මිලදී ගැනීමේදී අපි වැටෙන බොරු වලවල්


මිල වැඩි ද? එහෙනම් හොද වෙන්නට ඕනෑ

යම් දෙයක් මිලට ගැනීමේ දී අපට ඒ ගැන සියලු තොරතුරු ලබා ගත නොහැකි ය. ලස්සන දවටනයක බහා ඇත්නම් එහි මිල වැඩි නම් එහි අන්තර්ගතය හොද යැයි අපි සිතමු. එය කෙනෙකු ලස්සන නම් ඔහු ගුණවන්ත යැයි සිතනවා වැනි ය. නිගමනයකට බැසීම සදහා වෙනයම් නිර්යායකයක් නොමැති වූ විට තිබෙන කිසියම් හෝ නිර්ණායකය එල්ලීමට අපට සිදු වේ.

එයා අපට කළේ උදව්වක්. ඔහුට හෝ ඇයට ප්‍රති උදව්වක් කළ යුතු ය.

මෙය යහපත් මිනිසෙකුගේ සිතිවිල්ලක් බව හැබෑ ය. එහෙත් සුපිරි වෙළද සැලක ඔබ වෙත නොමිලේ පිරිනමන බැදපු ඇල කැබැල්ලක් නිසා වැඩි මිලට බැදපු අල පාර්සලයක්ම ගැනීමට එය ඔබ පොළඹවන්නේ නම් එතැන ගැටළුවක් තිබේ. එහෙත් අපි අල කැබැල්ල රස බැලීමට පෙළඹෙන අතරේම ප්‍රති උපකාරයක් ලෙස අල පාර්සලයම ගැනීමට පෙළඹෙමු. වැරැද්ද කාගේ ද?

සේල්! සේල්! සේල්!

වචනය ඇසූ පමණින් අපට දැනෙන්නේ වාසියක් එතැන තිබෙන බව ය. එහෙත් බොහෝ අවස්ථාවල අපට සිදුවන්නේ අමාරුවේ වැටීමට ය. එක්කෝ වෙනදාටත් වඩා වැඩි මිලක් ගෙවන්නට ය. එහෙමත් නැතිනම් විකුණන්නට අපහසු බඩුවක් විකුණා ගන්නට දායක වීමට ය.

අහවල් දින තෙක් පමණයි! අද පමණයි!

ලොකු ලාභයක් ලැබීමට ඇති අවස්ථාව මග හැරිය යුතු ද? අවශ්‍යම නොවුනත් කවදා හෝ අවශ්‍ය වන්නට ඉඩ තිබෙන යමක් මෙසේ මිලට ගෙන තබා ගත යුතු ද? එහෙත් මේ අවසාන නිවේදනයට යටවන අය බොහෝ ය.

සීනි අද රු 80 ට!

සීනි නම් රු 80 ය. කෙනෙකු සීනි ගන්නට පමණක් කඩේකට යන්නේ නැත. සීනි 80 ට ගන්නා ඔහු තව රුපියල් දෙතුන් දාහක බඩු ද ගනී. ඒවාත් ලාභ ද නැත් ද යන්න සොයා බැලීමක් ඔහු නොකරයි. ලාභෙට ලැබුනු සීනිවලින් ඔහු තෘප්තිමත් ය.

තොග ඩිස්කවුන්ට් වලට අසු වීම

අපට ගන්නට අවශ්‍ය වන්නේ එකකි. එහෙත් තුනක් ගත්තොත් එකක් වැඩි පුර ලැබේ. ගනුදෙනුව නරකම නැත. එහෙත් අප ඊට යටත් විය යුතු ද? එකක් වෙනුවට හතරක්! කල් ඉකුත් වන ද්‍රව්‍යයක් නම් අපි අමාරුවේ ය. එක්කෝ අධික පරිභෝජනයට අප හසුවීමට ද නැතිනම් එය තෑග්ගක් බවට පරිවර්තනය කිරීමට ද එසේත් නැතිනම් කුණු බක්කියට තල්ලු කිරීමට ද අවසානයේ සිදු වෙයි.

