අධ්‍යාපන සුදුසුකම්


Graduation clipart transparent background - Pencil and in ...

දේශපාලනඥයන් සඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් පවතින්නේ අවම මට්ටමක ය. මන්ත්‍රී පදවිවලට පමණක් නොව ජනපති පදවියට පවා අටවෙනි ශ්‍රේණිය සමත්වීම සෑහේ යැයි පවතින නීතිය විශ්වාස කරයි. ඇතැම් අය කියන්නේ මෙය අතීතයේ අධ්‍යාපන සුදුසුකම් ලබා ගත් අය සීමාසහිත වීම නිසා ඇති කර ගත් සම්මුතියක් බව ය. දැන් රටේ බහුතර ජනතාවක් ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලබන නිසා මේ තත්වයේ වෙනසක් ඇති විය යුතු බව ය.

මේ පිළිබඳ සංවාදය දේශපාලන ක්ෂේත්‍රයට පමණක් නොව කළමනාකරණයට ද අදාළ ය. ඒ ආයතනයේ විවිධ තනතුරුවලට පුද්ගලයන් බඳවා ගැනීම කළමනාකරුගේ ද කාර්යය වන නිසා ය. ඒ නිසා, මේ සමාජ කතිකාව අද අපි කළමනා කොළමට ද ගෙනාවෙමු.

ඕනෑම තනතුරක් සඳහා අවම අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය ය. ඕනෑ ම ආයතනයක, යම් තනතුරක් සඳහා සම්මත වී ඇති බඳවා ගැනීමේ පටිපාටිය තුළ, ඒ අවම සුදුසුකම දක්වා තිබේ.

අකුරු කියවන්නට අමාරු කෙනෙකුට පනතක් කියවා තේරුම් ගැනිම අපහසු ය. ඒ නිසා සාක්ෂරතාවය පාර්ලිමේන්තුවට යන අයට තිබිය යුතු යැයි සිතීම තර්කානුකූල ය. වෙන කෙනෙකු ලවා කියවා තේරුම් ගන්නට පුලුවන් නම් අකුරු කියන්නට පුළුවන් කම අදාළ දැයි තව කෙනෙකුට ප්‍රශ්න කළ හැකි ය. එය ද මග හැරිය යුතු නැති මානයකි.

අප අවම අධ්‍යාපන සුදුසුකම හැකිතාක් අඩු මට්ටමක රඳවා ගන්නේ ම, යම් තනතුරකට අන් සාධක නිසා සුදුසු අය, එවැනි කඩඉමක් හඳුන්වාදීම නිසා ඇතුළු කර ගැනීමට බැරි වීම, ප්‍රශ්නයක් විය හැකි නිසා ය.

අධ්‍යාපන සුදුසුකම් බොහෝමයකින් මැනෙන්නේ විෂය දැනුම ය. කරුණු කාරණා ය. ඒවා මතකයේ තබා ගෙන නැවත වැමැරිමට ඇති දක්ෂතාවය ය. ගණිතය විද්‍යාව වැනි සීමිත විෂයයන් කීපයක් හැරුණු කොට වෙනත් බොහෝ විෂයයන් සම්බන්ධයෙන් වන විභාග වලින් මැනෙන්නේ මේ හැකියාව ය. ඒ හැකියාව ද එක්තරා දුරකට ඕනෑම වෘත්තියක දී ද වැදගත් විය හැකි බව ඇත්ත ය. එහෙත් ඒ හැකියාවෙන් පමණක් බොහෝ වෘත්තින්ට පණ පෙවිය නොහැකි ය.

ගණිතය විද්‍යාව වැනි විෂයයන් හරහා කෙනෙකු සතු තර්ක ඥානය මැණිය හැකි ය. ඇතැම් වෘත්තීන් සඳහා තර්ක ඥානය වැදගත් ය. ඉංජිනේරු හා නීති ක්ෂේත්‍රවල වඩාත් අවශ්‍ය වන්නේ මෙකී තර්ක ඥානය ය. යමක් ක්‍රමානුකූලව කරුණු සහිතව ඉදිරිපත් කිරීමට ද තර්ක ඥානය අවශ්‍ය ය.

