ආයතනයක මිතුරුදම් පැවතිය හැකි ද?


නායකයෙකුට තම ආයතනය තුළ පෞද්ගලික මිතුරන් සිටිය හැකි ද? වැඩ සගයෙකු හෝ අනුගාමිකයෙකු මිතුරකු කර ගත හැකි ද? මිතුරෙකු ආයතනය තුළ රැකියාවකට බඳවා ගත හැකි ද?

මේ ප්‍රශ්නයට උත්තර දිය හැක්කේ මිතුරෙකු යනු කවරෙක් දැයි අර්ථ නිරූපනය කිරීම තුළ ය. දන්නා හඳුනන කෙනෙකුට අප මිතුරෙකු යැයි කියන්නේ නැත. එසේ නම් දැන හැඳුනුම්කමත් මිතුරුකමත් බෙදන රේඛාව කුමක් ද?

මිතුරෙකු ඉදිරියේ අපගේ අතිශය පෞද්ගලික තොරතුරු දිගහැරිය හැකි වුව ද දන්නා හඳුනන පමණින් කෙනෙකු ඉදිරියේ අප එසේ විවෘත වන්නේ නැත. එයින් කියවෙන්නේ විශ්වාසය මෙහිදී වැදගත් කාර්යයක් ඉටු කරන බව ය. අප කෙනෙකු ඉදිරියේ විවෘත වන්නේ අපගේ දුර්වලකම් ඔහු හෝ ඇය විසින් අපට එරෙහිව කුමන තත්වයක් යටතේවත් භාවිතා නොකරනු ඇතැයි යන විශ්වාසය තිබුනොත් පමණ ය. ඒ විශ්වාසය දිනාගත් අය පමණක් අපේ මිතුරන් බවට පත් වේ.

මිතුරුකමත් කළමනාකරුවෙකු හා අනුගාමිකයෙකු අතර ඇති සම්බන්ධයත් කිසියම් අවස්ථාවක ගැටුමකට යා හැකි ය.

ආයතනික හේතුවක් නිසා අනුගාමිකයෙකුට දඩුවම් කළ යුතු වූ විට දී මිතුරු කම හරහට එන්නට පුලුවන. අමාරුවෙන් හෝ දඩුවම් දීම තෝරාගත්තොත් ඒ තුළ මිතුරුකම අර්බුදයකට යන්නේ ය. මේ තත්වය අනවශ්‍ය බලයක් ගොඩ නගා ගැනීමට අනුගාමිකයාට රුකුළක් වන්නේ ය. එය අවසන් වනු ඇත්තේ අනුගාමිකයාව මෙල්ල කිරීමට නායකයාට එන පීඩනයකිනි.

එවැනි අවස්ථාවක මිතුරු අනුගාමිකයෙකු සතු ඒ බලය නොසළකා හැර දඩුවම් කරන්නේ නම් මිතුරුකම සතුරුකමකට වුව පෙරලිය හැක්කේ ය. මිතුරෙකු අමනාප කර ගැනීම සාමාන්‍ය කෙනෙකු අමනාප කරගන්නවාට වඩා භයානක ය. අර්බුදයකට ගිය මිතුරුකම නිසා අතීතයේදී විශ්වාසයෙන් හෙලිදරව් කළ යම් යම් දෑ නව තත්වයන් යටතේ ඇතිවිය හැකි සටනට අවශ්‍ය අවි බවට පත්වන්නේ ය.

වැඩ සගයාත් මිතුරාත් නැති වන අතර තමන් අතිශය අවාසනාවන්ත පහර දීමකට නිරාවරණය වීමට ඒ බිඳීම හේතු වන්නට පුලුවන.

ප්‍රශ්න ඇතිවන්නේ දඩුවමක් සම්බන්ධයෙන් පමණක් නොවේ. උසස්වීම් හෝ යම් ප්‍රතිලාභයක් මිතුරෙකුට දීමේ දී ද බොහෝ දෙනා උදහස් වනු ඇත. එය ලබා දුන්නේ සාධාරණ හේතු මත වුව ද පාක්ෂපාතිත්වයක් තිබුනේ යැයි මතයක් ඇති කිරීම පහසු ය. වැඩ පැවරීම සම්බන්ධයෙන් ද මාරුවීම් සම්බන්ධයෙන් ද සම්පත් බෙදා දීම සම්බන්ධයෙන් නිරන්තර අපහසුකම් වලට මේ නිසා මුහුණ දීමට සිදු වනු ඇත.