හෙට ඕනෑකමත් ආවරණය වන්නට අද මිලට ගැනීම

යමක අඩි දෙකක් අද අප කරන්නට යන වැඩේට ඇති ය. එහෙත් අඩි දෙකක් ගන්නවාට වඩා සම්පූර්ණ දිග ගැනීම ලාභ ය. හෙට ඕනෑකමකට ඉතිරි කර ගත හැකි නිසා සම්පූර්ණ දිගම මිලට ගැනීමට අපි පෙළඹෙමු. එය ගබඩා කිරීමට ඉඩ අවශ්‍ය වේ. එය නැවත සොයා ගත හැකි පරිදි පෙනෙන ලෙස තැබිමේ අභියෝගයට මුහුණ දෙන්නට සිදු වේ. පසු දවසක එය සොයන්නට යන වෙහෙස එය නැවත මිලදී ගැනීමට යන වෙහෙසට වඩා වැඩි වන්නට ඉඩ තිබේ. මිලදී ගන්නා වෙලාවේ අපට ඒවා මතක් නොවේ.

ඉහත සදහන් එක ද කාරණයක වත් වාසියක් නැතැයි මෙයින් අදහස් නොවේ. එහෙත් ඒ හැම තැනම වැරදි තීරණයකට බැසීමේ ඉඩක් ඇතැයි මතක තබා ගැනීමෙන් ඔබටත් ඔබේ ආයතනයටත් සම්පත් ඉතිරි කර ගත හැකි ය.

තීරණ ගැනීමේදී අප වැටෙන බොරුවලවල්


වැඩි දෙනෙක් හිතන්නෙ එහෙමයි. ඒ කියන්නෙ ඒක හරි වෙන්නට ඕනෑ.

අප පුරුදුව ඇත්තේ එසේ සිතීමට ය. එසේ වුව ද වැඩි දෙනෙක් හිතන නිසා යමක් නිවැරදි වන්නේ නැත. අපට මොළයක් දී තිබෙන්නේ අපට හිතන්නට ය. වැඩි දෙනෙක් හිතන දේ දෙස බලා තීරණ ගන්නේ නම් එවැනි මොළයක් අපට ඇත්තේ කුමකට ද?

එයා ටිකක් මං වගේ. එයා හරි හොද කෙනෙක් වෙන්නට ඕනෑ.

අප අප වගේ අයට කැමති ය. එහෙත් ඔවුන් එක් විදිහකින් අපට සමාන වූ පලියට අන් සියලු විදිවලින් අපට සමාන යයි සිතීම වැරදි ය.

එයා කැමතියි තිස්ස අබේසේකරගෙ චිත්‍රපටි වලට. මාත් හරියට අගය කරන චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක් තිස්ස අබේසේකර. එයා කියපු අනිත් අදහසුත් මං හිතන්නෙ ගොඩක් නිවැරදි යි.

කෙනෙකුගේ එක් අගය කිරීමක් නිවැරදි වූ පලියට ඔහු අගය කරන සියලු දේ යහපත් යැයි ගත හැකි ද? එසේ සිතන්නේ ඇයි දැයි ගැටළුවක් වුව ද අප සිතන්නේ එසේ ය.එක් අදහසක් නිවැරදි වීම මත අනිත් සියලු අදහස් නිවැරදි යැයි ගත නොහැකි ය. එක් ප්‍රශ්නයක දී නිවැරදි අස්ථානයක් ගන්නා අයෙක් තව ප්‍රශ්නයක දී ඉතාම දුර්වල අස්ථානයක් ගන්නට පුලුවන.

මං අහල තියෙන්නෙ වැඩිම අනුහස් තියෙන්නෙ කන්දෙ දේවාලෙ කියල. මං හිතන්නෙ ලංකාවෙ වැඩි දෙනෙක් එහෙම තමයි විශ්වාස කරනව ඇත්තේ.

මා අසා තිබෙන්නේ මට මුණ ගැහුණු අයගේ කතා ය. කන්දෙ විහාරය කියන්නේ හොර ගුහාවක් යැයි කියන අය ද සිටිති. ඒ බව මා ඇසුවේ පසු කාලෙක ය. එහෙත් ඒ වනවිටත් මා සිතා සිටියේ බොහෝ දෙනෙකු එසේ විශ්වාස කරන බව ය. මට මුණ ගැසෙන අය වැඩි දෙනෙක් කියූ පමණින් එය බහුතරයේ මතය යැයි මට නිගමනයකට එළඹීමට හැක්කේ කවර පදනමක් මත ද?

