ආයතනික රෝග සැඟවීමේ අරමුණ හා අනතුර


49988

රෝගියෙකුට සුවය ලැබිය හැකි වන්නේ පළමුව තමාට රෝගයක් තිබෙන බව පිළිගැනීමෙනි. දෙවැනිව, රෝගය කුමක් දැයි නිශ්චය කර ගැනීමෙනි. ඊට හේතු අවබෝධ කර ගැනීමෙනි. අවසාන වශයෙන් එය මර්ධනය කිරීමට සමත් නිශ්චිත ප්‍රතිකාර ක්‍රම හඳුනා ගැනීමෙනි. මේ කටයුතු සඳහා වෛද්‍ය ආධාර, විශේෂඥ ආධාර පැතීමෙනි.

රෝගියා තමන්ට රෝගයක් ඇතැයි පිළිගන්නට සූදානම් නැති නම් ඉතිරි කිසිවක් සිදු නොවේ. ලෙඩ රෝග සම්බන්ධයෙන් පමණක් නොව ආයතනික රෝග සම්බන්ධයෙන් ද රටක රෝග සම්බන්ධයෙන් ද මෙය සත්‍යය ය.

රෝගයක් තිබෙන බව දැන ගන්න ලැබෙන විට සමහර විට අප පමා වී සිටින්නට පුළුවන. ඒ නිසා රෝග ලක්ෂණ නැති විටක වුව අප අපගේ සිරුරේ ක්‍රියාකාරිත්වය ගැන විපරමින් සිටිය යුතු ය. වෛද්‍ය පර්යේෂණයන්ට භාජනය කළ යුතු ය. ඒ සඳහා තමන්ට රෝගයක් වැළඳෙන්නට ඉඩ ඇතැයි යන අදහස ඇති ව සිටිය යුතු ය. ආයතනික රෝග සම්බන්ධයෙන් ද එය සත්‍යය ය.

සමහර මිනිසුන් තමන්ට රෝගයක් ඇතැයි පිළිගැනීමට පමණක් නොව දැන ගැනීමට ද අකමැති ය. ඒ තමනට පාවිච්චි වන්නට සිදු වන නිසා ය. ඇතැම් ආහාරයන් අහිමි ව යන නිසා ය. තිත්ත කසාය බොන්නට සිදු වන නිසා ය.

ඉතින් ඔවුහු ලෙඩ වසන් කරති. තමන්ගේ හිතේෂීන්ගෙන් වසන් කරති. වෛද්‍යවරයාගෙන් වසන් කරති. ඇතැම් විට එවැන්නක් නැතැයි හිතින් මවා ගෙන තමන්ගෙන් ද වසන් කර ගනිති. එවන් අය දුර්වලව ඉක්මණින් මරණයට පත් වීමේ ශාක්‍යතාවයෙන් යුතු ය. එසේ කරන ආයතන හා රටවල්වලට ද ඊට වෙනස් ඉරණමක් අත් වෙන්නට විදිහක් නැත. මේ නිසා කළමනාකරුවන් තමන්ගේ ආයතන වල ඇති රෝගාබාධ සැඟවීමට කටයුතු නොකළ යුතු ය. ඒවා පිළිගෙන, මතුපිටට ගෙන, සංවාදයට ලක් කළ යුතු ය.

මේ රොකට් තාක්ෂණය නොවේ. සාමාන්‍ය දැනුම ය. අප සෙවිය යුත්තේ ඒ සාමාන්‍ය දැනීම භාවිතා නොවන්නේ ඇයි ද යන්න ය.

බොහෝ දෙනෙකුගේ කාලය පිළිබඳ දැක්ම සීමිත ය. එය අද හෝ හෙටින් එහාට යන්නේ කලාතුරකිනි. තමන්ගේ කාලය හා සෙසු සම්පත් මෙන් ම උත්සහයන් ද එදිනෙදා පැවැත්ම උදෙසා වැය කිරීමට ඒ වැඩි දෙනෙකු කැමති ය. රෝග ලක්ෂණ මැඩ පවත්වාගෙන සිටිය හැකි නම් එයින් මේ අය සෑහීමකට පත් වෙති. අවශ්‍ය එදිනෙදා ගනුදෙනුව කර ගෙන යෑම ය. අනාගතය ඒ හැටි කාරියක් නොවේ ය.

