කළමනාකරණය සිංහලෙන් – ව්‍යාපාරයක සමාජ වගකීම (Corporate Social Responsibility)


ව්‍යාපාරයක් පාලනය කරන කළමනාකරුගේ මුල්ම වගකීම ඇත්තේ ව්‍යාපාරයේ අයිතිකරු නැත්නම් ආයෝජකයාට ය. ඔහුගේ ආයෝජනයට යුක්තිය ඉටුකිරීම උදෙසා එහි ප්‍රතිලාභ ඔහුට ලබා දීමට කළමනාකරු උත්සුක විය යුතු ය. කැප විය යුතු ය. ඒ තමන්ගේ වැටුපට සාධාරණය ඉටු කිරීම උදෙසා පමණක් නොවේ. කළමනාකරුගේ රැකියාවේ ඉදිරිය ද ඇතුළත් ව්‍යාපාරයේ ඉරණම ඒ අනුව තීරණය වන නිසා ය. දිගින් දිගට පාඩු ලබන ආයතනයකට ආයෝජනය කරන්නට ආයෝජකයින් සොයා ගත නොහැකි ය.

එසේ වුව ද කළමනාකරුට ව්‍යාපාරයේ සේවාලාභීන් සම්බන්ධයෙන් ද වගකීමක් තිබේ. ඔවුන් නැතිව ද ව්‍යාපාරය පවත්වා ගත නොහැකි ය. Customer is the King වන්නේ ඒ අනුව ය.

ඊට අමතරව තමන්ගේ සේවකයින් සම්බන්ධයෙන් ද යුක්තිය ඉටු කිරීමේ වගකීමක් කළමනාකරුට තිබේ. ඔවුන් නැතිව ද ව්‍යාපාරය ගෙන යා නොහැකි ය. එය වටිනාම සම්පත ලෙස හදුනාගනු ලබන්නේ ඒ අනුව ය.

මේ ආකාරයටම තමන්ගේ සැපයුම්කරුවන් ඇතුළු සියලු ඍජු පාර්ශවකරුවන් සම්බන්ධයෙන් වගකීමක් කළමනාකරුට ඇත.

එතැනින් වගකීම අවසාන වූවා නම් කළමනාකරුගේ භූම්කාව තරමක් හෝ සරල වන්නට තිබිණි. එහෙත් දැන් කියන්නේ ඉන් ඔබ්බට ද කළමනාකරුගේ වගකීමක් ඇති බව ය. එය පොදු සමාජයට ය. තමන්ගේ ව්‍යාපාරය පවත්වන ප්‍රදේශයේ ප්‍රජාව සම්බන්ධයෙන් ද ව්‍යාපාරය පවත්වාගෙන යන රටේ පුරවැසියන් සම්බන්ධයෙන් ද වගකීමක් ඇති බව ය. තමන්ගේ ව්‍යාපාරය අයත් කාර්මික ක්ෂෙත්‍රය (industry) සම්බන්ධයෙන් ද එහි පොදු උන්නතිය සම්බන්ධයෙන් ද වගකීමක් ඇති බව ය. තමන් ජීවත්වන වටපිටාව හා පරිසරය රැක ගැනීම ද ඊට ඇතුළත් බව ය. ඉදිරි පරම්පරාවන් වෙනුවෙන් එය රැකගැනීම සම්බන්ධයෙන් ද ඔහු බැදී සිටින බව ය. පොදුවේ ජන සමාජයේ අභිවෘද්ධිය වෙනුවෙන් ද ඔහු බැදී සිටින බව ය.

එසේ වන්නේ එය පුණ්‍ය කටයුත්තක් නිසාම නොවේ. ඒ හැම දෙයක්ම ව්‍යාපාරයේ දිගුකාලීන පැවැත්මට අවශ්‍ය හා බලපෑම් කළ හැකි සාධක වන හෙයිනි.

ඒ නිසාම ලාභ පාඩු පිළිබද මානසිකත්වයෙන් හා සිය කාර්මික වපසරියෙන් ඔබ්බට ගොස් රටේ නීති පිළිපදින ආයතනයක තත්වයට එය පත් කළ යුතු ය. එතැනින් නොනැවතී පොදුවේ තමන් වෙසෙන පරිසරය ගැන සංවේදී වෙමින් එහි උන්නතිය පතා වැඩ කළ යුතු ය.

