දියමන්ති මාලයක් ගෙලේ බැදී අසුන්දර ගැහැණියගේ කතාව


ඇය අසුන්දර ය. රුවින් පමණක් නොව වෙනත් ආකාරයෙන් ද අසුන්දර ය. එහෙත් ඇගේ ගෙලේ වටිනා දියමන්ති මාලයකි. එහි ආකර්ෂණය ඇගේ අසුන්දරත්වය වසන් කිරීමට හේතු වනු ඇත් ද?

කළමනාකරණ බ්ලොග් අඩවියක සුන්දරත්වය කතා කරන්නේ ඇයි ද යන ප්‍රශ්නය ඔබට නැගිය හැකි ය. අප ඒ කතාව කීවේ අප අද කතාකරන්නට යන මාතෘකාවට සාදෘශ්‍යයක් (analogue) වශයෙනි.

යටිතල ව්‍යුහය දියුණු කිරීම රටක සංවර්ධනයට අතවශ්‍ය ය. එයින් අදහස් වන්නේ මහාමාර්ග, දුම්රිය මාර්ග, වරාය, ගුවන් තොටුපොළවල්, විදුලිබලාගාර පමණක් නොව ක්‍රීඩා පිටි ද සෑදිය යුතු බව ය. දියුණු කළ යුතු බව ය. වත්මන් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් සැළකිය යුතු ප්‍රගතියක් ද අත් කර ගෙන ඇත. එහෙත් ඒවායේ සාර්ථකත්වය ගැන මිනිසුන් තුළ කුකුසක් තිබේ. ඒ කුකුස සාධාරණ ය.

මත්තලට ගුවන්යානා ප්‍රමාණවත් ලෙස එනු ඇත් ද? හම්බන්තොට වරායට නැව් ප්‍රමාණවත් සංඛ්‍යාවක් පැමිණෙනු ඇත් ද? දකුණු අධිවේගී මාර්ගයේ ආයෝජනයට ප්‍රමාණවත් ආදායමක් රටට ලැබෙමින් තිබේ ද? යන මේ ප්‍රශ්න මේ කුකුසට හේතු වී තිබේ.

මේවා රටට වැදගත් වන්නේ ඒ මගින් රටේ ප්‍රමාණවත් වර්ධනයක් ඇති වේ නම් ය. සංචාරකයින්ගේ පැමිණීම වැඩිවන්නේ නම් ය. දේශීය මෙන්ම විදේශීය ආයෝජනයන් ද වැඩි වේ නම් ය. ක්‍රීඩාතරග ක්‍රීඩකයන් මෙන්ම ප්‍රේක්ෂෙකයින් ද ක්‍රීඩාගාර ප්‍රයෝජනයට ගන්නේ නම් ය. මේ යටිතල පහසුකම් ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය ඉහළ දමන්නේ නම් ය.

ඒ සදහා යටිතල පහසුකම් තිබීමම ප්‍රමාණවත් නොවේ.

රට තුළ ඊට සමගාමීව නිදහස් පරිසරයක් තිබීම ද ආයෝජකයන් හා සංචාරකයින් දිරිගන්වන වටපිටාවක් තිබීම ද  නීතියේ ආධිපත්‍ය සහිත සුරක්ෂිතභාවයක් සහතික කොට තිබීම ද එහි පුරවැසියන් තුළ ප්‍රගතිගාමී සිතුවිලි තිබීම ද ඔවුන් දැනුමෙන් සන්නද්ධව තිබීම ද කුසලතා සහිත වීම ද සෞඛ්‍ය සම්පන්න වීම ද වැනි තව බොහෝ දේ අවශ්‍ය ය. යටිතල පහසුකම් සංවර්ධනයට සමගාමීව ඉහත සාධකවල වර්ධනයක් පෙන්නුම් නොකරන්නේ නම් ඒ යටිතල පහසුකම් අමතර බරක් වනවා හැර වෙන කිසිවක් ඇති නොකරන්නේ ය.

අප මේ බ්ලොග් අඩවියෙන් උත්සහ කරන්නේ රට හදන්නටම නොවේ. අපගේ වැඩිමනත් අවධානය ආයතන හදන්නට ය.

