මොකක් හරි කරමු


40063

කතා කර කර ඉඳල හරි යන්නෙ නෑ. අපි දිගටම ඕක නෙ කළේ. දැන්වත් ඉතින් මොකක් හරි කරමු. මේ ප්‍රකාශය ඔබ අසා ඇතුවාට සැක නැත. මේ කලබල කාර සැහැසි ප්‍රකාශය පිටුපස තිබෙන්නේ කිසි දෙයක් සිදු නොවීම පිළිබඳ කළකිරීම ය. කෝපය ය. එය සාධාරණ ය. යුක්ති යුක්ත ය. එහෙත් එයින් සිදු වන වැඩක් නැත.

මොකක් හෝ කිරීමෙන් වැඩක් නැත. කල් අර ගෙන හෝ කළ යුත්තේ හරි දෙය ය. හරි දෙය කුමක් දැයි තේරුම් ගැනීම සඳහා කාලය වෙන් කිරීම අපරාධයක් නොවේ. මක් නිසා ද යත් වැරදි දෙයක් කිරීම නිසා සිදු වන්නේ වැඩය දෙක වීම ය. වැරදි දෙය කිරීම නිසා අත්වන පාඩුවට අමතරව වැරදි දෙය නිවැරදි කිරීමට කාලය ද වැය වීම ය. එහෙත් බොහෝ දෙනෙකුට ඒ සඳහා අවශ්‍ය ඉස්පාසුව නැත.

ඇතැමෙක් මෙසේ ඉක්මන් වන්නේ තමන්ගේ අරමුණ වහා වහා ඉෂ්ඨ කර ගැනීමට වග බලා ගෙන ය. එවන් විටෙක කියන්නේ මොකක් හරි කරමු කියා නොවේ. අහවල් දෙය කරමු කියා ය. දැන් සංවාදයට තිත තබා වැඩට බැසිය යුතු යැයි කියන විට ඔවුන් අදහස් කරන්නේ සෙසු අය තමන් අනුයන වැඩට බැසිය යුතු බව ය. ප්‍රශ්න නොවිමසාම ඒ කියන වැඩයට බැසිය යුතු බව ය.

හදිස්සි කරන්නේ කල් දැමීමේ ආදීනව නිසා යැයි එලිපිට කියතත්  හිතේ ඇත්තේ වෙනත් බලාපොරොත්තුවකි. . මේ ගැන විවෘත සංවාදයකට ගියොත් තීරණය වෙනස් වී වෙනත් අදහසක් මතු ව තමන්ගේ අරමුණු ඉෂ්ඨ කර ගැනීමට බැරි වෙතැයි යන බිය ඒ පිටුපස තිබේ. මේ අයට උදව්වට ඉන්නේ මුකුත් නොකිරීම සම්බන්ධයෙන් කළකිරුණු අය ය. හිතන්නට අකමැති අය ය. කම්මැලි අය ය. හිතන්නට කාලය වෙන් කිරීම අපරාධයක් ලෙස සළකන අය ය. අප ලිපියේ මුලින් සඳහන් කළ අය ය. දෙපිරිස එක් වී දැන් කුමක් හෝ යමක් කරන්නේ ය. සංවාදය අවසන් ය.

වැඩෙන් වැඩක් වී නැති බව දැන ගෙන ඉස්තාලය වහන විට අස්සයා පැන ගිහිල්ලා ය. සංවාදයට ඉඩක් දැන් තිබේ. ඒ වැඩේ වැරදුනේ ඇයි දැයි විමසිම සඳහා ය.

එහෙත් ඒ සම්බන්ධයෙන් ද අනුගමනය කරනු ලබන්නේ අසංවාදශීලී අස්ථානයකි. ඒ වැඩේ වෙලා ඉවරයි. දැන් ඒ ගැන කතා කරල වැඩක් නෑ. ඊළගට කරන දෙයක් බලමු. බැලූ බැල්මට වැඩේ ඇත්ත ය. ඉවර වූ දෙය ගැන කතා කරලා වැඩක් නැත. කළ යුත්තේ ඊළගට ගන්නා පියවර ගැන කතා කිරිම ය.