ඇතැම් තැනක අවශ්‍ය වන්නේ තර්ක ඥානය නොව අන්තර්ඥානය ය. කරුණු සියල්ල නැති තැනක වුව ද දැනෙන, හැඟෙන, හැටියට තීරණ ගැනීමට ඇති හැකියාවට ය. වැරදි නොකර යමක් කිරිමට නොව වැරදියට හෝ යමක් කර ඒ තුළින් ඉගෙන ගැනීමට ඇති හැකියාවට ය. ඒ හරහා, හරියට ඒ දෙය කළ හැක්කේ කෙසේදැයි සොයා ගැනීමට ඇති හැකියාවට ය.

තවත් තැනක අවශ්‍ය වන්නේ සෙසු මිනිසුන් සමග සුහදව හැසිරීමට ඇති හැකියාව ය. තවත් තැනක අවශ්‍ය වන්නේ වඩාත් හොඳින් කෙනෙකුට ඒත්තු ගැන්වීමේ හැකියාව ය. ඇතැම් තැනක ඒ දෙඅංශයේම සංකලනයක් ය.

මේ ඇතැම් කාරණා විභාග පරිසරයක මැණිය නොහැකි ය. ඒ නිසා ම ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඉල්ලා සිටින විට මේ අතවශ්‍ය සුදුසුකම් ඇති අය හැලී යෑමේ අවදානමට අපට මුහුණ දිමට සිදු වන්නේ ය. අප අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ කඩඉම් සම්බන්ධයෙන් සංවේදී විය යුත්තේ එහෙයිනි.

යම් තනතුරක් සඳහා සුදුසුකම් ඇති අය අධ්‍යාපන සුදුසුකම් ද සහිත අයගෙන් තෝරා ගත හැකි නම් එය නොසළකා හැරිය යුතු නැත. එහෙත් අනවශ්‍ය ලෙස ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඉල්ලා අපේ තෝරා ගැනීමේ නිදිය අනවශ්‍ය ලෙස හකුලා දැමිය යුතු ද නැත.

අධ්‍යාපන සුදුසුකම් ඉහළ දැමිය යුතු යැයි සිතන ඇතැම් අය එය අද පවතින දේශපාලන ප්‍රශ්නයට යහපත් ම විසඳුම යැයි සිතති. ප්‍රශ්නය ඇත්තේ එතැන ය. අද ප්‍රශ්නය අධ්‍යාපන අඩු සුදුසුකම් නිසා මතුවුනක් නොවේ.

එය එසේ වූයේ නම් පාර්ලිමේන්තුවේ ඉන්නා අතලොස්සක් උගතුන් සෙසු අයට වඩා වෙනස් හැසිරීමක්, වගකීමෙන් යුත් හැසිරීමක්, පෙන්විය යුතු ය. අපේ අත්දැකීම් කියන්නේ එය එසේ නොවන බව ය. සමහර දැවැන්ත යයි අප සිතා සිටි විද්වතුන් දේශපාලනඥයන් ලඟ උන්ගේ කකුළ් ලෙව කන පුංචි බලුපැටියන් වී ඇති බව ය.

මේ ගැන හොඳම කියමන හිට්ලර්ගේ වද කඳවුරකින් පැන ආ යුදෙව් ළමයෙකුගේ ය.

“ආදරණීය ගුරුතුමනි, මම නාසි කඳවුරකින් පැන ආ ළමයෙක්මි. බොහෝ දෙනෙකු විසින් නොදුටු නොදැකිය යුතු දේ මම දුටුවෙමි. උගත් ඉංජිනේරුවන් විසින් ගෑස් කුටි තනනා අයුරු, දක්ෂ වෛද්‍යවරුන් විසින් මිනිසුන්ට විෂ එන්නත් කරන අයුරු, මිනිසුන් ජීවත් කරවන්නට පුහුණුව ලත් හෙදියන් විසින් අහිංසක නොදරුවන් මරා දමන අයුරු, උපාධිධාරීන් විසින් මිනිසුන්ට වඳ හිංසා දෙන අයුරු, මම දුටුවෙමි. මට අධ්‍යාපනය ගැන ඇත්තේ සැකයකි. ඔබේ උත්සහය අවසානයේ ලොවට උගත් අමනුෂ්‍යයන් දක්ෂ යක්ෂයින් දායාද කළ යුතු නැත.“

අපට වුව, දේශපාලනය තෝරා ගෙන ඇති බහුතරයක් උගතුන්ගේ වැඩ හා කල්ක්‍රියාව බලන විට, කීමට වෙනත් කතාවක් නැත.