ඊයේ පෙරේදාත් මං දැක්ක මිනිහ රෑ වෙනකම් ඉන්නව. කැප වෙල වැඩ කරන මිනිහෙක්.

අපට වඩාත් මතක තිබෙන්නේ මෑතක සිදු වූ දේ ය. ඒ නිසාම අප ගන්නා තීන්දු සියලු තොරතුරු මත නොව මෑත තොරතුරු මත පදකම් වේ. එය යථාර්තයම නොවිය හැකි ය.

මිනිහ හත හමාරට ඉස්සෙල්ල ඔෆිස් එකේ. කලට වෙලාවට වැඩ කරන මිනිහෙක්.

අපට සන්දර්භය විමසන්නට අමතක වේ. සමහර විට ඔහු හත හමාර වන විට කාර්යාලයේ පෙනී සිටින්නේ දරුවා පසාලට ඇරලීමෙන් පසු කරන්නට යමක් නැති නිසා ය.

මේ නිසා අප ගත් තීරණ දෙස අපටම විචාරාත්මකව බැලිය හැකි නම් හොද ය. නැතහොත් වෙන්නේ හරි යැයි හිතාගෙන වැරදි තීරණ ගැනීම ය. අමාරුවේ වැටීම ය.

ප්‍රතිවිරුද්ධ දිසාවට වැඩ කරන අපේ මනස නොහොත් අකමැත්ත කැමැත්ත කිරීම


අප කැමති අයට උදව් කිරීමට අපි නොපැකිලෙන්නෙමු. හේතුව පැහැදිලි ය. එහෙත් ඒ තරමටම පැහැදිලි නැති දෙයක් ද අපට සිදු වේ. ඒ එහි ප්‍රතිවිරුද්ධ දෙයයි. ඒ අප උදව් කරන අයට අප තුළ කැමැත්තක් ඇති වීම ය.

මේ බව ලෝකයට මුලින්ම කීවේ බෙන්ජමින් ෆ්රූන්ක්ලින් ය. ඔහු සමග නොහොදව සිටි කෙනෙකුගෙන් බොහෝ බැගෑපත් වී කුඩා උදව්වක් ගෙන ඔහු තමන්ගේ මිතුරෙකු බවට පත් කර ගැනීමට බෙන්ජමින්ට හැකි විය.

මෙසේ අප මනස එක් පැත්තකට නොව දෙපැත්තටම වැඩ කරන්නේ මනසේ ආතතිය ඉහිල් කර ගැනීම සඳහා ය. අමනාප වී සිටින කෙනෙකුට උදව්වක් කිරීමට මනසට අපහසු ය. ඉදින් උදව්වක් කරන්නේ නම් අමනාපය තවදුරටත් තබා ගැනීමට ඊට බැරි ය.

අප දන්නා තවත් දෙයක් නම් අපේ මනස විසින් චර්යාව සකසන බව ය. එහෙත් මෙහි ප්‍රතිවිරුද්ධ දෙය ද ඒ තරමටම නැත්නම් ඊටත් වඩා සත්‍ය ය. එනම් අපේ චර්යාව විසින් අපේ මනස සකස් කරන බව ය.

අප සන්සුන්ව ඇවිදින්නට මෙන්ම සන්සුන්ව කතා කරන්නට පුරුදු වන්නේ නම් මනස ඉබේම සන්සුන් කර ගත හැකි ය.

අප යමක් අකමැත්තෙන් වුව කරන්නේ නම් ටික කලකින් එයට අප තුළ කැමැත්තක් ඇති වනුයේ ඒ අනුව ය. ව්‍යායාම ආරම්භ කරන කෙනෙකුට දින 21 ක් එක දිගට අමාරුවෙන් වුව එවැන්නක යෙදෙන ලෙස උපදෙස් ලැබෙන්නේ මේ නිසා ය.

අප දිගින් දිගට කරන දෙයකට අකමැති වීමට අපට අපහසු ය. එසේ කළ හොත් මනසට ඇතිවන්නේ ආතතියකි. මනස එය එක් විදිහකට බැරිනම් අනෙත් විදිහකට ඉහිල් කර ගැනීමට මගක් සොයයි.

