දවසේ ප්‍රශ්නය – ඇසුරු කළ යුත්තේ කුඩා උන් ද මහ උන් ද?


හිරු නිමාවී“ යන බ්ලොග් අඩවියේ පහත සටහන මෙය ලියන්නට නිමිත්තක් විය.

ඔබට යම් අවස්ථාවකදී ඔබ වටා පිරිසක් ගොඩනගා ගැනීමට අවශ්‍ය වූ විටෙක සාමාන්‍ය කුඩා මිනිසුන්ගෙන් පටන්ගන්න. මක් නිසාදයත් ඔවුන්ද ඔබේ මට්ටමේම වන නිසාය.

බැලූ බැල්මට පහසු දේ නම් ඔය කියන එක ය. ඒත් අප කළ යුත්තේ පහසු දෙය ද?

කුඩා මිනිසුන් පිරිසක් ඔබ වටා ගොඩනැගීමෙන් වන්නේ ඔබ ද කුඩා වීම ය. ඔවුන් ඔබ ද කුඩාවට හිතන්නට යොමු කරනවා ඇත.

ඔවුන් ඔවුන්ගේ පටු දැක්මෙන් ඔබව වෙහෙසට පත් කරනවා ඇත. ඔබව අධෛර්යය කරනවා ඇත. ඔබව අකර්ණම්‍ය කරනවා ඇත.

ඒ වෙනුවට ඔබ ඔබට වඩා දැනුමෙන් පොහොසත් මිනිසුන් ඇසුරට යොමු වේ නම් ඔවුන් ඔබ දැනුමෙන් පොහොසත් කරනවා ඇත. ඔබ ඔබට වඩා පළල් දැක්මක් ඇති මිනිසුන් ඇසුරු කරනවා නම් ඔබේ දැක්ම ද ඔවුන් පුළුල් කරනවා ඇත. ඔබට වඩා අත්දැකීම් ඇති මිනිසුන් ඔබ ඇසුරු කරන්නේ නම් ඔබට ඉක්මණින් පරිණත වීමට ද පුළුවන.

අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා යයි බුදුන් කීවේ ද මේ කාරණයම ය.

රටින් බැහැරව ගොස් ඇති අය ඇසුරු කළොත් ඔබ රට ගැන තිබෙන සමහර අදහස් වෙනස් කර ගනු ඇත්තේ ය. රට තුළ පමණක් ජීවත්ව ඇති මිනිසුන් ඇසුරු කළොත් මෙවැනි පින්බිමක් ලෝකයේ කොහේවත් නැති බවට සපථ කරමින් ඉතිරි දිවිය සෙසු රටවල් හා සෙසු මිනිසුන් පරිහාසයට පත් කරමින් ඔවුන් සිය සුපුරුදු අලස භාවයෙන්ම ගෙවනු ඇත්තේ ය.

බෞද්ධාගම වෙනුවෙන් අන්ධව කැප වෙන මිනිසුන් බුදු බණ අමතක කිරීම අප රටේ අද පවතින එක් ඛේදවාචකයක් යයි මම සිතමි. මෙය බුදුදහම සම්බන්ධයෙන් පැවසුවේ වුව ද අන් ආගම් සම්බන්ධයෙන් ද මෙහි වැඩි වෙනසක් නැත. වෙනස ඇත්තේ බුද්ධාගමිකයින් වැඩි නිසා ඔවුන්ගේ හිස් සද්ද වැඩිපුර ඇසීම පමණ ය. මා මේ අදහස් කීවේ හිරු නිමාවී බ්ලොග් අඩවිය ගැන නම් නොවේ. පොදුවේ අප කාට කාටත් වී ඇති දෙයක් ගැන ය. ඕපා දුප වලින් තම බ්ලොග් පුරවන බ්ලොග් අඩවියකට වඩා මෙවැනි සංවාදයන් ආරම්භ කරන බ්ලොග් අඩවි අපේ අගැයීමට ලක් විය යුතු ය.

