ආයතනික දේශපාලනය


49107

මේ සමාජය දේශපාලනිකව උණුසුම් වි ඇති මොහොතකි. දේශපාලනය පවතින්නේ රට තුළ පමණක් නොවේ. ආයතන තුළ ද එය වෙනත් මුහුණුවරකින් ක්‍රියාත්මක වේ. වෙනසකට ඇත්තේ පක්ෂ වෙනුවට වෙනත් පදනමක් මත සංවිධානය වූ කල්ලි හා කණ්ඩායම් පැවතීම ය.

පවතින දේශපාලන ක්‍රියාකාරිත්වය රටට කොතෙක් බල පා ඇත් දැයි විස්සෝපයෙන් සිටින අයට පවා තම ආයතන තුළ ද මේ සංසිද්ධින් වෙනත් අයුරකින් සිදු වන බව නොපෙනී යා හැකි ය. රටට මෙන් ම ආයතනයන්ට ද මේ බල දේශපාලනයේ අනිටු ප්‍රතිඵල විඳින්නට සිදු වන නිසා ආයතනයන් තුළ මෙය සිදු වන්නේ කෙසේ දැයි දැන සිටිම වැදගත් ය.

ආයතනික දේශපාලනයේ යෙදෙන්නන්ගේ අරමුණ ද නායකත්වය සඳහා බල අරගලයේ දී ඉදිරියට ඒමට ය. ඒ සඳහා කල්ලි කඳවුරු ඇති කොට ඒවා භාවිතයට ගැනීම ය. ආයතනික සන්දර්භය වෙනස් නිසා මේ බල පොරය ඉදිරියට එන ආකාරයේ වෙනසක් තිබුණ ද සිදු වන්නේ එක ම දෙයකි. පුද්ගලික අරමුණු ජය ගැනීම සඳහා කඳවුරු බැඳ ගැනීම ය. මෙවැනි කල්ලි කණ්ඩායම් හා කඳවුරු බිහි වීම වැළැක්වීමට නිසි නීතිමය ප්‍රතිපාදනයන් නැති, තිබුන ද එම නීතිමය ප්‍රතිපාදන භාවිතා කරමින් එවැන්නක් වැළැක්වීමට ඉහළ කළමනාකාරිත්වය මැදිහත් නොවන, ඕනෑ ම තැනක මේ  තත්වය උදා විය හැකි ය.

පළමුව සිදු වන්නේ යම් කුඩා සිද්ධියක් මුල් කර ගෙන බෙදිමක් ඇති කර ගැනීම ය. උදාහරණයක් ලෙස ක්‍රිස්තියානි ආගමට අයත් කෙනෙකුට සෙසු අය අභිබවා උසස්වීමක් ලැබුණේ යැයි සිතමු. ඒ තීරණය ගත්තේ ද  ක්‍රිස්තියානි ආගම අදහන කෙනෙකු නම් දැන් ආගමික බෙදීමකට කරුණක් තිබේ. ඒ උසස්වීම සාධාරණ හේතු මත ලැබුවේ වුව ද එය මේ බෙදීම ඇති කිරීමේ දී අදාළ වන්නේ නැත.

ඒ සඳහා වුවමනා වුවහොත් සිද්ධිය පිළිබඳව බොරු ද ජනිත කිරීමෙන් අවශ්‍ය පදනම සකසා ගනු ලැබේ. උසස්වීම ලද පුද්ගලයා ආයතනයට ඇතුළු වී ඇත්තේ ද බොරු සහතික ඉදිරිපත් කරමින් බව ද ඊට ද අනුග්‍රහය ලබා දුන්නේ අර උසස් වීම දුන් ඉහත කී උසස් නිලධාරියාම බව ද එයින් කියනු ඇත. එහි ඇත්ත නැත්ත නොසොයාම, මිනිසුන් එය පිළිගන්නා තෙක්, පණ පිහිටුවමින් එම බොරුව ප්‍රචාරය කිරීම සෑහෙන්නේ ය.

මේ ව්‍යාපාරයේ මුඛ්‍ය ඉලක්කය උසස් වීම ලැබූ නිලධාරියා නොවේ. උසස් වීම පිරිනැමූ නිලධාරියා ය. අදහස ඔහු නායකත්වයට පත් වීම වළක්වා ගැනීම ය. ඒ සඳහා ක්‍රිස්තියානි නොවන සෙසු අය සංවිධානය කොට කඩේ යැවීමට ය. ඒ සඳහා අවශ්‍ය කටයුතුවල වැඩි ම බර දරන්නේ ඔහු හා තරඟයට සූදානම් වන ක්‍රිස්තියානි නොවන නිලධාරීයා  ය. සගයා ය. දෙවැනියට සඳහන් කළ අයට අවශ්‍ය තමන්ගේ ප්‍රතිවාදියා වල් අඩි පහරක් ගසා හෝ හොර වෙට්ටුවක් දමා හෝ තරඟයෙන් නෙරපා දමන්නට ය.

ක්‍රිස්තියානි අය ආයතනය තුළ කොන් කරන්නත්, ඔවුන් ආයතනයේ තනතුරු ඩැහැ ගැනීමට කුමන්ත්‍රණය කරන කොටසක් ලෙස ලේබල් ඇලවීමටත්, ඉන් පසු කටයුතු සංවිධානය කෙරේ. මේ ඊනියා කුමන්ත්‍රණය අනාවරණය කරමින් කැලෑ පත්තර ගැසීම මෙන් ම, ආයතනයේ පාලනාධිකාරියට ක්‍රිස්තියානි කඳවුරට අයත් මිනිසුන් කරන අකටයුතුකම් මේ යැයි සඳහන් කරමින් බොරු පෙත්සම් යැවීම ද සිදු කෙරේ. විධිමත් ආයතනයක් තුළ මේවා ඇතැම් විටක විවෘතව කෙරෙන්නේ නැත. එහෙත් එවැනි දෑ හොර රහසේ ක්‍රියාත්මක වීමට එහෙමකට බාධාවක් නැත. උඩින් සාමය පවතිතත් යටින් මේ බෙදීම අපූරුවට සිදු වන්නේ ය.

