තිත්ත ඇත්ත සගවා රසවත් බොරුවක් කීම – සාර්ථක උපායක් ද?


“මට විරුද්ධව ඔබ කියනා සියල්ල මම ප්‍රතික්ෂේප කරමි“.

මගේ විවේචකයන් කියන්නේ කුමක් වුව ද එය ඉතා කටුක වූත් අමිහිරි වූත් ඇත්තක් වූ කල මේ උත්තරය දී මට පලා යා හැකි ද?

ඇත්ත හා බොරුව අතරින් කළමනාකරුවෙකුගේ තෝරා ගැනීම කුමක් විය යුතු ද? ඇත්ත කටුක නම් එය සගවා මිහිරි බොරුවක් කීම වැරැද්දක් ද?

මගේ ආයතනයේ දුර්වලකම් මා විසින් ප්‍රසිද්ධියේ පිළිගත යුතු ද? ඒවා සගවා නැති ශක්තියක් ප්‍රදර්ශනය කිරීමෙන් මට ජය ලැබිය නොහැකි ද?

වැරදි සියල්ල ප්‍රතික්ෂේප කර ප්‍රසන්න චිත්‍රයක් මවා පෑමෙන් ආයතනයේ කීර්ති නාමය වැඩි දියුණු වේ නම් මා එසේ නොකළ යුතු ද?

මේ කළමනාකරුවෙකු විසින් සීරුවෙන් විමසිය යුතු ව තිබෙන ප්‍රශ්නයන් ය. බොහෝ අය නම් දෙවරක් නොසිතාම වැරදි සගවා නැති දේ කියා සිටීමේ ක්‍රියාමාර්ගය හරි යයි කියනු ඇත. වැදගත් වන්නේ අවසාන ඵලය නම් එය ලගා කර ගත හැකි මාර්ගය කුමක් වුවද කම් නැතැයි ඔවුන් කියනු ඇත. ඔවුන්ට මග හැරෙන්නේ වැරදි පිළිගැනීම නිසා ඇතිවන වාසි ය.

වැරදි පිළිගැනීම නිසා වාසි කිපයක් අත් වේ.

  • අනිත් සියලු වැරදි ඇත්තේ වුව ද තමන් සත්‍ය ගරුක බව එයින් අන් අයට ප්‍රදර්ශනය වේ.
  • වැරදි පිළිගත් විට ඒවා හදා ගැනීමට තමන් තුළ වැඩි උත්සහයක් ඇති වේ. ඒ නිසාම වඩා දියුණු වීමට මග සැළසේ.
  • සැගවූ වැරදි අනාවරණය වූ කල සිදුවන ඇබැද්දියෙන් ගැලවේ.
  • වැරදි සැගවීමට ගන්නා අමතර මහන්සිය කාලය හා සම්පත් ඉතිරි වේ.
  • වැරදි පිළිගත් නිසාම එය හදා ගනු ඇතැයි විශ්වාසයක් ගනුදෙනුකරුවන් අතර ඇති වේ.

අප ජීවත්වන වත්මන් ලෝකය වීදුරු ගෙයක් වැනි ය. ඒ තුල සැගවිය හැක්කේ අමාරුවෙනි.

වෙනදා මෙන් නොව අප අවට සිදුවන බොහෝ දේ ඉක්මණින් බොහෝ දෙනෙකු දැනගැනීම අපට තවදුරටත් වැළැක්විය නොහැකි ය. ඒ තොරතුරු තාක්ෂණය නිසා ය. ඒ නිසාම බොරුවට අප වෙත වාසියක් ගෙන ඒමට යම් ශක්තියක් අතීතයේ තිබුනා නම් එය ඉතා වේගයෙන් නැතිව යමින් තිබෙන්නේ ය.

ඒ නිසාම වසන් කරන්නට උත්සහ කිරීමේ අසීරු උත්සහය අත් හැර දමා වරද පිළිගෙන එය හදා ගැනීමට ඉක්මන් වීම අද යුගයට වඩාත් ගැලපෙන්නේ ය. කළමනාකරුවන්ට ඒ යථාර්ථයෙන් ගැලවිය නොහැකි ය.