පසුගිය කාලයේ ලොව බොහෝ අර්බුදයන්ට මේ වගකීම දැරීම පැහැර හැරිම ද එක් හේතුවක් වූයේ ය. ඒ අර්බුද පෙරලා ව්‍යාපාරයන් ද අර්බුදයකට ගෙන ගියේ ය. ඉදිරිය යහපත් වනු ඇත්තේ කළමනාකරුවන් මේ සමාජ වගකීම තමන් වෙතට පවරා ගැනීම මත ය.

එසේ වගකීම් බාර ගැනීමට ඉදිරිපත් වන කළමනාකරුවන් නීතියෙන් එහා ගොස් සමාජ යුතුකම් ඉටුකිරීමට කටයුතු කරනවාට අමතරව නීතිය හරස්වන තැන්වල හා ප්‍රමාණවත් නොවන තැන් වල නීතිය වෙනස් කිරීමට උදෙසා පෙනී සිටීම ද තමන්ට අයත් කටයුත්තක් ලෙස සළකනවා ඇත.

එසේ සංවේදී ව්‍යාපාරයන් සහිත සමාජයක් අර්බුදයකට යන්නේ නැත. එවැනි වටපිටාවක් ඇතිකිරීමෙන් වඩාත් වැඩි ලාභයක් හිමිවන්නේ ද ව්‍යාපාරිකයින්ට ය. මක්නිසාද යත් අන් අය මෙන් නොව තමන්ගේ වත්කම් අනාගත ප්‍රතිලාභ පතා අවදානම් ගෙන ආයෝජනය කර ඇත්තේ ද ඔවුන් බැවිනි.

සංඥාවෙන් අදහස් වන්නේ සංඥාවට ප්‍රතිවිරුද්ධය දෙය නම්


ලංකාවේ පාරක ගමන් කරන ඔබට හිටි හැටියේ පාරේ සායම් කර සකස් කර ඇති ඊතලයට විරුද්ධ දිසාවට ගමන් කරන්නට සිදු වුනු වාර බොහෝමයක් ඇති බව මට විශ්වාස ය. නිදහස් චතුරශ්‍රය අවට ඔබ පහුගිය දිනයක වාහනයක් ධාවනය කර ඇත්නම් තවත් ඒ ගැන කියන්නට වුවමනා වන්නේ නැත. මේ සටහන එම පාරේ ගමන් කිරීමෙන් පසු ඇති වූ ආතතිය සමහන් කරනු පිණිස ලීව ද මෙයින් කළමනාකරණයේ වැදගත් පැති කඩක් නිරාකරණය කිරීමට හැකි වීම ගැන සතුටු වෙමි.

කළමනාකරණයේ දී සන්නිවේදනය වැදගත් ස්ථානයක් ගන්නා ක්‍රියාවලියකි. පිරිසක් එක්ව වැඩක් කිරීමේදී ගැටුම් ඇති නොකර ගෙන යම් සම්මුතියකට අනුව වැඩ කිරීමට සන්නිවේදනය මහෝපකාරී වේ.

පාරක ඊතල ගසා ඇත්තේ ඒ දිසාවට ගමන් කරනු පිණිස මග පෙන්වන්නට ය. ඒ ඊතල එසේම තිබියදී ගමනේ දිසාව වෙනස් කළ විට සිදුවන්නේ මනස තුළ ගැටුමක් නිර්මාණය වීම ය. එහි අවසන් ඵලය ඊතලයකට හිමි වටිනාකම අහිමිවීම ය. ඊතලය ගැනත් එයින් ගෙනෙන සන්නිවේදනය ගැනත් විශ්වාසයක් නැති වීම ය.

සංඥාවෙන් අදහස් කරන දෙයට ප්‍රතිවිරුද්ධය දෙය ක්‍රියාත්මක වේ නම් එයින් හෑල්ලුවට ලක්වන්නේ ඒ සංඥාව පමණක් නොවේ. ඒ සංඥා නිකුත් කරන ආයතනයේ මුලු සංඥා පද්ධතියම ය.

ආයතනයක් තුළ වුව ද තත්වය එසේ මය. සන්නිවේදනය බිද වැටුනු ආයතනයක් තුළ ඉතිරි වන දේ අල්ප ය. රටකට පවා ඉන් මිදිය නොහැකි ය.