තමන්ට සිදු කරන මේ අසාධාරණය අවබෝධ වූ විට ක්‍රිස්තියානි ආගමට අයත් අය ද බොහෝ විට කරන්නේ ඊට ප්‍රතිචාර දක්වනු පිණිස සංවිධානය වීම ය. කඳවුරු බැඳීම ය. (තේරුම් ගැනීමේ පහසුව සඳහා බෙදුම් රේඛාව ලෙස ක්‍රිස්තියානි ආගම අදහන පිරිස ගත්තේ වී නමුදු වෙනත් ආගමක් පමණක් නොව ජාතිය කුලය අකුරු කළ පාසල වැනි වෙනත් ඕනෑම නිර්ණායකයක් පදනම් කර ගෙන මේ බෙදීම් නිර්මාණය විය හැකි බව නැවතත් මතක් කළ යුතු ය).

ආයතනයේ සුළුතරයන්ට අයත් පිරිස දිනා ගැනීමට මෙහි දී කඳවුරු දෙකේම උදවිය කටයුතු කරනු ලබන අතර ඒ නිසා ම මේ කඳවුරු දෙකින් එකකට එකතුවන ලෙස සියල්ලන්ට බලපෑම් එල්ල වේ. දැන් ආයතනික දේශපාලන ගේමකට සියල්ල සූදානම් ය.

මේ බෙදීම නිසා ආයතනයට වන හානිය දකින දූර දර්ශී කීප දෙනෙකු මෙහි ආදීනව පෙන්වා දීමට ඉදිරිපත් විය හැකි නමුත් ඔවුන්ට කඳවුරු දෙකේම අන්තවාදීන්ගේ දෝෂ දර්ශනයට ලක් වන්නට සිදු වෙනු ඇත.

ඇතැම් තැනක බල අරගලය, බෙදීමට පක්ෂ අය හා බෙදිමට විරුද්ධ අය අතර අරගලයක් ලෙස, වෙනත් ආකාරයකට ද මතු වීමට ඉඩ ඇත. ආයතනයේ බහුතරය ඇත්තේ කාට ද ඔවුන් බෙදීමට පක්ෂ වනු ඇති අතර බෙදීමෙන් බැට කන සුළුතරය ඇතැම් විට බෙදීමට විරුද්ධ පාර්ශවය සමග එක් විය හැකි ය.

දැන් තවත් වටයක් ආරම්භ වීමට නියමිත ය. ඒ මුල් බෙදීමට විරුද්ධව නව බෙදීමක් ඇති වීම හරහා ය. ඒ කඳවුරු ඉවත් කිරීමට හා කඳවුරු පවත්වා ගැනීමට පක්ෂ කවුද යන කාරණය මුල් කර ගෙන ය.

බෙදීම් නිසා ආයතනය අවුලට පත් වනු දකින මිනිසුන් කියන්නේ සියළු බෙදීම් අවසන් කළ යුතු බව ය. එහෙත් බෙදීමට විරුද්ධත්වය මත ඇති ව ඇති බෙදීම අවසන් කළ හැක්කේ මුල් බෙදීම අනුමත කිරිමෙන් පමණ ය. ඒ උභතෝකෝටිකය ගැන වැටහීමක් නැති මිනිසුන් විසින් නිරපේක්ෂ සටන් පාඨයක් ලෙස ගෙනෙන සියළු බෙදීම් අවසන් කළ යුතු ය යන්න හිස් වචන ගොඩක් පමණකි. අවශ්‍ය වන්නේ ආයතනය තුළ කිසිවෙකුට තමන්ගේ පසුබිම (වර්ගය, ජාතිය, ආගම, අකුරු කළ පාසල වැනි ආයතනයට කිසිසේත් අදාළ නැති බෙදුම් ඇති කරන්නාවූ පසුබිම) නිසා අකටයුතුකමක් විය නොහැකි සේ හෝ වරප්‍රසාදයක් නොලැබිය හැකි සේ නීති සම්පාදනය කිරීම ය. එසේ නොවන බවට වග බලා ගත හැකි සේ ක්‍රමවේදයන් සකසා ගැනීම ය. එසේ සකසා ගත් නීති හා ක්‍රමවේදයන්ට සැම ගරු කරන බවට වගබලා ගැනීම ය. එම නීති හා ක්‍රමවේදයන් උල්ලංඝනය කරන්නේ කවුරුන් වුව ද ඔවුන්ගේ පසු බිම (ජාතිය, වර්ගය, ආගම, උගත් පාසැල වැනි) නොසළකා විරුද්ධ වීමට ආයතනයේ සැම කටයුතු කරන වටපිටාවක් නිර්මාණය කිරීම ය.

එය පහසු නැත. අඩු සුදුසුකම් ඇති අය කොහොමටත් කැමති නීති හා ක්‍රමවේද පසු පසෙක ලා“ තමන්ගේ කම“ උපයෝගී කර ගනිමින් ඉහළ නැගීමේ ඉඩ ය. මේ තත්වය ඇති කිරීම දුෂ්කර ඒ නිසා ය.

