නායකත්වය ආකෘතීන් – විසි වෙනි සංශෝධනයට පසු වදනක්


See the source image

“2015 පෙරලිය ආවේ එවකට තිබුණු ඒකාධිපතිත්වයට උත්තර හැටියට. ඒත් පත් කළ ආණ්ඩුව ඇති කළේ අරාජිකත්වයක්. ඒක තමයි නැවත ඒකාධිපතිත්වයට මග පෑදුවෙ. ඒ ගැන ඔබේ විග්‍රහයත් එක්ක එකඟයි. ඒත් අරාජිකත්වයත් ඒකාධිපතිත්වයත් මැද්දෙ තව මොඩල් රාශියක් තියෙනව. autocratic leadership – consultative leadership – empowered leadership – shared leadership කියල. Dictatorship කියල කළමනාකරණ සාහිත්‍යයේ හඳුන්වන්නේ ඒකාධිපතිත්වයට Laissez-faire leadership කියල කළමනාකරණ සාහිත්‍යයේ හඳුන්වන්නෙ අරාජිකත්වයට. අනිත් සියල්ල ඒ දෙක මැද. අපි කරන්නේ පෙන්ඩියුලම් එකේ කෙළවරට ගිහිල්ල ඊට පස්සෙ මග නවතින්නෙ නැතුව අනිත් කෙළවරට යන එක”.

මගේ වත් පොතේ පල වූ සටහනකට දැක් වූ ප්‍රතිචාරයකට පිළිතුරු වශයෙන් මම ඉහත සටහන ලීවෙමි. මට සිතුනේ එය කළමනාකරණය සිංහලෙන් අඩවියේ ද පල කිරීම අවස්ථාවෝචිතය කියා ය. මේ සටහන ලියන්නේ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වූ දාට පසු දා ය. ඇතැමෙක් මේ සිද්ධිය සම්බන්ධයෙන් සැක සංකා ඇති කර ගත්ත ද බහුතරය කල්පනා කරන්නේ අවශ්‍ය සියලුම බලය නායකයාට පැවරීම යහපත් දෙයක් බව ය.

සමහරු එයින් අදහස් කරන්නේ සියල්ල ලබා දුන් නිසා දැන් සමාවට කියන්නට කාරණයක් නැති බව ය. අනෙත් අය සිතන්නේ තමන්ගේ සියලු ප්‍රශ්න විසඳා දීමට එරෙහි ව ඇති බාධක සියල්ල අභිබවන්නට මේ නිසා නායකයාට හැකි වනු බව ය. මේ බොහෝ දෙනෙකුට අනුව දැන් නායකයාට තියෙන්නේ වැඩ පෙන්වන්නට ය. අපට තියෙන්නේ බලා සිටින්නට ය. ඔහු දෙන දෙයක් ඉත සිතින් දෙන දෙයක් බාර ගන්නට පේවීම ය. ඒ සිතිවිල්ලට අනුව අප දැන් බෙලහීන නමුත් වගකීමෙන් නිදහස් ය. කළ හැකි සියල්ල කළ යුත්තේ නායකයා ය.

අවාසනාවට මේ කිසිම දෙයක් කරගන්නට නොහැකි අසරණ මිනිසුන්ගේ අපේක්ෂාව ය. ගැලවුම් කාරයෙකු පතන දුර්වලයන්ගේ අපේක්ෂාව ය.

කණගාටුවට ඇති කාරණය නම් මේ ඉහළ ගිය අපේක්ෂා ඉක්මණින් සුන් වීමට නියමිත වීම ය. ඒ තනි මිනිහෙකුට කළ හැකි දේ අල්ප නිසා ය. විශාල බලයක් කෙනෙකු තුළ ඒකරාශි වීම අත්තනෝමතික වීමට ඉඩ හසර සලසන්නේ ය. ඒ නිසා ම සෙසු අයට සවන් දීමට වඩා තමන්ට හරි යැයි සිතෙන දේ කිරීමට එයින් අවසර ලැබෙන්නේ ය. ඒ නිසා ම කරන දේ වැරදි විය හැකි ය. නොකරන බොහෝ දේ ද තිබිය හැකි ය.