මේ අස්ථානය තහවුරු කර ගැනීමට ඔවුහු තම විශ්වාසයන්ගේ ද පිළිසරණ පතති. හෙට දවස තීරණය වෙන්නේ අපේ ඉරණම අනුව ය. ග්‍රහචාරය අනුව ය. පෙර කළ නොකළ පව් පින් අනුව ය. දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ය. ඒ නිසා අප කුමක් කළ ද ප්‍රතිඵල වෙනස්  වන්නේ නැත. මැරෙන්න තියෙනවා නම් කුමක් කළත් මැරෙන්නේ ය. ඒ නිසා රෝග සම්බන්ධයෙන් වැඩිමනත් මහන්සි වී වැඩක් නැත. කළ යුත්තේ බෝධි පූජා ය. පින්කම් ය. නව ග්‍රහයන්ට ඔරොත්තු දෙන මුදු පැළඳවීම ය. දෙවියන්ට බාර හාර වීම ය. යාඥා කිරීම ය. පන්සල් පල්ලි කෝවිල් වන්දනාවේ යෙදීම ය.

තමන්ගේ අනාගතය මෙවැනි අපූරු බලවේගයකට පවරා නිදහස් වන්නට ලැබීමම බොහෝ දෙනෙකට ඉස්පාසුවකි. ඒ නිසාම දෝ ඇතැම් කළමනාකරුවන් ආයතන සඳහා ද ආදේශ කරන්නේ මේ සූත්තරයම ය. ආයතනය තුළ ඇති ප්‍රශ්නවලට ද පිළිතුරු ලෙස ඔවුහු සර්ව රාත්‍රික පිරිත් සංවිධානය කරති. පින්කම් කෙරෙති. ඒ තුළින් මෙවැනි විශ්වාසයන් ඇති අයගේ විශ්වාසය ද දිනා ගනිති.

රෝග ලක්ෂණ විමසමින් රෝගය හඳුනාගැනීමේ කාර්යය මේ තරම් පහසු නැත. රෝගය හඳුනාගත්ත ද ප්‍රතිකර්මයන් කිරිම ද පහසු නැත. ඇතැම් රෝග සඳහා ගත යුතු ප්‍රතිකාර අතර බරපතල ශල්‍ය කර්මයන් ද තිබේ. එවැන්නකට යන වියදම පැත්තකින් තිබ්බ ද විඳින්නට වෙන දුෂ්කරතාවය විශාල ය. ආයතනික රෝග සම්බන්ධයෙන් තත්වය අතිශයින් සංකීර්ණ ය. විසඳුම් වඩාත් දුෂ්කර ය. දීර්ඝ කාලීන ය. ඇතැම් විට තමන්ගේ කාල වකවානුව තුළ කිසිදු ප්‍රගතියක් පෙන්නිය නොහැකි තරමට දීර්ඝ කාලීන ය. ඒ නිසා ම බොහෝ කළමනාකරුවන් කරන්නේ රෝගය වසං කිරීම ය. තුවාලයට පැලැස්තර දමා සැගවීම ය. වෛද්‍යවරයෙකුට නොපෙන්වා සිටීම ය. වෙනත් අය විසින් එසේ කළ යුතු යැයි පෙන්වා දුන් විට ද නෑසුනු කන් ඇතුව සිටීම ය. බැරි වෙලාවත් වෛද්‍යවරයෙකු මුණ ගැස්සුවහොත් ඔහුගෙන් ද හැකිනම් රෝගය සැගවීම ය. පැලැස්තර හා රෝග ලක්ෂණ මැඩ පැවැත්විය හැකි ප්‍රතිකාර පමණක් ඉල්ලා සිටීම ය.