එහෙත් එය සම්පූර්ණ ඇත්ත නොවේ. මිනිසෙකු මළ විට අප ඔහු / ඇය මිය ගියේ කවර අරියුන්දැයි විනිෂ්චය නොකොට අවසන් කටයුතු කරන්නේ නැත. මිනිහ මලා. දැන් ඉතින් තියෙන්නේ ඉන්න අය ගැන බලා ගැනීම යැයි කියා මරණය නිකම් ම ඉවත දමන්නේ නැත. අප ඉවත දැම්මත් රජය ඉවත දමන්නේ නැත. අපට ඉවත දමන්නට දෙන්නේ ද නැත. ඒ සම්බන්ධයෙන් හේතු විනිෂ්චය කිරීමට මරණ පරික්ෂණයක් පැවැත්වේ. සැකයක් ඇත්නම් නැවත පරික්ෂා කළ හැකි වනු පිණිස මිහිදන් කරනවා මිසක ආදාහනය කරන්නේ නැත. ඒ යම් වැරැද්දක් වුනේ දැයි විමසිමට ය. වැරැද්ද සිදු වූයේ කිසියම් කෙනෙකු හිතාමතා කළ දෙයකින් දැයි විමසීමට ය. ඒ වැරැද්ද නැවත නොවනු පිණිස යමක් කළ හැකි දැයි සොයා බැලීමට ය.

මිනිසෙකු සම්බන්ධයෙන් අප ගනු ලබන ඒ ප්‍රවේශම්කාරී පියවර, අපි ගන්නා තීරණ, ක්‍රියාමාර්ග හෝ ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් අනුගමනය නොකළ යුත්තේ ඇයි? ඒවා සම්බන්ධ සංවාදයන්, දැන් ගිය දේ ගියා කියා, අමතක කර දමන්නේ ඇයි?

සෑම දෙයක් ගැන ම පශ්චාත් පරීක්ෂණයක් කරන්නේ නම් බොහෝ වැරදි නැවත නැවතත් සිදු වීම වැළැක්විය හැකි ය. එහෙත් සිදු නොවන්නේ ද එය ම ය. හේතුව වැරදි නැවැත්විමට එහෙමට වුවමනාවක් නැති වීම ය. වැරදි සිදු වන තරමට ඒ තීන්දු තීරණ ගන්නා අයට වාසි ඇති වීම ය. ලාභ ප්‍රයෝජන තිබීම ය.

එහෙම වාසි ගැන නොබලන අය පවා සංවාදයට ඉඩ විවෘත කරන්නේ නැත. එයට හේතුව තමන් වැරදි යැයි, තම තීන්දු වැරදි යැයි, ලෝකය ඉදිරියේ නිරාවරණය විය හැකිය යන බිය ය. ඒ නිසා ම තමන්ට වෙනස් වීමට බල කෙරෙනු ඇතැයි යන බිය ය. ද්‍රව්‍යම වාසියක් නැතත් එය ද වාසියක් ලෙස සළකතොත් මේ සංවාදයන්ට වැට කඩොලු බැඳීමේ මූලික අභිලාශය වෙන කිසිවක් නොව වාසිම ය.

මේ සියල්ලෙන්  කියවෙන්නේ කුමක් ද? වැඩ පිළිබඳ තිබෙන හදිස්සිය සාධාරණ නොවන බව ය. ඒ තුළ සිදු විය හැකි අනර්ථයන් බොහෝ බව ය.

වැඩ කිරීමට ගත කරන කාලයට සමාන කාලයක් හෝ ඇතැම් විට ඊට වඩා වැඩි කාලයක් කරන වැඩය කුමක් දැයි තීරණය කිරීමට යෙදිය යුතු බව ය. කළ වැඩය විමසීමට යෙදිය යුතු බව ය.

