ඇස් දෙකකින් නොව ඇස් සිය දහස් ගණනකින් ලෝකය දෙස බලමු


  • නිශාන්ත කමලදාස

යමක් දෙස බැලිය හැකි ආකාර ගණනාවක් තිබේ. ඇතැමුන්ට තර්ජනයක් හෝ අභියෝගයක් වන දේ තව කෙනෙකුට අපූරු අවස්ථාවක් වන්නේ ඒ නිසා ය. ගැහැණියකගේ නිරුවත කෙනෙකුට අසභ්‍ය දෙයක් වන විට කලාකරුවෙකුට සෞන්දර්ය වඩන එකක් වන්නේ ද ඒ නිසා ය. දානය මහත් ආනිශංස ඇති පුණ්‍ය කර්මයක් ලෙස සමහරු දකිතත් කෙනෙකුට එය යැපුම් මානසිකත්වය ඇති කරන ක්‍රියාවක් ලෙස හෝ කැමැත්ත දිනා ගැනීමට දෙන අල්ලසක් හෝ තමන්ගේ ගරු ගාම්භීරත්වය ප්‍රකාශ කළ හැකි අවස්ථාවක් ලෙස හෝ දැකිය හැකි වන්නේ මේ නිසා ය. අර්ධයක් පිරී ඇතැයි සලකන වීදුරුවක් දෙස බලා කෙනෙකුට එය අඩක් හිස් වී ඇති එකක් ලෙස සලකන්නට ද හැකි ය. ඒ එකක් වත් අප ගත් ප්‍රස්තුතයට (දෙයට හෝ ක්‍රියාවට) අයත් දේ නොවේ. ඒ ඒවා දෙස අප බැලූ කෝණයේ හැඩය ය.

බොහෝ විට මේ කෝණය සෑදෙන්නේ අප සිට ගන්නා තැන අනුව ය. එයින් අදහස් කරන්නේ අප සිට ගන්නා භෞතික ස්ථානය නොවේ. අපේ සිත ගන්නා මානසික ස්ථාවරය ය.

ඒ ස්ථාවරය දෙස බලන අපි, සමහරු ශුභවාදී යැයි ද සමහරු අශුභ වාදී යැයි ද කියමු. ඒත් මේ තැන් ගන්නා දෙගොල්ලන්ගෙන් ම ඇසුවොත් ඔවුන් කියනු ඇත්තේ ඔවුන් ගත් ස්ථාවරය යථාර්ථවාදී බව ය.

ශුභවාදී අය බොහෝ දේ කරන්නට ගොස්, තමන්ට නොහැකි දේ පවා කරන්නට ගොස්, ඇන ගන්නා අවස්ථා තිබිය හැකි ය. එහෙත් එසේ වීම නරක නැත. මක් නිසා ද යත් එය ඒ පුද්ගලයාට නව දැනුමක් ලැ‌බෙන නිසා ය. අශුභවාදී පුද්ගලයා එහෙම අමාරුවේ වැටෙන්නේ නැත. ඒ නිසා ම ඔහු අලුතෙන් ඉගෙන ගන්නේ ද නැත.

ශුභවාදී පුද්ගලයා ඇතැම් විට තමන් ගන්නා අභියෝග නිසා විශාල පාඩු අත් කර ගන්නේ ය. ඒවා ලබා ගන්නා අත්දැකීම සමග සන්සන්දනයේ දී විශාල වන්නට ද පුළුවන. ඒ නිසා ඔහු කළ යුත්තේ අවදානම කුමක් දැයි තක්සේරුවකට ද යෑම ය. ඔ්නෑ ම අවදානමක් ගැනීම වෙනුවට නිසි අවදානම් කළමනාකරණයක් සහිත ව අවදානම් ගැනීම ය.

අශුභවාදී පුද්ගලයා හුරු විය යුත්තේ කුඩා අවදානම් ගැනීමට ය. ඒවා තුළ පැරදීමට වුව හුරු වීමට ය. ඇතැම් තැනක අත් හැරීමට හුරු වීමට ය. කිසි දිනක පැරදී නැති අය කැමති ඒ වාර්තාව දිගින් දිගට පවත්වා ගැනීමට ය. ඒ තුළ ඔවුන් බොහෝ දෙනෙකු හුරුව ඇත්තේ අලස ජීවිතයකට ය. වැඩි දැඟලිල්ලකින් තොර ජීවිතයකට ය. 

