අර්බුදය අපට උගන්වන වැදගත් පාඩමක්


පූර්විකාව

රට තුළ තියෙන්නෙ කුණාටුවක් හමා ගියා වගේ ම තත්වයක්. ඉදිරුණු ගස් හැම තැන ම. ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටිල. සෙසු බොහෝ ක්ෂේත්‍ර පවා තුවාල වෙලා. දැනට පණ ගහමින් නැගිටින බවත් පෙනුනත් සංචාරක ව්‍යාපාරයත් තුවාල වුනු ඒවා අතරින් එකක්. හැම තැන ම බලාපොරොත්තු කඩ වීම් පේන්න තියෙනව. අවිනිශ්චිතතාවය රජයනවා.

ඒත් ජීවිතය ගෙනි යන්න වෙනව. තුවාල මුළුමණින් ම සුව වෙන්නටත් ඉස්සෙල්ල නැවත වැඩට බහින්න වෙනව. කුණාටුව පහ වෙලා ගියාට අපට පරණ පුරුදු ජීවිතයට යන්න තව බොහෝ කලක් ගත වේවි. ඒත් සීත ඍතුව නිම වී වසන්තය එනවා සිකුරුයි. ඒක අපූරු කියමනක්. ඒකෙන් දිරිය ගෙන ජීවිතය දිහා බලමු.

පළමුවෙන් ම අප ඉගෙන ගත යුතු පාඩම් මොනවා ද? ඊළගට කම්පනයෙන් මුසපත් ව අප තුළ මතු ව ඇති ඇතැම් නිගමන උපකල්පන නිවැරදි ද? හැඟීම් වලින් ප්‍රලය වී ඇති මොහොතක බැස ගත් ඒ නිගමන අපට දිගු කාලීනව හතුරු වෙයි ද? ඉදිරියට මුහුණ දීමට නම් මේ දෙක ම විසඳා ගැනීම එක සේ වැදගත්.

අද සටහනෙන් මට දැනෙන අප විසින් උගත යුතු එක් පාඩමක් ඉදිරිපත් කරන්නම්. ඒ “සියලු බිත්තර එක කූඩයකට නොදැමිය යුතු ය” යන පාඩම. විමසුම් දෑසින් ඒ දෙස බලන ලෙස ආරාධනය සමගින්.

විස්තරය

රටක් හැටියට පමණක් නොව ආයතන හැටියට ද පුද්ගලයන් හැටියට ද අප විවිධාංගීකරණය විය යුතු ය. අප අංශ කීපයක් මත පමණක් විශ්වාසය තබා රටක්, ආයතනයක් හෝ අපේ ජීවිත ගොඩ නොනැගිය යුතු ය. බිත්තර සියල්ල එක කූඩයකට නොදැමිය යුතු ය යන්නෙන් අදහස් කරන්නේ එය ය.

අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග කීපයක් ම – සංචාරක ව්‍යාපාරය, විදේශ සම්ප්‍රේෂණ පමණක් නොව එක්තරා දුරකට ඇඟලුම් කර්මාන්තය ද අර්බුදය හමුවේ වැටුනේ ය. නැතිනම් දුබල වුනේ ය. ණය පමණක් පැල දමමින් වැඩුනේ ය. ඒ හමුවේ ඩොලරය පැරණි මිලට පවත්වා ගැනීම උදෙසා ඩොලර් හා රත්තරන් සංචිත විකුණා දැමුනේ ය. ඒත් වැඩක් වූයේ නැත. අන්තිමේ බංකොලොත් රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කර ණය හිමියන්ගේ කරදරයෙන් ඉස්පාසුවක් ගැනීමට සිදු වුනේ ය. රටක් හැටියට විකල්ප ආදායම් මාර්ග ගොඩ නගා තිබීමේ වැදගත් කම මේ අර්බුදයෙන් පසු ව වත් අප පසක් කර ගත යුතු ය.