ඒ දුෂ්කර කාර්යය නොකර සිටීමෙන් සිදු වන්නේ මේ ආයතනික දේශපාලනය විසින් ආයතනය ම ගිල ගැනීම ය. එවිට සුදුසු කම් ඇති අයට පමණක් නොව අඩු සුදුසුකම් ඇති ව ෂෝට් කට් වලින් ඉහළට යෑමට බලා සිටි අයට ද එසේ කිරීමට ආයතනයක් නැති වනු ඇත. ඒ නිසා ම මේ ආයතනික දේශපාලනය ඇති වීම වැළැක්වීම සියළු දෙනාගේ වගකීම ය. ඒ සඳහා කැපවීම නිවැරදි ආයතනික දේශපාලනය වේ.

විවේචනයට මුහුණ දීම


49548

කළමනාකරුවෙකුට පමණක් නොව ඕනෑ ම කෙනෙකුට සිය ජීවිතයේ දී විවේචනයට මුහුණ දිමට සිදු වේ. විශේෂයෙන් වෙනසක් කරන කෙනෙකුට, වෙනස් අදහස් පල කරන කෙනෙකුට, වෙනස් මගක යන කෙනෙකුට, එවැන්නකට මුහුණ දීමට සිදු වන අවස්ථා වැඩි ය. ඒ අතින් කළමනාකරුවන්ට සෙසු අයට වඩා විවේචනයන්ට මුහුණ දීමට සිදු වේ.

ඇතැම් විවේචනය විනාශකාරී ය. වෛරයෙන් යුක්ත ය. නැති භංග කර දැමීමේ අරමුණින් කරන ඒවා ය. ඇතැම් විට ඒවා තර්ජනකාරී ය. වෙනස් කිරීමට බලකිරීමක් ද එසේ නොකළොත් ප්‍රතිවිපාක ගැන අනතුරු ඇගවීම් ද සහිත ඒවා ය. ඇතැම් තැනක ඒවා උදව් පිණිස ය. වැඩි දියුණු කිරීම අරමුණු කර ගෙන ය. යහපත අපේක්ෂාවෙන් කරන ඒවා ය.

ඇතැම් විටක විවේචනය ඍජු ය. මුහුණට ම කියන ඒවා ය. තවත් විටෙක ඒවා සියුම් ය. ඒවා ඉදිරිපත් වන්නේ වක්‍රව ය. බොරු ප්‍රශස්තියක ද ඔතා ය.

සමහර විවේචන කර්කෂ ය. එල්ල කරන්නේ පුද්ගලයා ඉලක්ක කර ගෙන ය. ඊට ප්‍රතිපක්ෂව ඇතැම් විවේචන උපහාස රසයෙන් අනූන ය. එල්ල කරන්නේ යම් පුරුද්දක්, අදහසක්, චර්යාවක් එල්ල කර ගෙන ය.

මෙවැනි අටෝරාශියක් මුහුණු සහිත විවේචන සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි එක් ප්‍රතිපත්තියක් සොයා ගැනීම අසීරු ය. එහෙත් විමසුම් ඇසකින් බැලුවොත් පෙනී යන්නේ මේ හැම එකකට ම සංයමකින් මුහුණ දීමට හැකි නම් ජයග්‍රහණය ඔබ අතේ බව ය.

දෙවැන්න, මේ හැම එකකම පණිවුඩයක් තිබෙන බව අවබෝධ කර ගැනීමේ ය. ඒ නිසා පොදුවේ මේ ඕනෑම විවේචනයක් පිටුපස තිබෙන පණිවුඩය නිවැරදි ව හඳුනා ගත යුතු ය. ඒ පණිවුඩ බොහෝ විට අපට කියන්නේ, අපේ අදහස්, චර්යා පමණක් නොව උපාය මාර්ග දෙස ද නැවත බැලිය යුතු බව ය.

ඒ නිසා මේ ඕනෑම විවේචනයකට ප්‍රතිචාර දැක්වීමට පෙර අප කළ යුත්තේ, ඒ විවේචනය අප දෙස නැවත බැලීමට සුදුසු අවස්ථාවක් කර ගැනීම ය. මේ ඔබ ඉදිරියේ අල්ලා ඇත්තේ, ඔබේ මුහුණ හා සිරුර නොව, ආත්මය බලා ගත හැකි දර්පණයකි. ඒ දර්පණය තුළ ඔබේ ආත්මයේ රුව එලෙසම දැකීමට අපේක්ෂා නොකළ යුතු ය. තල දර්පණ මෙන් ම රුව විකෘති කරනඋත්තල හා අවතල දර්පණ ද තිබෙන බව දැන මේ රුව දෙස බැලිය යුතු ය.

දර්පණයකින් ඔබේ රුව දෙස බලන ඔබ කරන්නේ කුමක් ද, විවේචනයන් සම්බන්ධයෙන් ද ඔබ පළමුව කළ යුත්තේ එය ය. ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන අඩුපාඩු තිබේ නම් හදා ගැනීම ය. ඒ දර්පණය ඔබේ රුව විකෘති කර පෙන්විය හැකිය යන අවබෝධය ද ඇති ව ය.

විවේචනය ලබන්නෝ වාසනාවන්තයෝ ය. ඒ තමන්ට වඩාත් ප්‍රයෝජනවත් ලෙස වෙනස් වීමට, නැතිනම් අඩු වශයෙන්, තම උපාය මාර්ගයන් වෙනස් කර ගැනීමට, ඉන් අවස්ථාව සැලසෙන නිසා ය.

