කෝවිඩ් කළමනාකරණය ඉදිරිපත් කරන කළමනාකරණ පාඩම්


See the source image

කෝවිඩ් වසංගතය කළමනාකරුවන්ට ඉගෙනුම සඳහා විශාල ඉඩහසරක් සපයන්නේ ය. කළ යුතු ආකාරයටත් වඩා නොකළ යුතු ආකාරය පිළිබඳ පාඩම් ලංකාවේ කෝවිඩ් කළමනාකරණය ඔස්සේ උගත හැකි ය. මේ එවන් එක් පාඩමකි.

කෝවිඩ් පාලනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැම් තීරණ වැරදි යැයි පිලිගන්නා ආණ්ඩු හිතේෂියෙකු ද ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීමට පොටක් පාදා ගන්නේ ය. ඒ ඊට ප්‍රතිපක්ෂව යමක් කළේ නම් එය විපක්ෂයේ දේශපාලන බලවේග විසින් ආණ්ඩුව විවේචනය කිරීමට භාවිතා කළ හැකි ව තිබුනේ යැයි කියමිනි. උදාහරණයක් ලෙස අලුත් අවුරුදු සමය තුළ මිනිසුන්ගේ හැසිරීම පාලනය නොකළේ එසේ කළේ නම් අවුරුදු කන්නවත් ඉඩ නොදෙන බවට විපක්ෂයට චෝදනා කළ හැකි ව තිබූ නිසා ය.

කළමනාකරුවෙකුගේ ක්‍රියාවක් ද මේ ආකාරයෙන් ම සෙස්සන්ගේ විවේචනයට ලක් වෙන්නට ඉඩක් ලැබෙන්නේ ය. ඒ නිසා ම කළමනාකරුවෙකු නිවැරදි තීරණයක් නොගෙන සිටිය යුතු ද? එවැන්නක් ගැනීම පමා කළ යුතු ද?

එසේ සෙස්සන්ගෙන් ලැබීමට ඉඩ ඇති ප්‍රතික්‍රියාව ඉදිරියේ ගත යුතු ව තිබෙන නිවැරදි තීරණ අකුලා ගන්නා කළමනාකරුවන් කළමනාකරණ සාහිත්‍යයේ හැඳින්වෙන්නේ reactive පුද්ගලයන් ලෙස ය. සෙස්සන් විසින් මෙහෙයවනු ලබන පුද්ගලයන් ලෙස ය.

කළමනාකරුවෙකු සතු විය යුතු එක් නායකත්ව ගුණාංගයක් වන්නේ එසේ නොකර කටයුතු කිරීමට ඔහුට/ඇයට ඇති හැකියාව ය.

මෙයින් අදහස් කරන්නේ ලැබිය හැකි ප්‍රතික්‍රියා ගැන අසංවේදී විය යුතු බව නොවේ. ඒ තුළ ඇති අවදානම නොසලකා හැරිය යුතු බව නොවේ. ඒවායින් අකර්ණම්‍ය නොවිය යුතු බව ය. ඒවා මත තමන් ගන්නා නිවැරදි තීන්දු තීරණ වෙනස් නොකළ යුතු බව ය.

දුර්වල විපක්ෂයක් ඇති රටක ඔවුන්ගේ කතා හා ක්‍රියා නිසා ඇති විය හැකි ආන්දෝලනයන් වලට වැඩි බරක් දැමීමෙන් සිදු වන්නේ අවදානම අනවශ්‍ය ලෙස පුම්බා ගැනීම ය. එය ද කළමනාකරුවෙකු විසින් නොකළ යුතු දෙයකි. අවදානම සැලකිය යුතුවාක් මෙන් ම ඒ පිළිබඳ නිසි තක්සේරුවක් ද කළ යුතු ය.

ඊට පසු කළ යුතු ව ඇත්තේ ඒ අවදානම අවම කිරීමට විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම ය. එසේ නොකොට ඔ්නෑම අවදානමක් ඉදිරියේ තමන් විසින් ගත යුතු ව තිබෙන වඩාත් නිවැරදි පියවරයන් අකුලා ගන්නට සිදු වුවහොත් කළමනාකරුවෙකුට කිසිවක් කර ගන්නට නොහැකි වනු ඇත.

අප පැහැදිලි කර ගත යුතු එක් කරුණක් නම් මෙය අදාළ වන්නේ නිවැරදි තීරණයක් සම්බන්ධයෙන් පමණක් බව ය. අපේ තීරණය වැරදි නම් එය පිළිගෙන එය ඉක්මණින් නිවැරදි කර ගැනීමේ වගකීම ද අප සතු ය.

අප අපගේ විපක්ෂය සැලකිය යුත්තේ අපේ තීරණ වැරදි විය හැකි තැනක ඒ ගැන අපට ඔත්තුවක් සපයා දෙන සහායකයෙක් හැටියට ය.

දුර්වල පාලකයන්ට විපක්ෂය අරහං ය. එයට හේතුව ඔවුන් තමන්ගේ ශක්තිය ඇතැයි සිතන්නේ තමන්ගේ සියල්ල දත් ප්‍රතිරූපය තුළ යයි විශ්වාස කරන නිසා ය. ඔවුන් විපක්ෂය දකින්නේ ම තමන් නිවැරදි කර ගැනීමට ඇති දර්පණ තලයක් (මුහුණ බලන කණ්ණාඩියක්) ලෙස නොව තමන්ගේ ප්‍රතිරූපය විනාශ කරන සතුරෙකු ලෙස ය. ඔවුන්ට වරදින්නේ ද එතැන ය. දර්පණයට චෝදනා කිරීමෙන් ඵලයක් නැත. ඇතැම් විට කළ යුත්තේ කැලෑවක් මෙන් වැවී ඇති රැවුල කපා දමා පිරිසිදු වීම ය.

නායකත්ව හා කළමනාකරණ පාඩම් ලබා ගත හැකි එක් අවස්ථාවක් නම් අප මුහුණ පාන අර්බුදයන් ය. සාමාන්‍ය තත්වයන් යටතේ සාමාන්‍ය කළමනාකරුවෙකුට ලොකු අපහසුවක් නැතිව පාලනය කර ගෙන යා හැකි ය. සැබෑ නායකයන් අවශ්‍ය අර්බුදයක දී ය.

මේ එවැනි අවස්ථාවකි. අපේ දේශපාලන කණ්ණාඩි ඉවත දමා බලන්නේ නම් මේ අවදිය අපට අගනා පාඩම් කියා දෙන සරසවියක් ලෙස සැලකිය හැකි ය.