බලාහාත්කාරය කලක දී ස්වයං විනයක් හදන්නේ එසේ ය. පාසලට වේවැල් කෝටු නාරන් සියඹලා අතු ආවේ ඒ අනුව ය. කල්වේලා ඇතිව පාසල් ඒමට එය උපකාරී විය. ටික කලකින් කෝටුවේ අනුහසක් නැතිවම පාසලට කල් වේලා ඇතිව පැමිණීමට අපට හුරු විය.

කෝටුව දෙස වෛරයෙන් බැලූ අය ද පසු කලෙක වැඩිවියට පත්ව ඒ දෙස දයාබරිත බැල්මක් හෙලන්නේ ඒ නිසා ය.

අකමැත්ත කැමැත්ත බවට පෙරලීම කළමනාකරුවෙකුට නිරන්තරයෙන් මුහුණ දෙන්නට සිදුවන අභියෝගයකි. අප ඉහත සඳහන් කළ නියාම දෙකම ඊට අවශ්‍ය න්‍යායාත්මක පදනම සපයයි.

අපේ මනස වැඩ කරන හැටි අප තේරුම් ගත් විට අපට අප වටා සිටින මිනිසුන් කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කළ හැකි ය. එපමණක් නොවේ. බාහිර බලපෑම්වලට යටත් නොවී සිටීමටත් එයින් අපට අනුපමේය ශක්තියක් ලැබේ.

කළමනාකරුවන් මනෝ විද්‍යාව උගත යුතු යැයි අප වරින් වර නැවත නැවතත් මතක් කරන්නේ ඒ නිසා ය.

සංස්කෘතිය හා සම්ප්‍රදාය ගැන කළමනාකරුගේ දැක්ම කවරක් විය යුතු ද?


මිනිස්සු මුලින්ම ගස් ගල් වලට වැන්ද. හිරුට සදුට වැන්ද. වැස්ස වලාහක දෙවියන් වැස්ස ගේනවයි කියල හිතුව. නියගෙන් පොළොව වේලිලා යනකොට වැස්ස වලාහක දෙවියන්ට කන්නලව් කළා.

ආදි මුතුන් මිත්තො මළගිය අය විශේෂයෙන් ජීවත්ව සිටිය දි වීර වැඩ කරපු අය දෙවියන් බවට පත්වෙන බව විශ්වාස කළා. මින්නේරිය වැව කරපු මහසෙන් රජතුමාත් දෙවියෙක් හැටියට අදටත් පොළොන්නරුව පැත්තේ බොහෝ මිනිසුන් විශ්වාස කරනව. ඒ විතරක් නෙවෙයි මේ දෙවියන්ට පුජෝපහාර පවත්වන්නත් මිනිස්සු කටයුතු කරනව.

මේ විශ්වාස මිනිසුන්ට හයියක් ලබා දෙනව. ඒවායෙ ඇත්ත නැත්ත හොයන්න හදන්නෙ නගරෙ ඉන්න පණ්ඩිතයො. ගම්වල මිනිසුන් ඇතත් නැතත් කියල හෝ ඒ කටයුතුවල බොහොම භක්තියෙන් යෙදෙනව.

මේ පූජා මිනිසුන්ට එකතු වෙන්න ඒවගේම තමන්ගෙම නිර්මාණ එලි දක්වන්න හොද අවස්ථාත් වෙනව. තොවිලයක් පවිලයක් කරන තැනක අපූරු ගොක් කොළ නිර්මාණ දකින්න ලැබෙනව වෙස් මුහුණු දකින්න ලැබෙනව. තොවිලෙ ඇතුලෙ යාන් හෑලිත් තියෙනව. ඒව මිනිසුන්ට විනෝදයත් ගේනව. පෙම්වත්තුන්ටත් මේ දවස් එකතු වෙන්න මුකුළු කරන්න කියාපු දවස්.

අලුත් සහල් මංගල්ලෙ දාට මිනිස්සු අලුත් ඇදුම් ඇදල කැවිලි පෙවිලි හදාගෙන ඒකට සහභාගි වෙන්න එනව. ගමේම අය එකට එකතු වෙනව මේ දවස්වල අරෝවක් තිබුන නං තරහ මරහ තිබුණ නම් ඒවා මිනිස්සු අමතක කරනව. එහෙම බැලුවහම මේවයින් සිද්ධවෙන අතුරු වාසි බොහෝමයි.