අප සතුන්ගෙන් වෙනස් වන්නේ මේ විමසිමේ නුවණ උන්ට වඩා අපට ඇති නිසා ය. වෙනස් වන ලෝකයක් තුළ මෙසේ විමසීමට කාලයක් වෙන් කිරීම සාමාන්‍ය වේගයෙන් කාලය ගලා යන වකවානුවකට වඩා වැඩියෙන් අවශ්‍ය ය. ඒ අප ගන්නා තීරණ අදට පමණක් නොව අනාගතය තුළ ද සාර්ථක වෙතැයි සහතික කර ගැනීමට ය. ඊයේ අනුගමනය කළ ක්‍රියාමාර්ගය, වෙනස් වන තත්වයන් තුළ, අද අනුගමනය කිරීමෙන් පලක් නොවන්නට ඉඩ ඇති නිසා ය

ලෝකය වෙනස් වන නිසා ම ඉක්මණින් තීරණ ගැනීම අවශ්‍ය යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් වෙනස් වන ලෝක යථාව තුළ අප ගන්නා තීරණ ගැලපේදැයි විමසන්නේ නැති නම් ඒ හදිසියෙන් පලක් නැත. මක්නිසා ද යත් තීරණය ක්‍රියාත්මක කර එහි ඵලය ලැබෙන විට, එය යල් පැන ගොස් තිබිය හැකිය යන සම්භාවිතාවය, කලබලය නිසා, අප විසින් සැළකිල්ලට නොගැනීම හේතුවෙන් ය.

සංවාදයකින් ප්‍රතිඵල ලැබිය හැක්කේ එයට සම්බන්ධ වන අයගේ දැනුම පළල් වූ තරමට ය. ඒ නිසා ම සංවාදය අවශ්‍ය වුව ද පටු දැක්මක් ඇති මිනිසුන් එකතු කර ගෙන එය කිරීමෙන් පලක් නැත. එයින් වන්නේ තීරණය වැරදි වීමට අමතරව එය යුක්ති යුක්ත හේතුවක් ද නැතිව පමා වීම ය.

ඒ නිසා ම ප්‍රයෝජනවත් සංවාදයකින් පසු තීරණයකට එළඹීමට මං විවර කළ යුතු ය. තීරණය ක්‍රියාත්මක වීමෙන්  පසු එය නැවත විමසිය යුතු ය. ඒ පියවර දෙකේදිම සහභාගි වන පිරිස ද පරිස්සමින් තෝරාගත යුතු ය. එසේ නැතිව මොකක් හෝ කිරීමෙන් වැඩක් නැත.

ඇඳීම සහ ඇන්දීම


39645

අඳින ඇඳුම පමණක් නොව ඊට සමගාමීව කරන කොණ්ඩය සැකසීම වැනි බාහිර සැරසිලි ද කෙනෙකු පිළිබඳ ප්‍රකාශනයක් වෙයි. ඔහුගේ ඇයගේ අනන්‍යතාවය එයින් ප්‍රකට වෙයි. ඇතැම් විටක ඔහුගේ ඇයගේ හර පද්ධතිය ද එයින් විද්‍යාමාන වෙයි. කෙනෙකු කැමති චාම් හා සරල ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමට ය. තව කෙනෙකු කැමති කැපී පෙනෙන ප්‍රකාශනයක් කිරීමට ය. එපමණක් නොවේ. එක් එක් අවස්ථාවට අප තෝරා ගන්නා ප්‍රකාශනය ද වෙනස් වෙයි. ගෙදරට එකක් ද කාර්යාලයට එකක් ද මගුල් ගෙදරට එකක් ද මළ ගෙදරට එකක් ද ක්‍රිඩා හෝ ව්‍යායාම කිරීමේ දී තව එකක් ද හවසක විවේක සුවයෙන් සක්මනේ යෙදීමට තව එකක් ද වශයෙන් මෙය විවිධ ආකාරයන් ගන්නේ ය. උදයේ අඳින ඇඳුම වර්ණයෙන් හවසක අඳින ඇඳුමට වෙනස් වෙන්නේ ය. අඳින ඇඳුමට අදාළව සෙසු සැරසිලි නිම විය යුතු ය. නැත්නම් එල හරකා හා මි හරකා එකට බඳින කරත්තයක් සේ දිස් වන බැවිනි.

මේ සංකීර්ණතා නිසා ම බොහෝ දෙනෙකු ඇඳුම හා සැරසිලි තෝරා ගැනීම සම්බන්ධයෙන් පරිස්සම් වෙති. එහෙත් ඇතැම් අය ඒ සම්බන්ධයෙන් සැළකිලිමත් වන්නේ නැත.

