රජයේ කාර්යාලවල පසුගාමිත්වයට හේතු


See the source image

රජයේ කාර්යාලවල පසුගාමී ක්‍රමවේදයන් පිළිබඳව හා ඇතැම් නිලධාරීන්ගේ සිතීමේ නොහැකියාව ගැන උදාහරණ සහිතව ලියන ලද සටහනකට ලැබුණු එක් වටිනා ප්‍රතිචාරයක් වූයේ එසේ වී ඇත්තේ කුමන හේතු නිසා ද යන්න විමසිය යුතු බව ය. එය විසඳුම් අපේක්ෂා කරන කෙනෙකුගේ අවධානය ලැබිය යුතු ඒ නිසා ම මග හැරිය නොහැකි වටිනා කරුණකි. මේ සටහන ඒ හේතු විමසීමට ය.

මුල් ම හේතුව වන්නේ රාජ්‍ය ආයතන ඒකාධිකාරී ස්වභාවයක් ගැනීම ය. ඔවුන් සපයන සේවය වෙනත් ස්ථානයකින් ලබා ගැනීමට ජනතාවට නොහැකි ය. වෙනත් විකල්ප ආයතන තිබෙන විට වුව ද විශාල මුදලක් ගෙවා මිස ඒ සේවය ඒවායින් ලබා ගත නොහැකි නිසා ය.

දෙවැනි හේතුව පෞද්ගලික අංශයේ මෙන් ලාභ උපයා ගැනීමේ වුවමනාවක් ඊට නැති වීම ය. ඒ නිසා ම වෙනස් කිරීමට පෙළඹුමක් නැති වීම ය.

තුන්වෙනි හේතුව එවැනි වෙනසක් සඳහා කැප වීමට සූදානම් රාජ්‍ය සේවකයන්ට ඒ සඳහා දිරි ගැන්වීමක් නැති වීම ය. ඒ වෙනුවට ඔවුන්ට බාධක රැසක් මතු වීම ය. ඔවුන් කරදර කාරයන් හැටියට සෙසු නිලධාරීන් විසින් සැලකීම ය. මුල දී වෙනස් කම් සඳහා උනන්දුවක් දක්වන අය ද හකුළා ගෙන අයින් ගැසීම ය.

සිව්වෙනි හේතුව නම් මේ ක්‍රමවේද මග හැර තමන්ගේ හිතවතුන්ට විශේෂයක් කිරීම මගින් කිසියම් ආකාරයක වරප්‍රසාදයක් ලබා ගැනීමට ඔවුන්ට ඉඩ විවර කර ගැනීමට හැකි වීම ය.

පස්වෙනුව, ඒ නිසා ම, ඒ ක්‍රම හරහා ම, සෙසු අයගෙන් අල්ලස් සන්තෝසම් ලබා ගැනීමේ ඉඩක් විවෘත වීම ය.

සයවෙනුව, මේ තත්වය නිසා ඔවුන්ට අධිකාරී බලයක් ලැබීම ය. ඒ හරහා යම් අභිමානයක් හිමි වීම ය. 1970-77 යුගයේ සමූපකාර මැනේජර්ට හිමි ව තිබූ තත්වය වැනි “තත්වයක්” ලැබීම ය. සේවය ලබා ගන්නට එන අය දෙකේ කොළයට දමා සැලකීමට ඉඩ විවර වීම ය. එයින් පරපීඩක තෘප්තියක් ලැබීම ය.

සත්වෙනුව, රාජ්‍ය සේවයේ ආකල්ප සකස් වී ඇත්තේ කිසිදු වැරදීමක් නොවන පරිදි යමක් කිරීම කෙරෙහි ය. ඒ තුළ අවිනිශ්චිතතාවයට ඉඩක් නැත. පුංචි හෝ අවදානමකට ඉඩක් නැත. යම් ක්‍රියාවක් සිදු කිරීමේ දී 10,000 ට එකක වත් වැරැද්දක් සිදු නොවීමට වගබලා ගැනීම උදෙසා කප්පරක් නීති පැනවීම එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ ය. ඒ සඳහා 9,999 ට හිරිහැර සිදු වීම දරා ගත යුතු පිරිවැයක් ලෙස සලකනු ලැබේ.

