් පසු තැවීමට අපට සිදු නොවිය යුතු බව ය. වෛරයේ හා අප‍්‍රසන්නත්වයේ වීදුරුවෙන් නිදහස සඳහා වු පිපාසය සංසිඳුවා ගැනීමට අප උත්සුක නොවිය යුතු ය.

හික්මවන ලද ගාම්භීර වන ඉහළ තලයක් තුළ අපගේ අරගලය අප සදාකාලිකව රඳවා ගත යුතු ය. අපට එරෙහි එල්ලවන භෞතික පීඩා ආත්මීය බලයෙන් පිළිගන්නට හැකි ඉහළ රාජකීය තලයකට අප නැගිය යුතු ය. අප අතරින් පැන නැඟ තිබෙන අති විශිෂ්ඨ විරෝධය සියලූ සුදු මිනිසුන් අවිශ්වාස කිරීමට නොමෙහෙවිය යුතු ය.

මක් නිසාද අපගේ බොහෝ සුදු සහොදරයින් අද සිය පැමිණිමෙන් ප‍්‍රදර්ශනය කර ඇති ලෙසට, ඔවුන්ගේ ඉරණම අපගේ ඉරණම සමග ද, ඔවුන්ගේ නිදහස හා අපගේ නිදහස සමග ද, බැඳි පවතින බව විශ්වාස කරන බැවිනි. අපට මේ ගමන තනිව යා නොහැකිය.

අප ගමන් කරන විට අප ඉදිරියට ගමන් කරන බවට සපථ කළ යුතු ය. මෙසේ ගමන් කරන මානව හිමිකම් වල බැතිමතුන්ගෙන් ඔබ කවදා සැනසෙයි දැයි අසන පිරිසක් ද සිටිති. නගරයේ හෝටල් වල ද මඟ නවාතැන් පොළවල් වල ද ගමනේ වෙහෙසින් විඩාවට පත්ව ඇති අපගේ ශරිර සැතපීමට නොහැකි තාක් අපට සැනසීමට බැරිය. මිසිසිපි නගරයේ වෙසෙන නීග්‍රෝවරයෙකුට ජන්දය පාවිච්චි කරන්නට නොහැකි තාක් සහ නිව්යෝක් නගරයේ සිටින නීග්‍රෝවරයෙකුට තම ජන්දය පාවිච්චි කරන්නට කෙනෙකු නැති තාක් අපට සැනසීමට නුපුළුවන් වනු ඇත. නැත – නැත. සාධාරණය වතුර මෙන් ගලා යන තාක් ද නිවැරදි දෙය මහා ගංඟාවක් බවට පත්වන තාක් ද අපිට සැනසිල්ලක් නැත.

මෙතැන සිටින ඔබ සමහර දෙනෙක් ඉතාම දුෂ්කර තත්වයන් පසු කරමින් මෙතැනට පැමිණ ඇති බව මා නොදන්නවා නොවේ. නිදහස සොයා යන මේ ගමනේදි සමහරු පොලිසියේ කෲර වදහිංසා නැමැති බියකරු සුළඟින් බැට කා ඇති බව ද නීතියේ දරුණු කුණාටු වලින් චුදිතයින් බවට පත්ව දඩුවම් විඳ ඇති බව ද මා නොදන්නවා නොවේ. ඔබලා නිර්මාණාත්මක දුක් විඳිමේ බලකායේ ඉපැරණි සෙබළුන් ය. ඔබට හිමි නැති වේදනා උසුලා සිටීම නිසා ඔබ නව පණක් ලබන බවට ඇති විශ්වාසය අත නොහැර ඔබේ කටයුතු වල යෙදෙන්න.

මේ තත්වය වෙනස් කළ හැකි බව හා වෙනස් කරන බවට විශ්වාසය ඇතිව නැවත මිසිසිපියට යන්න. අලාබාමාවට යන්න. ඡෝර්ජියාවට යන්න. අසරණත්වයේ නිම්නය තුළ ශෝකාන්තව වැළපීමෙන් වළකින්න.

මගේ මිත‍්‍රවරුනි, දුෂ්කර හා අපේක්‍ෂා භංගත්වයයෙන් පිරුණු මේ වත්මන මැද වුවද මම ඔබට කියමි. මේ ජාතිය නුදුරු දිනක දී නැගිට තමන් ගේ උරුමක්කාරයින්ගේ වචන වල නියම අරුතින් ජීවත් වනු ඇතැයි යන සිහිනයක් මට තිබේ. ඔවුන්ගේ ඒ වචන කෙසේද යත් : හැම මිනිසෙකුම සමානව නිර්මාණය කර ඇත. මේ අප පිළිගන්නා හා පෙනී සිටින සත්‍යයයි.

