ආගම! – කළමනාකරුගේ අස්ථානය?


ආගම, එය කවරක් හෝ වේවා, අපේ ජීවිතවලට ඇති කර ඇති බලපෑම අතිමහත් ය. ඒ නිසාම ආයතනයක කළමනාකාරිත්වයට එයින් වෙන්ව ජීවත්වීමට හෝ එය නැතැයි සිතා වැඩ කිරීමට හැකියාවක් නැත. විශේෂයෙන් අලුතින් ආගමික පුබුදුවක් දකින්නට ලැබෙන අප වැනි රටක එය තවත් අමාරු ය.

ඒ නිසාම ආගම සම්බන්ධයෙන් කළමනාකරණයේ ස්ථාවරය කුමක් විය යුතු දැයි යන්න ගැන නිශ්චය අදහසක් කළමනාකරුවන් විසින් ඇති කර ගත යුතු ය. එවිට යම් ආගමික කටයුත්තක් සම්බන්ධයෙන් වන ඉල්ලීමක් ගැන කුමක් කළ යුතු දැයි දහ අතේ කල්පනා කරමින් ලතැවීමට සිදු නොවේ.

හැම ආගමකින්ම අපේක්ෂා කළේ යහපතක් බව ඇත්ත ය. එහෙත් ඒවා දේශනා කරන්නේ එකිනෙකට වෙනස් මාවත් ය. ඒ නිසා එකක් අල්ලා ගත් විට අනෙක්වා අත හරින්නට සිදු වේ. ආයතනයක් විසින් අල්ලා ගත යුත්තේ කුමන ආගම ද? කුමක් අල්ලා ගත්ත ද එවිට අනික්වා අත හැරෙන නිසාම ආයතනය අමාරුවේ වැටේ. හැම දෙනාටම මෙය වැටහෙන්නේ නැත.

ඒ නිසා ආයතන ප්‍රධානියා, විශේෂයෙන් ඔහු බහුතරයගේ ආගම වන බුද්ධාගම අදහන කෙනෙකු නම්, තමන්ගේ ආගම ආයතනය තුළ ඉදිරියට ගැනීමට කටයුතු කරන්නට පුළුවන. එහි වැරැද්දක් පවා ඔහු නොදකින්නට පුලුවන.

යම් ආයතනයක් බුද්ධාගමේ චර්යාවන්ට මෙසේ මුල් තැන දෙන විට බුද්ධාගමේ සංකේත පමණක් ප්‍රදර්ශනය කරන විට ඒ ආයතනයට එන වෙනත් ආගම් අදහන හෝ ආගම් නොඅදහන ගනුදෙනුකරුවන්ට එය තමන්ගේ ආයතනයක් ලෙස නොහැගේ. එහෙත් බෞද්ධයන්ට එයින් අමතර ඇතුළත් කමක් ඇති විය හැකි ය. රටේ වැඩි දෙනෙක් බෞද්ධයින් බැවින් අන් අයගේ හැගීම ගැන තැකීමක් නැතිවාට කමක් නැත යන්න බොහෝ කළමනාකරුවන්ගේ මතය වී තිබේ.

ප්‍රශ්නය වඩාත් ව්‍යාකූල වන්නේ වෙනත් ආගමිකයෙකු හෝ නිර්ආගමිකයෙකු ආයතනයේ ප්‍රධානියා වූ විට ය. ඔහුට හෝ ඇයට අකමැත්තෙන් පැරණි සම්ප්‍රදාය ගෙන යන්නට සිදු වේ.

ආගම සමහර මිනිසුන් භාවිතා කරන්නේ තමන්ගේ සමාජ බලය වර්ධනය කර ගැනීමට ය. ආයතන ඇතුළේ ද මෙය සිදු වේ. ආගම වඩාත් ඉස්මත්තට ගෙන එන්නට සමහර විට දගලන්නේම ආයතනයේ ඉන්නා අතිශය වංචාකාරයා වීමේ ඉඩකඩ බැහැර කළ නොහැකි ය.

ආගමික කටයුතුවලට ඉඩක් විවර කළ විට එයට සීමා පනවන්නට ද අපහසු වේ.

විශේෂයෙන් වෙනත් ආගමිකයෙකු ආයතන ප්‍රධානියා වූ විට ඔහු හෝ අැය පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙස ද බහුතරයට ආගම භාවිතා කළ හැකි ය.