අටවෙනුව, ඒ ආකල්ප වල ම කොටසක් හැටියට නීති සකස් කරන අය විසින් සේවය සලසන අය ද සේවය ලබා ගන්නා අය ද කම්බා හොරුන් ලෙස සලකා ක්‍රියාකරන බව ද පෙනෙන්නේ ය. කනගාටුවට කරුණ නම් කලාතුරකින් ඉන්නා හොරෙක් අල්ලා දඩුවම් කරනු වෙනුවට කරන්නේ සියල්ලන් හොරු ගණයට ලා උන්ට හිරිහැර කිරීම ය. ඇතැම් විට එයට ද සාධාරණ හේතුවක් තිබේ. විවිධ සම්බන්ධකම් භාවිතා කරමින් නීතියේ හිල් අතරින් රිංගමින් මේ වැරදි කරුවන් අසු නොවී කට්ටි පැනීම ය. ඇතැම් අවස්ථාවල නීතිය පසිඳලන ආයතනවල අනුග්‍රහයෙන් නිදොස් කොට නිදහස් වීම ය. ඒත් ඒ ප්‍රශ්නයට උත්තර සොයනු වෙනුවට අප කරන්නේ, යතුර වැටුන තැන අඳුරු නිසා එතැන එය නොසොයා ආලෝකය ඇති තැනකට ගොස් යතුර සොයන නස්රුදින්ගේ තත්වයට අප ව ද පිරිහෙලීම ය.  

නමවෙනුව, විගණන හා පරීක්ෂණ නිලධාරීන් ද පුහුණු කර ඇත්තේ ද ඉහතින් සඳහන් කළ සත්වෙනි සහ අටවෙනි ආකල්ප මත වීම නිසා ඒ ආකල්ප ආයතන ගත වී තිබීම ය. ඇටුවන් බැස තිබීම ය. ඒවායින් ගැලවිය නොහැකි ව තිබීම ය.

දසවෙනුව, සේවය කිසියම් ආකාරයකින් ලබා ගැනීමට මිස මේ තත්වය වෙනස් කර ගැනීම උදෙසා මැදිහත් වීමට සේවය ලබා ගන්නා අයට ද දිරිගැන්වීමක් නොමැති වීම ය. එසේ කරන්නට යෑමෙන් ලැබෙන සොච්චමත් අහිමි ව යතැයි යන සාධාරණ බිය ද ඊට අමතර හේතුවක් වීම ය.

මේ සියල්ලෙන් පෙනෙන්නේ පසුගාමී ක්‍රමවේද වෙනස් කිරීම පහසු නොවන බව ය. ඒ සඳහා සමාජයේ විශාල මැදිහත් වීමක් අවශ්‍ය බව ය. සමාජ සංවාදයක් අවශ්‍ය බව ය.

Reasons behind inefficient long drawn processes in the government service

A blog post citing specific examples on the prevailing regressive procedures and systems in the state institutes and the inability to think exhibited by the public officers was published recently in my blog. One important response received for the post was that without just stating the poor status we are saddled with, it is necessary to explore why it is so. Any one who expect the situation to improve cannot ignore this response. This post intends to present the reasons behind such backward systems and backward thinking.

One reason that things don’t change is the monopoly status enjoyed by these organizations. Public cannot get the service at all or without incurring a huge cost from any other place and as a result they have to come again and again in spite of the poor service.

Second reason is that unlike private sector which is driven by profit, state sector has no special drive to be better.

Third reason is that not only there are no incentives for individuals to initiate change even those officers who are willing are purposely discouraged by others in the system. Such initiatives are considered unnecessary hassle by a large majority. Hence those who try also withdraw after some time.

Fourth reason is that some of the unwanted restrictions could be ignored for those who are known; relatives / friends, which allow the staff to enjoy a privilege and the opportunity to exhibit power.

Fifth is that it creates a space to obtain bribes from others, because of the same reason cited above.

Sixth is that they could maintain an authoritarian status. The same status that was enjoyed by the managers of cooperatives during 1970-77 period, during which public had to purchase most of the essentials from cooperatives. Large segment of the public service enjoys this status.

Seventh is that there is an attitude in the government service that consolidates this, which is founded on perfectionism. In that there is no room for risk or uncertainty. You cannot be satisfied by getting 9,999 times right in a 10,000 times task; the odd one need to be prevented. Result is imposing numerous restrictions and prohibitions, to prevent that one at a cost to the people who do the 9,999 transactions. However, it is not very sure is this a reason or an excuse given.

Eighth is that as a part of the same attitude those who frame rules and regulations consider that the public who seeks the services and the officers who gives the services are rogues. The unfortunate thing is that without catching and punishing the few rogues all are considered and ill-treated as rogues. There could be a rational behind such action as actual rogues are powerful and well-connected to centers of power, they get away easily without being charged. Some law enforcing agencies are at times responsible for acquitting such rogues. However, without searching a solution to this it is useless and unjustifiable to punish the innocent by imposing numerous restrictions. That action is similar to what Nasrudin did when he lost the key in a dark place but instead opt to search it where there was light.