රටේ සිදුවන මේ සිදුවීම් පෙළ ආයතනවලට ද අදාළ ය. යම් ආයතනයක් සිය යටිතල පහසුකම් ඉතාම හොදින් දියුණු කරන්නට පුලුවන. බිමට පොලිෂ් ගල් ද උඩට උඩු වියන් ද බදින්නට පුලුවන. එහෙත් ඊට සමගාමීව ආයතනයේ සේවක සබදතා මහජන සබදතා මෙන්ම වෙනත් ක්‍රමවේදවල ද වෙනසක් නොම වේ නම් යටිතල පහසුකම් ආයතනයට අමතර බරක් මිස එලියක් වන්නේ නැත. රටේ කතාව කීවේ ඒ ටික කියන්නට ය.

මුලින් යොදා තිබූ මාතෘකාව අසමතුලිත සංවර්ධනයේ බරපැන යන්න ය. මාතෘකාව වෙනස් කළේ වුව ද කිව්වේ ඒ ගැන ය.

සයිබර් අවකාෂයේ පා තැබීම, සැරිසැරීම හා එය ජය ගැනීම


අතීතයේ මිනිසුන් බොහෝ දෙනෙක් එකිනෙකා හමුවුනේ වෙළද පොළේදී ය. පසු කලෙක පන්සලේ නැතිනම් පල්ලියේ ය. ඊලග වකවානුවේ ක්ලබ් එකේ නැතිනම් බාර් එකේ ය. දැන් බොහෝ දෙනෙක් මුණ ගැසෙන්නේ සයිබර් අවකාශයේ ය.

ඈත අතීතයේ මිනිසුන් යුද්ධ කළේ මහපොළොව මත ය. භූමිය අල්ලා ගත් පක්ෂය යුද ජයග්‍රහණය කළේ ය. මෑත අතීතයේ දී යුද්ධය සිදුවුනේ වෙළදපොළේ දී ය. වෙළද පොළ අල්ලා ගත් අය ඒ යුද්ධයෙන් ජය ගත්හ. අනාගත යුද්ධය සිදුවනු ඇත්තේ අභ්‍යවකාශයේ බව කලින් විශ්වාස ද කළ ද දැන් පෙනී යන්නේ එය සයිබර් අවකාශයේ සිදු විය හැකි බව ය. සයිබර් අවකාෂය පාලනය කළ හැකි අය අනාගතයේ ජය ගනු ඇත්තේ ය.

කළමනාකරුවන්ට මේ යථාර්තයට පිටු පා සිටිය නොහැකි ය.

දැන් මිනිසුන් හමුවන හා යුද්ධය සිදුවන තැන පමණක් නොව ව්‍යාපාරික ගනුදෙනු කරන තැන බවට ද සයිබර් අවකාශය පත් ව තිබේ.

වඩාත් වැදගත් දේ නම් භූගෝලීය දුර තවදුරටත් තීරණාත්මක නොවන බව ය. වෙනදා භෞතිකව පෙනී සිටිය යුතු බොහෝ දෑ දැන් (virtual) අතත්‍ය ව පෙනී සිටීමෙන් ඉටු කර ගත හැකි ය. ස්කයිප් හා වීඩියෝ තාක්ෂණය හරහා අතත්‍යව පෙනී සිටිය හැකි ය. ඔබට ම ආවේණික වූ රහස් පද හරහා ද අතත්‍යව පෙනී සිට කටයුතු කළ හැකි ය.

සයිබර් අවකාශය ඵලදායිකත්වය වැඩි කර තිබේ. සේවා සැපයීමේ වේගය අතිශයින් ඉහළ දමා තිබේ. වෙනදා ලගා විය නොහැකි ව තිබූ බොහෝ තැන්වලට ඒ හරහා යා හැකිව තිබේ.

හැම දෙයක්ම පාහේ වර්චුවල් – අතත්‍ය- වෙමින් තිබේ.