අර්බුදයක දී කෙටි කාලීන විසඳුමක් උත්තරයක් වන අවස්ථාවක දී මේ බලයට ඉටු කළ හැකි කාර්යයක් තිබේ. එහෙත් සැලසුම් සකස් කරමින් යන දිගු ගමනක මෙවැනි බලයක් වැඩ කරන්නේ ම නුහුරට ය.

ඒ නිසා ම අනෙකුත් අප ඉහත සඳහන් කළ නායකත්ව මාදිලීන් වැදගත් වන්නේ ය. බලය බෙදා ගැනීම වැදගත් වන්නේ ය. බලය ප්‍රශ්න කරනු ලැබීම වැදගත් වන්නේ ය.

අප ර‌ටේ මෑත ඉතිහාසය තුළ සිදු වුනේ නායකත්වය අන්ත දෙකක් අතර දෝලනය වීම ය. යුද්ධය කාලයේ විශාල බලයක් අවශ්‍ය වූවා පමණක් නොව එය ලබා ගැනීමට ද හැකි විය. යුද්ධය අවසන් කිරීමට එය ඉවහල් වූවා නිසැක ය. එහෙත් ඊට පසුව ගෙවුනු අවදියේ ඒ බලය වැඩ කළේ ම නුහුරට ය. ප්‍රතිඵලය 2015 පෙරලිය ය. අවාසනාවකට එය සමග පැමිණියේ අනෙත් අනන්තය ය. එහිි ප්‍රතිඵලය නැවත ඒකාධිපතිත්වයක් ඉල්ලා හැඩීම ය. දැන් එය ලැබී තිබේ.

ඉතිහාසය නැවත නැවතත් හට ගනී. පළමුව එය ඛේදවාචකයක් වන අතර දෙවනුව එය විගඩමක් වනු ඇත. එසේ කීවේ සමාජ විද්‍යාඥයෙකු ලෙස ද ආර්ථික විද්‍යාඥයෙකු ලෙස දේශපාලන ශාස්ත්‍රඥයෙකු ලෙස ද ප්‍රකට කාල් මාක්ස් ය. දැන් අප මෙහි නිරීක්ෂකයන් පමණ ය. ඒ නිසා සිදු වන දේ දෙස බලා සිටින අතරේ මේ අන්ත දෙක අතර වෙනත් මාදිලි දෙස ද හැරී බැලීමට මෙය අවස්ථාවක් කර ගමු.

Dictatorship මාදිලිය ළඟට ඇති මාදිලිය autocratic leadership ය. එවැනි නායකයෙකු ද තනි තීරණ ගන්නා නායකයෙකු වන නමුදු ඔහු ද සෙසු අය මෙන් පවතින නීතියට යටත් ය. ඔහුට තීරණ ගත හැක්කේ නීතියෙන් පනවා ඇති සීමාවන් තුළ පමණ ය.

ඊළගට අපට හමුවන්නේ consultative leadership මාදිලිය ය. එහි දී ද තීරණ ගැනීමේ බලය නායකයා සතු වුුව ද ඔහු තනියම තීන්දු තීරණ ගන්නට යන්නේ නැත. සෑම විට ම අදාළ නිලධාරීන් විමසන්නට ඔහු වග බලා ගන්නේ ය. තමාව ප්‍රශ්න කරන්නට තමන්ගේ තීරණ ප්‍රශ්න කරන්නට ඉඩ හසර සලසන්නේ ය. ඒ සඳහා ඔහු ඇතැම් විට නීතියෙන් ද බැඳී සිටින්නේ ය.

ඉන් ඔබ්බෙහි අපට හමුවන්නේ empowered leadership යන මාදිලිය ය. එහි දී සිදු වන්නේ නායකයා තමන් සතු බලය හැකි තාක් පහළට බෙදා දීම ය. ඉහළ සිට ඒ බලය භාවිතා කරන හැටි අධීක්ෂණය කිරීම ය. අවශ්‍ය තැන් හි මැදිහත් වීම ය. ගුරුහරුකම් දීම ය. නායකයා ප්‍රමුඛත්වය දෙන්නේ දෙවැනි පෙල නායකයන් ගොඩ නැගීමට ය. ඔවුන් හරහා සෙස්සන් මෙහෙයවීම ය.