එය ආයතනයකට පමණක් නොව, රටක් කළමනාකරණ අය විසින් ද සිහිපත් කරන්නේ නම්, රටට ද යහපතක් ම වන්නේ ය.

සතුට ගෙනෙන දියුණුව – දියුණුව ගෙනෙන සතුට


අප හැම දෙනෙක්ම කැමති අප තුළ තිබෙන දක්ෂතා හා හැකියාවන් වඩාත් තීව්‍රව ප්‍රකාශයට පත් කළ හැකි වැඩෙහි යෙදීමට ය. එහෙත් අපට සිදුවන්නේ ඒවා සගවා ගෙන වෙනත් වැඩක යෙදී ජීවත්වීමට නම් එතැන ඇති වන්නේ අසතුට ය.

එක් පැත්තකින් නායකයින්ගේ යුතුකම වන්නේ මිනිසුන් සතු මේ දක්ෂතා හා හැකියාවන් වඩාත් තීව්‍රව ප්‍රකාශයට පත් කළ හැකි වන්නාවූ ද ඒවා තවදුරටත් මුවහත් කර ගත හැකි වන්නාවූ ද පරිසරයක් – ආයතන ව්‍යුහයක් – සමාජයක් – නිර්මාණය කිරීම ය.

අනෙත් පැත්තෙන් අපගේ යුතුකම වන්නේ අපට පැවරී ඇති වගකීම ඉහළින් ඉටු කිරීමට අවශ්‍ය දක්ෂතා හා කුසලතා වැඩි දියුණු කර ගැනීමට ය. ඒ දක්ෂතා පිළිබද කැමැත්තක් ඇල්මක් ඇති කර ගැනීමට ය.

තර්කය නම් ආදරය කරන්නා කසාද බැදිය නොහැකි නම් කසාද බදින්නාට ආදරය කිරීමට කටයුතු කළ යුතු බව ය.

අපෙන් ඈත්ව ගිය සතුට අප වෙත නැවත ලංකර ගත හැක්කේ ඒ ක්‍රියාමාර්ගයන් මගිනි.

දෙවැන්න කියන තරම් පහසු නොවේ. පළමුවන්න ආයාසයක් නැතිවම කළ හැකි ය. දෙවැන්න සදහා අමතර පෙළඹවීමක් අවශ්‍ය ය.

ඒ නිසා ම වඩාත් සමාජයට ඵලදායක වන්නේ මිනිසුන් සතු දක්ෂතා හා හැකියාවන් වඩාත් තීව්‍රව ප්‍රකාශයට පත් කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම ය.

සමහර රටවල් අනෙත් රටවල් අභිබවා ද සමහර ආයතන අනෙත් ආයතන අභිබවා ද  දියුණුව කරා ගොස් ඇත්තේ පළමු මූලධර්මය අනුගමනය කිරීමෙනි.

පුද්ගලයින් සම්බන්ධයෙන් නම් එක්කෝ ඔවුන් එවැනි පරිසරයක් සොයා යා යුතු ය. නැත්නම් දෙවැනි උපාය මාර්ගය – එනම් තමන් සතු දක්ෂතා පසෙක ලා සමාජයට ආයතනයට අවශ්‍ය දක්ෂතා දියුණු කර ගැනීම – අනුගමනය කළ යුතු ය. පුද්ගලයින් දියුණුව ලබා ඇත්තේ ඉහත කී මාවත් දෙකින් එකක් ඔස්සේ ය.

මෙයින් අපට ලැබෙන උපදෙස සරල ය. කරන වැඩය ගැන සතුටු වීමට බැරිනම් වෙන වැඩක් සොයා ගන්න. නැතිනම් සතුටු විය හැකි ලෙසට තමන් කරන වැඩය නැවත සංවිධානය කර ගන්න.

