නීති රීති හා මිනිස්සු


නීති රීති වැඩි වූ විට වැඩ කිරීම අපහසු ය. එවන් ආයතන සමාන කළ හැක්කේ, මිනිසුන්ගේ අත් පා බැඳ, ඊට පසු දුවන්න යැයි අණ කරන තැනකට ය.

ඇතැම් තැනක ප්‍රශ්නය නීති රීති වල ම නොවේ. ඒවා අර්ථ නිරූපනය කිරීමට ඉන්නා නිලධාරීන්ගේ ය. ඔවුන් නීති රීති යොදා ගන්නේම බැඳ තැබීම සඳහා ය. ඒ නිසා ඒවා අකුරටම, ඇතැම් විට ඊටත් එහා ගොස්, ක්‍රියාත්මක කෙරෙන්නේ ය.

නීති රීති තියෙන්නේ යම් වැඩක් වඩාත් හොඳින් හා නිවැරදිව කර ගැනීමට ය. ඒ නීති ම, වැඩ බකල් කිරීමට යොදා ගැනීමට සැදී පැහැදී සිටින නිලධාරීන් නිසා, සිදුව ඇත්තේ, නීති රීති වලට බැණුම් ඇසීමට ය.

ඇතැම් තැනක ඒ කුහක කම නිසා ය. කෙනෙකුට රිදවන්නට ඕනෑ නිසා ය. එවන් තැනක සිදු වන්නේ නීතියට නැති වටිනාකමක් දීම ය. වින්දිතයාට දරුණුම ප්‍රහාරය එල්ල කළ හැකි ලෙස නීතිය අර්ථ දැක්වීම ය.

උදාහරණයක් ලෙස, යම් වෘත්තීය සුදුසුකමක් ලබා ගැනීම සඳහා උසස් පෙළ විෂයයන් තුනක් සමත් විය යුතු යැයි, නීතියක් සම්මත කර ගත්තා යැයි සිතමු. එම නීතිය සම්මත වීමට පොරොතුව, එම වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කර ගැනීම සඳහා, එම වෘත්තීයට අදාළ නියාමන ආයතනයෙන් අවස්ථාවක් ලබා ගත් අයෙකුට, මේ නව නීතිය යොදා ගෙන, ඔහුගේ / ඇයගේ ගමන වැළැක්වීමට කෙනෙකුට හැකි ද? නොහැකි ය. මක්නිසා ද යත් එම නීතියට කලින් ලබා දුන් අවස්ථාව භාවිතයෙන්, ඔහු / ඇය මේ වනවිටත්, සිය කාලයත් ධනයත් ආයෝජනය කරමින්, එම වෘත්තීය හිණිමගේ ගමන් කර ඉදිරියට පැමිණ ඇති නිසා ය. නීතියක් අතීතයට බලපාන අයුරින් ක්‍රියා කරවීමට නොහැකි යැයි දක්වන්නේ, මෙවැනි දේ කිරීමෙන්, අසාධාරණයක් වන නිසා ය. විශේෂයෙන් නීතිය තුළ, අතීතයට බලපාන ප්‍රතිපාදනයන් සම්පාදනය කර නැත්නම්, එවැන්නක් කොහෙත්ම බැරි ය. එහෙත් ඒ පිළිබඳව නොසළකා වෘත්තීය නියාමන ආයතනයකට කෙනෙකු වින්දිතයෙකු කළ හැකි ය. අසරණ කළ හැකි ය. එවිට උසාවියෙන් මෙපිට තීරණයක් ගත නොහැකි ය. එසේ කරන නිලධාරියා බොහෝ විට අනියමින් කියන්නේ “පුළුවන් නම් කාලා වරෙන්“ කියා ය. සමහර නිලධාරීහු ආඩම්බර කමට ඒ වග වින්දිතයන්ට වචනයෙන් ද කියා සිටිති.