අප ඔබ හා මේ හමුවන්නේ ද සයිබර් අවකාශය හරහා ය. තවමත් ලංකාවේ එතරම් ප්‍රචලිත නොවෙතත් ඉදිරිගාමී ආයතනයන් ද ඉදිරිගාමී කළමනාකරුව්න් ද සයිබර් අවකාෂයේ තම පිය සටහන් තබා තිබේ.

ලංකාවේ සයිබර් අවකාශය භාවිතා කරන සීමිත මිනිසුන් සංඛ්‍යාව ද එය භාවිතා කරන්නේ සීමා සහිතව ය. සමාජ සබදතා සදහා එහි භාවිතය ඉහළ ය. තොරතුරු සොයාගැනීමේ මෙවලමක් ලෙස ද එය තහවුරුවී තිබේ. ගීතවලට සවන් දීමට ද චිත්‍රපටි බැලීමට ද වෙනත් එවැනි විනෝදජනක කටයුතු සදහා ද එය යොදා ගැනීම ප්‍රමුඛතාවක් ව තිබේ. ගුගල් සෙවුම් යන්ත්‍රය හරහා සෙක්ස් යන වචනය වැඩියෙන්ම සොයා ඇත්තේ ලංකාවෙන් බව මේ ඊයේ පෙරේදා වාර්ථා වූයේ ඒ නිසා විය යුතු ය. තව ටික කලකින් මෙයින් ඔබ්බට ශ්‍රී ලාංකිකයන් ද ගමන් කරනු ඇත්තේ ය. ඒ ඇරත් විදේශ පාරිභෝගිකයන් දිනා ගැනීමේ දී අපේ ව්‍යාපාරිකයන්ට දැනටම මෙයින් ප්‍රයෝජන ගත හැකි වී ඇත්තේ ය. ඒ ඔවුන් වඩාත් හොදින් හා පහසුවෙන් හමුවිය හැක්කේ ඒ හරහා බැවිනි.

සයිබර් අවකාශය ජය ගැනීමට ඉක්මන් වන අයට තරගයේ වාසිය අත්වනු ඇත්තේ ය.

තාක්ෂණය හැමදාමත් ලෝකය ඉදිරියට ගෙන ගියේ ය. අපේ ජීවිතවල පමණක් නොව සමාජ ව්‍යුහයන්ගේ ද වෙනස්කම් ඇති කිරීමට එය සමත් වී ඇත්තේ ය. එය ඒ සමගම අපේ සරල  දිවි පෙවෙත සංකිර්ණ කර ඇත්තේ ය. ඒ ගැන කොතෙක් මැසිවිලි නැගෙතත් ඒ මැසිවිලි නගන්නන්ම තව තවත් තාක්ෂණයේම එල්ලීමට තැත් කිරීමම එහි ශක්තිය කියා පායි.

අපට ඇත්තේ එක් විසදුමකි. එක්කෝ තාක්ෂණය පිළිගැනීම ය. නැතිනම් ….. ඒත් තාක්ෂණය පිළිගැනීම ය.

එතෙකුදු පැරණි කියමනක් තවමත් මේ නව තාක්ෂණයට අදාළ ය. දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග.

ඒ නිසාම සයිබර් අවකාශයට තමන් පය තබනවාට අමතරව තමන්ගේ සගයින් හා අනුගාමිකයින් ද ගෙන්වා ගත යුතු ය. එය ඔවුන්ට ද හුරු පුරුදු දන්නා අදුනන තැනක් කළ යුතු ය. මේ සටහන ඔබේ මිතුරන් අතර ඔබ බෙදා ගත යුතු තවත් එක් හේතුවක් ඒක ය.

මාළුවෙක් වෙනුවට බිලී පිත්තක් දීම


අවුරුදු ඉවරය. ඉස්සරහට එන්නේ වෙසක් ය. වෙසක් යනු දැන් නම් දන් සැල් ය. දන් දෙන්නට මෙහෙව් ජාතියක් වෙන මොන දීපංකරේවත් නැත. ඒ දානය ගැන කළමනාකරුවෙකුගේ අස්ථානය විය යුත්තේ කුමක් දැයි මේ ලිපියෙන් විමසා ඇත්තේ ය.

