කළ යුත්තේ හදිසි වැඩ ද වැදගත් වැඩ ද?


සමහර වැඩ හදිසි ය. එහෙත් වැදගත් නැත. සමහර වැඩ වැදගත් ය. එහෙත් හදිසි නැත.

සමහරු හදිසි වැඩ වලට මුල් තැන දෙති. ඊට පක්ෂව ඉදිරිපත් කරන තර්කය නම් වැදගත් වුව ද හදිසි නැත්නම් එය පසුවට කළ හැකිය යන්න ය.

ඒ අනුව ව්‍යායාම් කිරීම වැදගත් ය. එහෙත් හදිසි නැත. අසනීපයෙන් පසුවන මව බැලීමට යාම වැදගත් ය. එහෙත් හදිසි නැත. අද නොවේ නම් හෙට වුව ඇය බැලීමට යාමට පුළුවන. මෙසේ කල් දමන සමහර වැදගත් වැඩ කරන්නට වෙන්නේ ම නැත. ව්‍යායාම් නොකරන හේතුවෙන් ලෙඩ වී කලින් මිය යාමටත් වෙලාව හොයා ගන්නා විට මව මියගොස් තිබෙන්නටත් පුලුවන් නිසා ය.

කළමනාකරුවෙකු කළ යුත්තේ වැදගත් වැඩ ය. ඒ වැදගත් වැඩ හදිසිත් නම් ඒ වැදගත් වැඩ අතුරින් හදිසි ඒවාට වැඩි ප්‍රමුඛත්වයක් ලැබිය යුතු ය. එහෙත් වැදගත් වැඩක් පසුවට දා හදිසි වැඩ කිරීමේ ලොකු තේරුමක් නැත.

වැදගත් වැඩක් නැත්නම් පමණක් වැදගත් නොවන හදිසි වැඩකට අත ගැසිය හැකි ය. තමන් විසින් කළ යුතු වැදගත් වැඩ තිබේ නම් හදිසි වැඩ තමන් යටතේ ඉන්නා පළපුරුදු අයට පැවරිය හැකි ය.

එයින් අදහස් කරන්නේ වැදගත් වැඩ අන් අයට පැවරිය නොහැකි බව නොවේ. ඒවා පවරන්නේ නම් ඒවා වගකිව යුතු අයට පැවරීමටත් නිවැරදිව කෙරෙන්නේද යන්න අධීක්ෂණය කිරීමට  කාලය වෙන් කර ගැනීමත් කළ යුතු ය. ඒවායේ වගකීම තමන් දැරිය යුතු ය.

වැදගත් නැති හදිසිත් නැති වැඩ නවකයින් වැඩි දියුණු කිරීම අරමුණු කර ගෙන ඔවුන්ට පැවරිය යුතු ය. ඔවුන්ට ඒ කටයුතු කරගෙන යෑමට නිදහස ලබා දී අවසානයේ අගැයීමක් පමණක් කිරීමට කාලය ගත කිරීම යහපත් ය. ඒ වැදගත් නොවන හදිසි නොවන වැඩ පිළිබදව අවධානය යොමු කිරීම පිණිස නොවේ. නවකයින්ගේ වර්ධනය වැදගත් වැඩක් වන හෙයිනි.

අවසාන විශ්ලේෂණයේ දී මතක තබා ගත යුත්තේ කාලය ගැන ප්‍රශ්නයක් තිබෙන කළමනාකරුවන් වැදගත් හදිසි වැඩ පමණක් තමන් වෙත පවරාගෙන ඉතිරි සියල්ල අන් අයට පැවරිය යුතු බවත් එසේ පැවරීමේදී ඔවුන්ගේ පළපුරුද්ද හා වගකිව යුතු බව නිසි අයුරින් සැළකිල්ලට ගත යුතු බව ය.

රටේ නැති යහපාලනයක් ආයතනයක් තුළ ඇති කළ හැකි ද?


යහපාලනයක් සැම විටම නිදහසේ නිර්මාණයන් කිරීමට හා සැමට දායකත්වයක් සැපයීමට අවශ්‍ය පසු බිම රටක් තුළ මෙන්ම ආයතනයක් තුළ ද සකසන්නේ ය. ආයතනය තුළ වැඩ කිරීම ප්‍රියජනක දෙයක් බවට පත් කරන්නේ ය. සෑම කෙනෙකු තුළම ආත්ම අභිමානය ඇති කරන්නේ ය.