ශුභ අශුභවාදී බෙදීම හැරුණු කොට මේ අතර වෙනත් බෙදීම් ද පවතින්නේ ය. ගැහැණියකගේ නිරුවත කවියක් ලියන්නට තරම්, සිතුවමක් හෝ මූර්තියක් කරන්නට තරම්, වටින ප්‍රස්තුතයක් ලෙස සලකන කෙනෙක් සහ ඇයගේ නිරුවත අසභ්‍ය බවේ සංකේතයක් ලෙස සලකන කෙනෙක් ගෙන එකෙක් ශුභවාදී හා අනෙකා අශුභවාදී යැයි කෙලින් ම කියන්නට අපට නොහැකි ය. පැහැදිලිව බෙදා වෙන් කරන්නට අපට නොහැකි ය. අපට කිව හැක්කේ කෝණයන් වෙනස් බව පමණකි.

අප බලන කෝණය කුමක් වුව ද සෙසු කෝණ සම්බන්ධයෙන් ද සංවේදී වන්නට හැකි නම් අගනේ ය. තමන්ගේ මතය මුළුමනින් ම ඉවත දමන කෙනෙකු සමග පයුරු-පාසානම් පැවැත්වීමට කිසිවෙකු කැමති නැත. අනෙකෙකු විවේචනය කිරීමට පෙර ඔවුන්ගේ කෝණයෙන් ද ඒ දෙස බැලිය හැකි නම් අප ඒ විවේචන කරන්නට යන්නේ නැත. ඒ නිසා ම අපට වඩා පළල් මිත්‍ර සමාජයක ඇසුර ලද හැකි ය. ඒ නිසා ම වෙන කෙනෙකුට වඩා මිනිසුන් කෙරෙහි බලපෑමක් කිරීමට ද අවස්ථාව සැලසෙන්නේ ය. ඒ ඔවුන් තේරුම් ගන්නා කෙනෙකු හැටියට පිළිගැනීමක් ලැබීම හරහා ය.

එහෙත් ප්‍රශ්නයක් වී ඇත්තේ අප බලන කෝණයට වෙනස් කෝණයකින් බලන අය දෙස සතුරන්‌ ලෙස නොමිනිසුන් ලෙස, නූගතුන් ලෙස, මෝඩයින් ලෙස, අන්තගාමීන් ලෙස, සමාජ විරෝධීන් ලෙස බලන දැක්මක් අප සමහරෙක් සතු ව තිබීම ය. ඒ අයට අවශ්‍ය සෙසු අය ද තමන් සිතන විදිහට ම සිතනවා දැකීමට ය. එසේ වන බවට වග බලා ගැනීමට ඇතැම් විට තර්ජනය ද ඇතැම් විට ආධිපත්‍යය ද ඇතැම් විට බාහු බලය ද ඔවුහු යොදා ගන්නෝ ය. ලෝකයේ විවිධත්වය ප්‍රතික්ෂේප කරන ඔවුහු ලෝකය යුද බිමක් කර ගන්නෝ ය.

ඇතැම් විට ලෝකය එක් අන්තයකට යන්නේ නැති ව තුලනය වී තිබෙන්නේ ම මේ විවිධත්වය නිසා ය. විවිධත්වය ධනාත්මක ව ගන්නේ නැතිව සමජාතිය ලෝකයක් හැදීමට අප ඉහත සඳහන් කළ අයට වුවමනා ය.