ජෝර්ජියාවේ රතු කඳු මුදුන් වල පැරණි වහලූන්ගේ දරුවන් හා පැරණි වහල් හිමියන්ගේ දරුවන් සහෝදරත්වයේ මේසය වටා එකට වාඩි වී සිටින හීනයක් මට තිබේ.

දැනට පීඩනයේ හා අසාධාරණයේ ගිනියමින් රත්ව ඇති කාන්තාරයක් බඳු වු මිසිසිපි රාජ්‍යය නිදහසේ හා යුක්තියේ රාජ්‍යයක් බවට පරිවර්තනය වන හීනයක් මට තිබේ.

මගේ දරුවන් හතරදෙනා ඔවුන් ගේ සමේ පැහැයෙන් නොව ඔවුන් ගේ චරිතයේ හරයෙන් මණින දේශයක ජිවත් වනු මම හීනයෙන් දකිමි.

මා අද දකින හීනයක් තිබේ. අල්බාමා දේශය, අද එහි ආණ්ඩුකාරයාගේ තොල් අතරින් ගලා යන බැහැර කිරීමේ හා අවලංගු කිරීමේ වචන වලින් පිරි තිබුන ද, කුඩා කළු කොල්ලන් හා කෙල්ලන් සුදු කොල්්ලන් හා කෙල්ලන් ගේ අතින් අල්ලාගෙන සහෝදර සහෝදරියන් සේ ඇවිදින දේශයක් වන සිහිනයක් මට තිබේ.

මම අද සිහිනයක් දකිමි. හැම කන්දක්ම කපා පහත් කර නිම්නයන් පුරවා රළු ගැට්ට සමතලා කොට ඇද වුනු භූමිය කෙලින් කොට දෙවියන් ගේ කීර්තිය සියල්ලන්ටම දැක ගත හැකි ලෝකයක් බිහිවන සිහිනය මම දකිමි.

මේ අපේ බලාපොරොත්තුව ය. මම නැවත දකුණට යන්නේ මේ විශ්වාසය ඇතුව ය. මේ විශ්වාසය සමඟ කටයුතු කිරිමෙන් අපට අපේක්ෂා භංගත්වය නැමැති කන්ද කපා බලාපොරොත්තුව නැමැති ගලක් සොයා ගත හැකිය. මේ විශ්වාසය නිසා අමිහිරි අක‍්‍රමවත් සිද්ධි වලින් ගහන වු අපේ දේශය සහොදරත්වයේ මිහිරි වාද්‍ය වෘන්දයකට පෙරළිය හැකිය. මේ විශ්වාසය ඇතිව අපට එකට වැඩ කිරීමට, එකට වැඳ යඥා කිරීමට, එකට සටන් කිරීමට, එකට හිරගෙට යාමට, එක් ව නිදහස වෙනුවෙන් නැගි සිටීමට, අපට නුදුරු දිනයකදී නිදහස ලබන බව දැන, ඒ සියල්ල කිරීමට පුළුවන් වනු ඇත.

මාගේ දේශය, ඔබේ දේශය, විමුක්තියේ රස පිරුණු දේශය වෙනුවෙන් මම ගයමි. මාගේ පියවරු මිනිසුන් කළ දේශය, වන්දනාකරුවන් ගේ සාඩමිබරය වූ දේශය, හැම කන්දකින්ම නිදහසේ හඬ ඇසේවා.

දෙවියන් ගේ සියලූ දරුවන් මෙවන් අරුතකින් එක්ව ගයන්නට එදින හැකිවෙනු ඇත්තේ ය.

ඇමරිකාවට ශ්‍රේෂ්ඨ ජාතියක් වීමට නම් මේ හීනය සත්‍යය විය යුත්තේ ය. ඒ නිසාම නිව් හෙමිස්ෆියර් ප‍්‍රාන්තයේ කඳු මුදුන් වලින් මේ නිදහසේ කාහල නාදය නැෙඟ්වා. නිව්යෝක් නගරයේ කඳු මුඳුන් වලින් එයම ප‍්‍රතිරාව නැගේවා. පෙන්සිල්වේනියාවේ කඳු ශිඛර ද ඊට එක් වේවා.

