අප අනාථ කරන කුලකයේ “පොදු” ලක්ෂණ (Stereotyping)


වඳුරො මේ පැත්ත පළාතෙ කිසි දෙයක් ඉතිරි කරන්නෙ නෑ. පැපොල් ගස් වල කරටියත් කඩන් කනව. මහා නාස්තිකාර සත්තු ජාතියක්. පූසො ද? හරිම ආඩම්බර කාර සත්තු ජාතියක්? ගෑණු ද උන් නම් ඉතින්…. මෙහෙමයි. මේ විදිහට යම් කුලකයකට පොදු ගුණාංගයක් අලවන්න අපි බොහෝ විට ඉක්මන් වන්නෙමු. ඒ අපේ සිතට ඉක්මනින් නිගමන කරා එන්නට පහසු වීම සඳහා ය. ඉංග්‍රීසියෙන් stereotyping යනුවෙන් මෙය හැඳින්වේ.  සත්තු සම්බන්ධයෙන් කෙසේ වෙතත් මිනිසුන් සම්බන්ධයෙන් මේ ක්‍රියාව අපට භූමරංගයක් වන අවස්ථා එමට ය. ඒ අප එක් කුලකයකට ගොනු කරන්නට හදන පිරිස තුළ ඉතා විශාල වෙනස් කම් තිබිය හැකි නිසා ය. 

මේ සිතිවිලි ක්‍රියාවලිය අපට ලැබෙන්නේ පරිණාමයේ ප්‍රතිඵලයක් හැටියට ය. ජීවිතය එතරම් සංකිර්ණ නොවූ ඒ යුගයේ අටෝරාසියක් බෙදීම් තිබුණේ නැත. සත්තු හිටියේ දෙවර්ගයකි. අපට දඩයම් කර ගත හැකි අප ව දඩයම් කර ගත හැකි වශයෙනි. මිනිසුන් සම්බන්ධයෙන් වුව පැවතියේ සරල බෙදීමකි. ඒ පුද්ගලයා අපේ ගෝත්‍රිකයෙකු ද පිට එකක් ද යන්න ය. පිට එකකු නම් පෙරලා පහර දිය යුතු ය. අපේ නම් විශ්වාසය තැබිය හැකි ය.

ඒ කාලයේ ප්‍රධාන ධාරාවට පිටින් තිබූ හැම එකක් ම සැලකුණේ බැහැර කළ යුතු දේ හැටියට ය. වමත් කරුවන් පවා අඩම්තේට්ටම් වලට ලක් වූ යුගයක් තිබුණේ ය. සමලිංගිකත්වය වැනි දේ පවා දඩුවම් ලැබිය යුතු වරදක් බවට පත් කර තිබුනේ ය. ඒවා සැලකුණේ සාතන්ගේ සලකුණු වශයෙනි. අප ඒ යුග පසු කර ගෙන බොහෝ දුර පැමිණ තිබේ.

මේ විවිධත්වයන් බොහෝමයක් අද වන විට අප විසින් පිළි ගෙන තිබේ. ඒ නිසා ම වත්මන් ජීවිතය සංකීර්ණ ය. ඒ මදිවාට අපට ගනුදෙනු කිරීමට ලෝකයක් තිබේ. ඒ ලෝකය අපේ ගෝත්‍රයට හෝ ගමට වඩා වෙනස් ය. විවිධ ය. තවදුරටත් මේ කුලක ලක්ෂණ වලට කොටු වී ගනුදෙනු කිරීමට අපට නොහැකි ය. බෞද්ධයින් මෙසේ ය කීමට බැරි තරමට විවිධ බෞද්ධාගමිකයන් අපට මුණ ගැසෙන්නේ ය. විවිධ නිකාය ගුරුකුල පමණක් නොව විවිධ දේශයන්ගේ උරුමයන් කර තියා ගත් බෞද්ධයෝ අප අතර වෙති. ඔවුන්ගේ පුද සිරිත් ඇදහිලි විශ්වාස ඒ සියල්ල වෙනස් ය. හිතන පතන විදිහ ගනුදෙනු කරන විදිහ ලෝකය දකින විදිහ පමණක් නොව ආගම දකින විදිහ ද වෙනස් ය. ඔවුන් කෙසේ නම් මෙසේ යැයි කිව හැකි ද? ඔවුන් අතර ඇති වෙනස්කම් ඇතැම් විට ඔවුන් හා ක්‍රිස්තියානි අය අතර පවා නැති වන්නට පුළුවන. ඒ නිසා ම ඔහු බෞද්ධයෙකි, ඒ හේතුවෙන් ඔහු මෙවැන්නෙක් විය යුතු යැයි කියන්නට අපට බැරි ය. ඒ අර්ථයෙන් ම ඇය ගැහැණියකි, ඒ හේතුවෙන් ඇය මෙවැනි කෙනෙකු යැයි කියන්නට අපට බැරි ය.

පරිණාමයේ එක අවදියක අපේ ජීවිතය පහසු කළ මෙවලමක් මෙසේ අපේ වත්මන් ජීවිතය අවුල් කරන මෙවලමක් වී තිබේ. එහෙත් පරිණාමයෙන් අප ලද මේ උරුමය පහසුවෙන් වෙනස් කර ගන්නට අපට බැරි ය. එය එක්තරා හුරුවකි. පුරුද්දකි.

තව හේතුවක් වන්නේ මෙසේ අප හදා ගන්නා නියමයන් ඉක්මන් තීරණ ගැනීමේ දී අපට පහසුවක් ද සලසන නිසා ය. අනවශ්‍ය ලෙස ශක්තිය වැය නොකර තීරණ ගැනීමේ ක්‍රියාවලියට තිත තැබිය හැකි නිසා ය. එහෙත් ප්‍රශ්නය වන්නේ එසේ ගන්නා තීරණ බරපතළ පසු විපාක ජනිත කිරීම ය. ගැහැණිය මෙසේ යැයි අප දරණ කුලක ලක්ෂණ ඊට වඩා වෙනස් ගැහැණියක මුණ ගැසුනු විට අප අතරමං කරන නිසා ය. පිරිමියා මෙසේ යැයි අප දරණ කුලක ලක්ෂණ වෙනස් පිරිමියෙකු අපට මුණ ගස්වා අප ව අසරණ කිරීමට ස්වභාව ධර්මය ඉදිරිපත් වන නිසා ය. උදාහරණයක් ගෙන බලමු. සාමාන්‍ය ගැහුණු ආකර්ෂනය වන්නේ පිරිමින්ට ය. සාමාන්‍ය පිරිමි ආකර්ෂණය වන්නේ ගැහැණුන්ට ය. ඒත් සමලිංගික පිරිමියෙකු හෝ ගැහැණියක මුණ ගැසුනු වට අප ව වටයක් කරකවා අත හැරීමට ඔවුහු වග බලා ගනිති. බොහෝ මිනිසුන්ගේ හුරු අත දකුණ ය. ඒ නිසා ඒ අතට නොගසා අත තාවකාලිකව දුර්වල විය හැකි එන්නතක් වමතට ගැසුවොත් වමත් කාරයා අසරණ වන්නේ ය. අපට දොස් මුර ලැබෙන්නේ ය.