සමහර ආගමික ඉගැන්වීම් ආයතනයේ කටයුතු සමග ගැටෙන අවස්ථා තිබිය හැකි ය. උදාහණයක් ලෙස ධීවර කර්මාන්තයේ නියැලෙන ආයතනයක මුඛ්‍ය කාර්යයම බුද්ධාගමේ ඉගැන්වීම් හා ගැටෙන බව අපි දනිමු.

මේ සියළු කාරණා නිසා ආගම හා ආයතන අතර දීගය ආයතනයට පමණක් නොව ආගමට ද යහපතක් සලසන්නේ නැත. ආගම ඇදහීම එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික කටයුත්තක් විනා ආයතනයේ කටයුත්තක් නොවන බවට ආයතනයේ අගැයීම් පද්ධතියට ඇතුළු කළ විට බොහෝ ප්‍රශ්න විසඳේ. උදෑසනින් ආරම්භ කර රාත්‍රියේ අවසන් කරන විටත් ආගම මෙනෙහි කිරීමට සැදී පැහැදී සිටින මාධ්‍ය සම්බාරයක් ඇති රටක ඒ ටික නැවත වතාවක් ආයතනයක් තුළ කිරීමෙන් අමතර අගයක් එකතු වන්නේ නැත. ඒ බව තෝරා බේරා ගතහොත් ආයතනයේ වැඩ කටයුතු අනවශ්‍ය ව්‍යාකූලත්වයක් සංකීර්ණත්වයක් නැතිව පහසුවෙන් කර ගෙන යා හැකි ය.

තනතුරක ගෞරවය රැකීමේ වගකීම ඇත්තේ කාට ද?


ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට සෙසු අයගේ ගෞරවය හිමි නොවන්නේ නම් ඊට වග කිව යුත්තේ කවුද? එම තනතුර දරන්නා ද නැතිනම් ආයතනයේ සෙසු අය ද?

බොහෝ දෙනෙකු කියනු ඇත්තේ එහි වගකීම දැරිය යුත්තේ තනතුර දරන්නා බව ය.

කෙසේ වුව ද ඒ උත්තරය දෙන අය පවා අන් අයට ද ඊට වගකීමක් ඇතැයි හිත යටින් වත් විශ්වාස කරති. එයට හේතුව අප කුඩා කල සිටම අපේ දෙමාපියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට ගෞරව කිරීමට පුරුදුව ඇති බැවිනි. එසේ නොකරන්නෙකු හොඳ හැදියාවක් ඇත්තෙකු යැයි බොහෝ දෙනෙක් නොසිතති.

එය තවත් විස්තර කළොත් එයින් අදහස් කරන්නේ හොඳටෝම බී රෑ හතර ගාතෙන් ගෙදර විත් සියල්ලන්ට බැණ අඩ ගහන මිනිහෙකු වුව ද ඔහු තාත්තා නිසා ඔහුගේ දරුවන්ගේ ගෞරවය ඔහුට ලැබිය යුතු බව ය. ගෞරවය පුද්ගලයාට නොව තනතුරකට ගැට ගැසිය යුතු බව ය. ඒ නිසාම දෙමාපියන්ට පමණක් නොව ගුරුවරුන්ට ද භික්ෂුන් ඇතුළු ආගමික පූජකයන්ට ද සමාජ බලයක් ලැබී තිබේ.

ඒ බලය ලංකාවේ ආයතන තුළ කළමනාකරුවන්ට ද එලෙසම ලැබේ. එම බලයට අභියෝග නොකර පිළිගැනීම හැදියාවේ ලක්ෂණයක් ලෙස සම්මත වී තිබේ.

හැම දෙනෙක්ම මේ සංස්කෘතික දායාදය හිස් මුදුණින් පිළිගන්නට සූදානම් නැත. එවැනි කෙනෙක් මේ සමාජ බලයට අභියෝග කරන්නට ඉඩ තිබේ. එවිට ප්‍රතිචාරය සමහර විට මුලින්ම එන්නේ අභියෝග කළ තනතුර දරන්නාගෙන් ද නොවේ. සමාජයෙනි.

ඒ සමාජ බලය ද ඇතිව තනතුර දරන්නා සිය ගෞරවය නැවත පිහිටුවා ගැනීමට තනතුරේ බලය ද යොදා කටයුතු කරන්නට ඉදිරිපත් වේ. එසේ නොකරන කෙනෙකු දුර්වල පෞර්ෂත්වයක් ඇති කෙනෙකු ලෙස සමාජය සලකනු ඇති නිසාම එසේ කිරීමට ඔහුට සමාජ පීඩනයක් ද එල්ල වේ.

