පහත දැක්වෙන්නේ බුකියේ පලවූ සටහනකි.
මේ දවස් වල ජනාධිපති ගෙ ගමින් ගමට පිළිසඳරක් (whatever) හොඳට බලනකොට ජනාධිපති රා.සේවකයන් ව නැගිට්ටවලා ප්‍රශ්න කරනකොට “හා සර්..” අද හදන්නම්” මාසෙන් කරන්නම්” උපරිමෙන් කරන්නම්” අපි සූදානම් වෙලා උන්නෙ ” ලබන මාසෙ අනුමැතිය දෙන්න බලන්නම්” කියලා කියන්නෙ ඇයි….? වැඩ කරන්න පුලුවන් කම තියෙද්දි වුවමනාවක් නැතුව අවසානෙට තදවෙනකම් ඉන්න නිසාද ? ඒක රාජ්‍ය සේවයේ හැම තැන ම සිද්ධ වෙන දෙයක් ද ?
ජනාධිපති කෙනෙක් ට ගමින් ගමට යන්න (පළාත්සභා ලඟ එක වෙනම කතාවක්) වෙනව කියන්නෙ සංස්ථා, මණ්ඩල,සමාගම්,දෙපාර්තමේන්තු,අමාත්‍යංශවල වල නිලධාරීන්ගෙන් ඒ වෙන්න තියෙන දේ වෙන්නෑ කියන එක නේද ?
හොඳම උදාහරණය : ඊයෙ කළුතර පැවති ඒ පිළිසඳරෙදි පාසල් ගොඩනැඟිල්ලක් හා පිට්ටනියක් හදන්න ඉල්ලීම කරන්න ජනාධිපති කෙනෙක් ම ගමට එන්න ඕනෙද ?
මේ කතාව අනුව බැලූ බැල්මට නිලධාරීන් වැරදි ය. එහෙත් මේ ගැන විපරමෙන් බැලූ විට පෙනෙන්නේ වැරැද්ද නිලධාරීන්ගේ නොව ක්‍රමයේ බව ය.
සාමාන්‍ය තත්වය යටතේ හදන්න බැරි හේතු තියෙන්නට පුළුවන. ඇතැම් විට ඉල්ලූ නමුත් අවශ්‍ය අනුමැතිය ලැබී නොතිබීමට පුළුවන. ඇතැම් තැනක ප්‍රතිපාදන නොතිබෙන්නට පුළුවන. සර්ව බලධාරී ජනාධිපති කී විට හදන්නම් කියන්නෙ ඒක උපයෝගී කර ගෙන අනුමැතිය වගේම සල්ලිත් පහසුවෙන් ගන්න පුළුවන් නිසා ය. නිලධාරීන්ට ඒ නිසා දොස් කියන්න බැරි ය. දොස් කියනවා නම් කියන්න වෙන්නේ ක්‍රමයට ය.
මේ කතාවේ ජනාධිපති තැන වෙනුවට ඔබේ ආයතන ප්‍රධානියා විස්ථාපනය කර සිදු වන දේ සළකා බලන්න. එවිට මේ සංසිද්ධිය කළමනාකරණයේ පාඩමක් හැටියට ගත හැකි ය. මෙයින් ඉගෙන ගත හැකි පාඩම් තුනක් තිබේ.
එකක් ඇතැම් අවස්ථාවල පෞද්ගලික මනාප අමනාපකම් නිසා අනුමැතිය නොදී ඉන්නා කළමනාකරුවන් ලොක්කාට ඇති බිය ඉදිරියේ ඒ සෙල්ලම අත්හරින බව ය. දෙවැන්න, සාධාරණ හේතු මත අනුමැතිය නොදී ඉන්නා කළමනාකරුවන් ද ලොක්කාට ඇති බිය ඉදිරියේ සාධාරණ විරෝධයක් පවා නොදක්වා අකුළා ගන්නා බව ය.
බිය තුළින් ඇති කරන තෙරපුම හැම විටම හොඳ වන්නේ නැත. ඇතැම් අවස්ථාවල කැමැත්ත පළකරන්නේ නොකටයුතු කටයුතු වලට ය. මේ බය හරහා ඇති කරන විනයේ ප්‍රතිඵල ය.
ඒ නිසා තම සර්වබලධාරිත්වය භාවිතා කරන නායකයන් තේරුම් ගත යුත්තේ ඇති කරන ප්‍රථිඵල මිශ්‍ර විය හැකි බව ය. විනය හැම විටම ලස්සණ නැති බව ය.
ඒ නිසා ම නායකයා වැඩේ කරන්නට නියෝග දෙන්නට පෙර එය මෙතෙක් සිදු නොවූයේ ඇයි දැයි සොයා බැලිය යුතු ය. ඒ හේතු අනිසි ප්‍රතිඵලයකට හේතු වී නම් ඒ හේතු විසඳන්නට ක්‍රමය වෙනස් කරන්නට කටයුතු කළ යුතු ය. නැතිනම් සිදු වන්නේ දිගින් දිගට ගමින් ගමට යෑමට ය. එසේ කොට ආවරණය කළ හැකි ගම් ගණන කීයක් දැයි ඔබ ට ගණනය කර බැලිය හැකි ය. එපමණක් නොවේ. ඒ හැම ගමකට ම නැවත නැවතත් යෑමට ඔහුට සිදු වේ. ඒ අලුත් ප්‍රශ්න ඇතිවන නිසා ය. ඔහුගේ මැදිහත් වීම නැතිව ඒවා ද කල් මැරෙන නිසා ය. ඒ අපට ගත හැකි තුන්වෙනි පාඩම ය.