ආයතනික සංස්කෘතිය නිරූපනය කරන කතන්දර


  • නිශාන්ත කමලදාස

අපේ පවුලට හා රටට ආවේණික කතාන්දර තිබේ. ඒවා ඉතිහාස කතන්දර ය. ඒවා ඉතිහාසය යයි නොකියා ඉතිහාස කතත්දර යැයි කීවේ ඒවා තුළ හැබෑව තරමට නිර්මාණය ද අඩංගු නිසා ය. ආයතන සම්බන්ධයෙන් එය එසේ ම වලංගු ය. ආයතනය බිහි වීම සම්බන්ධව, ආයතනය මුහුණ දුන් අභියෝග සම්බන්ධව, ඒවා ජය ගත් ආකාරය සම්බන්ධව, නොයෙකුත් කතන්දර තිබේ. ඒවා ආයතනික සංස්කෘතියේ කොටස් ය. ආයතනයක් තුළ අගයන්නේ කුමන සාරධර්ම ද යන වග ඒ කතන්දර වලින් අනාවරණය වන්නේ ය. ඇතැම් විට ආයතනයේ ඉහළ කළමනාකාරිත්වය මේ කතන්දර කීමටත් ඒ හරහා සාරධර්ම හා වටිනාකම් හඳුන්වා දීමටත් කටයුතු කරන්නේ ය. ආයතනයේ සංවත්සරය හෝ ආයතනයේ කිසියම් නිශ්චිත ජයග්‍රහණයක් සැමරීම යන අවස්ථා වල මේවා නැවත නැවතත් මතු වන්නේ ය. සමහර අවස්ථාවල මේවා ලේඛන ගත ව ද තිබෙන්නේ ය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තිබූ එවැනි කතාවක කියවුනේ තමන්ගේ පුතුගේ අසනීපයකට යම් තීරණාත්මක වැඩක නිරත ව සිටි වාරිමාර්ග ඉංජිනේරුවෙකුගේ ප්‍රතිචාරය ගැන ය. පවුලෙන් ඈත් ව රාජකාරියේ නිරත ව වුන් ඔහු වැඩ කළේ දුෂ්කර පෙදෙසෙක ය. අසනීපය පිළිබඳ ව පණිවුඩය ලැබෙන විට ඔහු කිසියම් ව්‍යාපෘතියක ඉදිකිරීමේ කටයුතු වල තීරණාත්මක අවධියකට පැමිණ සිටියේ ය. ඒ නිසා ඔහු කීවේ තමන් ආවත් කරන්නේ වෛද්‍යවරයෙකුට පෙන්වීම බැවින් වහා ම දක්ෂ වෛද්‍යවරයෙකු ළඟට යා යුතු බව ය. දෙවැනි පණිවුඩය රෝගය තරමක් උත්සන්න වීම පිළිබඳ ව ය. ඔහු ඒ වන විටත් ඉදිකිරීමේ කටයුතු වල තීරණාත්මක අදියර අවසන් නොකර සිටියෙන් වහා ම රෝහලකට ඇතුළත් කරන ලෙස උත්තර දුන්නේ ය. පුතාගේ රෝගය පිළිබඳ සාංකාව ඔහු මග හැර ගත්තේ වඩාත් දැඩි උනන්දුවකින් වැඩෙහි නිරත වීමෙනි. අවසානයේ පුතා මිය ගිය බවට පණිවුඩය ලැබෙන විට ඔහු වැඩ අවසන් කළා පමණ ය. කතාවට ඉතිරි කොටසක් නැත. මේ කතාවෙන් කියන්නේ වැඩට නිලධාරීන් තුළ තිබුණු කැප වීම ගැන ය.

