නායකයා කට ඇරිය යුත්තේ අවසානයේ ය


බොහෝ නායකයින් වැරදි තීරණයන්ට එළඹෙති. ඒ ඇති තරම් විකල්ප විසඳුම් නිර්ණය නොකිරීම නිසා ම පමණක් නොවේ. ප්‍රශ්නය හරි හැටි තේරුම් නොගැනීම ද නිසා ය.

පාසලේ ඉහළ පන්තියක ඉගෙන ගන්නා දැරියක් වමනය කරන්නේ ය. මේ තනි සාධකය මත පදනම්ව විදුහල් පති එළඹෙන තීරණය දැරිය ගැබ් ගෙන ඇති බව ය. වමනය කරන්නට හේතු ගොඩක් තිබේ. එකක් කරකැවිල්ල ය. දෙවැන්න බඩේ යම් අජීර්ණයක් තිබීම ය. එහෙත් යමක් විමසන්නට අකමැති මනසකට මේ එකක්වත් විෂය නොවේ. ඒ කියන්නේ විසඳුම් සඳහා පමණක් නොව යම් ප්‍රතිඵලයක් සම්බන්ධයෙන් ද විකල්ප හේතු ගණනාවක් පැවතිය හැකි බව ය. විය හැකි සියලු හේතු සොයා බැලීමකින් තොරව එළඹෙන රෝග විනිශ්චය වැරදි විය හැකි බව ය. එය පූර්ව නිගමනයන් මත පදනම් වෙන අතිශය පටු හේතු දැක්වීමක් පමණක් විය හැකි බව ය.

දන්නා කියන කාන්තාවක් පිළිසිඳ ගැනීම නිසා වමනය කරන අවස්ථාවකට මුහුණ දී පැමිණෙන විදුහල්පති වරයෙකුට මේ දැරිය ද පෙනෙනු ඇත්තේ එවැනි අකරතැබ්බයකට පත් වූ කෙනෙකු කියා ය.

නායකයෙකු තීන්දුවක් ගත් විට ඊට පහලින් ඉන්නා අය ලෙහෙසියෙන් එයට විරුද්ධව යන්නේ නැත. හේතුව එය පාවා දීමක් හැටියට සැළකිය හැකි නිසා ය. ඒ තුළින් ඇතිවන කැළල අවසානයේ දිගු කාලීන විරුද්ධත්වයකට මග පාදන නිසා ය. අනුගාමිකයාගේ ජීවිතය ම ඒ නිසා ඛේදවාචකයක් විය හැකි නිසා ය.

නිරුවත් රජු ආඩම්බරයෙන් තමන් ඇන්දා යයි සිතූ සීතාම්බර පටලයෙන් මැසූ යැයි කියූ ඊනියා ඇඳුම ද සමග වීදි සංචාරයේ යෙදුනු විට හයක් හතරක් නොදන්නා දරුවෙකු කියන තුරු මිනිසුන් මුවින් නොබැන සිටියේ ඒ නිසා ය.

අපේ කතාවේ විදුහල්පති, දැරියක් වමනය දැමීම යන එක ම සාධකය පදනම් කරගෙන, ඒ දැරිය ගැබ් ගෙන ඇතැයි එළැඹි විනිශ්චය පාසලේ දී ගුරුවරයෙකුගේ ප්‍රශ්න කිරීමකට ඇතැම් විට ලක් නොවන්නට ඇත්තේ ඒ නිසා ය.

මේ නිසා ම නායකයෙකු කට ඇරිය යුත්තේ අගට ය. අන් සියලු අයගේ අදහස් විමසා අවසානයේ ය.

එහෙත් බොහෝ නායකයින්ට ඒ ඉවසීම නැත. අන් අය සියල්ල කියා අවසන් කළොත් තමන්ට කියන්නට කිසිවක් ඉතිරි නොවේ යැයි ඔවුන් බිය ය. ඒ නිසා අන් අයට අදහස් පල කරන ලෙස ඉල්ලා සිටිය ද ඒ වටය නිසි ලෙස අවසන් කිරීම සඳහා තිබිය යුතු ඉවසීම ඔවුන්ට නැත.

ඒ මදිවාට යම් ජනප්‍රිය අදහසක් කාගේත් පිළිගැනීමට ලක් වෙන අදහසක් ඉදිරිපත් වුවහොත් තමා ද ඒ පැත්තේ බව ඇගවීමට ඇතැම් නායකයින්ට ඕනෑ ය. එසේත් නැතිනම් සම්ප්‍රදාය විරෝධී රැඩිකල් අදහසක් යමෙක් ඉදිරිපත් කළොත් එය බහුතරයේ කැමැත්ත නොලැබෙතැයි සළකමින් එයින් තමන් දුරස් බව පෙන්නන්නට ද සමහර නායකයින්ට ඕනෑ ය. මේ නිසා ම නායකයාගේ මතය අකාලයේ එලියට පැමිණේ. එසේ පැමිණිමෙන් පසු ඊට විරුද්ධව මතයක් පල කරන්නේ එහෙමත් කෙනෙකි. අතිශයින් නිර්භීත කෙනෙකි. ඉතිරි සියල්ලෝ තමන්ගේ අදහස් අකුලා ගෙන පසු බසිති.