පණ්ඩිතයන්ව ම ඇසුරු කරමු. ඒ සදහා අවශ්‍ය ධෛර්යය ලබා ගනිමු. ඒ සදහා අවශ්‍ය කුසලතා හා ජීවන දැක්ම ද ඇති කර ගනිමු.

අප, අප ගැන පමණට වඩා කුඩාවට හිතීමෙන් බැහැර වෙමු. අප දැනට කුඩා විය හැකි ය. එහෙත් අපට ලොකු වීමේ විශාල ඉඩක් ඇති බව නිතර සිහිකරමු. ඒ සදහා වැඩ කරමු.

පණ්ඩිතයන් ඇසුරු කරනවා මෙන්ම බාලයන් ද බැහැර කළ යුතු ය. මෙයින් අදහස් කරන්නේ සියලු බාලයන් බැහැර කළ යුතු බව නොවේ. බැහැර කළ යුත්තේ බාලයන් ලෙස දිගටම ජීවත්වන්නට ඉටාගෙන ඇති බාලයන් ය.

බඳවා ගැනීම බඳින තරම් පරිස්සමින්….


බඳවා ගත යුත්තේ පළල් ලෝක දැක්මක් ඇති උදවිය ය. පටු පසුගාමී මිනිසුන් නොවේ. එයින් අදහස් කරන්නේ කිසියම් කදවුරකට බැඳී එහි මතවාදය දේව භාෂිතය සේ අදහන මිනිසුන්ගෙන් ආරක්ෂා විය යුතු බව ය. ඔවුන් වෙනස් කළ නොහේ. ඔවුන්ගේ මතවාදය යම්තමින් හෝ අර්බුදයකට පත් කරවන දෙයකට ඔවුහු කන් නොදෙති. ඒ නිසා ම කිසිවක් අලුතින් ඉගෙනීම ඔවුහු ප්‍රතික්ෂේප කරති. බඳවා ගත යුත්තේ විවෘත මිනිසුන් ය. යමක් දෙස එකකට වැඩි කෝණයන්ගෙන් බැලිය හැකි මිනිසුන් ය. තමන්ගේම මතයක් ඇතත් එය අන්ධව නොඅදහන මිනිසුන් ය. එවැනි මිනිසුන් ඉගෙනීමට විවෘත ය. නව අදහස්වලට විවෘත ය. සෙසු අයගේ අදහස්වලට ද ඒවාට එකග නොවෙන විට පවා ගරු කරන්නෝ ය. එවන් අය සමග වැඩ පහසු ය. කණ්ඩායම් හැදීම පහසු ය.

බඳවා ගත යුත්තේ දක්ෂ මිනිසුන් ය. යමක් ඉක්මණින් තේරුම් ගත හැකි මිනිසුන් ය. යමක් දෙස විචාරයෙන් බැලිය හැකි මිනිසුන් ය. බුද්ධිමත් මිනිසුන් ය. එහෙත් බුද්ධිය මැණිම සම්බන්ධයෙන් අධ්‍යාපන සහතික යොදා ගත යුත්තේ පරිස්සමිනි. ගණිතය තර්ක ශාස්ත්‍රය යන විෂයයන් සම්බන්ධයෙන් දක්ෂතා ඇති කෙනෙකු මේ හැකියාව, විශේෂයෙන් න්‍යායික දක්ෂතාවය සම්බන්ධයෙන්, එක්තරා දුරකට පෙන්වයි. සෙසු විෂයන් පිළිබඳ ප්‍රතිඵල සම්බන්ධයෙන් නම් එය එසේම යැයි කිව නොහැකි ය. IQ පරීක්ෂණය මේ සදහා භාවිතා කෙරෙන ප්‍රචලිත ක්‍රමයකි. මීට අමතරව රචනා හා comprehension යන දෙඅංශයෙන් දක්වන දක්ෂතාවයන් ගැන ද අවධානය යොමු කෙරේ. මිනිසුන් කර ඇති වැඩ දෙස බැලීම න්‍යායික නොවන වෙනත්දක්ෂතා අඳුනාගත හැකි වඩා හොද ක්‍රමයකි.