ඇතැම් තැනක ඒ බිය නිසා ය. තමන්ගේ ආරක්ෂාවට ය. ඒ ඉහත සඳහන් වින්දිතයෙකු ලෙස විඳ ඇති අත්දැකීම් නිසා, නීතිය ලිහිල් කිරීමක දී, තමන්ට නැවත අතවරයන්ට මුහුණ දීමට සිදු වෙතැයි සිතා ය.

උදාහරණයක් ලෙස නම ලිවීමේදී ඇතැම් තැනක වාසගම මුලින් ද මුල් නම පසුව ද ලියන සම්ප්‍රදායක් තිබිය හැකි ය. තවත් තැනක මුල් නම මුලින් ද වාසගම පසුව ද ලියන්නට පුළුවන. ලේඛන දෙකක මෙසේ වෙනස් ලෙස ලියා තිබීම හේතුවෙන් මේ එක ම පුද්ගලයා නොවේ යැයි කෙනෙකුට කිව හැකි ය. එය තහවුරු කිරීම සඳහා දිවුරුම් ප්‍රකාශයක් ගෙනෙන්නට යැයි කිව හැකි ය. ඒ බයට ය. මේ ලේඛන දෙක ම එකම කෙනෙකු සම්බන්ධයෙන් යැයි කියා පිලිගත හොත් තමන්ට අමාරුවේ වැටෙන්නට සිදු වෙතැයි යන බයට ය. වෙනත් එවැනි අවස්ථාවක, තමන් සාධාරණය යැයි සළකා ගත් තීන්දුවක් නිසා, තමන්ට හෝ තම හිතේෂීයෙකුට චෝදනා පත්‍රයක් ඉදිරිපත් වූ බවට, තිබෙන මතකය විසින් ඇති කර තිබෙන බයට ය.

තවත් තැනක ඒ නොදන්නා කමට ය. මොළේ භාවිතා කිරීමට නොහැකියාව නිසා ය.

උදාහරණයක් ලෙස, වවුචරය අනුමත කිරීම සඳහා ඉදිරිපත් කිරිමට පෙර මුදල් ලැබූ බවට අත්සන් කළ යුතු යැයි සමහර නිලධාරීහු කියති. ඇත්තටම එසේ අත්සන් කළ යුත්තේ මුදල් ලබා ගත් පසු ය. බැරිවෙලාවත් මුදල් ලබා ගත් පසු, එසේ ලබා ගත් පුද්ගලයාගෙන් අත්සන් කර ගැනීමට තමන්ට අතපසු වෙතැයි සිතා, අත්සනක් නැති වවුචරයක් ගෙවීම් සඳහා ඉදිරිපත් කළ නොහැකි යයි නිලධාරියෙකු තීරණය කරන්නට පුළුවන. මුදල් ලබා ගන්නා දිනට අමතරව තවත් දිනයක දී පැමිණ අත්සන් කිරිම සඳහා රස්තියාදු වීමට එවිට මුදල් ලැබිය යුතු පුද්ගලයාට සිදු වන්නේ ය. නවීන තාක්ෂණය භාවිතා කිරීමෙන් මේ කරදර බොහෝමයකින් නිදහස් විය හැකි ය. එහෙත් ඒ ගැන නොදන්නා කම නිසා මිනිසුන්ට දුක් විඳින්නට වෙනවාට අමතරව, මෙසේ අමතර ගමන් බිමන් යෙදීම නිසා, වාහන තදබදයක් ද මේ අය විසින් ඇති කරනු ලබන්නේ ය.

තවත් තැනක ඒ හිතන්නට කම්මැලි කමට ය. හේතු දක්වන්නට තිබෙන කම්මැලි කමට ය.