පළල් සමාජය තුළ පමණක් නොව ආයතනයක් තුළ ද මෙසේ විවිධ මත ගත් මිනිස්සු සිටිති. සමහරක් ඔ්නෑ ම අවදානමක් ගන්නට සූදානම් ය. සමහරක් මොන ම අවදානමක් වත් ගන්නේ නැත. මුල් වර්ගයේ අයට හැම දෙයක් ම පාහේ අවස්ථාවක් ය. දෙවැනි අයට ඒ සියල්ල අභියෝගයන් ය. තර්ජනයන් ය. මේ දෙවර්ගයේ ම අය ආයතනයකට වටින්නේ ය. පළමු අය නිසා නවෝත්පාදනය ට ඉඩ විවර වෙන අතර දෙවැනි අය නිසා විශාල කඩා වැටීම් වළකින්නට ඉඩ තිබෙන්නේ ය. ඒ පළමු වර්ගයේ අයට දෙවැනි වර්ගයේ අය විසින් කරන අනතුරු ඇඟවීම් නිසා ය. ඒ නිසා ම ඒවාට ද මුහුණ දිය හැකි වැඩ පිළිවෙළක් සකස් කර ගැනීමට පළමු වර්ගයේ අය වුව ද පෙලඹෙන නිසා ය.

අපට මේ විවිධත්වය එක පුද්ගලයෙකු තුළ ට ද ඇති කළ හැකි ය. එවිට අප ඉහත කී පරිදි ආයතනයට ලැබෙන ප්‍රයෝජනය පුද්ගලයාට ද ලැබෙන නිසා ය.

සමාජය තුළ පවා මේ විවිධත්වය තිබෙන එක යහපත් ය. කණ්ඩලම හෝටලය ලොව පිළිගත් පරිසර සංවේදී හෝටලයක් බවට පත් වීමට ඊට එරෙහි ව කරන ලද උද්ඝෝෂණ ද බල පෑවේ නැතැයි කියන්නට බැරි ය. සංවර්ධනය ද පරිසරය ද යන විවාදය තුළ දෙපැත්ත ම නියෝජනය වන තරමට තිරසර සංවර්ධනයක් ඇති වීමේ ඉඩකඩ වැඩි ය.

මේ නිසා ම ලෝකය දෙස ඇස් දෙකකින් නොව ඇස් සිය ගණනකින් බලන්නට හැකියාව පුරුදු පුහුණු කරමු. කළමනාකරුවන්ට හා නායකයන්ට විශේෂයෙන් ම මේ පළල් දැක්ම තමන්ගේ ආයතනය හෝ රට ඉදිරියට ගෙන යෑමට විශාල පිටුබලයක් වනු නිසැක ය.

කියවීම මිනිසෙකු සම්පූර්ණ කරයි ද?


  • නිශාන්ත කමලදාස

“කියවීම” යැයි කී විට “කට” කියවීමත් ඇතුළත් වන නමුත් මේ සාකච්ඡාවේ අප කතා කිරීමට අපේක්ෂා කරන්නේ ලේඛන කියවීම ගැන ය. ඊට පුවත් පත්, පොත් පත්, අන්තර්ජාල සටහන් ආදී නොයෙකුත් දේ ඇතුළත් ය. කොටින් ම අකුරු තියෙන ඔ්නෑ ම එකක් ඇතුළත් ය.

“කියවීම මිනිසෙකු සම්පූර්ණ කරයි”. මේ වැකිය ඔබ අසා ඇතුවා ට සැක නැත. එහෙත් හැම කියවීමක් ම මිනිසෙකු සම්පූර්ණ කරන්නේ නැත. ඒ සඳහා කියවන්නේ කුමක් ද යන්නත් කියවන්නේ කුමන ආකාරයකින් ද යන්නත් බල පාන්නේ ය. යල් පැන ගිය දෙය කියවූ විට වෙන්නේ යහපතක් නොවේ. අයහපතකි. ඒ නිසා කියවන දේ තේරුම් බේරුම් කර ගෙන කියවීම අවශ්‍ය ය.

කියවීම ආරම්භ කරන්නට මත්තෙන් යල් පැන ගිය දේ එහි තිබේ දැයි දැන ගන්නට තියෙන ඉඩ කඩ අඩු ය. සමහර යල් පැන ගිය මාතෘකා වුව නව ප්‍රවේශයක බැල්මකින් අදාළ ප්‍රස්තුතයක් බවට පත් කර ගත හැකි ය. වරක් අයින්ස්ටයින්ට විභාග ප්‍රශ්න පත්‍රයක් සෑදීමේ වගකීම බාර වී තිබුණේ ය. ඔහු පරණ ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්නයක් ද ඊට ඇතුළත් කළේ ය. ඒ ගැන ප්‍රශ්න කළ විට ඔහු කීවේ ප්‍රශ්නය පරණ නමුත් ඒ සඳහා ඇති උත්තර අලුත් බව ය.

