නායකත්ව මාදිලි තුනක්


  • නිශාන්ත කමලදාස

සමහර නායකයෝ මිනිසුන් සමග කුලුපග ඇසුරක් පවත්වති. කතාබහේ දී ඔවුන් සුහදශීලී ය. හැඟීම් බර ය. ලෙන්ගතු ය. වචනයෙන් පමණක් නොව අභිනයෙන් ද ඔවුන් මිනිසුන් තමන් වෙතට ඇද ගැනීමේ දක්ෂ ය. පිටට තට්ටු කොට තමන් වෙතට ඔවුන් ඇද ගෙන අත් අල්ලා ගෙන කතා කරන ඔවුන් අනුගාමිකයන්ගේ දරුවන් සුරතල් කරන්නෝ ය. ඔවුන්ගේ අම්මලා ආච්චි අම්මලා සමග තොඳොල් වන්නෝ ය. මිනිසුන් නමින් ආමන්ත්‍රණය කරන ඔවුහු ඔවුන්ගේ උපන්දින මතක තබා ගෙන සුබ පතන්නට ද වග බලා ගනිති. ඔවුන්ගේ ආමන්ත්‍රණ හිතේෂී ය. දිග නම් හුරුබුහුටි ආදරණීය කෙටි නම් බවට පත් කර ගැනීමේ ඔවුන් දක්ෂ ය. නායකයාගේ මේ ඇඟෑළුම් කම් වලට මිනිසුන් ලැදි ය. ඒ නිසා ම නායකයා වෙනුවෙන් බොහෝ දේ කරන්නට ද ඔහු ව අගයන්නට ද ඔහු ව/ ඇය ව රැක බලා ගන්නට ද අනුගාමිකයෝ කටයුතු කරති. ඔවුන් වැඩ කිරීමට අභිප්‍රේරණය වන්නේ නායකයාගේ මේ “මහජන සම්බන්ධතා” ගුණාංගය නිසා ය.

දෙවැනි ගණයට අයත් නායකයින් හැම විට ම අවධානය යොමු කරන්නේ වැඩ රාජකාරි වලට ය. ඔහු කැමති ප්‍රතිඵල දකින්නට ය. ඒ ප්‍රතිඵල දකින අනුගාමිකයෝ එයින් අභිප්‍රේරණයට පත් වෙති. ඒ ප්‍රතිඵල නිසා තමන්ට ද වාසියක් ලැබේය යන විශ්වාසයෙන් වැඩෙහි යෙදෙති. නායකයා පිළිබඳ විශ්වාසයක් ඇති කර ගනිති. ඔහු/ඇය දක්ෂ ‘වැඩ’ කාරයෙකු බව අදහති.

තුන් වෙනි ගණයට අයත් නායකයන් කැමති ආයතන හදන්නට ය. ඒ ආයතන තුළ ක්‍රමවේද සකස් කරන්නට ය. නිසි පිළිවෙත් නිර්මාණය කරන්නට ය. ප්‍රතිපත්ති හා ආචාර ධර්ම පද්ධති ඇති කරන්නට ය. ඉක්මන් ප්‍රතිඵල දකින්නට නැතත් අනාගත ප්‍රතිඵල සඳහා අවශ්‍ය අඩිතාලම ඒ නායකයා නිසා ඇති වන්නේ ය. එවැනි නායකයන් ඉදිරි දැක්මක් ඇති අය ය. තමන් විසින් වැඩ කරනවා වෙනුවට තමන්ගේ වැඩ වලින් ප්‍රතිඵල පතනවා වෙනුවට ඔවුන් කැමති මිනිසුන් බලාත්මක කරන්නට ය. ඔවුන්ට වැඩ කළ හැකි වේදිකාවක් නිර්මාණය කර දෙන්නට ය. ඒ හරහා මිනිසුන්ට සතුටත් ආයතනයට ප්‍රතිඵලත් අත් කර දෙන්නට ය.

මේ නායකත්ව මාදිලි තුන අතරින් වඩාත් ම ආකර්ෂණීය වන්නේ පළමු මාදිලිය ය. ප්‍රතිඵල ක්ෂණික ය. ඊළඟට එන්නේ දෙවැන්න ය. ප්‍රතිඵල තරමක් පමා වෙතත් එය ඇති වන බව කල් තියා දැක ගත හැකි ය. ඉදිකිරීමක් නම් එය ඉදි වන බව මුල සිට ම පෙනෙන්නේ ය. එහෙත් තෙවැන්න දිගු කාලීන ය. ප්‍රතිඵල ඇති වන විට කල් ගත වෙලා ය. මුල දී තරමක අපහසුතා වලට ද පත් වන්නට සිදු වන්නේ ය.

ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කාලාම් වරෙක සෙසු මිනිසුන් සමග පෝලිමේ සිටියේ ය. ඔහුට එසේ සිටීමට කිසිදු හේතුවක් නොවී ය. ඇත්තට ම බොහෝ අය පැමිණ ඔහුට උදව් වීමට උත්සහ කළ ද ඔහු තමන්ගේ වාරය එන තුරු රැඳී සිටියේ ය. සමහරු කීවේ ඔහු මෝඩයෙකු බව ය. වැදගත් රාජකාරි තිබිය දී පෝලිමක රැඳී සිටීමෙන් කාලය කා දැමීම අපරාධයක් බව ය. එහෙත් ඔහුට පෝලිමේ රැඳී සිටීම ට ප්‍රබල හේතුවක් තිබුණේ ය. ඒ තමන්ගේ වාරය පැමිණෙන තුරු ඉවසා සිටීමේ වැදගත් කම ඉන්දියානු ජනතාවට පෙන්වා දීමට ය. ඉදිරි දැක්මක් ඇති නායකයන් ක්ෂණික විසඳුම් සොයන්නේ නැත. වඩා නිවැරදි විසඳුමක් සඳහා තිරසාර විසඳුමක් සඳහා අත්තිවාරමක් දැමීමට ඔවුහු කල් ගනිති. බොහෝ මිනිසුන්ට එවැන්නෙකුගේ අගය පෙනෙන්නේ පසුව ය. යම් ඉඩක් තිබේ නම් පෝලිම පනින්නට බලා සිටින මිනිසුන්ට මේ ක්‍රමවේද වලට ගරු කරන නායකයෙකු තමන්ට අවාසියක් අත් කර දෙනු ඇතැයි සිතෙන්නට හැකි ය.

මේ මාදිලි තුන ම එක් කෙනෙකු තුළ තිබිය නොහැකි ද? තිබිය හැකි නම් එය නොවේ ද වඩා යහපත් වන්නේ යැයි කෙනෙකුට ඇසිය හැකි ය. එහෙත් ඇත්ත නම් ඒවා එකිනෙකට ප්‍රතිපක්ෂ වෙන අවස්ථා තිබෙන බව ය. නායකයා එවන් අවස්ථාවක ගන්නේ කුමන අස්ථානය ද යන්න අනුව ඔහු හෝ ඇයගේ නායකත්ව මාදිලිය තීරණය වන්නේ ය. අපි උදාහරණයක් ගෙන බලමු. කුලුපග ලෙස සලකන මිනිසෙකු වැරැද්දක් කළ විට නායකයාට දඬුවම් කරන්නට බැරි ය. මක් නිසා ද යත් ඔහුගේ නායකත්ව ශෛලිය තුළ මිනිසුන් අපේක්ෂා කරන්නේ වැරදි කළ අය පවා බේරා ගන්නා විමුක්ති දායකයෙකුගේ භූමිකාව ය. වැරැද්දක් කළ අපේ මිනිහා අපේ නායකයා විසින් බේරා ගනු ඇති බව මිනිසුන්ගේ විශ්වාසය ය. එය කඩන්නට ඔහුට /ඇයට බැරි ය. ඒ නිසා ක්‍රමවේද අමතක කරන්නට ආචාර ධර්ම හා ප්‍රතිපත්ති වලට පිටුපස හරවන්නට ඔහුට සිදු වේ.

ප්‍රතිඵල ම පමණක් සොයන නායකයෙකුට ප්‍රතිඵල, ක්‍රමවේද වලට වඩා, ප්‍රතිපත්ති වලට වඩා, ආචාර ධර්ම වලට වඩා වැදගත් නිසා ඔහු කරන්නේ ක්‍රමවේද, ප්‍රතිපත්ති, ආචාර ධර්ම අකුළලා දමා ප්‍රතිඵල සොයා යෑම ය. ඒ උදෙසා පෝලිමේ නොසිට පෝලිම පැනීම ය. අධිවේගී මාර්ගයේ නම් වේග සීමා නොතකා වේගයෙන් යෑම ය. ආයතනයක නම් මුදල් රෙගුලාසි උල්ලංඝනය කිරීම ය.

ලංකාවේ බහුල ව දක්නට ලැබෙන නායකත්ව මාදිලි වන්නේ පළමු දෙක ය. එයට එක්‌ හේතුවක් නම් මිනිසුන් බොහෝ දෙනෙකු ක්ෂණික ප්‍රතිඵල සෙවීම ය. නායකයා පෝලිම පැනීම මාර්ග නීති කඩ කරමින් අධි වේගයෙන් යෑම ගැන උරණ නොවන ඇතැම් මිනිසුන් කැමති තමන්‌ගේ සිල්ලර වැඩ කර ගනු සඳහා ද නායකයා ක්‍රමවේද, ප්‍රතිපත්ති, ආචාර ධර්ම අකුළලා කටයුතු කරනු දැකීමට ය. දෙවනුව, බොහෝ මිනිසුන් හට අනාගත දැක්මක් නොතිබීම ය. ක්ෂණික උවමනාවන් ඉටු කර ගැනීමෙන් එහා දෙයක් නොතිබීම ය. අනෙක් අතට තමන්ව බලාත්මක කරනු වෙනුවට කවුරු හෝ බලය ඇති කෙනෙකු කර දෙන තුරු බලා සිටීමේ අලස කමින් ද ඔවුන් පෙලීම ය.

රට ඉදිරියට යෑමට නම් අප තුන් වෙනි මාදිලියේ නායකත්වයක් සොයා ගත යුතු ය. ආයතනයකට නම් එවැනි අනාගත දැක්මක් ඇති කෙනෙකුගේ නායකත්වය ලැබිය යුතු ය. එහෙත් එවන්නෙකු ඉවසීමට තරම් අපට ආයතන වලට උපේක්ෂාව හා ඉදිරි දැක්මක් තිබේ ද යනු ප්‍රශ්නයකි.   ‍‍

ඇස්කිමෝවරුන්ට ශීතකරණ විකිණීම නොහොත් අලෙවිකරණය


  • නිශාන්ත කමලදාස

ඇස්කිමෝවරුන්ට ඒ අය ජීවත් වන රටේ දී ශීතකරණයක් ඔබට විකිණිය හැකි ද? එය නොහැකි බව ඔබ කියනු ඇත. එහෙත් ඔබ අලෙවිකරණයේ දක්ෂ නම් එය ද කළ හැකි යැයි පිළිගැනේ. ඒ සඳහා, අවශ්‍ය යැයි මිනිසුන් නොහඟින දේ සම්බන්ධයෙන්, අවශ්‍යතාවක් ඇති කිරීමට ඔබ දක්ෂ විය යුතු ය.

