ධනාත්මක චින්තනය – ඒකට පුලුවන් පනුවෙක් සමනලයෙක් කරන්න!


ඔව් මට පුලුවන්. මම බාධක සියල්ල මැඩ ජයගන්නව. පරණ විදිහට නැතිව අලුත් ක්‍රම හොයනව. අලුතින් හිතනව. ලෝකය අයිති තමන් ගැන විශ්වාසයක් තියෙන පරදින්නට බය නැති මිනිසුන්ට. පරදින්න බය නැත්නම් විතරයි දිනන්න පුලුවන් වෙන්නෙ.

ධනාත්මක චින්තනය ගෙනෙන පණිවුඩය තමයි ඒ.

ඉතින් සමහරු එහෙම හිතනව. ඒ කියපු විදිහටම හිතනව. ඒත් මුකුත් වෙන්නෙ නෑ.

හරි පුදුමයි. මේ ඇරෙන්න කරන්න වෙන දෙයක් තියෙන බව දේශකයා කිව්වෙ නැහැ. ඒත් ප්‍රතිඵලය මොකද්ද? කළකිරීම!

කොහේ හරි වැරදිල තියෙනව. ඉතින් එහෙම වෙන්නෙ ඇයි?

හේතුව හිතල විතරක් ප්‍රමාණවත් නොවීම. බාධක ජය ගන්න නිකම් බෑ. ඒකට කුසලතා ඕන. ඉගෙන ගන්න ඕන. මහන්සි වෙන්න ඕන. හිතවතුන් ඇති කරගන්නට ඕන. තමන්ගෙ ඉලක්ක දර්ශනය බෙදා හදාගන්න අය ඕන. තමන්ට යම් යම් දේ කරන්න පුලුවන් කියල ලෝකයට පෙන්නන්නට ඕන. වෙලාව එන්නට ඕන.

මේ ව්‍යායාමයේ ප්‍රතිඵලය හෙට ලැබෙන්නෙ නෑ. ඒකට කල් යනව. කට්ට කන්න වෙනව. නිදිමරන්න වෙනව. පරිත්‍යාග කරන්න වෙනව.

එහෙම කරගෙන යද්දි වරදිනව. බැණුම් අහනව. පාඩු වෙනව. යාලුවො නැතිවෙනව. අතරමං වෙනව. ඒව විදගන්න ඕන.

ඒ දුෂ්කරතා වලින් ඉගෙන ගන්න ඕන. ඒවා ජය ගන්න විදි හොයන්න ඕන. ඒවට අලුත් කුසලතා හදා ගන්න ඕන. අලුත් ක්‍රම හොයන්නට ඕන. කීප සැරයක් වැරදිල මිසක් අලුත් ක්‍රම හොයන්න බෑ.

සාර්ථකත්වයේ ගමන ඒවගේ දුෂ්කර එකක්.

ධනාත්මක චින්තනය දේශනයේදී මේ ටික කියවෙන්නෙ නෑ. හරියට ක්ෂණික නූඩ්ල්ස් හදනව වගේ මට පුලුවන් කියල හිතුවහම ඔක්කොම වෙනවයි කියන අදහස ඒ නිසා මිනිසුන්ගෙ හිත් තුළට යනව.

ඉතින් මට පුලුවන් කියල ජනේලෙන් පනින මිනිහ තුවාල වෙනව. අතපය කඩා ගන්නවා. ධනාත්මක චින්තනය ගැන දෙසපු එකාගේ මෑණියන් මතක් කරනව.

පැන්නහම තුවාල නොවෙන්න පනින්න බැරි කමක් නැහැ. ඒකට අතපය හයිය කරගන්නට ඕන. පැනීමේ කලාව දැනගන්නට ඕන. පනින්න පුලුවන් කියල විශ්වාසය ඇති කරගන්නත් ඕන. පනින්නත් ඕන. ඒත් අන්තිමට කරන දේ ඉස්සර වෙල කරන්න ධනාත්මක චින්තනය නිසා පුලුවන් කමක් ලැබෙන්නෙ නෑ.