උදාහරණයක් ලෙස, පූර්ණ වැටුප් සහිතව ශිෂ්‍යත්වයකට රට ගිය කෙනෙකුගේ බිරිඳට, සැප්තැම්බර් මාසයේ සැමියාගේ ජීවිතය සහතිකය ලද නිසා, ස්වාමියාගේ වැටුප ලබා දුන් ආයතනයක්, ඊට කලින් මාසය වූ අගෝස්තු මාසය සඳහා ජීවිතය සහතිකයක් නොමැති නිසා, එම මාසයේ වැටුප් ගෙවිය නොහැකි යැයි දැන්වීම ගත හැකි ය. මෙතැන ඇත්තේ හිතන්න කම්මැලි කම ය. හේතු දක්වන්නට කම්මැලි කම ය. සැප්තැම්බර් මාසයේ ජීවත්වන බවට සහතිකයක් ඇති කෙනෙකු, ඊට කලින් මාසයේ ජිවත් වූ බවට සහතිකයක් ඉල්ලන්නේ, ඉල්ලන එකාගේ කම්මැලි කමට ය. කරන්නට තිබුනේ ලිපි ගොනුවට සාක්කියක් අවශ්‍ය නම්, සැප්තැම්බර් මාසයේ ජීවිත සහතිකයේ පිටපතක් ගොනුවට දමා, ඒ මත අගෝස්තු වැටුප ගෙවන බවට හේතු දැක්වීම ය.

මේ එක ද අවස්ථාවක වත් ප්‍රශ්නය වූයේ නීතිය නොවේ. ඒ නීතිය යොදා ගැනීමේ ය. කුහක කම, බිය, නොදන්නා කම, කම්මැලිකම යන මිනිස් දුර්වල කම් එකක් හෝ ඇතැම් විට කිහිපයක් ඒ නොහැකියාවේ තිබුනේ ය.

මේ සම්බන්ධයෙන් ආයතනයකට කළ හැක්කේ කුමක් ද?

කුහක කම හා කම්මැලි කමට දඩුවම් දීම ය. නොදන්නා කමට දැනුවත් කිරීම ය. වඩාත් වුවමනාවෙන් පිළිතුරු සෙවිය යුත්තේ බියට ය. ඇතැම් තැනක බිය අහේතුක ය. එය දැනුවත් කිරීම හරහා එක්තරා දුරකට උත්තර සැපයිය හැකි ප්‍රශ්නයකි. අනෙත් තැනක බියට හේතු තිබේ. ඒ බිය වෙනත් මිනිසුන්ගේ කුහක කම, කම්මැලි කම හා නොදැනුවත් කම සමග පැටලී ඇති නිසා ය. ඒ නිසා ම මේ සම්බන්ධයෙන් ආයතන තුළ සංවාදයක් ඇති කරලීම වැදගත් ය. මේ සිව් දුර්වලකම් පෙන්වා දී, ඒවා සමාව දිය නොහැකි වැරදි බව දක්වා සිටීම වැදගත් ය.

නීතියට මුවා වී හෝ නීතිය භාවිතා කර, අසරණ මිනිසුන් පීඩාවට පත් කරන්නන් සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරන අතරේ, එසේ පීඩාවට පත් වන මිනිසුන්ගේ දුක්ගැනවිලි විමර්ශයන කොට, සහන සැලසීමට, වෙන ම ක්‍රියා පටිපාටියක් අනුගමනය කිරීම ද අවශ්‍ය ය.

ඇතැම් තැනක නීති නැවත විවරණය කිරීමට ද කටයුතු කළ හැකි ය. නීති, වඩා හොඳින් වැඩ කිරීමට පහසුකම් සළසනු වෙනුවට, වැඩ අඩාල කිරීමට හේතු වන්නේ නම්, ඒවා වෙනස් කළ යුතු ය. නීතියට අනුව වැඩ කිරීමට පහළ අයට පැවරෙන නිසා ම, කළ යුතු වෙනස් කම් කිරීම, ඉහළ කළමනාකාරිත්වයට පැවරෙන්නේ ය. එය නායකයෙකුගේ මග හැරිය නොහැකි කාර්ය භාරයකි. භූමිකාවකි.