මිනිසුන් මිල දී ගන්නේ භාණ්ඩ හා සේවා ම නොවේ. ඒවායින් ඇති කරනු ලබන අත්දැකීම ය. මින්ට් රස ඇති ටොෆිය විකුණන්නේ උණුසුම් දවසක කටට ලැබෙන අයිස් සීතල සිහි ගන්වා ලන දැන්වීමක් හරහා ය. නිල් පැහැති හිම කැට රූපයට නගා ය. සමහර කෑම විකුණන්නේ ලැබෙන ෆන් එක ගැන මතක් කරලා ය. ඒ ෆන් එක ගන්නට නම් අහවල් දේ කන්නට ම වෙනවා ය. බීර විකුණන්නේ ලැබෙන ගැම්ම මතක් කරන සතෙකුගේ ගෙරවිල්ල ඉදිරිපත් කර ගෙන ය. අමෘතය බොන කෙනෙකු විඳින රසය සිහි ගන්වන සේයා රුවක් ඒ සමග අප ඉදිරියේ තැබෙන්නේ ය. දැන් නොබී බැරි ය.

ඒ අත්දැකීම පහසුවෙන් ගිලින්නට හැකි ලෙස සකසා ඉදිරිපත් කරන්නේ නම් ඔබට ජය නියත ය. දරුවන්ට පැණි බෙහෙත් දෙන්නේ ඒ සඳහා ය. දරුවන්ට පමණක් නොව වැඩිහිටියන් ද පැණි බේත් වලට තිත්ත කසාය වලට වඩා කැමති ය. ඒ නිසා භාණ්ඩය නිකම් ම නිකම් අමුවෙන් ඉදිරිපත් වන්නේ නැත. ඉදිරිපත් වන්නේ ඊට අවශ්‍ය ඇඳුම් පැලඳුම් සැරසිලි සහිත ය. ලස්සන දවටනයක දවටා නැතිනම් ලස්සන පෙට්ටියක අසුරලා ය.

තර්කානුකූල දත්ත හා තොරතුරු ඉදිරිපත් කළ පමණින් අලෙවිය සාර්ථක කර ගන්නට බැරි ය. ඒවා රඳන්නේ නැතිව ලිස්සා යෑමට ඇති ඉඩ වැඩි ය. දත්ත තොරතුරු තර්ක අදාළ උඩු සිතට ය. උඩු සිත අලස ය. කම්මැලි ය. එහි ක්‍රියාකාරිත්වය සඳහා අපේ සක්‍රීය මැදිහත් වීමක් අවශ්‍ය ය. ඒ සඳහා අප මහන්සිය විය යුතු ය. සිතිය යුතු ය. ඇත්තට ම අලෙවිකරණයේ දී අවධානය යොමු කරන්නේ උඩු සිතට නොවේ, යටි සිතට ය. හැඟීම් භාවමය සිතුවිලි විඳීම් සියල්ල දැනෙන යටි සිතට ය. හිතන්නේ නැතිව තීරණ ගන්නා බහුතරයක් මිනිසුන්ට ආමන්ත්‍රණය කළ යුත්තේ ඒ ආකාරයට ය.

අප මිල දී ගන්නේ තර්කානුකූල ව විමසීමකින් පසු නොවේ. අපේ යටි සිත විසින් මෙහෙය වීමෙනි. ඒ නිසා අපට අවශ්‍ය දෑ මෙන් ම එසේ නොවන දෑ ද අපි මිලට ගන්නෙමු. අප කීකරු වන්නේ අපේ යටි සිතට ආමන්ත්‍රණය කළ හැකි මිනිසුන්ට ය. හැඟීම් ඇවිස්සිය හැකි අයට ය. අපේ භාවයන් කූද්දා අපට ආතල් දිය හැකි අයට ය.

තර්කය යොදා ගන්නේ අපේ යටි සිත විසින් ගත් තීරණය සනාථ කරනු පිණිස පමණ ය. ඒ නිසා ම අප සොයන්නේ එසේ සනාථ කළ හැකි කරුණු පමණ ය. එවැනි තර්ක පමණ ය. ඉතිරි සියල්ල අපි මග හැර යමු. ඒවා නොදුටු නොඇසූ සේ හැසිරෙමු. ඒ නිසා ම අප තර්ක කර තීරණ ගන්නේ යැයි සිතු ව ද එය එසේ වන්නේ නැත.

මේ බව තේරුම් ගත හැකි නම් අපට සිතාමතා ම මෙයින් ගැලවීමේ ඉඩක් ලැබේ. එහෙත් බොහෝ දෙනෙකු මේ කාරණය දන්නේ නැත. ඔවුන් හිතන්නේ ඔවුන් තර්කානුකූල ව කරුණු සලකා බලා සොයා බලා තමන් තීරණයන්ට එළඹි බව ය.