ධනාත්මක චින්තනයට පුලුවන් අනිත් හැම කුසලතාවයක්ම තියෙන කෙනෙකුට අවසාන ඉම ජය ගන්න තල්ලුවක් දෙන්නට විතරයි. එහෙම නැතිව එතැනට වෙනකම් යන්න තියෙන ගමන අවලංගු කරන්න ඒකෙන් පුලුවන් කමක් ලැබෙන්නෙ නෑ.

ඕනම දෙයක් කෙනෙකුට කරන්නට පුලුවන් කියන මතය යම් ධනාත්මක චින්තකයෙක් ගේනව නම් පරිස්සම් වෙන්න.

අපි වෙනස්. එක්කෙනෙක් කරන වැඩේ තව එක්කෙනෙකුට කරන්න බෑ. අපිට කරන්න පුලුවන් වැඩත් අපි අපේ මනස්ගාත පසුගාමී සිතුවිලි නිසා කල් දානව නම් ඒව අයින් කරන්න අපට උදව් කරන්නට විතරක් ඊට පුලුවන්.

ඒකට පුලුවන් දළඹුවෙක් සමනලයෙක් කරන්න. හැබැයි ඒකට බෑ පනුවෙක් සමනලයෙක් කරන්න.

හිත හීලෑ නැතිද හැම තැනම දුවන්නේ ද – මුරණ්ඩු ද? ඒ හිත අගය කළ යුතු ය.


බොහෝ විට අපට අසන්නට ලැබෙන්නේ අවධානය මද බවට කරන චෝදනා ය. හැම තැනම දුවන සිතකට අවධානය රදවා ගැනීම අමාරු ය. එයින් සිදුවන්නේ පටන් ගත් යමක් සම්පූර්ණ කිරීමට නොහැකි වීම ය. ඒ නිසාම අවධානයේ වැදගත්කම ගැන අපමණ කතා ඇසේ. එසේ දුවන සිත අල්ලා බැද දැමිය හැකි එක් ආකාරයක් ලෙස භාවනාවේ අගය ද ප්‍රකාශ කෙරේ.

ඒ සියල්ල ඇත්ත ය.

එහෙත් මෙහිදී නොකියවෙන කතාවක් තිබේ. ඒ හීලෑ නැති හැම තැන දුවන සිත නිර්මාණශීලීත්වයට නව දේ නිර්මාණයට රුකුලක් වන බව ය.

දුවන, හැම තැනින්ම යමක් අහුලාගන්නා, ඒ හිත ඒවා සමහර විට එකතු කොට එහෙම පිටින්ම වෙනත් දේද නිපදවීමට කටයුතු කරයි. ඇත්තටම කියන්නේ නම් සිත විවිධ තැන් සොයා දුවන තරමට එකතුකොට නිර්මාණය කරන දේ ප්‍රබල වෙයි. නැවුම් වෙයි.

හිත පුලුවන් නම් මියගිය අතීතයටත් නූපන් අනාගතයටත් යැවිය යුත්තේ ය. එය හැකි නම් පොත් අතරටත් දේශනා අතරටත් අත්දැකීම් අතරටත් යැවිය යුත්තේ ය. එයට යුරෝපයට යාමටත් ජපානයට යාමටත් කටයුතු සම්පාදනය කළ යුත්තේ ය. එය මිතුරන් අතරටත් සතුරන් අතරටත් එකසේ යැවිය යුත්තේ ය. එය පරාජයේ කටුක අත්දැකීම් අතරටත් ජයග්‍රහණයේ ආනන්දජනක අවස්ථා අතරටත් යැවිය යුත්තේ ය. හරි ගිය තැන්වලට මෙන් ම වැරදුන තැන්වලට ද යැවිය යුත්තේ ය.

එය එක් දිසාවකට නොව සදිසාවටම යැවිය යුතු ය.

එයට එක් තැනක රැදී සිටීමට අවසර නොදිය යුත්තේ ය. කෝපයම පළකරමින් එකම දෙයක් වටා කැරකීමට ඊට ඉඩ නොදිය යුත්තේ ය. දිගින් දිගටම හඩා වැටෙමින් ලතැවීමට එයට ඉඩ නොදිය යුතු ය. අශුභවාදී අපේක්ෂා භංගත්වය තුළ හිරවී සීමාවක් නැතිව කම්පාවන්නට එයට ඉඩ හසර නොදිය යුතු ය.

