ආයතනික රෝග සැඟවීමේ අරමුණ හා අනතුර


49988

රෝගියෙකුට සුවය ලැබිය හැකි වන්නේ පළමුව තමාට රෝගයක් තිබෙන බව පිළිගැනීමෙනි. දෙවැනිව, රෝගය කුමක් දැයි නිශ්චය කර ගැනීමෙනි. ඊට හේතු අවබෝධ කර ගැනීමෙනි. අවසාන වශයෙන් එය මර්ධනය කිරීමට සමත් නිශ්චිත ප්‍රතිකාර ක්‍රම හඳුනා ගැනීමෙනි. මේ කටයුතු සඳහා වෛද්‍ය ආධාර, විශේෂඥ ආධාර පැතීමෙනි.

රෝගියා තමන්ට රෝගයක් ඇතැයි පිළිගන්නට සූදානම් නැති නම් ඉතිරි කිසිවක් සිදු නොවේ. ලෙඩ රෝග සම්බන්ධයෙන් පමණක් නොව ආයතනික රෝග සම්බන්ධයෙන් ද රටක රෝග සම්බන්ධයෙන් ද මෙය සත්‍යය ය.

රෝගයක් තිබෙන බව දැන ගන්න ලැබෙන විට සමහර විට අප පමා වී සිටින්නට පුළුවන. ඒ නිසා රෝග ලක්ෂණ නැති විටක වුව අප අපගේ සිරුරේ ක්‍රියාකාරිත්වය ගැන විපරමින් සිටිය යුතු ය. වෛද්‍ය පර්යේෂණයන්ට භාජනය කළ යුතු ය. ඒ සඳහා තමන්ට රෝගයක් වැළඳෙන්නට ඉඩ ඇතැයි යන අදහස ඇති ව සිටිය යුතු ය. ආයතනික රෝග සම්බන්ධයෙන් ද එය සත්‍යය ය.

සමහර මිනිසුන් තමන්ට රෝගයක් ඇතැයි පිළිගැනීමට පමණක් නොව දැන ගැනීමට ද අකමැති ය. ඒ තමනට පාවිච්චි වන්නට සිදු වන නිසා ය. ඇතැම් ආහාරයන් අහිමි ව යන නිසා ය. තිත්ත කසාය බොන්නට සිදු වන නිසා ය.

ඉතින් ඔවුහු ලෙඩ වසන් කරති. තමන්ගේ හිතේෂීන්ගෙන් වසන් කරති. වෛද්‍යවරයාගෙන් වසන් කරති. ඇතැම් විට එවැන්නක් නැතැයි හිතින් මවා ගෙන තමන්ගෙන් ද වසන් කර ගනිති. එවන් අය දුර්වලව ඉක්මණින් මරණයට පත් වීමේ ශාක්‍යතාවයෙන් යුතු ය. එසේ කරන ආයතන හා රටවල්වලට ද ඊට වෙනස් ඉරණමක් අත් වෙන්නට විදිහක් නැත. මේ නිසා කළමනාකරුවන් තමන්ගේ ආයතන වල ඇති රෝගාබාධ සැඟවීමට කටයුතු නොකළ යුතු ය. ඒවා පිළිගෙන, මතුපිටට ගෙන, සංවාදයට ලක් කළ යුතු ය.

මේ රොකට් තාක්ෂණය නොවේ. සාමාන්‍ය දැනුම ය. අප සෙවිය යුත්තේ ඒ සාමාන්‍ය දැනීම භාවිතා නොවන්නේ ඇයි ද යන්න ය.

බොහෝ දෙනෙකුගේ කාලය පිළිබඳ දැක්ම සීමිත ය. එය අද හෝ හෙටින් එහාට යන්නේ කලාතුරකිනි. තමන්ගේ කාලය හා සෙසු සම්පත් මෙන් ම උත්සහයන් ද එදිනෙදා පැවැත්ම උදෙසා වැය කිරීමට ඒ වැඩි දෙනෙකු කැමති ය. රෝග ලක්ෂණ මැඩ පවත්වාගෙන සිටිය හැකි නම් එයින් මේ අය සෑහීමකට පත් වෙති. අවශ්‍ය එදිනෙදා ගනුදෙනුව කර ගෙන යෑම ය. අනාගතය ඒ හැටි කාරියක් නොවේ ය.