මිනිසුන් සංඥා පද්ධතිය මගහැර ඊට පිටුපා ගොස් සියල්ල කටින් අසා දැන ගන්නට සිතන්නේ එහෙම වෙලාවට ය. ඒ නිසා පාරේ අප කාටත් දැක ගත හැකිව තිබෙන මේ අර්බුදය අපේ ආයතන වැඩි දියුණු කර ගැනීමට යොදා ගැනීමෙන් අපට යම් ඉගෙනුමක් ගත හැකි ය. එයින් අප තුළ මාර්ග සංඥා පද්ධතිය ඇති කරන ආතතිය තුනී කර ගැනීමට පුලුවන.

මාර්ග සංඥා පද්ධතිය විහිලුවට ලක් කර තිබීම ගැන අදාළ බලධාරීන්ට මැසිවිලි නගනවාට වඩා එයින් ඉගෙන අපටවත් හැදෙන්නට හැකි නම් එය ද යහපත් ය.

හැම කලු වළාවකම රිදී රේඛාවක් ඇතැයි කියන්නේ මේ නිසා විය යුතු ය.

කළමනාකරණ ප්‍රතිසංස්කරණ – බර වචනයක් වුනත් ආයතනයක් හෑල්ලු කිරීමට ඊට පුලුවන


ප්‍රතිසංස්කරණයන් කිරීම ආයතනයක පැවැත්මට ද වර්ධනයට ද එකසේ අවශ්‍ය ය. එහෙත් සෑම ප්‍රතිසංස්කරණයක් යහපතක් ගෙනෙන්නේ නැත. සමහර ප්‍රතිසංස්කරණ කොතරම් යහපත් අභිමාර්ථයෙන් කරන්නේ වුව ද අවසානයේ ඒවායින් අයහපතක් ඇති වන්නට පුලුවන.

යම් ආයතන ප්‍රධානියෙකු ආගම සිහිකර වැඩ ආරම්භ කිරීමේ වැඩ පිළිවෙලක් හදුන්වා දෙන්නට සිතන්නේ සැබැවින්ම යහපත් පරමාර්ථයෙන් විය හැකි ය. එහෙත් වෙනත් ආගම්වල සේවකයින් ද ආයතනයට පැමිණෙන වෙනත් ආගමික සේවා ලබන්නන් ද එයින් කොන්වන්නට ඉඩ තිබේ. මේ ආයතනය අහවල් ආගමේ ආයතනයක්ය යන හැගීම වෙනත් ආගම්වල අය ඉන් බැහැරව යාමට හේතුවක් වෙයි.

ආයතනය වඩාත් හොදින් සකසා ආයතනයට බාහිරින් වටිනා පෙනුමක් දීමේ අපේක්ෂාවෙන් එක් පුද්ගලයා සදහා වෙන්ව ඉදිකරන කළමනාකරණ කුටි නිසා මෙතෙක් එකට වැඩ කරගෙන ගිය අය වෙන්වෙන්නට ද ඒ නිසාම වෙනදා තිබූ කණ්ඩායම් හැගීම අඩු වන්නට ද පුලුවන.

එවැනි ප්‍රතිසංස්කරණයක් දකින විට එකක් කඩතොලු මකන්නට ගිය ඉදුරුවේ ආචාරියා අවසානයේ දහසක් කඩතොලු හැදූ කතාව ඉබේම සිහිපත් වෙයි.

හැම වෙනසක්ම බොහෝ මානයන් වෙනස් කරන බැවින් සිදුවන සාධනීය වෙනස මෙන් ම නිශේධනීය වෙනස ද ගැන සැළකිල්ලෙන් ද හැම මානයක්ම පිරික්සමින් ද ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු ය.

එපමණක් නොවේ. අදාළ ප්‍රතිසංස්කරණය ආයතනයේ මෙහෙවර (mission) ප්‍රකාශය කොතෙක් දුරට ශක්තිමත් කරන්නේ ද ආයතනයේ දැක්ම (vision) සාක්ෂාත් කරගැනීමට කොපමණ දුරට හේතු කාරක වන්නේ ද ආයතනයේ අගැයීම් පද්ධතියට (values) කොතෙක් අනුකූල වන්නේ ද ආයතයේ ප්‍රමුඛතාවලට (priorities) කොපමණ දුරට දිරියක් වන්නේ ද යන්න ගැන සැළකිල්ලෙන් ක්‍රියාත්මක කළ යුතු ය.