ඔබ දාන පතියෙක් විය හැකි ය. එහෙත් ඔබේ දානයෙන් ඵලක් වන්නේ එය කල්පනාවෙන් දුන්නෝතින් ය. එසේ නොකළොත් එය ලබන්නාගේ පරිහානියට හේතුවක් වන්නට වුව ඉඩ තිබේ. මේ ලිපියේ අරමුණ දානය ගැනත් එහි ආනිසංශ ගැනත් හරියට දන්දෙන හැටිවත් කියා සිටීම නොවේ. කළමනාකරුවන් ඒ දෙස බැලිය යුත්තේ කෙසේ දැයි දක්වා සිටීමට ය.

හිගන්නන්ට මුදල් දෙන අය තමන් හිගාකෑමට ප්‍රචලිත කිරීමට අනුග්‍රහයක් සපයන්නේය යන්න කිසිදා හිතන්නට නැත. එහෙත් ඔවුන් කරන්නේ එය යි. හිගා කෑම ලෙහෙසි පහසු නැත. අව්වේ සිටිය යුතු ය. හිට ගෙන සිටිය යුතු ය. සල්ලි දෙන්නේ යයි හිතෙන කෙනෙකු වෙත ගොස් දුක් මුහුණක් හදා ගෙන දුක හිතෙන යමක් කිව යුතු ය. මේ සියල්ල  ලෙහෙසි පහසු නැත. රැකියාවකට වඩා අමාරු ය. එහෙත් මිනිසුන් මෙහි යෙදෙන්නේ රැකියාවකින් ලබන මුදලකට වඩා වැඩි මුදලක් ඒ හරහා උපයා ගත හැකි නිසා ය. අප මුදල් නොදෙන්නේ නම් ඔවුන්ට රැකියාවක් සොයා ගන්නට සිදුවන්නේ ය. අප නිකමුන් හදන්නේ සල්ලිත් වියදම් කරලා බව බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැත. මහන්සියෙන් වැඩ කරන මිනිහෙකුට ටිකක් වැඩියෙන් දෙන්නට කම්මැලි කරන මිනිසුන් මෙසේ නිකමුන්ට ලෝස් නැතිව බෙදන විට නිකමුන් බෝ වීම පිළිබද වගකීම ද ඔවුන් දැරිය යුතු නොවන්නේ ද?

ආයතනයක සතුව සම්පත් තිබේ. ඒවා නිසි ලෙස දීම නායකයෙකුගේ එක් කාර්යයකි. නායකයෙකු හැටියට යමක් දෙන්නට තීරණ ගැනීමේ දී ඔබ දෙන්නේ මොනවා ද ඒවා දෙන්නේ කෙසේ ද ඒවා දෙන්නේ කාට ද යන්න පිළිබදව නිවැරදි අස්ථානයක ඔබ සිටිය යුතු ය.

ආණ්ඩුවක් ගොවියාට අඩු මිලට පොහොර දෙනවා වෙනුවට වඩාත් ඵලදායී අස්වැන්නක් ගත හැකි බීජ (දෙන්නේ කුමක් ද) පසුව ගෙවීමේ පදනම යටතේ (දෙන්නේ කෙසේ ද) මුදල් හදල් අහේනිය ඇති ගොවීන්ට (දෙන්නේ කාට ද) වෙළද පොලේ මිලට වුව ලබා දෙන්නට සිතන්නේ නම් ඇති විය හැකි ප්‍රතිඵලය මීට වඩා හාත් පසින්ම වෙනස් ද ඵලදායී ද විය හැකි ය. එසේ කරන්නේ මුදල් නොමැති නිසා ඔවුන්ට වඩා අඩු ශක්තියක් ඇති බිජ යොදන්නට වන නිසා ය.