ජයෙන් දිගින් දිගට උද්දාමවන්නටත් එයින් උපන් අධිමානයෙන් නොනවත්වා සැරසෙන්නටත් ඊට ඉඩ නොදිය යුතු ය.

එය එක තැන පල් නොකළ යුතු ය.

එහි මුරණ්ඩු කම හුරතලයක් ලෙස දක්වා අගය කළ යුතු ය.

“අද” ඔබේ විය හැකිය. එහෙත් “හෙට” නියත වශයෙන්ම ඔවුන්ගේ ය!


ආයතන බොහෝමයක ඉලක්කය අද දවස ජය ගැනීම ය. හෙට ගැන ඔවුන් සොයන්නේ හෙට එළඹුන පසු ය.

එවැනි ආයතන තමන් කර ගෙන ආ දෙය ඒ ආකාරයෙන් දිගින් දිගට කිරීම පිළිබදව විනා අලුත් යමක් කිරීමට උත්සහ කරන්නේ නැත. අලුතින් ඉගෙන ගන්නේ ද නැත. අලුත් දෑ ගැන විමසන්නේ ද නැත.

ඒ නිසාම වැඩිවන ජිවන වියදම හා උද්ධමනය හමුවේ පරිභෝජනය අඩු කිරීම ගැනත් පිරිවැය කපා හැරීම ගැනත් අවධානය යොමු කිරීම ඔවුන්ගේ ප්‍රධාන කාර්යය වී තිබේ. ඒ නිසාම ආදායම ඉපදවීම සම්බන්ධයෙන් නව ආයෝජනයන් ඔවුන්ගෙන් සිදු නොවේ. අර්බුදයකට මුහුණ දීමට සිය සේනාංක ලක ලෑස්ති කිරීම සදහා ඔවුන් පුහුණු කිරීම අවශ්‍ය යැයි ඔවුන්ට හැගෙන්නේ නැත. ඒවා ගැන ඔවුන් සිතන්නේ අනවශ්‍ය අවදානම් නැතිනම් අර්ථ විරහිත ආයෝජනයන් ලෙස ය.

පරිසරයේ තර්ජනයන් ඉදිරියේ ආක්‍රමණශීලීව ඉදිරියට යනු වෙනුවට ඉබ්බෙකු මෙන් තවතවත් කටුව තුළට වැද සැගවීම ඔවුන්ගේ ස්වභාවය ය.

තමන්ගේ ආයතන රාමුවෙන් ඔබ්බට නොයන නිසාම වෙන ක්ෂෙත්‍රයන් හි කුමන වෙනස්කම් සිදුවනවා දැයි ඔවුන් දන්නේ ද නැත. ඒ නිසා ඒවායින් ඉගෙන ගැනීමක් ද ඔවුන්ට නැත. ආයතනය ඇතුළතින් ඉගෙන ගන්නවා මිසක එලියෙන් ඉගෙනීමක් ඔවුන්ගේ සිතකවත් නැත. තමන්ගේම පුහුණුකරුවන් යොදා තමන්ගේම පුහුණු අංශයකින් කරන සම්ප්‍රාදයික පුහුණුවෙන් එහාට ගොස් බාහිර පුහුණු කිරීමකට තම සේවකයන් යොමු කිරීමට ඔවුන් එක්කෝ අකමැති ය. නැතිනම් බිය ය. බලකොටු තනා ඒ තුළ තමන්ව සිරකර ගත් රජෙකුගේ ස්වභාවය ඔවුන් වෙතින් පළවෙයි.

ඉදිරිය කරා යන ආයතන පෙන්වන්නේ මෙහි පරස්පරයයි. ඔවුහු පරිසරය තර්ජනයන්ට මුහුණ දීමට එලියට එන අතර තර්ජනයන් ඉදිරියේ වඩාත් ආක්‍රමණශීලී වෙති. ඔවුහු අලුතින් ඉගෙන ගන්නා අතර බාහිරින් ඉගෙන ගැනීමට වැඩි කැමැත්තක් දක්වති. එයින් තමන් නොදුටු අලුත් මානයන් විවෘතවන බව ඔවුහු සිතති. මොටර් රථ විකුණන ආයතනයක් මෝස්තර හෝ කේක් ප්‍රදර්ශනයකින් අලුත් මානයන් තමන්ගේ මොටර් රථ විකිණීමේ උපායමාර්ගය සවිමත් කිරීම සදහා එක්කර ගන්නවාක් මෙනි.