මේ අස්ථානය තහවුරු කර ගැනීමට ඔවුහු තම විශ්වාසයන්ගේ ද පිළිසරණ පතති. හෙට දවස තීරණය වෙන්නේ අපේ ඉරණම අනුව ය. ග්‍රහචාරය අනුව ය. පෙර කළ නොකළ පව් පින් අනුව ය. දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ය. ඒ නිසා අප කුමක් කළ ද ප්‍රතිඵල වෙනස්  වන්නේ නැත. මැරෙන්න තියෙනවා නම් කුමක් කළත් මැරෙන්නේ ය. ඒ නිසා රෝග සම්බන්ධයෙන් වැඩිමනත් මහන්සි වී වැඩක් නැත. කළ යුත්තේ බෝධි පූජා ය. පින්කම් ය. නව ග්‍රහයන්ට ඔරොත්තු දෙන මුදු පැළඳවීම ය. දෙවියන්ට බාර හාර වීම ය. යාඥා කිරීම ය. පන්සල් පල්ලි කෝවිල් වන්දනාවේ යෙදීම ය.

තමන්ගේ අනාගතය මෙවැනි අපූරු බලවේගයකට පවරා නිදහස් වන්නට ලැබීමම බොහෝ දෙනෙකට ඉස්පාසුවකි. ඒ නිසාම දෝ ඇතැම් කළමනාකරුවන් ආයතන සඳහා ද ආදේශ කරන්නේ මේ සූත්තරයම ය. ආයතනය තුළ ඇති ප්‍රශ්නවලට ද පිළිතුරු ලෙස ඔවුහු සර්ව රාත්‍රික පිරිත් සංවිධානය කරති. පින්කම් කෙරෙති. ඒ තුළින් මෙවැනි විශ්වාසයන් ඇති අයගේ විශ්වාසය ද දිනා ගනිති.

රෝග ලක්ෂණ විමසමින් රෝගය හඳුනාගැනීමේ කාර්යය මේ තරම් පහසු නැත. රෝගය හඳුනාගත්ත ද ප්‍රතිකර්මයන් කිරිම ද පහසු නැත. ඇතැම් රෝග සඳහා ගත යුතු ප්‍රතිකාර අතර බරපතල ශල්‍ය කර්මයන් ද තිබේ. එවැන්නකට යන වියදම පැත්තකින් තිබ්බ ද විඳින්නට වෙන දුෂ්කරතාවය විශාල ය. ආයතනික රෝග සම්බන්ධයෙන් තත්වය අතිශයින් සංකීර්ණ ය. විසඳුම් වඩාත් දුෂ්කර ය. දීර්ඝ කාලීන ය. ඇතැම් විට තමන්ගේ කාල වකවානුව තුළ කිසිදු ප්‍රගතියක් පෙන්නිය නොහැකි තරමට දීර්ඝ කාලීන ය. ඒ නිසා ම බොහෝ කළමනාකරුවන් කරන්නේ රෝගය වසං කිරීම ය. තුවාලයට පැලැස්තර දමා සැගවීම ය. වෛද්‍යවරයෙකුට නොපෙන්වා සිටීම ය. වෙනත් අය විසින් එසේ කළ යුතු යැයි පෙන්වා දුන් විට ද නෑසුනු කන් ඇතුව සිටීම ය. බැරි වෙලාවත් වෛද්‍යවරයෙකු මුණ ගැස්සුවහොත් ඔහුගෙන් ද හැකිනම් රෝගය සැගවීම ය. පැලැස්තර හා රෝග ලක්ෂණ මැඩ පැවැත්විය හැකි ප්‍රතිකාර පමණක් ඉල්ලා සිටීම ය.