Ninth is that the investigating officers and auditors have been trained with the same attitudes in the seventh and eighth reasons mentioned above. For the same reason these attitudes have been rooted in the organizations and cannot easily be done away with.

Tenth is that the public who seeks the services do not have any incentive to intervene to change the situation, being powerless. They also fear that by such intervention they will lose the opportunity to get even the poor service that is extended with so many restrictions and delays.

All these indicate that it is not easy to get rid of these backward systems and practices. It requires a massive intervention by the society and for that a social discourse is required.

කොවිඩ් අනතුරු ඇඟවීමේ සන්නිවේදනයේ අවුල


See the source image

අලුත් අවුරුද්දේ සැමරීම් නිමාවත් සමග කෝවිඩ් මාරයා නැගී සිටියේ ය. මෙය මෙසේ ම සිදු වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟ වූ බව සැබෑ ය. ඒ නිසා ම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරන මෙන් ඔවුන් ඉල්ලා සිටි බව ද ඇත්ත ය.

එහෙත් ඒ අනතුරු ඇගවීම මිනිසුන් පිළිගත්තේ නැත. මෙය මිනිසුන්ගේ අමන කමක් ලෙස සලකා අපට මග හැරිය හැකි ද?

සැබෑවට සිදු වූයේ කුමක් දැයි තේරුම් ගැනීමට අප විමසිය යුත්තේ සන්නිවේදනයේ හෝඩිය ය.  

සන්නිවේදනය කරන්නේ වචන වලින් පමණක් නොවේ. ක්‍රියාවකින් ද සිදු වන්නේ සන්නිවේදනයකි. දෙවැන්න වක්‍ර ආකාරයකින් සිදු වුව ද ඒ දෙකින් වඩා ප්‍රබල වන්නේ දෙවැන්න ය. විශේෂයෙන් වචනයෙන් කියන සන්නිවේදනය හා ක්‍රියාවෙන් කරන සන්නිවේදනය අතර යම් පරස්පරයක් වේ ද මිනිසුන් විශ්වාසයෙන් යුතුව බාර ගන්නේ ක්‍රියාවෙන් කරන සන්නිවේදනය ය. හේතුව ඍජු ය. වචනයෙන් බොරු කිව හැකි ය. ක්‍රියාවෙන් බොරු කිරීම ඒ තරම් පහසු නැත. හොඳින් රඟ පාන්නට දන්නා කෙනෙකුට මිස අහු නොවන්නට ක්‍රියාවෙන් බොරු කිරීම අමාරු ය. කිසියම් තැනක සිදු වන පුංචි අතපසුවීමකින් වුව එය එලි වීමට නියමිත ය.

අනතුරු ඇඟවීම ප්‍රචාරය කළ මාධ්‍යය ම අවුරුදු උත්සව සංවිධානය කළෝ ය. රටේ මිනිසුන්ට ආදර්ශයක් දිය යුතු ව තිබූ බලධාරීහු ද සෞඛ්‍ය ආරක්ෂක උපක්‍රම අමු අමුවේ උල්ලංඝනය කරමින් ඒ උපදෙස් විහිළුවක් බවට පත් කළහ.

බස් වල හා දුම්රියේ පොල් පටවන ගානට පටවන ලද මිනිසුන්ට තව දුරටත් ඒකරාශී වීම් වලින් වැළකීමට දෙන ලද උපදෙස් අර්ථ විරහිත වූවේ ය. පාසල් විවෘත කිරිමට ගත් තීරණය අනතුරු ඇඟවීමේ සැර තව දුරටත් බාල කළේ ය.

සන්නිවේදනයේ වැදගත් ම පාඩම නම් යම් පණිවුඩයක් සාර්ථකව සන්නිවේදනයට එය හැම ආකාරයකින් ම එක ම අදහස එන සේ ප්‍රචාරය විය යුතු බව ය. පරස්පර සංඥා පණිවුඩයක් තුළ අන්තර්ගත නොවිය යුතු බව ය. සංඥා සංගත (coherent) විය යුතු බව ය.

කෝවිඩ් අනතුරු ඇගවීමේ පණිවුඩය සංගත නොවී ය. දැන්වත් සංගත පණිවුඩයක් යැවීමට සියලු බලධාරීන් එක් විය යුතු ය.