බොහෝ මහජනයා ගැවසෙන ආයතනයක පඩි පෙළක ඊතල ඇද යා යුතු දිසාව ලකුණු කිරීම ඵලදායී ය. එහෙත් නිර්මාණාත්මක වැඩ කටයුතු කරන කීප දෙනෙක් පමණක් ඉන්නා ආයතනයක එවැන්නක් හදුන්වාදීම අනවශ්‍ය බාධකයක් ආයතනය මත පැටවීමකි. ඒ නිසාම ප්‍රතිසංස්කරණ ප්‍රතිසංස්කරණ සදහා නොව  ආයතනයේ ඵලදායීබව නැංවීම සදහා සුදුසු ද යන්න සළකා බැලීමෙන් කළ යුතු ය. ඒ සදහා ආයතනික සන්දර්භය (context) විමසිය යුතු ය.

අවාසනාවකට බොහෝ ආයතන තුළ සිදුකරණ ප්‍රතිසංස්කරණ එවැනි දැක්මකින් නොකරන නිසාම ඒවා යහපත අපේක්ෂාවෙන් කරතත් අයහපත් මැදිහත්වීම් බවට අවසානයේ පත් වීම වැළැක්විය නොහැකි ය.

Management in Sinhala – රාවය පුවත්පත පළකිරීම ප්‍රතික්ෂේප කළ අපේ ලිපිය


Following is an article sent to Ravaya as a reply to an article published in the same news paper. Ravaya did not publish this reply. I thought to publish it here as it is also related to management. රාවය පුවත් පත පහත ලිපිය පළ නොකළේ ඇයි ද යන්න අදටත් අපට උත්තර සොයාගත නොහැකි වූ ප්‍රශ්නයකි. මුල් ලිපිය ගැන අවබෝධයක් නැතිව ද මේ ලිපිය කියවිය හැකි ය.

තරඟය පිළිකුලෙන් බැහැර කළ යුතු ද ඉඹලා පිළිගත යුතු ද?

”සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන” යන ගීතය ඔබට මතක ඇතැයි සිතමු. ජෝ සෙනෙවිරත්න මහතා ඔක්තෝබර් 16 ඉරිදා රාවය පුවත් පතේ පළ කළ  ඕෂෝගේ ලිපියෙන් ගයන්නේ ද ගුණදාස කපුගේ ඒ ගීයෙන් කියූ කාරණයම ය. මෙය අලූත් අදහසක් නොවේ. තරඟය පිළිකෙව් කිරීම අපේ ජාතියේම ලක්ෂණයකි. තරඟය සම්බන්ධයෙන් ඇති ඒ විරෝධය අපේ ශරීරයටම ඇටුවන් බැස තිබේ. ඒ නිසාම මේ ලිපිය ජෝ සෙනෙවිරත්නට හෝ ඔහු විසින් උපුටා දක්වන  ඕෂෝට පිළිතුරක් නොවේ. අප හැම දෙන අඩු වැඩි වශයෙන් පිළිකුල් කරන තරඟය නම් වූ වැදගත් මාතෘකාව ගැන කරන සංවාදයට අලූත් මානයක් එක් කිරීමට කරන ලද කුඩා උත්සහයකි.

චාල්ස් ඩාවින් විසින් ඉදිරිපත් කළ, පසුව බොහෝ දෙනෙකු විසින් ඌණ පූර්ණනය කරන ලද, පරිණාමවාදයේ සඳහන් එක් අදහසක් නම් යම් සත්ත්ව ප‍්‍රභේදයක් අනෙක් සත්ත්ව ප‍්‍රභේදයට වඩා කිසියම් විශේෂ හේතුවක් කාරණා කොට ගෙන ඉදිරියෙන් වෙයි ද එවැනි සත්ත්ව ප‍්‍රභේදයකට දෙවැන්න අභිබවා සංරක්ෂණය විය හැකි බව ය. දෙවැනි සත්ත්ව කොට්ඨාෂය තරඟයෙන් පැරද ඉවත්ව යන බව ය.

සමාජ පරිණාමය ගැන සැළකුවේ වුව ද අප දකින්නේ පැරණි යල්පැන ගිය සමාජ සංස්ථා හා මතවාදයන් අභිබවා තරඟයකින් පසු ජය ස්ථාප්තිත කරගනු ලබන අලූත් සමාජ සංස්ථා හා මතවාදයන් ය. වහල් ක‍්‍රමය පරදවා වැඩවසම් ක‍්‍රමයත් එය අභිබවමින් ධනේෂ්වර ක‍්‍රමයත් ඉදිරියට එන්නේ ඒ අනුව ය.