නායකයන්ට ලැබෙන උපදෙස ද සරල ය. හැකි සෑම විටකම මිනිසුන්ට තම දක්ෂතා හා හැකියාව උපරිම ලෙස ප්‍රකාශයට පත් කළ හැකි ලෙස වැඩ සංවිධානය කරන්න. නැති නම් ඔවුන්ට සමු දෙන්න.

දියුණුව ඇතිවන්නේ හදවතේ සතුට සමග ය. කැමැත්තකින් කරන දෙයක් හැම විටම හොදින් කෙරෙන බැවිනි.

කදු නගින්නන්ගෙන් කළමනාකරුවන්ට පාඩමක්


කදු නැගීම අමාරු ය. දිවි මකුළුවන් නිසා අල්ලා ගැනීම සම්බන්ධයෙන් ගහක් ගැන විශ්වාසය තැබිය නොහැකි ය. පහසුවෙන් ගැලවෙන නිසා පය තැබීමට ගලක් ගැන විශ්වාසය තැබිය නොහැකි ය. ඒ නිසා මේ සදහා ධෛර්ය හා නිර්භීතභාවය පමණක් ප්‍රමාණවත් නොවේ. උපාය මාර්ගික දක්ෂතාවය ද ඊට අවශ්‍ය ය.

සමහර විට පය ගැසුවොත් බුරුල්වී ගැලවෙන බව දැන දැන ගල් මත අඩි තැබිය යුතු ය. ඒ ඊට වඩා ශක්තිමත් තැනකට පැන ගැනීමේ තාවකාලික අඩිතාලමක් ලෙස සළකා ගෙන ය.

තත්පර ගණනක් ඇතුළත ගල බුරුල්වී ලිස්සා යෑමට පෙර ඊළග ශක්තිමත් නවාතැන වෙත පැමිණිය යුතු ය. බුරුල් ගල අඩිය තැබිය හැකි පරිපූර්ණ නවාතැනක් නොවෙන බව දැන දැනම ඒ මත අඩිය තැබීම පහසු නැත. එහෙත් එය කළ යුතු ය.

මේ කතාව මා හා කීවේ මගේ ව්‍යාපාරික මිතුරෙකි. ඔහු සිය ව්‍යාපාරය ආරම්භ කරන්නට ප්‍රථමයෙන් භුගර්භ දෙපාර්තමේන්තුවට අනුයුක්ත වැඩ කළ අයෙකි. කදු නැගීමේ කාර්යයේදී ඔහු උගත් දෑ ඔහු සිය ව්‍යාපාරික උපායමාර්ග සකසා ගැනීම සදහා භාවිතා කරන්නේ ය.

කන්දක් කෙලින් නැගීම අමාරු ය. එහෙත් වටරවුමක් ගැසීමෙන් කදු මුදුනට ඊට ඉක්මණින් ලංවිය හැකි ය. කෙලින් කදු නැගීමට තනන්නෝ අගාධයන්ට වැටී නැසෙති. ක්‍රම ක්‍රමයෙන් වටයක් ගසා මුදුනට ලගා වෙන්නන් කල් වේලා ගත්ත ද අවසාන ඉලක්කයට ලං වන්නෝ ය. කදු නැගීමේ මේ අත්දැකීම ද අපට අගනා පාඩමක් කියා දෙයි. ඒ ඉවසිල්ලෙන් යා යුතු මග තෝරාගන්නා ලෙස ය. ඉලක්කයෙන් අන්ධ නොවන ලෙස ය.

කදු නැගීම සම්බන්ධයෙන් අත්දැකීම් ඇති අයට අපෙන් ආරාධනාවක් තිබේ. කදු නැගීමේ අනුගමනය කළ යුතු සුක්ෂම උපා අප සමග බෙදා ගන්නා ලෙස ය. එයින් කළමනාකරණ උපාය මාර්ග සකසා ගැනීමට මගක් විවෘත කර ගැනීම අපේ අරමුණ ය.

බොහෝ දෙනෙක් ඉගෙන ගන්නට හදන්නේ පොත් වලිනි. එහෙත් ජීවිතය අපට නොමිලේ පාඩම් උගන්වන බව ඒ අය අමතක කරති.

