අස්වෙනවා නම්, අස් වෙන්න කියන්න!


ආ එයා යනව ද? එහෙනම් යන්න කියන්න. පඩි වැඩි කරල අඩල දොඩල තියා ගන්න හදන්න එපා. මිනිස්සු ඕන තරම් ඉන්නව. Remember, no one is indispensable!

මේ වාක්‍ය කීපය ඔබ අසා පුරුදුවාට සැක නැත. මෙය කෙළින්ම පිළිගැනීම මෙන්ම ප්‍රතික්ෂේප කිරීම ද භයානක ය. මේ ගැන විමසිය යුතු ය. ගැඹුරින් විමසිය යුතු ය.

පළපුරුදු සේවකයෙකු අහිමි වීම නිසා සිදුවන අවාසිය මෙන්ම ඒ නිෂ්චිත පුද්ගලයා යෑම නිසා අත්විය හැකි වාසිය ද මේ ගැන තීන්දුවකට පැමිණීමට පෙර අප විසින් සැළකිල්ලට ගත යුතු ය.

බොහෝ විට අස්ව යන්නේ වෙළඳ පොළේ මිලක් ඇති මිනිසුන් ය. ඒ ඔවුන්ට වෙනත් රැකියාවක් සොයාගැනීම පහසු නිසා ය. ඒ නිසාම එවන් කෙනෙකු අස්ව යන්නේ කුමන හේතූන් නිසා ද යන්න ආයතනය දැන ගත යුතු ය.

අස්වෙනවා නම් අස්වෙන්න කියන්න යැයි කියන විට තමන් ඒ අස්වීම පිටුපස ඇති කතාව අසන්නට සූදානම් නැතැයි යන්න ඇඟ වේ. වඩාත්ම නරක ඒ අසංවේදී කම ය.

පළපුරුදු සේවකයෙකු ළග දෙආකාරයක දැනුමක් තිබේ. එකක් වචනවලට පෙරලිය හැකි බෙදා හදා ගත හැකි දැනුම (explicit knowledge) ය. එවැනි දැනුම ලේඛන ගත කිරීමට සමහර ආයතන කටයුතු කර තිබේ. එහෙත් කෙනෙකු සතුව බෙදාහදා ගත නොහැකි දැනුමක් ද (implicit knowledge) තිබේ. එය පුද්ගලයා ඉවත්වීමත් සමග ආයතනයට අහිමි වේ.

නව කෙනෙකු ආයතනයකට බඳවා ගැනීමේ ක්‍රියාවලියට පිරිවැයක් දැරිය යුතුව තිබේ. ඒ දැන්වීම් පළ කිරීම විභාග පැවැත්වීම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම යන කාරණා වෙනුවෙන් පමණක් නොවේ. ඔහු ආයතනයේ වැඩ කර ගෙන යා හැකි මට්ටමට පුහුණු කිරීම සඳහා යන පිරිවැය ද ඊට එකතු විය යුතු ය. ඒ පුහුණුව දැනුම හා කුසලතා සම්බන්ධයෙන් පමණක් නොවේ. ආයතනයේ නීති රීති හා ආයතන සංස්කෘතිය ගැන දැනුවත් කිරීම ද ඊට අයිති ය. ඒ සියල්ල අවසන් වන තෙක් ඔහුට වගකීමක් පැවරිය නොහැකි ය. පැවරුව ද ඒ ගැන විස්තීර්ණ පසු විපරමකින් පසු වීමට කළමනාකාරිත්වයට සිදු වේ. එතෙක් ඔහුට /ඇයට වැටුප් ගෙවීමට ද ආයතනයට සිදු වේ.

ඔහු / ඇය අස්ව ගිය පුද්ගලයාගේ තත්වයට පත් වන්නට පෙර ඉගෙනුම් චක්‍රයක (learning curve) ගමන් කළ යුතු ය. ඒ නිසා ඒ කාලය තුළ අස්ව ගිය පුද්ගලයා සතු ව තිබූ ඵලදායකත්වය එහැම පිටින් ඔහුගෙන් අපේක්ෂා කළ නොහැකි ය. ඒ නිසා ආදායමේ ද අඩුවක් ඇති විය හැකි ය.