මිතුරා අපේක්ෂා කළ යම් ප්‍රතිලාභයක් නොලැබුනේ නම් එය ද නපුරට හිටින්නට පුළුවන. තරහ මරහ වීමෙන් අවසන් වන්නට පුළුවන.

අපේ උපවිඥානය අපටම හොරා මිතුරාට පක්ෂව හෝ අපක්ෂපාතිත්වය පෙන්වනු පිණිස මිතුරාට විරුද්ධව හෝ තීරණ ගැනීමට අපව පෙළඹවිය හැකි නිසා ද අපත් මිතුරාත් සෙසු අයත් ආයතනයත් අපහසුතාවයන්ට පත් වන්නට ද ඉඩ තිබේ.

මිතුරන් නිසා ප්‍රශ්න ඇති වන්නේ අපට පමණක් නොවේ. මිතුරන්ට ද නොයෙකුත් අමාරුකම්වලට මුහුණ දීමට සිදු වේ. මගේ වැරදි ප්‍රතිපත්තියක් අස්ථානයක් තිබුනේ වුව ද ඊට විරුද්ධ වීමට ඔහුට නොහැකි ය. ඒ මිත්‍ර ද්‍රෝහියෙකු ලෙස ගුණමකු අයෙකු ලෙස අන් අය විසින් ද සළකනු ලැබිය හැකි නිසා ය.

බැරි වෙලාවත් විරුද්ධ වුවහොත් එය වෙන කවරෙකු හෝ විරුද්ධ වනවාට වඩා මට දැනෙන්නේ ය. සිත් රිදවන්නේ ය. එය සෙසු අයට ද අපට විරුද්ධව තවත් රවුමකින් පෙළ ගැසෙන්නට අමතර ආරාධනයක් වන්නේ ය.

මිතුරා දෙස සෙසු අය ඇතැම් විට බලනු ඇත්තේ ලොක්කාට කේලාම් කියන ඔත්තු සපයන කෙනෙකු ලෙස ය. මිතුදම නිසා එසේ සැක කිරීම සාධාරණ ය. එහෙත් ඒ ලේබලය මිතුරා අපහසුතාවයට කොන් වීමට බලපානු ඇත්තේ ය. ඔහු ආයතනය තුළ තනි කරනු ඇත්තේ ය. ඔහුට ඒ මතය ඉවත් කළ හැක්කේ එලිපිට අපට විරෝධය පෑමෙනි. එවිට පවා ඔහු ඩබල් ඒජන්තයෙකු යැයි ගැරහීමට ලක් වෙනු ඇත්තේ ය. නැතිනම් ඒ කැරැල්ල නිසා අපේ මිතුදම අවසන් වනු ඇත්තේ ය. ගෙදර ගියොත් අඹු නසින මග හිටියොත් තමා නසින උභතෝකෝටියක ඔහු මෙලෙස අසු වනු ඇත්තේ ය.

මේ සියල්ලට අමතරව මිතුරාට යම් ප්‍රතිලාභයක් ලැබුණු විටක එය ඔහුගේ දක්ෂතාවය මත ලැබුණක් නොව මිතුදම නිසා ලැබුණු දෙයක් ලෙස හුවා දක්වා ඔහුව අපහසුතාවයට පත් කිරීමේ ඉඩක් ද ඇත.