එහෙම කිව්වහම හිතෙන්නේ පොත් කුමකට ද කියා ය. එහෙම බැලුවහම මෙවැනි බ්ලොග් සටහන් වලින් ද වැඩක් නැත.

අනෙක් අතට ජීවිතයෙන් දෙන එහෙත් අපට මගහැරුණු පාඩම් පවා අපට මුණ ගස්වන්නේ පොත් ය. මෙවැනි ලේඛනය. එහෙම බැලුවහම පොතුත් ජීවිතයත් අතරින් එකක් තෝරා ගැනීමේ තේරුමක් නැත. කදු නගින්නන්ගෙන් තවත් උපා ලැබුනොත් ඒවා ගැන කියන්නට තවත් සටහනක් වෙන් කිරීමට අප කැමති ය.

65 වසරක නිදහස ගැන පසුවිපරමක්


කළමනාකරුවෙකු සතු අතිශය වැදගත් වගකීමක් වන්නේ පසු විපරම් හි යෙදීමයි. යම් වැඩක් අවසානයේ දී මෙන්ම වසරක් ආරම්භයේදී ද පසුවිපරමක යෙදීම වැදගත් ය. පළමුව ඒ අප කළ දේ දෙස බලා සතුටු වීමට ය. අප සාක්ෂාත් කළ දෙස බලා එයින් ඇති කර ගන්නා අභිමානය ඉදිරියට මුහුණ දෙන්නට අපට ශක්තිය ලබා දෙයි.

අප ගෙවුණු අතීතය දෙස වරින් වර හැරී බැලිය යුතු වන්නේ ඒ ශක්තිය ලබා ගැනීමට පමණක් නොවේ. අපට වැරදුනේ කොහේ දී කෙළෙසක දැයි දැනගැනීමටත් එය අවශ්‍ය ය. ඒ වැරදි තුළින් ඉගෙන ගැනීමට ය. එවැනි දේ නැවත නොවෙන්නට වග බලා ගැනීමට ය. ඒ සදහා ඉදිරිය සැළසුම් කිරීමට ය.

65 වසරක නිදහස් සැමරූ අප කී දෙනෙක් අප ආ මාවත දෙස නැවත හැරී බැලුවේ ද? එසේ හැරී බලන අපට පෙනෙන්නේ කුමක් ද?

අප ජයග්‍රහණයන් ලබා තිබේ. අපට දැන් පැයට කිමී 100 වේගයෙන් රිය පැදවිය හැකි අධිවේගී මාර්ගයක් තිබේ. බොහෝ මහාමාර්ගවල තත්වය ද උසස් ය. නව වරායක් ලැබී තිබෙන අතර කොළඹ වරායේ ද විශාල ක්‍රියාකාරකම් සිදු වෙමින් තිබේ. අපේ ඇගලුම් කර්මාන්තය ඉහළ මට්ටමක තිබෙන අතර සංචාරක කර්මාන්තයේ ද මෑත අවදියේ නව පිබිදීමක් ඇති ව තිබේ. අපට අඩු වශයෙන් එක ක්‍රීඩාවක ලෝක ශූරයන් වීමේ හැකියාව ලැබිණි. එම ක්‍රීඩාව ලොව පුරා ප්‍රචලිත නොවූව ද දියුණු රටවල් කීපයක් අභිබවා ඉන් ජය ලැබීමට අපට හැකි විය. අපේ උගතුන් විවිධ රටවල විවිධ ආයතනවල ඉහළ තනතුරු ලබා රටට කීර්තියක් ගෙන දී තිබේ. මේ සියල්ල ධනාත්මක ය.

අප කළ දේවල් තරමටම අප නොකළ දේවල් ද තිබේ. දුම්රිය මාර්ගය වසා දැමීමට මිස එය දිගු කිරීමට අපට හැකි වූයේ නැත. ස්ථාන කීපයක මිස අවශ්‍ය සියලු ස්ථානවල ගුවන් පාලම් ඇති කර වාහන තදබදය අවම කිරීමට අපට හැකිව නැත. අපේ මාර්ග බොහෝමයක පළල බ්‍රිතාන්‍යයන්ගේ කාලයේ තිබූ පළලට මදකින් වත් වෙනස් වී නැත.