අායතනය පිරිනැමීමට අදහස් කරන වැටුපට හා වෙනත් අනුග්‍රහ පැකේජයට ආකර්ෂණය කර ගත හැකි අය වෙළඳ පොලේ සිටින්නේ ද? ඔවුන් ආකර්ෂණය කර ගැනීමට ආයතනයට ඇති ඉඩකඩ කවරේ ද යන්න ද එහි දී සැළකිල්ලට ගත යුතු ය.

අස් වෙනවා නම් අස්වෙන්න කියන්න- කවුරුවත් නැතිව බැහැ කියල එකක් නෑ- යන කතාව කිව හැක්කේ මේ සියල්ල ගැන කරන විමසුමකින් පසුව පමණ ය.

මෙයින් අදහස් කරන්නේ සියල්ල නරක බව ද? අස්ව යන කෙනෙකු කෙසේ හෝ තබා ගත යුතු බව ද?

කිසිසේත්ම නැත.

කෙනෙක් ඉවත්ව යෑම සමහර විට ආයතනයට වාසි සහගත ද විය හැකි ය. ඔහුට / ඇයට වඩා දක්ෂ නව අදහස් ඇති කෙනෙකු ආයතනයට ලැබිය හැකි වීමේ ඉඩ ප්‍රස්ථාව කිසිවෙකුට බැහැර කළ නොහැකි ය. අලුත්වීම යහපත් ය. ශරීරයක පවා පැරණි සෛල මිය ගොස් නව ඒවා සෑදේ. ස්වභාවයම එය ය.

ඒ නිසා කෙනෙකු ඉවත්ව යන්නේ නම් ඕනෑම දෙයකට යටත්ව ඔහු /ඇය තබා ගැනීම ද මෝඩ කමකි.

අප මෙතෙක් කතා කළ කාරණා හකුළුවා දක්වතොත් ඒ මෙසේ ය.

සමහරු ආයතනයකට නැතිව බැරි ය. එවැන්නෙකු නැතිවීම හා ඊට සුදුසු අනුප්‍රාප්තිකයෙකු සොයා ගැනීමට නොහැකි වීම ආයතනයට බරපතල පාඩුවක් විය හැකි ය. එහෙත් ඒ නිසා ආයතනය ගල ග්‍රණයෙන් ගෙන ආයතනයෙන් කප්පම් ගන්නට කෙනෙකුට ඉඩ දිය නොහැකි ය. මේ අන්ත දෙකෙන්ම මිදී මැදුම් පිළිවෙත අනුගමනය කිරීම කළමනාකරුගේ වගකීම ය.

ඊට අමතරව මතක තබා ගත යුතු වැදගත්ම කාරණය නම් ආයතනයෙන් මිනිසුන් ඉවත්ව යන්නේ නම් ඒ ගැන නිහඩව ඉන්නට හෝ අමතක කර ලන්නට නම් කළමනාකාරිත්වයට නොහැකි බව ය. ඉවත්ව යන්නට ඉඩ හලේ වුව ද ඒ ගැන හොයන්නට ඔවුන් කටයුතු කළ යුත්තේ ය.

ඉවත්ව යන්නට එකම හේතුව වැටුප හෝ මුදල් සම්බන්ධ දීමනා නොවේ. සමහර විට එසේ යන්නේ පහසුවෙන් ආයතනයට නිවැරදි කර ගත හැකි එහෙත් නිවැරදි කරගන්නා බවට ලකුණක් වත් නැති කාරණා නිසා ය. වඩා විපරමින් සෙවිය යුත්තේ එවැනි දෑ ගැන ය.

ඒ නිසාම යනවා යයි කී පමණින් යනවා නම් යන්න කියන්න යන ආඩම්බර වදන් තොල් පෙති අතරින් පිට කරන්නට පළමු තව බොහෝ දේ කරන්නට තිබෙන බව කළමනාකරුවන් මතක තබා ගත යුතු ය.

පැතු දේ නොම වෙයි. නොසිතු දෙයක් වෙයි.


ජීවිතය රේඛාවක ගමන් කරන්නේ නැත. අපට කිසියම් අවස්ථාවක අහවල් තැනට ලගා විය හැකි යයි කිව හැක්කේ එවැනි රේඛීය ගමනක දී ය.