“කබාය ඉරිලා ඊට කමක් නැහැ කවුරු බලන්න ද කවුරු දකින්න ද මා දැන් මහළු වියේ“ කියන ගීතයෙන් කියවෙන්නේ මේ ප්‍රකාශනය අත් හැරියෙකුගේ කතාව ය. ඒත් ඇතැම් අය තරුණ වියේ ම මේ ප්‍රකාශනය අත් හරින්නෝ ය (මහළු විය ප්‍රකාශනය අත් හැරීමට ඉඩ හසර සලසනවා යැයි මින් කිසිසේත් අදහස් නොවේ).

ඔවුන් ඉදිරිපත් කරන තර්කයන් බැලූ බැල්මට සාධාරණ ය. ඇඳුමකට ඔය හැටි අගයක් දෙන්නේ මන් ද? වඩා වැදගත් ඇතුළතින් සකස් වීම නොවේ ද? බාහිර ආටෝපයකින් මිනිසුන් රවටන්නේ මන් ද? එවැන්නකට අප රැවටිය යුත්තේ මන් ද?

එහෙත් ඔවුන් නොදන්නා දෙය නම් තාර්කික මොළය කෙසේ වෙතත් අපේ අවිඥානය අපට ද හොරා මේ බාහිර ප්‍රකාශනයට ප්‍රතිචාර දක්වන බව ය. සුන්දර දසුනකට අපේ හිත ඇදී යන්නේ නිතැතිනි. ප්‍රකාශනය සුන්දර නම් ඇතුළත ද සුන්දර යැයි අපි හගිමු. මෙය මනෝ විද්‍යාවේ අගතියක් ලෙස දක්වා ඇති බව ඇත්ත ය. එහෙත් වඩාත් දැඩිව සැළකිය යුතු ඇත්ත වන්නේ අප ඊට අපට ද හොරා යටත් වෙන බව ය.

මහත්මා ගාන්ධි ඇන්දේ චාම් ඇඳුම් ය. ඒ මහත්මා ගාන්ධි කවුරුන් දැයි මිනිසුන් දැන සිටි නිසා ය. එවැනි ශ්‍රේෂ්ඨ චරිතයකට මිනිසුන් දිනා ගැනීමට අමතරෙන් රෙදි පෙරවිය යුතු නැත. එහෙත් ඔබටත් මටත් එවැනි පෘතුළ ජනප්‍රියතාවයක් නැති නිසා අප එසේ සරල වන්නට ගොස් අමාරුවේ නොවැටිය යුතු ය.

දේශපාලනඥයන් සුදු අඳින්නේත්, යුද හමුදා භටයන් හා පොලීසියේ නිලධාරීන් පදක්කම් සහිත නිල ඇඳුම් අඳින්නේත්, අප වසගයට ගන්නා ප්‍රකාශනයන් ලෙස ය. එය පෙරලා ඔවුන් ව ම ද වසගයට ගන්නා අතරේ ය.

අප මනා ලෙස ඇඳ පැළඳ සිටීමෙන් බාහිර අයගෙන් යහපත් ප්‍රතිචාරයක් හා සැළකිල්ලක් ලබනවා පමණක් නොවේ. අප තුළ ද අප පිළිබඳ වැඩි විශ්වාසයක් එයින් ගොඩ නැගෙන බව වටහා ගත යුතු ය.

එහෙත් එය අනවශ්‍ය ලෙස කිරීමෙන් වැළකීමට ද අප ප්‍රවේසම් විය යුතු ය. එතකොට සිදු වන්නේ පියරු බබෙක් වීමට ය. වෙසක් කූඩුවක් වීම ය.

ඇතැම් අයට ආත්ම විශ්වාසය ගොඩ නගා ගැනීමට එවැනි බාහිර උත්තේජනයක් අවශ්‍ය නොවනවා වෙන්නට පුළුවන. එහෙත් එවැනි අයට ද වඩා සාධනීය විශ්වාසයක් ඇතැම් විට ඔවුන්ට ද හොරා මනා ලෙස ඇඳ සැරසුණු විට ඇති වීම ස්වභාවික ය. ඒ නිසා අප මේ ඇඳීමෙන් කිසිවෙකු රවටන්නේ නම් රවටන්නේ අනුන්ව ව පමණක් නොවේ. අපි අප ව ද රවටා ගමු.