අපට කිරීමට නොහැකි වැඩ වලට අමතරව අපට අමතක කළ නොහැකි බරපතල ඛේදවාචකයන් රැසකට ද අපි ගෙවී ගිය 65 වසර තුළ මුහුණ දී ඇති බව විපරම් කරන විට පෙනේ.

තරුණතරුණියන් විශාල ගණනාවකගේ ජීවිත පූජාවලින් කෙළවර වූ දකුණේ කැරලි දෙකක් ද අධික ජනතාවක් අවතැන් කළ ජීවිත ගණනාවක් බිලිගත් දිග්ගැසුනු යුද්ධයක් ද ඒ අතර වෙයි. පසුගිය 65 වසරින් 2/3 ක් ම අප ගෙවා ඇත්තේ හදිසි නීති පාලනය යටතේ ය. හදිසිය සාමාන්‍ය වන තැනට පත්වීම ද අප විසින් සැළකිල්ලට ගත යුතු ය.

අපේ රටේ විදේශ වෙළදාමේ විශාල පරතරයක් තිබේ. එයින් අදහස් කරන්නේ අප විදෙස් වලින් මිලදී ගන්නා දේ වල වටිනාකම අප විදෙස්වලට විකුණන දේවල වටිනාකමට වඩා විශාල වශයෙන් වැඩි බව ය. මෙම පරතරයෙන් 80% ක් පමණම අප පියවා ගන්නේ පිටරට රැකියා කරන රිසානා වැනි කාන්තාවගෙන් ය.

අප රටේ තරුණ පරපුරෙන් 50% ක් පිටරටට පැන ගැනීමේ අපේක්ෂාවෙන් පෙළෙන බව මැතකදි සරසවියකින් කරන ලද සමීක්ෂණයකින් හෙලිවී තිබේ. ගිය වසරේ පමණක් ඕස්ට්‍රේලියාව බලා ගිය නීති විරෝධි සංක්‍රමණයන් පුරවා ගත් බෝට්ටු 112ක් ගැන තොරතුරු ලැබී ඇත.

මේ ශේෂ පත්‍රය බලන විට පෙනී යන කරුණක් නම් අප අයත් කරගත් දේට වඩා අප විසින් අයත් කර නොගත් හා අපට බැරිව ගිය දේ අතිවිශාල බව ය.

අප දේශයට ආදරය කරන්නේ නම් අප විසින් කළ යුතුව ඇත්තේ මේ පසුවිපරම අපේ පක්ෂපාතිත්වයන් ඉවත ලා ස්වාධීනව සිදු කිරීම ය.

එහෙත් කණගාටුවට කාරණය වන්නේ අපේ දේශප්‍රේමය යොමුව ඇත්තේ අපට වැරදුන තැන් පෙන්වා දෙන ජාත්‍යන්තරයට චණ්ඩිපාට් පෙන්වීමට වීම ය. අපේ වැරදි ඔවුන් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට විය හැකි ය. එහෙත් අපට ඉන් වාසි ගත හැකි නම් අප එයින් වාසි ගත යුතු ය.

කළමනාකරුවන් තමන්ට එල්ල වෙන විවේචනයන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු වන්නේ විවේචකයාට පහර දෙන පිළිවෙතක්ම නොවේ. විවේචනය වැරදි හදා ගැනීමට ලැබෙන අවස්ථාවක් ලෙස අප විසින් ගත යුතු ය.

ඒ නිසා මේ ශේෂ පත්‍රය දෙස නැවත බැලීම අපේ යුතුකමය. අපට එල්ලවෙන විවේචන දෙස සාධනීයව බැලීම අපේ යුතුකම ය.

එසේ කරන්නේ නම් අනාගතය යහපත් වනු ඇත්තේ ය.