වෙළඳපළ ක‍්‍රමය තුළ මෙය වඩාත් මතුව කැපී පෙනෙයි. පැරණි තාක්ෂණය අභිබවා නව තාක්ෂණය ද පැරණි භාණ්ඩ කුණු ගොඩට තල්ලූ කරමින් අලූත් භාණ්ඩ ද පැරණි ආයතන විනාශ මුඛයට හෙලමින් නව ආයතන ද ඉස්මතු වන්නේ මේ තරඟය නිසා ය.

විද්‍යාත්මක සොයා ගැනීම් ගත්තේ වුව ද පැරණි නියාමයන් අලූත් පර්යේෂණවලින් නිශ්ප‍්‍රභා කරනු ලැබේ. ඒ පැරැුන්න විමසීම තුළ ය. ඒ පැරණි ඉගැන්වීම් දෙස විචාරාත්මකව බැලීම තුළ ය. ඒ හරහා තරඟයක යෙදීම තුළ ය.

එසේ බලද්දී පැහැදිලිවන එක් කාරණයක් නම් තරඟය පැහැදිලි ලෙසම සමාජ ප‍්‍රගමනයට හිතකර සංසිද්ධියක් බව ය.

තරඟය තුළ යම් එල්ලයක් කෙරෙහි පවතින දැඩි කැපවීමත් ඒ සඳහා කරන අනවරත වෙහෙසත් ඇතුළත් ය. පැරැුන්න අභිබවා යාමට ඇති ආසක්තයත් ඊට ඇතුළත් ය. එහිදී පැරැුන්න නියෝජනය කරන අය සමග තරඟයකට මුහුණ දීමට සිදු වීම ද අනිවාර්ය ය. නව දේ පමණක් නොව ඒවා ගෙනෙන නිර්මාපකයින් ද සමාජය කිසිදා එකවර පිළිගත්තේ නැත. ඒ සඳහා තරඟ වැදීමට නව දේට හා එය නියෝජනය කරන්නන්ට හැම දා සිදු වූයේ ය.

තරඟය මිනිසුන්ට තෝරාගැනීමක් ඉදිරිපත් කළේ ය. තිබෙන යමක් එසේම පිළිගැනීමට සිදු නොවුනා පමණක් නොව පරාසයක් අතුරෙන් තෝරාගැනීමක් කරන්නට මිනිසුන්ට එය උදව් වූයේ ය. එක් දේශපාලන අධිකාරියකට යටත් වෙනු වෙනුවට තරඟ කරන දේශපාලන පක්ෂ අතරින් එකක් තෝරා ගැනීමට ද එක් පුද්ගලයෙක් තෝරාගැනීම වෙනුවට පුද්ගලයින් කීප දෙනෙක් අතරින් එක් අයෙක්් මන්ත‍්‍රීවරයා ලෙස තෝරාගැනීමට ද ඉන් ඉඩ ලැබිණි. සමූපකාරයෙන් සැමට දෙන කැබලි හාල් වෙනුවට වෙළඳපොලෙන් කැමති හාල් තෝරාගැනීමට ඉන් ඉඩ ලැබුනේ ය.

තරඟයේ නරක පැත්තක් ඇත්තේ ම නැත් ද? පහුගිය දිනක භාරත ලක්ෂ්මන් හා දුමින්ද අතර වෙඩි තබා ගැනීම ද තරඟයේ ම ප‍්‍රතිඵලයකි. තරඟය මනාප සඳහා ය. ඒ අනුව මනාප ක‍්‍රමය සංශෝධනය කරනු ලැබුවහොත් සියල්ල හරි ය. එතකොට එක පක්ෂයේ අය ගහ මරා ගන්නේ නැත. ප‍්‍රශ්නය ඇත්තේ එක් පැත්තක අය ගහ මරා ගත හොත් පමණක් ද? නැත. විරුද්ධ පාර්ශවයන් ගහ මරාගත්තත් ඒත් අප්සෙට් ය. එසේ නම් කළ යුත්තේ පක්ෂ අතර තරඟය ද නැති කිරීම ය. ඒ කියන්නේ මරණයෙන් පමණක් අවසන් වන, පරම්පරාවෙන් පරම්පරාවට මාරුවන, රජ කෙනෙක් පත් කරගැනීම ය. තරඟය ඉවත් කර ගෙන ඉවත් කර ගෙන ගියහම අපට සිදු වන්නේ අතීතයට ම දුවන්න ය.