හැමට එහෙම අවස්ථා හිමි වන්නේ නැත. විශේෂයෙන් බලය ඇති මිනිසුන් මුහුණට විවේචනය කිරීමට සෙසු මිනිසුන් කැමති නැත. අත් විය හැකි විපාක නිසා ය. ඒ නිසා ම ඉහළ කළමනාකරුවන්ව ද විවෘතව විවේචනයට ලක් වන්නේ කලාතුරකින් ය. ඔවුන්ට විවේචනය එල්ල වන්නේ ඔවුන්ට නොදැන පරිදි පිටුපසිනි. පිටුපසින් දර්පණයක් ඇල්ලුවාට වැඩක් නැත. ඉන් අපව දැක ගැනීමට අපට නොහැකි ය.

ඒ නිසා ම විවෘත විවේචනයන්ට ඉඩ තිබෙන වටපිටාවක් හැදීමට කළමනාකරුවන් වග බලා ගත යුතු ය. ඒ සඳහා කළ හැකි එක් දෙයක් නම් තමන්වම විවේචනය කිරීම ය. තමන්ගේ අඩුපාඩු කියා සිටීම ය. ඒවා තමන් ම උපහාසයට ලක් කිරීම ය. ඒ මගින් එසේ කරන ලෙස සෙසු අයට දිරි දීම ය.

විවෘත විවේචනයට ඉඩ නැති තැනක ඒවා එක් රැස්වී පොලා පනින්නේ දරුණු ආකාර ගනිමින් ය. කළමනාකරුවන් නිරුත්තර වෙන්නේ සහ ඔවුන්ගේ දෙපා යටින් පොළොව සෙලවෙන සෙයක් ඔවුන්ට දැනී ඔවුන් නන්නත්තාර වෙන්නේ, මේ  අනපේක්ෂිත ප්‍රහාරයන්ට මුහුණ දීමෙනි.

ඒ කිසි දු පසුබිමකින් තොරව වුව ද ඇතැම් විට අයුක්ති සහගත නිර්දය විවේචනයන්ට ද අනපේක්ෂිත ලෙස නිරාවරණය වීමට කෙනෙකුට සිදු විය හැකි ය. ඒ අහක යන යමක් තමන්ගේ හිස මත කඩා වැටීම නිසා ද විය හැකි ය. අනුන් කළ වැඩකට තමන්ට වග උත්තර දෙන්නැයි කීම නිසා විය හැකි ය.

කෙනෙකු වැරදි තොරතුරක් නිසා ප්‍රලය වී ඉන්නවා විය හැකි ය. යමක් වැරදියට තේරුම් ගැනීම නිසා උද්වේගකර චිත්තයක පසුවනවා විය හැකි ය. ආත්ම ලාභය උදෙසාම දැන දැන අසාධාරණ ලෙස කෝපය පල කරනවා ද විය හැකි ය.

ඒ කුමක් වුව ද ඔබ සංයමය පවත්වා ගෙන යා යුතු ය. එපමණක් නොවේ. අනෙකාට ද සංයමයෙන් කටයුතු කරන ලෙස සංයමයෙන් කිව යුතු ය.

මෙය අමාරු කටයුත්තකි. මක් නිසා ද යත් ඔහු හා හරි හරියට සිටිම සඳහා අපේ වේෂය, අප ද නොදැනුවත්ව ම, මාරු වන බැවිනි. ඔහුගේ ප්‍රතිබිම්බයක් බවට ම අප නිරායාසයෙන් පත් වන බැවිනි. මේ ස්වභාවික රූපාන්තරණය නැවැත්විය හැක්කේ සිත දියුණු කරගත් මිනිසුන්ට පමණ ය. වෛරයට මෛත්‍රියෙන් පිළිතුරු දිය හැක්කේ ඔවුන්ට ය.

අනෙකා සංයමයෙන් විවේචනය ඉදිරිපත් කරන්නට නොපෙළඹෙන්නේ නම් හෝ කරුණු දක්වන්නට ඉඩ නොදෙන්නේ නම්, මොහොතකට නිහඩ ව සිටිය හැකි ය. හැගීම් වලින් ප්‍රලය වූ ඕනෑම කෙනෙකුට ඒ තත්වයේ බොහෝ වේලා සිටිය නොහැකි ය. ඒ නිසා ම ඔහුට ඇයට නිවෙන්නට අවස්ථාව සලසමින් නිශ්ශබ්දව සිටීම කළ හැකි හොඳම දෙය ය. එවැනි උපෙක්ෂාවක් ද සිල්ලර මිනිසුන්ගෙන් අපේක්ෂා කළ නොහැකි ය. ඒ සඳහා පුරුදු පුහුණු කළ පෞර්ෂයක් අවශ්‍ය ය.

කතා කළ යුත්තේ, උත්තර දිය යුත්තේ, ප්‍රමාණවත් ලෙස සන්සුන් වූ පසුව ය. නැවත ඒ තැනැත්තාට හැගීම් අවුස්සා ගැනීමට ඉඩක් නොසලසන තරමේ කරුණා ගුණයක් පල කරමින් ය.

ඔබ වෙත එල්ල කරන ලද පුද්ගලික ප්‍රහාරයන් නොසළකා හැර ඉදිරිපත් කර ඇති කරුණු වලට පමණක් පිළිතුරු බඳින්නට උත්සහ කළ යුතු ය. පණිවුඩය ගැන මිස එය ගෙනා පුද්ගලයා ගැන අමතක කර පිළිතුරු දෙන්නට අප එහි දී වග බලා ගත යුතු ය.