යහපාලනය තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු විය යුතු අතර නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කිරීමත් නීතියට අමතරව චර්යා ධර්ම පද්ධතියකින් ආයතනයේ හැම මෙහෙයවනු ලැබීමත් දක්නට ලැබේ. තනි පුද්ගලයෙකුගේ කල්ලියකගේ හෝ බහුතරයකගේ අභිමතය පරිදි නොව ආයතනයේ පිළිගත් ප්‍රතිපත්තිවලට අනුකූලව වැඩ කරන තැනක යහපාලනයක් ඇතැයි කියනු ලැබේ. එවැනි වටපිටාවක පුද්ගල නිදහස අගයෙන අතර බහුතරයෙන් පිටස්තර කුඩා පිරිසකගේ වුවමනාවන් ද සැළකිල්ලට ගැනේ.

ඒ අනුව යහපාලනය අප මුලින් කී නිදහසේ නිර්මාණ කිරීමේ හැකියාව ඇති කරන්නක් බව සහ ඉන් සැමට දායක විය හැකි වටපිටාවක් තනන බව ඔබ විසින් පිළිගන්නවා ඇත.

අප මතු කරන ප්‍රශ්නය නම් රටේ යහපාලනයක් නැති තත්වයක ආයතනයක් තුළ යහපාලනයක් ඇති කළ හැකි ද යන්න ය.

රජයේ ආයතන තුළ නම් එවැන්නක් ඇති කළ නොහැකි යයි බොහෝ දෙනෙක් කියනු ඇත්තේ ය. එයින් අදහස් කරන්නේ පුද්ගලික ආයතන තුළ එවැන්නක් පහසුවෙන් හැදිය හැකි බව ද?

ආයෝජනයක් කිරීමේදී ඒ සදහා අල්ලස් දීමට සිදුවේ නම් එසේ අල්ලස් දෙන්නට කටයුතු කරන ආයතනයක් තුළ ඔවුන් අල්ලස් නොගන්නේ වුව ද යහපාලනයක් ඇති කළ හැකි ද?

ආයතනයක් පවත්වාගෙන යෑම සදහා කප්පම් ගෙවීමට සිදුව ඇති තත්වයක එසේ කප්පම් ගෙවමින් ආයතනයක් පවත්වාගෙන යන කළමනාකරණයකට ඔවුන් කප්පම් නොගන්නේ වුව ද යහපාලනයක් ඇති කළ හැකි ද?

පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීමේදී පැත්තක් ගන්නට ඉඩ තිබෙන තත්වයක ආයතනයේ කෙනෙකුගේ යම් අවනීතික කටයුත්තක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී කළමනාකරණය අසරණ නොවන්නේ ද? කළමනාකරණ තීන්දු ගැනීමේදී මේ තත්වය ද සැළකිල්ලට ගෙන තීන්දු ගන්නට සිදු වන්නේ නම් එවැනි තීන්දු වඩාත්ම සුදුසු තීන්දු වෙයි ද?

අප මේ නගන්නේ ප්‍රශ්න ය. ඒ ඔබට උත්තර සොයනු සදහා ය. සංවාදයක් අරඹනු සදහා ය. යහපාලනයෙන් තොර සමාජයක කළමනාකරුවෙකු මුහුණ දෙන අභියෝග ගැන ඔබගේ අවධානය යොමු කරනු සදහා ය. අපේ වැඩක් බලාකියාගෙන ඉන්නා බව කියන කළමනාකරුවන් හට වටපිටාවේ සිදුවන දේ සම්බන්ධයෙන් ඇස් පියා ගෙන දිගු කලක් සිටිය නොහැකි බවට අනතුරු ඇගවීම ද සදහා ය.

දේශපාලනය අපේ විෂය පථය නොවන බව ඇත්ත ය. එහෙත් එය දේශපාලනයන්ටම උරුම කර දී අපට කර හැරිය හැකි ද?

වෘත්තීය කළමනාකරුවන්ට ඒ සදහා මැදිහත්වීමේ දී ඇත්තේ සමාජ වගකීම පමණක් ද? ඊට එහා ගිය වෘත්තීය වගකීමක් ඔවුන්ට නැති ද?