රැවටීම සඳහා භාවිතා කරන අන්වර්ථ පදයක් බවට ඇඳිම හා ඇඳ ගැනීම පත්ව ඇත්තේ ඒ නිසා විය යුතු ය. “අලුතෙන් අන්දන්න දෙයක් නෑ. මිනිහ ඇඳල ඉන්නෙ“ යයි කියන්නේ ඒ නිසා ය.

මේ රැවටීම සැළකිය යුත්තේ සම්‍යයක් රැවටීමක් ලෙස ය. අප කියන දෙය දෙස මිනිසුන් අවධානය යොමුකරන්නේ අප මුලින් ඔවුන්ගේ අවධානය දිනා ගත හොත් පමණ ය. ඒ සඳහා අප ඇඳ ගත යුතු ය. සැරසිය යුතු ය. ඒ සැරසිල්ලට සිනහව ද විශ්වාසවන්ත භාවය පල කරන ශාරීරික ඉරියවු ද අයත් ය. එයින් කියන්නේ සැරසිල්ල ඇඳුමෙන් කොණ්ඩෙන් එහාට යන බව ය. ඊට අමතරව සිනහව හා විශ්වාසවන්ත භාවය ඇති කරන ඉරියවු, වඩා තීව්‍ර ලෙස ප්‍රකාශයට පත් කිරීමට, ඇඳුමෙන් හා වෙනත් භෞතික සැරසිලිවලින් ද උත්තේජනයක් අපට ඇති වන බව ය. ඒ නිසා ම අප ඇඳලා සිටිය යුතු බව ය. ඇඳ ගත යුතු බව ය.

රැවටීමක් සිදු වන බව දන්නා නිසා ම අප ඇඳුමට සියල්ල තීරණය කිරීමට ඉඩ නොදිය යුතු ය. ඒ ඇඳුම පිටුපස ඉන්නා පුද්ගලයාගේ සැබෑ රුව අඳුනා ගත යුතු ය.

දේශපාලනඥයාගේ සුදු පිරුවට අස්සේ ද, භික්ෂුවකගේ කසාවත් සිවුර අස්සේ ද, මනා ලෙස ඇඳ පැළඳ ගෙන සිටින අලෙවිකරුවාගේ ටයි පටිය අස්සේ ද සැබෑ ලෙස සිටින්නේ කවුදැයි සොයා ගැනීමට ඔබ උත්සහ කළ යුතු ය.

අනිත් අතට අප තේරුම් ගත යුතු කාරණය වන්නේ අප අඳින ඇඳුම අපට ප්‍රවේශයක් සළසනවා විනා අප ව ද දිගු ගමනක් ගෙන නොයන බව ය. එයින් වෙනත් ලෙසකින් කියන්නේ ඇඳුමෙන් සියල්ල ජය ගත නොහැකි බව ය. අප දක්ෂ නොවෙතොත් අප ළග අවශ්‍ය අන් සියල්ල නැති වුව හොත් නොබෝ වේලාවකින් අපව නිරුවත් වන්නේ ය. දැක්ක ද “මිනිහගෙ රෙදි ගැලවුනා“ යැයි මිනිසුන් කියන තත්වයට නොවැටීමට අප ප්‍රවේසම් විය යුතු ය.

ඒ නිසා ඇඳ ගෙන සිටියාට මදි ය. ඉතිරි සියලු කාරණාවලින් ද සන්නද්ධව සිටිය යුතු ය. සූදානම් ශරීරය ඇති ව සිටිය යුතු ය. නගන ප්‍රශ්නයන්ට උත්තර දීමේ සමත්ව සිටිය යුතු ය. සැක සංකා මතු කළ විට ඒවාට නොපැකිළ උත්තර දීමට සූදානම් ව සිටිය යුතු ය.