අප මේ කුලක ලක්ෂණ වලින් ලැබෙන වාසියට කොතරම් පුරුදු වී ඇද්දැයි කිවහොත් අපට කිසියම් පුද්ගලයෙකු මුණ ගැසුණු විට අප කැමති ඔහු විමසා ඒ තොරතුරු මත පදනම් ව ඔහුට ලේබලයක් ගැසීමට ය. එකක් නොව ඇතැම් විට කීපයක් ගැසීමට ය. සංක්‍රාන්ති ලිංගිකයෙකු දුටු විට ඔබ අසරණ වන්නේ ඔහුට/ඇයට ලේබලයක් ඇලවීම දන්නා ශිල්පයෙන් අමාරු නිසා ය.

සමහර විට මිනිසුන් දරණ මත ඔවුන්ගේ ආගම හෝ ජාතිය සම්බන්ධයෙන් ද මෙවැනි ව්‍යාකූලතා වලට මිනිසුන්ට මුහුණ දීමට සිදු වේ. ඔහු/ඇය බෞද්ධයෙකු ද නිරාගමිකයෙකු ද? ඔහු ලිබරල් වාදියකෙු ද මාක්සවාදියෙකු ද? ඇය මුස්ලිම් ද සිංහල ද දෙමළ ද? මෙසේ ලේබල් අලවන්නේ ඔවුන් පුදන්නට ම නොවේ. ඔවුන් ගැන නිගමනය කරන්නට ය. ඔවුන්ගේ චර්යාව අර්ථ නිරූපනය කරන්නට ය. අවසානයේ කුලක ලක්ෂණ ඔවුන්ට අලවන්නට ය. පුද්ගලයා තමන් ඉන්නා කුලකයේ ලක්ෂණ අතික්‍රමණය කර ඇත්නම් මේ ව්‍යායාමය අප අතරමං කරන්නේ ය.

බුදුන් වහන්සේ නොහිටින්නට අංගුලිමාල ද මිනීමරුවෙකු ලෙස ලේබල් අලවා සමාජයෙන් බැහැර කළ යුතු එල්ලා මැරිය යුතු කෙනෙකු වන්නට ඉඩ තිබුණේ ය. ජේසුස් වහන්සේ නොහිටින්නට මග්දලේනා නම් ගැහැණිය ද පව්කාරියක ලෙස ලේබල් අලවා ගල් ගසා මරා දමන්නට ඉඩ තිබුණේ ය.

කළමනාකරුවෙකු මේ තත්වය අතික්‍රමණය කළ යුතු ය. ඔහු සිතිය යුත්තේ අතිවිශාල වෙනස් කම් වලින් යුතු මිනිසුන් අතර මේ පුද්ගලයා ද තවත් මිනිසෙකු බව ය. ඔහුව /ඇය ව කුලකයක සමාජිකයෙකු හැටියට නොව ස්වාධීන පුද්ගලයෙකු ලෙස සැලකිය යුතු බව ය. වෙනස් වන වෙනස් විය හැකි පුද්ගලයෙකු ලෙස ඔහු/ඇය දෙස බැලිය යුතු බව ය. කළමනාකරුවෙකු මිනිසුන්ට ලේබල් ඇලවීමට නොයා යුතු ය.

නොබිඳිය යුතු විශ්වාසය


නායකයෙකු කෙරෙහි විශ්වාසය බිඳුනොත් ඒ නායකයා නො-නායකයෙකු බවට ඉක්මණින් පත් වන්නේ ය. සහකරුවෙක් සහකාරියක් ගැන ද එසේ ය. මිතුරෙකු මිතුරියක ගැන වුව ද අත්වන්නේ ඒ ඉරණම ය. ඔ්නෑම සම්බන්ධයක පදනම විශ්වාසය ය. ඒ නිසා පොදුවේ කාටත් තිබිය යුතු ගුණාංගය කුමක් දැයි ඇසුවොත් සැකයක් නැතුව නම් කළ හැක්කේ විශ්වාසය ය. විශ්වාසා පරමා ඥාතී යන බුදු වදන තුළ ද තිබෙන්නේ මේ කියන පණිවුඩය ම ය. කරන දේ කියන, කියන දේ කරන ගුණය බුදු දහමේ සඳහන් වන්නේ යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී ගුණය ලෙස ය. එය බුදුන් සතුව තිබූ ගුණයක් ලෙස ය. විශ්වාසයේ පදනම එය ය. එය එසේ නම් විශ්වාසය පහසුවෙන් ළඟා කර ගත නොහැකි ගුණාංගයක් ද?

අද කළමනා කොළමෙන් කතා කරන්නට අදහස් කරන්නේ බුදු දහම ගැන නොවේ. බුදු දහමේ ද තීරණාත්මක ස්ථානයක් දී ඇති මෙන්න මේ කියන විශ්වාසය ගැන ය.

කරන දේ නොකියන නොකියන දේ කරන අය ගැන විශ්වාසයක් ඇති වන්නේ නැත. එකක් කියා තව එකක් කරන අය ගැන ද විශ්වාසයක් ඇති වන්නේ නැත. දුන් පොරොන්දුවක් මහ දවල් කඩ කරන කෙනෙකු ගැන ද විශ්වාසයක් ඇති වන්නේ නැත.