අපේ වත්මන පත් ව ඇති තත්වය දේශපාලනඥයන් ආචාර ධාර්මික නොවන නිසා මතු ව ඇත්තකි. එසේ තිබිය දී ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් වෙනස් කිරීමෙන් වැඩක් නැත. එය, ඒ නිසා ම, පය බරවයට පිටිකර බෙහෙත් බැඳීම වැනි වැඩක් වන්නේ ය. අපේ වගකීම ඡන්දදායකයින් හැටියට ඉටු කරන්නේ නැතිව, ආචාර ධර්ම ඇති මිනිසුන් පත් කරන්නේ නැතිව, පහසු ෂෝට් කට් සෙවීමෙන් පලක් වන්නේ නැත.

බඳවා ගැනීමේ අධ්‍යාපන සුදුසුකම් ඉහළ දැමීමට වඩා, සුදුසු අය බඳවා ගැනීම සඳහා කළ යුතු බොහෝ දේ තිබේ. ඒ පණිවුඩය රටේ ජනතාවට පමණක් නොව ආයතන වල කළමනාකරුවන්ට ද එකසේ අදාළ ය. බොහෝ රැකියා සඳහා අධ්‍යාපනය, සුදුසුකම් අතර අතිශය නොවැදගත් කුඩා එකක් පමණ ය. එය තීරණාත්මකව අදාළ වන රැකියා ඇත්තේ සීමිත ගණනකි. ඉතිරි රැකියා සඳහා එය අනියම් මිණුමක් පමණකි. පෙරහනක් හැටියට පමණක් භාවිතා කළ හැක්කකි. ඉතිරි මිණුම් අමතක කොට අධ්‍යාපන සුදුසුකම් වලින් සියල්ල තීරණය කරන්නාට ලැබෙන්නේ නොගැලපෙන අයදුම්කරුවන් පමණ ය. ඒ තව බොහෝ සුදුසු අයදුම්කරුවන්, අදාළ නැති බාධකයක් පනවා, හරවා යවා ඇති නිසා ය.

වැරදෙන එක ඇතැම් විට හොඳ ය


අප බොහෝ දෙනෙකු ලෝකය දකින්නේ සරල රේඛාවක ගමන් කරන දෙයක් ලෙස ය. අඩු වශයෙන් අප අපේ ජීවිත දෙස බලන්නට හෝ පුරුදුව ඇත්තේ ඒ අනුව ය. එවන් සිතුවිල්ලක ඉන්නා කෙනෙකුට තමන් වෙනුවට වෙන කෙනෙකු රැකියාවකට තෝරා ගැනීම හෝ තමන්ගේ රැකියාව අහිමි වීම පෙනෙනු ඇත්තේ පසුතැවිල්ලට හේතුවක් ලෙස ය. රැකියාව උදාහරණයට ගත්තා මිසක මෙය ජිවිතය පිළිබඳ බොහෝ වෙනත් දේ සම්බන්ධයෙන් ද සත්‍යය ය. තමන්ට කෙනෙකුගේ ආදරය අහිමිවීම, අධ්‍යාපනය කඩාකප්පල් විම, ඇතැම් විට අනතුරකට පත් විම පවා සමාන අවස්ථාවන් ලෙස ගත හැකි ය. එවන් පසුතැවිල්ලට හේතුවන අවාසනාවන්ත අවස්ථාවන් ලෙස ගත හැකි ය.

ඉතින් එසේ සිතන බොහෝ දෙනෙකු ඒ ගැන සිතා ලෙඩ වෙති. කෝප වෙති. තරහ ගනිති. තමන් ගැන ම අවතක්සේරු වලට එළඹෙති. ජිවිතය එකම දුකක් ලෙස දකිති. අවාසනාව එළැඹ ඇතැයි නිගමනයට පැමිණෙති. සාස්තර කරුවන්, කේන්දර කියවන්නන්, පේන කියන්නන් කරා ගොස් ඉතිරි වී ඇති සෙසු දේ ද වියදම් කරමින් තව දුරටත් අගතියට ද පත්වෙති.