පදමට වෙරි වී පිස්සු කෙළිනා තාත්තා දරුවෙකුගෙන් එන අභියෝගයට දරුවාට අමානුශික පහර දීමකින් පිළිතුරු දුන්නාට පවා සමාජයෙන් විරෝධයක් නොනැගේ. බීම අනුමත නොකරන අය පවා ඒ උත්තරය ඉදිරියේ තාත්තාගේ පැත්ත ගැනීමට නොපැකිළේ.

තනතුරේ ගෞරවය ආරක්ෂා කිරීමේ වගකීම කළමනාකරුවාත් දැරිය යුත්තේ එලෙස ද?

තනතුරේ ගෞරවය ආරක්ෂා කිරීමට ඇති අනෙත් විකල්පය නම් තනතුරට ඔබින ලෙස තනතුර දරන්නා හැසිරීම ය. භික්ෂුවක් නම් භික්ෂුවකට ඔබින විදිහට හැසිරීම ය. එහෙත් ඒ අමාරු කාර්යය කරනු වෙනුවට බොහෝ දෙනා කරනුයේ තනතුරේ බලය යොදා ගෙන ගෞරවය බලෙන් ස්ථාපනය කර ගැනීමට තැත් කිරීම ය.

ආයතනයේ බහුතරය ද කෙක්කෙන් හෝ කොක්කෙන් මේ ගෞරවය ස්ථාපනය කර ගැනීම වැරැද්දක් ලෙස දකින්නේ නැත. ඔවුන් වැරැද්දක් ලෙස දකින්නේ එසේ නොකර සිටීම ගැන ය. එයට ද හේතුවක් තිබේ. ප්‍රධානියාට ගරු සරුවක් නැති තැන සෙසු අයට ද එය ඉබේම අහිමි වෙන බැවිනි.

මේ නිසාම ලංකාවේ ආයතනයක තනතුරට ගෞරවය බද්ධ කොට තිබේ යැයි කිව හැකි ය. ගරු කටයුතු තනතුරු තිබෙන අතර ගරු කටයුතු පුද්ගලයෝ එපමණට නැත. එහෙත් තනතුරේ අනුහසින් ඔවුන් ගරු කොට සැලකේ.

මෙය ඔලුවෙන් සිටවිය යුතු කාලය දැන් පැමිණ තිබේ. තනතුරු කිසිවක් ගරු හෝ නිගරු නැති බවටත් ඕනෑම තනතුරක කටයුතු නිසි ලෙස කරන්නාට තනතුර නොසළකා ගෞරවය හිමි වන බවටත් අප වග බලා ගත යුතු ය. ඒ අර්ථයෙන් තනතුරේ ගෞරවය රැකීමේ වගකීම තනතුර දරන්නාට පමණක් හිමි වේ. ඒ තනතුරේ බලය භාවිතා කොට නොවේ. තමන්ගේ කුසලතා හා කැපවීම භාවිතා කොට ගෙන ය.

එවන් වෙනසක් ඇති වුව හොත් නම් ලංකාව ආශ්චර්යක් කිරීම අපහසු වන එකක් නැත.

පහළ අය ලවා ඉහළ අය අගැයීම- 360 අගැයීම – ලංකාවේ පුළුවන් ද?


මිනුමක් හෝ අඩු වශයෙන් වෙනත් ආකාරයක අගැයීමක් හෝ නැත්නම් යමක් පවතින්නේ නැතැයි කියමනක් තිබේ. උදාහරණයකින් කතා කරන්නේ නම් උෂ්ණත්වය මැනිය නොහැකි නම්, එයට යම් අයුරකින් අගයක් දිය නොහැකි නම්, උෂ්ණත්වය යනුවෙන් යමක් නොපවතින බව එයින් අදහස් කෙරේ.

කාර්යය සාධනය මනින්නේ නැත්නම් එය අගයන්නේ නැත්නම් කාර්යය සාධනයක් පවතින්නේ නැත. කාර්යය සාධනය මනින්නේ නැති, එයට අගයක් නැති, තැන්වල අකාර්යක්ෂමතාවය රජයන්නේ එහෙමට කාර්යය සාධනයක් එවැනි තැන්වල සිදු නොවන බැවිනි.

