රට දියුණු කළ නොහැකි කළමනාකරණ කාරණා


අපේ රට දියුණු කළ නොහැක්කේ කුමක් නිසා ද යන්න කළමනාකරුවෙකුගේ ඇසින් බලා උත්තරයක් ගොනු කරන ලෙස මිත්‍රයෙක් මට ආරාධනා කළේ ය. මේ බ්ලොග් අඩවියේ හැම සටහනක්ම වෙන්වුනේ ඒ සඳහා වුව ද සියල්ල සාරාංශ ගත කොට එක් සටහනකට ගොනු කිරීමේ වැදගත් කමක් ඇතැයි ඔහු මට නොකියා කිව්වේ යැයි මම සිතමි. මේ සටහන ඒ වෙනුවෙනි. මගේ අදහසේ හැටියට ඒ කාරණා පහත තේමා යටතේ ගොනු කළ  හැකි ය.

  1. කිසිදු තාර්කික පදනමක් නැති පිළිගත හැකි අපක්ෂපාත සාක්ෂි නැති මිත්‍යාවන්හි එල්බ ගෙන සිටීම (ඉර හඳ තරුවල පිහිටීම ද හූනන්ගේ චුක් චුක් ගෑම ද රාහුගේ අපලය ද ඇතුළත් මේ ලයිස්තුව දිග ය.)
  2. එදා වේල කා ජීවත් වීමේ දැක්ම නොහොත් දැක්මක් නැති කම (උපයා ගන්නා හැම සතයක්ම පරිභෝජනයට යොදනු වෙනුවට තමන්ගේ අනාගතය වෙනුවෙන් ආයෝජනයක් කිරීමට නොයෙදවීම සහ එදිනෙදා ලබන සරල විනෝදය ප්‍රඥාව වැඩීම හරහා ආනන්දයට යෑම වෙනුවට තෝරා ගැනීම)
  3. මහන්සි වී වැඩ කිරීම වෙනුවට මහන්සි වී යමක් නිර්මාණය කරනු වෙනුවට අනියම් ක්‍රම හරහා ක්ෂණික ප්‍රතිඵල අපේක්ෂා කිරීම (ලොතරැයි, හාස්කම්, දේශපාලන හා මිත්‍ර සබඳකම්, වංචාව, බොරුව ආදිය හරහා)
  4. තමන්ගේ සිල්ලර වැඩ ටික කර ගැනීම සඳහා ප්‍රතිපත්ති ක්‍රමවේද හෝ නීතිය මායිම් නොකරන නායකත්වයක් අපේක්ෂා කිරීම (බලය අයුතු විදිහට භාවිතා කිරීමට නම් දරා ඇති නායකයින් මන්ත්‍රීවරුන් නැවත නැවතත් බලයට ගෙන ඒමෙන් ඔවුන් ලවා තමන්ගේ සිල්ලර වැඩ ටික කර ගත්තොත් ඇතැයි යන හැගීම)
  5. යල්පැන ගිය ඉවත දැමිය යුතු සංස්කෘතික වටිනාකම් හිස මත තබා ගෙන සිටීම සහ ඒ ගැන කරන සංවාදයන් පවා ප්‍රතික්ෂේප කිරීම (තනතුරට ගරු කළ යුතු බව කියමින් අගරු කළ  යුතු මිනිසුනට ගරු කිරීම, කීකරු කම උත්කර්ෂවයට නැංවීම හරහා දීන වීම උත්තර ගුණාංගයක් ලෙස දැක්වීම ඇතුළු)
  6. විවිධ වර්ගයේ භේද වපුරමින් කණ්ඩායම් කල්ලි තනමින් ඒවා වෙනුවෙන් කැප වීම තුළ පොරත්වයක් නිර්මාණය කර ගැනීම හරහා සතුට අපේක්ෂා කිරීම (පටු බේද නිසා අර්ථාන්විත කණ්ඩායමක් ආයතන තුළ ද ශ්‍රී ලාංකිකත්වයක් රට තුළ ද ගොඩ නැගීමට අපොහොසත් වීම)
  7. කුඩා හෝ අවදානමක් ගැනීමට ඇති බිය (කිසිම නව දෙයක් අත් හදා බැලිය නොහැකි පැරණි සුවපහසුව තුළ ම රැඳෙන්නට කැමති වීම)
  8. අසරණ කම නැතිබැරි කම ආභරණයක් කර ගැනීම, ඔවුන් ව සෙසු මිනිසුන් විසින් බලා ගත යුතුය යන්න ශික්ෂාපදයක් කර ගැනීම හා දක්ෂ ඇති හැකි මිනිසුන් දෙස ඊර්ශ්‍යා පරවශව බැලීම (තරගය ප්‍රතික්ෂේප කිරීම, රජයෙන්ම සියල්ල සිදු විය යුතු යන අපේක්ෂාව, තමන්ගේ ඉරණමට වගකිව යුතුවන්නේ සෙසු මිනිසුන්ය යන හැගීම වැනි ආකල්පයන් ජනිත කරවන යැපුම් මානසිකත්වය)
  9. ව්‍යාපාරිකයන් දෙස ද ස්වයං රැකියාවල යෙදෙන ශිල්පීන් දෙස ද අවඥාවෙන් බැලීම (ස්ථිර රැකියා රජයේ රැකියා වලට අනවශ්‍ය වටිනාකමක් දීම)
  10. තමන්ගේ වැයික්කියෙන් එහා තමන්ගේ කුඩා දූපතෙන් එහා ලෝකයක් තිබෙන බව අවබෝධ කරගන්නට අසමත් වීම (ඒ නුපුරුදු පැත්ත පළාත දේශය හා ඒවායේ ඉන්නා පරයින් අපව ගිලගන්නට බලා සිටින බිල්ලන් ලෙස දැකීම නිසා ලබා ගත හැකි අවස්ථා සියල්ල අහිමි කර ගැනීම)
  11. එකිනෙකට ප්‍රතිපක්ෂ රැසක් එකට තබාගෙන ජීවත් වීම තුළ ශක්තිමත් අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමට නොහැකි වීම (නගරයේ ජීවත්වෙමින් ගමට ආවැඩීම හා බටහිර රටකට පැන ගෙන හෝ පැන යන්නට බලන ගමන් ඒ රටවලට පලු පැලෙන්නට බැණීම)
  12. ආගම ධර්මය වැරදි කොණෙන් අල්ලා ගැනීම (බුදු පිළිම වඩම්මන ගමන් වෛරය පැතිරවීම)
  13. යමක් දෙස විචාරශීලීව බලන්නට බැරි කම (තමන්ගේ දේ හිස් මුදුණින් පිළිගැනීම සහ අනුන්ගේ දෙය නොවිමසාම බැහැර කිරීම)
  14. නිර්මාණශීලිත්වය අල්ප වීම (හුරු පුරුදු දෙයින් සෑහීමකට පත් කිරීම සහ වැඩිම වුනොත් අමු අමුවේ කොපි කිරීමට පමණක් යොමු වීම)