ඊළග මාදිලිය shared leadership ය. තීරණ ගන්නේ හවුලේ ය. ඇති කරගන්නේ සම්මුතීන් ය. නායකයා පමණටම බලයක් සෙසු අයට ද ඒ නිසා ලැබෙන්නේ ය. හවුලට ඉන්නා අය සම මට්ටමක සිටීම මේ සඳහා පූර්ව කොන්දේසියක් වන්නේ ය.

අවසානයට අපට හමුවන්නේ – Laissez-faire නායකත්වය ය. නැතිනම් අරාජිකත්වය ය. පහළ මිනිසුන්ට අවශ්‍ය ආකාරයට පන්දු කෙලින්නට ඉඩ දී තමන්ගේ වැඩක් බලා ගෙන සිටින නිවට නායකත්වය ය.

මේ නායකත්වය නැතිනම් නොනායකත්වයට කලින් අප සඳහන් කළ නායකත්ව මාදිලි තුන ම සඳහා එය හොබවන තැනැත්තාට කුසලතා රැසක් අවශ්‍ය කරන්නේ ය. ඒ කුසලතා නැති වුව හොත් ඒ නායකත්වය පල්ලම් බසින්නේ අවසානයට සඳහන් කළ අරාජිකත්වයට ය. එපමණක් නොවේ. එවැන්නකට ජනතා සූදානම ද අවශ්‍ය ය.

අපට 2015 දී සිදු වුනේ ඒක ය. අරාජිකත්වයට පල්ලම් බැසීම ය. අවසාන ප්‍රතිඵලය පෙන්ඩියුලම් එක අනෙත් අන්තයට ගොස් නතර වීම ය. මැදුම් පිළිවෙතේ නායකත්වයකට රට ද මෝරා තිබිය යුතු ය. ඒ සඳහා අදීන පුරවැසියන් ද වගකීම් ගන්නා මිනිසුන් ද අවශ්‍ය ය. අප රටේ අවාසනාව කුසලතා ඇති නායකයින්ගේ හිඟය පමණක් නොවේ. එවැන්නන්ට ශක්තිය සැපයීමට සමත් අනුගාමිකයන් ද ජනතාවක් ද නොමැති වීම ය. අද යුගයේ වියතුන්ගේ කාර්යය භාරය විය යුත්තේ දේශපාලනයට ගොඩ වැදීම ම නොවේ. එවැනි දැනුවත් මිනිසුන් හැදීමට තම දායකත්වය ද දීම ය.

ගනුදෙනු වල දී සූරා කෑමෙන් තොර සාධාරණත්වය


See the source image

පහළ ඇත්තේ ට්විටර් පණිවුඩයකි.

The economy is ultimately our material relationship with each other and with the rest of the living beings. Do we want that relationship to be based on extraction and exploitation or do we want it to be based on reciprocity and care?

ඉහත ප්‍රකාශය සිංහලට පෙරළුවොත් අදහස මෙසේ ය.

ආර්ථිකය යනු අවසානයේ අප එකිනෙකා අතරත් සෙසු ජීවින් අතරත් ඇති කර ගන්නා වූ ද්‍රව්‍යය ම ය සම්බන්ධය ය. ඒ සම්බන්ධය පදනම් විය යුත්තේ සූරා කෑම මත ද නැත්නම් ගනුදෙනුව හා එකිනෙකා බලා ගැනීම මත ද?

ඉහත ට්විටර් පණිවුඩය මා සමග බෙදා ගත්තේ වාමාංශික අදහස් දරණ, සමාජවාදය මගින් මිස මේ පවතින ක්‍රමය මගින් අප අතර ඇති ප්‍රශ්න වලට විසඳුම් නො ලැබෙන බව තරයේ විශ්වාස කරන, මගේ මිතුරෙකි.

