ඒක නායක සහ බහු නායක


පිරිසක් හා කණ්ඩායමක් අතර ඇත්තේ පැහැදිලි වෙනසකි.

පිරිසකට පොදු අරමුණක් තිබිය හැකි ය. එහෙත් එය සම්මුතියකින් එකගතාවයකින් පසු ඇති කරගත් බෙදා හදා ගත් අරමුණක් නොවේ. එවැනි සම්මුතියකට පැමිණ ඇති අරමුණක් සහිත පිරිසක් වේ නම් එය හදුන්වනුයේ කණ්ඩායමක් ලෙස ය.

බොරැල්ලට යාම සඳහා තනි තනිවම පැමිණ බස්නැවතුම්පොලක සිට ගන්නා පුද්ගලයින් රැසකට ද පිරිසක් යයි කිව හැකි ය. ඔවුන් හැමට පොදු අරමුණක් ඇති බැවිනි. ඒ බොරැල්ලට යාමට ය. එහෙත් එකිනෙකා සමග කතිකා කොට එකඟ වූ සම්මුතියකට පසු නොවේ. ඔවුන්ගේ තීරණ හුදෙක් තනි තනිව ගත් තීරණ ය. බොරැල්ලට පැමිණි පසු එකිනෙකා හා කතා නොකරම විසිර යෑමට නියමිත ය.

හරියට අපේ සමහර කන්තෝරුවල වගේ ය.

එවැනි කන්තෝරුවක වැඩ කරන පිරිසට ද පොදු අරමුණක් තිබේ. ඒ මාසය අවසානයේ වැටුප් ලබා ගැනීම ය. ඒ ඇරෙන්නට සම්මුතියකට එළැඹ කරන වැඩක් නැති තරම් ය.

අප කලින් කී බස් නැවතුම්පොළටම බොරැල්ලේ ලිඩෝ සිනමාහලේ 2.30 සිනමා දර්ශනය නැරඹීමට යනු සඳහා එකම පන්තියේ ඉගෙනුම ලබන යහළුවන් පිරිසක් පැමිණෙතැයි සිතමු. ඔවුන්ට ද පොදු අරමුණක් තිබේ. එහෙත් එය අප කලින් කී පිරිසේ අරමුණට එහා ගිය එකකි. එය කතිකා කොට සම්මුතියකට පැමිණිමෙන් එළැඹගත් අරමුණකි. බෙදා හදාගත් අරමුණකි.

අප කලින් කී පිරිසට නායකත්වයක් ලැබෙන්නේ බසයට ගොඩ වීමෙන් පසු ය. ඒ නායකයා කොන්දොස්තර ය. බසයේ නිල නායකයා ඔහු ය. සර්වබලධාරී සෙයක් පෙන්වන ඒක නායකයා ඔහු ය. කොන්දොස්තර කෑගසා ඉස්සරහට යන්නැයි අණ දෙණ විට පිරිස ඒ අණ පිළිපදින සෙයක් දක්වති. එහෙත් ඒ නොකර බැරි නිසා ය.

අප කී සිනමා දර්ශණය බැලීමට යන කණ්ඩායමට එසේ පත්වූ එක් නිල නායකයෙක් නැත. බසයක් පැමිණිවිට රියැදුරු කරා ගොස් තම කණ්ඩායමේ අය නගින තුරුම රියැදුරුට බාසාව දමමින් සිටින්නා ද නායකයෙකි. සෙනඟට ඉදිරියට යන්නැයි බැගෑපත් වෙමින් කණ්ඩායමේ අය බසය තුළට ඇතුළු කිරීමට ඉඩ පාදාගන්නට හදන්නා ද නායකයෙකි. පාපුවරුවේ එල්ලී දුර්වල ඔතෑනි සමාජිකයෙකුට රැකවරණය දෙමින් ඔවුන්ට ඇතුළු වීමට ධෛර්යය දෙන්නා ද නායකයෙකි. මේ හැම කෙනෙක්ම තමන් බෙදාහදාගත් අරමුණ ජයගැනීම වෙනුවෙන් කැපී පෙනෙන නායකත්ව කාර්යභාරයක් ඉටු කරන නායකයින් ය. ඒ කිසිවෙකු විසින් ඒ භූමිකා ඔවුන්ට පවරා දී ඇති නිසා නොවේ.