රජයේ ක්‍රමවේද නිසා උග්‍ර වන වාහන තදබදය, විදේශ විනිමය අර්බුදය හා මහජනතාවට විඳින්නට වන හිරිහැර


See the source image

වාහන තදබදය, විදේශ විනිමය අර්බුදය, මහජනතාවට විඳින්නට වන හිරිහැර යන මේ සියල්ලට පමණක් නොව මිනිසුන්ගේ කාලය කා දැමීමට ද වගකිව යුතු එක් ප්‍රධාන සාධකයක් වන්නේ ආණ්ඩුවේ පසුගාමී ක්‍රමවේදයන් හා නිලධාරීන්ගේ අමනෝඥ හැසිරීම ය.

ස්වදේශීය කටයුතු අමාත්‍යංශය යටතේ සංචාරක බංගලා ගණනාවක් රට පුරා පිහිටුවා තිබේ. ඒවා රාජකාරී සඳහා වෙන් කර නොමැති අවස්ථාවල පෞද්ගලික කටයුතු සඳහා රජයේ සේවකයන්ට ද විශ්‍රාමිකයන්ට ද භාවිතා කළ හැකි ය. එතෙකුදු ඒවා වෙන් කර ගත හැක්කේ නාරාහේන්පිට පිහිටි ස්වදේශීය අමාත්‍යංශ කාර්යාලයට ශාරීරිකව පැමිණීමෙන් පමණකි. වාහන හිමි රජයේ සේවකයෙකු ඒ සඳහා පොදු ප්‍රවාහන සේවයකින් එතැනට පැමිණෙන්නේ නැත. ඒ හැම වතාවක ම වාහන තදබදය ද විදේශ විනිමය අර්බුදය ද උග්‍ර කිරීමට එම ක්‍රමවේදයන් මගින් සැපයෙන්නේ නොමඳ අනුග්‍රහයකි. සේවා කාලය තුළ පැමිණිය යුතු නිසා වැඩ කළ යුතු කාලයෙන් කොටසක් ද කා දැමීමට එයින් සිදු වේ.

කොළඹ අවට වෙසෙන කෙනෙකුට ඒ සියලු පාපයන්ට අනුග්‍රහ දක්වමින් පැමිණිය හැකි වුව ද පිටපළාත්වල ඉන්නා රජයේ සේවකයන්ට පමණක් නොව විශ්‍රාමිකයන්ට ද එය අමතර හිරිහැරයක් ද වන්නේ ය.

විශ්‍රාමිකයෙකු නම් ඔහු විශ්‍රාම වැටුප් ලබා ගන්නා ප්‍රාදේශීය ලේකම්ගෙන් නිර්දේශයක් ද ලබා ගෙන පැමිණිය යුතු ය. ඔහු තාවකාලිකව දරුවෙකුගේ ගෙදර පදිංචියට ගොස් ඇත්නම් ඒ සඳහා වෙන ම ගමනක් පැමිණිය යුතු ය. මේ සියල්ල අවශ්‍ය වන්නේ අදාළ ඉල්ලුම්කරු විශ්‍රාමිකයෙකු දැයි සැක හැර දැන ගැනීමට ය.

විශ්‍රාමිකයෙකුට හඳුන්වා ගැනීමේ පත්‍රයක් ඇත. එය සංචාරක බංගලා බාරකරුට ඉදිරිපත් කළ යුතු යැයි කොන්දේසියක් පැනවීමෙන් ද ඒ හඳුන්වාගැනීමේ පත්‍රයේ අංකය ඉල්ලුම් පතට ඇතුළත් කළ යුතු යැයි කොන්දේසියක් පැනවීමෙන් ද ඒ අනන්‍යතා ප්‍රශ්නය මග හැර ගත හැකි ය. එහෙත් ක්‍රමවේදයන් සකසන අයට එවැනි සිතුවිලි පහල නොවේ.

ඒ ඇරුණු විට කෙනෙකු පෞද්ගලිකව පැමිණිය යුත්තේ මුදල් ගෙවීමට හා අදාළ වෙන්කිරීමේ ලිපිය ලබා ගැනීමට ය. ඒවා නවීන තාක්ෂණය භාවිතා කර දුරස්ථව කර ගත හැකි කටයුතු ය.

මා මේ සඳහන් කළේ, රජයේ සේවය සම්බන්ධයෙන් බලන කල, ඉතාම කලාතුරකින් යෙදෙන කටයුත්තක් බව ඇත්ත ය. එහෙත් මීට සමාන කටයුතු දහස් ගණනක් රජයේ සේවා ජාලයෙන් අපට සොයා ගත හැකි ය.