සමහරුන්ගෙ මනාපෙ තියෙන්නෙ මේව හැමදාටම තියා ගන්න.

ඒත් අලුත් ලෝකෙ වෙනස්කමුත් වෙනව. මීහරක් වෙනුවට ට්‍රැක්ටර් ආපුවහම, මිනිස්සු කරපු වැඩ කරන්න සුනාමි හා භූතයො ආපුවහම, වී වෙනුවට අතුරු බෝග වවන්න පෙළඹවීම් ඇතිවුනහම, සෙල් ෆෝන් එක හරහා ක්‍රිකට් විස්තර අහන්න ගත්තහම මිනිසුන්ට තියෙන අභියෝග වෙනස් වෙනව. ඒත් එක්කම මේ පැරණි විශ්වාස එක්ක කරන ගනුදෙනුව අඩු වෙන්න ඉඩ තියෙනව.

මේව රැක ගන්න ඕන අයට ඒ වෙනුවෙන් අමතර මහන්සියක් එතකොට ගන්න සිද්ධ වෙනව. සමහර විට රූපවාහිනියෙ කමත වගේ වැඩසටහනකට පෙන්නන්න විතරක් මේ ඉතුරු වෙන දවසක් එන්නත් බැරි නෑ.

විශ්වාස සමහරක් බිද වැටෙනව. අලුත් විශ්වාස මතුවෙනව. වැස්ස වලාහක දෙවියන්ට යාඥාකරපු මිනිස්සු කාලගුණ වාර්ථාව බලන්න උත්සුක වෙනව. ඒ කොහොම වුනත් සමහර තැන්වල මේ විශ්වාස රැකිලා තියේවි. හැමදාටම නෙවි.

ගස් ගල් වදින මිනිසුන් දැන් නෑ වගේ, හිරු ට සදු ට වදින මිනිසුන් දැන් අඩු වෙලා වගේ, ඉස්සරහට තව තවත් දේ වෙනස් වේවි. සදාකාලික වෙන්නෙ වෙනස විතරයි කියල කතාවකුත් තියෙනවනෙ.<

ඉහළ උපුටා දක්වා ඇත්තේ මා විසින් වෙනත් අරමුණක් සදහා ලියන ලද රචනාවකින් කොටසකි. මා එය මේ බ්ලොග් අඩවියට රැගෙන ආවේ කළමනාකරුවන්ට මුහුණ දීමට සිදුවන එක් කාරණයක් ගැන විවරණයකට ප්‍රවේශයක් වශයෙනි.

කළමනාකරුවෙක් සංස්කෘතිකයේ සම්ප්‍රදායේ තියෙන සාධනීය දේවල් භාවිතයට ගත යුතු බව එයින් හැගෙනු ඇත්තේ ය. එහෙත් එය කළ යුත්තේ ප්‍රවේශමෙනි.

සම්ප්‍රදාය හා සංස්කෘතිය හැමවිටම සාධනීය නැත. සමහර විශ්වාසයන් මිනිසුන්ට වින කරන බවට ගත හැකි උදාහරණ බොහෝ ය.

සම්ප්‍රදාය සම්බන්ධයෙන් රේඛාව අැඳිය යුත්තේ කවර තැනකින් ද යන්න නිශ්චය කිරීම කල්පනාවෙන් කළ යුතු ය. විශ්වාසයන්හි තාවකාලික බව හා නිශේධනීය/ සාධනීය ලක්ෂණ සැළකිල්ලට ගෙන ප්‍රවේශමෙන් කළ යුතු ය.

සංස්කෘතිය හා සම්ප්‍රදායන් එක් ප්‍රජාවකට සුවිශේෂී නිසාම එක් සම්ප්‍රදායක් තෝරාගැනීමෙන් පිරිසක් අපට ආකර්ෂණය කර ගන්නවා සේම ඒ ප්‍රජාවට අයත් නොවන පිරිසක් ඒ සමගම අපට මග හැරෙන බව ද අප විසින් සිහිතබා ගත යුතු ව තිබේ.