භාණ්ඩයක් මිල දී ගැනීමක දී පමණක් නොව අප‌ බොහෝ තීරණ ගනිද්දී ද වැඩි බරක් දෙන්නේ යටි හිතට ය. අපේ සහකරුවා නැත්නම් සහකාරිය ගැන අවසන් තීන්දුව ගන්නා විවාහයේ දී ද අපේ පාලකයා කවරෙක් දැයි තීරණය කරන මැතිවරණයක දී ද සිදු වන්නේ ද මෙය ම ය.

දැනට වසර 18කට පොරොතුව පැවති 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අපේ යටි සිතට බලපෑවේ කෙසේ ද? මහින්ද රාජපක්ෂ ජාතික ඇඳුමින් සැරසී වෙල් යායක පසුබිමේ සිට තමන්ගේ ජනාධිපතිවරණ පණිවුඩය මුදා හරින විට රනිල් වික්‍රමසිංහ සුද්දාගේ ටයිකෝට් ඇඳ ටයිල් ඇතිරූ මන්දිරයක සුවපහසු පුටුවක වාඩි වී තම පණිවුඩය කියා සිටියේ ය.

කැපුවත් කොළ හෝ කැපුවත් නිල් කියන අය හැරුණු කොට සෙසු අයට, පාවෙන තීරණාත්මක ඡන්ද ගොඩට, මේ පණිවුඩ දෙක දැනුණේ කෙසේ ද? පණිවුඩ දෙක ම කරුණු සලකා බැලුවොත් එක ම ය. එවකට ඡන්දයේ තීරණාත්මක සාධකය වී තිබුණේ යුද්ධය ය. ඊටත් ඒ සඳහා පිළිගත හැකි විසඳුම ලෙස ජනප්‍රිය ව තිබුණේ දේශපාලන විසඳුමක් හරහා මේ යුද්ධය නතර කිරීම ය. රනිල් ඒ වන විටත් සාම ගිවිසුමක් ක්‍රියාත්මක කර තිබුණු අතර මහින්ද කීවේ උතුරට ගොස් ප්‍රභාකරන් සමග කැවුම් කා යුද්ධයට තිත තබන බව ය. දෙන්නා ම කියා සිටියේ තමන් සුදු පරෙවියන් බව ය.

ජනාධිපතිවරණය අවසන් වන විට ගමේ ඡන්ද බහුතරයක් මහින්දටත් නගරයේ බහුතරය රනිල්ටත් ලැබී තිබුණේ ය. ගමට දැනුණේ, ගමේ මිනිසුන්ගේ යටි සිතට දැනුණේ, මහින්ද තමන් සමීප බවකි. නගරයට වඩා සමීප වූයේ රනිල් ය. මහින්ද මාමා වන විට රනිල් අන්කල් වී තිබුණේ ය. ඉතිරි තර්ක සියල්ල ගොඩ නැගුණේ මේ යටි සිතේ තිබූ මනාපය සනාථ කිරීමට පමණ ය. තර්කයට වැදගත් කමක් තිබුණේ දෙවැනි පෙල ට ය. එය ද්විතීයක විය.

ජාතික ඇඳුමින් සැරසුණු මාගම් පත්තුවේ ගැමියාට 2015 ජනාධිපතිවරණය තුළ මුණ ගැහුනේ ජාතික ඇඳුමින් ම සැරසුණු පුලස්ති පුර ගොවියෙකුගේ පුතෙකි. පළමුවැන්නාගේ නම මෙරටට බුදු දහම ගෙනා මිහිඳු හිමියන් සිහිපත් කළ නමුත් දෙවැන්නාගේ නම මතු බුදු වන මෛත්‍රී බුදුන්ගේ නාමය ම, බුදුන්ගේ මූලික ශික්ෂාවක් වූ මෛත්‍රියේ ම, නාමය වූයේ ය. මෛත්‍රී ට විරුද්ධ අය මේ නමේ ප්‍රබලත්වය දැන සිටි අතර මෛත්‍රී යුගයක් බිහි කිරීමේ සටන් පාඨයේ හයිය ද දැන සිටියෝ ය. ඒ නිසා ඔවුන් කළේ මෛත්‍රී යන නම වෙනුවට සිරිසේන – අයියෝ සිරිසේන – එලිය ට ගැනීම ය. මේ යටි හිතට අමතන අලෙවි කරණයේ අතිශය ප්‍රබල උදාහරණයක් ලෙස සැලකිය හැකි ය. අන්තිමේ දී යුද්ධය ජය ගෙන රට බේරා ගත් විරුවා පැරදුනේ ය. ඒ තමන් යටතේ තමන් සිදු කළ සියල්ලට අත උස්සා සහය දැක් වූ තමන්ගේ ම පක්ෂයේ ලේකම්ට ය. මෛත්‍රී ට ය. ඒ මෛත්‍රීය විසින් ලබා ගත් ඡන්ද වලට අමතරව ඒ පිටුපස සිටි ටයිකෝට් ඡන්ද ද ගෙන ගොඩ බේරා ගෙන ය.

අප මෙයින් තේරුම් ගත යුතු වැදගත් ම කාරණය නම් අලෙවි කරණයේ දී තර්කය ද්විතීයක බව හා හදවතට ආමන්ත්‍රණය කිරීමේ, භාවයන්ට ආමන්ත්‍රණය කිරීමේ, ඇති තීරණාත්මක බව ය. අනෙක් අතට අලෙවිකරණයේ විජ්ජාවන්ට අසු නොවී බේරීමට නම් භාවයන් යටපත් කර ගෙන කරුණු සංඛ්‍යාලේඛන විමසීමේ වැදගත් කම ය.