ගණිතය ගැන දන්නා උදවිය මා සමග එකග වෙන එකක් නැත. ඒ රේඛාවක නොවුව ද කිසියම් නිශ්චිත පථයක ගමන වේ නම් යම් අවස්ථාවක අප කොතැනට ලගා වේ දැයි කිව හැකි බව කියමිනි. ඉතින් ඔවුන් වෙනුවෙන් මම මගේ ප්‍රකාශය නැවත වෙනස් කරමි. අපට එසේ කිව හැක්කේ ගමනේ පථය කල් ඇතිව කිව හැකි විට දී ය.

ජීවිත ගමන ගැන කාටවත් එවැනි නිශ්චිත පථයක් දැක්විය නොහැකි ය. අප එවැනි ගමන් සැළසුම් කරන නමුදු ඒවා වැහි කෝඩට වලට හිටි ගමන් අසුවී කුණාටුවලට මැදි වී සුළි සුළගෙන් ගසා ගෙන ගොස් අප නොහිතූ තැනක අප අතරමං කර දමන්නේ ය.

එසේ වූ විට අපේ සැළසුම් නැවතත් වෙනස් කරන්නට අපට සිදු වේ.

එවැනි උපද්‍රවයන් දෙස සමහරු බලන්නේ නිශේධනීය ලෙස ය. ඔවුන් කරන්නේ අඩා වැටීම ය. අධෛර්යය වීම ය.

තවත් සමහරු කරන්නේ නිහඩව මුල සිට සියල්ල නැවතත් කළ ආකාරයෙන්ම පටන් ගැනීම ය. ඔවුන් අධෛර්ය වන්නේම නැත. එහෙත් අලුතින් තමන්ගේ ඉලක්ක දිහා බලන්නට නම් ඔවුන් අකමැති ය. එක් අතකින් ඔවුන් කලින් කී අය වගේ ය. ඒ තබා ගත් ඉලක්ක වලට ඇලීම නිසා ය. අනිත් අතින් ඔවුන් අප මුලින් දුටු මිනිසුන්ගේ ප්‍රතිපක්ෂය ය. ඒ කම්පා වීමෙන් අකර්ණම්‍ය නොවී නැවත ඇරඹීමට ඇති ධෛර්යය නිසා ය.

සමහර විට අප කවදාවත් නොසිතූ නව අවස්ථා එවන් සිද්ධියක් හරහා උදාවීමේ ඉඩකඩ තිබෙන බව මේ දෙවර්ගයටම නොපෙනේ. හැම කළු වලාවකම රිදී රේඛාවක් තිබෙන බව ඔවුහු නොසළකා හරිති. ඒ බව තේරුම් ගන්නා අය පෙරළුනු පැත්ත හොඳ යැයි කියමින් ඉදිරියට කළ යුත්තේ කුමක් දැයි කල්පනා කරනවා ඇත.

ජීවිතය ලස්සණව ඇත්තේ ද මේ අවිනිශ්චිතතාවය නිසා ය. තෘප්තිය ඇතිවන්නේ මේ උපද්‍රවවලින් ඇතිකරනු ලබන අභියෝග ජය ගන්නට කරන වෑයමේ ය.

අප යන මාවත ඉදිරියේ අහුරා ඇති බව දැනගත් විට අපට උපද්‍රවයක් එළැඹි බව අවබෝධ වූ විට අප ඉන් පරල නොවී සන්සුන්ව ඒ දෙස බැලීමට පුරුදු පුහුණු විය යුතු ය. ඒ නව අවස්ථාව අපට උදාකරනු ඇත්තේ කුමන ඉඩ ප්‍රස්ථා දැයි විමසිය යුතු ය.

කලින් ඉලක්ක ඉවත දමා නව ඉලක්ක ගොඩ නගා ගත යුතු දැයි විමසිය යුතු වේ. අපට දැන් යෑමට ඇති අලුත් මාවතේ විසිතුරු දැකීමට හිත හදා ගත යුතු වේ.

එහෙත් මේ දේ කියන තරම් පහසු නැත. අප අපේ කලින් ඉලක්කයන් වෙනුවෙන් කාලය හා සම්පත් වැය කර ඇත්තෙමු. ඒවා දැන් අපතේ ගොස් තිබේ. ඒ ගැන දුක් නොවී සිටිය හැක්කේ කාට ද? ඒ පමණක් ද? නව මාවතේ යෑමට නැවත වතාවක් ලක ලෑස්ති විය යුතු ය. අලුතෙන් ඉගෙන ගත යුතු ය. නැවතත් ‘අ‘ යන්නේ සිට පටන් ගත යුතු ය.

