අවස්ථා ප්‍රයෝජනයට ගැනීම හා සොයා යෑම


අප අතර සිටින බොහෝ දෙනෙකු තීරණයක් ගැන හිතන්නේ ප්‍රශ්නයක් පැන නැගුන විට ය. එහෙමට ප්‍රශ්නයක් නැත්නම් අප කැමති අත පය අකුළා ගෙන නිවී සැනසිල්ලේ සිටීමට ය. 

ඒ මග යෑමට අකමැති පිරිසක් ද සිටිති. ඔවුන්ට එහෙමට ප්‍රශ්නයක් නැතත් නිතර ඉන්නේ පරීක්ෂාවෙන් ය. ඒ අවස්ථාවක් උදා වේ දෝ යන විමසිල්ල ඇතුව ය. අවස්ථාවක් උදා වන්නේ නම් වැඩි දුර සිතන්නේ නැතිව ම ඔවුහු එය බාර ගන්නට කැමති ය. විශේෂයෙන් සූදානම් වීමට කාලයක් ඇත්නම් ඒ සඳහා අවශ්‍ය දැනුම හා කුසලතා යම් පමණකට ඇත්නම් ඔවුන් ඒ අවස්ථාව මග හරින්නේ නැත. ඒ යම් දෙයක් සම්බන්ධයෙන් පැවරෙන වගකීමක් විය හැකි ය. නව රැකියා අවස්ථාවක් විය හැකි ය. යම් ඉදිරිපත් කිරීමක් කිරීමට ඇරයුමක් විය හැකි ය. යම් දෙයක් සංවිධානය කිරීමට ඉඩ කඩක් විය හැකි ය. ඇතැම් විටක එය පන්තියක ගුරුවරයෙකු අහන ප්‍රශ්නයක් වැනි සුළු අභියෝගයක් වුව විය හැකි ය. ඒ කවරක් වුවත් ඔවුහු නොබිය ව ඉදිරිපත් වන්නෝ ය.

ඇතැම් විට ප්‍රශ්නයක් හෝ ගැට‍ළුවක් පවා ඔවුන් කැමති අවස්ථාවක් ලෙස දකින්නට ය. ඒ සෙසු අය අවස්ථාවන් පවා ප්‍රශ්න ලෙස දකිද්දී ය. කෝවිඩ් අර්බුදය පවා බොහෝ අයට ප්‍රශ්නයක් වූ විට මේ කියන අයට එය අවස්ථාවක් විය. ඔවුහු වැඩට බැස්සේ මුහුණු ආවරණ නිෂ්පාදනය ඉලක්ක කර ගනිමිනි. අත් සෝදන ද්‍රව්‍ය ඉලක්ක කර ගනිමිනි. ඔක්සියෝ මීටර් ඉලක්ක කර ගනිමිනි.

අන් අයට එවැනි නව වගකීමක් පිළිබඳ ව ඇති බය ඔවුන්ට නැත. කුමක් වේ දැයි යන අවිනිෂ්චිතතාවයට ඔවුන් සංවේදී වුව ද එයින් ඔවුන් අකර්මණ්‍ය වන්නේ නැත. ඔවුන් බිය වැද්දීමට ඒ වගකීම් වලට හෝ ඒවා මතු කරන අවිනිශ්චිත ස්වභාවයට බැරි ය.

ඒ ඔවුන් අසමත් වීමට බය නැති නිසා ය. හැම දෙයකින් ම සමත් වීමේ රෝගයෙන් ඔවුන් පෙලෙන්නේ නැත. අසමත් වීම් බාර ගැනීමට ද ඒවායින් ඉගෙන ගැනීමට ද ඔවුන් සූදානම් ය. ඇතැම් සංග්‍රාමයකින් පැරදීමට ඉඩ ඇති වුව ද ඒවායින් නිසි ලෙස ඉගෙන ගන්නේ නම් යුද්ධය දිනිය හැකි බව ඔවුහු දන්නෝ ය.

එයින් අදහස් කරන්නේ අසමත් වීමට ඔවුන් සූදානම් බව නොවේ. අසමත් වීමට වුව සූදානම් බව ය. සාර්ථක වීම සඳහා ඔවුන් සියල්ල ම කරනු ඇත. ඒ සඳහා අවශ්‍ය සූදානම වෙනුවෙන් කාලය කැප කරන්නට හා ශ්‍රමය වගුරුවන්නට ඔවුන් කටයුතු කරනු ඇත. ඒ සියල්ල මධ්‍යයේ වුව අසමත් වීමට ඇති ඉඩකඩ ඔවුන් බැහැර කරන්නේ නැත. එකකින් අසමත් වීම ජීවිතයේ කෙළවර නොවන බව පමණක් ඔවුහු දන්නෝ ය. එය ඔවුන් විසින් සලකනු ලබන්නේ ඊළඟ පියවරට අවශ්‍ය දැනුම හා අත්දැකීම් ලබා ගැනීමේ මුල් පියවරක් හැටියට ය.