එසේ කළේ වී නම් පොහොර බොහෝමයක් අපතේ ගොස් වැව්වලට එකතු වන්නේ නැත. වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වීම නිසා කොහොමටත් අදාළ පොහොර ණය වී හෝ ගැනීමට ගොවියා උත්සුක වනු ඇත. අස්වැන්න ලැබීමෙන් පසු ණය ගෙවා දමා අභිමානවත් මිනිසෙකු ලෙස ජීවත්වීමේ ඉඩකඩ ඔහුට ඇති වේ. ඔහු තුළ යැපුම් මානසිකත්වයක් ඇති වීමේ සහ වඩ වඩාත් ආණ්ඩුවේ මැදිහත් විම සෙවීමේ ගති ස්වභාවය ඇති නොවේ.

අවශ්‍ය වන්නේ මාළුවෙකු දීම නොවේ. මාළුවන් ඇල්ලිය හැකි බිලි පිති සැපයීම ය. ඒ සමග මාළු අල්ලන සාස්තරය ද පුලුවන් නම් කියා දීම ය.

ඔබේ සේවකයන් සම්බන්ධයෙන් ද අවශ්‍ය වන්නේ ඔවුන්ගේ වැටුප් නිකරුණේ ඉහළ දැමීම නොවේ. එය එකවරක් දෙකක් මිස දිගින් දිගට කළ නොහැකි ය. වැඩි වැටුප් ලබා ගත හැකි ලෙස වැඩ සංවිධානය කරගැනීමට ඔවුන්ට ඉඩ සැළැස්වුවහොත් ඔවුන් ඒ සදහා මැදිහත් වනු ඇත්තේ ය. ඒ මගින් මිනිසුන් වැඩියෙන් උපයන අතරේ ඔවුන්ගේ කාර්යය සාධනය ද ඔවුන් ඉහළට නංවනු ඇත්තේ ය. එය දිගින් දිගට පවත්වාගෙන යා හැකි එකකි.

ආයතනයත් දිනා සේවකයනුත් දිනිය හැක්කේ එමගිනි.

පෙනෙන මායිමෙන් එහා බැලීම


අප ඉහත දිනක සිහින දැකීමේ වැදගත් කම ගැන ලීවෙමු. අද අප ලියන්නේ පෙනෙන මායිමෙන් එහා බැලීමේ වැදගත් කම ගැන ය.

පෙනෙන මායිමේ හැටියට පොළොව පැතළි ය. එහෙත් එය ගෝලාකාර බව එයින් ඔබ්බෙහි බැලූවිට පෙනේ. පෙනෙන මායිමේ හැටියට ඉර පොළොව වටා කැරකෙයි. ඒත් ඉන් ඔබ්බට ගොස් බැලූවිට පෙනෙන්නේ පොළොව ඉර වටා කැරකෙන බව ය.

මේ දවස්වල පොල් ගණන් ය. ගියවර එසේ පොල් මිල ඉහළ ගියවිට අපූරූ යෝජනාවක් ඉදිරිපත් විය. පොල් නිශ්පාදන අපනයනයට සීමා පැනවීම ය. බැලූ බැල්මට පොල් මිල පහත හෙලීමට ඒ පියවරෙන් පුලුවන. ඒ නිශ්පාදන සදහා වැයවන පොල් ද දේශීය වෙළද පොළට පැමිණෙන නිසා සැපයුම වැඩි වී මිල පහල යෑමට එය තල්ලුවක් වීම ය.

ඒ අපට පෙනෙන මානය යි. ඒ පෙනෙන මානයෙන් එහා බැලූවිට තවත් පියවරක් එහාට තබා එසේ නැත්නම් ඉස්සී බැලූ විට පෙනෙන්නේ කුමක් ද?

පොල් නිශ්පාදන අපනයනයට පනවන සීමා නිසා ලෝක වෙළදපොලේ පොල් වෙනුවට ආදේශක ඇති වීම ය. වෙනත් රටවලට ඒ වෙළදපොළ හිමිවීම ය. පොල්වතු හිමියන්ගේ ආදායම පහළ යාම ය. ඔවුන් අධෛර්යය වීම ය. තවත් පොල් වතු කෑලි කර විකිණීමට උත්සුක වීම ය. පොහොර දැමීමට ඇති උනන්දුව අඩුවීම ය. පොල් නිශ්පාදනය පහළ යාම ය. මිල ඒ අනුව තවදුරටත් ඉහළ යාම ය.