ආයතන සම්බන්ධයෙන් කළමනාකරණ උපදේශකයන්ගෙන් (ආයතනික වෛද්‍යවරුන්ගෙන්) බොහෝ විට ඉල්ලා සිටින්නේ සේවකයන් (විශේෂයෙන් පහළ මට්ටමේ සේවකයන්) අභිප්‍රේරණය කරන්නට ය. එසේ කරන ආයතන කළමනාකරුවන් බොහෝ දෙනෙකු සිතන්නේ ප්‍රශ්නය ඇත්තේ පහළ ස්ථර වල බව ය. ඇත්තට ම බොහෝ ආයතන වල ප්‍රශ්නය ඇත්තේ ඉහළ ය. දෝෂය තමන්ගේ යැයි දැන ගන්නටවත් ඉහළ කළමනාකරුවන්ට ඕනෑ නැත. එය ඔවුන්ට අනුව විය නොහැකි දෙයකි. ඔවුන් සිතන්නේ දැනටමත් තමන් කළ යුතු සියල්ල කර ඇති බව ය. කරමින් ඉන්නා බව ය.

අමතර ප්‍රශ්නයක් ද තිබේ. ඒ දක්ෂ වෛද්‍යවරයෙකුගේ ගාස්තු ද ඉහළ වීම ය. ඒ නිසා ඇතැම් අය කරන්නේ ගොඩ වෙදකම් ය. ඉන් ලෙඩාගේ අයිතිකරුවන් සතුටු  කළ හැකි නමුත් තාවකාලික මානසික සහනයකට අමතරව ඉන් ලෙඩාට අත්වන සුගතියක් නැත. අවසානයේ රෝගය උත්සන්න වූ පසු ඒ සඳහා යන ඉහළ  වියදමට වඩා අද දවසේ කරන්නට වෙන සාපේක්ෂව සොච්චම් වියදම ඔවුන්ගේ වැඩි අවධානයට ලක් විම මෙයට හේතුව ය.

ආයතන සම්බන්ධයෙන් ද මේ තත්වය මේ විදිහට ම තිබේ. ආයතනයේ ලෙඩ රෝග පිරික්සා බලා ලෙඩය හඳුනාගෙන ප්‍රතිකර්මයන් දෙනු වෙනුවට බොහෝ විට කළමනාකරණ උපදේශයකයන්ගෙන් අපේක්ෂා කරන්නේ කළමනාකාරිත්වය විසින් හඳුනා ගෙන ඇති රෝගයට ප්‍රතිකර්ම කිරීම ය. ඒ හරහා උපදේශක ගාස්තු අවම කරගැනිමට ය. අවසනාවට බොහෝ විට එම රෝග විනිශ්චයන් වැරදි ය. ගැලවිජ්ජාව අරමුණු කර ගෙන කරන රෝග විනිශ්චයන් නිවැරදි විය හැක්කේ කලාතුරකිනි. ඒ සිය ගැලවීම උදෙසා ඇතැම් රෝග ලක්ෂණ සගවා වෙනත් ඒවා මතු කිරිමට කළමනාකරණය කටයුතු කරන නිසා ය. තමන්ගේ ඇහේ පොල් පරාල තිබිය දී සේවකයන්ගේ ඇහේ ඇති පොල් කෙඳි එවිට පෙනෙන්නේ ය. පය බරවායට පිටිකර බෙහෙත් බැඳ වැඩක් වන්නේ නැත. ඉන් විය හැකි එකම යහපත තමන් යමක් කළේ යැයි හිත හදා ගැනීම පමණකි.

මේ හේතු නිසා රෝග ලක්ෂණ නොසගවා දක්වා විශේෂඥ උපදෙස් ලබා ගෙන ආයතනික රෝග කල් ඇති ව හඳුනා ගැනීමටත් ඒවාට නිසි පිළියම් කිරීමටත් වගකීමක් කළමනාකරුවන්ට තිබේ. ඊට අමතරව කලින් කලට සිදු කරන පරීක්ෂණයන් මගින් මතු වීමට ඇති රෝග පිළිබඳව ද විමසිල්ලෙන් සිටිමේ වගකිමක් ද ඔවුන්ට තිබේ. ආයතනයක දිගු කල් පැවැත්මට කළමනාකරුවෙකු විසින් මේ වගකීම නිසි ලෙස ඉටු කිරිම අත්‍යවශ්‍ය  ය.