මෙසේ සංවාදය දිගට ඇදී ගෙන යද්දී අප ඉදිරියේ මතු වන ප්‍රශ්නය නම් මේ විශ්වාසය නැමැති අටමගලය පවත්වා ගෙන යා හැකි දෙයක් ද යන්න ය.

දුන් පොරොන්දු කඩ කිරීමට අපට සිදු වන්නේ නැද්ද? එකක් කියා තව එකක් කිරීමට අපට සිදු වන්නේ නැද්ද? කරන දේ කියන්නට අපට නොහැකි වන අවස්ථා නැද්ද? නොකියන දේ කරන්නට අපට සිදු වන අවස්ථා නැද්ද?

මේ ප්‍රශ්න සියල්ලට ම උත්තරය එවැනි අවස්ථා තිබිය හැකි බව ය. එකක් නොව කීපයක් ම තිබිය හැකි බව ය. එය එසේ නම් මේ කියන විශ්වාසය අපට පවත්වා ගෙන යා හැකි ද? එය කොහොමත් කැඩීමට නියමිත එකක් ද?

ප්‍රශ්නය ඇත්තේ පොරොන්දුවක් කැඩීමේ නොවේ. සාධාරණ හේතුවක් නැති ව කැඩීමේ දී ය. ඒ සම්බන්ධයෙන් කනගාටු නොවීමේ ය. ඒ ගැන සමාව නොයැදීමේ ය. ඒ සඳහා සුදුසු වන්දියක් ගෙවීමට අපොහොසත් වීමේ ය. කොටින් ම එය නොතකා හැරීමේ ය. හැකියාව තිබිය දී ඒ ගැන කල් ඇතුව දැනුම් දීම මග හැරීමේ ය.

ඉතිරි සියල්ල අරබයා ද මේ කරුණු එක සේ අදාළ ය. ඒ කියන්නේ එකක් කියා තවෙකක් කරන්නට සිදු වන අවස්ථා අපට ඇති විය හැකි බව ය. එවිට ද ඉහත කී සියල්ල වලංගු බව ය. කනගාටු විමේ සිට ඒ පිළිබඳ ව මුල් ම මොහොතේ ම දැනුම් දීම දක්වා සියල්ල අදාළ බව ය.

මේ ක්‍රියාවලිය අපට මග හැරෙන්නේ අප මේ ගැන තබන බර අඩු නිසා ය. “කිව්වට කියන හැම දෙයක් ම කරන්නට බැරි වන බව දන්නේ නැද්ද?” යැයි අසමින් සමහර විට අප සූදානම් වන්නේ ප්‍රශ්නය මතු වූ පසු වින්දිතයාට ම පහර දීමට ය. පොරොන්දුව කඩ කිරීමෙන් හිත් වේදනා විඳින තැනැත්තාට ම වැරැද්ද ද පැටවීමට ය. බොහෝ ආරවුල් ඇති වන්නේ මේ නිසා ය.

එයට තවත් හේතුවක් වන්නේ සමාව ගැනීමෙන් වැරැද්ද පිළිගැනීමෙන් කනගාටුව පල කිරීමෙන් අපේ මාන්නයට තුවාල වෙතැයි යන හැඟීම ය. අප පොරොන්දුව කඩ කළේ අපට වඩා බලවතෙකුට නම් ඒ සියල්ල කිරීමට අප මැලි වන එකක් නැත. එහෙත් අප එය කළේ අපේ ම පැලැන්තියේ එහෙමත් නැත්නම් අපට වඩා බලයෙන් අඩු කෙනෙකුට හෝ පිරිසකට නම් අපට ඒ සඳහා දිව නැමෙන්නේ නැත. එය බල ධුරාවලියක් පවතින අප වැනි රටවලට වැළඳුණ රෝගයකි.

බිඳුණු විශ්වාසයක් බිඳුණු වීදුරුවක් වැනි ය. නැවත පෑහීමක් නැත. එසේ කියන්නේ සමාජය ය.

එහෙත් මා කැමති එය නැවත පිළිසකර කළ හැකි පිඟන් භාණ්ඩයක් ලෙස සලකන්නට ය. බිඳුණු පිඟන් භාණ්ඩයක් බිඳුණු වීදුරුවකට වඩා තරමක් වෙනස් ය. එය නැවත අලවා භාවිතයට ගත හැකි ය. ජපානයේ එවැනි භාණ්ඩ වලට නොබිඳුණු භාණ්ඩ වලට ද වඩා වැඩි වටිනාකමක් ඇත.

ඒ උදාහරණය අපට ඉඟි කරන්නේ නිසා ලෙස පාස්සා ගත්තොත් ඉහළ වටිනාකමක් විශ්වාසය කැඩීම නිසා බිඳුණු සබඳකමකට ද ලබා ගත හැකි බව ය.

“මහ වරුසාවට පසු ව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එලිය යි” කියන සෝමතිලක ජයමහගේ ගීතයට ඔබ සවන් දී ඇතුවාට සැකයක් නැත. අප මුලින් කී ක්‍රියාමාර්ගය – කනගාටුව පල කිරීමේ සිට කිසියම් වන්දියක් ගෙවීම දක්වා – අනුගමනය කරන්නේ නම් ඇති විය හැක්කේ වඩා සාධනීය සම්බන්ධයකි. ඒත් ඒ සඳහා නිහතමානිත්වය අවශ්‍ය ය. මාන්නය නැතිනම් “ඊගෝ” එක බිම තැබීම අවශ්‍ය ය.

හෝද හෝදා මඩේ දාන්නට එපා යැයි යන්න අප දන්නා උපහැරණයකි. විශ්වාසය සම්බන්ධයෙන් ද එය අදාළ ය. දිගින් දිගට පොරොන්දු කඩ කරමින් දිගින් දිගට සමාව ගන්නා පුද්ගලයා විසින් විශ්වාසය නැවත බල ගැන්වීමට ඇති හැකියාව දිගින් දිගට දුර්වල කරන්නේ ය.

ඔබ සතු ව කුමන දක්ෂතා තිබුණ ද ඔබ විශ්වාසය කඩ කර ඇත්නම් ඔබේ වටිනාකම අල්ප ය. ඔබේ සියලු සුදුසුකම් පමණක් නොව ගුණ යහපත් කම් ද තරාදියේ එක් පැත්තකටත් විශ්වාසය අනෙක් පැත්තටත් දැමුවොත් බර ඇත්තේ විශ්වාසය පැත්තේ ය. ඒ නිසා විශ්වාසය ම ගොඩ නගන්න. එය ඔබේ ඉදිරි ගමනේ දී මුණ ගැසෙන හැම දොරක් ම පාහේ විවෘත කර ගත හැකි යතුර ය.