දැනුම කළමනාකරණ ක්‍රියාවලියේ මර්මස්ථාන


  • නිශාන්ත කමලදාස

දැනුම කළමනාකරණය ගැන මිට පෙර සටහන් කිහිපයකින් ම සාකච්ඡා කර ඇත්තෙමු. මේ එහි තවත් පැති කඩක් ගැන ය. දැනුම සැකසෙන්නේ දත්ත හා තොරතුරු ආශ්‍රයෙනි. දත්ත අමු ය. එය සකසා ගත් විට තොරතුරක් වෙයි. දැනුම තොරතුරු අර්ථ නිරූපනයෙන් ලබන්නකි.

අද බිත්තර මිල යනු අමු දත්තයකි. ඒ අමු දත්තය පවා නිවැරදි ව ලබා ගත හැක්කේ ගැලපෙන නිධියක්, ප්‍රමාණවත් නිධියක්, භාවිතා කිරීමෙනි. බිත්තර නිෂ්පාදන මාදිලිය අනුව ද සැකසුම අනුව ද ඇතැම් විට කටුවේ වර්ණය අනුව ද කහ මදයේ පාට අනුව ද වෙනස් විය හැකි ය. ගන්නා කඩය අනුව ද වෙනස් විය හැකි ය. අපට අදාළ කුමන බිත්තරයක මිල ද යැයි අප හරි හැටි තෝරා ගත යුතු ය. ළඟ ම කඩයෙන් බිත්තර ගන්නේ නම් මට අදාළ ඒ කඩයේ මිල ය. තැන් කීපයකින් මිල දී ගන්නවා නම් එහි සාමාන්‍ය ය. ඒ අනුව දත්ත එක් රැස් කර ගැනීමට අදාළ නිධිය අප තෝරා ගත යුතු ය.

එම මිල වසර තුළ උච්ඡාවචනය වීම ප්‍රස්ථාර ගත කිරීමෙන් අපට තොරතුරක් ලැබේ. එය අර්ථ නිරූපනය කළ විට අපට පෙනෙන්නේ යම් නිශ්චිත සාධක මත බිත්තර මිල තීරණය වෙන බව ය. ඊට බිත්තර ආනයනය, කුකුළු කෑම ආනයනය හා මිල, උත්සව සමයේ ඉල්ලුම යන කරුණු රාශියක් බලපාන බව අපට පෙනේ. ඒ තොරතුරු අර්ථ නිරූපනයෙන් අප ලද දැනුම ය.

අපට ප්‍රයෝජනවත් වනුයේ ඒ දැනුම ය. දත්ත හා තොරතුරු නොවේ. එහෙත් දත්ත හා තොරතුරු නැතිව ඒ දැනුම ලබා ගත නොහැකි ය.

අප කළ යුත්තේ අපේ ප්‍රසම්පාදනයේ දී මේ දැනුම භාවිතයට ගැනුමට ය. බිත්තර මිල අවම වන කාලයේ දී ඒවා ඊට වඩා මිල අධික ප්‍රෝටීන් අහාර වලට ආදේශයක ලෙස භාවිතා කිරීමේ තීරණයට අප එළඹෙන්නේ නැත්නම් මේ දැනුමෙන් වැඩක් නැත. භාවිතයට නොගන්නා දැනුම දැනුමක් නොවන්නේ ඒ අර්ථයෙනි.

උච්ඡාවචනයන් ඇතැම් අවස්ථාවල සිදු වන්නේ චක්‍රිය ලෙස ය. අවාරයට මිල ඉහළ යන පලතුරු වගේ ය. පලතුරු වල නොවෙතත් සමහර දෑ උච්ඡාවචනයන් සිදු වන්නේ වසර පදනම් කර ගෙන නොවේ. ඇතැම් විට සතිය පදනම් කර ගෙන ය. සතියේ මුල් දින සඳුදා උදයේ පාරේ වාහන තදබදය වැඩි ය. එය නැවතත් උත්සන්න වන්නේ සතියේ අගට ය.

වාහන තදබදය මාසික ව ද වෙනස් වේ. ඒ පාසල් නිවාඩුව පදනම් කර ගෙන ය. මාසික ව වෙනස් වන තවත් දෙයක් නම් මිනිසුන්ගේ අන්තර්ජාල භාවිතය ය. මාසයේ අගට ඩේටා නොමැති නිසා එය අවම වේ.

සමහර අවස්ථාවල උච්ඡාවචන සිදු වන්නේ කාලගුණය පදනම් කර ගෙන ය. සමහර අවස්ථාවල ලෝක වෙළඳ පොලේ ඉල්ලුම සැපයුම පදනම් කර ගෙන ය.

තොරතුරු පදනම් කර ගෙන දැනුම නිපදවන්නන්, තොරතුරු අර්ථ නිරූපනය කරන්නන්, මේ තත්ව යන්ට සංවේදී විය යුතු ය. ඒ පිළිබඳ දැනුම ඇත්තන් විය යුතු ය. පුංචි තොරතුරු පමණක් නොව ඒ තොරතුරු සම්බන්ධ ලොකු පින්තූරය ද දැකිය හැකි අය විය යුතු ය.