එපමණක් නොවේ. යමක් පිළිබඳ වගකීම එක් ආයතනයකට ගොනු වන විට ඒ ආයතනයට, ඇතැම් විට ඒ ආයතනයේ සේවකයන්ට, අතිශය ප්‍රබල කේවල් කිරීමේ බලයක් ද ලැබේ. සාමාන්‍ය තත්වයක දී මෙන් නොව අර්බුදයක දී මෙහි ප්‍රති විපාක දරුණු ය. ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් ආණ්ඩුව ගල ග්‍රහණයට ගන්නා විට ආණ්ඩුව පසක් කර ගත්තේ තවත් තරඟ කරුවන් කිහිප දෙනෙකු ක්ෂේත්‍රය තුළ සිටීමේ වැදගත් කම ය. විවිධාංගීකරණයේ වැදගත් කම ය.

හැම දෙයක් ම දේශීය හෝ විදේශීය යන අංශ දෙකින් එකකට පවරා දීමේ හා එසේ කිරීම් විපාක හැටියට ඔවුන්ට ඒ හරහා ලැබෙන මිල තීරණය කිරීමේ බලය ආණ්ඩුව අත් දැක්කේ බිත්තර ගිනි ගණන් වූ විට ය. දේශීය හා විදේශීය මාර්ග දෙක ම විවෘත ව තිබුණේ නම් ඒ තත්වය මග හැරිය හැකි බව ආණ්ඩුව තේරුම් ගත්තේ මිල පාලනය සමග බිත්තර හිඟයක් ද ඇති වූ පසු ය. 

එක් ක්ෂේත්‍රයක පමණක් යෝධ අඩි තැබු විශාල ව්‍යාපාර ඒ ක්ෂේත්‍රය වැසී යන විට පතුලට ඇද වැටුනේ ය. තමන් වෙනත් ක්ෂේත්‍රයන්ට අත නොගසා සිටීමේ අවුල ඔවුන්ට දැනෙන්නට ඇත්තේ පස්ස බිම ඇනුණ විට ය.

තම ව්‍යාපාරික කටයුතු ලංකාව තුළට පමණක් සීමා කර ගෙන සිටි ව්‍යාපාරිකයන්ට ද වෙනත් වෙළඳ පොල සොයා ගත යුතු ය යන හැගීම ඇති කළේ ද මේ අර්බුදය ම ය. එයින් අදහස් කළේ ක්ෂේත්‍රය පමණක් නොව වෙළඳ පොළ ද හැකිතාක් විවිධාංගීකරණය වීමේ වැදගත් කම ය.

අති දක්ෂ ඉංජිනේරුවන්ට රැකියා අහිමි වී නිවෙස් තුළ හිරකරුවන් වන විට ඔවුන්ට පසක් වන්නට ඇත්තේ තවත් වෙනත් ආකාරයක කුසලතාවයක් තිබිණි නම් ගැලවීමේ මගක් විවෘත කර ගන්නට විභවයක් තිබු බව ය. ස්වාමි පුරුෂයා හා බිරිඳ පවා ආයතන දෙකක ක්ෂේත්‍ර දෙකක වැඩ කළේ නම් යම් සහනයක් ලබා ගත හැකි ව තිබූ බව බොහෝ දෙනෙක් අර්බුදය සමග පසක් කර ගන්නට ඇත. මේ හේතුව නිසා ම මෙවැනි කුසලතා ඇති බොහෝ දෙනෙකුට සිදු වුනේ අකමැත්තෙන් වුව ද මව්බිමට සමු දීමට ය.

එක බැංකුවක තමන්ගේ සියලු ඉතිරි කිරීම් තැන්පත් නොකර බැංකු කීපයක ඒවා තැන්පත් කිරීමේ වාසිය මිනිසුන්ට දැනෙනු ඇත්තේ බැංකු අර්බුදයකට ලක් වූවොතින් ය. මෙය මීට පෙර ද බැංකු හා මුල්‍ය ආයතන වැසී ගිය විට ඒවායේ තැන්පත් කරුවන්ට පසක් වෙන්නට ඇත. එහෙත් බොහෝ අය අනුන්ගේ පාඩම් වලින් ඉගෙන ගන්නේ නැත.