තව දුරටත් මේ කියන්නේ තරඟය නිසා කිසි නපුරක් නොවන බව ද?

ජෝ සෙනෙවිරත්නයන්ගේම ලිපියේ සඳහන් කතාවකින් අපි මෙය විසඳන්නට උත්සහ කරමු.
පෙර කාලෙක සුෆි සාන්තුවරු පිරිසක් හිටියා. මැරෙන තුරු එල්ලා තබන්න නියමවෙච්ච. එල්ලා මරණයට පත් කරන තෙක් රැුඳී සිටියදී ඔවුන් සිටියේ එක පෙලට හිටගෙන.  අලූගෝසුවාට එක එක නම අඩ ගසා එකා බැගින් එල්ලා මරන්න හැකිව තිබුණා. අලූගෝසුවා නමක් කියා මොර දුන්නා. නූරි. එවිට එම තැනැත්තා ඉදිරියට පැමිණිය යුතුව තිබුණා. එහෙත් නූරි නැමැති තැනැත්තා නැගී සිටියේ නැහැ. ඒ වෙනුවට තවත් අයෙක් ඉදිරියට අතක් ඔසවා කීවා. ඔබ පළමුව මාව එල්ලන්න. ඔබේ නම නූරි නෙවෙයි නෙ. ඔබ මොකද මැරෙන්න හදිසියක. අතක් එසවූ තැනැත්තා පිළිතුරු දෙමින් කීවා. මම නූරිට ආදරෙයි. මරණය කියන ප‍්‍රශ්නය ආවහම ඉදිරියට එන්නත් ජීවත්වීම කියන ප‍්‍රශ්නය ආවහම පිටිපසින් සිටින්නත් අවශ්‍ය බව මම අවබෝධ කරගෙනයි තිබෙන්නෙ. මම කැමතියි මගේ මිත‍්‍රයා මැරෙන්න පෙර මම මැරෙන්න. මේක ජීවත්වීම පිළිබඳ ප‍්‍රශ්නයක් නම් මගේ මිත‍්‍රයා දිගුකල් ජීවත්වෙන්න  ඕන.

මේක තරඟකාරිත්වය නොව එහි ප‍්‍රතිපක්ෂය බව ජෝ ලියපු ලේඛනයෙන් අපට ඒත්තු ගන්වා ඇතැයි මට හැගේ. එහෙත් මට නම් දැනෙන්නේ මේකත් තරඟයක් බව ය. මරණයේ කීර්තිය සඳහා තරඟයක් යනුවෙන් මා එය නම් කිරීමට කැමති ය. ජෝගේ ලිපියේ කියන ලෙසට සාර්ථකත්වය සඳහා පමණක් නොව අපට හැෙඟන ලෙසට වෙනත් බොහෝ දේ සඳහා ද තරඟ අපට කරන්නට හැකි ය. එකක් හොඳ පුරවැසියෙක් වීමට ය. සමහරවිට කිසියම් ක්ෂේත‍්‍රයක දක්ෂ කෙනෙක් වීමට ය. තවත් සමහරවිටක බියජනකම පාතාලයා වීමට ය. කෙනෙකුට සමහරවිට වඩාත්ම ත්‍යාගශීලියා වීමට ද තරඟයක යෙදෙන්න පුලූවන. මේ සියලූ තරඟයන් එකම අච්චුවේ ලා අපුලෙන් යුතුව හෙළා දැකිය යුතු ද?

තරඟය ගැන පොදුවේ ලියුව ද ජෝගේ ලිපියේ වඩාත්ම මතුකරන්නට උත්සහ කර ඇත්තේ සාර්ථකත්වය සඳහා මිනිසුන් යෙදී ඇති තරඟය ගැන ය. ඒ නිසාම ජෝ මතුකරන ඒ වැදගත් කාරණයට දැන් අපි අවධානය යොමු කරමු.

සාර්ථකත්වයට ඇත්තේ එක් නිර්වචනයක් ද? දුමින්ද සාර්ථකත්වය ලෙස අදහන දෙය ආතර් සී ක්ලාක් සාර්ථකත්වය යයි අදහන්නේ නැත.