ඉදිරිගාමී මිනිස්සු හා පසුගාමී මිනිස්සු


ඔ්නෑම සමාජයක ඉදිරිගාමී මිනිස්සු මෙන් ම පසුගාමී මිනිස්සු ද සිටිති. එහෙත් ඇතැම් රටක ඉදිරිගාමී මිනිසුන් වැඩි ය. තවත් තැනක පසුගාමී මිනිසුන් වැඩි ය. එයට හේතුව සොයන්නට මත්තෙන් මේ දෙවර්ගය හඳුනා ගැනීම වැදගත් ය.

ඉදිරිගාමී මිනිසුන් නව දෙයට බිය නැත. අභියෝග වලට බිය නැත. නව මං සොයා යෑමට ඔවුන් කැමති ය. නව ප්‍රදේශ ජය ගන්නට ඔවුන් කැමති ය. නව දේ ඉගෙන ගැනීමට ද නව කුසලතා රැස් කර ගැනීමට ද ඔවුන් කැමති ය.

දිනන්නට ද ඒ වෙනුවෙන් වෙහෙසෙන්නට ද ඔවුන් සූදානම් ය. තමන් පමණක් නොව අනුන්ව ද දිනවන්නට ඔවුන්ට වුවමනා ය.

අතීතය ඔවුන්ට වැදගත් වන්නේ ඒ තුළින් අනාගතයට ඉගෙනීමට ය. නැතිව ඒවා සිහි කරමින් තමන්ට නැති දෙයක් ඇතැයි කියන්නට නම් නොවේ. මෝඩාභිමානයක් ඇති කර ගන්නට නොවේ. ඔවුන්ගේ වැඩි අවධානය වර්තමානයට හා අනාගතයට ය. පසුගාමී මිනිසුන්ට මෙන් අනාගතය ගැන බියක් ඔවුන්ට නැත.

ඔවුන් තමන් විචාරය කරනවාට කැමති ය. විවේචනය කරනවාට වුව කැමති ය. ඒවා තමන් දෙස නැවත හැරී බැලීමට උදව්වක් ලෙස ඔවුහු සලකති. ඒවා හරහා ඔවුහු ඉගෙනීමට වෑයම් කරති. ඔවුන් ඒ ප්‍රතිචාර වලින් සැලෙන්නේ නැත. ඒවා හිස් මුදුනින් පිළිගෙන ලෝකයට රිසි පරිදි ජීවත් වෙන්නට නම් ඔවුන්ට මොනම ඔ්නෑ කමක් වත් නැත. තමන් දරණ මතය නිවැරදි නම් ඒ මතයට මුලු ලොව ම විරුද්ධ වුව ද ඒ වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ගේ පැකිළීමක් නැත. ඒ තමන් නිවැරදි ද යන්න පිළිබඳ ව තවත් වරක් කල්පනා කරමින් ය.

කරුණු සංඛ්‍යාලේඛන මත පදනම් ව පරීක්ෂණවලට යටත් ව ගොඩ නගා ඇති විද්‍යාව ඔවුන්ට විශ්වාස ය. සම්ප්‍රදායික විශ්වාස එකවර ප්‍රතික්ෂේප නොකරන ඔවුන් කැමති ඒවා ද පරීක්ෂණයට යටත් කිරීමට ය. ඒවා පරීක්ෂණ වලින් අසමත් වන විට ඒවා බැහැර කිරීමට ඔවුන් පසුබට වෙන්නේ නැත. විද්‍යාත්මක නිගමන පවා නව පරීක්ෂණයන්ගෙන් අසමත් වීමට ඇති ඉඩකඩ ද ඔවුන් බැහැර කරන්නේ නැත. කොටින් ම ලෝකයේ පරම සත්‍යයක් ඇතැයි ඔවුන් විශ්වාස කරන්නේ නැත.

තමන්ගේ ඉරණම ඇත්තේ තම අතේ බව ඔවුහු සිතති. ඒ ඉරණම වෙනස් කර ගත හැක්කේ ද තමන්ට පමණක් බව ඔවුහු විශ්වාස කරති. ඒ නිසා දෙවියන් අද්භූත බලවේග හෝ වෙනත් බලය ඇතැයි කියන පුද්ගලයන් ඔවුන් සරණ යන්නේ නැත. ඔවුන් ව රැවටීම ඒ නිසා දුෂ්කර ය.

ජාතියකට කුලයකට ආගමකට රටකට වඩා පොදු මනුෂ්‍යත්වය පිළිබඳ හැඟීමෙන් ඔවුන් මෙහෙය වේ. මේ බෙදීම් කර උඩ තබා ගෙන ඒවා වෙනුවෙන් සෙස්සන් හා සටන් වැදීමට ඔවුහු කාලය මිඩංගු නොකරති. සියල්ලන්ට සහෝදරත්වයේ දෑත් දිගු කරන, මෛත්‍රියේ කරුණාවේ සිහිල ලබා දෙන, ඔවුන් සමග ගත කරන කාලය පවා සුන්දර අත්දැකීමක් වේ.

මිතුරෙකුගේ දුගුණ ඒ ලෙස දකින්නට මෙන් ම ඒවා පෙන්වා දීමට ද පසුබට නොවෙති. තමන්ට සතුරුකම් කරන්නෙකුගේ වුව සුගුණ ඒ ලෙස දකින්නට ද ඔවුහු මැලි නොවෙති.

ඔවුහු ප්‍රතිපත්ති ගරුක ය. ඔවුන් කියන දේ කරන, කරන දේ කියන අය ය. ඒ නිසා ඔවුන් සමග ගනුදෙනුව පුද්ගලික න්‍යාය පත්‍රයන් නැති මිනිසුන්ට පහසු ය. අලාභයෙන් තොර ය. ඔවුන් සමග ගෙවන හෝරාව වුව ආතතියෙන් තොර ය.

ඔවුන් පහසුවෙන් කෝප ගැන්විය නොහැකි ය. යසස අයස දෙක ම සම ව විඳ ගැනීමට ඔවුන් ඉටා ගෙන ඇති නිසා ඔවුන් මෙල්ල කර ගැනීමට ඇති ආයුධ සීමිත ය.