සාධාරණ විවේචනයන් සියල්ල බැහැර නොකර පිළි ගත යුතු ය. අඩුපාඩුවක් සිදු ව ඇත්නම් සමාව ඉල්ලිය යුතු ය. සිදු වූ අපහසුතාවය ගැන කණගාටුව ද පළ කර යුතු ය. ඒ සම්බන්ධයෙන් කළ හැකි කිසිවක් ඇත්නම්, යම් ආකාරයකින් වන්දි ගෙවිය හැකි නම්, නොපමාව ඒ සඳහා තමන්ගේ කැප වීම ප්‍රදර්ශනය කළ යුතු ය. එය ක්‍රියාවට නැංවිය යුතු ය.

සමස්ථය චිත්‍රය ගත් විට තමන් නිවැරදි වන්නේ වුව ද එක් පැති කඩක වැරැද්දක් ඒ තුළ දකින්නට ඇත්නම්, එය පිළිගෙන, නැවත සමස්ථ චිත්‍රය පෙන්වා, ඒ සමස්ථය තුළ එය වැරැද්දක් නොවන්නේ ඇයි දැයි පැහැදිලි කළ යුතු ය. ඇති ව තිබෙන ප්‍රශ්නය දෙස අනෙකාගේ කෝණයෙන් බලා, ඒ පෙනෙන දෙය දැක, එය බෙදා හදාගෙන, ඒ කෝණයට නොපෙනෙන දෑ කවරේදැයි අනෙකාට පැහැදිලි කර දිය යුතු ය.

අපේ අපේක්ෂාව විය යුත්තේ ජය ලැබීම නොවේ. අනෙකා දිනා ගැනීම ය. එහෙත් නොදැනුවත්ව ම අප වැටෙන්නේ ජය ලැබීමේ ආශ්වාදය විඳින්නට ය. එයින් ගැලවීම පහසු නැත. එහෙත් දිගු කාලීන ජය ඇත්තේ එ් ගැලවීම තුළ ය.

නීතිය සැමට එක ලෙස – හරි ද වැරදි ද?


46122

නීතිය අකුරට ක්‍රියාත්මක කළ යුතු යැයි ද නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කළ යුතු යැයි ද නැගෙන ඉල්ලීමක් තිබේ. ඒ රට තුළත් ආයතන තුළත් අවිචාරවත් ලෙස සිදුවන නොමනා හැසිරීම වැළැක්විය හැකි එක් මගකි. එසේ කරන්නේ නම් අවිචාරය අවසන් කොට චාරයක් රට තුළ ඇති කළ හැකි ය. යම් පිළිවෙලක් ඇති කළ හැකි ය. එවැනි පිළිවෙලක් ඇති තැනක වැඩ කිරීම ජීවත්වීම පහසු ය. ප්‍රිය මනාප ය. ඒ නිසා ම එම ඉල්ලීම යුක්ති යුක්ත ය. සාධාරණ ය.

බැලූ බැල්මට එකඟ වෙනවා හැර ඒ සම්බන්ධයෙන් වාද කිරිමට, ප්‍රශ්න කිරීමට, කිසිවක් නැත. එහෙත් ගැඹුරට බලන විට එය එසේ නොවන බව පෙනී යයි.

තම දරුවන්ගේ බඩ ගිනි නිවීම උදෙසා අඹ ගෙඩි කීපයක් සොරකම් කළ කතක් මෑතක දී උසාවියට ඉදිරිපත් කරනු ලැබීය. අඹ ගෙඩි තුන පොඩි වුව ද සොරකම සොරකම ම ය. එවැනි අවස්ථාවක නීතිය අකුරට ක්‍රියාත්මක කිරිමේ කටයුත්ත සිදු කළ යුතු ද? ඇයට අවවාදයක් කොට නිදහස් කරනවා හැරුණු කොට ඇය කුදලාගෙන උසාවියට ගෙන යෑම යුක්ති යුක්ත ද? අප හිරවන්නේ එතැන දි ය.

සමහරුන් නම් කියන්නෙ කම්බා හොරුන් නිදහස් කරන රටක මෙවැනි සොරකම් ගැන කිසිවක් කිරීම ම ප්‍රශ්න කාරි බව ය. සෙසු අය කියන්නේ පොඩි හොරකමට ඉඩ හැරීම ද හොරකම පොදුවේ ප්‍රවර්ධනය කරන්නක් බැවින් ඇය දඩුවම් විඳිය යුතු බව ය.

දෙපැත්තේ ම අයට කියන්නට කරුණු තිබේ. දැන් අප මේ අතරින් හරි වැරැද්ද තෝරා ගත යුත්තේ කෙසේ ද?

නීති තිබෙන්නේ ක්‍රියාත්මක කිරිමට ය. ක්‍රියාත්මක නොවන විට ඒවා පිහිය වැනි ඇතැම් ආයුධ මෙන් මළ කන්නේ ය. හිර වෙන්නේ ය. ක්‍රියාත්මක කිරීමට වුවමනා වුනු විට පවා ඒවායින් වැඩක් ගත නොහැකි තත්වයට පිරිහෙන්නේ ය. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කළ යුතු ව තිබේ.