ඇඳුම අවශ්‍ය ය. එසේ වුව ද ඇඳුමින් පමණක් සියල්ල කර ගත හැකි යැයි සිතන අය, ඇඳුම නොවැදගත් යැයි සිතන අය තරමට ම, අමාරුවේ වැටිය හැකිය යන අවබෝධය අපට තිබිය යුතු ය.

පළමුවෙනියා සහ අන්තිමයා


39192

අප අසා ඇති ජනප්‍රිය කතාවක් තිබේ. ඒ පන්තියේ පළමුවැනියා රැකියාවක් කර එදා වේල සරි කර ගනිද්දී අන්තිමයා දේශපාලකයෙකු වී යෙහෙන් වැජඹෙන බව ය. ඊට අමතරව අන්තිමයා පළමුවැන්නාව -රැකියාව කරන තැනැත්තාව- පාලනය කරන බව ය. ඔහුට නියෝග දෙන බව ය. කළ යුතු නො කළ යුතු දේ ගැන උපදෙස් දෙන බව ය.

කතාව ඇත්ත ය. වැරැද්දක් ඇත්නම් ඒ කාගේදැයි කවුරුවත් කියන්නේ නැත. කියන්නට දන්නා කෙනෙක් ද නැත.

දේශපාලනඥයා වෙනුවට ව්‍යාපාරිකයෙකු ආදේශ කොට මේ කතාව නැවත ලිවිය හැකි ය. ඒ කතාවේ පන්තියේ අන්තිමයා ව්‍යාපාරිකයෙකු වී පන්තියේ පළමුවැනියාව කුලියට වැඩට ගන්නේ ය. එය ද ඇත්ත ය. දේශපාලනය ද ව්‍යාපාරයකි. අවදානම් ගත යුතු ව්‍යාපාරයකි. ඒ නිසාම මේ දෙකම එක ගොඩට දමා ඔවුන් ව්‍යාපාරිකයන් ලෙස පොදුවේ හඳුන්වා මේ කතිකාව කර ගෙන යමු.

අප සඳහන් කළ කතාවේ දැක්වූ පරිදි ම ව්‍යාපාරිකයෙක් වීමත් විධිමත් අධ්‍යාපනයත් අතර සම්බන්ධයක් නැත. තිබේ නම් එය ඍණාත්මක සම්බන්ධයකි. අප එසේ කියන්නේ, කතාව පැත්තකින් තබා සංඛ්‍යාලේඛන පිරික්සුව ද, දක්ෂ ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙකු ඉහළට විධිමත් අධ්‍යාපනයක් ලැබූ අය නොවෙන බවත් එසේ අධ්‍යාපනය ලැබූවන් අතර ව්‍යාපාරිකයන් අවම බවත් පෙනී යන නිසා ය.

ඉහත කී තත්වයට හේතු විමසිය යුතු ය.

ව්‍යාපාරිකයෙකු වීමට අවදානම් ගත යුතු ය. ඒ කියන්නේ ඔහු අසාර්ථක වීමට ඉඩ ඇති දේට ද අත ගැසිය යුතු බව ය. අවදානම වැඩි වන තරමට ප්‍රතිලාභය ද වැඩි වන බව ව්‍යාපාර ලෝකය ගැන දන්නා බොහෝ අය දනිති. එයින් කියවෙන්නේ වැඩි ලාභයක් ගත හැක්කේ අසාර්ථක වීමට වඩාත් ඉඩ ඇති ආයෝජන වලින් බව ය.

එ් කියන්නේ අසාර්ථක වීමට බිය කෙනෙකුට හෝ අකමැති කෙනෙකුට හොඳ ලාභ ලබන ව්‍යාපාරිකයෙකු වීමට බැරි බව ය (එහෙම කෙනෙකුට දේශපාලනඥයෙකු හෝ රටක නායකයෙකු වීමට ද නොහැකි ය).

විධිමත් අධ්‍යාපනය තුළ අසාර්ථක වීමකට ඉඩක් නැත. අවුල ඇත්තේ එතැන ය. ඒ තුළ ඉහළට යන්නේ ෆේල් නොවන අය ය. අසාර්ථක නොවන අය ය. මේ තුළ ගොඩ නැගෙන්නේ ම අත් හැරීමට අමාරු අභිමානයකි. අසාර්ථක වීමට අකමැති අභිමානය කි. මේ අභිමානය පැත්තකින් තබන්නේ නැතිව ව්‍යාපාරයක් ආරම්භ කළ නොහැකි ය. පවත්වා ගෙන යා නොහැකි ය.

