බුද්ධිය හා හදවත – අගෝස්තු 17 දා තීරණය කාගේ ද?


තීරණ ගැනීමේදි සමහරු බුද්ධියත් සමහරු හදවතත් භාවිතා කරති. හෙට අනිද්දා මේ රටේ ජනතාවට ද තීන්දුවක් ගැනීමට තිබේ. එතැන දී ඔවුන් මෙයින් කුමක් භාවිතා කරන්නේ ද යන්න මත රටේ මෙන්ම අපේ අනාගතය ද බොහෝ දුරට තීරණය වනු ඇත්තේ ය. ඒ ඔස්සේ කතා කරන්නේ වුව ද තීරණ ගැනීම සම්බන්ධයෙන් කවර විටෙක වුව ප්‍රවේශම් වීමට අපට මේ සාකච්ඡාව වැදගත් ය.

මේ වචන දෙකම මේ ලිපියේ යොදන්නේ එහි වාචික අර්ථයෙන් නොවේ. එහි ව්‍යවහාර අර්ථයෙනි.

මෙහිදී බුද්ධිය පාවිච්චිය යනුවෙන් අදහස් කළේ කරුණු සංඛ්‍යාෙල්ඛන විමසා සියලු කෝණයන්ගෙන් බලා සියලු මානයන්ගෙන් මැන ළග මෙන්ම දුර ද බලා තාර්කිකව යම් තීරණයකට එළඹීම ය.

හදවත භාවිතය යන්නෙන් අදහස් කළේ අතීත බැඳීමක් සහෘද හැගීමක් හෝ එවැනි තාර්කික නොවන හිතේ ඇතිවන කිසියම් ප්‍රකාශ කළ නොහැකි කිසියම් බලපෑමක් ඔස්සේ තීරණයකට එළඹීමට ය.

බුද්ධියෙන් මෙහෙයවන්නා ගන්නා තීරණ හදවතින් ගන්නා තීරණවලට වඩා බොහෝ සෙයින් වෙනස් වන්නට ඉඩ තිබේ.

සිද්ධාර්ථ කුමරු යසෝදරා දේවිය අතැර ගිහිගෙය හැරපියා යන තීරණය හදවතකින් ගත හැක්කක් නොවේ. ඒ තීරණයට එළඹෙන්නේ සිය පුත් කුමරා උපන්දිනයේ වීම එය තවදුරටත් දුෂ්කර වේ.

බුද්ධියෙන් ගන්නා තීරණයක දී එහි ඵලය වෙනස් වන්නේ කෙනෙකුගේ වටිනාකම් (හර පද්ධතිය/ ආචාර ධර්ම) නිසා පමණ ය. ඒ නිසා එකම වටිනාකම් ඇති වෙනස් අය පවා බුද්ධිය නිසි ලෙස භාවිත කරන්නේ නම් එකම නිගමනයකට පැමිණෙනු ඇත්තේ ය.

එහෙත් හදවතෙන් තීරණ ගැනීම අතිශයින් පෞද්ගලික කාරණයකි. එය කෙනෙකුට දැනෙන විදිහ මෙන්ම ඔහු/ඇයගේ අතීතය ද සමගින් බැඳි පවතින්නේ ය. එපමණක් නොවේ. ඔහු/ ඇයගේ භාවය (mood) මත ද එය රඳා පැවතිය හැකි ය. ඔහු/ඇය කිසියම් දෙයකින් මත්ව සිටින්නේ ද යන්න මත ද එය රඳා පවතින්නේ ය.

මත් විය හැක්කේ මද්‍යසාරයෙන් හා මත්කුඩු වලින් පමණක් නොවේ. සල්ලිවලින් ද බලයෙන් ද කෙනෙකු මත්විය හැක්කේ ය. ප්‍රේමයෙන් ද කෙනෙකු මත්විය හැක්කේ ය.