එසේ වුව ද යම් ක්‍රියාවක් අප විමසිය යුත්තේ එම ක්‍රියාව සිදු කළ සන්දර්භයේ පිහිටා ය. හොරකම සිදු කළ සන්දර්භය කුමක් ද? ඒ සඳහා දරුවන් බඩ ගින්නේ අඩන ඒ සම්බන්ධයෙන් තමන්ට කිසිවක් කළ නොහැකිව ලතවෙන අම්මා කෙනෙකුගේ හිත කියවිමට අපට පුළුවන් විය යුතු ය. සන්දර්භයට පිවිසිය හැක්කේ ඒ හරහා ය. ඇතැම් විට එවැනි විමසමක දී උසාවිය හමුවට ගෙනා යුතු ව තිබුනේ ඒ අම්මා තනිව නොවන බවත් ඒ මව එතැනට තල්ලු කළ සමාජය ද සමගින් බවත් අපට තේරුම් යනු ඇත. එහෙත් ප්‍රශ්නය සමස්ථ සමාජයක් උසාවියට ගෙන ආ නොහැකි වීම ය. එවිට අපට සිදුවන්නේ සමාජය නියෝජනය කරමින් එතැනට ගෙනා යුතු නිශ්චිත වග උත්තරකරුවන් සෙවිමට ය. එය ද පහසු කටයුත්තක් නොවේ. අපගේ කතාවේ මව ඒ තත්වයට ගෙන ඒමට ඇගේ දෙමාපියන් ද නැන්දම්මලා ද මාමණ්ඩිලා ද ඇතුළු නෑදෑ පරපුර ඇතැම් විට වග කිව යුතු වන්නට පුළුවන. ඇය ව දමා ගිය සැමියා වග උත්තර කරුවෙකු වන්නට පුළුවන. ඇයගේ රැකියාව අහිමි කළ ස්වාමියා වැරදි කරුවෙකු වන්නට පුළුවන. අප ඒ කිසිවක් ගැන දන්නේ නැත. හොයා ගෙන, හොයා ගෙන, යන විට එය කා ළඟින් කෙළවර වේ දැයි කියන්නට ද බැරි ය.

ඇතැමෙකුට අනුව ඒ කවුරුන් මොනවා කළ ද ඇයට හොරකම් කිරීමට අයිතියක් නැත. එය වැරදි වැඩකි. ඒ සම්බන්ධයෙන් සමාව දීම සෙසු මිනිසුන්ට ගෙනෙන්නේ නරක ආදර්ශයකි. ඇයට ද ඒ නිසා තව දුරටත් හොරකම් කරන්නට අනුබලයක් නොසැපයෙන්නේ යැයි කියන්නට බැරි ය. ඒ නිසා ඇය දඩුවම් විඳිය යුතු ය.

බැලුවහම ඒ කතාවල ද ඇත්තක් තිබේ. ගෙදර ගියොත් අඹු නසින්නේ ය මග හිටියොත් තෝ නසින්නේ ය කියන්නේ මෙවැනි අලකලංචි වලට ය.

මට හිතන හැටියට මුලින්ම කළ යුතු ව තිබුනේ ඇයට ආදායම් මාර්ගයක් හොයා දීම ය. ඉන්පසු එයින් ලැබෙන මුල් වැටුපෙන් අඹ සඳහා මුදල් දඩ මුදලක් ද සමගින් අය කර ගැනීම ය. මායියාත් බේරාගෙන තමනුත් බේරෙන්නට හැකි වන්නේ නැතිනම් රැවුලත් බේරාගෙන කැඳත් බොන්නට හැකි වන්නේ එහෙම කළොත් ය. එහෙත් මේ ක්‍රමය තුළ පළමුවැන්නට ඉඩක් නැත. ඉඩ සියල්ල සාදා තිබෙන්නේ දෙවැන්න සඳහා ය.

ඒ නිසා අකුරට නීතිය ක්‍රියාත්මක කරන්නට ඉල්ලා සිටින්නට පෙර එවැනි අවකාශයක් තනන්නට සමාජයට බල කර සිටීමට අප කටයුතු කළ යුතු ය. එසේ නොකරන අපට සන්දර්භය පැත්තකින් තබා අකුරට නීතිය ක්‍රියාත්මක කරන්නට යැයි බල කරන්නට බැරි ය.

නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක කරන්නැයි කීමේ ද ඇත්තේ සමාන ප්‍රශ්නයකි. එය හාල්මැස්සන්ටත් තෝරු මෝරුන්ටත් එක ලෙස කළ යුතු යැයි කියන අය ද සන්දර්භය අමතක කරති.

පොඩි එකෙකු වැරදි කරන අභිලාෂය ලොකු එකෙකුගේ අභිලාෂයට හාත් පසින් වෙනස් ය. අභිලාෂය ගැන වගේ වගක් නැතිව වැරදි කරුවන්ට අච්චු කළ යුතු ද?

පිදුරංගල දී සිය පස්ස පෙන්නූ කොල්ලන්ගේ අභිලාෂය කුමක් වී ද? මට දැනෙන හැටියට උන් කළේ පස්ස පෙන්නීමට ඇති ලජ්ජාව ඉවත් කර ගැනීමෙන් ලැබෙන උජාරුව විඳ ගැනීම ය. උන් ඉන්නා ඉරියවු හොඳින් පරීක්ෂා කරන්නෙකුට ඒ අභිලාෂය තේරුම් ගැනීම අමාරු විය නොහැකි ය. අපහාසයට පස්ස පෙන්නන විට කරන්නේ එයට පිටුපසට දික් කර පෙන්නීම ය. එවැන්නක් ඒ ඉරියවුවෙන් පෙනුනේ නැත.

ඇඳුම් ඉවත් කර නොපෙන්නුව ද ජනතාවට පස්ස පෙන්නන බලපුළුවන්කාරයින්ගේ ගණනක් මිම්මක් අපේ රටේ  නැත. උන් ගැන වගේ වගක් නැති මිනිසුන් මේ කොලුගැටව් ටිකක් අල්ලා ගෙන කරන විගඩම ඒ අය විසින් සාධාරණය කරන්නේ කවුරු කරත් වැරැද්ද වැරැද්ද යන ප්‍රකාශනයට මුවා වී ගෙන ය. නීතිය සැමට එකසේ ක්‍රියාත්මක විය යුතු ය යන බරසාර ප්‍රකාශයට මුවා වී ගෙන ය.