ආයතන සම්බන්ධයෙන් කළමනාකරණ උපදේශකයන්ගෙන් (ආයතනික වෛද්‍යවරුන්ගෙන්) බොහෝ විට ඉල්ලා සිටින්නේ සේවකයන් (විශේෂයෙන් පහළ මට්ටමේ සේවකයන්) අභිප්‍රේරණය කරන්නට ය. එසේ කරන ආයතන කළමනාකරුවන් බොහෝ දෙනෙකු සිතන්නේ ප්‍රශ්නය ඇත්තේ පහළ ස්ථර වල බව ය. ඇත්තට ම බොහෝ ආයතන වල ප්‍රශ්නය ඇත්තේ ඉහළ ය. දෝෂය තමන්ගේ යැයි දැන ගන්නටවත් ඉහළ කළමනාකරුවන්ට ඕනෑ නැත. එය ඔවුන්ට අනුව විය නොහැකි දෙයකි. ඔවුන් සිතන්නේ දැනටමත් තමන් කළ යුතු සියල්ල කර ඇති බව ය. කරමින් ඉන්නා බව ය.

අමතර ප්‍රශ්නයක් ද තිබේ. ඒ දක්ෂ වෛද්‍යවරයෙකුගේ ගාස්තු ද ඉහළ වීම ය. ඒ නිසා ඇතැම් අය කරන්නේ ගොඩ වෙදකම් ය. ඉන් ලෙඩාගේ අයිතිකරුවන් සතුටු  කළ හැකි නමුත් තාවකාලික මානසික සහනයකට අමතරව ඉන් ලෙඩාට අත්වන සුගතියක් නැත. අවසානයේ රෝගය උත්සන්න වූ පසු ඒ සඳහා යන ඉහළ  වියදමට වඩා අද දවසේ කරන්නට වෙන සාපේක්ෂව සොච්චම් වියදම ඔවුන්ගේ වැඩි අවධානයට ලක් විම මෙයට හේතුව ය.

ආයතන සම්බන්ධයෙන් ද මේ තත්වය මේ විදිහට ම තිබේ. ආයතනයේ ලෙඩ රෝග පිරික්සා බලා ලෙඩය හඳුනාගෙන ප්‍රතිකර්මයන් දෙනු වෙනුවට බොහෝ විට කළමනාකරණ උපදේශයකයන්ගෙන් අපේක්ෂා කරන්නේ කළමනාකාරිත්වය විසින් හඳුනා ගෙන ඇති රෝගයට ප්‍රතිකර්ම කිරීම ය. ඒ හරහා උපදේශක ගාස්තු අවම කරගැනිමට ය. අවසනාවට බොහෝ විට එම රෝග විනිශ්චයන් වැරදි ය. ගැලවිජ්ජාව අරමුණු කර ගෙන කරන රෝග විනිශ්චයන් නිවැරදි විය හැක්කේ කලාතුරකිනි. ඒ සිය ගැලවීම උදෙසා ඇතැම් රෝග ලක්ෂණ සගවා වෙනත් ඒවා මතු කිරිමට කළමනාකරණය කටයුතු කරන නිසා ය. තමන්ගේ ඇහේ පොල් පරාල තිබිය දී සේවකයන්ගේ ඇහේ ඇති පොල් කෙඳි එවිට පෙනෙන්නේ ය. පය බරවායට පිටිකර බෙහෙත් බැඳ වැඩක් වන්නේ නැත. ඉන් විය හැකි එකම යහපත තමන් යමක් කළේ යැයි හිත හදා ගැනීම පමණකි.

මේ හේතු නිසා රෝග ලක්ෂණ නොසගවා දක්වා විශේෂඥ උපදෙස් ලබා ගෙන ආයතනික රෝග කල් ඇති ව හඳුනා ගැනීමටත් ඒවාට නිසි පිළියම් කිරීමටත් වගකීමක් කළමනාකරුවන්ට තිබේ. ඊට අමතරව කලින් කලට සිදු කරන පරීක්ෂණයන් මගින් මතු වීමට ඇති රෝග පිළිබඳව ද විමසිල්ලෙන් සිටිමේ වගකිමක් ද ඔවුන්ට තිබේ. ආයතනයක දිගු කල් පැවැත්මට කළමනාකරුවෙකු විසින් මේ වගකීම නිසි ලෙස ඉටු කිරිම අත්‍යවශ්‍ය  ය.