බඳවා ගත යුත්තේ ගැලපෙන ආචාර ධර්ම පද්ධතියක් සහිත මිනිසුන් ය. ආයතනයේ වටිනාකම් හා හර පද්ධතිය සමග පෑහෙන මිනිසුන් ය.

බඳවා ගත යුත්තේ ස්වයංව අභිප්‍රේරණය වන මිනිසුන් ය. බාහිර අභිප්‍රේරණයක් නැතිවත් ඉගෙනීමට, නව දේ කිරීමට, අභියෝග බාර ගැනීමට, අවදානම් දැරීමට, සොයා බැලීමට, විවිධ අත්දැකීම් ලැබීමට කැමති මිනිසුන් ය.

බඳවා ගත යුත්තේ සුභවාදී මිනිසුන්ව ය. සතුටින් සිටින මිනිසුන් ය. සිනාසිය හැකි මිනිසුන් ය. සෙසු අය ද හිනැස්සිය හැකි මිනිසුන් ය. තමන්ටම හිනහවිය හැකි මිනිසුන් ය.

බඳවා ගත යුත්තේ ධෛර්යයවන්ත මිනිසුන් ය. පහසුවෙන් යමක් අත් නොහරින මිනිසුන් ය. නොහැකිලෙන මිනිසුන් ය. බාධක මැද්දේ ඉදිරියට යෑම සතුටක් කර ගත් මිනිසුන් ය.

(මොරටු සරසවියේ ඉංජිනේරු ශිල්පය හැදෑරූ මා දන්නා තරුණයෙකුට ඇමරිකාවේ කානර්ගීමෙලන් යන සුප්‍රසිද්ධ සරසවියෙන් ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් පිරිනැමුවේ ඔහුට සිය අවසන් වසරේ ප්‍රතිඵල ලැබෙන්නත් කලින් ය. එයට එක් හේතුවක් වූයේ ඔහු විසින් වසර දෙකක් තිස්සේ ඔබ්සර්වර් පත්තරයේ ටෙක්නො පිටුව ලියා තිබීම ය. වසර දෙකක් තිස්සේ සතියකට එක බැගින් තාක්ෂණය ගැන පිටුවක් ලිවීම තුළ ඔහු තමන් ඉහත ගුණාංග සහිත බව පෙන්වා තිබුනේ ය. ඔහුට ප්‍රතිඵල ලැබුනු විට දැනගන්නට ලැබුනේ දෙවැනි පන්තියේ සාමාර්ථයක් පමණක් හිමිව තිබූ බව ය. එහෙත් එය හෝ ශිෂ්‍යත්වය දිනා ගැනීමට අවශ්‍යව නොතිබුනේ ය.)

අන් අයගේ උදව් නැතිව වුව ඉදිරියට යා හැකි එහෙත් අවශ්‍ය තැනක අන් අයගේ උදව් ලබා ගැනීමට පසුබට නොවන මිනිසුන් ය. එසේ උදව්ලබා ගෙන ඇති මිනිසුන් ය. එසේ උදව් ලබා ගත හැකි මිනිසුන් ය.

බඳවා ගත යුත්තේ වෙනත් මිනිසුන්ට සංවේදී මිනිසුන් ය. සමහරු සංවේදී මුදල්වලට ය. තව සමහරු භෞතික දේ වලට ය. තවත් සමහරුන්ගේ සංවේදී කම ලේ නෑයින්ගෙන් හිතුවතුන්ගෙන් මිතුරන්ගෙන් අවසන් වේ. එවැනි මිනිසුන් පාරිභෝගික සත්කාරයට යොමු කිරීම අපහසු ය. එවැනි මිනිසුන්ට කණ්ඩායමක වැඩ කිරීම අමාරු ය. එසේ වුවද පමණට වඩා සංවේදී මිනිසුන් ද ආයතනයකට දරා ගැනීමට අපහසුවන අවස්ථා තිබේ. විශේෂයෙන් සමහර තනතුරු සදහා මෙය වඩාත්ම බලපාන්නේ ය. ඕනෑවට වඩා මිනිසුන්ට සංවේදී කළමනාකරුවෙකු මිනිසුන්ට දඩුවම් දිය යුතු අවස්ථාවකදී පවා එසේ නොකර පැකිලිය හැකි ය.