වරද පිලිගෙන සමාව ගත් නිසා එම නඩු නිමිත්ත ඉදිරියට ගියේ නැත. රුපියල් එක්දහස් පන්සියයක දඩයක් පමණක් නියම කරමින් උසාවිය කළේ ද නාමික දඩුවමක් දී ම ය. සන්දර්භය විමසා තීන්දුවක් ගැනීම ය. එයින් අපට මේ දරුවන් උසාවියට දක්කාගෙන ගිය අයගේ හරි පින්තූරය දැන ගැනීමට තිබුණු අවස්ථාව මග හැරුණේ ය.

නීතිය අකුරෙන් අකුර කියවා ඒ අනුව සැමට සමානව නීතිය පසිඳලන ලෙස කරන මේ උද්ඝෝෂනය පිටුපස තියෙන්නේ යම් ක්‍රියාවක සන්දර්භය පමණක් නොව එහි අභිලාෂය ද අමතක කොට යාන්ත්‍රිකව කටයුතු කළ යුතු යැයි යන මතය ය. ඒ තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවෙන තෙක් ය.

කළමනාකරුවන් ලෙස අප මේ ගැන සැළකිලිමත් විය යුත්තේ අප ද නීතිය ක්‍රියාත්මක කිරිමට බැඳී සිටින නිසා ය. එහි දී සෙසු මිනිසුන් තරමට ම අප ද සැළකිල්ලෙන් ඒ කටයුත්තේ නියැලිය යුතු ව තිබෙන නිසා ය.

 

ඩොලරයේ නැගීම හමුවේ අප කළ යුත්තේ කුමක් ද?


45688 dollar

ඩොලරය ඉහළ ගොස් තිබේ. බොහෝ දෙනෙකු ඒ ගැන විස්සෝපයෙන් පසු වෙති. ඊට වග උත්තරකරුවන් සොයති. ඒ නිසා වන විපාක විමසති. ඒ කිසිවක් අයහපත් නැත.

එහෙත් වඩා බුද්ධිමත් ප්‍රවේශයක් විය හැක්කේ මේ විපාක වලින් ගැලවීම සඳහා උපාය මාර්ග සෙවිම ය. එක් ක්‍රියාමාර්ගයක් විය හැක්කේ අත්‍යවශ්‍ය නොවන දෑ ආනයනය කිරීමෙන් වැළකීම ය. පෞද්ගලිකව නම් ඒවා මිල දී ගැනීමෙන් වැළකීම ය. අඩු වශයෙන් අවමයකට සිමා කිරිම ය.

එයින් විය හැකි හානිය අවම කර ගැනීමට දේශීය විකල්පයන් සොයා ගැනීම ය. නවෝත්පාදනයේ යෙදීම ය. අලුත් ආරකට සිතා බැලීම ය. එ් අනුව අපගේ කටයුතු අපනයනයන් අවම වන සේ නැවත සකස් කොට ගැනීම ය.

ඒ සියල්ල අපට ගත හැකි ආරක්ෂක පියවරයන් ය.

එහෙත් මා මේ කියන්නට යන්නේ බොහෝ දෙනෙකු නොසොයන එහෙත් කළමනාකරුවන් විසින් සෙවිය යුතු තවත් දෙයක් ගැන ය. ඒ මෙසේ ඩොලරය ඉහළ යෑම නිසා අපට උදාවන නව අවස්ථා කවරේ ද යන්න සෙවීම ය.

කළ යුත්තේ පෙරලුන පැත්ත හොඳ බවට විශ්වාස කිරීම ය. එයින් ප්‍රයෝජනයක් ගන්නට බැලීම ය. යුද්ධය නරක දෙයකි. එහෙත් අවමංගල උත්සව සංවිධාකයන්ට ද ආයුධ වෙළඳාම් කරන්නන්ට ද තවත් එවැනි යුද්ධයට අදාළ කර්මාන්තයන්ට ද එයින් හොඳ කලක් උදා වුනේ ය.

අවස්ථා සොයා ඒවායින් ප්‍රයෝජන ගැනීම ආරක්ෂක පියවරක් නොවේ සංග්‍රාමික පියවර කි. ආරක්ෂක පියවරවලින් අකුලා ගෙන පසු බැසීම සනිටුහන් වන විට මේ පියවර වලින් කෙරෙන්නේ ආක්‍රමණශීලි ව ඇති ව තිබෙන තත්වයට මුහුණ දීම ය. පසු බැසීම වෙනුවට සටන් කිරීම ය. යුද ශිල්පයේ කියවෙන්නේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි වඩාත් සඵල ක්‍රියාදාමය පසුබැසීම නොව ආක්‍රමණකාරී වීම බව ය. ඒ සඳහා උදාවන අවස්ථාවන් හඳුනාගත යුතු ය. ඉන්පසු ඒවා ප්‍රයෝජනයට ගත හැකි ආකාරය විමසිය හැකි ය.

පිටරටින් ගෙන්වන භාණ්ඩ හා සේවාවන්හි දේශීය මිල ඩොලරයේ ඉහළ යෑම නිසා ඉහළ යනු ඇත. අපේ ආයතනයට එවැන්නක් නිපදවා දේශීය වෙළඳ පොලට පිරිනැමීමෙන් ලාභයක් උපයා ගත හැකි ද? ඒ අප ප්‍රශ්න කළ යුතු එක වපසරියකි. දෙවැන්න දැන් ඩොලරයට වැඩි වටිනාකමක් ඇති නිසා අපට කිසියම් දෙයක් වෙනදාට වඩා අඩු මිලකට ලෝක වෙළඳ පොළට සැපයිය හැකි ද යන්න ය. එයින් අපට වැඩි ආදායමක් උපයා ගත හැකි ද යන්න ය.