ප්‍රේමවන්තයින් ප්‍රේමයෙන් අන්ධවී ඇතැයි කියන කියමන පිටුපස ඇත්තේ ද මේ සත්‍යය යි. අන්ධ විය හැක්කේ ප්‍රේමයෙන් පමණක් නොවේ. දේශප්‍රේමයෙන් ද කෙනෙකු අන්ධ විය හැකි ය.

මෙසේ තීරණවලට එළඹෙන අය තම තීරණයන් විමසුමට ලක් කිරීමට කැමති නැත. තර්කයට විවාදයට බදුන් කරනවාට කැමති නැත. එවන් විටක ඔවුන්ගේ හැසිරීම ආවේගාත්මක ය. ලෙහෙසියෙන් පරල වන සුළු ය. කටින් බැරිවෙන කොට ඔවුහු අත පයේ ද පිහිට පතන්නෝ ය.

බොහෝ වෙලාවල බුද්ධිය පාවිච්චි කරන අය පවා හදිසියෙන් හදවතට යටවෙනු දකින්නට පුළුවන. එහෙත් හදවතින් තීරණ ගනු ලබන අය බුද්ධිය පාවිච්චි කරනුයේ අවම වශයෙනි. ඒ ද බොහෝ විට තීන්දුව ගැනීමට නොවේ. තීන්දුව නිවැරදි යයි අන් අයට ඒත්තු ගැන්වීමට ය. එය බොහෝ අවස්ථාවල අවසන් වනුයේ ආවේගයෙන් වීමේ ඉඩකඩ ද වැඩි ය.

මේ රටේ ජනතාව අගෝස්තු 17 දා හදවත අකුළා බුද්ධියෙන් තීරණයන්ට එළඹුනොත් හොඳ ය. හදවත කියන දේ වැරදෙන්නට ඉඩ ඇති බැවිනි. එය එවෙලේ පවතින මූඩ් (mood) එක අනුව පවා වෙනස් විය හැකි බැවිනි.

අගෝස්තු 17 දා පමණක් නොව අපේ ආයතන තුළ ගන්නා තීරණ සම්බන්ධයෙන් ද මේ සටහන අදාළ ය. හදවත පැත්තකින් තබා බුද්ධියට ඇමතීමට, විශේෂයෙන් තීරණය ගැනීමේ ක්‍රියාවලියේ ආරම්භයේ දී එය පැත්තකින් තබා නිදහස්වීමට, අපට හැකි වෙතොත් අප ගොඩ ය.

චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ


හොරුන් කුඩු කාරයින් දූෂිතයින් හොර මත්පැන් බිස්නස්කාරයින් ලෙස චෝදනා ලැබ තිබෙන එහෙත් ඒ බව ඔප්පු නොවුනු අය සම්බන්ධයෙන් පක්ෂවල නාමයෝජනා මණ්ඩල අනුගමනය කළේ කුමන පිළිවෙතක් ද?

එම චෝදනා ඔප්පු වී නැති නිසා ඒ අයට නාමයෝජනා දීම ය. සමහර නාමයෝජනා අත්සන් කෙරුණේ චුදිතයන් සිටින බන්ධනාගාරවල දී ය.

අපේ ආයතනවල ද චුදිතයෝ සිටිති. ඔවුන්ට එරෙහි වෝදනා තවමත් විධිමත් පරීක්ෂනයකින් ඔප්පු කර නැත්නම් ඔබ ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ කුමන පියවරක් ද? විශේෂයෙන් ආයතනයේ තීරණාත්මක නිලයකට කරන උසස්වීමක දී ඔබ ඔවුන්ව ද සෙසු අය සමග එකට ගෙන සැළකිල්ලට ලක් කරන්නේ ද?

රජයේ සේවයේ නම් එසේ කිරීමට නීතියෙන් ද අවසර නැත.

එවැනි චුදිතයෙකු උසස්වීමක් සඳහා සළකා බැලීමට පෙර ඔහු/ඇය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන්ව තිබිය යුතු ය. එතෙක් ඔහුට/ඇයට ඉවසා සිටීමට සිදු වේ.