බොහෝ අය වැරැද්ද පටවන්නේ දේශපාලනඥයන් මත ය. මේ  ලයිස්තුවෙන් ඔවුන් නිදහස් කොට තිබේ. එයට අතිශය සාධාරණ හේතුවක් ඇත. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතින රටකට ලැබෙන්නේ ජනතාවගේ කැමැත්ත මත පත් වෙන ඔවුන්ගේ සැබෑ නියෝජිතයන් ය. වෙනස් කළ යුත්තේ ආණ්ඩු නොවේ. ජනතාව ය.

ජනතාව වෙනස් කිරීම අමාරු නිසා අප කරන්නේ ආණ්ඩු වෙනස් කිරීම ය. අංක 3 හි සඳහන ඊට දිය හැකි හොඳම හේතුව ය.

මා විසින් පවත්වා ගෙන යන බ්ලොග් අඩවි දෙකේම අරමුණ ජනතාව වෙනස් කිරීම ය. ඒ සම්බන්ධයෙන් මට ලැබෙන සහය අතිශයින් අල්ප ය. එහෙත් දිනෙන් දින එය වැඩෙන බව පෙනීම සතුටට කාරණයකි.

මගේ ජීවිතය තුළ මේ එකක් වත් වෙනස් නොවනු ඇත. එහෙත් ඒ සඳහා අඩිතාලම දැමුයේ යැයි සිතමින් මට දැන් මිය යා හැකි ය.