තවත් කතාවකට අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ක්ෂේත්‍ර චාරිකාවට සහභාගී වී හවස් වරුවේ නිලධාරීන් සමග සුහද පිළිසඳරක යෙදී සිටියේ ය. කවරෙකු හෝ ඔහුට කියා ඇත්තේ අදාළ කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරුවාගේ බිරිඳ දක්ෂ නර්තන ශිල්පිනියක් බව ය. ප්‍රධානියා පමා නොවී කියා සිටියේ රාත්‍රී සාදය සඳහා (ප්‍රධාන කාර්යාලයේ ඉහළ නිලධාරියෙකු පැමිණෙන විට ඒ ප්‍රදේශයේ සියලු දෙනා සහභාගී වන රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වේ) ඇය නාටිකාංගනාවියකගේ ඇඳුමින් සැරසී නර්තනයක් ඉදිරිපත් කළ යුතු බව ය. නර්තනයක් ඉදිරිපත් කිරීමට ඇය ව කැමති කරවා ගත හැකි වූ නමුත් ඒ සඳහා අවශ්‍ය ඇඳුම් පැළඳුම් ඇය සතු ව නොවී ය. පළාතේ එවැනි ඇඳුම් ලබා ගත හැකි ස්ථානයක් සොයා ගෙන ඒවා ද සමග නැටුම ජයට ම පැවැත්වුනේ ය. මේ කතාව කියන්නේ ප්‍රධානීන්ගේ අණට සෙස්සන්ගේ තිබූ සැලකිල්ල ගැන ය.

සාරධර්ම පිළිබඳ ඉතා ම සවිස්තර ලියවිල්ලකට වඩා මේ කතා බලවත් ය.

මේ කතා බොහෝමයක ඇති ප්‍රශ්නය නම් එක පැත්තක් උලුප්පන විට තව පැත්තක් යටපත් වෙන බව ය. දරුවෙකුගේ අසනීපයකට යමක් නොකර රාජකාරියට අයත් වැඩ කිරීම ගැන ද බිරිඳ වැනි කාර්යාලයට සම්බන්ධ නැති පුද්ගලයෙකුට නියෝග පනවන්නට ප්‍රධානියෙකුට ඇති අයිතිය ගැන ද අපට ප්‍රශ්න කළ හැකි ය. එහෙත් මතු කරන්නට හදන කාරණයේ ප්‍රබලත්වය ඒ තර්කයන්ගෙන් නිශේධ වන්නේ නැත. ඒ ප්‍රශ්න නැගීම වුව යහපත් ය. මක් නිසා ද යත් ඒ තුළ අපට ඇති සීමා ගැන සිතන්නට අප ව පොළඹවන නිසා ය.

අප මේ කතා තේරුම් ගත යුත්තේ පැවති සන්දර්භය සමග ය. ඒවාට අර්ථ නිරූපන දිය යුත්තේ ද ඒ ගැන සැලකිලිමත් වෙමින් ය. අද මෙන් නොව එකල ගමනාගමනය දුෂ්කර විය. හරි හමන් පාරවල් තිබුණේ ස්වල්පයකි. දුරකථන පහසුකම් පවා අතිශයින් දුලබ විය. රෝහල් හා පාසල් පවා ඔවුන් වැඩ කළ බොහෝ පළාත් වල තිබුනේ  නැති තරම් ය. වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙ වැඩ කළ අයට මේ සියල්ල හමුවේ සිදු වූයේ පවුලෙන් වෙන් ව තනිකඩ ජීවිතයක් ගත කිරීමට ය. එහෙත් ඔවුන් හමුවේ විශාල වගකීමක් තිබුණේ ය. ඒ වගකීම නොපිරිහෙලා සිදු කිරීමට නම් මෙවැනි සාරධර්ම නැතිව ම බැරි ය.