පෙබරවාරි 7 දා අප ආයතනයේ (දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ) පැවති වීඩියෝ සම්මන්ත්‍රණයක දී දකුණු කොරියාවේ හිටපු අධ්‍යාපන ඇමති මහාචාර්ය ලී කියා සිටියේ ගුරුවරුන්ගේ කාර්යය සාධනය අගයන්නට නව ක්‍රමයක් කොරියාව විසින් දැනට දශකයකට පෙර හඳුන්වා දුන් බවත් එයින් පසු කාර්යය සාධනයේ විශාල ප්‍රගතියක් දක්නට ලැබුණු බවත් ය. එයින් පෙනී යන්නේ ද කාර්යය සාධනය ඇතිවීමට නම් එය මැනිය යුතු බව ය. එයට අගයක් ලැබිය යුතු බව ය. අඩු වශයෙන් අගය කළ යුතු බව ය.

ගුරුවරුන්ගේ කාර්යය සාධනය මැනීමට කොරියාව විසින් හඳුන්වා දුන් එම ක්‍රමය අනුව කාර්යය සාධනය මැනීමට එම ගුරුවරයා උගන්වන සිසුහු, ඔවුන්ගේ දෙමාපියෝ හා අනිකුත් ගුරුවරු ද හවුල් වෙති.

ප්‍රශ්නයේ ඇත්තේ මැනීමේ නොව මිම්මේ ය. මෙයට ගුරුවරු කී දෙනෙකුගේ අනුමැතිය ලැබේ ද? ලංකාවේ එවැන්නක් පැවැත්වීමට පුළුවන් වෙයි ද? සාකච්ඡාවේ දී මතු වුණු මුල්ම ප්‍රශ්නය එයයි. ඒ අනුසාරයෙන් ප්‍රශ්න තුනක් දේශකයාට ඉදිරිපත් විය.

1. මේ සම්බන්ධයෙන් ගුරුවරුන්ගේ විරුද්ධත්වයක් ඇති වූයේ නැද්ද?
2. එසේ වී නම් විරුද්ධත්වයේ පදනම කුමක් විණි ද?
3. එය ජය ගත්තේ කෙසේ ද?

උත්තර මෙසේ ය.
1. ඒ සඳහා විශාල විරුද්ධත්වයක් ඇති විය
2. හයේ පන්තියේ කුඩා දරුවන්ට එවැනි අගැයීමක් කළ හැකි ද වැනි ප්‍රශ්න ඉදිරිපත් විය
3. කාර්යය සාධන අගැයීම ගුරුවරුන්ගේ වැටුප් හෝ උසස්වීම් නිර්ණය කිරීමේ දී සාධකයක් ලෙස නොගන්නා බවට සහතික වීමෙන් විරුද්ධත්වය මෙල්ල කර ගත හැකි විය

ඒ උත්තර තුන දුන් පසු හිටපු අධ්‍යාපන ඇමතිවරයා කීවේ හයේ පන්තියේ ළමුන්ගේ අගැයීම සහෝදර ගුරු මණ්ඩලේ අගැයීමට බොහෝ සෙයින් සමාන වූ අතර වැටුප් සමග සම්බන්ධ නොවුව ද ඒ අගැයීම ගුරුවරුන්ට සංවේදී වීමට විශාල පෙළඹවීමක් ඇති කළ බව ය.

පාසලේ දී පමණක් නොව සරසවියේ ද වැඩ පොළ හා කාර්යාල වල ද මේ ක්‍රමය අත්හදා බැලීමෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගත හැකි බව මා වැඩ කළ ආයතනවල එවැනි ක්‍රම අත්හදා බැලීම් වලින්ම මම දනිමි.

එය ඕනෑම රටක ඕනෑම ආයතනයක කළ හැකි ය. අවශ්‍ය වන්නේ අභියෝග ජය ගැනීමට අවශ්‍ය ධෛර්යය හා බිය නැතිකමත්, නායකයෙකු හැටියට අනිත් බොහෝ ආකාරයෙන් මිනිසුන් අතර පිළිගැනීමක් තිබීමත් පමණි.

රටටම ආදර්ශයක් වන කොත්මලේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ – මේනක හේරත් මහතාගේ – නායකත්වය


රාජ්‍ය සේවය වෙනස් කිරීමට අපහසු දෙයක් යැයි නිතර කියන කතාවේ ඇත්තේ සම්පූර්ණ සත්‍යයම නොවන බව වටහා ගැනීමට ඔබ යා යුත්තේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ය.