බොහෝ කළමනාකරණ තීරණ සම්බන්ධයෙන් ද කිව යුත්තේ කළමනාකරුවන් පෙනෙන මානයෙන් එහා නොබැලීම නිසා වඩාත් වැඩි අගාධයකට තමන්ව තල්ලු කරගන්නා බව ය.

පුත දීඝායු ලග නොබලව දුර බලව යන බෞද්ධ සාහිත්‍ය යේ එන වදන් වැල පුරුදු අයට මෙහි අවකාෂයේ මෙන්ම කාලයේ අරුතින් ද පෙනෙන මානයෙන් එහා බැලිය යුතු බව ඒත්තු යනු ඇත්තේ ය. වෙනත් ආගමික ග්‍රන්ථ ඇසුරෙන් ද සමහර විට අපට මීට සමාන උවදෙස් සොයා ගත හැකි වනු ඇත.

වියදම් සීමා කිරීම ආර්ථික අර්බුදයක දී කළමනාකරුවෙකුට ඇති එක් උපාය මාර්ගයකි. එය කෙළින්ම ආර්ථික ඵලදායකත්වයට හේතුවන බැවිනි. කළමනාකරුවෙකු එසේ සිතා තමන් අලෙවිකරණය උදෙසා දරණ වියදම් කපා හැරියේ යැයි සිතමු. එවිට සිදුවනු ඇත්තේ කුමක් ද? ආදායම අඩුවීම ය. සමහර විට එයින් වන බලපෑම වියදම් කපා හැරීමෙන් අත් කරගන්නා ලාභයට වඩා වැඩිවන්නට ඉඩ තිබේ.

සමහරවිට එවැනි අවස්ථාවක කපා හරිනු ලබන්නේ සේවකයින්ගේ අතිකාල හෝ වෙනත් පාරිතෝෂිකයන් ය. වඩාත්ම සේවක සහයෝගය වුවමනා අවස්ථාවේ එය නැති කරගැනීමක් මෙයින් සිදුවනු ඇත්තේ ය.

ඒ නිසාම වියදම් කපා හැරීම පේනමානයේදී සාර්ථක උපායමාර්ගයක් විය හැකි වුවත් ඉස්සී බැලූවිට එය අප අගාධයට තල්ලුකරන්නක් බව පෙනී යනු ඇත්තේ ය. අප මේ කියන්නේ වියදම් කපා හැරීම විකල්පයක් නොවිය යුතු බව නොවේ. එසේ කිරීමට පෙර නොපෙනෙන මානයේ සිදුවිය හැක්කේ කුමක්දැයි විපරම් කර ප්‍රවේසමෙන් එය කරන ලෙස ය.

වියදම් කපා හැරීම සම්බන්ධයෙන් නොව වෙනත් බොහෝ කාරණා සම්බන්ධයෙන් මේ උපදේශය සත්‍ය වේ.

ප්‍රශ්නයක් විසදීම සදහා අපට ලැබෙන මුල් උත්තරය එලෙසින් බාර ගන්නේ නැතිව නැවත විමසිය යුතු බව එයින් අදහස් වේ. එසේ කිරීමේදී පේන මානයෙන් එහා බැලිය යුතු බව ද එයින් කියවේ.

මේ සම්බන්ධයෙන් ඔබගේ අත්දැකීම් ඇතොත් ඒවා අප සමග බෙදා ගනු ඇතැයි සිතමු.

සැබෑ වන්නේ දකින සිහිනයන් ය


ගියවර අපගේ බ්ලොග් සටහනට ප්‍රතිචාර දුන් අපේ හිතවතෙකු පැවසූවේ එම සටහනේ සදහන් ආයතන මේ මහපොළොව මත නැති බවත් ඇත්තේ මිනිසුන්ගේ සිහින තුළ පමණක් බවත් ය. සිහින දකින්නන් සැබෑ ලෝකයේ ජීවත් නොවන වැදගැම්මකට නැති අය ලෙස සැළකීමට ද සමහරු හුරුව සිටිති. සිහින දැකීමේ වැදගත්කම ගැන අපට ලියන්නට සිතුනේ සමාජය තුළ සිහින ගැන තිබෙන මේ නිශේධනීය ආකල්පයන් නිසා ය.