එහෙත් අද තත්වය වෙනස් ය. ඒ තත්වය යටතේ මෙවැනි කතාවක වටිනාකම එදා තරමට අද නැත. ඇතැම් විටක මේ කතා ප්‍රශ්න කිරීමට පවා මිනිසුන් පෙළඹෙන්නේ ඒ නිසා ය. දරුවන්ගේ හා කාන්තාවන්ගේ අයිතීන් ගැන සංවේදී අද දවසේ මේ කතා යල් පැන ගිය කතා ගොන්නට වැටීමේ ඉඩ කඩ වැඩි ය. වෙනත් වචන වලින් කියන්නේ නම් අභියෝග වෙනස් වන විට සාර ධර්ම වෙනස් කරන්න සිදු වන්නේ ය. සංස්කෘතිය වෙනස් කරන්නට සිදු වන්නේ ය.

නව සංස්කෘතියකට නව කතා අවශ්‍ය ය. ඒ නිසා මේ පැරණි කතා දෙස අප බැලිය යුත්තේ ඒ කාරණය සිතේ තබා ගෙන ය. අද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රචලිත කතා මේවා නොවන්නට ඉඩ තිබෙන්නේ ය. ඇත්තට ම එය එසේ නම් සාධනීය ය.

මට හිතෙන හැටියට අද අවශ්‍ය වනුයේ හුදු කැපවීමට එහා ගිය නවෝත්පාදනය පිළිබඳ  කතා ය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නම් සම්ප්‍රදායික තාක්ෂණය අභියෝග කරමින් කළ නව අත්හදා බැලීම් පිළිබඳ කතා ය. ගෝලීයකරණය වූ ආර්ථිකයකට මුහුණ දෙනු පිණිස වාරි තාක්ෂණයේ ඇති කරන වෙනස් කම් පිළිබඳ කතා ය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව උදාහරණයකට ගත්ත ද මේ සංවාදය සෙසු ආයතන වලට ද අදාළ ය. තමන්ගේ කතා කවරේදැයි සෙවීමට ද ඒවායේ වලංගු භාවය සෙවීමට ද ඔවුනට කටයුතු කළ හැකි ය.

මේ සංවාදයේ අපේක්ෂාව මෙවැනි කතාවල වැදගත් කම අනාවරණය කිරීමටත් ඒ කතා යල් පැන යන්නට මෙන් ම ප්‍රශ්න කිරීමට ද ඉඩ තිබෙන බව කීමට ත් එසේ ප්‍රශ්න කිරීමේ වටිනාකම කීමටත් ය. ඒ සමග ම යුගයට අවශ්‍ය නව කතා ගොඩ නැගීමේ හා සංසරණය කිරීමේ අවශ්‍යතාව කීමටත් ය.

ආචාර සම්පන්න බව


  • නිශාන්ත කමලදාස

දෙදෙනෙකු කතා කරන මැදින් අවසර ගෙන මිස අප ගමන් කරන්නේ නැත. එසේ මිනිසුන් ගමන් කරන තැනක මග අවුරවමින් අප කතා කරමින් රැඳෙන්නේ ද නැත. ඒ දෙක ම ආචාර සම්පන්න නැති නිසා ය.

ප්‍රශ්නය අප එසේ කළ ද එසේ කතා කරමින් ඉන්නා අයටත් මැදින් යන අයටත් තමන් එසේ කිරීම ගැන ලැජ්ජාවක් උපදින්නේ නැති වීම ය. එසේ කිරීමේ වැරැද්ද අපට කුඩා කාලයේ උගන්වන ලද්දේ ය. අද එය උල්ලංඝනය වන්නේ ඒ බව වත්මන් පරපුරට කියා නොදෙන නිසා ද?

බසයක ඉඳ ගන්නා විට පුළුවන් තරම් කකුල් පළල් කර ඉඳ ගෙන අනෙත් එකා ආසනයෙන් විසි වන තැනට වග බලා ගන්නා අය බොහෝ ය. ඒ සඳහා කෙනෙකු ඉතා විශාල ලෙස තරබාරු වීම ම අවශ්‍ය නැත. පාරේ වාහනයක් පදින විට වෙන තව වාහනයක් තම වාහනය ඉස්සර කර යනවාට ද බොහෝ දෙනෙකුගේ මනාපයක් නැත. එසේ ඉස්සර කළ විට පස්සෙන් එලවා ගෙන ගොස් නැවත පසු කරන්නට උත්සහ කරන රියැදුරන් මග තොට දී අපට ඔ්නෑ තරම් හමු වේ.