මැජික් හා කළමනාකරණය


https://i.pinimg.com/236x/3b/6f/4f/3b6f4f3f4a0e51ffb664b0af0995cd7e--the-magicians-sideshow-collectibles.jpg

මැජික් බලන්නට මිනිසුන් කැමති ය. වෙනත් විදිහකට කියන්නේ නම්, තමන් දක්ෂ ලෙස රවටන්නන්ට මිනිසුන් කැමති ය. මැජික්වලට රැවටීමෙන් නොනැවතී, රවටන මිනිසාට අත්පොලසන් දෙන්නට ද ඔවුහු සැදී පැහැදී සිටින්නෝ ය.

මැජික් දර්ශනයක දී අත්පොලසන් පිරිනමන්නේ රවටනු ලැබුවාට ම නොවේ. දක්ෂතාවයට ය.

එහෙත් රවටනු ලැබීම සම්බන්ධයෙන් අත්පොලසන් දෙන මිනිස්සු ද අප අතර සිටිති. ඒ තමන්ව රවටන දේශපාලනඥයන්ට අත්පොලසන් දෙන අය ය. ඒ මැජික් වලදී මෙන් ඒ ඇස්බැන්දුම් බව දැන නොවේ. නොදැන ය. ඇත්ත යයි අදහාගෙන ය.

ආගමික පූජකයන් ද ඇස් බැන්දුම් පෙන්නීමේ ලා දක්ෂ ය. ස්වාමීන්වහන්සේ කෙනෙකුට කරන ආසන පූජාවකින්, ඊළග භවයේ දෙව්ලොව උපත ලැබ, මැණික් පුටුවකට උපාසිකාවක් හිමිකම් ලැබූවේ යැයි කියන කතාවක්, මා ඇසු‍වේ ඊයේ පෙරේදා ධර්මදේශනාවක දී ය. ආගම වෙනුවෙන් මැරුණු අයට කන්‍යාවන් ලැබෙනවා යැයි කියනු ලබන්නේ මුස්ලිම් ආගමේ එක පාර්ශවයක ය. අධ්‍යාත්මිකත්වය සමග එතූ විට ඇස්බැන්දුමේ අලංකාරය වැඩි ය. ඒත්තු ගන්වන සුළුය. ඒ සියල්ලට සාදු කියන්නට එහෙයි කියන්නට ආමේන් කියන්නට කැමති උවැසි උවැසියන් ඉන්නා නිසා ඒ ඇස්බැන්දුම් ද දිගට හරහට සිදු වන්නේ ය.

ආධාර එකතු කරන්නන් ද මේ ඇස්බැන්දුම් ඉදිරිපත් කිරීමේ ලා දක්ෂ ය. ලෙඩ රෝග පිළිබඳ වෛද්‍ය සහතිකවල සිට හැම එකක් ම ඊට අඩංගු ය. පික්පොකට් කාරයින් පැහැර ගන්නේ හොරෙන් ය. මංකොල්ලකාරයින් එයම එලිපිට කරන්නේ වුව ඒ සඳහා තර්ජනය භාවිතා කෙරෙන්නේ ය. ආයුධ යොදා ගැනෙන්නේ ය. ආධාර හිඟන අය ඒ සඳහා භාවිතා කරන්නේ මැජික් ය. ඇස් බැන්දුම් ය.

නොයෙක් වර්ගයේ සාස්තර කියන්නන් ද ඇතුළුව ගුප්ත විද්‍යාව යොදා ගන්නා හැම කෙනෙකුම පාහේ පෙන්වන්නේ මැජික් ය. වැඩ ගුප්ත බව, නමේ ම දක්වා තිබේ.