පොත පතින් ලබන අධ්‍යාපනයෙන් පමණක් ඔවුන් සෑහෙන්නේ නැත. ඒවා තුළ ඇත්තේ අන්‍යයන්ගේ අත්දැකීම් ය. වෙනත් සන්දර්භයක දී ලද අත්දැකීම් ය. ඒවා සූදානම් වීම සඳහා උපයෝගී කර ගත්තේ වුව ද ඒවායේ සීමාසහිත බව මේ අය දන්නෝ ය. ඒවා තමන්ගේ ම අත්දැකීම් වලින් පෝෂණය කර ගත යුතු බව ද ඒ සඳහා ව්‍යවහාරයේ යෙදිය යුතු බව ද ඔවුන් දන්නෝ ය. පිහිනීම හෝ වාහනයක් පැදවීම පොතකින් ඉගෙන ගත හැක්කේ අල්ප වශයෙන් ය. ඒවා කලාවන් ලෙස ප්‍රගුණ කළ යුතු ය. සන්නිවේදනය ද එබඳු ය. සංවිධාන කුසලතා ද එබඳු ය. ඇඟට ජීරණය වන්නේ ඒවා කළ පමණට ය. නැතිනම් ඒ දැනුමෙන් කළ හැකි දේ අල්ප ය. ඒ අවබෝධය සහිත ව ව්‍යවහාරික ඥානය ලබා ගැනීම සඳහා අත්දැකීම් ලබා ගත යුතු බව ඔවුහු දන්නෝ ය. ඒවා නිරායාසයෙන් කළ හැකි වන්නේ ඇඟට ජීරණය වූ තරමට ය.

අවස්ථා භාවිතයට ගැනීම නිසා ඔවුන්ගේ කුසලතා දියුණු වනවා පමණක් නොවේ. ඔවුන් අන් අයට නිරාවරණය වීමක් ද එමගින් සිදු වේ. තව තවත් අවස්ථා ඒ නිසා උදාවෙන අතර ඉහළ වටිනාකමක් ද ඔවුහු ඒ හරහා ලබති. ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ දස්කම් නිසා නව රැකියා අවස්ථා හෝ ව්‍යාපාරික අවස්ථා ද උදා වීමට නියමිත ය.

ඔවුන්ගේ ප්‍රගතිය වැළැක්වීම අමාරු ය. එහෙත් එයින් අදහස් කරන්නේ ඔවුන්ට අභියෝග එල්ල නොවන බව නොවේ.

ඇතැම් විට ඒ අභියෝග එල්ල වනු ඇත්තේ දෑත් බැඳ ගෙන අලස ජීවිත ගත කරන ඔවුන්ගේ සගයින්ගෙනි. තවත් අවස්ථාවක මේ වේග-ධාවකයා තමන්ට තර්ජනයක් විය හැකි යැයි සිතන උසස් නිලධාරීන්ගෙනි. එහෙත් ඒ අභියෝග පවා ඔවුන්ගේ ඉදිරි ගමන තව තවත් ප්‍රාණ වත් කර දිරි ගන්වනු ඇත්තේ ය. ඒවා ජය ගැනීමට ද ඔවුන් ක්‍රම සහ විධි යොදනු ඇත්තේ ය. ඒ හරහා තව තවත් ඉගෙනීමට ඔවුන්ට ඉඩ හසර ලැබෙනු ඇත්තේ ය. ප්‍රගතියට තාවකාලික වැට කඩුලු ඇති විය හැකි වුව ද දිගු කාලීන ව ඒ සියල්ල තව තවත් ප්‍රගතිය ලබා ගැනීමට ඉවහල් වන දේ බවට අවසානයේ පත් වනු ඇත්තේ ය.

පිරි නැමෙන බොහෝ අවස්ථා බාර ගන්නා, එවැනි අවස්ථා සොයා වටපිටාව පමණක් නොව දුර ඈත ද පිරික්සන, කෙනෙකු කිසිවකින් නතර කළ නොහැකි ය.

තෝරා ගැනීම ඔබගේ ය. ඔබේ නැව සුරක්ෂිත වරායක නැංගුරම් ලා රඳවා ගෙන සිටිනවා ද ඈත දියඹේ අපූරු පාරාදීස සොයා යනවා ද යන්න ඔබේ තීරණයකි. පැහැදිලි අවදානමක් ඇති මුත් ඒ අවදානම ගැනීම වටින්නේ ය. නැව සාදා ඇති අරමුණ වරායක සුරක්ෂිත වටපිටාවක නවතා සිටීමට නොවන බැවිනි.