විධිමත් අධ්‍යාපනය තුළ සිසුන් යොමු කරන්නේ වැරදි නොකර කිරීමට ය. ව්‍යාපාරයක් එසේ දියත් කළ නොහැකි ය. ඒ තුළ ඉගෙන ගන්නේ වැරදි කරමින් ය. ඒ වැරදි ඉක්මණින් හදා ගනිමින් ය. එම දැනුම ලබා ගත යුත්තේ කලාවක් ප්‍රගුණ කරන ආකාරයෙන් එහි නිරත වීමෙනි. විද්‍යාවක් ලෙස හැදෑරීමෙන් නොවේ.

විධිමත් අධ්‍යාපනය තුළ න්‍යායික දැනුමට තැනක් ලැබෙන අතර ව්‍යාපාරික ලෝකයේ වඩාත් අවශ්‍ය ප්‍රායෝගික දැනුම ය.

විධිමත් අධ්‍යාපනයේ දී මෙන් ම ව්‍යාපාරික ලෝකයේ දී ද ජය ගැනීමට නම් බුද්ධිය අවශ්‍ය ය. මෝඩයෙකුට ඒ ක්ෂේත්‍ර දෙක තුළම ඉඩක් නැත. එහෙත් ඒ ක්ෂේත්‍ර දෙක සඳහා අවශ්‍ය වන්නේ දෙආකාරයක බුද්ධියකි. විධිමත් අධ්‍යාපනයකට අවශ්‍ය විශ්ලේෂණාත්මක බුද්ධිය යි. කුඩා කැබලි වලට කඩා ඒ එක් එක් කෑල්ල වෙන වෙනම ගෙන ගැඹුරින් විමසා බැලීමේ බුද්ධියයි. ව්‍යාපාරික ලෝකයට අවශ්‍ය සංශ්ලේෂණාත්මක බුද්ධියයි. නොගැලපෙන දේ පවා එකතු කර නව දෙයක් නිර්මාණය කිරීමේ බුද්ධිය යි.

විශ්ලේෂණාත්මක බුද්ධිය ගනුදෙනු කරන්නේ කරුණු සංඛ්‍යාලේඛන සමග ය. තර්ක විතර්ක සමග ය. එය වෙහෙසෙන්නේ ඉහත කි කරුණු සංඛ්‍යාලේඛන හා තර්ක විතර්ක යන දෙක නිසි පිළිවෙලකට ගොනු කොට ගොඩ  නගන නිශ්චිත නිගමන සෙවිමේ ය.

සංශ්ලේෂණාත්මක බුද්ධිය ගනුදෙනු කරන්නේ යථා ලෝකයේ තිබෙන දේ සමග ය. ඒවා විවිධ ආකාරයන්ගෙන් සංකලණය කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල සෙවීමට එය වෙහෙසෙන්නේ ය. තර්ක විතර්ක හරහා නිශ්චිත එක් නිගමනයකට පැමිණෙනවා වෙනුවට හැකි තාක් විකල්ප නිර්මාණය කිරීමට එය කටයුතු කරන්නේ ය. විකල්ප අතරින් වඩාත් සුදුසු විකල්පය තෝරා ගැනීමේ දී වැඩි බරක් යොදන්නේ උප විඥානයට ය. ඒ කියන්නේ කිරා බැලීමෙන් පසු වඩා සුදුසු දෙය තෝරා ගැනීමට වඩා හැඟෙන දැනෙන දේ අනුව තෝරා ගත යුතු විකල්පය ගැන තීන්දු ගන්නා බව ය.