ඒ නිසා ම නායකයෙකු තමන්ගේ අදහස් පළ කිරීමෙන් වැළකුනාට මදි ය. වෙනත් අදහස් සම්බන්ධයෙන් තම මතය පළ කිරීමෙන් ද නායකයා වැළකිය යුතු ය. ඒ සියල්ල අවසානය දක්වා කල් දැමිය යුතු ය.

විශේෂයෙන් නායකයාගේ අතීත හැසිරීම තුළ හෙතෙම අන්‍ය මත නොඉවසන කෙනෙකු ලෙස ප්‍රතිරූපයක් මැවී ඇත්නම් තත්වය තවත් කණගාටුදායක ය. ඒ පූර්ව නිගමනය මිනිසුන් අකර්ණම්‍ය කරන්නේ ය.

මිනිසුන් සිය අදහස් පල නොකරන්නේ මිනිසුන්ට අදහස් නැති නිසා ම නොවේ. ඒ හරහා තමන් අමාරුවේ වැටෙතැයි යන බිය ද නිසා ය. නායකයෙකුගේ දක්ෂතාවය ඒ සඳහා ඇති තරම් නිදහස ඇතැයි වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද පෙන්නුම් කර සිටීම ය.

අප එසේ කීවේ වචනයෙන් අදහස් ඉල්ලා සිටින නායකයින්, ක්‍රියාවෙන්, විශේෂයෙන් එසේ පල කරන අදහස් සම්බන්ධයෙන් තමන් දක්වන වාචික හා අවාචික ප්‍රතිචාරයන්ගෙන්, තමන් එසේ නොවන බව ඇතැම් විට ප්‍රදර්ශනය කරන හෙයිනි.

මේ නිසා ම අදහස් ඉල්ලා සිටින නායකයෙකු, සෙස්සන් විසින් දක්වන සෑම අදහසක්ම, ඒවා අතිශයින් අඩු වැදගත් කමක් ඇතැයි පෙනී ගිය කල වුව ද, අගැයීමට ලක් කළ යුතු බව ය. ඒ ගැන අඩු වශයෙන් ස්තුතියක් වත් පුද කළ යුතු බව ය.

එසේ ඉදිරිපත් කරන අදහස් විමසුම නායකයා විසින් පසුවට කල් දැමිය යුතු ය. සෙසු අය ද එසේ කරන බවට නායකයා විසින් වග බලා ගත යුතු ය.

අදහස් ඉල්ලා සිටින නායකයෙකු සෑම කෙනෙකුටම ඒ සඳහා අවස්ථාව ලබා දිය යුතු ය. අදහස් ඉල්ලා සිටි විට බොහෝ විට ඒ සඳහා ඉදිරිපත් වන්නේ කට වාචාල හෝ කථනයේ දක්ෂ ටික දෙනෙකි. ඉතිරි අයගෙන් අදහස් ගන්නට ඔවුන් වෙන වෙනම ඇමතිය යුතු ය. ඔවුන්ට හිත හදා ගන්නට පවා කල් වේලා දිය යුතු ය.

අදහස් පල කිරීම සම්බන්ධයෙන් සීමා පැනවීම ද නායකයාගේ කාර්යය භාරයට අයත් ය. ඒ මුල් වටයේ දී එක් අයෙකුට එක් අදහසක් පමණක් පල කරන ලෙස ඉල්ලා සිටීමෙනි. ඒ හරහා සෙසු අයට ද තම අදහස් දක්වන්නට ඉඩ හසර විවර කර දීමෙනි. කල්වේලා ඇති කර දීමෙනි.

අදහස් ලබා ගැනීම වට කීපයකින් කිරීමෙන් බොහෝ අදහස් ඇති අයට ඒ අදහස් දැනටමත් පල වූයේ නැත්නම් පල කිරීමට ඒ හරහා තව අවස්ථාවන් ලැබේ. ඊට අමතරව දෙදෙනෙකු, අවස්ථා දෙකක දී කියන, අදහස් දෙකක් එක්කොට, එහැම පිටින්ම නව අදහසක් ඉදිරිපත් කිරීමට තුන්වැන්නෙකුට අවස්ථාව ද ලැබෙන බැවිනි.

හැමගේ අදහස් ලබා ගැනීමෙන් පසු ඒ එක් එක් අදහස විමසුමට ලක් කළ යුතු ය. එහි දී අදහසේ අඩුපාඩු පමණක් නොව ශක්තීන් ද මතු කර ලීමට වග බලා ගත යුතු ය. එහි දී ද නායකයා සිය කට හඩ අවදි කළ යුත්තේ අවසානයට ය.

මේ අදහස් ලබා ගැනීම සඳහා අදාළ ප්‍රශ්නයට සම්බන්ධ සියලු පාර්ශවකරුවන් සම්බන්ධ කර ගත යුතු ය.

මේ ක්‍රියාමාර්ගය අනුගමනය කළේ නම් අප කලින් සඳහන් කළ විදුහල්පති වරයාට ජනතාව ඉදිරිපිට හෝ මානව කොමිසම් සභාව ඉදිරිපිට අසරණ වන්නට සිදුවන්නේ නැත.

නායකයා සිය අදහස පල කළ යුත්තේ සියල්ල අවසානයේ ය. තීන්දුව දිය යුත්තේ අවසානයේ ය. එතෙක් ඉවසිමට හැකි අය විශාල වෙනස්කම් කරන සාර්ථක නායකයින් බවට පත් වේ.