ඔවුන් බය නැතිව වෙනත් ආයතන සමග වෙනත් ආයතනික රාමුවක් තුළ මිශ්‍ර වීමට කැමති ය.අලුත් වටපිටාවන්ට අලුත් මිනිසුන්ට මෙන්ම අලුත් අදහස්වලට ද කැමති ය.

ඔවුන් ආර්ථික අවපාතයක දී වියදම් කපා හැරීම ගැන සංවේදී වනවාට ද වඩා ඵලදායී ආයෝජනයන් ගැන සැළකිලිමත් වීමට කැමති ය. සිය සේවකයින් පුහුණුකිරීමට යන වියදම් කපා හැරීමට නොව වැඩි කිරීමට එවැනි විටක ඔවුහු පෙළඹෙන්නෝ ය.

ඒ ඔවුන්ගේ ඉලක්කය අද නොවන නිසා ය. ඔවුන් අනාගත දැක්මකින් යුත් නිසා ය. අද ඔබගේ විය හැකි ය. එහෙත් නියත වශයෙන්ම හෙට ඔවුන්ගේ ය.

මෙය වලංගු වනුයේ ආයතනවලට පමණක් නොවේ. තනි පුද්ගලයින්ට ද (පුද්ගලයින් හා ආයතන එකතුව හැදෙන) රටවලට ද මෙය එකසේ අදාළ ය.

පාරිභෝගික සත්කාරය කරනු බැරි ඇයි? ප්‍රශ්නයට උත්තරය දන්සැලකින් ලැබේ.


පහුගිය පොසොන් පෝයට තිබුණු දන්සැලක පෝලිමක් කළමනාකරණය කිරීමේ වගකීම බාරගත් අපේ මිතුරෙක් අපට කී කතාව මෙසේ ය. පෝලිමේ සිටි සෙනගට ඉක්මණින් දන්සැල වෙතට පැමිණිය හැකි පරිද්දෙන් නැගිටින්නට සූදානම් වන අයෙකුගේ තැන ගැනීමට ඔහු විසින් පෝලිමේ ඊලගට එන තැනැත්තා බැගින් කැදවනු ලැබ තිබිණි. ඒ  නිසා පෝලිම ඉක්මණින් අවම මට්ටමකට ගෙන ඒමට ඔහුට හැකි විය. මේ දුටු දන්සැල් සංවිධාකයෙක් ඔහුගේ ඇගට ගොඩ වී තිබුනේ ය. තමුසෙ හරි මිනිහෙක් නෙ ඕයි. ඔහොම ඇතුළට ගත්තහම එලියෙ පේන්න පෝලිමක් නැතිවෙනවනෙ. පාර පොඩ්ඩක් බ්ලොක් වෙන්න වගේ පෝලිම තිබුනොත් විතරයි දන්සැල නැගල යනව කියල දැනෙන්නෙ. දැන් තමුසෙ මේ කරන වැඩෙන් දන්සැලට හරි නැ ඕයි. පොඩ්ඩක් කලබල නැතිව හෙමිහිට ගන්නව. එක පාරක් ගත්ත මිනිස්සු කාල ඉවරවෙනකම් ආයි එහෙම අලුතින් ගන්නෑ.

වැඩේ නරක නෑ නේද? දන්සැල ජනප්‍රිය කරන්න වැඩි වෙලාවක් පෝලිමේ ගත කිරීම! පිනට කන්න ආව නම් දන්සැලට නම්බුවකුත් දීල යන එකේ වැරැද්දක් බොහෝ දෙනෙකු නොදකින්නට වුව පුලුවන. මේ ලංකාව නිසා ය.

දන්සැලේ විතරක් නොව බොහෝ ආයතනවල සේවා සපයන්නන් ද සිතන්නේ ඔවුනට වැදගත් කමක් ලැබෙන්නේ ඔවුන්ගේ සේවා ලාභීන්ගේ වැඩ පහසු කළොත් නොව ඒවා අමාරු කළොත් බව ය.