එහි පිටත පෙනුම සුන්දර ය. ඇතුළත වැඩ පිළිවෙල ය. සේවා ලාභියෙකුට අවශ්‍ය සියළු මග පෙන්වීම කාර්යාලයේ පිවිසුම් දොරකඩදීම ලැබේ.

ඔබව පිළිගනු ලබන්නේ අත් එක් කොට ආයුබෝවන් වනක්කම් කියන ත්‍රෛයි භාෂාවෙන් ඔබ හා සන්නිවේදනයේ යෙදීමට සූදානම් තුන් කට්ටුවකි. ඔවුන්ගේ මුහුණේ මිත්‍රත්වයේ සිනහව ද ඔවුන්ගේ තෙපුළේ වදනේ කාරුණිකත්වය ද මොනවට ගැබ්ව තිබේ.

ඔබේ වැඩය විමසා එය එක් දින සේවාවකට අදාළ නම් ඔබව එක් දින සේවා කවුළුව වෙත යොමු කිරීමට ඔවුන් කාරුණික ය. එසේත් නැතිනම් ඔබගේ ඉල්ලීම සම්බන්ධ ලියකියවිලි බාර ගෙන ඔබට අවශ්‍ය සේවය සැළසීමට ඔවුන් සූදානම් ය.

එක් දින සේවාවකට යන ඔබට ඒ සේවාව සඳහා ගන්නා කාලය කුමක් ද ඒ සදහා යම් මුදලක් වැයවේ ද නැත් ද වැයවේ නම් ඒ මුදල කොපමණ ද ඒ සදහා ඔබ සතුව තිබිය යුතු ලේඛන මොනවා ද යන තොරතුරු පහසුවෙන් කියවිය හැකි පුවරුවකින් ලබා ගැනීමට ද පුළුවන.

කිසියම් සේවාවක් සඳහා කවරෙකු හෝ අල්ලසක් ඉල්ලයි නම් හෝ අනවශ්‍ය ලෙස කරදර කරයි නම් ඔබට ඇමතිය හැකි දුරකථන අංක කීපයක් ද ඉහළින් පෙනෙන සේ එල්ලා තිබේ. ප්‍රාදේශීය ලේකම් ගේ සහකාර ප්‍රාදේශීය ලේකම් ගේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ප්‍රාදේශීය පරිපාලනය බාර අතිරේඛ ලේකම් වරයාගේ අල්ලස් කොමිසමේ දුරකථන අංක ඒ අතර වෙයි.

ඔබේ අවශ්‍යතාවය සපුරාලීම සදහා වෙනත් ආයතනවල අනුමැතිය හා විමසීම අවශ්‍ය කාරණා සඳහා එක් දින සේවයක් සැළසීම අපහසු බැවින් එවැනි විටෙක ඔබේ ලිපි ලේඛන බාර ගෙන ඔබේ සේවය සඳහා යොමු අංකයක් හා විමසීමට දුරකථන අංකයක් සහිත කාඩ්පතක් ඔබට ත්‍රෛයිභාෂික කවුළුවෙන් ලැබේ. ඔබේ දුරකථන අංකය දීමෙන් ඒ ගැන ප්‍රගතිය වරින් වර ඔබට ලබා ගැනීමේ වරය ද දී තිබේ. ඔබේ සේවාවට අදාළ තොරතුරු පරිගණක ගත කළ වහාම ඔබේ දුරකථනයට බොහෝ විට ඔබ එම ස්ථානයෙන් ඉක්ම යාමට මත්තෙන් එස්එම්එස් පණිවුඩයක් ලැබේ. සේවාව සම්පූර්ණ වූ සැණින් ඔබට ඒ සම්බන්ධව ද පණිවුඩයක් ලැබේ. ඒ අතරතුර යම් පැහැදිළි කර ගැනීමක් හෝ ලේඛනයක ප්‍රශ්නයක් ඇත්නම් ඒ පිළිබඳව ද ඔබව දැනුවත් කෙරේ.

මේ එක ද කටයුත්තක් සඳහාවත් කාර්යාලය ඇතුළට යෑම අවශ්‍ය නොවේ. ඔබට ගනුදෙනු කිරීමට සිදුවන්නේ මේ පෙරටු කාර්යාලය (ත්‍රෛයිභාෂික කවුළුව හා එක් දින සේවා කවුළුව) සමග පමණකි.