මේ එකක්වත් එක් දිනකින් කළ නොහැකි බව ඇත්ත ය. ඒ සඳහා කල් ගත වේ. ඩොලරය ඉහළ යෑම දිගින් දිගටම සිදු නොවුනහොත් අප ගන්නා ක්‍රියාමාර්ග ප්‍රතිඵල නොලබාම ඇතැම් විට පාඩු ලබා ම අවසන් වීමට ඉඩ තිබේ. බොහෝ දෙනෙකු පසු බසින්නේ ඒ නිසා ය.

අතීතය අපේ විමසුමට ලක් කළ යුත්තේ ඒ නිසා ය. අතීතය දෙස බැලුවොත් පෙනෙන්නේ ඩොලරය දිගින් දිගට ම වැඩි වීමේ කතන්දරය කි. එහෙත් එයින් සෑහීමකට පත් විය නොහැකි ය. හෙටත් එසේ වනු ඇද්දැයි සහතිකයක් ඉන් ලැබෙන්නේ නැත. ඒ නිසා වර්තමාන පෙල ගැසීම් දෙස බලමින් එවැන්නකට ඇති ඉඩ කුමක් දැයි විමසිය හැකි ය. වර්තමාන පෙල ගැසීම් දෙස බලන විට, අප ඉන්නා මේ දේශපාලන මඩගොහොරුව දෙස බලන විට, නම් පෙනෙන්නේ නුදුරු අනාගතයේ දී ඩොලරය පහතට වැටෙන්නට ඇති ඉඩ මඳ බව ය.

අවස්ථාව තහවුරු කර ගෙන මදි ය. අප ඊළගට බැලිය යුත්තේ ඒ අවස්ථාවන් ප්‍රයෝජන ගැනීමට අපට තිබෙන ඉඩ පිළිබඳ ව ය. ඒ සඳහා අපට ඇති ශක්තීන් කවරේ ද එවැන්නක් ප්‍රයෝජන ගැනීමට බාධා කරන අප සතු දුර්වලතා මොනවා ද යන්න අප විසින් වටහා ගත යුතු ය. ශක්තිය යොදා ගනිමින් ද දුර්වලතා මග හරිමින් ද උපාය මාර්ගයන් සකස් කිරීමට අප විසින් ඊළගට කටයුතු කළ යුතු ය. එතැනින් නොනැවතී ඒ ක්‍රියාමාර්ගය තුළ ඇති අවදානම් කවරේ දැයි විමසිය යුතු ය. ඒ අවදානම කොතරම් බලවත් දැයි විමසිය යුතු ය. ඒ අවදානම සිදු විය හැකි සම්භාවිතාවය කුමක් දැයි විමසිය යුතු ය. වඩාත් ම සිදු විය හැකි හා වඩාත් ප්‍රබල අවදානම් මග හැරීමට ගත හැකි ක්‍රියාමාර්ග තීන්දු කළ යුතු ය. අවදානම් කළමනාකරණය කිරීමට සුදානම් විය යුතු ය.

දැන් අප සූදානම් ය. ඇති වී තිබෙන තත්වයට මුහුණ දීමට සූදානම් ය. ඊළග ගැටළුව එන්නේ ඔය කියන එ්වා කියන්න ලෙහෙසි ය, එහෙත් කරන්න අමාරු ය යනුවෙන් බොහෝ විට මිිනිසුන් පහසුව සඳහා කියන රෙඩි මේඩ් පාඨය නිසා ය.

ඒ සියල්ල පහසු නොවන බව ඇත්ත ය. වඩා පහසු බැණ බැණ සිටීම ය. ඒ බැණ වැදීම මාධ්‍ය වලට හා දේශපාලනඥයන්ට පවරා කළමනාකරුවන් කළ යුත්තේ මේ තුළ අවස්ථා සෙවීමත් ඒවා ප්‍රයෝජනයට ගැනීමට මං සෙවීමත් ය.

සමහරු බණින්නට යන්නේ නැත. ඒත් සිදු වන දේ ගැන උන් විස්සෝපයෙන් පසු වෙති. එයින් ද පලක් නොවේ. අවශ්‍ය මේ නව තත්වයෙන් ආරක්ෂා වීමට මං සෙවීම ය. මේ තත්වයෙන් උදාවන ප්‍රයෝජනයට ගත හැකි අවස්ථා සෙවීම ය. ඒවා ප්‍රයෝජනයට ගැනීමට මං සෙවීම ය. ඒවා සැළසුම් සහගත ව ක්‍රියාත්මක කිරීමට කැප වීම ය. එවැනි ප්‍රවේශයක් අපේ ආයතනයට පමණක් නොව දිගු කාලීනව රටට ද වැදගත් ය. මක්නිසා ද යත් එ් ක්‍රියාමාර්ග දෙකින් ම (ආරක්ෂක හා සටන් කාමි යන දෙයාකාරයම ඇතුළත් ක්‍රියාමාර්ග වලින්) රුපියල ද ශක්තිමත් කළ හැකි නිසා ය.

සියල්ල දේශපාලනඥයන්ට ම පවරා අත් පොරවා ගෙන සිටිය නොහැකි තැනට දැනටමත් රට පත් වී තිබේ. දේශපාලනඥයන් උන්ගේ යුතුකම් ඉටු නොකළ ද අප අපේ යුතුකම් ඉටු කළ යුතු ය. ඒ රට වෙනුවෙන් ම නොවේ. අපේ ආයතනවල කොටස් හිමියන් අයිතිකරුවන් ඇතුළු සියළු පාර්ශවකරුවන් ද වෙනුවෙනි.