තමන් සතු වත්කම් පවා එක ම ආකාරයකින් පවත්වා ගෙන යෑමේ අවදානම ද බැංකුවල තැන්පතු වලින් පමණක් යැපෙමින් සිටි අයට මුදලේ බලය කඩා වැටුණ විට පසක් වන්නට ඇත.

ගොවියෙකු පවා තම ඉඩමේ විවිධ බෝග වැවීමට කටයුතු කළ යුතු ය. එක් භෝගයක් කිසියම් රෝගයකට ගොදුරු වුව ද සෙසු වගාවන්ගෙන් ජීවිතය ගැට ගසා ගැනීමට ඔහුට හැකි වන නිසා ය.

විවිධාංගීකරණයට යොමු වීම අමාරු ය. පුද්ගලයෙක් නම් ඒ සඳහා විවිධ කුසලතා වැඩි දියුණු කර ගත යුතු ය. ඒ සඳහා වෙහෙස විය යුතු ය. මුදල් පමණක් නොව කාලය ද ආයෝජනය කළ යුතු ය. අංශ කීපයක වැඩ කරන විට එක් අංශයක පරතෙරට යෑමේ ඉඩ අඩු වන්නේ ය. එය ද දැනෙන්නේ පාඩුවක් ලෙස ය.

ආයතනයකට වුව ද සීමිත අරමුදල් ක්ෂේත්‍ර ගණනාවකට යෙදීමෙන් එක ද ක්ෂේත්‍රයක වත් නිපුණ වන්නට නොහැකි වීමේ ඉඩක් ද පවතින්නේ ය. ඒ නිසා ද එය පරිස්සමින් කළ යුතු වැඩකි. එහෙත් අපට විකල්ප නැති බව අර්බුදය උගන්වා තිබේ.

දන්නා ක්ෂේත්‍රයක පිනුම් ගැසීමට වුව සූදානම් නමුත් නොදන්නා ක්ෂේත්‍රයකට අඩිය තැබීමට පවා අප අකමැති ය. ඒ නොදන්නා දෙවියන්ට වඩා දන්නා යකා හොඳ යැයි අපට උගන්වා තිබෙන නිසා ය. ඒ හැර අවිනිශ්චිතතාව ද අප ව දිගින් දිගට ම අවධානයෙන් සිටිය යුතු බවට නියෝග කර සිටින බැවින් අපේ කැමැත්ත ඒ උගුලෙන් ගැලවී සිටිමට ය. ඒ සඳහා හොඳ ම දෙය දන්නා අඩවියකට පසු බැසීම යැයි අපට සිතෙන්නේ ය.

ඒ අභියෝගය කෙසේ හෝ ජයගෙන, හිත හදා ගෙන, නව මාවතකට පිවිසෙන අය ද ඉක්මනින් ප්‍රතිඵල දැක ගත නොහැකි ව අධෛර්යය වන අවස්ථා තිබේ. ඔබ learning curve (ඉගෙනීමේ ප්‍රස්තාරය) පිළිබඳ දන්නේ නම් මෙය ස්වාභාවික බව ඔබට ම අවබෝධ වනු ඇත. ඒ ප්‍රස්තාරයෙන් කියන්නේ ඔ්නෑ ම දෙයක් ඉගෙනීමේ දී මුල් වකවානුවේ ප්‍රගතිය අතිශයින් මන්දගාමී බව ය. එහෙත් කලක් තිස්සේ එහි යෙදීමෙන් අනතුරුව එය සීග්‍රගාමී දුම්රියක් මෙන් වේගයෙන් ඉදිරියට ඇදෙන බව ය. බොහෝ අයට මුල් අසීරු අවදිය ගෙවා ගන්නට තරම් ඉස්පාසුවක් නැත. එය ද මෙසේ විවිධාංගීකරණය නොවීමට හේතුවක් ව තිබේ.