අනෙත් අතට අප සමග ඇති තරහක් මිතුරා පිටින් යැවීමේ ඉඩක් ද ඇත. අපට රිදවිය හැකි හොඳම ක්‍රමය මිතුරාට රිදවීම යයි කල්පනා කරන මිනිසුන් ද ආයතනය තුළ සිටීමට ඉඩ තිබේ. විශේෂයෙන් ආයතනය තුළ අප හා සම මට්ටමේ ඉන්නා සගයින්ට අප සමග තරගයේ දී යම් වාසියක් ලබා ගැනීමට මේ මිතුරු සම්බන්ධය නිසා ආයතනය අපහසුතාවයට පත් ව ඇතැයි කියමින් අපට එරෙහිව අවලාද නැගීමට ද මේ සම්බන්ධය අවස්ථාවක් කර ගත හැකි ය. එවැනි අවස්ථාවක අපට ආරක්ෂා විය හැකි ක්‍රමයක් නැත. අප නිදහස උදෙසා නගන තර්ක බොහෝමයක් මේ මිතු සබඳකම තුළ දියාරුව යන බැවිනි.

මිතුරු සබඳතාත් වැඩ පොළේ සබඳතාත් ඒ නිසා වෙන්කර තැබීම නුවණට හුරු ය. මිතුරන් ආයතනයට බඳවා නොගැනීමට මෙන්ම මිතුරන් ආයතනය තුළින් ඇතිකර නොගැනීමට ද නායකයා ප්‍රවේසම් විය යුත්තේ ඒ නිසා ය.

මෙය පහසු කටයුත්තක් නොවේ. අපට හිතේෂීව වැඩ කරන මිනිසුන් පිළිබඳ කරුණාවක් විශේෂ ඇල්මක් ඇති කර නොගෙන සිටිය නොහැකි ය. ඒ අප ලෙයින් මසින් සැදුනු මිනිසුන් නිසා ය. ඒ නිසා ම බොහෝ වැඩ සබඳතා පවා කලකින් මිතුරු සබඳතා බවට පෙරලිය හැකි ය. එසේ වීම අතිශයින් ස්වභාවික ය. අප විසින් වඩාත් පරිස්සම් විය යුත්තේ ද ඒ නිසා ය.

අනෙත් අතට මිතුරන් හැම විටම අප විසින් ආයතනයට බඳවා ගනු ලබන්නේ නැත. ඔවුනට ද තමන් කැමති ආයතනයක් තෝරා ගත හැකි ය. මා එහි ඉන්නා නිසා නොපැමිණෙන ලෙස කරුණු දක්වන්නට මට බැරි ය. ඇතැම් විට ඔහු පවා ආයතනයට බැඳෙන්නේ මිතුරෙකු ඉන්නා බව නොදැන ය. එහෙම විටක අපට කළ හැක්කේ මේ සංවාදයට ලක් කෙරුණු කරුණු පිළිබඳව සංවේදී වීම ය. ඒවා විසින් ඇති කරන අභියෝග ගැන දැනුවත් වීම ය. හැකිතාක් දුරට අපක්ෂපාතිත්වයක් පවත්වා ගෙන යෑම ය. ඒ පිළිබඳව මිතුරා සමග කතා කොට ඔහු හෝ ඇය ද ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම ය.

මිතුරන් සම්බන්ධයෙන් මේ අප කී කරුණු නැදෑයින් සම්බන්ධයෙන් ද අපේ අසල්වාසීන් සම්බන්ධයෙන් ද අදාළ ය. ආයතනයේ දෙදෙනෙක් විවාහ වන්නේ නම් එක් කෙනෙකු වෙනත් තැනකට මාරු වී යා යුතු බවටත් නැතිනම් ආයතනයෙන් අස් විය යුතු බවටත් බොහෝ ආයතනවල නීති පනවා තිබෙන්නේ ද මේ අකරතැබ්බයන්ගෙන් සැම ගලවනු පිණිස ය.

මේ තත්වය බොහෝ දෙනෙකු තේරුම් ගන්නේ වැඩ වැරදුනාට පසු ය. එහෙත් බුද්ධිමත් නායකයෝ අනාගතය දැක මේ වලට නොවැටී සිටීමට දක්ෂ වෙති. මිතුරන්ට උදව් කළ යුතු ය. ඒත් ඒ ආයතනය හරහා නොවේ. ඉන් පරිබාහිරව ය. ආයතනය තුළ මිතුරන් හිටියත් “මිතුරන්“ නැතැයි සිතා කටයුතු කළ යුතු ය.