මෙයින් කියන්නට හදන්නේ අධ්‍යාපන නොලද දේශපාලකයන් හෝ ව්‍යාපාරිකයන්ගෙන් රටට වැඩි සේවයක්  වන බව නම් නොවේ. ඔවුන්ට ප්‍රමාණවත් බුද්ධියක් ඇති බව වත් නොවේ. ඇත්තටම වඩා තිරසාර දේශපාලනඥයින් හා ව්‍යාපාරිකයන් විය හැක්කේ සංශ්ලේෂණාත්මක බුද්ධිය තරමට ම විශ්ලේෂණාත්මක බුද්ධිය ද ඇත්නම් ය. එවිට සංශ්ලේෂණාත්මක බුද්ධිය භාවිතා කොට නිර්මාණය කරන විකල්ප අතුරින් වඩාත් හොඳ විකල්පය තර්කය ද විශ්ලේෂණාත්මක බුද්ධිය ද යොදා ගෙන තෝරා ගත හැකි ය. රටක් ඉදිරියට යා හැක්කේ එවැනි දෙඅංශයේ ම පිරිපුන් මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වයෙනි.

අපේ අවාසනාවට මේ දෙපිරිස දෙඅංශයකට බෙදී ඇත.

අප කලින් ද කි පරිදි අසාර්ථක නොවීමේ අභිමානය හා එම අභිමානය දිගින් දිගට පවත්වා ගෙන යෑමේ වුවමනාව නිසා ම අවදානම් ගැනීමට අකමැති හා බිය නිසා විශ්ලේෂණාත්මක බුද්ධිය ඇති ඉගෙනීම දක්ෂ අය මේ ක්ෂේත්‍රයන් මග හරිති.

ඊට අමතරව ඔවුන් සම්බන්ධයෙන් තවත් ගැටළු කීපයක් තිබේ. ඔවුන්ගේ දැනුම බොහෝ විට එක පටු ක්ෂේත්‍රයකට සීමා වී තිබීම දෙවැනි ගැටළුව ය. ඒ නිසා ඔවුන් ඒ ක්ෂේත්‍රයේ නිවැරදි තීරණ ගැනීමට ඉඩ තිබුන ද (ඉඩ තිබුණු පමණින් ද එසේ විම අනිවාර්යය නොවන බව එයින් ගම්‍ය වේ) සෙසු ක්ෂේත්‍රයක ද එසේ කරාවි යැයි සහතිකයක් නැත. ඇතැම් විට ඔවුන් වෙනත් ක්ෂේත්‍රයක ගැටළු දෙස බලන්නේ තමන්ගේ ක්ෂේත්‍රයේ කෝණයෙන් වීමේ ඉඩ වැඩි ය. තෙවැනි ගැටළුව, ඔවුන් අන් අයට සවන් දීමට තරම් නිහතමානී නොවීම ය. සිව්වෙනි ගැටළුව, ඔවුන් ඉක්මණින් ගැඹුරට පැනීමට, විශ්ලේෂණයට, යොමු වීම ය. ප්‍රශ්නයක පළල හඳුනා ගන්නට පළමුව එහි එක පැති කඩක් දැක එහි ගැඹුරට කිමිදීමට කටයුතු කිරීම ය. ඒ හේතුවෙන් ඔවුන්ට පළල මග හැරීම ය. පස්වෙනි ගැටළුව නම් ඔවුන්ට, මේ ක්ෂේත්‍රයන් දෙක තුළ කළ යුතුව තිබෙන සිල්ලර කටයුතු කිරිමේ, උනන්දුව හින විම ය. මේ හේතු කීපය නිසා අහම්බෙන් ව්‍යාපාරිකයෙකු හෝ දේශපාලනඥයෙකු වන කෙනෙකු පවා සාර්ථක නොවීමට ඉඩ තිබීම ය.

රට මේ තත්වයෙන් ගොඩ ගැනීමට නම් ව්‍යාපාරික ලෝකයට පියවර තැබීමට අධ්‍යාපනය ලැබූ අය කටයුතු කළ යුතු ය. ඒ එම ක්ෂේත්‍රයට පිවිසීමට පෙර අප මෙහි සඳහන් කළ තමන්ගේ සීමාවන් ගැන දැනුවත් ව ය. පිවිසිමට පෙර ඒ යදම් ගලවා ඉවත් කිරීමට වග බලා ගෙන ය. ඉගෙන ගත් කෙනෙකුට ව්‍යාපාරික හෝ දේශපාලන ලෝකය ජය ගත හැක්කේ එහෙම කළොත් පමණ ය.