පොලියත් එක්ක ගෙවන්නට නියමිත තෑගි බෝග!


මේ නත්තල් සමය යි. තෑගි බෝග ලැබෙන සමය යි. නත්තලට ලැබෙන තෑගි බෝගවලට ජනපතිවරණය වෙනුවෙන් ලැබෙන තෑගි ද එක් කළ විට නම් පේන්නේ අපේ ග්‍රහයා උච්ඡස්ථානයේ පසුවන බවයි.  මේ ලැබෙන දේට ලබන්නා ගෙවන්නේ නැත. සියල්ල නොමිලේ ය.

මේ කතාව ඇත්ත ද? නත්තල් සීයා ගෙනෙන තෑගිවලට පවා කවුරු හෝ ගෙවන්නේ නැත් ද? ඒවා අයිස්ලන්තයේ සිට ගෙනෙන්නේ ද?

කවුරුවත් ගෙවන්නේ නැතිව කිසිවක් ලබා ගන්නට විදිහක් නැත.

ලැබෙන එක්කෙනාට ගෙවන්නේ කවුද යන්න අදාළ නොවන්නේ ය. ලැබුනහම ලැබෙන සතුට ඒ ප්‍රශ්නය කුණු මුල්ලටම විසිකරන්නේ ය.

කවුරු නැතත් කළමනාකරුවන් හැටියට අප ඒ ගැන සංවේදී විය යුතු ය. අප තේරුම් ගත යුතු දේ නම් නිකම් ලැබෙන ආහාර වේලක් නැති බව ය.

ආණ්ඩුව යනු නිකම් ගලන ධන උල්පතක් නොවේ. ආණ්ඩුවේ භාණ්ඩාගාරය සල්ලි හොයන්නේ රට තුළිනි. අපෙනි. රජයේ ආදායමෙන් 87% ක් ලැබෙන්නේ අපි පරිභෝජනය කරන දේට ආණ්ඩුව ගහන වක්‍ර බදු වලින්  ය.

අද ලැබෙන දේ අපට ගෙවන්න වෙන්නේ පොලියත් එක්ක ය. හේතුව රජය මේවන විට වියදම් පියවා ගන්නේ පොලියට ගන්නා ණය වලින් බැවිනි.

කළමනාකරුවෙකු හැටියට මෙයින් සිදු විය හැක්කේ කුමක් ද යන්න ගැන ඔබ විමසිලිමත් විය යුතු ය. ඔබේ ව්‍යාපාරය මේ පසුබිම තුළ කුමන අනාගතයකට උරුම කම් කියාවි ද යන්න ගැන ඔබ සංවේදී විය යුතු ය.

ජනතාවට ගහන බදු ජනතාවට ගෙවිය හැක්කේ රැකියාවලින් උපයන මුදලින් බැවිනි. එවිට සිදු වන ඊළග කාරණය නම් ඒ සඳහා ඔවුන්ගේ වැටුප් වැඩිකිරීමට සිදු වීම ය.

එවිට නිශ්පාදන වියදම ඉහළ යෑමට නියමිත අතර වෙන රටවල නිශ්පාදන හා තරග කරන්නට නොහැකියාව ඉන් ඇති වේ. අල ළූණු ගොවියන්ට මෙන්ම දේශීය නිශ්පාදන රකින්නට පිටරටින් තමන් නිපදවන දේ ද නොගෙන්වා සිටින ලෙස ආණ්ඩුවෙන් ඉල්ලන්නට එවිට සිදු වේ. එහි අවසාන ප්‍රතිඵලය බඩු මිල තවත් ඉහළ යෑම ය. නැවත වතාවක් වැටුප් වැඩි කිරීමට සිදු වීම ය. නැවත වතාවක් නිශ්පාදන මිල අනෙත් රටවලට සාපේක්ෂකව ඉහළ යෑම ය.

මේ සියල්ලෙන් කියන්නේ කළමනාකරුවෙකු අද ගැන විතරක් බලා සෑහීමකට පත් නොවිය යුතු බව ය. එසේ නොවුවහොත් වන්නේ අප ඉහත කී විෂම චක්‍රයට හසුව ජනතාව ද සමග වල පල්ලට ඇදී යෑම ය.

ළඟ නොබලා දුර බැලිය යුත්තේ ඒ නිසා ය.

බොහෝ අය අපට නිකම් දෙන්නේ පසුව ගන්නට ය. නිකම් දෙන විට ඒ පිටුපස ඇති ගෙවීම කුමක් දැයි සෙවිය යුත්තේ ඒ නිසා ය. එය ලැබුනාට වඩා බෙහෙවින් වැඩි වීමට ඉඩ තිබේ.

ආණ්ඩුව නොව ඕනෑම කෙනෙක් නිකම් දෙන දෙයක් දෙස අප සැකයෙන් බැලිය යුත්තේ ඒ නිසා ය. ගැහැණු ළමයෙකු තමන් වෙත ඕනෑවට වඩා සැළකිල්ලක් දක්වන අය ගැන පරිස්සම් විය යුත්තේ ද ඒ නිසා ය. අප අපගෙන් ඇසිය යුතු ප්‍රශ්නය නම් අපට මෙතරම් ආදරේ ඇයි ද යන්න නොව ගෙවන විට ගෙවන්නට සිදු වන පොලිය කීය ද යන්න ය.