අනුන්ට හීලෑ වීම හා ස්වයං විනය


51277

අප බොහෝ දෙනෙකු කැමති විනයකට යටත් වෙන මිනිසුන්ට ය. පාසල දරුවන් හුරු කරන්නේ ද විනයට යටත් වීමට ය. නිල ඇඳුමේ සිට හිස කෙස් කැපීම හරහා සපත්තුවේ මෝස්තරය දක්වා හැම දෙයක් ම පාලනය කිරීම තුළ මේ විනය පිහිටුවීම ද එක් අපේක්ෂාවකි. එම නීති රීතින්ට යටත් නොවන අයට දැඩි දඩුවම් පමුණුවන්නේ ඒ නිසා ය.

ඒ නිසා ම කීකරු කම සැළකෙන්නේ වැදගත් ගුණාංගයක් හැටියට ය. එය අංක එකේ ගුණාංගය හැටියට සළකන ආයතන ද තිබේ. පොලීසිය හා හමුදාව එසේ විනය අංක එක ලෙස සළකන ආයතන ය. එයින් විනය වැදගත්ය යන පණිවුඩයට අමතර ව අපට තවත් එක පණිවුඩයක් ලැබේ. ඒ විනය සෙසු ආයතන වල ඒ පමණටම අවශ්‍ය නැති බව ය. එසේ වන්නේ විනය අවැදගත් නිසා නොවේ. විනයට වඩා වැදගත් ගුණාංග වෙනත් ආයතනවලට අවශ්‍ය නිසා ය.

නව දේ නිපදවන්නේ, නව මගක යන්නේ, නව ආකාරයකින් හිතන්නේ, හීලෑ නොවුනු මිනිසුන් ය. සම්මතයට යටත් කර ගන්නට බැරි වූ මිනිසුන් ය. ඉහළින් පනවන විනයකට යටත් කරගන්නට අමාරු අය ය. ඒ නිසා ම නවෝත්පාදනයේ යෙදෙන ආයතන වලට විනය ඉක්මවන මිනිසුන් අවශ්‍ය ය.

උදාහරණයක් ලෙස පාසලට හීලෑ වී ඉගෙන ගත් අය රැකියාවල් කරන විට පාසලකින් කට්ටි පැන්න අය ව්‍යාපාරිකයන් වී පාසලේ සිටි කීකරු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රැකියා දෙන තත්වයක් හොඳින් විමසන විට අපට දක්නට ලැබෙන්නේ ඒ නිසා ය. මා උගත් පාසලට, තමන් විසින් විනය කඩ කිරීමේ වරදට අස් කළ අයෙකුට, පසු කලෙක උත්සවයක් පවත්වා, පාසල් කීර්ති සම්මානයක් පුදන්නට සිදු වුනේ ද ඒ නිසා ය.

අප රටේ වැඩි දෙනෙකුගේ ආගම වන බුද්ධාගමේ ශාස්තෘවරයා සිය පියා පෙන්වා දුන් මග යෑම ප්‍රතික්ෂේප කර හොර රහසේ මාලිගයෙන් පිට ව ගියේ ය. පියාට හීලෑ වීම ප්‍රතික්ෂේප කළේ ය. සිංහල ජාතියේ ආරම්භකයා හැටියට සැළකෙන විජය ද අකීකරු පුත්‍රයෙකු බව ප්‍රකට ය. අප රට රැක්කා යැයි කියන දුටු ගැමුණු ද පියාට ස්ත්‍රී ඇඳුම් එවා පැන යමින් පියාට එරෙහිව කැරලි ගැසූ අකීකරු පුතෙකු වූයේ ය. ඒ කියන්නේ අකීකරු කම හිතන තරම් ම නරක දෙයක් නොවන බව ය.

අන් සියල්ල එක් පැත්තකත් විනය තව පැත්තකත් දමා තීරණ ගන්නට තරම් විනය ප්‍රබල නැති බව ය. කීකරු කම හැම විට ම වැදගත් නැති බව ය.

ඒ නිසා ම දරුවෙකු විනයට යටත් වීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ගුරුවරයෙකු කලබල විය යුතු නැත. ගුරුවරයා පළමුවෙන් සෙවිය යුත්තේ එසේ හැසිරීම ඔහු කරන්නේ සාධාරණ කරුණු ඇතිව ද යන්න විමසීම ය. එයින් දරුවා දෙන්නට හදන පණිවුඩය කුමක් දැයි අවබෝධ කර ගැනීම ය.