ඔවුන්ගේ ප්‍රතිචාරය තියුණු ය. ඍජු ය. කරන ඉදිරිපත් කිරීමක් කරන්නේ හේතු සාධක සහිත ව ය. තර්කානුකූල ව ය. ඔවුන් සමග සංවාදයේ දි පරාජය නියත නිසා ඔවුන් සම්බන්ධයෙන් බො‌හෝ දෙනෙකුගේ ප්‍රතිචාර මඩ ගැසීම් වලට හෝ අපහාස වලට සීමා වේ.

වෙනත් ඉදිරිගාමී මිනිසුන් සමග ගැටුමක් සැබෑ ඉදිරිගාමී මිනිසුන්ට නැත. එවැනි අයට අවශ්‍ය අනුග්‍රහයන් සැලසීමට ඔවුන් මැලි වන්නේ ද නැත. ඔවුන්ගේ ගැටුම ඇත්තේ පසුගාමී මිනිසුන් සමග ය. ඒ ගැටුම පවා සංවාදයට සීමා කෙරුනු වටපිටාවක පවත්වා ගෙන යෑමට ඔවුන් කැමති ය. පසුගාමී මිනිසුන්ගේ පටු අදහසක් වුව තර්කානුකුලව ප්‍රතික්ෂේප කරනවා විනා කරුණු සහිත ව පෙන්වා දීමෙන් අවබෝධ කරවන්නට උත්සහ ගන්නවා විනා බලය යොදා යටපත් කිරීමට ඔවුන් කටයුතු කරන්නේ නැත. එවැන්නකට කවුරුන් හෝ ඉදිරිපත් වන්නේ නම් ඊට විරුද්ධව, භාෂණයේ නිදහස වෙනුවෙන්, පෙනී සිටීමට ඔවුන් පසුබට වන්නේ නැත.

සාමූහිකත්වයේ ශක්තිය ඔවුන් අගයන නමුත් ඒ සාමුහිකත්වය තුළ ගිලී යෑමේ අනතුර ද ඔවුහු පසක් කරති. සාමූහිකත්වය විසින් පුද්ගලයා යටත් කර ගැනීමේ ඉඩකඩට ඔවුහු සංවේදී වෙති. ඒ නිසා කණ්ඩායමක සමාජිකයෙකු වුව ද සිය සුවිශේෂ අනන්‍යතාවය එලෙස ම පවත්වා ගෙන යෑමට ඔවුන් කැමති ය. කණ්ඩායම තුළ ඔහු / ඇය රැඳෙනු ඇත්තේ ඒ තුළ විරුද්ධ වීමට අයිතිය තිබේ නම් පමණ ය. කණ්ඩායම විවේචනයට ඉඩ තිබේ නම් පමණ ය.

පසුගාමී මිනිසුන් සතු ව ඇත්තේ මෙකී ගුණාංග වල ප්‍රතිපක්ෂය ය. එහි විලෝමය ය.

මිනිසුන් පසුගාමී වීම පිළිබඳ ව හේතු ගණනාවක් තිබිය හැකි මුත් එක් ප්‍රබල හේතුවක් වන්නේ කුඩා කල ලබන ආදර්ශයන් ය. ඉගැන්වීම් ය. ගුරුහරුකම් ය. නිවසෙන් පාසලෙන් ලබන ආභාෂයන් ය. ඊට අමතරව යම් ප්‍රජාවකගේ ඉතිහාසය, සම්ප්‍රදායන් හා සංස්කෘතිය ද මේවාට ඉවහල් වේ. පිදුරු සෙවි කළ පැල්පතේ සාමය ඇතැයි ගී කියන රටක මන්දිර ගොඩ නැගීමට මිනිසුන් පෙළඹෙන්නේ අඩුවෙනි.

පසුගාමී රටවල සංවර්ධනය අතිශයින් මන්දගාමී වන්නේ මේ නිසා ය. අනෙත් අතට සංවර්ධන අව වර්ධිත වීම ආපසු පසුගාමීත්වය පෝෂණය කරන්නක් ද වෙයි. මෙය ඒ නිසා විෂම චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වේ. රට ගොඩ ගැනීමට නම් එකා බැගින්වත් මේ පසුගාමිත්වයෙන් මුදා ගත යුතු ය. ඔබට පෞද්ගලිකව ගොඩ යා හැක්කේ ද ඒ පසුගාමීත්වයෙන් මිදීමෙන් ය. ආයතනයක් සම්බන්ධයෙන් වුව ද එහි වෙනසක් නැත. දුර දකින කළමනාකරුවෙකු මේ අවබෝධය ඇතුව වැඩ කරන්නෙකි.

සූක්ෂම/ක්ෂුද්‍ර කළමනාකරණය (Micro-management)


  • නිශාන්ත කමලදාස

ඇතැම් කළමනාකරුවන් සියලු සේවකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ක්ෂුද්‍ර කළමනාකරණ නායකත්ව මාදිලිය ය. ඉතා විස්තීර්ණ උපදෙස් දීමට ඔවුන් කැමති ය. සෑම පුංචි දෙයක් ගැන ම උපදෙස් දීමට කැමති ය. ඔවුන් කියන ආකාරයට මිස, සමාන ප්‍රතිඵලයක් ලැබුණේ වුව ද (ඇතැම් විට වඩා හොඳ ප්‍රතිඵලයක් ලැබුණේ වුව ද), වෙනස් ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවාට ඔවුහු අකමැති ය. ඔවුන් යටතේ වැඩ කරන අයට සිතන්නට දෙයක් ඔවුන් ඉතිරි කරන්නේ නැත.

මේ නිසා නිර්මාණාත්මක මිනිසුන් ඔවුන් යටතේ වැඩ කිරීමට අකමැති ය. ඒ වැඩ කිරීම තුළ කිසිදු අභියෝගයක් නැති නිසා ය. මිනිසා රොබෝ කෙනෙකු කරවන නිසා ය. ඇතැම් විට අනවශ්‍ය ක්‍රියා වලට එයින් තල්ලු කරනු ලබන නිසා ය.