ඒ සියල්ල ඇත්ත ය. ඒත් ලතැවූ පමණින් ගිය දේ ලැබෙන්නේ නැත. ඊටත් අමතරව සැගවුණු තව කාරණයක් තිබේ. සියල්ල අපතේ ගොස් නැත. අප ලද අත්දැකීම් අපට ඉගෙනුමක් ලෙස ඉතිරිව තිබේ. ඒවා සම්පත් මෙන් විනාශ වන්නේ නැත. අප විශ්වාස කළ යුත්තේ අප මේ ගමනේ එකතු කරගන්නා ඒ දැනුම හා කුසලතා කෙරෙහි ය. අප ගොඩ නගා ගෙන ඇති මිත්‍ර සබඳතා කෙරෙහි ය. අප සමාජය තුළ ඇති කරගෙන ඇති ප්‍රතිරූපය කෙරෙහි ය.

එසේ නැතිව අප එකතු කරගන්නා මිල මුදල් හා භොතික සම්පත් කෙරෙහි නොවේ. ඒවා නැති විය හැකි ය. සොර සතුරන්ට පැහැර ගත හැකි ය. ගින්නෙන් ගංවතුරෙන් විනාශ විය හැකි ය. ඒ ලෝ දහම ය.

ඒවා මතම තම ජීවිතය ගොඩ නොනැගිය යුත්තේ ඒ නිසා ය.

හැම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තිබේ. එය කුමක් දැයි ටක්කෙට කිව නොහැකි ය.


ඔබ ඔබේ දරුවාට නිදහස දීමට කැමති ය. එහෙත් ඒ නිදහස ඔහු කෙසේ භාවිතයට ගනී ද යන බිය ද ඔබට තිබේ. ඒ නිසා ඔබ ඔහුට නිදහස දීම කල් දමයි. මැලි වෙයි. ආසයි බයයි යන මේ උභතෝකෝටිකය තව බොහෝ දේ සම්බන්ධයෙන් ද තිබේ. කළමනාකරණයේ දී ද ඔබ මේ උභතෝකෝටියට මුහුණ දෙයි. ඔබ ඔබේ සේවකයන්ට ඔබේ බලය බෙදා දීමට (delegate) කැමති ය. එහෙත් එසේ දුන් බලය ඔවුන් කෙසේ භාවිතා කරාවිද යන්න ගැන ඔබට බියක් තිබේ. ඒ නිසා ඔබ කරන්නේ හැකි හැම දෙයක්ම පාහේ ඔබ විසින්ම කිරීමට ඔබ වෙත රඳවා ගැනීම ය. පොදුවේ මේ අකර්ණම්‍යය වීම මැඩ ගත හැක්කේ කෙසේ දැයි අපි සොයමු.

ඕනෑම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් තිබේ. ඒ ප්‍රතික්‍රියාව කුමක් දැයි සමහර දෑ සම්බන්ධයෙන් පූර්ව නිගමනයකට පැමිණිය නොහැකි ය. ඒ නිසා අප කරන්නේ විය හැකි නරකම දේ හිතින් මවා ගැනීම ය. එවිට සිදුවන්නේ සැළසුම් කළ ක්‍රියාව අත්හැර දැමීමට ය.

එය බොහෝ ක්‍රියාවලින් අප වළකයි. විශේෂයෙන්ම නව දේ අත්හදා බැලීමෙන් අප වළකයි. එසේ සිතන කෙනෙකු අසාර්ථක වීමට ඇති ඉඩ අඩු ය. ඒ නිසාම ඔහුට සාර්ථක වීමට ද නොහැකි ය.

අප කළ යුත්තේ අපේ ක්‍රියාව නිසා ඇති විය හැකි වඩාත්ම හොඳ තත්වය ගැන සිතින් මවා ගැනීම ය. බැරි වෙලාවත් එසේ නොවුවහොත් අනුගමනය කිරීමට පසු බැසීමට විකල්පයක් ද හදා ගැනීම ය. විකල්පය බැරිම වුනොත් පමණක් විය යුතු ය. පළමු පසු බැස්මේම විකල්පයට තල්ලු වුවහොත් වෙන්නේ මුලින් වූ දේම ය.