තමන් වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට හා සේවා ලාභීන්ට නිසි ගෞරවය දෙන්නට ඇතැම් ආයතන වල ඉන්නා සේවකයින් පමණක් නොව නිලධාරීන් ද දන්නේ නැත. පරිපාලනය විසින් ඇතැම් විටක උගන්වා ඇතත් කට පුරා සර් මැඩම් කියන්නට ඔවුන්ගේ දිව නැමෙන්නේ නැත. කරුණාකර, ස්තුතියි, සමාවෙන්න යන වදන් ඔවුන්ගේ ශබ්ද කෝෂ වල නැත. පසු ගිය දින වල තමන්ගේ පාරිභෝගිකයන්ට සත්තම් දැමීමට පමණක් නොව කුණුහරුපයෙන් පවා සංග්‍රහ කිරීමට ඇතැම් ආයතන වල සේවකයන් කටයුතු කළ ආකාරය ගැන වීඩියෝ සමාජ මාධ්‍ය හරහා සංසරණය වුනේ ඒ බවට කැට තබමින් ය.

අනෙකාට සවන් දීමේ උපේක්ෂාව ද බොහෝ ආයතනවල දක්නට නොලැබේ. අර්ධයක් අසන විට ම උත්තර බඳින්නට යෑමේ කැත පුරුද්ද නම් කොහෙත් ම ආචාර සම්පන්න නැත. එසේ කළ යුතු අවස්ථාවක පවා “සමාවෙන්න” කියා අවසර පැතිය යුතු බව බොහෝ දෙනෙකු දන්නේ නැත.

උපදෙස් හෝ යෝජනා දිය යුතු තැනක බොහෝ විට කෙරෙන්නේ නියෝග දීම ය. තහංචි පැනවීම ය. “සර්, කරුණාකරල වාහනය අපි අතන පාක් කරමු ද?” කියා ඇසිය යුතු තැනක ඒ වෙනුවට අසන්නට ලැබෙන්නේ “මහත්තයා මෙතැන පාක් කරන්න බෑ” යන තහංචිය ය. නැහැ බැහැ කියන වචන නම් බොහෝ දෙනෙකුට කටට එන්නේ ඉබේට ම ය.

මුහුණේ සිනහවක් දැක ගැනීම ද බොහෝ සෙයින් අමාරු ය. රැවිලි ගෙරවිලි වලට මිසක සිනහවකට මුහුණේ ඉඩක් නැති ගාන ය. බොහෝ මුහුණු වල ඇත්තේ කොයි වේලේ පිපිරේදැයි කිව නොහැකි වෙඩිල්ලක ස්වභාවය ය. සුබ දවසක්, සුබ උදෑසනක්, ආයුබෝවන් යන සුබාසිංශන අහන්නට ලැබෙන්නේ කලාතුරකින් එහෙමත් තැනක ය.

තමන්ගේ වාරය එළඹෙන තුරු ඉවසීමෙන් සිටීමේ උපේක්ෂාව බොහෝ දෙනෙකුට නැත.

අප රටේ බොහෝ දෙනෙකු ආචාර සම්පන්න නැත. ඔවුන් සලකන්නේ එය අනවශ්‍ය ආභරණයක් හැටියට ය. මහත්තුරුන්ගේ සෝබනයක් හැටියට ය. බටහිරෙන් කඩා වැටුණු මෝස්තරයක් හැටියට ය.