අප ජාතියක් හැටියට ම අතීතයට කැමති ය. අතීත ශ්‍රී විභූතිය නැවත ඇති කරන්නට මිසක ඩිජිටල් ලෝකයේ නව අවස්ථා ගැන සොයන්නට අපේ මනස සූදානම් නැත. ඒ මෙතෙක් උත්කර්ෂයට නංවා තිබෙන්නේ ද අදට ද එසේ කරළියට නංවමින් තිබෙන්නේ ද ඒ අතීතය නිසා ය. නව ක්ෂේත්‍ර සොයා යන්නට අපට උනන්දුවක් නැති තව හේතුවක් ඇත්තේ මේ මානසිකත්වය තුළ ය.

අපට පාසලින් හුරු කරන්නේ ද එක වගේ වෙන්නට ය. අන්දන්නේ ද එක ම ඇඳුම ය. කොණ්ඩය සපත්තු ආදී බාහිර සාධක සම්බන්ධ අනෙකුත් පිරිවිතර වලින් ද කියන්නේ එක වගේ වෙන්නට ය. මැන බලන්නේ ද එක ම දක්ෂතා ය. විෂයයන් ගණනාවක් තිබුණ ද මනින්නේ ඒ විෂයයන් පිළිබඳ කටපාඩම් කිරීමෙන් මතක තබා ගත් දැනුම පමණ ය. එසේ කල්පනා කළ විට පෙනෙන්නේ අප ව හුරු කර තිබෙන්නේ ම බහුතරය කරන විදිහට කරන්නට බව ය. රැලෙන් වෙනස් වන්නට නම් නොවන බව ය. එක් අයෙකු ත්‍රී වීලයක් ගෙන පාරට දැමූ විට සෙසු අය ද හිතන්නේ තියෙන හොඳ ම බඩ රස්සාව ඒක කියා ය. ඉතාලි හෝ කොරියාව යන විට පැල් බැඳ ගෙන යන්නේ ද ඒ නිසා ය. ඌරු මස් සමග පොල් රොටි කඩ කාලයක් පැතිර ගියේ උණු කැවුම් වලටත් වඩා වේගයෙන් ය. රැලට යන සිරිත මිස රැලෙන් වෙන් ව යන දෙයක් ගැන සිහින දැක්කේ ටික දෙනෙක් පමණ ය. ඒ සම්බන්ධයෙන් අප කියූ ලෙසට ම පාසල ද වග කිව යුතු ය. 

එහෙත් එක එකාට හා එක එක දෙයට ඇඟිල්ල දික් කර ගෙන දිගට ම සිටීමේ තේරුමක් නැත. සමාජය එසේ වූවා ට වෙනස් වීමට අපට බාධාවක් නැත. අපේ ජීවිත වල වගකීම සමාජයට හෝ ආණ්ඩුවට හෝ දෙමාපියන්ට හෝ වෙනත් බලවේගයකට පවරා සිටි කාලය ඔ්නෑවටත් වඩා වැඩි ය. දැන්වත් එය අපේ වගකීමක් කර ගත යුතු ය.

අමාරුවෙන් වුව ද මේ විවිධාංගීකරණ ක්‍රියාවලිය ජය ගන්නේ නම් එයින් අපට ලැබෙන්නේ අර්බුදයකට මුහුණ දිය හැකි ශක්තිය පමණක් නොවේ. එක් අංශයක අපට ලැබෙන අත්දැකීම් අපේ තවත් අංශයක් දියුණු කිරීමට භාවිතා කිරිමේ ඉඩකඩ ය. ඒ අංශ දෙකේ සංකලනයකින් තුන්වැනි අංශයකට පිවිසීමේ ඉඩකඩ ය. මගේ ම උදාහරණයකින් මේ අදහස පැහැදිලි කිරීමට මා කැමති ය. මම දේශකයෙක් ලෙස වැඩ කරන අතර ලේඛකයෙකු ලෙස ද වැඩ කරමි. ලේඛනය මට අදහස් ගොනු කර ඉදිරිපත් කිරීමට අවශ්‍ය පරිචය ලබා දුන් අතර මගේ දේශන තරමක් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරන්නට ඒ පරිචය මට ප්‍රයෝජනවත් විය. දේශන වල දී ගොනු වුන කරුණු පසු ව ලේඛනයකට සුදුසු සේ සකස් කර ගැනීමට ද මට හැකි විය. ඒ අංශ දෙක එක් කර යූ ටියුබ් චැනල් එකක් ආරම්භ කිරීමට ද මට හැකි විය. අද මට මගේ පණිවුඩ සමාජ ගත කිරීම සඳහා විවිධාංගීකරණය වූ අවස්ථා ගණනාවක් ලැබී තිබේ. මේ සටහන ලිවීමට ආරාධනය මා ලදුයේ ද මගේ යූටියුබ් චැනලයක් බැලූ මිත්‍රයෙක් හරහා ය. එකක් අනෙකෙන් පෝෂණය වෙමින් ඉදිරියට යන ආකාරය ඇත්තට ම ඇතැම් තැනක පුදුම සහගත ය.