මෛත්‍රීපාල සිරිසේන -ඒ කවුද – ඉන්නේ වෙන වෙනම මෛත්‍රී කෙනෙක් හා සිරිසේන කෙනෙකි!


“මෛත්‍රී“ – යන සන්නාමය (brand image) මනසේ ස්ථානගත කිරීමට විපක්ෂය උත්සහ කරද්දී ආණ්ඩුව හදන්නේ එය අමතක කොට සිරිසේන යන නාමය උඩට ගැනීමට ය. අද වනවිට ආණ්ඩුවේ පත්තරවල මුල් පිටුවේ විවේචනය සිරිසේන නාභිගත කොට සිදු කෙරෙමින් පවතී. වෙනදා තඩිබාන රනිල් හෝ චන්ද්‍රිකා මුල පිටුවෙන් පසු පිටුවලට විස්ථාපනය වෙමින් තිබේ.

මේ සිදුවන ක්‍රියාවලිය නිසි ලෙස තේරුම්ගැනීම කළමනාකරුවෙකුට වැදගත් ය.

විපක්ෂයේ තේමාව මෛත්‍රී පාලනයක් යන්න ය. එය සාධනීය ය. සෞම්‍යය ය. සොඳුරු ය. දේශීය ය. ආගමික ය. ඒ නිසාම ප්‍රබල ය.

ආණ්ඩුව මෛත්‍රීපාල යන නම වෙනුවට සිරිසේන යන නම යොදා ගන්නා ලෙස තමන් යටතේ ඇති සියලු මාධ්‍යවලට විධාන දී ඇත්තේ ඒ නිසා ය. සමහරුන් කියන පරිදි මෛත්‍රී භාවනා වැඩසටහන මෙත් වැඩුම ලෙස නම් කළේ නම් එසේ කරන්නට ඇත්තේ ද ඒ නිසා ය.

ආණ්ඩුවත් විපක්ෂයත් මේ හැසිරීම මගින් අපට කියා සිටින්නේ සන්නාමයක වැදගත් කම ය. මනස තුළ සාධනීය ලෙස ස්ථාන ගත කරවීමේ වැදගත් කම ය.

විපක්ෂ දැන්වීම් කරණය තුළ රනිල් චන්ද්‍රිකා හෝ චම්පික නැත. ඇත්තේ මෛත්‍රී ගේ සිනහබර මුහුණ ය. ඒ නිසාම රනිල්ට චන්ද්‍රිකාට තඩි බෑමෙන් එතරම් වැඩක් සිදු වන්නේ නැත. මෛත්‍රී ඔවුන්ගේ තල්ලුවෙන් ආ බව ඇත්තකි. එහෙත් මේ වනවිට ඔහු තමන්ගේ අනන්‍යතාවයක් ගොඩ නගා ගෙන තිබේ. වෙන එකක් තබා තමන්ටම ආවේණික ඇඳුමකින් සැරසෙන්නට ද ඔහු වගබලාගෙන තිබේ.

ඒ නිසාම රුහුණේ මාගම්පත්තුවේ මහින්ද “මාමා“ට වෙනදා මුණ ගැහුණු ටයිකෝට් වලින් සැරසුනු රනිල් “අංකල්“ වෙනුවට දැන් මුණ ගැසෙන්නේ රෙද්දයි බැනියමයි අඳින නව ආරකින් පෙනී සිටින රජරට ගොවියෙකුගේ පුතෙකි.

ගැමියාගේ මනස තුළ මෛත්‍රී ස්ථානගත වන්නේ රනිල් ස්ථානගත වූවාට වඩා උත්තර තැනක ය. මේ සටන නව මානයක් ගෙන තිබෙන්නේ ද ඒ නිසා ය.

නිවැරදි කවු ද යන්නට වඩා දිනන්නේ කවු ද යන්න මේ මැතිවරණයේ මූලික තේමාව වී තිබෙන බව ද විමසිය යුතු කරුණකි.

රාජ්‍ය යන්ත්‍රය දේශපාලනීකරණය වීමේ තරම එය කදිමට කියා පායි. මහන මැෂිමක් මාලු දැලක් මෝටර් සයිකලයක් ගත හැක්කේ කාට පක්ෂ වීමෙන් ද යන ප්‍රශ්නයට උත්තර ඇත්තේ එහි ය. රටට මොකක් වුනත් අපට යමක් ගත හැක්කේ කාගෙන් ද යන ප්‍රශ්නය මිනිසුන් මතු කිරීම අප ගොඩ නගා ගෙන ඇති දේශපාලන සංස්කෘතියේ දිග පළල කියා පාන්නේ ය.