ඒක නායකයා තව නායකයෙකු මතු වෙනවාට කැමති නැත. ඔහුගේ අණට එරෙහිව යන්නා නම් කොහොමටත් රුස්සන්නේ නැත. එය ප්‍රශ්න කරන්නා ද ඔහුගේ වෛරයට පාත්‍ර වෙයි. ඔහු විධිමත් පත්වීමක් ලැබ ඇති නිසා එහි ගෞරවය ආරක්ෂා කිරීමට පොරොන්දු වූවා වැනි ය. කොන්දොස්තර තම ආධිපත්‍ය ප්‍රශ්න කිරීම නොඉවසනවා වැනි ය.

ඉබේ මතුවන බහු නායකත්වයක එවැනි ගැටළු නැත. අවස්ථාවේ හැටියට සුදුසුම තැනැත්තා නායකයෙකු ලෙස මතුවන්නේ ඉබේටම ය. ඔහු නිවැරදි නම්, එසේ බව කණ්ඩායමට ඒත්තු යන්නේ නම්, කණ්ඩායමේ සහය ඔහුට නොඅඩුව ලැබෙන්නේ ය. වැරදි නම් කණ්ඩායමේ විරෝධතාවය ද ඒ හා සමානව ලැබෙන්නේ ය. තමන් අසාර්ථක යැයි වැටහී ගිය කල ඔහු සිය කැමැත්තෙන් පල්ලම් බැස තව කෙනෙකුට ඒ හිඩැස පිරවීමට නොපමාව ඉඩ දෙන්නේ ය. රැකගත යුතු විධිමත් පත්වීමක් ඔහුට නැති නිසා ය.

වීධිමත් ආයතන තුළ කණ්ඩායම් ගොඩනැගීම අපහසු වන්නේ මේ නිදහස හා ඉඩහසර බොහෝ විට ඒවා තුළ නැති නිසා ය. විධිමත් නායකයා එම තනතුර රැක ගැනීමට මැදිහත් වන නිසා ය. ඔහුට ඊට බලයක් ලැබී ඇති නිසා ය.

බසයේ කොන්දොස්තර බොරැල්ලට යෑමට ඇති පිරිසෙහි ඇති අරමුණ සිය කාසි මල්ල තරකිරීම වෙනුවෙන් පරදුවට තබන්නාක් මෙන් මේ නායකයින් ද සිය පුද්ගලික අභිවෘද්ධිය වෙනුවෙන් නායකත්වය දෙන පිරිසේ අරමුණ පරදුවට තබන්නට පුලුවන. ඔවුන් තම නායකත්වය ප්‍රශ්න කරනවාට අකමැති එක් අමතර හේතුවක් ඒක ය. එවැනි තැනක පිරිසකට එහා ගිය කණ්ඩායමක් ගොඩ නැගෙන්නේ නැත.

විධිමත් ආයතන තුළ කණ්ඩායම් ගොඩ නැගීමට අපහසු එහි නිල නායකයාට – ඒක නායකයාට- දී ඇති මේ ප්‍රශ්න කිරීමට අපහසු බලය ය. නායකයාට ප්‍රශ්න කරන්නන් ඉවත්කිරීමට ඇති බලය ය. නායකයා ඉවත් කිරීමට සෙසු අයට නුපුළුවන් වීමේ ඉම ය. සීමාව ය. නායකයා හා අනුගාමිකයන් අතර පවතින නිල හා නොනිල පරතරය ය.

එවැනි කණ්ඩායමක් තුළ බහු නායකත්වයකට ඉඩක් නැත. එසේ ඉඩක් ඇති විය හැක්කේ නිල නායකයා තම වරප්‍රසාද අත්හැර පිරිසේ නායකයා ලෙස නොව කණ්ඩායම තුළ පහසුකම් සපයන්නෙකුගේ භූමිකාවට අවතීරණ වීමට ඉටා ගත හොත් පමණකි. වඩාත් සුදුසු පුද්ගලයාට සුක්කානම දීමට කැමති වෙතොත් පමණකි. බහු නායකත්වයකට ඉඩකඩ සැළසීමෙන් පමණකි.

ඒ තත්වයට ළඟාවීමට බොහෝ ආයතනවලට තව බොහෝ දුර යා යුතු ය. ඒ නිසාම ඒවා පිරිස්වලින් මිස කණ්ඩායම්වලින් සමන්විත නොවනු ඇත්තේ ය.