එහෙත් රටේ උත්තරීතර පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන ක්‍රමය ඊට වෙනස්ව තිබේ. මෙහි ඇති අනතුර නම් පාර්ලිමේන්තුව වැනි ආයතනයක් සම්බන්ධයෙන් එවැනි ලිහිල් පිළිවෙතක් අනුගමනය කරන කල සාමාන්‍ය ආයතනයක් සම්බන්ධයෙන් අප කලින් කී දරදඩු නීතිය අනුගමනය කරන්නේ මන්ද යන ප්‍රශ්නය මතු කළ හැකි වීම ය.

අප මේ අනතුර අගවන්නේ රටේ ඉහළ තැන් වල කරන දෑ පහළට නොදැනුවත්වම කාන්දු වීමේ ඉඩකඩ පවතින නිසා ය. එය අපේ ආයතනවලට ද වැද්ද ගැනීමට ඉඩකඩ ඇති නිසා ය. ලොක්කන් හිට ගෙන කරන දේ සොක්කන් දුව දුව කරන්නේය යන කියමන මෙහිදී මතක් කර ගැනීම අවශ්‍ය ය.

දඩුවම් දීම සම්බන්ධයෙන් නම් චෝදනා ඔප්පු වන තෙක් සිටීම අතිශයින් වැදගත් බව සැබෑ ය.

උසාවියට නොපවරා පොලීසිය මැරයන්ට ආයුධ සොයන්නට යවා වෙඩි තියන කල බොහෝ දෙනා ඒ ගැන අප්‍රසාදය පළ කළේ ඒ නිසා ය. අහිංසක කෙනෙකු දඩුවමකට ලක් කිරීම අපරාධයක් බැවිනි.

එහෙත් තනතුරකට පත් කිරීම සම්බන්ධයෙන් ඒ ප්‍රතිපත්තිය අදාළ වන්නේ නැත.

මේ වෙනස තේරුම් ගැනීමට නොහැකිව ඇත්තේ නීති ක්ෂේත්‍රයේ ඔස්තාර්ලාට ය. දේශපාලන පක්ෂවල නාමයෝජනා මණ්ඩලවල වැඩියෙන් සිටියේ ඔවුන් ය. පක්ෂවල ලේකම්ලා හැටියට සිටියේ ද ඔවුන් ය. ඔවුන්ට නිසි පිළිතුරු දීමේ හැකියාව ඇත්තේ අගෝස්තු 17 දා ජන්ද පොලට යන චන්ද දායකයාට ය.

කළමනාකරුවන් ලෙස අප කළ යුත්තේ මේ ඊනියා තර්කය අපේ ආයතනවල පැලපදියම් වීම වැළැක්වීම ය.

නැත්නම් අපට සිදුවන්නේ දඩුවම් දීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපදාව උසස්වීම සම්බන්ධයෙන් අනුගමනය කොට කෙළවා ගැනීමට ය.

නායකත්වය ගැන අප උගත් පාඩම් මෛත්‍රී විසින් බිඳ හෙලයි ද?


මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා නාමයෝජනා දීමට පසුව කරන ලද විශේෂ ප්‍රකාශයකින් ඔහු තවදුරටත් එජනිසයේ රැඳී සිටීමට හේතු පහදා තිබේ.

ඒ තමන් අනුමත නොකරන මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු තව විශාල පිරිසකට නාම යෝජනා දුන්නේ ඇයි ද, එසේ නාම යෝජනා දීමෙන් මග හැරීමට නොහැකි වූවේ නම් තවදුරටත් තමන්ගේ මතය ගරු නොකළ පිරිස සමග ඔවුන්ගේ නායකයා ලෙස තවදුරටත් රැඳී ඉන්නේ ඇයි ද, යන ඔහුගෙන් බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයන්ට පිළිතුරු වශයෙනි.

ඔහුගේ පිළිතුර බැලූ විට ඔහු කර ඇත්තේ සාමාන්‍ය කෙනෙක් නොකරන වැඩකි. එය බැලූ බැල්මට විප්ලවකාරී ය. එහෙත් එය ඵල සහිත වේ ද?