පලාලි යුද හමුදා කඳවුරේ ආරක්ෂක කලාපයේ ඉඩම් ඒ අයිති ජනතාවට පවරා දීම පසුගිය දිනෙක සිදු විය. මේ ඇසු දුටු සමහර අය කීවේ දැන් ඉතින් හමුදා කඳවුරු ත්‍රස්ත ප්‍රහාරයකට විවෘත කරන ලද බවය. එය විය හැකි නරකම දෙය ය. විය හැකි හොද දෙය කුමක් ද? ඉඩම් අහිමි කරන ලද ජනතාවට විශාල සහනයක් ලැබීම ය. ඒ නිසාම දකුණ ගැන තියෙන කෝපය යම් පමණකින් හෝ සමනය වීම ය.

දෙවැන්න සිදු නොවී පළමුවැන්න සිදුවන්නට බැරි ද? හැකි ය. එවැන්නක් සිදුවන්නට බැරි යයි කිසිවෙකුට කිව නොහැකි ය.

එසේ වුවහොත් නැවතත් ආරක්ෂක කලාපයක් ඉදිකරන්නට සිදු වෙනු ඇත. එහෙත් එසේ කියා ඒ ඉඩම් යුද්ධය අවසන් වී වසර 5 ක් ගිය තැනත් රඳවා ගෙන සිටිය යුතු ද? එයම තවත් ගැටුමකට අවශ්‍ය තත්වයන් ගොනු නොකරන්නේ ද?

දරුවා නොමග යතැයි සිතා සදාකාලිකව දෙමාපිය තුරුලේ රඳවා ගෙන සිටින අම්මලා තාත්තලා හිතන්නේ ඔවුන් දරුවන්ට හැකි ඉහළම ආරක්ෂාව දෙන බවකි.

ආරක්ෂාව නරක නැත. එහෙත් කෙනෙක් ජාතියක් රටක් අකර්ණම්‍ය කරන්නට තරම් ප්‍රබල වන්නේ නම් විනාශය ඊට වඩා හොඳ ය. මක්නිසාද යත් ඊට මුහුණ දී එය පරාජය කළ හැකි බැවිනි.

තවත් විදිහකට කියනවා නම් මිනිසුන් පරාජය කළ හැකි ය. පරාජය කළ නොහැක්කේ අවතාර ය.

ලෝක ජල දිනය – යහපාලනය හා ජලය


කිසිදු සම්බන්ධයක් නොපෙනෙන සංකල්ප දෙකක් එක් කර මාතෘකාවක් නිර්මාණය කර ඇතැයි බැලූ බැල්මට පෙනෙතත් මේ වචන දෙක අතර ඇත්තේ අතිශය සමීප සම්බන්ධතාවයක් බව හොඳින් විමසන විට පෙනේ.

යහපාලනය, යහපාලනය වෙනුවෙන් නොවේ. යහපාලනය වඩා යහපත් අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා යොදාගත හැකි යාන්ත්‍රණයක් -අතරමැදියෙක්- පමණි. ජලය ද එසේ ය. පිපාසය සංසිදුවා ගැනීමට කෙළින්ම භාවිතා කිරීම හැරුණු කොට ඉතිරි සියල්ලේදී යහපාලනය මෙන්ම එය අවසාන අරමුණ කරා යෑමට ආධාරකයක් ලෙස ක්‍රියා කරන්නේ ය. එය අවශ්‍ය ආහාර පිසීමට ය. පිරිසිදු කාරකයක් ලෙස භාවිතා කිරීමට ය. බව භෝග වගාවට ය. විදුලිය නිපදවීමට ය. පරිසරය රැකීමට ය. කර්මාන්ත සඳහා අමුද්‍රව්‍යයක් ලෙස ය.

ජලයට නොයෙක් ප්‍රයෝජන ඇති නිසාම එය හැම විටම හැම තැනම නැති නිසාම එය ලබා ගැනීමට තරගයක් තිබේ. සම්පත් සඳහා තරගයක් ඇති තැන ඒවා වෙන්කර දීම කෙරෙන්නේ එක්කෝ මධ්‍ය අධිකාරියකිනි. එසේත් නැතිනම් ගත හැකි ඉහළ මිලට නිදහසේ විකිණිමෙනි.

සෞඛ්‍ය සේවාව ගත්තත් අධ්‍යාපනය ගත්තත් අප අත්දකින සත්‍යය එයයි.