තෙවැනි කැරැල්ල හා කෘෂිකර්මයේ ඵලදායීතාවය


අපේ ර‍ටේ ආර්ථිකයෙන් කෘෂිකර්මාන්තය අයත් කර ගෙන ඇත්තේ 14% (2013) ක් පමණ වූ සුළු කොටසක් වුව ද (2020 වන විට එය තවදුරටත් අඩු විය – දැන් අගය 7.4%) මිනිසුන්ගේ ජීවනෝපාය සම්බන්ධව අදටත් එය ඉතා තීරණාත්මක ය (2020 කෘෂිකර්මයේ නියැලුනු පිරිස 27%කි) අප මේ ලිපියෙන් උත්සහ කරන්නේ කළමනාකරණ දෟෂ්ඨිකෝණයකින් අප රටේ කෘෂි ආර්ථිකය දෙස බැලීමට ය.

කෘෂිකර්ම ක්ෂෙත්‍රයේ අපගේ ඵලදායකත්වය අඩුවීමට එක් හේතුවක් වන්නේ ඉඩම්වල අයිතියේ විසිරුණු ස්වභාවය හා ඉඩම්වල ප්‍රමාණයයි.

බොහෝ දෙනෙකුගේ ඉඩම් ඇත්තේ තැන් තැන්වල කුඩා කට්ටි ලෙස විසිරී ය. එය පැරණි කුඩා වැව්වලින් සමන්විත වාරි ක්‍රමයට අවශ්‍ය වූයේ ය. එක වැවක් කැඩී බිදී ගිය කල ඒ යටතේ වගා කළ නොහැකි වූවිට තවත් වැවක ඉඩම් කට්ටියක් තිබීම සුරක්ෂිත තාවයට හේතුවක් විය.

ඊලග ඉඩම් ප්‍රශ්නය ඇත්තේ මහා වැව් ආශ්‍රිතව ය. මුල් කාලයේ පදිංචි පරම්පරාවේ තෙවැනි පරම්පරාවේ උදවිය දැන් ඒ ජනපදවල වාසය කරති. දැන් කීපවරක් බෙදී ඉතිරිව ඇත්තේ සොච්චම් ඉඩමකි.

මේ කාරණා දෙකම කෘෂී ක්ෂේත්‍රයේ අඩු ඵලදායකත්වයට බල පෑවේ ය. මේ ඉඩම්වල කුඩා ස්වභාවය ද විසිරුණු ස්වභාවය ද ඒවායේ නිල අයිතීන් පිළිබද ගැටළු මෙන්ම විකිණීමට ඇති සීමාවන් ද එහිදී බල පෑවේ ය.

ඊට අමතරව ආණ්ඩුව මත යැපෙන ජනසවිය හා සමෘද්ධිය නිසා වඩාත් පැතිරුණු යැපුම් ආර්ථිකයකට ඔවුන් යොමු වී ඇත්තේ ය. ඔවුන් මේ යැපුම් ආර්ථිකය තුළම සිරව සිටිනු දකින්නට සමහර විට දේශපාලනඥයන් කැමති ය. බොහෝ ගම් ආශ්‍රිත දේශපාලනඥයන්ගේ චන්ද පදනම මේ යැපෙන්නට පුරුදු කර ඇති පිරිස ය. මේ යැපුම් ආර්ථිකයේ ඇත්ත නම් ඒ සදහා අවශ්‍ය ධනය ආණ්ඩුව සපයා ගන්නේ ද යැපන්නන්ගෙන් ද ගන්නා බදු වලින් බව ය. වෙනත් වචන වලින් කියන්නේ නම් ගැමි ජනයා හසු කර ගෙන ඇති උගුලට අවශ්‍ය ඇම පවා ඔවුන්ගෙන්ම ගැනීමටත් එයින් ගැමියන් අත්කර ගන්නා වාසියට වැඩි වාසියක් ගමේ දේශපාලනඥයන් ලබා ගැනීමටත් මෙයින් කටයුතු කර ඇත්තේය.

තමන් අසුව ඇති උගුලේ බරපතල කම තේරුම්ගන්නා ටික දෙනෙක් පමණක් මැද පෙරදිග රැකියා හරහා හෝ හමුදාවට බැදී එසේත් නැතිනම් ගාමන්ට් එකක රැකියාවක් කර මෙයින් ගොඩ එන්නට බලති.