මේ ගුණාංග යම් කෙනෙකු සිය වෘත්තීය ජීවිතයේ කිසියම් ආකාරයකින් යම් කාර්යයක් නිම කිරීම ඔස්සේ ප්‍රකට කර තිබේ නම් එවැන්නෙක් බඳවා ගැනීම ගැන බොහෝ දුරට සිතන්නට ඇවැසි නොවේ.

එහෙත් කිසියම් කෙනෙකු එවැන්නක් යම් වැඩකින් ප්‍රකට කර නැත්නම් එවැන්නෙකු ගැන බොහෝ සෙයින් විමසිලිමත් විය යුතුව තිබේ. ඔවුන්ට කිසියම් කාර්යයක් පවරා ඔවුන් එය කරන්නේ කෙසේදැයි විමසිලිමත් වීමෙන් එවැනි අය ගැන තීන්දු ගැනීම ඉතිරිව ඇති එක් විකල්පයකි. වෙනත් රටවල නම් assessment centers හරහා මෙවැනි විමසීම් සිදු කෙරේ (මා වැඩකරන දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානය එවැනි මධ්‍යස්ථානයක් ලෙස කටයුතු ආරම්භ කර ඇත). ලංකාවේ තවත් එවැනි ආයතන තිබේ නම් ඒවා ගැන තොරතුරු පල කිරීමට මේ බ්ලොග් අඩවිය විවෘත ය. බොරු කාරයන් පසුපසට කර සැබෑ වැඩ කාරයන් මතු කර ගැනීමට ආයතනවලට හැකි වන දාක රටම දියුණු වනු ඇත්තේ ය.

කසාද බැදිම වගේම බදවා ගැනීමත් පරිස්සමෙන්


“ලංකාවේ කසාද බැදිල්ලයි ආයතනයකට බැදිල්ලයි දෙකම එකයි. ඒ නිසා බදවා ගැනීම පරිස්සමෙන්“. මේ විමසිය යුතු කතාවකි.

ආයතනයකට කෙනෙක් බදවා ගත් පසු ඔහු හෝ ඇය ඉවත් කිරීම අපහසු ය. නීතියෙන් නැතත් ඉදිරිපත් වන සමාජමය හේතු නිසා එය අපහසු ය. හරියට කසාද බැන්දහම වගේ ය. බදින එකට වඩා අමාරු දුක්විදින්නට වුනොත් එය ලිහන එක ය. ආයතනයකදී නම් අස්කරන එක ය. ඒ නිසාම බැදීම වගේම බදවා ගැනීම ද පරිස්සමෙන් කළ යුතු ය.

අපේ බදවා ගැනීම්වල දී ඉස්සරහට එන්නේ සහතික ය. ඒ අතරින් අධ්‍යාපන සහතික විශේෂ ය. ප්‍රශ්නය ඇත්තේ සහතික තිබුනාට වැඩ බැරි වීම ය.

ඊලගට එන්නේ චරිත සහතික ය. බොහෝ විට එය ලියන්නේ ද අයිතිකාරයාම ය. කියවා බැලුවහම සෝවාන් නොවී ඇත්තේ පුදුමයකට ය. චරිතය ඒ තරම් හොද ය. ඒ වුනාට කෙරුවාව ඒ අහළකවත් නැත.

තෙවනුව සම්මුඛ පරීක්ෂණයේ දී දකින්නට ලැබෙන චර්යාව ය. වැඩ බැරි අයට කතාව පුලුවන් ය. කතාව බැරි අයට වැඩ පුලුවන් ද කියා දැන ගැනීමේ ක්‍රමයක් නැත. වඩාත් විස්මයජනක එහිදී දෙන පොරොන්දු ය. ඒවා බැලුවහම නොගෙන ඉන්නට බැරි ය. හොදම ගරිල්ලා මාකටින් දැක ගත හැක්කේ තමන්ගේ කථිකත්වය මනාව ප්‍රදර්ශනය කරන මේ සම්මුඛ පරීක්ෂණයේදී ය.