එහෙත් සිතන්නට අකමැති, වගකීමක් ගන්නට අකමැති, මිනිසුන් ඒ නායකත්වය ශෛලියට කැමති ය. ප්‍රතිඵල ගැන වගකීමක් ගැනීමට ඒ නිසා ඔවුන්ට සිදු නොවන බැවිනි. ඔවුන්ට ලැබී ඇත්තේ ඔවුන් පතන නායකයෙකු ය.

මේ නායකත්වය ශෛලියේ අනෙක් ලක්ෂණය නම් ඔවුන් ප්‍රතිඵලය සාක්ෂාත් කර ගන්නා තුරු මිනිසුන් පසු පස එලවීම ය. අතෝරක් නැති අන්තර් ප්‍රශ්න වලින් ඔවුන් හෙම්බත් කිරීම ය. නිරන්තර උවදෙස් වලින් පිරවීම ය. අතුරු වාර්තා ඉල්ලා කරදර කිරීම ය. ප්‍රගතිය නිතර ඔහු/ඇය වෙත ලබා දිය යුතු යැයි කියා සිටීම ය.

මේ චර්යාවෙන් නම් හෙම්බත් නොවන කෙනෙක් නැති තරම් ය. ඒත් තවමත් මේ ගැන කැමැත්ත පල කරන අය සිටිය හැකි ය. ඒ ප්‍රතිඵලය සම්බන්ධයෙන් තමන්ගේ වගකීම අඩු වන නිසා ය. තමන්ගේ ගැට‍ළු විසඳීමේ වගකීම දැරීමට කැමති හා එසේ කරන කෙනෙක් ඇති නිසා ය.

ඇතැම් කළමනාකරුවෝ සැම දෙනා සම්බන්ධයෙන් මේ ශෛලිය අනුගමනය නොකරතත් ඇතැම් අය සම්බන්ධයෙන් එය ම අනුගමනය කිරීමට වග බලා ගනිති. ඒ දෙවැනි කී අය විසින් තමන් මත තබන ලද විශ්වාසය බිඳ දමා ඇති නිසා ය. ඔවුන්ගේ අතීත කල් ක්‍රියාව නිසා ය.

ඔබට ක්ෂුද්‍ර කළමනාකරණයේ යෙදෙන නායකයෙකු ලැබී ඇත්නම් ඔබ බැලිය යුත්තේ ඒ ඔහු හෝ ඇය සෑම දෙනා සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙළ ද නැතිනම් ඔබ ඇතුළු සීමිත පිරිසක් සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත දැයි කියා ය. එය එසේ නම් එයින් අදහස් වන්නේ ප්‍රශ්නය කළමනාකරුගේ / නායකයාගේ නොව ඔබේ බව ය. ඔබ විසින් විශ්වාසය කඩ කර ඇති බව ය.

එසේ නම් ඔබට සිදු වන්නේ ඒ විශ්වාසය නැවත ගොඩ නගා ගැනීම ය. ඒ සම්බන්ධයෙන් කළ යුත්තේ ඔහු / ඇය සොයන්නට පෙර ප්‍රගතිය සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කිරීමට වග බලා ගැනීම ය. එසේ නොවේ නම් ඔබට සිදු වන්නේ ඔහු/ ඇය සමග ගනුදෙනු කරන්නට ක්‍රමයක් සොයා ගැනීමට ය.

අදිසි හස්තයක් ඔබට ඉහළින් හැම විට ම තිබීම ඔබේ සතුටට හේතු නොවේ නම්, එය ආරක්ෂක පලිහක් නොව කොයි වෙලේ හෝ කඩා වැටිය හැකි අටමගලයක් ලෙස ඔබට දැනේ නම්, ඔබ පළමු ව කළ යුත්තේ ඔබේ නායකයා හෝ කළමනාකරු තේරුම් ගැනීමට වෑයම් කිරීම ය. ඔබ ඔහු/ඇය කරදර කාරයෙකු ලෙස වර්ග කිරීමට පෙර ඔහු හෝ ඇය ව තේරුම් ගත යුතු ය.

ඇතැම් විට ඔහු/ඇය පුහුණු වී ඇති ක්‍රමය එය විය හැකි ය. ඔහුගේ/ඇයගේ වෘත්තීය ජීවිතයේ යම් ජයග්‍රහණ ලබා ඇත්තේ ඒ ශෛලියට පින් සිදු වන්නට යැයි හැඟීමක් තිබීම විය හැකි ය. ඒ කිසිවක් නොවේ නම් සිදු විය හැක්කේ ඉහළින් ඔහු/ ඇය ව ද ක්ෂුද්‍ර කළමනාකරණයට ඉහළ කළමනාකරණය විසින් යටත් කර තිබීම ය.

එවන් කළමනාකරුවෙකු නරක පුද්ගලයෙකු ලෙස දැකීමෙන් ඔබට සිදු වන යහපතක් නැත. එයින් වන්නේ ඔබේ සිත දූෂ්‍ය වී සම්බන්ධය පළුදු වී යෑම ය. ඒ වෙනුවට ඔබට ඔහුගේ/ ඇයගේ විශ්වාසය දිනා ගැනීම සඳහා වැඩ කළ හැකි ය. ඔබේ වැඩ සම්බන්ධයෙන් එහි ප්‍රගතිය සම්බන්ධයෙන් ඔහු/ඇය ව නිතර දැනුවත් කර තැබිය හැකි ය. ඔහු ඔබගෙන් විමසීමට පෙර ඔබ විසින් ම එය සිදු කරන තැනකට පැමිණිය හැකි ය. ඒ සියල්ල කිරීමෙන් පසු ව වුව ද ඔබට ඒ පුද්ගලයා කරදර කරුවෙකු ලෙස දැනේ නම් ඔබ ඒ ස්ථානයෙන් ඉවත් විය යුතු ය. ඒ නොගැලපෙන දීගෙන් ඔබ දික්කසාද විය යුතු ය. විශේෂයෙන් ඔබ ඔබේ නිර්මාණාත්මක හැකියා එලි දැක්වීමට කැමැත්තෙන් සිටින කෙනෙක් නම් හා ඒ සඳහා මේ ස්ථානය තුළ අවස්ථාවක් නැතැයි හැඟෙන්නේ නම් ඉවත් වී යෑම හොඳ ම විසඳුම ය. ඒ කුමක් නිසා ද යත් මේ නායකත්වය ශෛලිය වෙනස් කිරීමට ඔබට නොහැකි නිසා ය. එය කාලයක් තිස්සේ පුරුදු කර ගත් හුරුවක් නිසා ය. එය කළමනාකරුගේ ශරීරයේ ම කොටසක් බවට පත් ව තිබීමේ ඉඩ කඩ වැඩි නිසා ය.