ඒ නිසා ම මේ පණිවුඩය බෙදා ගන්නා විට ඔහු ඉඟි කර තිබුණේ නිදහස් වෙළඳ පොළ විසින් මේ සම්බන්ධය හරහා සූරාකෑමට ධනපතියන්ට අවස්ථාව ලබා දී ඇති බවත් ඒ නිසා එම ආර්ථික ක්‍රමය එකිනෙකා බලා ගන්නා එකිනෙකාගේ දායකත්වයට සාධාරණයක් ඉටු නොවන ක්‍රමයක් බව ය.

මේ සටහනින් අපේක්ෂා කරන්නේ අන්න ඒ මතය විමසීම ය.  

ඔහු මෙන් ම මා සිතන්නේ ද ගනුදෙනුව පදනම් විය යුත්තේ එකිනෙකා බලා ගන්නා එකිනෙකාට තමන්ගේ දායකත්වයට නිසි අගැයීමක් ලැබෙන සූරා කෑමෙන් තොර සම්බන්ධයක් මත බව ය. එය මගේ පමණක් නොව මේ කියවන ඔබගේ ද අපේක්ෂාව බව මම විශ්වාස කරමි.

එහෙත් ප්‍රශ්නයකට ඇත්තේ මේ එකිනෙකාගේ දායකත්වයට සාධාරණයක් වන සේ මේ ගනුදෙනුව තීරණය කරන්නේ කෙසේ ද යන්න ය. එය සමාජවාදය යටතේ සිදු වනු ඇද්ද නැත්නම් නිදහස් වෙළඳ පොළ ආර්ථිකයක් හරහා සිදු වනු ඇද්ද යන්න ය.

මේ සාධාරණ බෙදිල්ල සඳහා එක් ක්‍රමවේදයක් වනු ඇත්තේ සාධාරණ වූ මධ්‍යගත තැනකින් සාධාරණය කුමක් දැයි තීරණය කිරීම ය. කේක් කෑල්ල බල්ලා හා පූසා අතර බෙදා දීම සඳහා අපක්ෂපාත නරියෙකු සොයා ගැනීම ය. ඒ සාධාරණත්වය තීරණය කිරීමට මිණුම් දණ්ඩක් නොමැති අතර එහි දී අපට සිදු වන්නේ අප සතු මනෝමූලික නිගමනයන්ගෙන් මග පෙන්වීම ලබා ගැනීම ය. එහි දී අපගේ මනසේ අවිඥානික තලයේ පවතින අප ද නොදන්නා පක්ෂපාත කම් මේ නිගමනවලට බලපෑම් කරනු වළක්වන්නට බැරි ය.

දරුවන් කීප දෙනෙකු ඉන්නා දෙමාපියන් සිය දරුවන් විෂයෙහි ලා කොතරම් අපක්ෂපාතිත්වයක් ප්‍රදර්ශනය කරන්නට උත්සුක වුව ද දරුවන් බොහෝ දෙනෙකුගේ සිත් තුළ අනෙකාට විශේෂයක් කළේ යන සිතුවිල්ල ඇති වීම වළක්වන්නට අමාරු ය. බොහෝ විට එළිපිට ඒ බවක් නොකියන දරුවන් පවා හිත තුළ ඒ අදහසේ එල්බ ගැනීමෙන් වැළැක්වීම අමාරු ය. දෙමාපියන් හැටියට ද අප කොතෙක් අපක්ෂපාත වෙන්නට උත්සහ දැරුව ද අපට ද අපේ අවිඥානික අපක්ෂාපතකම් වලින් ගැලවෙන්නට අමාරු ය. එසේ තිබිය දී අතිවිශාල සංඛ්‍යාවක් අරබයා සම්පූර්ණයෙන් අපක්ෂපාත වෙන්නට හැකි මධ්‍යගත පාලනයක් තිබිය හැකි ද? එසේ තිබුන ද සාධාරණව බෙදා හැරීමට මිණුම් දඩු නොමැති වූ විට සිදු වන්නේ අනුමානයන් මත ක්‍රියාත්මක වීමට ය.