ඒ කතාවෙන් අපේ ප්‍රශ්නයට උත්තර මුළුමනින් ම ලැබුණේ නැත. ප්‍රශ්නය යමක් යල් පැන ගියේ ද නැද්ද යයි දැන ගත හැක්කේ කෙසේ ද යන්න ය. ඒ ලේඛනයේ ඉදිරිපත් කර ඇති කරුණු කාරණා යල් පැන ගියේ ද යන්න අපට කියවන විට සනාථ කර ගත හැකි ය. භාවිතා කර ඇති ප්‍රවාද තවදුරටත් වලංගු ද යන්න පරීක්ෂා කළ හැකි ය. ඒ නිසා ම සංයමයකින් කියවන්නේ නම්, විචාරශීලී ව කියවන්නේ නම්, එය අමාරු කටයුත්තක් නොවේ. ඒ පරීක්ෂණ දෙකකින් පමණක් සමත් වීම පොතක අදාළත්වය ගැන සම්පූර්ණ සහතිකයක් නොවේ. අපට ඒ පොතේ හෝ ලේඛනයේ ප්‍රවාද වලට ප්‍රතිපක්ෂ ලේඛන හා පොත් කියවන්නට හැකි නම් අපට එයින් ද උත්තර ලැබිය හැකි ය. මේ සෑම දෙයක් ම කියන්නේ කියවීම මිනිසෙකු සම්පූර්ණ කරන්නේ හරියට කියවන්නේ නම් පමණක් බව ය.

ඇතැම් විට මිනිසුන් ටික දෙනෙක් පමණක් අකුරු කියවීමට සමත් වූ අතීත යුගයේ කියවීම මිනිසෙකු සම්පූර්ණ කරයි යන වැකියට යම් වැදගත් කමක් තිබුණා විය හැකි ය. (ලිවීම ජනප්‍රිය නොවූ සමයේ කියවීමේ තැන ගත්තේ බහුශ්‍රැත භාවයට ය. බහුශ්‍රැත පුද්ගලයෙකු යනු ඇසූ පිරූ තැන් ඇති තැනැත්තෙකි. මේ කතාව එන්නට ඇත්තේ ඊට පසු කාලයක ය.) එහෙත් අද එය පරිස්සමින් භාවිතා කළ යුතු කියමනකි. එසේ කියන්නට තවත් හේතු තිබේ. පළමුවැන්න අද පොතක් ලිවීමට බොහෝ දෙනාට හැකි නිසා ඒවායේ අන්තර්ගතය ප්‍රශ්නකාරී විය හැකි නිසා ය. අනෙක නම් ඇතැම් උගතුන්ගේ හැසිරීම බැලූ විට හා කතා වලට සවන් දුන් විට ඔවුන් සම්පූර්ණ ද යන ප්‍රශ්නය පවා මතු වන නිසා ය.

ඒ නිසා මේ වැකිය “නිවැරදි දේ හා නිවැරදිව කියවීම මිනිසෙකු සම්පූර්ණ කරයි” ලෙස වෙනස් විය යුතු ය. නිවැරදි යන යෙදුම් වලින් අදහස් කරන්නේ කුමක් ද යන්න සමග ඒ වැකිය භාවිතා කළ යුතු ය.

අකුරු නොදන්නා පුද්ගලයා හා නොකියවන පුද්ගලයා අතර වෙනසක් නැතැයි යන ජනප්‍රිය කියමන ද ඇත්තේ කියවීම සම්බන්ධයෙනි. එය නම් තවදුරටත් වලංගු කියමනකි. එයින් කියවීමේ වැදගත් කම ගැන අපූරු පණිවුඩයක් ගෙන එයි. එහෙත් බොහෝ දෙනෙකුගේ කියවීම විධිමත් අධ්‍යාපනය නිම වීමත් සමග අවසන් වන්නේ ය. ඔවුන් ඉන් පසු ව ද ජීවත් වෙතත් පවතින්නේ “මිය ගිය මිනිසෙකු” (ජීව විද්‍යාත්මක අර්ථයෙන් නොවුනත්) ලෙස ය.