මහජන පුස්තකාලයට පොත් සපයා අදාළ මුදල් ලබා ගැනීමේ කටයුත්ත සඳහා සිව්වරක් එහි යෑමට මට සිදු විය. පළමු වතාවේ, පොතේ පිටපතක් අනුමැතිය සඳහා බාර දීමට ය. දෙවනුව, පොත් කිසියම් ප්‍රමාණයක් බාර දීමට ය. තෙවනුව, වවුචරය පිලියෙල කිරීමෙන් පසු මුද්දරයක් ගසා අත්සන් කිරීමට ය. සිව්වෙනුව, චෙක්පත ලබා ගැනීමට ය.

කොළඹ නගර සභාව පමණක් නොව තවමත් ආණ්ඩුවේ බොහෝ තැන් වල මුදල් ගෙවන්නේ චෙක්පත් මගිනි. ඒවා අන්තර්ජාල සම්බන්ධකම් හරහා අදාළ පුද්ගලයාගේ බැංකුවට කෙලින් ම යොමු කරන රජයේ ආයතන ද කීපයක් තිබේ. එයින් අදහස් වන්නේ සෙසු ආයතන වලට ද එය කළ හැකි බව ය. අවශ්‍ය වන්නේ වුවමනාව ය.

සමහර අවස්ථාවල අදාළ ලේඛන නොමැති වුව ද විකල්ප ක්‍රම මගින් අවශ්‍ය තොරතුරු තහවුරු කර ගත හැකි ය. ඔ්ස්ට්‍රේලියාවේ කලක් ජීවත් වූ මට ඒ පිළිබඳ අගනා අත්දැකීමක් ඇත. ඒ මා රජයේ කාර්යාලයකට ගොඩ වැදී යම් සේවාවක් ලබා ගැනීමට යෑමේ දී මගේ අනන්‍යතාවය තහවුරු කරගන්නට එම කාර්යාලයේ වැඩ කළ සේවකයෙකුට වුවමනා වූ විට ය. ඒ සේවකයා මුලින් ම ඇසුවේ මා සතුව රියැදුරු බලපත්‍රයක් තිබේ ද යන්න ය. මා නැතැයි කී විට ඔහු මගේ ගමන් බලපත්‍රය ඉල්ලා සිටියේ ය. එය ද නැතැයි කීවිට මා සේවය කරන ස්ථානයෙන් ලබා දුන් කිසියම් හඳුනාගැනීමේ ලේඛනයක් මා සතු ව තිබේදැයි ඇසුවේ ය. අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා මා සතුව කිසිවක් නැති බව තේරුම් ගත් මම එයින් එකක් රැගෙන නැවත පැමිණෙන්නෙමැයි කීවෙමි. ඔහු කීවේ මා සම්බන්ධ තොරතුරු කීපයක් ලබා දිය හැකි නම් මගේ අනන්‍යතාවය ඔහුට තහවුරු කර ගත හැකි බව ය. ඔහු ඉන්පසු මගෙන් ඇසුවේ මා මගේ නිවසේ පදිංචි වූවේ කුමන කාල වකවානුවේ ද මගේ නමට දුරකථනයක් ඒ සමගම ලබා ගෙන ඇති දැයි කියා ය. මම පදිංචි වූ දින වකවානුත් මගේ දුරකථන අංකයත් ඔහුට ලබා දුන් පසු ඔහු ඒ තොරතුරු එම රටේ ටෙලිකොම් සමාගමෙන් විමසා තහවුරු කර ගත්තේ ය. ඉන්පසු මගේ අනන්‍යතාවය ඔහුට ගැටළුවක් වූයේ නැත. ඒ 1992 වර්ෂය තරම් ඈත කාලයේ දී ය.

මා හිතන ආකාරයට වාහන තදබදය අවම කිරීම, විදේශ විනිමය අර්බුදය ලිහිල් කිරීම හා ජනතාවගේ පහසුව වැඩි දියුණු කිරීම යන කාරණා තුන ම ඉලක්ක කර ගෙන රජයේ ක්‍රියාදාමයන් හා ක්‍රමවේදයන් තාක්ෂණය ද උපයෝගී කර ගනිමින් අප රටේ ද පමා නොවී යාවත්කාලීන කළ යුතු බව ය. එය සේවාලාභීන් වෙනුවෙන් පමණක් නොව රටේ පොදු අභිවෘද්ධිය වෙනුවෙන් ද කළ යුතු කාර්යයකි.

විශේෂයෙන් කෝවිඩ් වසංගත තත්වය යටතේ එහි පැතිරීම අවම කිරීමට එයින් වන දායකත්වය ද සළකා මෙය ඉතා ඉක්මණින් ඉටු කළ යුතු මෙහෙයකි.