වෙන කෙනෙකුගේ ශරීරයේ උණ තියෙනවා දැයි බැලීමට අප කරන්නේ හිස මත අත තබා බැලීම ය. එයින් ලැබෙන්නේ අනුමාන අගයක් පමණ ය. උණ කටුවක් තබා බැලූ විට ඇතැම් විට පෙනෙන්නේ අපේ අනුමානය වැරදි බව ය. උණ බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති විටක එය අපට දැනෙන නමුත් ඒ උණ කෙතරම් දැයි අනුමාන කිරීමේ අප බොහෝ විට අසමත් ය. අනුමාන ඒ නිසා සාධාරණව බෙදා හැරීම සඳහා උචිත මිණුම් දණ්ඩක් නොවන්නේ ය.

මෙවැනි අනුමානයන් සහිත ව සිදු වන දෙදෙනෙකු අතර හුවමාරුවක දී නම් බොහෝ විට ප්‍රතිඵලය වන්නේ නිර්ලෝභී තැනැත්තා සූරා කෑමට ලක් වීම ය. ඔහු දෙන දෙයක් බාර ගෙන පැත්තකට වීම ය.

නිදහස් වෙළඳ පොලක් පවතින විට සැපයුම හා ඉල්ලුම අනුව මිල නියම වන බැවින් ඒ සඳහා කිසිවෙකුගේ තනි මැදිහත් වීමත් මධ්‍යගත පාලනයක මැදිහත් වීමක් සිදු නොවන නිසා ඒ මිල විෂය මූලික ය.

ප්‍රශ්නය වන්නේ නිදහස් වෙළඳ පොලක් නිර්මාණය කර ගැනීමේ ය. ලංකාවේ පොල් වෙළඳ පොල නිදහස් වෙළඳ පොලක් වුව ද හාල් වෙළඳ පොල නිදහස් නැත. ඒ හාල් මෝල් හිමියන් කීප දෙනෙකුගේ ඒකාධිකාරයක් තිබෙන නිසා ය.

අප ක්‍රියා කළ යුත්තේ ඒකාධිකාරයන් අවම කිරීමට ය. එවිට සූරාකෑමෙන් තොරව ඉල්ලුම හා සැපයුම අනුව මිල නියම කෙරෙන විෂය මූලික මිණුම් දණ්ඩක් හරහා සාධාරණත්වය ඉටු වන තත්වයක් ඇති වනු ඇත. එය අපගේ අනුමානයන් මත පදනම් ව කරන බෙදීමකට වඩා බොහෝ සෙයින් සාධාරණ වනු ඇත.

පත් කළ පාර්ශවයට පමණක් නායකයාට සේවය කළ හැකි ද?


See the source image

නායකයෙකු ඇතැම් විට පත් කරන්නේ ආයතනයක පාර්ශව කරුවන් අතරින් එක් පාර්ශවයකින් විය හැකි ය. ඇතැම් පෞද්ගලික ආයතනයක නම් ඒ පත් කිරීම සිදු කරන්නේ එහි අයිතිකරුවන් ය. රටේ නම් එහි ජනතාව ය. රාජ්‍ය ආයතනයක නම් පත්වීම් බලධාරියා ය.

පත් කළ අයගේ අපේක්ෂා ඉටු නොවන විටක පෞද්ගලික ආයතනයක නම් ඉක්මණින් ද රටේ නම් අවස්ථාව ආ කල ද රාජ්‍ය ආයතනයක නම් නිසි ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් පසු ද නායකයා වෙනස් කිරීමට මේ පත් කරන පාර්ශවයට පුළුවන.

ඒ නිසා ම නායකයා සෙසු පාර්ශව කරුවන් ට පිටුපස හරවා පත් වීම් බලධාරියාට රුචි අයුරින් ඔහුගේ/ඇයගේ ඔ්නෑ එපාකම් පමණක් බලමින් කටයුතු කළ හැකි ද?

ආයතනයක පැවැත්මට පාර්ශව කරුවන් ගණනාවකගේ දායකත්වය අවශ්‍ය ය. එක් පාර්ශව කරුවෙකුගේ වුවමනාවන් පමණක් බැලීමෙන් ආයතනය කඩා වැටීමට නියමිත බැවින් ඒ පාර්ශව කරුවාට ද එයින් අයත් වන්නේ අගතියකි.