සේවකයෙකු කළමනාකාරිත්වය ප්‍රශ්න කරන විට කළමනාකරුවෙකු කලබල විය යුතු නැත. ඔහු නගන ප්‍රශ්නය නිවැරදි ද යන්න කළමනාකරු විසින් සොයා බැලිය යුතු ය. වෙන අය නොදුටු පැත්තක් එම පුද්ගලයා විසින් දැක ඇත්දැයි විමසිය යුතු ය.

අනුගාමිකයෙකු අන්ධ ලෙස හීලෑ වීම ප්‍රතික්ෂේප කරන විට නායකයෙකු කලබල විය යුතු නැත. එසේ ප්‍රතික්ෂේප නොකරන්නේ කුමන පදනමකින් ද යන්න නායකයා සොයා බැලිය යුතු ය. ඒ කැරලිකරුවා කියන පණිවුඩය කුමක් දැයි විමසිය යුතු ය.

ඒ හැම කෙනෙකුම, ඒ හැම මැදිහත් වීමක් ම, අපට අප ගැන නැවත හිතන්නට, අප කරමින් තිබෙන දේ ගැන නැවත හිතන්නට, අප සිතන පතන විදිහ ගැන නැවත හිතන්නට, අප යොමු කරන්නේ ය.

ඒ සමගම අප මතක තබා ගත යුතු තව දෙයක් තිබේ. පාසලින් කට්ටි පැන්න හැම කෙනෙකුම ව්‍යාපාරිකයෙකු වී නැති බව ය. අකීකරු පුත්‍රයන් හැම කෙනෙකුම ලොවට යහපත් දේ දයාද කර නැති බව ය. එයින් අදහස් වන්නේ අකීකරු කම හැම විටම තනිව ගෙන සුගුණයක් යැයි කිව නොහැකි බව ය.

වෙන කෙනෙකුට හීලෑ වීම ප්‍රතික්ෂේප කළ ද එසේ අකීකරු වූ ශ්‍රේෂ්ඨ මිනිසුන් බොහෝ දෙනෙකුට ස්වයං විනයක් තිබුනේ ය. ස්වයං පාලනයක් තිබුනේ ය. හරි වැරැද්ද ගැන ඔවුන්ගේ ම වූ දැක්මක් තිබුනේ ය. ඒ නිසා ඔවුහු ආචාරධාර්මික ජිවිත ගත කළෝ ය.

කැරලි ගැසීම නරක නැත. එහෙත් ඒ කැරලි ගැසීම තුළ ද ඊට ආවේනික විනයක් තිබිය යුතු ය. ශික්ෂණයක් තිබිය යුතු ය. කැරලිකරුවා සතුව කැරලි ගැසීමේ ලක්ෂණය අභිබවන ශික්ෂණයක් ඔහුට හෝ ඇයට තිබිය යුතු ය. ඒ ශික්ෂණය අභ්‍යන්තරයෙන් එන්නක් විය යුතු ය.

ඔබ බිය යුත්තේ බාහිර විනයකට යටත් කරගන්නට බැරි මිනිසුන් ගැන නොවේ. අභ්‍යන්තර විනයක්, ස්වයං විනයක්, නැති මිනිසුන් ගැන ය.

ප්‍රභාකරන් හා විජේවීර යන කැරලිකරුවන් දෙදෙනාම අසමත් වූයේ ඔවුන් සතුව මේ ගුණය නොතිබූ නිසා ය. කැරලිකරුවෙකු මිය යෑම අරුමයක් නොවේ. එහෙත් ඒ සමග ඔවුන්ගේ අරමුණ මිය යෑම ගැටළුවකි. ප්‍රභාකරන් හා විජේවීර සමග ඔවුන්ගේ කැරලි ද ඒ කැරලිවලින් අපේක්ෂා කළ අරමුණු ද මිය ගියේ ය. ඒ ඔවුන්ගේ අරමුණ වූ බලය ලබා ගැනීම පිණිස ඕනෑම දෙයක් කිරිමට ඔවුන් පසුබට නොවූ නිසා ය. ඔවුන් සතුව රකින්නට කිසිදු ආචාර ධර්මයක් නොවූ නිසා ය. ස්වයං විනයක් හෝ ප්‍රමාණාත්මක ශික්ෂණයක් නොතිබූ නිසා ය.