එහෙත් සියල්ල අවසන් වන්නේ නොසිතූ ලෙසට ය. ඒ මුලදී දකින දෙවගන පසු කලෙක රකුසියක් වනු පෙන්වන හීනයකිනි. ඒ මුලදී දකින සාන්තුවරයා අවි දරන දාමරිකයෙකු බවට පෙරලෙන සිහිනයකිනි. මේ නිසා බදවා ගැනීම මානව සම්පත් කළමනාකරුට නපුරු සිහිනයක් බව නොකිව මනා ය.

මෙයින් මිදිය හැකි එක් මගක් වනුයේ අතීත පැටිකිරිය විමසීම ය. අම්මා මුත්තා ගැන නොව පරණ ආයතනවල වැඩ කළ හැටි ගැන විමසීම ය. ඒ ද අපහසු වැඩකි.

එක් ආයතනයක වැඩ කළ නොහැකි වූ කෙනෙකු වෙනත් ආයතනයක හොදින් වැඩ කළ හැකි බැවිනි. ඒ මුල් ආයතනයේ වැඩ කරන වටපිටාවක් නොතිබීමත් දෙවැනි ආයතනයේ එවැන්නක් තිබීමත් නිසා ය. ඒ නිසා මේ ක්‍රමය හරහා හොද වැඩ කාරයින් අසු නොවන්නට පුලුවන. එක් කළමනාකරුවෙකු නරක යැයි බැහැර කරන්නෙක් වෙනත් කළමනාකරුවෙකු අගනා වස්තුවක් සේ ද සැළකිය හැකි බැවිනි.

නිර්දේශය දීමේ දී එය බොහෝවිට අවංක එකක් නොවීමේ ඉඩ ඊට අමතර වශයෙන් තිබේ. සමහරු තමන් යටතේ වැඩ කරන කෙනෙකුගේ නරක කියන්නේ නැත. ඒ අනුකම්පාවට ය. තවත් අය හොද කියන්නේ නැත. ඒ ඉරිසියාවට ය. මිතුරෙකු නම් කියන්නේ එකකි. හතුරෙකු නම් කියන්නේ එකකි. ඒ නිසා මේ විමසීමෙන් ද ලොකු ඵලක් නොලැබේ.

බදින කොට නම් කේන්දරය වත් බලන්නට පුලුවන. මෙහිදී එය නොබලන්නේ ඇයිදැයි කුකුසකි. කේන්දරේ බලලාත් කසාදයන් අර්බුදයන්ට යන නිසා එයින් වැඩක් නැතැයි සිතා ඒ අදහස මානව සම්පත් කළමනාකරුවන් විසින් අත්හැරියා වන්නට පුලුවන.

මෙසේ අසරණ වන මානව සම්පත් කළමනාකරුට කාගේ සරණ ද? ඔබට මේ ගැන අදහසක් තිබේ නම් ලියන්නට මේ ආරාධනාවකි. ඔබ නොලිව්වත් මගේ උත්තරයක් සමග ඊළග සතියේ ඔබ මුණ ගැසෙන්නට අපේක්ෂා කරමි.

අපක්ෂපාතිත්වය අපෙන් අපේක්ෂිත ද?


කළමනාකරුවෙකු අපක්ෂපාති විය යුතු ද? මෙයට බොහෝ දෙනෙකු මුලින්ම දෙන පිළිතුර ඔව් යන්න ය. එහෙත් ඇත්තටම එය එසේ වන්නේ ද? අප එසේ ද? අප එසේ ම විය යුතු ද?

ඡන්දය ලෝභය භය මෝහය පැරදවිය යුතු කාරණා හතරක් ලෙස බුදුදහමේ ද සදහන් ය. එයින් කියවෙන්නේ ද තීරණයක් ගැනීමේ දී මේ සතර අගතියෙන් වියෝව තීන්දුව ගැනීමේ වැදගත්කම ය.