වැදගත්කම ලැබෙන්නේ ඒවා සැහැල්ලු කළොත් නොවේ. ඒවා ඉහිලිය නොහැකි තරමට බර කළොත් ය. එයින් කියවෙන්නේ කලින් නොයවා සේවාලාභීන් ටිකක් රස්තියාදු කළ යුතු බවය. පුලුවන් නම් පොල්ලක් දමා වැඩේ බකල් කළ යුතු බව ය. වැඩය අදින් අවසන් නොකර නැවත හෙටත් එන ලෙසට ද වග බලා ගත යුතු බව ය. දුරකථනයෙන් කරන්නට පුලුවන් වැඩේට ආයතනයට පැමිණ කරන්නට වැඩ සැළැස්වුවොත් බව ය. ටිකක් වැඩියෙන් ඇවිද්දුවොත් බව ය. නහය කෙළින් නාල්ලා වටයකින් කරකවා ඇල්ලීමට සැළැස්වීමෙන් බව ය. සරසවියට ඇතුළුවන නවකයෙකුට මෙන්ම තරමක වදයක් දී සේවාව ලබා දිය යුතු බව ය. පර පීඩනයම සතුට සළසන බව ය.

සේවාලාභියා හැම විටම නිවැරදි යැයි කියන්නේ කව්ද? බොහෝ දෙනා හැසිරෙන්නේ සේවාලාභියා විසින් උසාවි නියෝගයක් හරහා තමන් නිවැරදි යයි ඔප්පු කළොත් මිස හැමට විටම ඔහු වැරදිය යන මතයේ පිහිටා ය.

අපේ ආයතනවල බොහෝ දෙනෙකුට පාරිභෝගික සත්කාරය බැරි මේ නිසා ය.

ගැලවිජ්ජාව – මෙහෙව් රටකට පායයි ද සූර්යයා!


ගැලවිජ්ජාව අපේ ආයතනයන්ට පොදු ව්‍යාධියකි. යමක් අයිතිවන්නේ තමන්ගේ වපසරියට නොවේ යැයි කියා අත පිසදා ගැනීමට ලැබෙන්නේ නම් එතැන තිබෙන්නේ සැනසුමයයි බොහෝ දෙනා සිතන්නට පුරුදුව තිබේ.

දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයට ජපානයේ දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයෙන් ආපදාවකදී  හෙද සේවා සැපයිය යුත්තේ කෙසේදැයි උගන්වන පාඨමාලාවක් පිරිනැමුනේ ය. දින දෙකකින් යුත් ඒ පාඨමාලාව ජපානයේ හෙදියන් විසින් හෙදියක් ලෙස කටයුතු කිරීමට ප‍්‍රථමයෙන් ලබා ගත යුතු අනිවාර්යය සුදුසුකමකි. අප වෙත පිරිනමනු ලැබ තිබුනේ එවැනි අත්හදා බලනු ලැබූ අතිශය වැදගත් පාඨමාලාවකි.

පාඨමාලාව පැවැත්වීම සඳහා රු 270 000 ක මුදලක් අවශ්‍ය වූයෙන් අපි අදාළ ආයතනවලට ඒ සඳහා සහය වන ලෙස දැන්වූයෙමු.

ආපදා සම්බන්ධව කටයුතු කරන ආයතනවල ප‍්‍රතිචාරය වූයේ එය ආපදා සම්බන්ධ එකක් වුව ද පුහුණු කරනු ලබන්නේ සෞඛ්‍ය ක්ෂෙත‍්‍රයට අයත් හෙදියන් නිසා මුදල් ලබා දිය යුත්තේ ඔවුන් බව ය.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ අදහස වූයේ සෞඛ්‍ය ක්ෂෙත‍්‍රයට ආයෝජනය කළ යුතු බොහෝ ව්‍යපෘති තිබෙන බැවින් ද ඒවා දැනටමත් අඳුනාගෙන ඒවා සඳහා මුදල් ප‍්‍රතිපාදන වෙන්කර ඇති බැවින් ද ආපදා සම්බන්ධයෙන් වෙනම ආයෝජනයක් රජය විසින් කරන බැවින් ද මේ මුදල් ලබා දීමේ වගකීම ඇත්තේ ආපදා සම්බන්ධ ආයතන ව්‍යුහයට බව ය. එසේ වුව ද පුහුණුව වැදගත් බව පිළිගත් ඔවුහු තමන්ගේ හෙද හෙදියන් ඊට සහභාගී කිරීමට කටයුතු කළහ.

දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ රජයේ ආයතනයක් වුව ද අපට භාණ්ඩාගාරයෙන් කිසිවක් ලැබෙන්නේ නැත. 2005 වසරේ සිට අපි අප උපයාගත් ආදායම්වලින් පමණක් අපේ කටයුතු කරගෙන ගියෙමු. ඒ නිසාම 270000 ක් යනු අපට විශාල මුදලකි. එහෙත් මේ පාඨමාලාවේ වැදගත්කම සළසා ඒ පාඩුව විඳගෙන අපි පාඨමාලාව සාර්ථකව අවසන් කළෙමු. ඒ තීරණය ගැනීමේ දී අප ආපදා හෝ සෞඛ්‍ය ක්ෂෙත‍්‍රයන්ට අයත් නොවන්නේය යන්න අපට බලපෑවේ නැත. අපට අවශ්‍ය වුයේ මේ වැදගත් පාඨමාලාව රටට ලබා ගැනීමට ය.

අපත් ගැලවිජ්ජාවම අනුගමනය කළේ නම් රටට වැඩදායක පාඨමාලාවක් රටට අහිමිවන්නට ඉඩ තිබුනේ ය. රට එකට කියන්නේ රට ඉදිරියෙන් එකේ අංකය ලියා ගත් බැනරයක් ආයතනය තුළ ප‍්‍රදර්ශයනය කිරීම නොවේ. රටට වාසියක් ගෙන දෙන යමක් කිරීමේදී පංගු පේරුව සොයන්නේ නැතිව රට ඉදිරියෙන් තබා කටයුතු කිරීමට ය.

මේ පාඨමාලාව අපේ එකක් යැයි ආයතන දෙකටම කියන්නට හැකිව තිබියදී එය වඩාත් අදාළ වන්නේ අනෙකාට යැයි කියා අත් පිසදා ගැනීම අපේ රටේ පවතින පොදු මානසිකත්වය මේ ආයතන දෙක තුළ ද පිළිබිඹු වීමකි. අපට මෙන් නොව මේ ආයතන දෙකටම රජයේ ආධාරවලට අමතරව විවිධ ව්‍යපෘති ආධාර ද ලැබෙන තත්වයක් යටතේ මෙය වඩාත් පුදුම උපදවන සුළු ය.

යමක් තමන්ගේ නොව අනුන්ගේ යැයි කියා ගැලවෙන්නට හැකි වන වටපිටාවක් අපට තිබේ. ඒ බොහෝ දේ එක් අයෙකුගේ විෂයපථයට ඔබ්බෙන් අනෙකාගේ විෂයපථය ද ආවරණය වන ලෙස පැතිර තිබීම නිසා ය. හරියටම අයත් වන්නේ කුමන විෂයපථයට ද යන්න වාද විවාද දෙස බැලීම මේ නිසා අතිශයින් රසවත් ය.

ශිෂ්‍යත්වයකට රට යන්නට යම් විෂයක් යටතේ අවස්ථාවක් ලැබුනහම අනුන්ගේ විෂයපථයන් වුව ද තමන්ගේ කරගන්නා අපේ රටේ තමන්ගෙන් (ඇත්තටම තමන්ගෙන් ද නොවේ. තම ආයතනයෙන් පවා) සතයක් හෝ වියදම් කරන්නට සිදුවන විට එයම අනුන්ගේ වන්නේ අතිශය පුදුම උපදවන සුළු ලෙස ය. විද්‍යාව උගත් අය පවා විද්‍යාව විභාග සමත් වීමට විනා වෙන කෙංගෙඩියකට භාවිතා නොකරන අපේ රටේ ගැලවිජ්ජාවෙන් කෙල පැමිණි අයගේ නම් අඩුවක් දකින්නට නැත.

මෙහෙව් රටකට පායයි ද සූර්යයා!