මේ සියල්ල දකින කළමනාකරුවෙකු ද තමන් ද ඇස්බැන්දුම් කරුවෙකු වෙන්නට කල්පනා කරතොත් ඔහුට / ඇයට දොස් කිව නොහැකි ය. එහෙත් කළමනාකරුවෙකු විසින් රවටනු ලැබීමට බොහෝ දෙනෙකු කැමති නැත. වැඩකරන සේවකයන් ද පාරිභෝගිකයන් හෝ සේවාලාභින් ද කැමති නැත. ආගමක පූජකවරයෙකුට මෙන් මැජික් කරුවෙකුට මෙන් කළමනාකරුවෙකුට ඒ සම්බන්ධයෙන් සමාව ලැබෙන්නේ නැත.

එහෙත් කළමනාකරුවෝ මැජික් වලින් වැඩ ගනිති. ඒ වැඩිමනත් ලෙස අලෙවිකරණයේ ය. ඇස්බැන්දුම් වඩාත් දර්ශණීය ලෙස දිග හැරෙන්නේ එහි දී ය. නංගි පෙන්නා අක්කා දෙන ආකාරයේ ඇස් බැන්දුම් එමට ය. උඩ සාක්කුවට එකක් දමා යට සාක්කුවෙන් එමෙන් තුන් ගුණයක් ගන්නා කළමනාකරුවන් එක් අතකට පෙන්නන්නේ ද මැජික් ය.

මේ ඇස්බැන්දුම් වල යෙදෙන වැඩි දෙනෙක් තුළ එක් පොදු විශ්වාසයක් තිබේ. තමන්ට සැළකිය යුතු පිරිසක් තවත් කාලයකට රැවටිය හැකි බව ය. තමන්ගේ ඇස්බැන්දුම් කීප දෙනෙකුට අසු වූවේ වුව ද නව පිරිසකට දැල එලා ගත හැකි බව ය.

අතීතයේ දී ඒ සඳහා ඉඩ කඩ තිබූ බව ඇත්ත ය. එහෙත් ගැටළුවකට ඇත්තේ ඉඩ කඩ තොරතුරු තාක්ෂණයත් ඒ හරහා ක්‍රියාත්මක වන තරඟකාරිත්වයත් සමග සීමාවේගන යෑම ය. දැන් හැම එකකට රේටින් ලැබෙන්නේ ය. ටැක්සි සේවාවල රියැදුරන්ට පමණක් නොව ඒවා භාවිතා කරන අයට ද රේටින් ලැබෙන්නේ ය. හෝටල් වලට රේටින් ලැබෙන්නේ ය. ගුවන් සේවා වලට රේටින් ලැබෙන්නේ ය. පාරිභෝගික භාණ්ඩවලට සපයන සේවාවලට වෙනත් ආයතන වලට ද රේටින් ලැබෙන්නේ ය. රවටනු ලැබූ බව අසු වූ කල, ලැබෙන රේටින් පලේ පල් ය. වැඩි කලක් නොගොස් ඒවා සමග පල්ලම් බැසීමට, මුල දී ආයතනයන්ට ද, පසුව කළමනාකරුවන්ට ද, සිදු වන්නේ ය.

සක්‍රීය සමාජජාලා තිබෙන්නේ ය. හැම දෙනෙකුටම පාහේ ඇති ජංගම දුරකතන වල කැමරා ද තිබෙන්නේ ය. බොරු කළ නොහැකි සාක්කි සමග ඇස් බැන්දුම් ඇතැම් තැනක එලියට එන්නේ ඒ දෙකේ අනුග්‍රහය ද යටතේ ය.

ඒ නිසා අද දවස ඊයේට වඩා ඇස් බැන්දුම් පෑමේ දී පරිස්සම් විය යුතු ය. කළමනාකරුවන් විශේෂයෙන් පරිස්සම් විය යුතු ය. ආයතනය මැජික් පෙන්වන එකක් නොව සැබෑ සේවයක් සලසන එකක් බව පෙනී යන ලෙස වැඩ කිරීමට පරිස්සම් විය යුතු ය. නංගී පෙන්නුවොත් අක්කා නොව නංගී ම දීමට හිත හදා ගත යුතු ය.