එහෙත් අපේ රටේ කියවීම ට ඇත්තේ කුඩම්මාගේ සැලකිල්ලකි. කියවන මිනිසාට ගසන හංවඩුව නම් පොත් ගුල්ලා කියා ය. ඇතැම් විට පොතක ඇති යමක් ගැන කතා කළොත් අලවන ලේබලය පණ්ඩිතයා යන්න ය. ඒ පණ්ඩිතයා වචනයේ වාච්‍ය අර්ථයෙන් නොවේ. අවමන් කරන අදහසිනි. මේ නිසා ලංකාව වැටෙන්නේ සාක්ෂරතාව ඇතත් නොකියවන මිනිසුන් ඉන්නා රටක තැනකට ය. එයින් අදහස් කරන්නේ අප ආඩම්බරයෙන් කියා සිටින සාක්ෂරතාව පිළිබඳ දර්ශකය වැඩකට නැති ඉලක්කමක් පමණක් බව ය.

මිනිස්සු පොත් නොකියවතත් පත්තර කියවති. ඒ අනුන්ගේ ඔ්පාදූප සෙවීමට ය. අපේ රටේ අන්තර්ජාලය තුළ ජනප්‍රිය ගොසිප් සයිට් ය. ඔවුන් බොහෝ දෙනෙකු ඒ හරහා තමන් කුඩා මිනිසුන් බවට පත් කර ගෙන ඇති බව දන්නේ නැත. ඔවුන් ඇතැම් විට මේ කියමන දන්නේ නැති වා විය හැකි ය. “ශ්‍රේෂ්ඨ මනසකින් යුතු මිනිසුන් කතා කරන්නේ නව අදහස් ගැන ය. සාමාන්‍ය මනසක් ඇත්‌තෝ සිදු වූ සිද්ධි ගැන ය. කුඩා මනස් ඇත්තෝ කතා කරන්නේ පුද්ගලයින් ගැන ය”.

සමහරු කියවන්නේ තෝරා ගත් පත පොත පමණ ය. ඇතැම් අය නවකතා, කෙටි කතා, කවි වැනි සාහිත්‍ය කෘතීන් ය. ඒ අයට ශාස්ත්‍රීය පත පොත අරහං ය. සමහරුන්ට සාහිත්‍ය කන්නට වත් බැරි, බොළඳ, වැඩකට නැති එකකි. පුංචි ළමුන් හා නොමේරුණු තරුණ තරුණියන්ගේ කටයුත්තකි. ඔවුන් තෝරා ගන්නේ ශාස්ත්‍රීය පොත පත පමණ ය. මේ අන්ත දෙකෙන් ම සිදු වන්නේ ලෝකයේ එක් පැති කඩක් අපට අහිමි ව යෑම ය. හොඳ සාහිත්‍යය කෘතියක් මිනිස් සිත ගැන, මිනිස් සම්බන්ධතා ගැන, සමාජ ගතිකත්වය ගැන අගනා පාඩම් ද රසයට අමතර ව ගෙන එන බව බොහෝ දෙනෙකු දන්නේ නැත.

මගේ අදහස නම් සෑම ආයතනයක ම දියුණු පුස්තකාලයක් (එය කඩදාසි ද ඩිජිටල් ද යන්න වෙනම කාරණයකි) තිබිය යුතු බව ය. එය භාවිතා කිරීමට ආයතනයේ වැඩ කරන සෑම තරාතිරමක ම අයට දිරි දිය යුතු බව ය. පොත් පිළිබඳ සංවාද පවා ආයතන තුළ පැවැත්විය යුතු බව ය. විශේෂයෙන් ආයතනයේ කිසියම් අංශයක නවෝත්පාදනයක් කිරීමට මත්තෙන් ඊට අදාළ පොතක් ගෙන එවැනි සංවාදයක් පැවැත්වීම ප්‍රයෝජනවත් ය.