මාර්ටින් ලූතර් කිං (කණිෂ්ඨ) ද මහත්මා ගාන්ධි ද කැරලිකරුවෝ ය. එහෙත් ඒ දෙදෙනා තුළම කැරලිකාර ස්වභාවය අභිබවන ස්වයං විනයක් තිබුනේ ය. තමන් මුළු ජීවිතයම කැප කොට හඹා ගිය අරමුණ උදෙසා වුව, තමන් පිළිගත් අවිහිංසාව යන ආචාර ධර්මය හැර යෑම ඔවුහු ප්‍රතික්ෂේප කළෝ ය. ඒ නිසා ම ප්‍රභාකරන් හා විජේවීර මෙන්ම  ඒ දෙදෙනාව ද විරුද්ධ වාදීන් විසින් මරා දැමුව ද ඔවුන්ගේ අරමුණ මරා දැමීමට කිසිවෙකුටවත් බැරි වූයේ ය.

ක්‍රිස්තුත් වහන්සේ ද කැරලිකරුවෙකු ලෙස සළකා කුරුසියේ අණ ගසන ලද නමුත් උන් වහන්සේගේ ධර්මය අදටත් පවතින්නේ කැරලිගැසීම තුළ ආරක්ෂා කළ ප්‍රදර්ශනය කළ ශික්ෂණය නිසා ය. හිට්ලර් ද පෙරලිකාරයෙකි. එහෙත් ඔහු තුළ එවැන්නක් තිබුනේ නැත. ඒ නිසා ම ඔහුගේ අවසානයත් සමග ඔහුගේ අරමුණ ද මිය ගියේ ය.

හීලෑ මිනිසුන්ගෙන් ලොවට ඇත්තේ සීමිත දායකත්වයකි. අකීකරු පුත්‍රයන් ඊට ප්‍රතිපක්ෂව ලෝකය වෙනස් කිරීමට කටයුතු කර ඇත. එහෙත් ඒ අතරින් සාර්ථකත්වය ලබා ඇත්තේ ස්වයං විනයක්, ස්වයං පාලනයක්, ඇති ව කැරලි ගැසූ අය පමණ ය. ශික්ෂණයකින් තොරව ගහන කැරලි වැදගැම්මකට නැත. ඒවා බොරු කලබලයක් ඇති කොට වැඩිකල් නොයා දූරිභූත ව යන්නේ ය. සෝඩා බෝතලයක් ඇති කරන කලබලයට එහා නොයන්නේ ය.

දැන උගත්කම් හා ප්‍රායෝගිකත්වය


50853

උගත් අයගේ විගඩම් බලන ඇතැම්හු කියන්නේ උන් පොළොවේ පය ගසා නැති අමුතුම සතුන් වර්ගයක් බව ය. ජීවත් වන්නේ උන්ටම උරුම වූ අරුම ලෝක වල බව ය. මහ පොළොවේ ජීවත්වන මිනිසුන් සමග පෑහීමක් ඒ නිසා ඔවුන්ට නැති බව ය.

මේ චෝදනා වල කිසියම් ඇත්තක් නැතිවා නොවේ. තමන්ගේ ක්ෂේත්‍රය තුළ ඇසූ පිරූ ඇත්තේ වුව ද බොහෝ දෑ දැන සිටින්නේ වුව ද ඉන් අඟලක් දෙකක් එහාට වුනොත් මේ ඇතැම් උගත්තු දන්නා දෙයක් නැත. එක ක්ෂේත්‍රයක ගැඹුරට ගිය ද ලෝකයේ පළල ගැන වගේ වගක් ඔවුන්ට නැත. ඒ නිසා බොහෝ බාහිර ප්‍රශ්නවල දී ඔවුන් මොන්ටිසෝරි ළමයි බවට පත් වෙනවා අපට දැක ගත හැකි ය.

ඕනෑවට වඩා හිතන අයට ඒ දණ්ඩේ යන්නට බැරි ය. පණ්ඩිතයන්ට ඒ දණ්ඩේ යන්නට බැරි යයි කියමින් ගැමියන් අපහාසයට ලක් කරනු ලබන්නේ ද මේ ඊනියා උගතුන් ය.