එපමණක් නොවේ. ලෝකයේ ඇස්බැන්දුම්කරුවන් ඉන්නා බව දැන ඔවුන් අඳුනාගැනීමට ද ඔවුන්ගෙන් පරිස්සම් වීමට ද කළමනාකරුවන් ඉගෙන ගත යුතු ය. ඇස් බැන්දුම් කරුවන් අනුන්ගේ ඇස්වලට වැලි ගසා, තමන්ගේ වුවමනා ඉෂ්ඨ කරගන්නා බව දැන, ඇස් පරිස්සම් කර ගන්නා අතර, මෙවැනි ඇස් බැන්දුම් අඳුනාගත හැකි සේ ඇස් විවර කර තබා ගැනීමට ද කටයුතු කළ යුතු ය.

ඊට අමතරව අන්තර්ජාලය විසින් සලසන විවිධ සේවා ද ඇත්ත නැත්ත සොයා ගැනීමට යොදා ගත හැකි ය. මෑතක දී අන්තර්ජාලය හරහා ප්‍රචාරය වුනු මයික්‍රෝවේවි උදුන හානිය ඇතිකරන්නේ ,ය ඒ නිසා එය ජපාන රජය විසින් තහනම් කර ඇතැයි ද, යන කතාව අන්තර්ජාලයේ ඇති ෆැක්ට් චෙක් වෙබ් අඩවිය විසින් බොරුවක් බව සනාථ කර තිබිණි. අන්තර්ජාලයේ පළවන ප්‍රවාත්ති වල ඇත්ත නැත්ත සොයා ගැනීමට භාවිතා කළ හැකි එක් වෙබ් අඩවියක් ෆැක්ට් චෙක් ය. එවැනි අඩවි තෝරාබේරා ගැනීමේ දී වෙනත් ආකාරයක ඇස්බැන්දුම් කරුවෙකුට හසු වීමට ඉඩකඩ ඇති බව දැන එය පරිස්සමින් කළ යුතුය. අන්තර්ජාලය පුරා ද සමාජජාලා පුරා ද අන් තැන වල මෙන් ම ඇස් බැන්දුම් කරුවන් අරක් ගෙන ඇති බැවිනි.

ඇස් බැන්දුම් කරුවන් සමග අවංක ආයතන වලට තරඟ කිරීම අමාරු ය. ඒ නිසා ම බොහෝ විට සිදුවන්නේ එවැනි අවංක ආයතන ද ටික කලෙකින් ඇස් බැන්දුම් කරුවන් අනුගමනය කිරීම ය. අවංකව වැඩ කරන ආයතන කළ යුත්තේ ඒ ගොන් කරත්තයට නැගීම නොවේ. ඒ ඇස්බැන්දුම් කරුවන් නිරාවරණය කිරීම ය. හෙලිදරව් කිරීම ය.

මේ නිසා ම ප්‍රමිතීන් ඇති කර ගැනීමටත්, ප්‍රමිතීන් පවත්වාගෙන යෑම සඳහා ඒවා නියාමනය කිරීමට සමත් ආයතන ව්‍යුහයක් ඇති කර ගැනීමටත්, කළමනාකරුවන් විසින් කටයුතු කළ යුතු ය. ඒවා තවත් ඇස් බැන්දුමක් නොවන බවට නිතර පරීක්ෂා කොට සැක හැර දැන ගත යුතු ය. ඒවාට අවශ්‍ය තොරතුරු ලබා දීමෙන් සහය දැක්වීය යුතු ය. සමාජය ද ඇස් බැන්දුම්කරුවන් දෙස සුපරීක්ෂාවෙන් බලන තැනකට යොමු කළ යුතු ය. ඇස් බැන්දුම් කරුවන්ට එරෙහි පුළුල් සන්ධානයක් ගොඩ නැගිය යුතු ය.