සමාජ මාධ්‍ය වල සිදු වන සංවාද දෙස බලන විට නම් පෙනී යන්නේ මිනිසුන් අතට අසු වන ඔ්නෑ ම දත්තයක් තමන්ගේ මතය සනාථ කරනු පිණිස යොදා ගන්නා බව ය. ඒත් කළමනාකරුවෙකුට එසේ කරන්නට බැරි ය. විශේෂයෙන් තමන් තීරණ ගන්නා විට අතට අසු වන ඔ්නෑ ම අමු දත්තයක් භාවිතා කළ නොහැකි ය. මක් නිසා ද යත් තීරණයේ වගකීම ඔහු වෙත පැවරෙන නිසා ය. ඒ නිසා ම දැනුම කළමනාකරණය කිරීම සම්බන්ධ ක්‍රියාවලිය පිළිබඳ මනා අවබෝධයක් ඔහු හෝ ඇය සතු ව තිබිය යුතු ය.

ඇතැම් තීරණ සඳහා දින කීපයක දත්ත පිරික්සා මදි ය. සතියක දත්ත අවශ්‍ය ය. තවත් තැනක සතියක දත්ත මදි ය. මාසයක දත්ත අවශ්‍ය ය. සමහර විට මාසයක නොව වසරක දත්ත අවශ්‍ය ය. ඇතැම් තැනක වසර ගණනාවක දත්ත අවශ්‍ය ය. ඒ තේරුමක් සහිත තොරතුරු සම්පාදනය සඳහා ය.

කාල පරාසය විශාල වන විට උච්ඡාවචනයන් පිළිබඳ පමණක් නොව දිගින් දිගට වැඩිවන නැඹුරුවක් ද මේ උච්ඡාවචනයන් අතරේ අපට දැක ගත හැකි ය. ඒ නිසා ම ප්‍රමාණාත්මක කාල වකවානුවක දත්ත පිරික්සා බැලීම අවශ්‍ය ය. ඒ ප්‍රමාණවත් නිධියක් ලබා ගැනීමට අමතර වශයෙනි.

අමු දත්ත වලින් සෑහීමකට පත් වෙන අයට අනුව ලොව අපරාධ වැඩි වී ඇත. එහෙත් දිගු කාල පරාසයක දත්ත විමසද්දී පෙනී යන කාරණය නම් අපරාධ වල අඩු වන ප්‍රවණතාවක් ලොව පුරා ම ඇති බව ය. අධ්‍යාපනය, නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වල කාර්යක්ෂමතාව පමණක් නොව තාක්ෂණයේ දියුණුව ද (cctv කැමරා) මේ සඳහා බලපාන්නට ඇත. මේ පිටුපස ඇති සැබෑ සාධක සෙවිය හැක්කේ අපේ මේ අනුමාන මත පදනම් ව ගොඩ නගන කල්පිත දත්ත භාවිතයෙන් පරීක්ෂාවට ලක් කිරීමෙන් පමණකි.

දැනුම කළමනාකරණය කරන අය දැන ගත යුතු අනෙක් දෙය වන්නේ දැනුම කල් ඉකුත් වන බව ය. ඒ නිසා ම පවතින දැනුමේ වලංගු භාවය පරීක්ෂා කිරීම දිගින් දිගට සිදු විය යුතු බව ය. ඒ සඳහා ද දිගින් දිගට දත්ත රැස් කිරීමේ නියැලී සිටිය යුතු බව ය.

දැනුම කළමනාකරුවන් මුහුණ දෙන ඊළඟ ගැටලුව වනුයේ එක් රටක, එක් ආයතනයක, එක සන්දර්භයක නිපදවන ලද දැනුම වෙනත් රටක, වෙනත් ආයතනයක, වෙනත් සන්දර්භයක් තුළ ද වලංගු ද යන්න ය. මේ නිසා ම එසේ ලබා ගන්නා දැනුම නව තත්ව යන්ට අනුරූප ව නැවත සකස් කිරීමට ඔවුන් වග බලා ගත යුතු ය. ඒ අතර ම එසේ ලබා ගත් හා සකස් කර ගත් දැනුමේ වලංගුතාව ද දත්ත එක් රැස් කරමින් යළි යළිත් සනාථ කර ගත යුතු ය.

මේ හේතු නිසා දැනුම කළමනාකරණය එක් වරක් කර සෑහීමකට පත් වීමට නොහැකි, නිරන්තරයෙන් පවත්වා ගෙන යා යුතු, ක්‍රියාවලියක් බව ඔබට තේරුම් යනවා ඇත. දැනුම කියන්නේ මුදල් යයි කියන විට එයින් අදහස් වන්නේ අප ඒ මත ගන්නා තීරණ නිසා අපට වාසි හෝ අවාසි අත් වන බව ය. අප නිවැරදි දැයි නිතර පරීක්ෂා කරන මීටරයක් දැනුම කළමනාකරණය හරහා අපට ලැබෙන බව ය. ඒ නිසා ම ඒ ගැන බර තැබිය යුතු බව ය.