හිමෙන් වැසුණු කොලරාඩෝවෙන් ද වක‍්‍රව හැඩ ගැසුණු ශිඛරයන්ගෙන් යුත් කැලිෆෝනියාවෙන් ද එපමණක් නොව ගල් ශිඛර සහිත ජොර්ජියාවෙන් ද ඒ හඬ ඇසේවා. ටෙනෙසිනි සිට නැරඹිය හැකි කඳු මුඳුන් වලින් ද, මිසිසිපියේ පුංචි කඳු ගැට වලින් ද, හැම උස් හා මිටි කන්ඳකින් ම ද, මේ නිදහසේ කාහල නාදය ඇසේවා.

නිදහසේ නාදයට මෙසේ ඉඩ දෙන විට, එය හැම ගමකින් ම, හැම නගරයකින් ම, හැම ප‍්‍රදේශයකින් ම, හැම රාජ්‍යයකින් ම, ඇසෙන විට දෙවියන් ගේ සියලූ දරුවන්හට, කළු හා සුදු මිනිසුන් ට, යුදෙව්වන් හා කි‍්‍රස්තු භක්තිකයින් ට, ප්‍රොතෙස්තන්තවරු හා කතෝලිකයින් ට එකට අත් වැල් අල්ලා ගෙන පැරණි නීග්‍රෝවරුන්ගේ අධ්‍යාත්මික ගීතය ගැයිය හැකිය. අන්තිමේ දී නිදහස – අන්තිමේ දී නිදහස. සර්ව බලධාරි දෙවියන්ට ස්තුති වේවා. අපි අන්තිමේ දී නිදහස ලැබුවෙමු.

නායකයා සුපිරි මිනිසෙකු විය යුතු ද?


නායකයා සුපිරි මිනසෙකු විය යුතු ද

මේ පින්තූරය නිර්මාණය කළ තැනැත්තා පෙන්වා දෙන්නට යන්නේ නායකයෙකු ඕනෑම වැඩක් කර පෙන්වන්නට පුලුවන් කෙනෙකු විය යුතුය කියා ය. අපට සිතන හැටියට එසේ කළ හැක්කේ සුපර් මෑන් කෙනෙකුට පමණකි. නායකයෙකු වීම සඳහා සෑම කුසලතාවයක්ම තිබිය යුතු නම් අප බොහෝ දෙනෙකුට නායකයන් වන්නට බැරි ය.

නායකයෙකු කළ යුතු වන්නේ යම් වැඩක් වඩාත් හොඳින් කිරීමට හැකි තැනැත්තා හඳුනාගෙන ඒ වැඩය ඔහුට පැවරීම ය. එය කිරීම සඳහා අවශ්‍ය සම්පත් හා අධිකාරී බලය ඔහුට පැවරීම ය. ඒ සඳහා අවශ්‍ය වෙනත් පහසුකම් සැපයීම ය. ඒ වැඩය ඔහුට නිදහසේ කරගෙන යා හැකි පරිසරයක් සකස් කිරීම ය.

ඒ වෙනුවට ඔහු ඕනෑම වැඩක් මෙසේ කළ යුතු යැයි පෙන්වා දෙන්නට ගියොත් සිදුවන්නේ කුමක් ද?

මේ පින්තූරයේ කියවෙන කතාවෙන් සිදුවන්නේ හොඳට වඩා නපුරකි.

නායකයෙකු තම අනුගාමිකයන් සියල්ලට වඩා හැම කටයුත්තේම දක්ෂ විය යුතු යැයි කියන විට යම් අනුගාමිකයෙකු යම් වැඩක නායකයාට වඩා දක්ෂයෙකු වූ විට ඔහුව තර්ජනයක් ලෙස සැලකීම මෙයින් සිදුවන එක් අතුරු අන්තරාවකි.

යම් අංශයක තමන්ට වඩා දක්ෂයෙකු සිටිය හැකිය යන අස්ථානය ගත් විට නායකයාට පමණක් නොව අනුගාමිකයන්ට ද එය පහසුවකි. නැත්නම් අනුගාමිකයන්ට සිදුවන්නේ ද තම දක්ෂතාවයන් හෙලි නොදක්වා සගවා ගැනීමට ය.

කුසලතා සම්බන්ධයෙන් නැතත් චරිතය සම්බන්ධයෙන් නම් නායකයා ආදර්ශයක් විය යුතුය යන්න ගැන අපගේ විවාදයක් නැත. ඒ සම්බන්ධයෙන් නම් ඔහු/ඇය ගුරුහරුකම් ගත හැකි පහන් ටැඹක් ලෙස පෙනී සිටිය යුතු ය.

මේ සටහන සම්බන්ධයෙන් ඔබේ අදහස් දැන ගැනීමට කැමැත්තෙන් සිටිමි.