ගමේ ගොඩේ පිදුරු සෙවිලි කල පැල්පත් අඩුව ගොස් උළු සෙවිලි කළ ගෙවල් දකින්නට ලැබෙන්නේ ඒ පිරිසට පින්සිදු වන්නට ය. බයිසිකල් ට්‍රැක්ටර් දක්නට ලැබෙන්නේ ද ඒ ආර්ථික අවස්ථාවන්ට පින්සිදු වන්නට ය.

යුද්ධය නැති ගාමන්ට් අලුතින් ඇති වෙන්නේ නැති තත්වයක මැද පෙරදිග රැකියාවලට පමණක් මේ කටයුත්තේ බර දැරිය හැකි ද?

අප ඉදිරියේ ඇත්තේ ලෙහෙසියෙන් පිපිරෙන්නට ඉඩ ඇති ගැමි ආර්ථිකයකි. අප අමතක නොකළ යුත්තේ අප ගැමි තරුණයන්ගේ කැරලි දෙකකටත් උතුරේ තරුණයන්ගේ අවි ගත් යුද්ධයකටත් දැනටමත් මුහුණ දී ඇති ජාතියක් බව ය.

ඒ නිසා එක් පැත්තකින් අප කෘෂිකර්මයේ ඵලදායකත්වය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද අනිත් පැත්තෙන් රටේ ආර්ථිකයේ සෙසු අංශ වඩාත් පළල් කිරීම හරහා කෘෂි ආර්ථිකයෙන් යැපෙමින් ඉන්නා අයට මැද පෙරදිග රැකියාවලට වඩා දියුණු විකල්ප නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ද ඉක්මණින් අවධානය යොමු කළ යුතු ය.

එයට අවශ්‍ය දේශපාලනික සමාජමය හා නීතිමය පරිසරය සැදීමත් ඒ හරහා ව්‍යාපාරිකයන්ට ආයෝජනයට හැකියාව උදාකර දීමත් ආණ්ඩුවක් විසින් කළ යුතු දේ ය.

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග


ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මෑතකදී කියා තිබුනේ අවශ්‍ය කුසලතා ඇති මිනිසුන්ගේ හිගයක් ඇති බව ය. මේ ප්‍රශ්නය අප තේරුම් ගත යුත්තේ කෙසේ ද?

බොහෝ දෙනෙකු මින් බැස ගන්නා නිගමනය වනු ඇත්තේ රටේ අධ්‍යාපන ක්‍රමය අවශ්‍ය කුසලතා ඇති මිනිසුන් බිහි නොකරන බව ය.

අවශ්‍ය කුසලතා ඇති මිනිසුන් නැති ද? නැතිනම් ඒ අය සොයා ගැනීමට අපහසු ද? ඔවුන් සොයා ගැනීමට යොදා ගෙන ඇති ක්‍රම වේදය නිවැරදි ද? නැත්තේ එවැනි මිනිසුන් ද නැතිනම් ඒ මිනිසුන් සොයා ගැනීමට හැකි මිනිසුන් ද? කුසලතා ඇති මිනිසුන් හැංගී සිටින්නේ ද? ඔවුන් තමන්ට නොවටිනා පුංචි රැකියාවලින් තෘප්තිමත් ව සිටින්නේ ද? රටේ ආර්ථිකය වේගයෙන් ක්ෂණිකව වර්ධනය වී ඇති නිසා ඔවුන් සම්බන්ධයෙන් ඉල්ලුම හදිසියේ ඉහළ ගොස් තිබේ ද? ඔවුන් පුද්ගලික අංශය විසින් ඩැහැගෙන තිබේ ද? ඔවුන් වෙනත් රටවලට සංක්‍රමණය වී ඇත් ද? ඔවුන් ආකර්ෂණය කර ගැනීමට රජයේ වැටුප් ප්‍රමාණවත් නැති ද? රජයේ ආයතනවල කළමනාකරණය එවැනි මිනිසුන් ආකර්ෂණය කර ගැනීමට පමණක් නොව රදවා ගැනීමට ද අසමත්වී ඇත් ද? අපේ රටේ අධ්‍යාපන ක්‍රමය රටේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ දී අසාර්ථක වී ඇති ද?