බොහෝ දෙනෙකු කැමති මේ විකල්ප දෙක – මධ්‍ය අධිකාරියකින් බෙදීම හා වෙළඳ පොළ මිල ගණන් අනුව බෙදීම- එකිනෙකින් වෙන් කර දැක්වීමට ය. එහෙත් සැබෑ ජීවිතයේ මේවා එකිනෙකෙන් වෙන්ව පවතින්නේ නැත.

රජයේ ඇතැම් විදුහල්වලට තරගයක් තිබේ. එවිට ඇතුළු වන අය තීරණය කරන්නේ මධ්‍ය අධිකාරියකිනි. එහෙත් අප දන්නා සත්‍යය නම් ඒ තීරණයන් සමහර අවස්ථාවල මිලකට විකිණෙන බව ය. යහපාලනය නැති තැනක මධ්‍ය අධිකාරිය මිල මුදලට හා බලයට යටවේ.

අනෙත් අතට රජයේ වැඩ සඳහා කොන්ත්‍රාත්කරුවන්ගෙන් මිල ගණන් කැඳවන අවස්ථාවක අපේක්ෂාව අපේක්ෂිත ගුණාත්මක මට්ටමට එම වැඩය හෝ සේවාව සැපයිය හැකි අවම මිල ඉදිරිපත් කරන්නාට ලැබීම වුව ද ඒ සඳහා තරගයක් පවත්වන්නේ වුව ද මධ්‍ය අධිකාරිය මැදිහත් වී ඒ තීරණයන් වෙනස් කරන අවස්ථා ද බොහෝ තිබේ. ඒ තමන් වඩා කැමති පාර්ශවයට එම කටයුත්ත ලබා දීමට කරන මැදිහත් වීම් හරහා ය. බොහෝ දෙනා දේශපාලන හා නිලධාරීවාදී ඇගිලි ගැසීම් ලෙස දක්වන්නේ මෙවැනි කටයුතු ගැන ය. යහපාලන නැති තැනක ස්වාධීන අධිකාරියක් මෙන්ම නිදහස් වෙළඳ පොලක් ද නැත.

ජලය තරගකාරී පාරිභෝගිකයන් අතර බෙදීම සම්බන්ධයෙන් ද කවර ක්‍රමයක් අනුගමනය කළ ද අනෙකෙන් වෙන්ව ශුද්ධ ආකාරයකට පවත්වා ගත නොහැකි ය. ජලය විකුණන තැනක මිල පසෙකලා බලය යොදා අත් කර ගැනීමට කටයුතු කරන්නට යම් පාර්ශවයන්ට හැකි ය. ජලය මධ්‍ය අධිකාරියකින් වෙන් කර දෙන තැනක අල්ලස් දීම මගින් හෝ වෙන ආකාරයේ මැදිහත් වීම් මගින් යම් මිලකට එම වෙන්කිරීම කරගන්නට කරන උත්සහයන් දකින්නට හැකි ය.

මේ තත්වයෙන් දුකට පත් වන්නේ කවු ද? මිල මුදල් නැති බලය නැති අය ය.
ජලය වැනි ජීවිතයට අතිශය වැදගත් කාරණයක දී අසරණ වන දුප්පත් දුබල ජනතාවට පිහිටක් ලබා ගත හැකි එකම මග යහපාලනය ස්ථාප්තිත කිරීම ය.

යහපාලනයේ එක් මූලික සිද්ධාන්තයක් නම් විනිවිද භාවය පවත්වා ගැනීම ය. තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම මගින් එය සාක්ෂාත් කරගනු ලැබේ. එවිට බලයට හෝ මුදලට අනියම් ලෙස සැගවී කරන කුප්‍රකට ගනුදෙනුවල නිරත වන්නට ඇති ඉඩ ඇහිරේ.