ඔහු යන්නේ අතුරක ය. තමන්ට පාලනයක් නැති, තමන්ගේ ඉදිරි දැක්ම හෝ තමන් පෙනී සිටින වටිනාකම් වෙනුවෙන් පෙනී සිටීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන, සංවිධානයක නායකකමක් දැරීම කොතරම් වටින්නේ ද කොතරම් කාලයක් කළ හැක්කේ ද යන ප්‍රශ්න තවමත් ඉතිරිව තිබේ.

මේ දීගය කෙළවර වනු ඇත්තේ මෛත්‍රී නායකත්වයෙන් ඉවත් කිරීමෙන් වීමට දැන් බොහෝ දුරට ඉඩකඩ තිබේ.

අප දන්නා කළමනාකරණ මුලධර්මයන්ට අනුව නායකයෙකු හා බහුතර අනුගාමිකයන් අතර දැක්මේ හෝ වටිනාකම්වල අති විශාල පරතරයක් ඇත්නම් එ් දීගය දිගු කලක් පැවතිය නොහැකි ය. එක්කෝ නායකයා සුළුතරයක් වූ තමන් වැනි හිතන අයගේ ගොඩ කිසියම් ප්‍රමාණයකින් වැඩි කර ගැනීමට කටයුතු කළ යුතු ය. නැතිනම් බහුතරය විසින් පළවා හැරීමට ලක්විය යුතු ය.

අප ඉදිරියේ දිග හැරෙන මේ නාටකය අපට අලුත් නායකත්ව පාඩම් උගන්වනු ඇත් ද? නැතිනම් අප දැනටමත් දන්නා දේ තහවුරු කරනු ඇද්ද?

මගේ වැටහීම නම් අප දන්නා දේ ඒ මගින් තහවුරු වනු ඇති බව ය. මෛත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා සන්ධානයෙන් ඉවත් කෙරෙනු ඇති බව ය. නිලවශයෙන් නොවුනත් අන් සියලු ආකාරයෙන් ඔහුව බැහැර කර තබනු ඇති බව ය. පල නොකියා පලා බෙදනු ඇති බව ය.

එසේ කරන්නේ නම් ඔහුට එවිට සිදුවන්නේ පසුව සෝදාගත් නමුත් තවමත් පැල්ලම් ඉතිරිව තිබෙන නාගත් මඩත් සමග ඉවත් වීමට හෝ පල්ලම් බැසීමට ය.

ඔහුව ඉවත් කිරීමට එජනිසයට නොහැකි වන්නේ නම් එවිට අපට අපගේ ඉගැනුම් නැවත විමසන්නට පමණක් නොව අප දන්නා කළමනාකරණ මූලධර්මයන් අතික්‍රමණය කළ කෙනෙකු ලෙස වත්මන් ජනපති තුමාට ගෞරව පුදන්නට ද සිදුවනු ඇත.

මෙය නායකත්වය ගැන උගන්නා කෙනෙකුට වටිනා සිද්ධි අධ්‍යයනයක් වෙනවා නොඅනුමාන ය. ඒ නිසාම කළමනාකරණය හදාරන්නන් හැටියට සිදුවන්නේ කුමක් දැයි අපි බලා සිටිමු.

බබා පාට් නායකත්වය – ග්‍රීස් ගාගෙන ග්‍රීසියට පල්ලම් බහින අපේ රට


ලංකාවේ නායකයින්ගේ බබා පාට්වල කෙළවරක් නැත. එක්කෙනෙක් කීවේ තමන්ගේ අනුගාමිකයන් බලුකම් කුපාඩිකම් කළ බවත් ඒවා තමන් සැගවූ බවත් තමන් කළ වැරැද්ද පිලිගන්නා බවත් ඉදිරියේදී එවැනි දේ නොකරන බවත් ය.