අප කළ යුත්තේ තරඟය පිළිකෙව් කිරීම ද? එසේත් නැතිනම් සාර්ථකත්වයට නව අර්ථයක් දීම ද?
අනුන්ට බරක් නොවී ජීවත්විය හැකි තරමේ ආර්ථික ශක්තියක් ලඟා කරගැනීමටත් වගකිව යුතු වෘත්තිකයෙකු හැටියට පිළි ගැනීමක් ලබා ගැනීමටත් ආදර්ශමත් කළමනාකරුවෙකු හැටියට නමක් දිනා ගැනීමටත් දරුවන්ට සෙනෙහස දක්වන ඔවුන්ගේ අභිවෘද්ධිය සළසන එහෙත් ඔවුන් මත ආධිපත්‍ය නොපටවන පියෙකු හැටියට ඔවුන්ගේ ගෞරවය ලබා ගැනීමටත් අවශ්‍ය වෙලාවට ළග සිටි ජීවිත ගමනේ සගයෙකු හැටියට බිරිඳගේ සෙනෙහස හිමිකරගැනීමටත් වගකීම් ඉටුකරන පුරවැසියෙකු හැටියට ඇසුරු කරන්නන් අතර ආදරයක් දිනා ගැනීමටත් විශ්වාසවන්ත මිතුරෙකු හැටියට ඇසුරුකරන්නන් අතර නමක් දිනා ගැනීමටත් මට වුවමනා ය. ඒ සියල්ල ලගා කරගැනීම සාර්ථකත්වය ලෙස මම දකිමි. මේ සියල්ල ලබා ගැනීමට මම අනවරතව කැප වෙමි. වෙහෙසෙමි. තරඟ වදිමි.

සමහර විට ඒ මා සමගම ය. තවත් සමහර විට මගේම අතීතය සමග ය. සමහර විට ඒ මා විශ්වාස කරන පරිපූර්ණ මිනිසා සමග ය. මා ඇසුරු කරන මගේ සබඳතා ජාලයේ වෙසෙන විවිධ පුද්ගලයින් සමග ය.

ඒ කිසිවිටෙක වෛරයක් ඉරිසියාවක් තරහක් සිතට ඇතුළු වන්නේ නැත. පළමු තුන් දෙනා (මා, මගේ අතීතය, මා මවා ගත් පරිපූර්ණ පුද්ගලයා* සමග එසේ ගනු දෙනු කළ හැකි නමුත් සිව්වෙන්නා, එනම් අප අවට ඉන්නා අනෙකා, සම්බන්ධයෙන් එවැනි වෛරයක්, ඉරිසියාවක්, තරහක් සිතට ඇතුළු නොවෙතැයි කීම නිබොරුවක් ද?

මම ඔවුන් දෙස බලමි. ඔවුන් වැඩ කරන අයුරු අධ්‍යයනය කරමි. මා වැදගත් යයි කල්පනා කරන වැඩක් මට වඩා ඔවුන් හොඳින් කරන්නේ නම් ඒ කෙසේ දැයි විමසමි. ඒ කටයුත්ත මට ද අත්හදා බැලිය හැකි දැයි විපරම් කරමි. ඒ තුළින් වඩාත් ඉස්සරහට යන්නට උගනිමි. අනෙකාට යටි උගුල් නොඇද ඔහුගෙන් ඉගෙන ගෙන ඔහු පරාජය කරමි. මා සම්බන්ධයෙන් ද අනෙක් අය එයම අනුගමනය කරනු දැකීමට මම කැමැත්තෙමි. අප අවට යහපත් වන්නේ එවන් තරඟයකට අප හැමට අවතීර්ණ විය හැකි නම් පමණකි. එවිට හැම වැඩක්ම හැම ආයතනයක්ම හැම කෙනෙක්ම ඉදිරියටම යනු ඇත. එහි වාසිය අප හැමගේ ය.

මෙයින් අදහස් කරන්නේ නොකා නොබී ජීවිතය නොවිඳ තරඟයේම යෙදෙන බව නොවේ. ජීවිතය රසයෙන් කුල්මත් කරනු සඳහා ද එයට අර්ථයක් සපයනු සඳහා ද තරඟයේ යෙදෙන බව ය. තරඟයෙන් මදක් බැහැරව ජීවිතය දෙස බැලීමට ද කාලය ගන්නා අතර තරඟය ද ජීවිතයේ කොටසක් කරගන්නා බව ය.