ඒ නිසාම ලංගම බස්යොදා ඈත සිට මිනිසුන් ගෙන හෝ රැස්වීමේ බලය පෙන්විය යුතුව තිබේ. බස් වලින් සෙනග අද්දවා ඇති බව ජනතාවට ආරංචි වීම එහිදී වැදගත් කොට නොසැළකේ. එසේ හෝ සෙනග අද්දවා ගැනීමට ඇති හැකියාව පමණක් ඉස්මතු වෙයි. ප්‍රදර්ශනය කළ යුතුව තිබෙන්නේ බලය ය. නග්න බලය ය. මේ මැතිවරණයේ තරම් වෙන කිසිම මැතිවරණයක එවැන්නක් දැක ගත හැකි නොවී ය.

අප ගමන් කරන අනාගතය කෙබදු දැයි මේ මැතිවරණය අපට පෙන්වා දෙන්නේ ය. වඩාත් විමසිල්ලෙන් මේ මැතිවරණ ව්‍යාපාරය දෙස බලා සිටීමෙන් අපට රට තුළ හැඩ ගැහෙමින් තිබෙන මානසිකත්වයන් තේරුම් ගන්නට ඉඩ ලැබේ. ඒ ගැන සංවේදී සිටීම සිය උපාය මාර්ග සැළසුම් කිරීමේ දී කළමනාකරුවෙකුට වැදගත් වේ. එයට හේතුව මේ චන්දදායකයා ඔබෙ පාරිභෝගිකයා සේවාලාභියා සේවකයා හා ගනුදෙනුකරුවා ද වන හෙයිනි.

ඒ නිසාම දේශපාලනය ගැන උනන්දුවක් ඇතත් නැතත් මේ දිගහැරෙන ක්‍රියාදාමය හා ඒ තුළ ප්‍රකට වෙන කරුණු ගැන උනන්දුවක් කළමනාකරුවන් විසින් ඇති කර ගත යුතු ය. ඒ සඳහා තමන්ගේ පෙරහනයන් ඉවත දා මේ ක්‍රියාදාමය ලෙස බාහිර පාර්ශවකරුවෙකුගේ කෝණයෙන් බැලිය යුතු ය.

මැකෝ නොදන්න කළමනාකරණය


මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නාම යෝජනා බාර ගන්නා දින ජනතාවට අවවාදාත්මක කතාවක් කළේ ය. එහි සාරය වූයේ නායකයින් දෙපළ මෙන් බිම්මට්ටමේ සමාජිකයන් ද එකිනෙකාට ගෞරව දක්වමින් හැසිරිය යුතු බව ය. නායකයින් දෙපළ ආදර්ශයට ගෙන ජනතාව ද ඔවුන් මෙන් හැසිරිය යුතු බව ය.

බැලු බැල්මට එය අගනා කතාවකි. විමසුම් සහගතව බැලුවොත් එය කොළේ වහලා ගැහීමකි.

නායකයන්ට යන්නට ඉඩ හැර අනුගාමිකයින්ට තැලීමකි. නායකයන් වගකීමෙන් නිදහස් කරවීමකි.

මා උගත් කළමනාකරණයට අනුව අනුගාමිකයන්ගේ වැරදිවලට වගකිව යුත්තේ නායකයා ය. අනුගාමිකයන් නිසි මගට ගැනීමේ වගකීම ඇති නායකයින් සුදු කර අනුගාමිකයින් පමණක් කළු කිරීම මැතිවරණ කොමසාරිස් පදවිය හොබවන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඉහළ නිලධාරියෙකුට තරම් නොවේ.

එසේ වුව ද එය සිදු වෙයි. එයට හේතුව කුමක් විය හැකි ද? මැතිවරණ කොමසාරිස් කළමනාකරණය ගැන නොදන්නවා විය නොහැකි ය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් විවිධ මට්ටමේ දී කළමනාකරණය විෂයයට නිරාවරණය වෙයි.  ඔවුන් ඒ සඳහා පුහුණු කිරීමට විශේෂ ආයතනයක් ද තිබේ. ඒ සියල්ල තිබියදී මෙසේ වීම කෙසේ තේරුම් ගන්න ද?

නස්රුදින් නැතිවූ යතුර සෙවුවේ යතුර වැටුන තැන නොවේ. එලිය තිබුන තැන ය. හේතුව වැටුනු තැන අඳුරු වීම ය. අඳුරු තැනක යතුරක් සෙවිය හැකි ද? ඒ තර්කයට අනුව ඔහු කළ දේත් හරි ය.

නායකයන්ට කියා වැඩක් නැත. බය නැතිව යමක් කියන්නට හැක්කේ ජනතාවට ය. ඒ නිසා ජනතාවට බණ කිම තෝරාගැනීම ගැන මැතිවරණ කොමසාරිස්ට දොස් කිව හැකි ද? නස්රුදින්ට දොස් නොනගන්නේ නම් මැකෝට දොස් නගන්නට අපට බැරි ය.

මැතිවරණ කොමසාරිස්ලා නස්රුදින්ලා වී ඇති රටක කළමනාකරණයට අත් වනු ඇත්තේ කවර ඉරණමක් ද? මේ ප්‍රශ්නය මා නගන්නේ කළමනාකරණය ගැන ඉගැනීමට උනන්දුවෙන් මේ බ්ලොග් අඩවියට ගොඩ වෙන ඔබගෙන් ය.