එහෙම කිව් එක්කෙනා මැතිවරණය එළඹෙන්නට නාම යෝජනා සකස් කරද්දී කියන්නේ ගිය මැතිවරණයෙන් පත් වූ සියලු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුනට නාමයෝජනා දිය යුතු බව ය. ඒ කතාව අප තේරුම් ගත යුත්තේ තමන් තරමටම ඒ අය ද පුනරුත්ථාපනය වී ඇතැයි නායකයා කල්පනා කරන බව ය. ඒ කිසිදු දඩුවමක් නැතිව ය.

දැන් අපට කියන්නේ හොරු ආරක්ෂා කිරීමේ කටයුත්ත තමන් ඉදිරියේදී නොකරන බවට කරන සපථ කිරීම අප තවදුරටත් විශ්වාස කළ යුතු බව ද?

ඊළග එක්කෙනා කියන්නේ තමන් එතනෝල් කාරයින්ට කුඩු කාරයින්ට ස්ත්‍රී දූෂකයන්ට විරුද්ධ බවත් එසේ වුව ද ඒ අයට එජනිසයෙන් නොමිනේෂන් දීම සම්බන්ධයෙන් මැදිහත්වීමට තමන්ට ඒ තුළ ඒ හැටි බලයක් නැති බවත් ඒ නිසා තමන් ඒ ක්‍රියාවලියෙන් ඉවත්ව සිටිනා බවත් ය.

එහෙම කිව් එක්කෙනා තවමත් එහි නායකයා ලෙස රැඳෙන්නේ කෙසේ දැයි යන ප්‍රශ්නයට අප උත්තර දිය යුත්තේ පස්සේ කාලයක ඒ නැති බලය ලැබෙතැයි ඔහු ද කලින් එක්කෙනා තරමටම විශ්වාස කරන බව ය.

මේ දෙකම ගොන් පාට් නොවෙතොත් අඩු වශයෙන් බබා පාට් දෙකකි.

මෙවන් නායකයන් ලබන රටක් එක තැන තිබීම ගැන අප පුදුම විය යුතු නැත.

කළමනාකරුවන් හැටියට අපට කළ හැක්කේ මේ නායකත්ව ආදර්ශ දෙකින් නායකත්වය නොදිය යුත්තේ කෙසේ දැයි ඉගෙනීමට ය.

රටකට ලැබෙන්නේ එහි ජනයාට උචිත නායකයන් යයි කතාවක් තිබේ. එහෙත් අපට ලැබෙන්නේ ඊටත් පහළ නායකයන් වීම අපේ අභාග්‍යය ය. මිනිසුන් ඉදිරියට යද්දී නායකයන් පස්සට යන රටක් බවට මේ රට පත් ව තිබේ.

කලකට ඉහත දී මම නායකත්වය ගැන පොතක් ලීවෙමි. එහි නාමය ලෙස ගත්තේ “නායකත්වය – ඇබෑර්තු තිබේ“ යන්න ය. අපේ රට සම්බන්ධයෙන් නම් ඒ කතාව 200% ක් තවමත් අදාළ ය.

දියසේන කුමාරයා එනතුරු අපට බලා සිටීමට සිදුව තිබේ. මුකුත් නොකර දිගින් දිගට නිකම් බලා සිටියාට කුමාරයා එන එකක් නැත.

මේ ඇබෑර්තුව පිරවිය හැක්කේ ඒ සඳහා ඇති කරන පෙළ ගැස්මක් හරහා ය. අපේ ආයතන කළමනාකරණය කරන අතරතුරේ ඒ පෙළ ගැස්මට ද දායක වන්නට කළමනාකරුවන් සිතා ගන්නවා නම් හොඳ ය. රටක් වලපල්ලට යන විට එහි ආයතන ද ඒ සමග ම වලපල්ලට යනු ඇත.

හොඳම උදාහරණය ග්‍රීසිය ය.

උපාධි සහතිකයක හෙට වටිනාකම කුමක් වේද?