විවිධාංගීකරණය නිසා අපට විවිධ ක්ෂේත්‍රවල වැඩ කරන අය ද මුණ ගැසේ. ඔවුන්ගේ අත්දැකීම් සමහර විට අපේ යම් වැඩ වඩාත් හොඳින් කර ගෙන යෑමට අවශ්‍ය උල්පන්දම් ද සපයා තිබේ. අපේ ජීවිත පවා මේ විවිධ මිතුරන් නිසා වඩාත් රසවත් ව තිබේ.

ඒ නිසා ම මේ සටහන අවසන් කිරීමට මා කැමති ඔබට ඔබේ ආයතනයට රටට විවිධ අංශ ඔස්සේ සංවර්ධනය වීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියන පැතුම ඇති ව ය.

ජීවිතයට අර්බුද පැමිණීම වැළැක්විය නොහැකි ය. ඒවා ව්‍යසනයක් වී අවසන් වන්නේ අප ඉන් පාඩමක් වත් ඉගෙන නොගතහොත් ය. පාඩම් ඉගෙන ගන්නේ නම් අර්බුද පවා අපව අවදි කරවන සුළු ශක්‍යතාවෙන් යුක්ත ය.

අප ඉදිරියේ ඇති ලෝකය පැරණි රැකියා මාර්ග පමණක් නොව සමස්ත ක්ෂේත්‍ර ද අතු ගා දමමින් අපට නව අභියෝග පිරි නමනු ඇත. මේ විවිධාංගීකරණය ඒ අභියෝග වලට මුහුණ දීම සඳහා ද උදව් වෙනු ඇත. ඒ නිසා ම අර්බුදය අපට පූර්ව සූදානමකට කරන ලද ඇරයුමක් සේ සැලකිය හැකි ය.

නින්ද ගම්


නින්ද ගමක හරි හමන් නීතියක් නැත. ඇත්තේ රදළ ස්වාමියා පනවන නීති ය.  නීතිය පනවන්නේ ඔහු ය. නීතිය පසිදලන්නේ ඔහු ය. නීතිය කඩන්නන්ට දඩුවම් කරන්නේ ඔහු ය. කොටින්ම නීතිය ඔහු ය. ඔහුගේ වචනය වත්මන් සන්දර්භය ඇතුළේ චක්‍රලේඛන වන්නේ ය.

එපමණක් නොවේ. නීතිය කැඩීමේ බලය ඇත්තේ ද ඔහුට ය. ඒ අර්ථයෙන් ගත්විට නීතිය පමණක් නොව නොනීතිය ද අවනීතිය ද ඔහු ය.

නින්ද ගමක ඉඩම් හරකබාන ඇතුළු සම්පත් තිබෙන්නේ රදළ ස්වාමියා ළඟ ය. ඒවා ප්‍රවේණි දාසයන්ගේ ප්‍රයෝජනය සඳහා අනුයුක්ත කිරීමේ බලය තිබෙන්නේ ද ඔහුට ය. ඒ නිසා ද නීතිය ඔහු වී ඇත්තේ ය. ඔහු නීතිය වී ඇත්තේ ය. සම්පත් අවශ්‍ය කවරෙකු වුව ද ඔහුට ළං විය යුතු ය.