මෙකී නොකී ප්‍රශ්න මේ සමග අපට ඇති වේ. එසේ වුව ද බොහෝ දෙනෙක් මේ සියලු ප්‍රශ්න ගොනු කරන්නට උත්සහ නොකොටම තීරණයන්ට බසිති. ඒ තමන්ගේ උපකල්පන වල එල්බ ගෙන ඒවා මත පදනම්ව ය.

අප ප්‍රශ්නයකට අවතීර්ණය වන්නේ මැදිනි.

එයට හේතුව අප සතුව ප්‍රමාණවත් දැනුමක් නොතිබීම ය. ඒ අඩුව අප පුරවනුයේ ඉක්මණින් අප බැස ගන්නා උපකල්පන වලිනි. ඒ උපකල්පන අප අසා ඇති දේ අනුව බැස ගන්නා ඉතාම දුර්වල අනුමානයන් ය. ඒ අනුමානයන් බොහෝවිට අපේ දේශපාලන හෝ ආගමික මතවාදය ශක්තිමත් කිරීම පිණිස අප විසින් තෝරාගෙන ඇති ඒවා ය. අප අයත් කදවුර හා අස්ථානය සනාථ කරන්නට රුකුල් දෙන ඒවා ය. කිසිදු බරපතල පරීක්ෂණයක හෝ සමීක්ෂණයක ප්‍රතිඵල මත ඒවා පදනම් වී නැත. ඒ නිසාම ඒවා බරපතල ලෙස ප්‍රශ්න කළ යුතු උපකල්පන ය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය පවා උපකල්පනයක් වන්නට ඉඩ තිබේ. සමහරවිට තමන්ගේ අමාත්‍යංශයේ තනතුරකට නිලධාරියෙකු පත් කරන්නට ගොස් ලැබුණු අත්දැකීමක් ඔස්සේ එසේ එතුමාට හැගුණා වන්නට පුලුවන.

ප්‍රශ්නය විවිධ ආකාරයෙන් මතු කිරීමත් විකල්ප හැකි තාක් දුරට ගොනු කිරීමත් අප පදනම් වූ විකල්ප විමසීමත් මෙවැනි අකරතැබ්බයකින් ගැලවීමට ඇති හොදම ක්‍රමයකි. අප කලින් සටහනක නිවැරදි ප්‍රශ්නය නැගීමේ වැදගත් කම ගැන කීවෙමු.

අද කියන්නේ ප්‍රශ්නය නැගීමේදී අප පාදක කරගත් උපකල්පන ප්‍රශ්න කිරීමට ද අප විසින් කටයුතු කළ යුතු බව ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතු උපකල්පනය කුමක් ද?

ඒ අවශ්‍ය කුසලතා ඇති අයගේ හිගයක් ඇත යන්න ය. ඒ උපකල්පනයෙන් කියවෙන්නේ ඔවුන් වෙනත් නොවටිනා තැන්වල නොවටිනා රැකියාවන් කරමින් සිටින්නේය යන උපකල්පනය බැහැර කර ඇති බව ය. වඩාත් නිවැරදි දෙවැනි උපකල්පනය වන්නට බැරි ද? මේ දෙකම නොවන වෙනත් උපකල්පනයන් පිරික්සා බැලීම සදහා නිර්මාණය කරන්නට අපට පුලුවන්ද?

ප්‍රශ්නයට උත්තරය පළමුවැන්න නම් අප කළ යුත්තේ අධ්‍යාපනය ඊට සරිලන ලෙස වෙනස් කිරීමය. උත්තරය දෙවැන්න නම් අප කළ යුත්තේ අපගේ තෝරාගැනීමේ හා ප්‍රතිලාභ පිරිනැමීමේ විධි ක්‍රම වෙනස් කිරීම ය. වෙනත් උත්තර ඇතිනම් ඒවා ද පිරික්සිය යුතු ය.

එහෙත් මේ උපකල්පන අතුරින් නිවැරදි උපකල්පනය කුමක් දැයි තෝරා බේරා නොගෙන නිගමනයකට එළඹීම ඵලදායක නැත. ඒ නිසාම උපකල්පනයන් ප්‍රශ්න කිරීමට අප ඉටා ගත යුතු ය.