දැඩි නීති රීති හා තහංචි


  • නිශාන්ත කමලදාස

බොහෝ ආයතන වල අහවල් වැඩ කළ නොහැකිය යන්න සඳහන් කරමින් නීති පනවා තිබේ. ඒවාට සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නේ තහංචි කියා ය. ඇඳුම්-පැලඳුම් සම්බන්ධයෙන් ද ඇවැතුම් පැවතුම් සම්බන්ධයෙන් ද මේ නීති නැත්නම් තහංචි බල පවත්වන්නේ ය. අහවල් ඇඳුම් ඇඳිය නොහැකි ය. අහවල් ඇඳුම් පමණක් ඇඳිය යුතු ය යන ආකාරයට මේවා විවිධ ස්වරූප ගන්නේ ය. මේ සම්බන්ධයෙන් දැඩි පාලනයක් ඇත්තේ පාසල පන්සල පල්ලිය යන ස්ථාන වල වුව ද ඇතැම් ආයතන ද මෙසේ දැඩි විනයකට යටත් කරන්නට ඇතැම් කළමනාකරුවන් වග බලා ගෙන ඇත.

අප මළ ගෙදරකට පාට ඇඳුම් සාමාන්‍යයෙන් අඳින්නේ නැත. මඟුල් ගෙදරකට රබර් සෙරෙප්පු දමා ගොඩ වදින්නේ නැත. ඒ අපට සාමාන්‍ය දැනුමක් තිබෙන නිසා ය. ඒ සාමාන්‍ය දැනුම කියන්නේ අප යන තැනට අප ගරු කළ යුතු බව ය. ගරු කරන බව ය. එතැනට පැමිණෙන අයට ද එතැන සිටින අයට ද අප සංවේදී බව ය. ඒ නිසා ම ඒ පිළිබඳ ව අමතරව නීති පැනවීමක් අවශ්‍ය කරන්නේ නැත.

එසේ තිබිය දී මෙවන් තහංචි දැමීමකට නීති පැනවීමකට කළමනාකරුවන් යොමු වන්නේ මන් ද? බොහෝ දෙනෙකුගේ උත්තරය වනු ඇත්තේ අතරින් පතර මේ සහජ බුද්ධිය නැති අසංවේදී මිනිසුන් සිටිය හැකි බව ය. ඒ නිසා එවැනි තහංචි පැනවීමේ ප්‍රශ්නයක් නැති බව ය.

කලාතුරකින් කරන එවැනි දෙයක් වෙනුවෙන් නීති පැනවීම අවශ්‍ය වේ ද? එවැනි හදිසි අහම්බයකින් ඇති වන බලපෑම කුමක් ද? එවැන්නක් සම්බන්ධයෙන් මැදිහත් වීමට වෙනත් විකල්ප ක්‍රමයක් නැද්ද? කළ යුත්තේ මිනිසුන්ට වඩා සංවේදී වන්නට අවශ්‍ය අධ්‍යාපනයක් සැපයීම නොවන්නේ ද? මෙවැනි ප්‍රශ්න රාශියක් අපට පෙරලා මතු කළ හැකි ය.

එවැනි නීති පැනවීමකින් ඇඟවෙන්නේ කිසියම් සාධාරණ හේතුවක් නිසා අහම්බයෙන් වත් මේ නීතියෙන් පිට පැනිය නොහැකි බව ය. එක කකුලක තුවාලයක් සෑදීම නිසා සපත්තු පැලඳීමට නොහැකි වූ විට එහි සෙරෙප්පුවක් ද අනෙක් කකුලේ සපත්තුවක් ද පැලඳ පාසල් යෑමට කුඩා කල අපට සිදු වූයේ මේ හේතුව නිසා ය. එසේ පනවන නීති, සියල්ලට ම වඩා විහිළුවක් බවට පත් විය හැක්කේ ඒ අයුරින් ය.

ඊට අමතර ව කිසියම් වෙනත් වැඩ රාජකාරියකට යෑමට ඇඳ පැලඳ සිටින නිසා මෙවැනි නීති ඇති තැනකට යෑමට නොහැකි ව අසරණ වන මිනිසුන් ද මේ නිසා ඇති වන්නේ ය. පාසලට සාරි ඇඳ ගෙන මිසක ඇතුළු විය නොහැකි යැයි පනවා ඇති නීතියක් නිසා ඒ පාසලට යෑමට වෙනත් නිල ඇඳුමක් ඇඳි මවකට හැකි වන්නේ නැත. මේ නීති තුළ ව්‍යාතිරේක වලට ඉඩක් නැත. නීති ක්‍රියාත්මක කිරීමට බොහෝ තැනක ඉන්නේ ඒ නීති පැන වූයේ කුමකට දැයි කියා පවා නොදන්නා අය නිසා ය.

මේ නීති අනෙක් අතට මිනිසුන්ට දෙන පණිවුඩය නම් “නුඹළා මෙසේ නීතියෙන් ආණ්ඩු මට්ටු කිරීමට තරම් නොමේරුණු ළදරුවන්” බව ය. මෝඩ මිනිසුන් බව ය. මෙසේ නීති පනවන්නට සිදු ව ඇත්තේ ඒ නිසා බව ය. එහෙත් ප්‍රශ්නය නම් මෙවැනි නීති නිසා මෝඩ බවට ඇතැම් විට පත් වන්නේ නීති පැන වූ අය ම ය. පහත කතාව ඊට දෙස් දෙයි.