අපි උදාහරණයක් ගෙන බලමු. පෞද්ගලික ආයතනයක නම් අයිතිකාරයා වඩාත් සතුටු වන්නේ ඉහළ ලාභයක් අත් කර ගැනීමෙන් ය. ඒ කටයුත්ත තුළ ආයතනයට වැඩදායක සේවකයන් අහිමි වන්නේ නම් පාරිභෝගිකයන් අහිමි කර ගන්නේ නම් ඒ ලාභය ඉක්මනින් අවසානයට පත් වනු ඇත. එහෙයින් දිගු කාලීන පැවැත්මක් ඇති කර ගැනීම උදෙසා පත් කළ පාර්ශවයේ වුවමනා එපාකම් ගැන පමණක් බලා ගෙන වැඩක් නැත.

දෙවැනි උදාහරණය සඳහා රටේ නායකයා දෙස බලමු. රට්ටු වඩාත් කැමති වනු ඇත්තේ තමන්ට හැකිතාක් දේ නොමිලේත් පහසුවටත් ඉක්මණටත් ලබා ගැනීමට ය. ණය වී හෝ ඒ කටයුතු ඉටුකරන පාලකයෙකු ඈත බලන ජනතාව විසින් නම් ප්‍රතික්ෂේප කරනු ඇත. එසේ ඉක්මණින් ප්‍රතික්ෂේප නොකළ ද ණය ගෙවා ගන්නට බැරිව තටමන විට ජනතාව ඔහු/ඇය විසි කර දමනු ඇත. ඒ නිසා නිශ්පාදනයේ යෙදෙන ආයෝජකයන් ගණනින් අඩු වුව ද ඔවුන්ගේ චන්ද ගණන සීමා සහිත වුව ද ඔවුනට පහසුකම් සැලසීමට රටක නායකයෙකුට සිදු වන්නේ ය.

මේ කරුණු සළකා බැලූ විට පෙනෙන්නේ පත් කරන තැනැත්තා හෝ පාර්ශවය දෙස බලා ගෙන වැඩ කරන නායකයින්ට අන්තිමේ කළ ගුණ සලකන්නට වත් ඒ පාර්ශව කරුවාට ද නොහැකි වන තැනට කරුණු යෙදෙන නිසා එසේ නො කළ යුතු බව ය. සියලු පාර්ශව කරුවන් ගැන සොයා බැලිය යුතු බව ය. තුලනයක් සහිත ව තම රාජකාරියේ යෙදිය යුතු බව ය. එසේ නොකළොත් තමන් පත් කළ පාර්ශවයට පවා යුතුකම් ඉටු කිරීමට නොහැකි වන බව ය.

නායකයෙකු අවශ්‍ය ද?


See the source image

(මේ සටහන මුලින් පළ කළේ මගේ ම වචන සෙල්ලම් බ්ලොග් අඩවියේ ය. එහෙත් මෙය කළමනාකරණය සම්බන්ධ විෂයයක් ද වන නිසා නැවත මෙහි ද බහා ලමි.)

නායකයා හා බලය පිළිබඳ සංවාදයේ දී අපගේ සගයෙකු මතු කළ ප්‍රශ්නයක් වූයේ නායකයෙකු අවශ්‍ය ද යන්න ය. බැලූ බැල්මට අහන්නත් ප්‍රශ්නයක් දැයි සිතුන ද එය විමසා බැලිය යුතු ය. ඒ හරහා අපට බොහෝ දෑ ඉගෙන ගත හැකි නිසා ය.