අවශ්‍ය ඉදිරි කටයුතු පසු කාර්යාලයෙන් කරවා ගත හැකි අතර බොහෝ බලතල විමධ්‍යගත කොට ඇති නිසා ඒවා ඉතා ඉක්මණින් කරවා ගැනීමට ද හැකි ය. ඊට අමතරව ඔබ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ඇත්තේ ග්‍රාම නිලධාරීයා ලවා අවශ්‍ය රෙකමදාරු ලබා ගැනීමෙන් පසුව වීම නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කටයුතු ඉක්මණින් සිදු කිරීමට එය ද රුකුළක් වී ඇත.

මෙවැනි බ්ලොග් සටහනකින් ආවරණය කළ නොහැකි තරමේ විස්තර රාශියක් කොත්මලේ ප්‍රා ලේකම් කාර්යාලය ගැන කියන්නට තිබේ.

මේ සියළු වික්‍රමයන් පිටුපස සිටින නායකයා ප්‍රාදේශීය ලේකම් මේනක හේරත් මහතා ය. ඔහුම කියන පරිදි මේ සියළු වෙනස්කම් ඔහු කර ඇත්තේ තනියම නොවේ. කාර්යාලයේ බොහෝ දෙනා හවුල් කර ගනිමිනි. රාජ්‍ය කළමනාකරණ අමාත්‍යංශය ප්‍රමුඛ තවත් ආයතන වෙතින් පළ කළ අනුග්‍රහයට ද ස්තුතිවන්ත වන්නට ය. එක් එක් දියුණු කිරීමක් පිටුපස සිටි සිය කාර්යාල සගයින් ඔහු නමින්ම හඳුන්වා දුන්නේ ය. තමන්ගේ තනි භුක්තියට සියල්ල සින්න කර ගැනීමට මග බලන නායකයන්ගෙන් අඩුවක් නැති අපේ රටට මේනක ආලෝකයකි.

ඔහු වෙනස් කර ඇත්තේ කාර්යාලයේ පිවිසුම් දොරටුව හා කවුළු පමණක් නොවේ. ඇතුළත ද ඔහු සහ ඔහුගේ සගයින් විසින් නැවත සකස් කර තිබේ. ඔහුගේ කටයුතු නිසා ආල‍ෝකය ලැබී ඇත්තේ ඔහුගේ සේවා ලාභීන්ට පමණක් නොවේ. ඔහුගේ සේවකයන්ට ද එයින් අති විශාල සතුටක් හා සහනයක් ලබන බව ඔවුන් තම තමන්ගේ කතාව කීමේ දැක්වූ උද්යෝගයෙන්ම අපට පැහැදිලි වූයේ ය.

නොයෙකුත් හේතු ඉදිරිපත් කරමින් තමන්ගේ දෙවැනියාටවත් බලතල දීමට අදිමදි කරන රටක ඔහු නිර්ලෝභිව තම බලය සහකාර ප්‍රාදේශීය ලේකම් බුද්ධික මහතා ඇතුළු සෙසු අය සමග බෙදා ගෙන තිබුනේ ය. ඒ නිසා ම ඒ හැම කෙනෙකුටම නිසි ගෞරවයක් කාර්යාලය තුළ ලැබී තිබුනේ ය. ඔවුන් හැම දෙනෙකුම පාහේ තමන්ට ලැබුණු බලය වගකීමකින් යුතුව භාවිතා කරන බව ද මේනක අප සමග කීවේ ය.

තව ලියන්නට බොහෝ දේ ඉතිරිව තිබේ. එහෙත් ඒ සියල්ල මෙවැනි සටහනකට අතුළු කළ නොහැකි ය.

මේනක හේරත් මහතාට හා ඔහුගේ කණ්ඩායමට සුභ පතන අප අමතර වශයෙන් ප්‍රාර්ථනා කරන්නේ සෙසු කාර්යාලයන් ද නුදුරේදීම ඒ තත්වයට පත්වේවා යැයි කියා ය.

(කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැක බලා ගැනීමට හැකි වූයේ රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අනුග්‍රහය නිසා ය. ඒ අමාත්‍යංශයට හා එම වැඩපිළිවෙළට මග පෙන්වූ හා එය සංවිධානය කළ ලේකම් බන්දුසේන මහතා ඇතුළු කාර්යය මණ්ඩලයට අපගේ ස්තුතිය හිමි වේ).