ආචාර සම්පන්න වීමෙන් අප කරන්නේ අනෙකාට ඇති අපේ ගෞරවය පල කිරීම ය. බොහෝ දෙනෙකුගේ අදහස එසේ ගෞරව කළ යුත්තේ වැඩිහිටියන්ට, ගුරුවරුන්ට, පූජකයන්ට හා බල ධුරාවලියේ තමන්ට වඩා ඉහළින් ඉන්නා අයට බව ය. ඒ නිසා ම ඒ අය සම්බන්ධයෙන් ආචාර සම්පන්න වන සමහරු සෙසු අය සම්බන්ධයෙන් එය අවශ්‍ය යැයි නොසලකති. ඇතැම් අය හිතන්නේ සෙසු අය සම්බන්ධයෙන් ආචාර සම්පන්න වීමෙන් තමන් හෑල්ලු විය හැකි බව ය. බාල්දු වන බව ය.

ජපනුන් දෙදෙනෙකු මුණ ගැසුණු විට දෙදෙනා ම නැමී එකිනෙකාට ආචාර කර ගන්නා දර්ශනය සුන්දර ය. අපරදිග රටවල දෙදෙනෙකු එකිනෙකාගේ අත මිරිකා කරන ආචාරය ද අපට කියන්නේ සමානයන් දෙදෙනෙකුගේ අභිමුඛ වීමකි. මැද පෙරදිග එකිනෙකා සිප වැළඳගෙන කරන ආචාරයේ ද ඇත්තේ එකිනෙකා කෙරෙහි පවත්නා සහෝදරත්වය ය. අප ආචාර කර ගන්නා විට පෙන්වන උස් මිටි කම ඒ කිසිම වර්ගයක මුණ ගැසීමක් තුළ ප්‍රදර්ශනය නොවේ.

මිනිසෙකුට තවත් මිනිසෙකු ලෙස ගරු කිරීමට අප නොනැමීම නිසා ම අප අතර ප්‍රශ්න වැඩි ය. ආරවුල් වැඩි ය. ගැටුම් වැඩි ය. ඒ බොහෝමයක් පිටු පස තිබෙන්නේ කවුද ලොකු කියා තහවුරු කර ගැනීමේ උත්සහයන් ය. ඒ බව දෙපැත්තෙන් ම තහවුරු කිරීමට යෑමේ විපාක ය. ඒ පටු වෑයම නිසා ම අපේ වැඩ හරි හැටි කර ගැනීමට තිබෙන අවධානය, ශ්‍රමය හා කාලය ද ඒ නිසා ම ධනය ද අපි අපතේ හරින්නෙමු.

අභිමානී මිනිස්සු සැබෑ ලෙස ම නිහතමානී වෙති. ඒ නිසා ම සෙස්සන්ට ගෞරවය පළ කිරීමට පසු නොබාති. ඇතුළත හීන මානයෙන් පෙළෙන මිනිස්සු එය යටපත් කර ගන්නේ පිටතට අධිමානය පෙන්වීමෙනි. පිප්පීමෙනි. පිම්බීමෙනි. ඒ අර්ථයෙන් ගතහොත් ලංකාවේ බොහෝ මිනිසුන් සැලකිය හැක්කේ හීනමානයෙන් පෙළෙන අය ලෙසිනි.

අනෙකා යටපත් කර ගැනීම වෙනුවට එකිනෙකාට ගෞරව දැක්වීමට අපට හැකි නම් අපේ ආයතන මීට වඩා වැඩි දියුණු වනු ඇත්තේ ය. රට මීට වඩා ඉදිරියට යනු ඇත්තේ ය. ගැටුම් අවම වනු ඇත්තේ ය. සාමය ස්ථාපිත වනු ඇත්තේ ය. රට තුළ පවතින බිය සැක දුරු වී රට වෙසෙන්නට සුදුසු දේශයක් වනු ඇත්තේ ය.

තමන්ගේ ආයතන තුළ මේ තත්වය ඇති කිරීමේ වගකීම පැවරෙන්නේ කළමනාකරුවන්ට ය. දේශපාලන හා බහුජන සංවිධාන තුළ ඒවායේ නායකයන්ට ය. රට තුළ නම් පාලකයන්ට ය.