ජල සම්පත් ප්‍රවේසම් කරගත හැකි වන්නේත් නිසි ලෙස බෙදා වෙන් කළ හැකි වන්නේත් එවැනි පසුබිමක ය. ජල සම්පත පමණක් නොව අන් සියලු සම්පත් සම්බන්ධයෙන් ද යහපාලනය ජනතාවට උපරිම වාසිය ලබා ගත හැකි වටපිටාවක් මෙසේ නිර්මාණය කරන්නේ ය. එය ජල කළමනාකරණයේ යෙදෙන අපට වඩාත් වැදගත් වන්නේ ජලය දිනෙන් දින විවිධ පාර්ශවකරුවන් විසින් වඩාත් ඉල්ලුම් කරන සම්පතක් බවට පත්වෙමින් තිබෙන නිසා ය. එය සුවහසක් මිනිසුන්ගේ ජීවිත හා ජීවනෝපායන් සමග ද රටේ ආර්ථික වෘද්ධිය සමග ද බැඳි ඇති නිසා ය.

යහපාලනය ජලය පාරිභෝජනය කරන්නන්ගේ වුවමනා එපාකම් වෙනුවෙන් පෙනී සිටින අතරේ ජලකළමනාකරුවන් හැටියට අපේ වැඩ කටයුතු ද පහසු කරන්නේ ය. මක්නිසා ද යත් යහපාලනය යටතේ දේශපාලන හා බලවතුන්ගේ ඇගිලි ගැසීම්වලට ඉඩ අඩු වීම නිසා ය. මිල මුදලට තීරණ වෙනස් කිරීමට ඇති ඉඩ ඉන් ඇහිරෙන නිසා ය.
එපමණක් නොවේ. අප අනුගමනය කළ යුතු වන්නේ මධ්‍ය අධිකාරියකින් බෙදා හදා ගැනෙන ක්‍රමයක් ද වෙළඳ පොළේ ඉහළම මිලට විකිණෙන ක්‍රමයක් ද ඒ ක්‍රම දෙකේ සම්මිශ්‍රණයක් ද යන ප්‍රශ්නය ද සංවාදයට බඳුන් කිරීමට යහපාලනය යටතේ ඉඩ ලැබේ.

ඒ තෝරාගැනීම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන්නට පමණක් නොව ඒ තෝරාගැනීම් ගැන විරෝධය පල කරන්නට ද ඉඩ යහපාලනය යටතේ ලැබේ.
අවසානයේ වැදගත් වන්නේ යම් පාර්ශවයකට උපරිමය ලබා දෙන ක්‍රමයක් නිර්මාණය කිරීම නොවේ. මුලුමහත් රටට එහි වෙසෙන පළල් ජනතාවට කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන වාසි ලබා දෙන අතරේ දුබල දුප්පත් ජන කොටස්වල අයිතිය ද සුරැකෙන ක්‍රමයකි. යහපාලනයේ අවසාන අරමුණ ද එයයි.

රටේ මේ දිනවල මාතෘකාවක් වී ඇති යහපාලනය යථාර්තයක් වෙතොත් එහි වාසිය ජලය පාරිභෝජනය කරන්නන්ටත් ජලය කළමනාකරණය කරන්නන්ටත් මෙසේ ලැබෙන නිසාම යහපාලනය යථාර්තයක් කර ගැනීමට හැකි හැම දෙයක් ම ඒ දෙපාර්ශවයම විසින් කළ යුතු ය.

ජලය සම්බන්ධයෙන් මේ කළ සාකච්ඡාව වෙනත් බොහෝ සම්පත් සඳහා මෙන්ම වෙනත් ව්‍යාපාරික අවස්ථා සම්බන්ධයෙන් ද සත්‍යය ය. ඒ නිසාම කළමනාකරණ බ්ලොග් සටහනක් ලෙස එය ප්‍රකාශයට පත් කිරීමට තීරණය කෙරිණි.

අනුකම්පාව හා සහකම්පාව


කළමනාකරුවෙකු තමන්ගේ කණ්ඩායමේ සමාජිකයන් කෙරෙහි තමන්ගේ සගයන් කෙරෙහි අනුකම්පාව දැක්විය යුතු ද?

අනුකම්පා කිරීමේ දී අප අනෙකාගේ මට්ටමට වැටෙන්නට සූදානම් නැත. අප ඉහළ රැඳෙනා අතර පහළ ඉන්න අනෙකා වෙනුවෙන් යමක් විසිකරන්නට පමණක් එවිට අපි ඉදිරිපත් වන්නෙමු. ඈත සිට අත දෙන්නට පමණක් ඉදිරිපත් වන්නෙමු.