ඔහුගේ ආධිපත්‍ය අන්ධ ලෙස පිළිගන්නා කවරෙකුට වුව ද ඒ ආධිපත්‍ය දිගින් දිගට පවත්වාගෙන යෑමට උදව් කරන කවරෙකුට වුව ද ඔහුගේ අනුග්‍රහය හා අනුකම්පාව ලැබේ. ඔහුගේ ආශිර්වාදය යටතේ ඔවුන්ට විශේෂයෙන් දෙවැනිව සඳහන් කළ වර්ගයට ද (ආධිපත්‍ය දිගින් දිගට පවත්වාගෙන යෑමට උදව් කරන අයට) නීති කැඩීමේ යම් බලයක් ලැබේ.

වෙන කවරෙකු අරබයා වුව ද නීතිය “සාධාරණව“ ඉෂ්ඨ වන්නේ ය. ඔහුගේ අනුකම්පාව යටතේ පමණක් නීතිය අකර්ණම්‍ය කිරීමට හැකි වන්නේ ය. නීතිය මගහැරිය හැකි වනු ඇත්තේ ය.

තමාට පක්ෂපාතී අය බලා කියා ගැනීමෙ වගකීම රදළ ස්වාමියා විසින් දරන්නේ ය. මග නොහැර ම දරන්නේ ය. තමන් මස් කන්නේ නම් කට්ටක් වත් දාසයන්ට විසි කිරීමට ඔහු වග බලා ගන්නේ ය. කොතරම් නොපණත් කම් කළ ද ඔහුගේ ආධිපත්‍ය හෙලවිය නොහැකි ඒ නිසා ය.

එක් කෙනෙකුගෙන් අරගෙන තවත් කෙනෙකුට දෙන්නට ඔහුට පුළුවන. ඔහු සමහරවිට අරගන්න එකාට ද නැවත කීයක් හරි දෙන්නේ ය. දෙන්නේ කාට ද ගන්නේ කාට ද කියා හරියට දැනගන්නට විදිහක් නැත. කළ හැකි එකම දෙය නම් ඔහුගේ අනුකම්පාව පැතීම ය.

රදළ ස්වාමියා ගෙවන සුඛෝපභෝගී ජීවිතය ගැන දාසයන් ආඩම්බර විය යුතු යැයි ඔහුගේ වටේ ඉන්නා අය අපේක්ෂා කරති. තමන්ට ද එයින් සොච්චමක් වැළඳිය හැක්කේ දාසයන් එසේ ලොක්කාගේ සැප සම්පත් ගැන ඊර්ෂ්‍ය පරවශ නොවුනොත් බව මේ වටපිටාවේ ඉන්නා ස්වාමියාගේ ගෝල බාලයෝ දන්නෝ ය.

ස්වාමියා ගැන අතිශය පරම පිවිතුරු පින්තූරයක් මවා පෑම මේ නින්ද ගම පවත්වාගෙන යෑමේ පූර්ව කොන්දේසියක් වන්නේ ය. ස්වාමියාගේ ගෝලයන් අතර හොරුන් හා තක්කඩියන් සිටිය ද රදළ ස්වාමියා නම් අතිශයින් අහිංසක කෙනෙකු බව දාසයන් විශ්වාස කරන තැනකට ගෙනා යුතු ය. ඒ සඳහා හොර ගෝලයෝ අමතර වෙහෙසක් ගනිනි. එවිට තමන්ගේ කටයුතු ද නායකයාගේ පරම පවිත්‍ර ප්‍රතිරූපය යටට වී එහි හෙවනට මුවා වී කරගත හැකි නිසා ය.

ඒ අතරේ අමුතු එතරම්ම අහිංසකත් නැති ආසාවන් රදළ ස්වාමියාට හා ඔහුගේ ළඟම ඥාතීන්ට තිබුනාට ඒවා ඉවසන්නට ද නින්ද ගමේ පොදු අභිවෘද්ධිය සඳහා ඉවසන්නට ද දාසයන්ට සිදු ව තිබේ. එසේ කළ යුතු බවට ඔවුන්ට උගන්වා තිබේ. මක්නිසා ද යත් මොන මොන දේ කළ ද ස්වාමියා තමන්වත් බලා කියා ගන්නා බවට වෙන කාටත් වඩා හොඳින් බලා කියා ගන්නා බවට විශ්වාසයක් ඇති කර ඇති නිසා ය.