තරඟය අධ්‍යාපනයේ දී පවා වැදගත් මෙවලමක් ලෙස භාවිතා කළ හැකි ය. ඒ සහයෝගය සමග මිශ‍්‍ර කිරීමෙනි. අපට අවශ්‍ය නම් සහයෝගය දීම සම්බන්ධයෙන් ද තරඟයක් ඇති කළ හැකි ය.
පාසල් කාලයේ මගේ අත්දැකීම වූයේ හොඳට ඉගෙන ගැනීමේ පහසුම මග අන් අයට ඉගැන්වීම බව ය. විෂය පිළිබඳව අපේ දැනුම වඩාත් පුළුල් වන්නේ අපෙන් උගන්නා අය අපෙන් අසන ප‍්‍රශ්නවලට පිළිතුරු සොයන්නට ගිය විට ය. ඒ නිසා සහයෝගයෙහි ක‍්‍රියාවෙන් යෙදෙන්නා තරඟයෙන් ජය ගන්නේ ය. අපේ අධ්‍යාපන ආයතන තුළට මේ අදහස ඇතුළු කරතොත් එයින් වඩාත් යහපත් ප‍්‍රතිඵල ලබා ගත හැකි ය.

මයික්‍රො සොෆ්ට් අයිතිකාර බිල් ගේට්ස් හා ඇපල් පරිගණක අයිතිකාර ස්ටීව් ජොබ්ස් අතර ඇති වූ තරඟයෙන් එකිනෙකා වරින්වර අනෙකා පසුකර ඉදිරියට ගියේ අනෙකාගේ බෙලි කැපීමෙන් නොවේ. එකිනෙකාගෙන් ඉගෙන වඩාත් හොඳ නිශ්පාදන ලෝකයට පිරිනැමීමෙනි. මේ ව්‍යාපාරිකයන් දෙදෙනා අතර තරඟය ලෝකයට අත් කර දුන්නේ විශාල සෙතකි.
අප උගත යුත්තේ තරඟය පිළිකෙව් කිරීමට නොවේ. සහයෝගය ඇතිකරනු වස් තරඟ වැදීමට ය. තරඟය තුළ සහයෝගය දැකීමට ය. තරඟය මහත්මා සීමා තුළ පවත්වා ගැනීම උදෙසා තරඟ කිරීමට ය. ඒ සඳහා සහයෝගය දීමට ය. දැනට ඔලුවෙන් හිටගෙන ඉන්නා තරඟය නැවත කකුල් දෙකෙන් සිටවීමට ය.

එහි දී ජය පරාජය සමව විඳගැනීමට අපට හැකි විය යුතු අතර ජයෙන් උද්දාම නොවී, පරාජයෙන් වෙහෙසට පත් නොවී, ඒ දෙකින්ම පාඩම් උගෙන නැවතත් තරඟය සඳහා වඩාත් සංවිධිතව නව ජවයකින් අවතීර්ණවීමට අප කටයුතු කළ යුතු ය. අධ්‍යාපන ආයතන බාර ගත යුත්තේ ඒ අභියෝගයයි. තරඟය පිළිකෙව් කිරීමේ පහසු මාර්ගයට වඩා එය අමාරු බව ඇත්ත ය. ලෝකය දිනුවේ අමාරු වැඩ කළ මිනිසුන් ය. ඔවුහු ලෝකය දිනුවා පමණක් නොව ලෝකය ද දිනෙව්වෝ ය.

ඔවුහු තරඟයට බියෙන් පලා ගියේ නැත. ඒ වෙනුවට උන් තරඟය වරප‍්‍රසාදයක් ලෙස බාර ගත්හ. තරඟයේ පිළිගත් නීති රීති තුළ ක‍්‍රීඩා කිරීමට අධිෂ්ඨාන කර ගත්හ. ක‍්‍රීඩාශීලී මනසකින් එයට අවතීර්ණය වූහ. අපක්ෂපාත විවෘත තරඟයකින් පසු ජයගන්නාට, සැබෑ දක්ෂයාට, ලැබිය යුත්තාට කුසලානය බාර දීමට එකඟ වූහ.

ඉදින් අප කැමති මේ ලිපිය මෙසේ අවසන් කරන්නට ය. සබඳ හැකි නම් නිකම්ම නිකම් කඳු වී නොනැවතී ලොවම එලිය කරන ලොවට නැවුම් බව ගෙනෙන ගිනි කන්දක් වන්න. නිකම් නිකම් මිනිසෙකු නොවී කිසියම් අයුරකින් සුවිශේෂී මිනිසෙකු වන්න. ඒ සඳහා නොඅලස්ව තරඟ වදින්න.