අප අනුකම්පාව වෙනුවට සහකම්පාව පළ කරන්නේ නම් අප අනෙකාගේ තත්වයට මනෝභාවයට වැටීමට සූදානම් ය. ඔහු/ඇය සමග ඔහුගේ ඇයගේ දුක වේදනාව අපේක්ෂාභංගත්වය බෙදා ගැනීමට සූදානම් ය. එම මනෝභාවයන් විඳ ගැනීමට එ්වා තේරුම් ගැනීමට ඒ හරහා ඔහුට ඇයට ශක්තියක් වීමට අප සූදානම් ය.

අනුකම්පා කිරීමේ දී අප කරන්නේ ඔහු හෝ ඇයට තමන්ගේ මනෝභාවයෙන් මිදීමට බල කිරීම ය. නියෝග දීම ය. සහකම්පාව දැක්වීමේ දී අප ඒ වෙනුවට එම මනෝභාවය ඒ අයුරින් පිළිගැනීමට සූදානම් ය.

අනුකම්පා කිරීමේදී අප කරන්නේ අප සිටින තැන සිට අත දිගු කිරීම බව අපි කීවෙමු.

සහකම්පාවේදී අප කරන්නේ ඔහු/ඇය ඉන්නා තැනට ගොස් කර වටට අතක් දමා ගෙන් ඔහු හෝ ඇය සමග නැගී සිටිම ය.

අනුකම්පාව අනුකම්පාව ලබන්නා තුළ වඩාත් පරාජිත හැගීමක් ඇති කරයි. සහකම්පාව ඔහු හෝ ඇය තුළ ශක්තියක් ඇති කරයි.

අනුකම්පාව දක්වන්නා කියනු ඇත්තේ ඕවා ඔහොම තමයි ඔයාට විතර ද ඔය වගේ ඒවා ලෝකෙ හැමෝටම වෙනව. හිතන්න ඔයින් ගියා ඇති කියල. නොලැබුන දේ ගැන හිතන්න එපා. අමාරුවකින් ගැලවුනා කියල හිතන්න.

සහකම්පාව දක්වන්නා කියනු ඇත්තේ මට ඔයාගෙ වේදනාව හැගීම තේරෙනව. ඒක ස්වභාවිකයි. මට වුනානම් මට කොහොම වෙයි ද කියල හිතාගන්න බැහැ. අපි අලුතින් ජීවිතේ දිහා බලමු.

(සමහර විට ඔහු එක ද වචනයක් හෝ නොකියා ඒ වෙනුවට ඔහුට හෝ ඇයට ශරීර ස්පර්ශයෙන් ප්‍රතිචාර දක්වන්නට පුලුවන. නිශ්ශබ්දතාවයෙන් ප්‍රතිචාර දක්වන්නට පුලුවන. සහකම්පනය බොහෝ විට වචනයෙන් තොර ය.)

බැලූ බැල්මට ඉහත දැක්වූ ප්‍රකාශ දෙක අතර විසල් වෙනසක් නැත. බැලු බැල්මට දෙකින් ම අපේක්ෂා කරන්නේ ද එකකි. ඒ දුකට පීඩාවට පත් තැනැත්තාට උදව් කිරීම ය. සහය වීම ය. එහෙත් ලබන්නාගේ හිතේ ඇතිවන මනෝභාවය අහසට පොළොව තරම් වෙනස් ය.

පළමුවැන්න පීඩාවට පත් තැනැත්තා

    වෙනුවෙන්

උපකාරයකට ඉදිරිපත් වීමකි. දෙවැන්න පීඩාවට පත් තැනැත්තා

    සමග

ඔහු/ඇයගේ දුක හා හැගීම බෙදා හදා ගැනීමකි.

එකක් කේන්තියත් අනෙක සැනසීමත් ගෙනෙන්නේ ය. එකක් වේදනාව වැඩි කරන්නේ ය. අනෙක වේදනාව සමනය කරන්නේ ය. එකක් තමන් ගැන හීනමානයක් ඇති කරන්නේ ය. අනෙක තමන් සුරක්ෂිතය යන හැගීම ඇති කරන්නේ ය.

ඊළග අවස්ථාවේ ඔබෙ හිතවතෙකු කරදරයක වැටුනු කල අනුකම්පාව වෙනුවට සහකම්පාව දැක්වීමට මතක තබා ගන්න. නැතිනම් ඔබ කරන්නේ ගහෙන් වැටුන මිනිහාට අනින්නට ගොනෙකු මෙහෙයවීම ය.