කෙටියෙන් කීවොත් රදළ ස්වාමියා පවුලේ තාත්තා වැනි ය.

අපේ බොහෝ ආයතන ද මෙවැනි නින්ද ගම් වගේ ය. ඒවා ට ප්‍රතිපත්ති නැත. ඒවා තුළ ආචාර ධර්ම නීති නැත. ඇත්තටම නැතැයි කීම හරියටම හරි නැත. නීති ඇත. ඒත් ඒවා ක්‍රියාත්මක වන්නේ තාත්තාගේ අභිමතය තුළ ය. තාත්තා අවසර දෙන ප්‍රමාණයට ය.

ඒවා නූතන ආයතනවලට වඩා ළංවන්නේ පැරණි නින්ද ගම් වලට ය.

ඒවා නූතන ආයතන ලෙස වැරදියට අඳුනාගෙන කෙනෙක් නීතිය ක්‍රියාත්මක කරන්නට යන්නේ නම් වැඩ වරදින්නේ ඔහුට ය. ඔහු නියම තැන හිඳුවා තබන්නට අද නැතත් හෙට රදල ස්වාමියා කටයුතු කරනු ඇත්තේ ය. ඒ පරිශ්‍රමයේ දී නීති ගත ආයතන කිසිවක් ඔහුගේ පිහිටට එන්නේ නැත. ඒ නීති ගත ආයතන නායකයා විසින් හිරි වට්ටවා තිබේ.

ආයතන බහුතරයක් එසේ නිසා රට අභ්‍යන්තර තරගයේ දී ආයතනයක් මෙසේ නින්ද ගමක් ලෙස පවත්වාගෙන යෑම ප්‍රශ්නකාරී වෙන්නේ නැත. එහෙත් එය ප්‍රශ්න කාරී වන්නේ ලෝකයේ වෙනත් නූතන ආයතන හා කරට කර තරගයකට යන්නට සිදු වූ විට ය. ලෝක වෙළඳ පොළට තරගකාරී ලෙස සපයන්නට සිදු වූ විට ය.

විශේෂයෙන් එවැනි ජාත්‍යන්තර තරගයක දී අප රටට ආවේණික කිසියම් සුවිශේෂී වාසියක (comparative advantage) ආවරණය නොලැබුන විට එවැනි ආයතන අභාවයට යන්නේ ය.

හේතුව වන්නේ රදළ ස්වාමියාට දක්වන පක්ෂපාතීත්වයට අමතර වෙනත් බොහෝ කුසලතා නොතිබුනොත් එවැනි සේවකයන්ට තරගයේ දී දිය හැකි දායකත්වය අල්ප නිසා ය. ඒ නිසා මැණික් යට ගොසින් ගොම රිටි පමණක් මතු වන නිසා ය. හොඳ හා දක්ෂ මිනිසුන් ආයතනය හැර යන නිසා ය. ආයතනය තුළ රැඳී හිටියත් සිය උපරිමය නොයොදවන නිසා ය. සේවාවේ මට්ටම ඊට අනුරූපව පහළ බසින නිසා ය.

මීට ප්‍රතිපක්ෂව ආයතන ප්‍රධානියා ද නීතියට යටත් වන ආයතන තිබේ. එවැනි ආයතන තුළ පවතින නීතිය ඉදිරියේ කෙනෙකු ලොකු වන්නේ හෝ පොඩි වන්නේ නැත. ආයතනයේ නීති හා ක්‍රමවේදයන් අනුගමනය කිරීමට හැමට සිදු වේ. එවැන්නක් සම්බන්ධයෙන් ව්‍යාතිරේඛයක් ඇති වුව හොත් පාරදෘෂ්‍යභාවය සහතික කරමින් සැමට එය හේතු සමග දන්වනු ලැබේ. අවශ්‍ය යැයි හැගේ නම් ඒ ව්‍යාතිරේඛය ආයතනයේ නීති පද්ධතියට ද ඇතුළු කර ගනු ලැබේ. නින්දගම් වැනි ආයතනවලට ප්‍රතිපක්ෂව මේ ආයතන නවීන හා සංවර්ධිත ආයතන ලෙස හඳුන්වා දිය හැකි ය.