එහෙත් ඒ සඳහා පළමු ව කියවීමේ පුරුද්ද කෙනෙකු තුළ තිබිය යුතු ය. නිතර කියවන කෙනෙකුගේ කියවීමේ වේගය කලාතුරකින් කියවන කෙනෙකුට වඩා බොහෝ සෙයින් වැඩි ය. ඔහු / ඇය අකුරු අමුණා වචන කියවන්නේ නැත. වචන අමුණා වාක්‍ය කියවන්නේ නැත. ඒ සියල්ල එකවර ග්‍රහණය කර ගැනීමට ඔහුට / ඇයට හැකි ය. ඊට අමතර ව ඒ තැනැත්තාට වදන් වැල හුරු ය. තේරුම් සොයමින් ලත වෙන්නට අවශ්‍ය නැත. මේ සියල්ලෙන් කියන්නේ ආරම්භයේ දී කුමක් කියවන්නේ වුව ද ප්‍රශ්නයක් නැති බව ය. මක් නිසා ද යත් කියවීමට හුරු වීම කියවීම සඳහා කැමැත්තක් ඇති කිරීමට අවශ්‍ය බැවිනි. පුද්ගලයන් හැටියට දියුණු වීමට කැමැත්තෝ ද ආයතන දියුණු කිරීමට කැමැත්තෝ ද රට දියුණු කිරීමට කැමැත්තෝ ද කියවීම ආරම්භ කළ යුතු ය. කටින් කියවීමට අප දක්ෂ බව ඇත්ත ය. එහෙත් ඊට වඩා අවශ්‍ය ඇසින් කියවීම ය. එවිට කටින් කියවන විට ද වටිනා දේ පිටවීමේ ඉඩ වැඩි ය.

බොහෝ දෙනෙකු නොදන්නා බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් නියාමය


නිශාන්ත කමලදාස

බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් ගැන බොහෝ දෙනා දන්නේ භෞතික විද්‍යාඥයෙකු ලෙස ය. විද්‍යුතය සොයා ගත් පුද්ගලයා ලෙස ය. එහෙත් බොහෝ දෙනෙකු නොදන්නා තවත් වැදගත් යමක් ද ඔහු සොයා ගත්තේ ය. ඒ වෙනත් ම ක්ෂේත්‍රයක් අරබයා ය. ඒ ක්ෂේත්‍රය මනෝ විද්‍යාව ය.

ෆ්රෑන්ක්ලින් පෙන්සිල්වේනියා මහජන සභාවේ සභිකයෙකු හැටියට කටයුතු කරන වකවානුවේ ප්‍රතිවිරුද්ධ පිලේ සභිකයෙකු ඔහුට සතුරු ලෙස හැසිරෙමින් සිටියේ ය. ඔහු මිතුරෙකු කර ගැනීමට සිතූ ෆ්රෑන්ක්ලින් මේ සභිකයාගෙන් ඉල්ලීමක් කළේ ඔහු සතු දුර්ලභ පොතක් දින කීපයකට ඔහුට ලබා දිය හැකි දැයි කියා ය. වහා ම ඉල්ලීම ඉටු වූ අතර සතියක් ඇතුළත ස්තුති කරමින් ඒ පොත ඔහුට නැවතත් බාර දීමට ෆ්රෑන්ක්ලින් වග බලා ගත්තේ පොතේ අකුර කුදු නොකියවා ය. සතුරු භාවය අවසන් වූ අතර ඒ තැනැත්තා මිය යන තෙක් ම සජීවී මිත්‍රත්වයක් ඔහු සමග පවත්වා ගැනීමට ෆ්රෑන්ක්ලින්ට හැකි විය.

