නායකයෙකුගේ චරිත ලක්ෂණ


See the source image

රජයේ උසස් තනතුරුවලට පත් කිරීම් සම්බන්ධයෙන් රට තුළ සංවාදයක් ඇති වී තිබේ. රජයේ පමණක් නොව ඔ්නෑම ආයතනයක නායකයෙකු පත් කිරීමේ දී සෙසු සියලු කරුණු අභිබවා සැළකිය යුත්තේ ඔහුගේ චරිත ලක්ෂණයන් ය.

අප කල්පනා කරන ලෙස ට නායකයෙකු හැටියට සාර්ථකව ආයතනයක් මෙහෙයවීමට අවශ්‍ය ප්රමුුුඛම චරිත ලක්ෂණ අවම වශයෙන් හතක් තිබේ. ඒවා අපි මෙසේ දක්වමු.

  1. අත්හදා බැලීම් කිරීමට කැමැත්ත, ඒ සඳහා මැලි නොවීම හා බිය නොවීම පමණක් නොව තමන් යටතේ ඉන්නා අයට ද එසේ කිරීමට අනුබල දීමට බිය නොවීම (ලංකාවේ ආයතන එක තැන පල්වීමෙන් ගලවා ගත හැක්කේ එවන් සූදානමක් නායකත්වය තුළ තිබේ නම් පමණ ය. ඒවා තිබෙන්නේ ගල් වෙලා ය.)
  2. විශේෂඥයන්ට සවන් දීමට හා ආයතනයේ ඉතාම පහළ තනතුරක් දරණ කෙනෙකුට වුව සවන් දීමට තරම් නිහතමානී වීමට හැකියාව (මේ සඳහා අඩුවෙන් කතා කරන වැඩියෙන් සවන් දෙන ගුණය ද තම අදහස් පළකිරීම අවසානය දක්වා රඳවා ගැනීමට ඇති ඉවසීමේ ගුණය ද පළ කරන හැම අදහසක් ම පරිහාසයකින් තොරව බාර ගැනීම ද ඒවා හැකිතාක් අගය කිරීම ද ඇතුළත් ය. බොහෝ ආයතන වල සිදුවන්නේ නායකයා හැම දෙයක් ම දන්නා කෙනෙකු ලෙස පෙනී සිටිමින් උපදෙස් දීමත් විශේෂඥවරුන් එහෙයියන් වී තිබීමත් ය.)
  3. තමන්ගේ ආයතනයේ අය විසින් කරන ලද අත්හදා බැලීමක් වැරදී ගිය විට එහි වගකීම තමන් විසින් දැරීමට ඉදිරිපත් වීම හරහා අත්හදා බැලීම කළ අය ගලවා ගැනීම සහ ඔවුන්ගේ අදහස් අනුව වැඩ කිරීමෙන් ලද ජයග්‍රහණයක් වේ නම් ඒ ජයග්‍රහණයේ නිසි ගෞරවය ඔවුන් වෙත පවරා දීම උදෙසා නිර්ලෝභී වීමට ඇති හැකියාව (ඉහත 1 හා 2 සාර්ථක වන්නේ මේ තෙවැනි කාරණය සම්පූර්ණ වෙතොත් පමණ ය. ඒ නායකයා මග හැරිය විට අත්හදා බැලීම් කළ අය අධෛර්යය වීමත් ජයග්‍රහණය තනිව බදා ගත් විට දායක වූ තමන්ගේ දායකත්වය අගය නොකළේ යැයි අධෛර්යය වීමත් නිසා ය. එහෙත් දැනට අපට දැක ගත හැක්කේ හැම credit එකක්ම බදා ගැනීමටත් හැම blame එකක් ම පහළට තල්ලු කර දැමීමටක් උත්සුක වෙන නායකයින් ය)
  4. විවේචන දරා ගැනීමට ඇති හැකියාව (ආයතනයේ යම් වැරැද්දක් සමාජයට නිරාවරණයට වූ විට එය නිරාවරණය කළ තැනැත්තා සොයා දඩුවම් කරනු වෙනුවට වැරැද්ද නිවැරදි කිරීමටත් එවැනි වැරදි නැවත ඇති නොවීමටත් වග බලා ගැනීම ද ඊට ඇතුළත් ය. දැන් දකින්නට ලැබෙන්නේ වැරදි නිරාවරණය කරන අය සොයා යන මෙහෙයුම් පමණ ය).
  5. තමන්ගේ රට හා පොදු මහ ජනතාව හැරුණු කොට තමන්ගේ වෙන කිසිම ලබැඳියාවක් වෙනුවෙන් තම තනතුර භාවිතා නොකිරීමට ඇති ධෛර්යය (මේ ලබැඳියා අතර පවුලේ උදවිය, ඥාති මිත්‍රාදීන්, දන්නා අඳුනන අය, ගමේ අය, ගම, පාසල, සරසවිය, සේවාව, ජාතිය, ආගම, කුලය යන ආදී සියල්ල ඇතුළත් ය. රට හා මහජනතාව හැරුණු විට අන් සියල්ල අතුළත් ය. දැන් අපට දකින්නට ලැබෙන්නේ රට හා ජනතාව වෙනුවට තමන්ට තමන්ගේ පරපුරට, කුලකයට හා කණ්ඩායමට වරප්‍රසාද ලබා දීමට තනතුරු භාවිතා කරන නායකයින් ය)
  6. තමන් දරන තනතුර රටට හා ජනතාවට වැදගත් දෙයක් කිරීමට මිස තමන්ගේ බැබලීමට භාවිතා නොකිරීමට ඇති හැකියාව  (සුඛෝපභෝගී වාහන, සැප පහසු කාමර, විදේශ ශිෂ්‍යත්ව වැනි වෙනත් වරප්‍රසාද ලබා ගැනීමට ඇති මාර්ගයක් ලෙස නොසළකා යමක් කිරීමට ලැබූ අවස්ථාවක් ලෙස සැලකීම)
  7. තනතුරට නොඇලී සිටීමට ඇති හැකියාව (ප්‍රතිපත්ති වෙනුවෙන් තනතුර අත්හැරීමට ඇති සූදානම. දැනට බහුලව දකින්නට ලැබෙන්නේ ප්‍රතීපත්ති බල්ලාට දමා තමන්ගේ තනතුර රැක ගැනීමට කටයුතු කරන අය ය)

මේ සංවාදයට ඔබට ද එක් විය හැකි ය. ඒ තවත් අවශ්‍ය ලක්ෂණ තිබේ නම් එකතු කිරීම හරහා ය. නැතිනම් මේ ලක්ෂණ පිළිබඳ තවදුරටත් අදහස් දැක්වීම හරහා ය.