ගෙවී ගිය යුගයේ උපාධියකට වටිනාකම ලැබුනේ ඒ උපාධිය සඳහා ඉගෙන ගනිද්දී ලැබූ දැනුම නිසා ය.

දැනුම තිබුනේ ගුරුවරුන් ළඟ ය. ඒ දැනුම ලබා ගැනීමට එවැනි ගුරුවරුන් ඉන්නා ආයතනයකට යා යුතු විය. එසේ ගොස් ඔවුන්ගෙන් කරුණු අසා දැන අමතර පොත්පත් ද කියවා විභාගය සමත් විය යුතු විය. ඒ සමස්ත ක්‍රියාවලිය හරහා ලැබුනේ දැනුම ය.

අදටත් එය වලංගු ද?

දැනුම අන් බොහෝ දේ මෙන්ම කල් ඉකුත් වෙයි. එ් සත්‍යය හැමදාටම අදාළ විය. එහෙත් මෑතක් වන තුරු දැනුම කල් ඉකුත් වූයේ කාලයක් ගත වූ පසු ය.

එහෙත් දැන් කිරි මෙන් එය ද ඉක්මණින් කල් ඉකුත් වීමට පටන් ගෙන තිබේ.

ඊට අමතරව දැනුම දැන් තිබෙන්නේ මිනිසුන්ගේ හිස් තුළ නොවේ. පොත පතක අකුරු අතර ද නොවේ. අන්තර්ජාලය නැමැති සාගරයේ ය.

එකම ප්‍රශ්නය ඇත්තේ කෙළින්ම පානය කළ නොහැකි වීමේ ය.

අද උපාධි අධ්‍යයනක දී සිදු වන්නේ පසු කලෙක පානය සඳහා ජලය රැස් කර තැබීමට සමාන ක්‍රියාවක් නොවේ. අවශ්‍ය වූ විට මේ ලුණු සහිත ජලය පානීය ජලය බවට පත් කර ගැනීමේ ක්‍රියාවලිය ගැන දැන ගැනීමට සමාන එකකි.

එහි දී වඩාත් අවධානය යොමුවනු ඇත්තේ දැනුම සම්බන්ධයෙන් නොවේ. කුසලතා සම්බන්ධයෙනි.

අවශ්‍ය දැනුම ලබා ගැනීමේ හා ඒවා අදාළ දැනුම බවට පත් කර ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට හැකි කුසලතාවය ලඟා කර ගැනීම සම්බන්ධයෙනි. විශේෂයෙන් අන්තර්ජාලයේ අතරමං නොවී එහි ඇති අව්‍යාජ දැනුමට ප්‍රවේශ විය හැකි කුසලතාවය ළඟා කර ගැනීම සම්බන්ධයෙනි. එසේ ප්‍රවේශ වීමෙන් පසු ලබා ගන්නා ඒ දැනුම යොදා ගෙන ප්‍රායෝගික ප්‍රශ්නයන් විසඳීමට ඇති කුසලතාවය සම්බන්ධයෙනි.

දැනුම පමණක් ලබා දෙන එහෙත් අප ඉහත සඳහන් කළ කුසලතා ලබා නොදෙන උපාධියකින් දැන් ඇති වැඩක් නැත.

ඒ ගැන මානව සම්පත් කළමනාකරුවන්ගේ දැඩි අවධානය යොමු විය යුතු ය. ඊට අමතරව එය උපාධි දෙන ආයතනවල ද අවධානයට ලක් විය යුතු ය.

උපාධි දෙන ආයතන පමණක් නොව උපාධි අපේක්ෂකයන් ද ඉදිරියේ උපාධි අපේක්ෂකයන් වීමට බලාපොරොත්තු වෙන අය ද මේ වෙනස් වී ඇති තත්වය ගැන සැළකිළිමත් විය යුතු ය. නැතිනම් වෙන්නේ සෙසු අය ජීවිතය ජයගන්නවා බලමින් තමන් වෙර වීරියෙන් මුදල් වියදම් කිරීමෙන් ලද උපාධි සහතිකය බල බලා හීල්ලීමට ය.