නායකයෙකුගේ අවශ්‍යතාවය පොදුවේ සතුන්ට ඇති ප්‍රශ්නයකි. රංචු ලෙස හැසිරෙන බොහෝ සතුන්ට නායකයෙකු වෙයි. එය වඳුරු රැලක, අලි රෑනක, දැක ගත හැකි ය. ප්‍රධාන වුවමනාව මතු වන්නේ බාහිර තර්ජන නිසා ය. එවැන්නක දී රංචුව ම එක ම තාලයකට, එක ම වාදනයකට, එක ම අණකට අනුව හැසිරුණේ නැත්නම් සතුරාට යටත් වීමට සිදු වන නිසා ය. එක් අණකට කටයුතු කරන විට සිදු වන්නේ කණ්ඩායම තනි විශාල බලයක් ලෙස නැගී සිටීම ය.

‌ගෝත්‍රයකට නායකයෙකු ආවේ ඒ අනුව ය. ප්‍රදේශ පාලනයට රදලයෙකු පැන නැංගේ ඒ අනුව ය. කුඩා පෙදෙස් එකතුව රාජ්‍ය ගොඩනැගුණේ ද ඒ අනුව ය. කුඩා රාජ්‍ය අධිරාජ්‍ය වූයේ ද ඒ අනුව ය.

සතුන්ට වඩා මිනිසුන් වෙනස් ය. එපමණක් නොවේ. උන් පැරණි හැව ඉවත දමා දිනෙන් දින අලුත් වෙති. මේ තත්වය යටතේ සතුන්ට වඩා වෙනස් ලෙස, ඊයේට වඩා වෙනස් ලෙස, නායකයෙකු සැබෑවට ම අවශ්‍ය දැයි විමසුමට ලක් කිරීම වැදගත් නැද්ද?

මෙහි දී අපේ සැලකිල්ලට ලක් වන්නේ මිනිස් ස්වභාවය ය. කණ්ඩායම් ගතිකත්වය පිළිබඳ පරීක්ෂණය කළ අය සොයා ගෙන ඇත්තේ කණ්ඩායමක් ලෙස සාර්ථක වීමට නම් කණ්ඩායමේ සාමාජිකයන් ගණන හතකට ආසන්න විය යුතු බව ය. ඒ අපට අපේ මනසේ සීමාවන් නිසා කරදරයකින් තොර ව එකවරකට පවත්වා ගෙන යා හැකි සම්බන්ධතා ගණන ය. එයට වැඩි වන අවස්ථාවන් හි බොහෝ විට දැකිය හැක්කේ කණ්ඩායම කැඩී කුඩා කණ්ඩායම් බිහි වීම ය.

මෙය මනා ලෙස නිරීක්ෂණය කළ හැකි අවස්ථාවක් අපට උපන් දින සාදයකට සහභාගි වීමේ දී දැක ගත හැකි ය. මුල දී ඉන්නා ටික දෙනා සතුටු-සාමිචියේ යෙදී ඉන්නේ බොහෝ සුව පහසුවෙන් ය. පිරිස වැඩි වන විට ඒ සාම්‍යය බිඳෙන්නේ ය. ඊළඟ අදියරේ දී ඉබේ ම මේ පිරිස කුඩා කණ්ඩායම් ලෙස වෙන් වෙනු දකින්නට පුළුවන. මේ පිරිස නැවත එකතු කිරීමට නම් නායකයෙකුගේ බිහි වීම අවශ්‍ය වන්නේ ය. නිවේදකයෙකු, ගායකයෙකු, මැජික් ශිල්පියෙකු හෝ කතන්දර කියන්නෙකු ලෙස මතු වන්නේ මේ නායකයා ය. සෙසු අයට අත් පොඩි ගැසීමෙන් පුංචි යමක් කීමෙන් තම දායකත්වය දරා සෑහීමකට පත් වන්නට සිදු වන්නේ ය. නැතිනම් තමන්ට ඒ තැන ගන්නට කිසිවක් කිරීමට සිදු වන්නේ ය. නායකත්වය වරින් වර වෙනස් විය හැකි නමුත් නායකයෙකු පවතින්නේ ය. නැතිනම් කුඩා කව බිහි වන්නේ ය.

