රිවර්ස් කරනා ආණ්ඩුවේ ගැසට් අපට උගන්වන පාඩම්


See the source image

කොතරම් ප්‍රවේශමෙන් කළේ වුව ද, ලබා ගත හැකි සියලු දත්ත හා තොරතුරු ද ලබා ගෙන තීන්දුවක් ගත්තේ වුව ද, එවැන්නක් වැරදීමට ඉඩ කඩක් තිබේ. එවැනි නිසි විමසීමකින් තොරව තීරණයක් ගත් විට එවැන්නක් වැරදීමේ ඉඩ කඩ, ඒ නිසා ම, අතිශයින් ඉහළ ය. ඇතැම් අවස්ථාවක ආවේගයන්ගෙන් මෙහෙයවනු ලැබීම නිසා එවැනි විමසීමක අවශ්‍යතාවය පිළිගන්නා, ඒ ගෑන දැනුම් තේරුම් ඇති, කෙනෙකු අතින් වුව ද වැරදි තීන්දුවක් ගනු ලැබිය හැකි ය.

හේතුව කුමක් වුව ද තීන්දුව වැරදි නම් එය වැරදී ඇතැයි තේරුම් ගත් විට එය වෙනස් කිරීමට ශක්තියක් කෙනෙකුට තිබිය යුතු ය. නැතිනම් වන්නේ, ඔහු හෝ ඇය සමග, ඒ තීන්දුව නිසා අපහසුතාවයට පත් වන සියලු පුද්ගලයන් ද අමාරුවේ වැටීම ය.

එසේ වුව ද සමහරු හිතන්නේ තීරණයක් ගත් විට එය හරි හෝ වැරදි වේවා ඒ තුළ පිහිටිය යුතු බව ය. නැතහොත් තමන් වැරදි බව පිළිගන්නවාට අමතරව තමන් දුර්වල බවක් ද එයින් පෙන්නුම් කරන බව ය. මඩේ හිට වූ ඉන්නක් මෙන් වැනෙන්නේ යැයි මිනිසුන් ඒ සම්බන්ධයෙන් හිතනු ඇති බව ය. කියනු ඇති බව ය. ඒ නිසා සමහරු තීරණය වැරදි බව ට සියලු තොරතුරු තිබියදීත් තීරණය වෙනස් කිරීමට කැමති නොවෙති. එසේ කරන්නා වූ පුද්ගලයන්ට නොපෙනුනත්, බොහෝ දෙනෙකු එවැනි හැසිරීමක් සළකන්නේ පැහැදිලිව ම උද්ධච්ඡ කමක් ලෙස ය.

තමන් කළ වැරැද්දක් වැරැද්දක් බව පිළිගැනීමට නිහතමානී කම අවශ්‍ය ය. නිහතමානී කම උද්ධච්ඡ කමේ විරුද්ධ පැත්තේ හිට ගන්නේ ඒ නිසා ය. ශක්තිය අවශ්‍ය ඒ සඳහා ය. නිහතමානී වීමට ය. දුර්වල මිනිසුන්ට නැත්තේ ම ඒ ශක්තිය ය.

සැබෑවට ම දුර්වල කම ඇත්තේ තීරණය වැරදි බව පැහැදිලිව පෙනි පෙනීත් එය පිළිගැනීමට නොකැමති වීමේ ය. ඒ නිසා ම උද්ධච්ඡ කම, සෙසු මිනිසුන් ඉදිරියේ සිංහයෙකු වීමේ පටු වුවමනාවේ ප්‍රකාශනයක් මිසක, ශක්තියේ ප්‍රකාශනයක් නොවන්නේ ය. එය සෙසු මිනිසුන්ට නොපෙනෙන සේ යටපත් කිරීමට තතනන භයානක අභ්‍යන්තර දුර්වලකමක් වන්නේ ය.

තමන්ගේ තීරණය වැරදි යැයි පෙනී ගිය විට පළමුවෙන් කළ යුත්තේ එය පිළිගැනීම ය. දෙවැනිව කළ යුත්තේ ඒ ගැන සමාව අයැදීම ය. තෙවැනිව ඒ තීරණය වෙනස් කිරීම ය. ඒ සඳහා අවශ්‍ය තොරතුරු සියල්ල එකතු කර තීරණ ගැනීම ය. තීරණය නිසා සිදු විය හැකි අතුරු ආන්තරාවන් කවරේදැයි විමසා ඒවාට මුහුණ දීමට කටයුතු සම්පාදනය කිරීමෙන් පසු පමණක් දෙවැනි තීරණය ක්‍රියාත්මක කිරීම ය. ඒ වැරැද්දකට සමාව දිය හැකි වුව ද එය දිගින් දිගට සිදු වන විට සමාව දිය නොහැකි නිසා ය. සමාව ඉල්ලීමට ඇති අයිතිය පවා එයින් සීමාවන නිසා ය.

එතැනින් නොනැවතී කළ යුතු තවත් කාර්යයක් තිබේ. ඒ මුල් තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී සිදු කළ හා සිදු වූ වැරදි කවරේදැයි විමසීම ය. දෙවැනි තීරණයේ දී ඒවා නොවීමට වග බලා ගැනීම ය. ඉදිරි තීරණ ගැනීමේ දී මතකයේ තබා ගැනීමට ඒවා මනසේ තැන්පත් කර ගැනීම ය. ඉගෙනුමක් ලෙස ඒවා භාවිතා කිරීම සඳහා ගොනු කොට තැබීම ය.

ප්‍රශ්නය ඇත්තේ රිවර්ස් කිරී‌මේ නොවේ. නැවත රිවර්ස් නොවන තැනට එයින් ඉගෙනුමක් ලබා ගැනීමට උත්සුක නොවීමේ ය.  

මේ දිනවල එකකට පසු පස එකක් සේ රිවර්ස් කරනා ආණ්ඩුවේ ගැසට් සම්බන්ධයෙන් පමණක් නොව ඔ්නෑම තීරණයක් සම්බන්ධයෙන් මේ කියන කාරණය වලංගු ය.