එහෙත් අපේ ජිවිතය යන්නේ රේඛිය මාවතක නොවේ. ඇතැම් විට එවැනි අහිමි වීමක් තුළ සමහර විට වඩා හොඳ අවස්ථාවකට ඉඩක් තිබිය හැකි ය. වෙනත් ප්‍රයෝජනවත් යමක් ලැබීමේ ඉඩක් ඒ හරහා විවෘත විය හැකි ය. 1980 වැඩ වර්ජනය නිසා රැකියා අහිමි කරනු ලැබූ ඇතැම් අය දක්ෂ ව්‍යාපාරිකයන් බවට පත් වූ කතා බොහෝමයක් තිබෙන්නේ ය. කිසියම් හේතුවක් නිසා අධ්‍යාපනය කඩාකප්පල් කර ගත් අය දක්ෂ ව්‍යාපාරිකයන් හැටියට වර්ධනය වූ අවස්ථා ගැන කතන්දර ද බෙහෝ ය. ඒ, ඊට ප්‍රතිපක්ෂව, පසුතැවිල්ලට පත් ව සිය දිවි නසා ගත් අයගේ කතා වලට අමතරව ය.

සෑම නරක දෙයක ම හොඳක් තිබෙන අතර බොහෝ හොඳ දේ තුළ නපුරක් ද ඇත. අප පසුතැවිලි වන්නේ අපට අහිමි වූ හොඳ දේ පිළිබඳ ය. එහෙත් ඒ නිසා අපට නැති වූ නපුර බොහෝ දෙනෙකුට දැනෙන්නේ නැත. 1980 වැඩ වර්ජනය නිසා රැකියා අහිමි වූ අයට මාස්පතා ලැබූ අදායමට අමතරව විශ්‍රාම වැටුප ද අහිමි වූ බව ඇත්ත ය. එහෙත් මේ විශ්‍රාම වැටුප ඔවුන් වෙනත් වටිනා අවස්ථාවන් කරා යා නොහැකි දම්වැලක් ලෙස ඔවුන්ව බැඳ දමා තිබුනේ ය. රැකියාව අහිමි වීම තුළ ඒ දම්වැල් ද කැඩී මිනිස්සු නිදහස් ව සිටියෝ ය.

අප දකින්නේ අහිමි වූ රැකියාව පමණ ය. අහිමි වූයේ යැයි කියන රැකියාව නිසා ඇතැම් විට පවුලෙන් ඈත තැනකට යෑමට සිදු විය හැකි අවස්ථාවෙන් තමන් මග හැරුණා ද විය හැකි ය. එයින් කියවෙන්නේ තමන්ට ලැබෙන හැම ස්ථාන මාරුවක්ම අයහපතම ගෙන එන බව නොවේ. ඇතැම් අවස්ථාවක එසේ ලැබෙන මාරුවක් තුළ සහකරුවා හෝ සහකාරිය තනිවම ජිවත් වීමට ඉගෙන ගැනීමේ ඉඩක් විවෘත විය හැකි ය. දරුවන්ට ද වඩා ස්වාධීනව වැඩ කටයුතු කිරීමට ඉගෙන ගැනීමේ අවස්ථාව ඒ තුළ තිබෙන්නට ඉඩ තිබේ.

කොටින් ම මේ හැම දෙයක් තුළ ම දෙපැත්තක් තිබේ.

ඇතැම් විට අපේ කණගාටුව තිබෙන්නේ ලැබුනු නරක දේ පිළිබඳව ය. එහෙත් ඒ තුළ වෙනත් ආකාරයක යහපත් දෙයක් ද සැගව තිබිය හැකිය යන්න පසුතැවිලි වන සිතකට පෙනෙන්නේ නැත. සිදු වූ දේ ඇතැම් විට අනතුරු ඇගවීමක් ද විය හැකි ය. අපට ජිවිතයට එකතු කර ගත හැකි පාඩමක් වෙන්නට ද පිළිවන. අධික වේගයෙන් රිය පදවා පොලීසියට අසුවන කෙනෙකු දඩයකට යටත් විය හැකි ය. එය නරක ය. එහෙත් ඒ නිසා ම වේගය පාලනය කර ඉදිරියට ධාවනය කරන්නට පුළුවන. ඒ නිසා ම ඔහු වඩා දරුණු අනතුරකින් බේරිය හැකි ය.

තමන්ට වෙනස් කළ නොහැකි දේ ගැන පසුතැවිලි වෙනවා වෙනුවට කළ යුත්තේ ඒ දෙය තමන්ට ප්‍රයෝජනවත් විදිහට යොදා ගත හැක්කේ කෙසේ දැයි සිතීමට කාලය වෙන් කිරීම ය.

මෙය අදාළ වන්නේ පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් පමණක් නොවේ. ආයතන සම්බන්ධයෙන් ද එය එක සේ අදාළ ය.