මේ ලිපිය කියවන ඔබ මෙතෙක් අනුගමනය කර ඇති නායකත්වය ශෛලිය මේ ක්ෂුද්‍ර කළමනාකරණ ක්‍රම වේදය නම් එහි සීමා ගැන තවදුරටත් සිතීමට ඔබට හැකි ය. ඒ ශෛලිය තුළ ඔබ භාවිතා කරන්නේ මිනිසුන්ගේ මොළයෙන් අඩක් බවත් ඉතිරි සියල්ල ඔබ විලංගු දමා හිර කර ඇති බවත් ඔබට වැටහෙනවා ඇත. නිර්මාණාත්මක මිනිසුන් ඔබ විසින් පීඩනයට පත් කර ඇති බවත් ඔබ වටා ඔබ රැස් කර ගන සිටින්නේ සිතන්නට අකමැති රොබෝ වරුන් පිරිසක් බවත් ඔබට පසක් වනු ඇත.

ඒ අවබෝධය ඔබේ වෙනස් වීමට හේතුවක් වනු ඇත. ඒ වෙනස ඔබ හා ඔබේ කණ්ඩායම කරන ක්‍රියාවන් හි විශාල වෙනසක් කරනු ඇත. රොබෝවරුන් ලෙස හැසිරීමට කැමති අය සම්බන්ධයෙන් ඔබේ පැරණි ශෛලිය දිගට ම අනුගමනය කළ හැකි ය. සෙස්සන් සම්බන්ධයෙන් ඔබට වෙනස් විය හැකි ය.

ක්ෂුද්‍ර කළමනාකරණයෙන් ද ප්‍රතිඵල ඇති වේ. එහෙත් සීමා සහිත ව ය. ඒ අවබෝධය වෙනසකට මෙන් ම අවශ්‍ය තැනක එය පවත්වා ගෙන යෑමට ද අත්‍යවශ්‍ය ය.

ජය ගත හැකි අවස්ථා තෝරා ගැනීම


නිශාන්ත කමලදාස

අපේ ජීවිතයේ ඉදිරියට යා හැකි අවස්ථා, “බකන් නිලා” ගෙන සිටියොත්, උදා වන්නේ කලාතුරකිනි. ඒ කලාතුරකින් උදා වෙන අවස්ථා ද අභියෝග වලට බිය නිසා අප මග හැර යන හැටි කලින් දවසක කතා කළෙමු. අප කීවේ එකවර ප්‍රතික්ෂේප කරන්නේ හෝ අනවශ්‍ය ලෙස හිතමින් කාලය ගත කරන්නේ නැතිව ඒවා බාර ගැනීමට නොබියව ඉදිරිපත් විය යුතු බවකි. එසේ වුව ද එයින් අදහස් කරන්නේ උදා වන හැම අවස්ථාවක් ම බාර ගත යුතු බව නොවේ. එක අවස්ථාවක් බාර ගැනීම යනු ඇතැම් විට ඉදිරියේ එන අවස්ථා ගණනාවකට පිටු පස හැරීමේ ඉඩක් විවර වීම ය.

ඊට අමතර ව අපේ දුර්වලකම් නිසා හෝ ඒ අවස්ථාවේ ම තිබිය හැකි සීමා නිසා හෝ අපට ඒ අවස්ථාව හරි හැටි භාවිතා කිරීමට නොහැකි වීම ඇතැම් විට අපේ ප්‍රතිරූපයට නරක විදිහට බලපාන්නට ද පුළුවන.

ඒ හේතු දෙක නිසා ම අප බිය වී හැකිළිය යුතු නැතිවාක් මෙන් ම හැම දෙයක් ම බාර ගැනීමට ද කටයුතු නොකළ යුතු ය. මේ තීන්දුව, එනම් උදා වූ අවස්ථාවක් බාර ගත යුතු ද නැද්ද යන තීන්දුව, ජීවිතයේ සාර්ථකත්වය ලැබීමට තීරණාත්මක බල පාන්නේ ය. ඒ සඳහා අප උදා වී ඇති අවස්ථාව සම්බන්ධයෙන් විනිශ්චයට පැමිණිය යුත්තේ කෙසේ දැයි දැන ගත යුතු ය.

අපට මේ සම්බන්ධයෙන් තිබෙන එක් ක්‍රමවේදයක් නම් “ශදුඅත” ක්‍රමය ය. ශදුඅත යන වචනය සෑදී ඇත්තේ අප සතු ව පවතින ශක්තීන් හා අපේ දුර්වලකම් ද මේ අවස්ථාව භාවිතා කිරීමේ දී අපට උදා විය හැකි නව අවස්ථා හා මුහුණ දීමට සිදු වන තර්ජන ද එක් කිරීමෙනි.

උදා කළ අවස්ථාව ජය ගැනීමට, ඒ හා මතු වන තර්ජන කොතෙක් දුරට බලපානු ඇති ද? අපේ ශක්තීන් ඒ තර්ජන ජය ගැනීමට කොතෙක් දුරට අපට උපකාරී වනු ඇති ද? අපේ දුර්වලකම් අපට කොතෙක් දුරට බාධා කරනු ඇති ද? ඒ දුර්වලකම් මග හැරීම සඳහා ගත හැකි පියවරක් (තවත් කෙනෙකු සම්බන්ධ කර ගැනීම වැනි) වේ ද? ඒ අවස්ථා ව විසින් උදා කරන නව අවස්ථා අපට කොතෙක් දුරට ප්‍රයෝජන වෙනු ඇති ද? ඒ සියල්ල පිරික්සා බැලීමෙන් අනතුරුව අපට ඒ අවස්ථාව භාවිතා කිරීම සඳහා ගත හැකි උපාය මාර්ග ගැන යම් නිෂ්චයකට පැමිණිය හැකි ය.