ඔවුන්ගේ විසූක දස්සණ බලන බොහෝ දෙනෙකු පොදුවේ දැන උගත්කම ද පාච්චල් කරනු ඊට සමාන්තරව අප දැක තිබේ. ඇතැම් දෙනා එසේ කරනු ලබන්නේ උගතුන්ට න්‍යායික දැනුම තිබුනේ වුව ද පොතපතේ දැනුම තිබුනේ වුව ද ඒ දැනුම වැඩකට ගත නොහැකි ප්‍රායෝගික නොවන දැනුමක් බව කියමිනි.

න්‍යායික දැනුමට වඩා ප්‍රායෝගික දැනුම ඉහළ ද? වඩා ප්‍රයෝජනවත් ද? මේ දෙආකාරයක දැනුම සමග අප ගනුදෙනු කරන්නේ කෙසේ ද? අද මාතෘකාව ඒ පිළිබඳව ය.

පොත පතේ ඇති න්‍යායික දැනුම මිනිසුන් සිය දහස් ගණනකගේ අත්දැකිම් පෙරා සාදා ගත් එකකි. එහෙත් එය වියුක්ත දැනුමකි. උදාහරණයක් ලෙස ඕනෑම වස්තූන් දෙකක් රික්ත අවකාශයක එකම උසක සිට අතැරියොත් එක ම ත්වරණයකින් පොළොව කරා එන බවත් ඒ නිසා එකම මොහොතක පොළොවට ළඟා වන බවත් එසේ සොයා ගත් වියුක්ත දැනුමකි. රික්ත අවකාෂයක කරන ලද පරික්ෂණ ගණනාවක අවසාන නිගමනය එය ය.

ප්‍රායෝගික දැනුම කෙනෙකු තමන්ගේ වැඩ කිරීමෙන් ලබන දැනුමකි. සංයුක්ත දැනුමකි. ගලක් හා පුළුන් කෑල්ලක්  එක ම උසම සිට අතැරියොත් එසේ එකම කාලයක දී පොළොවට ළඟා නොවන බව කෙනෙකුගේ පෞද්ගලික අත්දැකීමකි. එයින් එම පුද්ගලයාට බැස ගත හැකි එක් නිගමනයක් නම් බර වැඩි ද්‍රව්‍යය ඉක්මණින් පොළොවට ළඟා වන බව ය. ඒ නිසා ම ඔහු අප කලින් කී න්‍යායික දැනුම ප්‍රතික්ෂේප කර තමන්ගේ ප්‍රායෝගික දැනුම මත විශ්වාසය තබනු ඇත. ඔහුගේ අත්දැකීම ඇත්ත නමුදු ඔහු එයින් බැසගත් නිගමනය වැරදි ය. හේතුව පුළුන් කෑල්ල පමා වන්නේ එය හුළගින් ලබන උඩුකුරු තෙරපුමෙන් ඇතිවන ප්‍රතිඵලයක් ලෙස වීම ය. ගල් කැට දෙකක් අතැරියේ නම් බරින් වෙනස් වුව ද දෙකම පොළොවට ළඟා වනු ඇත්තේ එකම වෙලාවක ය. රික්තකයක නොවූව ද එහි අපට පැහැදිලි වෙනසක් දැකිය නොහැකි වනු ඇත. එහෙත් අප කී දෙවැනි පුද්ගලයා තමන්ගේ සංයුක්ත (කීප වරක් නිරීක්ෂණය කර ඇති අහඹු සිදුවීම් ඇසුරෙන් ලබා ගත්) දැනුම භාවිතා කරමින් න්‍යායික දැනුම අපහාසයට පත් කරනු ඇත.

මේ හේතුව නිසා න්‍යායික දැනුම ප්‍රායෝගික නැතැයි කියා අප ඉවත දැමිය යුතු නොවේ.

අප කී සංයුක්ත දැනුම අදාළ වන්නේ ගලක් හා පුළුන් කැබැල්ලක් යන නිශ්චිත වස්තූන් සම්බන්ධයෙන් වායුගෝලය තුළ කරන අත්හදා බැලීමක් විෂයෙහි පමණ ය. එහෙත් අප මුලින් කී වියුක්ත දැනුම පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් අනුසාරයෙන් කරන නිසා ඕනෑම වස්තූන් දෙකක් සම්බන්ධයෙන් ඕනෑම රික්තකයක දි අදාළ වන්නේ ය. ඒ වියුක්ත දැනුම යම් නිශ්චිත ගලක් හා පුළුන් කෑල්ලක් සම්බන්ධයෙන් වායුගෝලයේ දී යෙදෙන විට අවශ්‍ය නිවැරදි කිරිම් කරමින් යෙදිය යුතු ය.