ආයතනයකට නායකයෙකු අවශ්‍ය වන්නේ මන් ද යන ප්‍රශ්නය විමසීමට මේ පසුබිම ප්‍රමාණවත් ය. ඊට අමතර සාධක ද කීපයක් එකතු වේ. ආයතනයක පාර්ශව කරුවන් බොහෝ ය. එක් පැත්තකින් පාරිභෝගික අවශ්‍යතාවයන් ය. තව පැත්තකින් ආයතනයේ සේවකයින්ගේ වුවමනා එපා කම් ය. තව පැත්තකින් අයිතිකරුවන්ගේ කොටස් හිමියන්ගේ අපේක්ෂා වන් ය. සැපයුම් කරුවන් ද ණය දෙන ආයතන ද සමාජය ද කරන බලපෑම් ද මේ අතරට එක් වන්නේ ය. මේවා එකිනෙකට වෙනස් ය. එපමණක් නම් මදෑ. ආයතනයකට තරඟ කරුවන් ද බොහෝ ය.

මේ සියල්ල තුලනය කර තීරණ ගත හැකි පරිගණකයක් හෝ කෘතිම බුද්ධියක් තවම ගොඩ නගා නැත. එවන් තත්වයක් යටතේ ඒ සියළු අපේක්ෂා ගොනු කළ හැකි එක් තැනක් අවශ්‍ය ය.  මේවායේ සමස්ත බලපෑම සලකා බලමින් තීරණ ගැනීමට නායකයෙකු අවශ්‍ය ය.

නායකයෙකු යැයි කී විට බොහෝ දෙනෙකුගේ සිතට එන්නේ ම තනි පුද්ගලයෙකු ය. එහෙත් ඇතැම් විට එය නායකත්ව මණ්ඩලයක් විය හැකි ය. එහි ද කටයුතු නියාමනයට එක් පුද්ගලයෙකු පත් කර ගත යුතු ය.

ඇතැම් තැනක දැක ගත හැක්කේ බෙදා හදා ගත් නායකත්වයකි. එයින් අදහස් කරන්නේ නායකත්වය යෙදෙන ප්‍රස්තුතය අනුව කීප දෙනෙකු අතර වරින් වර හුවමාරු විය හැකි බව ය. මේ සඳහා හොඳ ම උදාහරණය නිවස ය. සැමියා හා බිරිඳ වගකීම් බෙදා ගෙන තමන්ගේ වපසරිය තුළ නායකත්වය දරණ අතර උදා වන තත්වය අනුව නායකත්ව භූමිකාව දෙදෙනා අතර මාරු කර ගනු දකින්නට පුළුවන.

නායකත්ව මණ්ඩලයක් තනි නායකයෙකුට වඩා සාර්ථක වීමේ වැඩි ඉඩක් තිබේ. ඇතැම් නායකයන්ට සාමාන්‍ය සාමාජිකයන්ට වඩා දුර පෙනෙන්නේ ය. ඇතැමුන් දක්ෂ සංවිධානයේ ය. ඇතැමුන් දක්ෂ සන්නිවේදනයට ය. මෙහෙයවීමට ය. තවත් අය දක්ෂ වන්නේ නියාමනය ට ය. ඒ සියල්ල එක පුද්ගලයෙකු තුළ නො පිහිටන්නට ඉඩ ඇති නිසා නායකයෙකු වෙනුවට ගොඩ නැගිය යුත්තේ බෙදා හදා ගන්නා නායකත්වයකි.

නායකයෙකු වඩාත් සාර්ථක වන්නේ තමන්ගේ පැවැත්ම හැකිතාක් අඩුවෙන් ප්‍රදර්ශනය කරන්නට හැකි නම් ය. එවන් අවස්ථා එළඹෙන්නේ බලය හැකිතාක් විමධ්‍යගත කළ තත්වයක ය. එහෙත් නායකයෙකු නිශේධනය කරන තරමට නම් අප තවමත් දියුණු වී නැත. එය රාජ්‍යය මිලින ව යනවා යැයි කියූ කොමියුනිස්ට් යුතෝපියානු සිහිනයේ ම නිවුන් සහෝදරයෙකු පමණ ය. සිහින දැකීමේ වරදක් නැත. එහෙත් ඒ සිහින මහ පොළොවේ පැල කිරීමට තවත් කොන්දේසි සම්පූර්ණ කර ගත යුතු ය.