එවැනි සංවර්ධිත ආයතන වල නීති ක්‍රමවේද මෙන්ම උපායමාර්ග පවා ආයතනයේ ආචාර ධර්ම හා ප්‍රතිපත්ති මත පදනම් වේ. එහි යම් පරස්පරයක් තිබේ නම් එය පෙන්වා දීමට ආයතනයේ ඕනෑම කෙනෙකුට අයිතිය ලබා දී තිබේ. මේ නිසා ම ආයතනයේ සේවයකයන් තුළ පමනක් නොව සෙසු ගනුදෙනුකරුවන් තුළ පවා ආයතනය ගැන විශ්වාසයක් තිබේ. දෙන ලද අවස්ථාවක ආයතනය කෙසේ හැසිරේවි ද යන්න පිළිබඳව ඔවුන් තුළ වැටහීමක් තිබේ.

එවැනි විශ්වාසයක් තබා ගත නොහැකි නින්දගම් වැනි ආයතන සමග තරගයේ දී මේ නවීන සංවර්ධිත ආයතන කලින් කී ආයතන පරදවා ඉදිරියෙන් සිටි. ඇතැම් විට වැඩි මිලක් ගෙවා හෝ එවැනි ආයතනයකින් සේවය ලබා ගන්නට පෙළඹෙන මිනිසුන් මේ නිසා ඇති වේ.

මේ හේතුවෙන් ද මීට අමතරව නවීන ආයතන තුළ නීතිය ක්‍රියාත්මක වන නිසා සහ කිසිදු කෙනෙකු නීතිය අභිබවනය නොකරන නිසා දූෂණයට ඉඩ අවම වීම හේතුවෙන් ද ලබන ලාභය ඉහළ ය. ඒ නිසා ම වඩා හොඳින් සේවකයන්ට සළකන්නට ද පාරිභෝගිකයන්ට හා සේවාලාභීන්ට වඩා හොඳ සේවයක් දෙන්නට ද ඔවුන්ට පුළුවන.

මෙසේ නවීන ආයතන ඇති වී නින්දගම් වැනි ආයතන පසු බසින විට වඩ වඩාත් නවීන ආයතනවල ආගමනය ඇති වෙයි. නින්දගම් ආයතනවලට ද තම සුවපහසු අක්‍රමිකතා හැර දමා නවීන ආයතන බවට පත් වීමට සිදු වේ. එසේ නොවන නින්දගම් ආයතන වලට ඉතිහාසයේ කුණු කූඩයට වැටීමට සිදු වේ.

මේ කතාව මෙසේ අවසන් වන්නේ නවීන ආයතන පහළ වුනොත් ය. හැම කෙනෙක්ම නින්ද ගම් පවත්වා ගෙන යන තැනක නින්දගම් වලට දිගටම පැවතිය හැකි ය. ලංකාවේ අභාග්‍යය අප මේ කියන නවීන ආයතන තවම හරි හැටි රට තුළට අවතීර්ණ වී නොතිබීම ය. එවිට සිදු වන්නේ රටක් හැටියට ම අප අභාවයට යෑම ය. මක් නිසා ද යත් අපේ නින්ද ගම් වලට වෙන රටවල නවීන ආයතනය සමග තරගයෙන් පරදින්නට සිදු වන නිසා ය. එහි අවසානය වන්නේ රටක් හැටියටම ඉතිහාසයේ කුණු කූඩයට යෑම ය.

පිටරටකට පැන ගන්නට අදහසක් නැති හැම දෙනෙකුම මේ නවීන ආයතන රට තුළ ස්ථපිත කිරීමට කැප විය යුතු වන්නේ ඒ නිසා ය.