ඒ නිසා ම වියුක්ත දැනුමේ සිමා ද සංයුක්ත දැනුමේ සීමා ද පැහැදිලිව දැන අප ඒ දැනුම් ආකාර දෙක භාවිතා කළ යුතු ය.

අපට දැනෙන්නේ පොළොව පැතලි බව ය. අහස ගෝලාකාර බව ය. හිරු පොළොව වටා කැරකෙන බව ය. ඒ අපගේ ප්‍රායෝගික දැනුම ය. එහෙත් ලෝකයේ විවිධ මිනිසුන් කාලාන්තරයක් තිස්සේ ලබා ගත් අත්දැකීම් ඇසුරෙන් මේ ප්‍රායෝගික දැනුම එසේ නොවන බව අපි දැන් දන්නෙමු. ඒ එම අත්දැකීම් ඇසුරෙන් නිර්මාණය වූ න්‍යායික දැනුමක් පොත පතින් උගෙනීමෙනි.

ඒ අනුව පොළොව ගෝලාකාර ය. අහස නිමක් නැති අවකාෂයකි. හිරු වටා කැරකෙන්නේ මහ පොළොව ය. අපට හිරු කැරකෙනවා සේ පෙනෙන්නේ අප කැරකෙන නිසා ය.

මේ දැනුම ලබා නොගත් කෙනෙකුට පහසුවෙන් ඒ දැනුමට සිනාසිය හැකි ය. මහපොළොවේ පය ගැසීමට අසමත් කෙනෙකුගේ විකාර යයි ප්‍රතික්ෂේප කළ හැකි ය. එසේ කර තම සුපුරුදු ජිවිතය ගැටළුවකින් තොරව ගෙන යා හැකි ය. ඒ ඔහු පොළොවේ කෙළවර සොයන්නටවත් අහසේ ඉම හොයන්නටවත් නොයන බැවිනි.

එහෙත් ඔහුට ඇමරිකාවේ නාසා ආයතනයේ වැඩ කරන්නට සිදු වුවහොත්, අගහරු ග්‍රහයාට යවන යානයක කිසියම් කාර්යයක් බාර වුවහොත්, ග්‍රහලෝක පිහිටීම හා අපේ මහ පොළොව ඇතුළු ග්‍රහ ලෝකවල භ්‍රමණයන් ගැන ද දැනගන්නට සිදු වනු ඇත. ලෝකය පැතලි යයි යන විශ්වාසයේ තවදුරටත් එල්බ ගෙන සිටීම ඔහුගේ කටයුතු කර ගෙන යෑමට බාධාවක් වනු ඇත. මහ පොළොව විශ්වයේ කේන්ද්‍රය ලෙස ගෙන මෙතෙක් තමන් ගොඩනැගූ චිත්‍රය ඔහුට බාධා කරනු ඇත. ඔහු ලද ප්‍රායෝගික දැනුම ඔහුට සීමා පනවනු ඇත.

එයින් කියවෙන්නේ ප්‍රායෝගික දැනුම අප දැනටමත් කරගෙන යන වැඩ ඒ විදියටම කර ගෙන යෑමට ප්‍රමාණවත් වන්නේ නමුදු අප ඉන් එහාට අඩිය තබන්නට යන්නේ  නම් එය නොසෑහෙන්නට ඉඩ ඇති බව ය. එය ඇතැම් විට අපේ නව ප්‍රයත්නයන්ට බාධා කළ හැකි බව ය

කළමනාකරුවෙකු මේ දෙයාකාරයේම දැනුම ලබා ගත යුතු ය. භාවිතා කළ යුතු ය. එකක් තම සුපුරුදු කටයුතු හොඳින් කර ගෙන යෑමට ය. අනෙක නව වපසරියකට තම කටයුතු පුළුල් කිරීමට ය.