කෙනෙකු බය නිසා ද මෝඩකම නිසා ද ලෝභය නිසා ද තීන්දු නොගත යුතු යැයි කියන විට අපි කුකුසක් නොදක්වා ම එය එසේ වෙතැයි තේරුම් ගනිමු. එහෙත් ඡන්දය සම්බන්ධයෙන් අප ඒ බව පිළිගන්නට සූදානම් ද?

මා සිංහල නිසා සිංහල පාර්ශවයට අමතර ලැදි කමක් දැක්වුව ද බොහෝ සිංහලයන් විසින් එය අගතියක් ලෙස පිළිගන්නා එකක් නැත. තමන්ගේ එකාට නොසළකා කුමන හේතුවක් නිසා අනෙකාට සැළකිය යුතු ද? ඔවුන් නගන ඒ ප්‍රශ්නයට ඔබ සතුව උත්තර තිබේ ද?

අපේ කම දුර්ගුණයක් ද? ඒ ගැන ඔබ කියනු ඇත්තේ කුමක් ද?

එසේ නම් ඡන්දය අගතියක් වන්නේ කෙසේ ද?

අපේකමට පක්ෂපාතී වීම අපෙන් අපේක්ෂිත ද?

බුදුන් දෙසුවේ වැරදි දෙයක් ද?

මගේ ආයතනය තුළ වැඩ කරද්දී මා නම් පක්ෂපාතී වෙමි. ඒ මා සිංහලයෙක් නිසා සිංහලුන්ට නොවේ. ආයතනයේ ප්‍රගතිය පිළිබද වගකීම මා ද සතු නිසා මගේ පක්ෂපාතීත්වය ඇත්තේ වැඩ කරන මිනිසුන්ට ය. ඔවුන්ගෙන් සිදුවන පමාවක් මම ඉවසන්නෙමි. එහෙත් වැඩ නොකරන අය සම්බන්ධයෙන් ඔවුන් මගේ ජාතියට අයත් වුවද මගේ පාසලේ සගයන් වුව ද මගේම ගමේ වුව ද මම ඒ දේ නොකරමි. ඒ නිසා මම අපක්ෂපාතී ලෙස පක්ෂපාතී ය.

මා පක්ෂ වන්නේ යුක්තියට ය.

අපක්ෂපාතිත්වය නැවත නිර්වචනය කළ යුතුව තිබේ. අප වැරදි පදනමක් මත කිසිවෙකුට පක්ෂපාතී විය යුතු නොවේ.

ඊට අමතරව මා වැඩ කරන මිනිසුන් සම්බන්ධයෙන් පක්ෂපාතී වෙතත් කිසියම් අපක්ෂපාතිත්වයක් ද මා විසින් පෙන්නුම් කළ යුතුව තිබේ. ඒ සෙසු අය ද දිනා ගැනීම උදෙසා ය. ඔවුන්ට ද නැවත නිවැරදි වීමට ඉඩක් ඇති කිරීම සදහා ය. ඔවුන් වැඩ කරන්නන් බවට පත් කීරීම උදෙසා ය. ඡන්දයෙන් මා අගතියට නොගොස් ඇති බව පෙන්නුම් කිරීම ද උදෙසා ය.

ඒ නිසා වැරදිකරන වැඩ නොකරන මිනිසුන් සම්බන්ධයෙන් වුව ද මා නීත්‍යානුකූල පියවර ගන්නේ අපක්ෂපාතී පරීක්ෂණයකින් පසුව ය. වැරදි කරන වැඩ නොකරන මිනිසුන් එසේ වන අය බවට විවාදයකින් තොරව ඔප්පු කිරීම සදහා එය අවශ්‍ය ය. වැරදි කරන වැඩ නොකරන අය එයින් මුදවා ගැනීම සදහා ද එය අවශ්‍ය ය.

අපෙන් අපේක්ෂිත අපක්ෂපාතී ලෙස පක්ෂපාතී වීම ලෙස මා තේරුම් ගෙන ඇත්තේ ඒ නිසා ය.