මේ සම්බන්ධයෙන් අගනා කියමනක් මා කියවා තිබේ. එහි මුල් බස ඉංග්‍රීසි ය. ඒ නිසා එය ඉංග්‍රීසියෙන් පළමුව සටහන් කර දෙවනුව සිංහල පරිවර්ථනයක් සපයන්නෙමි.

God grant me the serenity to accept the things I cannot change; courage to change the things I can; and wisdom to know the difference

දෙවියනි, මට වෙනස් කළ නොහැකි දේ සන්සුන්ව පිළිගැනීමට මට උදව් කරන්න. මට වෙනස් කළ හැකි දේ වෙනස් කිරීමට මට ධෛර්යය දෙන්න. මේ දෙක වෙන් වෙන්ව හඳුනාගැනීමට මට බුද්ධිය දෙන්න.

පියවි සිහියෙන්, සන්සුන්ව, අහිමිවීමක් හෝ අසුභ යැයි සැළකෙන වෙනත් යම් දෙයක් පිළිගැනීමට යම් හුරුවක් අවශ්‍ය ය. ඒ හුරුව ද කාලයක් තිස්සේ පුරුදු පුහුණු කර ගොඩ නගා ගත හැකි ය. දෙවියන් නුදුන්නාට දෙවැන්නට අවශ්‍ය  ධෛර්යය අප බොහෝ දෙනෙකුට සොයා ගත හැකි ය. වඩාත් අමාරු අවසාන කාරණය ය. ඒ ගැන නම් මට හිතෙන විදිහට දෙවියන්ට ද උදව් කළ නොහැකි ය. ඒ නිසා දෙවියන් අයින් කර මෙයින් කියවෙන කාරණය දෙස අපට විවෘත මනසකින් බැලිය හැකි ය.

අපට කළ හැකි දේ හා නොකළ හැකි දේ ගැන තීරණයක් ගන්නට යන බොහෝ දෙනෙකු සිතන්නේ තමන්ගේ වත්මන් හැකියාව ගැන ය. තිබෙන හැකියාව වඩාත් තියුණු කර ගැනීමේ ඉඩක් ඇතැයි ඔවුන්ට දැනෙන්නේ නැත. එහෙම අමාරු මාවත් ගැන හිතන්නට පවා කැමැත්තක් බොහෝ අයට නැත. ඒ නිසා සිදුවන්නේ කළ හැකි ගොඩ අඩුව කළ නොහැකි ගොඩ වැඩි වීම ය.

ඊළගට සිදු වන්නේ තමන්ට ගොනු කළ හැකි සෙසු මිනිසුන් හා බලවේගයන් ඔවුන්ගේ දර්ශණය පථයට අසු නොවීම ය. ඒ නිසා ම බොහෝ අය, තනිවම නැතත්, සිය පිරිස සමග එක්ව කළ හැකි දේ පවා කළ නොහැකි ගොඩට දමා වගකීම් වලින් නිදහස් වෙති.

ඒ දෙකම ගැන සැළකිලිමත් වන අයට පවා මග හැරෙන තව දෙයක් තිබේ. ඒ තමන් ඉදිරියට යන විට එකතු වීමට නියමිත අමතර මිනිසුන් පිළිබඳව ය. අමතර බලවේගයන් ගැන ය. අද ඔවුන් වටා නැති, එහෙත් හෙට, ඔවුන්ගේ වැඩ දැක, ඔවුන් වටා එකතු වීමට ඉදිරිපත් වන මිනිසුන් ගැන ය.

ඒ සියල්ල දැක ගත්ත ද ඇතැම් අයට අමතක වෙන තවත් කාරණයක් ද තිබේ. හෙට ලෝකය අදට වඩා වෙනස් විය හැකි බව ය. අප ඉන්නේ ඉදිරිගාමී ගමනක නම් හෙට දවස අපට වඩා යහපත් වනු ඇති බව ය.

මේ සියල්ල දකින මිනිස්සු බොහෝ වැඩ තමන්ට කළ හැකි සේ සළකන අතර සෙසු අය කළ හැකි වැඩ පවා නොකළ හැකි දේ සළකා දෑත් පිසදා ගෙන ඉවත් වෙති. ලෝකය අයිති මුල් වර්ගයේ මිනිසුන්ට ය.

මින් මත්තට යමක් සිදු වූ විට, එය බැලූ බැල්මට නපුරක් හෝ හොඳක් යැයි පෙනී ගිය විට වුව ද, සුපුරුදු ලෙස නොව නුපුරුදු ලෙස බලන්නට ඉගෙන ගන්න. සාර්ථකත්වයේ රහස එය ය.