මහදැනමුත්තා ඒ කාලයේ මෝස්තරයට අනුව පනාවක් හිසේ පැලඳ ගෙන සිටියේ ය. දවසක් සිය ගෝලයන් සමග දුර ගමනක් යද්දී මහදැනමුත්තාගේ පනාව වැටුනේ ය. ඒ ගැන මුත්තාට දැනුනේ වැටුණු තැනින් බොහෝ දුර ගිය පසු ය. මුත්තා සිය ගෝලයන්ගෙන් ඇසුවේ පනාව වැටෙනවා ඔවුන් දුටුවේ දැයි කියා ය. පස් දෙනා ම පනාව වැටෙනු දැක තිබුණේ ය. ඉන් කෝපයට පත් මහදැනමුත්තා ඇසුවේ කවර හෙයින් එය අහුලා නොගත්තේ ද කියා ය. එවිට හැරෙන තැපෑලෙන් පිළිතුරු ලැබුණේ පොතේ එහෙම නීතියක් ලියා නැති බව ය. මහදැනමුත්තා පොත ඉල්ලා ගෙන අලුත් නීතියක් එකතු කළේ ය. ඒ පනාව වැටුනොත් ඇහ‍ිලිය යුතු බව ය. ‌මේ කතාව මතකයට ආවේ එක් පන්සලක මෙවැනි තහංචි පනවමින් ගසා තිබුණු දැන්වීම් පුවරුවක් මතක් වීමෙනි. එහි තහංචි දහයක් පමණ ඇතුළත් විය. කොට ඇඳුම්, අඩ ඇඳුම්, තද ඇඳුම් ඇඳිය නොයුතු බව ද අව් කණ්ණාඩි නොපැලඳිය යුතු බව ද පාවහන් හා හිස් වැසුම් පැලඳ නොසිටිය යුතු බව ද රංචු ගැසීමෙන් වැළකිය යුතු බව ද පෙම් බස් නොදෙඩිය යුතු බව ද මුත්‍රා නොකළ යුතු බව ද බුලත් කෙළ ගැසීමෙන් වැළකිය යුතු බව ද පන්සල් භූමිය තුළ කුණු කසල නොදැමිය යුතු බව ද වශයෙන් දිග ලයිස්තුවක් ඊට ඇතුළත් කර තිබුණේ ය. බුලත් කෙළ මිස නිකම් කෙළ ගැන එහි සඳහන් ව තිබුණේ නැත. පෙම් බස් දෙඩීම ගැන මිස පෙම් කිරීම ගැන සඳහන් ව තිබුණේ නැත. දැන් මහදැනමුත්තාගේ ගෝලයින් මේ පන්සලට ගොඩ වැදුනොත් කුමක් කරනු ඇද්දැයි ඔබ සිතා බලන්න. තහංචි පනවා මෙසේ දී ඇත්තේ සෙසු සියල්ල කිරීමට අවසර පත්‍රයක් නොවේ ද?

ඔබ මිනිසුන් මෝඩයන් හැටියට සලකා කටයුතු කළ විට සිදු වන්නේ ඔවුන් ද මෝඩයන් බවට පත් ව රඟපෑමක නිරත වීම ය. අන්දරේට ගොනා වගේ සිටින්නට යැයි කියා අන්දරේගේ අම්මා කර ගත් අකරතැබ්බයට මුහුණ දීමට ය. ඒ නිසා කළමනාකරුවන් කළ යුත්තේ මිනිසුන්ට විස්තරාත්මක නීති පැනවීම නොව මනා හැසිරීමක ලක්ෂණ පිළිබඳ ව අධ්‍යාපනයක් දීම ය. පන්සලකට නම් ගමේ අය සමග ධර්ම දේශනාවක දී මේ ගැන සංවාදයකට යා හැකි ය. පාසලක පන්ති කාමරයේ දී ඒත් නැත්නම් උදෑසන රැස්වීමක දී මේ ගැන සාකච්ඡා කළ හැකි ය.

අප කළ යුත්තේ අපේ භූමි ප්‍රදේශය තුළ ගෞරවය ආරක්ෂා කර ගැනීමට උත්සුක වීමට අප ව ලඝු කර ගැනීමෙන් නතර වීම නොවේ. පොදුවේ හැසිරීම පිළිබඳ ව සංවේදී වන්නට මිනිසුන් යොමු කිරීම ය. බුලත් කෙළ නොගැසිය යුත්තේ පන්සලේ පමණක් නොවේ. තමන් යනෙන මහ පාරේ ද එය නොකළ යුතු ය. කුණු කසල දමා අපවිත්‍ර නොකළ යුත්තේ පන්සල් භූමිය පමණක් නොවේ. යන එන කිසි ම තැනක අප විසින් එසේ නොකළ යුතු ය. රටේ කිසි ම තැනක එසේ නොකළ යුතු ය. පන්සලට හා පාසලට මේ සම්බන්ධයෙන් මුල් විය හැකි ය. ඒ නීති පැනවීම වෙනුවට නිසි අධ්‍යාපනයක් සැලසීමෙන් ය.

එහෙත් එය සිදු නොවේ. හේතුව බොහෝ විට මේ නීති භාවිතා වන්නේ කළමනාකරුවන්ගේ බල පරාක්‍රමය පෙන්වීමට නිසා ය. විදුහල්පතිගේ, පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ නැත්නම් දායක සභාවේ ලොකු කම පෙන්වීමට නිසා ය. නීති පැනවීම නිසා ම නීතිය කඩ කළ කෙනෙකුට හිතේ හැටියට දෝෂාරෝපණය කිරීමේ අවස්ථාවක් කළමනාකරුවන්ට ඒ හරහා ලැබෙන නිසා ය. ඒ ඇරෙන්නට පනවන මෙවැනි දැඩි නිශ්චිත නීති වලින් සිදු වන යහපතක් නම් නැත.