මේ සිද්ධිය වාර්තා වීමෙන් පසු මනෝ විද්‍යාඥයින් විසින් කරන ලද පර්යේෂණ වලින් ඔප්පු වූයේ කිසිවෙක් තවත් කෙනෙකුට උදව්වක් කළ විට උදව්ව කළ පුද්ගලයාට උදව් ලැබූ තැනැත්තා පිළිබඳ යහපත් හා සාධනීය ආකල්පයක් ඇති වන බව ය. මෙය බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් මූලධර්මය නැත්නම් නියාමය ලෙස නිල වශයෙන් පිළිගනු ලැබුණේ ඒ අනුව ය.

අප සාමාන්‍යයෙන් හිතන්නේ උදව්ව ලැබූ පුද්ගලයා උදව් කළ තැනැත්තාට කෘතවේදිත්වය පළ කරන නිසා උදව් ලැබූ තැනැත්තාට උදව් කළ තැනැත්තා සම්බන්ධව යහපත් හා සාධනීය ආකල්පයක් ඇති වන බව ය. එහෙත් පර්යේෂණ ප්‍රතිඵල වලින් කියන්නේ එහි අනෙත් පැත්ත වඩා ප්‍රබල බව ය.

මෙය වඩාත් හොඳින් කැපී පෙනෙන අවස්ථාවක් අපේ ජීවිත වල තිබේ. අපට උදව් කරන්නේ අපේ දෙමාපියන් ය. අපි උදව් කරන්නේ අපේ දරුවනට ය. කාලයක් ගත වන විට දෙමාපියන්ට ඇති සෙනෙහස හා බැඳීමට වඩා වැඩි සෙනෙහසක් බැඳීමක් අපට ඇති වන්නේ අපේ දරුවන් කෙරෙහි ය. එයට ද එක් හේතුවක් විය හැක්කේ මේ නියාම ය.

මෙයින් පෙනෙන්නේ අප කිසියම් දෙයකට ආයෝජනය (ධනය කාලය හා ශ්‍රමය) කළ විට ඒ සම්බන්ධයෙන් අපට බැඳීමක් ඇති වන බව ය.

වැල්ලේ අකුරු ඇඳීම පහසු ය. එහෙත් එක රැල්ලකින් එය මැකී යනු ඇත. පැන්සලයකින් කොලයක ලිවීම ඊට වඩා අසීරු ය. ඒ සඳහා කොළයක් හා පැන්සලක් සොයා ගත යුතු නිසා ය. එය ද මැකී යෑමේ අවදානමක තිබෙන්නේ ය. නිශ්චිත පොතක පෑනකින් පිළිවෙළකට සටහනක් තැබීිම ඊට වඩා අසීරු ය. ඒ සුවිශේෂී පොත සොයා ගැනීම නිකම් ම නිකම් කඩදාසි කැබැල්ලක් සොයා ගන්නවාට වඩා අමාරු ය. එය තරමක් කල් පවතින්නට ඉඩ තිබෙන්නේ ය. ගලේ කෙටීම ඒ සියල්ලට වඩා අපහසු ය. වැඩි කල් රැඳෙන්නේ ගලේ කෙටූ දෙය ය. එයින් කියන්නේ ආයෝජනය, පරිශ්‍රමය, මහන්සිය, කළ කැප කිරීම විශාල වූ තරමට එයට ඇති බැඳීම ද ඉහළ යන බව ය.

කෙනෙකුට උදව්වක් කළ විට ද එය ම සිදු වේ. පරිශ්‍රමය මහන්සිය කැප කිරීම සිදු වන්නේ උදව්ව කරන්නා අතින් ය. ඔහු ආ පස්සට කල්පනා කළ විට දැනෙන්නේ ඒසා උදව්වක් කළේ හිතවතෙකු නිසා බව ය. ඒ නිසා ම ඔහු / ඇය හිතවතෙකු බවට පත් කර ගත යුතු ය. නැත්නම් හිතට ඇති වන්නේ අවුලකි. ඒ අවුලෙන් හිත නිදහස් කර ගන්නේ උදව්ව ලැබූ පුද්ගලයා තමන්ගේ කෙනෙකු බවට පත් කර ගැනීමෙනි. උදව්ව ලොකු වූ තරමට බැඳීම ලොකු ය.