උදාහරණයක් ගෙන බලමු. ඔබට දේශනයක් කිරීමට ආරාධනාවක් ඇත. එය ඔබට ලැබී ඇති අවස්ථාවකි. ඔබට ඒ විෂය ගැන ප්‍රමාණවත් දැනුමක් ඇත. ඔබ දේශන කර පළපුරුද්දක් ඇත්තෙකි. ඒ ඔබ සතු ශක්තීන් ය.

ඔබ ඒ විෂය ගැන දේශනයක් මීට පෙර කර නැත. එය මේ අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම විෂයයෙහි ලා දුර්වලකමක් ලෙස සැලකිය හැකි ය. එහෙත් සූදානම් විම සඳහා ප්‍රමාණවත් කාලයක් ඔබට ලැබෙන්නේ නම් ඒ දුර්වලතාව මග හරවා ගත හැකි ය. මේ දේශනය කිරීමට ඔබ ට සිදු වන්නේ ඔබ අනාගතයේ සම්බන්ධ වීමට කැමති ක්ෂේත්‍රයක විද්වත් සභාවක ය. ඔවුන් ඔබ ව විනිශ්චය කිරීමට නියමිත ය. අසාර්ථක වුව හොත් එය ඔබ පතන ඉදිරි ගමනට නිෂේධනීය ලෙස බලපාන්නට ඉඩ තිබේ. සාර්ථක වුව හොත් ඔබට ඒ සඳහා අගනා තල්ලුවක් ලැබේ. ඒ නිසා මේ අවස්ථාව මග හැරීම අපරාධයකි.

මේ උදා වී අවස්ථාවේ ඇති සීමාව (තර්ජනය) නම් ඔබ දැනටමත් බාර ගෙන ඇති වැඩ ඉදිරියේ සූදානම් වීම සඳහා ඔබට ප්‍රමාණවත් කාලයක් ඉතිරි ව නැති වීම ය. යම් හෙයින් ඔබට ඒ වැඩ අතරින් කීපයක් කල් දා ගත හැකි නම් සූදානම් වීමට කාලයක් සොයා ගත හැකි ය. ඒ අනුව ඔබට ඉතිරි වන්නේ එසේ සොයා බලා මේ ආරාධනය සම්බන්ධයෙන් උත්තරයක් දීමට කෙටි එහෙත් නිශ්චිත කාලයක් ඉල්ලීම ය. ඔබේ උපාය මාර්ගය වනු ඇත්තේ බාර ගත් වැඩ කීපයක් කල් දා ගැනීම ය. ඒ සඳහා අදාළ පාර්ශව වල කැමැත්ත ඉල්ලා සිටීම ය. ඒ ඔබ දැනටමත් දී ඇති පොරොන්දු සම්බන්ධයෙන් විශ්වාසය බිඳීමට ඔබට අවසර නැති නිසා ය. එසේ කැමැත්ත ලැබේ නම් දේශනය සම්බන්ධ ආරාධනය බාර ගැනීම ය. නැතිනම් කාරුණික ලෙස ප්‍රතික්ෂේප කිරීම ය. පමා නොවී ප්‍රතික්ෂේප කිරීම ය. හේතු දක්වා ප්‍රතික්ෂේප කිරීම ය. ඇතැම් විටක ඔවුන් දිනය වෙනස් කර ඔබට පහසු දිනක දේශනය කිරීමට අවස්ථාව සලසා දෙන්නට ද හැකි ය.  

තමන්ට ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට නොහැකි නම් ඔබට කළ හැකි ඊළඟ සුදුසු ම දේ ඔබ දන්නා කියන සමාන හෝ ඉහළ දක්ෂතා තිබෙන කෙනෙකුට ඒ අවස්ථාව පිරි නැමීම ය. ඔවුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම ය. සංවිධායකයින්ට ඒ නම යෝජනා කිරීම ය. ඒ හරහා නව ආකාරයක සම්බන්ධයක් සංවිධායකයන් සමග මෙන් ම ඔබ නිර්දේශ කරන පුද්ගලයා සමග ද ගොඩ නගා ගැනීමට කටයුතු කිරීම ය. ඇතැම් විට ඔහුට ඉදිරියේ දී ලැබෙන අවස්ථාවක් භාවිතයට ගත නොහැකි නම් ඔබට පෙරලා පිරි නමන්නට ඔහු කාරුණික වෙනු ඇත. එවිට ද ඔබ ලද අවස්ථාව සම්පූර්ණයෙන් නැතත් ප්‍රයෝජනවත් ලෙස යොදා ගත් කෙනෙකු බවට පත් වේ.

ලැබෙන අවස්ථා සම්බන්ධයෙන් පමණක් නොවේ. ඔබ සොයා ගෙන යන අවස්ථා සම්බන්ධයෙන් ද ඉහත කරුණු අදාළ ය. ඒවා සම්බන්ධයෙන් ද “ශදුඅත” විමසුමක් ඔබ කළ යුතු ය.

ඇතැම් අය මේ විමසුමට අමතර ව අවදානම් විමසුමක් ද සිදු කරති. එහි දී කෙරෙන්නේ සාර්ථක වීම අඩාල කළ හැකි සාධක කවරේ දැයි සොයා බැලීම ය. ඒ මත පදනම් ව ඒවාට සූදානම් වීම ය. එක් අවදානමක් විය හැක්කේ බිය නිසා උගුර කට වේලීම ය. ඒ නිසා කළ යුත්තේ එම අවස්ථාවේ අවශ්‍ය වුව හොත් පානය කිරීමට වතුර බෝතලයක් ළඟ තබා ගැනීම ය. තවත් අවදානමක් විය හැක්කේ ඔබේ ඉදිරිපත් කිරීමට අදාළ දත්ත (information) හෝ ඉදිරිපත් කිරීම (presentation) ගබඩා කර ඇති උපකරණය (pen drive) අක්‍රීය වීම ය. එවැනි අවදානමක් සම්බන්ධයෙන් කළ හැක්කේ ඒ දත්ත සංවිධායකයන් සමග කලින් බෙදා ගෙන තිබීම ය. මෙසේ කරනු ලබන අවදානම් විමසුම ඒ අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය ය.

දැන් සියල්ල හරි ය. ඉතිරි ව ඇත්තේ ලැබූ අවස්ථාව උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම ය. ඒ සඳහා විශ්වාසයෙන් යුතු ව ඉදිරිපත් වීම ය.