අප සිහින දැකිය යුතු ය. සැබෑ වන්නේ දකින සිහින ය.

ප්‍රවීන නාට්‍යකරුවෙකු වූ සුගතපාල ද සිල්වා මහතාගේ බිරිද සමග සාකච්ඡාවක සටහනක් රාවය පුවත්පතේ පළව තිබුනේ ය. එය කියවීමේ භාග්‍ය ඊයේ අපට ලැබිණ. එහිදී ඇය කියා තිබුනේ නාට්‍ය පිටපතක් ලියා අවසානයේ ගිනිකූරු ටිකක් රැගෙන මේසයක් මත මේ නාට්‍ය ගිනිකූරු රංගන ශිල්පීන් ලවා රගදැක්වීමට සුගතපාල ද සිල්වා කටයුතු කළ බව ය. සුගතපාල ද සිල්වා නාට්‍ය ගැන සිහින දැක තිබුනේ ගිනිකූරු සමගිනි.

කළමනාකරුවන් සතුව ද සිහින දැකීමේ ඒ දක්ෂතාවය තිබිය යුතු යැයි අපි විශ්වාස කරමු.

සිහිනය මතුපිටින් පමණක් දැක අහක දමන්නේ නැතිව එය නැවත නැවතත් දැකීමේ වඩ වඩාත් ගැඹුරින් විස්තර ඇතිව දැකීමේ වුවමනාවක් ඔවුන් සතු විය යුතු ය. විස්තර සහිතව සිහිනය දකින්නට පටන් ගත් විට එය මහ පොළොව මත ඇති කිරීම වඩාත්ම පහසු වන බැවිනි.

ඔබ වත්තේ ගහක් සිටුවන්නේ නම් ඒ ගහ වැඩී තිබෙනවා දකින්න. එයින් නිවසට වැටී ඇති හෙවනැලි දකින්න. එයින් වටපිටාවේ ගස්වලට විය හැකි බලපෑම දකින්න. හුලගක් හමනවා දකින්න. හුලගට ගහ වැනෙනවා දකින්න. එය මල් ඵල ගෙන තිබෙනවා දකින්න. කුරුල්ලන් වසා සිටිනවා මා වවුලන් එල්ලී සිටිනවා දකින්න. ඒ ගහ යට දකින්න. ඔබ ඒ ගහ යට ඉන්නවා දකින්න. පාරේ යන ළමුන් ගහට දක්වන ප්‍රතිචාරය ගැන දකින්න. අවසානයේ ගහ වෙනත් තැනක ඉන්දන්නට ඔබ තීරණය කරන්නට පුලුවන.

දකින හැම සිහිනයක්ම සැබෑ වන එකක් නැත. එහෙත් හීන දැකීම අත් නොහල යුත්තේ ය.

එක හීනයක කොටස් තවත් හීනයක් දැකීමට භාවිතා කළ හැකි වීම අප ලබන තවත් භාග්‍යයකි. ඒ නිසා සැබෑ නොවූ සිහිනවලින් ද පාඩුවක් සිදුවන්නේ නැත. ඒවා නව සිහිනයක කොටසක් ලෙස පසුව භාවිතායට ගත හැකි ය.

හීන දකින්නෙකු කිසි දිනෙක බලාපොරොත්තු අත් හරින්නේ නැත. අතරමංව මංමුලාවී ඇති අවස්ථාවක දකින සිහිනයකින් අපට අප යායුතු මාවත පෙන්වා දෙනු ඇත්තේ ය. අප නොසිතූ කෙනෙක් අපේ සහයට ගත හැකි බව අපට පෙන්වා දෙනු ඇත්තේ ය. අප නොසිතූ බාධකයන් පිළිබදව අපට අනතුරු අගවනු ඇත්තේ ය.

අප නිදන නින්දෙන් අපව ඇහැරවනු ඇත්තේ ඒ හීනයන් ය.

සිහින දකින්න. සැබෑ වන්නේ අප දකින සිහින ය.