මේ නිසා බොහෝ අය කරන්නේ කලින් පුංචි උදව්වක් ඉල්ලා මිතුරෙකු කර ගැනීම ය. ඉන් පසු දිගින් දිගට උදව් ලබා ගනිමින් ලොකු මිතුරෙකු කර ගත හැකි ය.

අලෙවිකරණයේ යෙදෙන අය දැන හෝ නොදැන මේ කරුණ භාවිතා කරන්නෝ ය. ඔවුන් අපට ඉදිරිපත් කරන්නේ “පොඩ්ඩකට ඇහුම් කන් දෙන්න” යන පුංචි ඉල්ලීම ය. ඉතින් අප ඊට ආයෝජනය කළ විට බැඳීමක් ඇති වී අවසන් ය. ඒ නිසා ඔබට ඒ තුරුම්පුවට අසු නොවීමට අවශ්‍ය නම් මුලින් ම ඒ සම්බන්ධයෙන් කාලය ආයෝජනය කිරීම නතර කළ යුතු ය. පසුව ට කල් දැම්මාට එය නතර කරන එක ඉන් පසු ලෙහෙසි පහසු එකක් වන්නේ නැති නිසා ය.

යම් අලුත් දෙයක් ඉගෙනීමට නම් අප ළඟ ඇති සමහර පරණ දැනුම් අත් හැරි ය යුතු ය. ඒ විවෘත මනසකින් අලුත් දේ දෙස බැලිය යුතු නිසා ය. පැරණි දැනුම ලබා ගැනීමට අප අපමණ වෙහෙසක් ගෙන ඇත්නම් එවන් අත් හැරීමක් කළ නොහැකි ය. ඒ කරන ලද ආයෝජනයට සමානුපාතික ව අප විසින් ඇති කර ගෙන ඇති බැඳීම නිර්ණය වන නිසා ය.

ඇතැම් මිත්‍යා මත වලට බොහෝ පණ ඇත්තේ ඒ නිසා ය. ඒවා කුඩා කළ සිට අපේ ඔලුව තුළට බැස අපට කරදර කර එහි අරක් ගෙන ඇති නිසා ය. ඒ හේතුවෙන් ඒවා අසන්නට, ඒවා සෙසු අයට කියන්නට, ඒවා අන්‍යයන්ට ඒත්තු ගන්වන්නට අප විසින් අපමණ වෙහෙසක් දරා ඇති නිසා ය. ශ්‍රමයක් කාලයක් වැය කර ඇති නිසා ය. මේ බව තේරුම් ගන්නා කෙනෙකුට මෙයින් මිදීමට හිත හදා ගත හැකි ය. නැත්නම් කොතරම් සාක්ෂි මතු වුව ද ඒවා විසින් අපේ ඔලු ගෙඩි තුළ ඇති මිත්‍යා මත අභියෝගයට ලක් කරනු ලැබූව ද අපව වෙනස් කිරීමට ඒවාට ඉඩක් ලැබෙන්නේ නැත. එසේ රැඳී ඇති පැරණි දැනුම ඉවත් නොකරන තාක් අලුත් දැනුමට ඉඩ හසරක් නම් ලැබෙන්නේ නැත.

මේ සියලු කරුණු වලින් අනාවරණය වන්නේ අපේ සම්ප්‍රදායික දැනුම ප්‍රශ්න කරන බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් නියාමය පිළිබඳ දැනුමෙන් සන්නද්ධ වීමෙන් බොහෝ තැන් වල අපට ජය ලැබිය හැකි බව ය. එය අලුත් මිතුරන් ඇති කර ගැනීමට, අනවශ්‍ය මිනිසුන් ජීවිතයෙන් ඈත් කර තැබීමට, අලෙවි කරණයට, අලෙවි විජ්ජා වලට අසු නොවී සිටීමට, අලුත් දැනුම ලබා ගනු වස් පරණ දැනුම ඉවත් කර ගැනීමට, මිනිසුන්ගේ අදහස් වෙනස් කිරීමට අමාරු ඇයි යන ප්‍රශ්නයට උත්තර සොයා ගැනීමට යන බහුවිධ කාරණා සම්බන්ධයෙන් අපට උදව් වන බව ය.