වෘත්තීය සමිති – ඇයි අවුල් ද?


වෘත්තීය සමිති නිසි ලෙස පාලනය නොකිරීම ආරවුල් ඇති වීමටත් එයින් ආයතනයේ සැළසුම් කඩාකප්පල් වී තරගකරුවන්ට අනවශ්‍ය වාසි ලැබීමටත් හේතු වේ. සමහර අර්බුද කෙතරම් දිග් ගැස්සෙන්නේ ද යත් ආයතනය වසා දැමීමෙන් ඒවා කෙළවර වන අවස්ථා බොහෝ ය. ඒවා නිසි ලෙස පාලනය කිරීමෙන් ආයතනයේ අභිවෘද්ධියටත් දිගු කාලීන ස්ථාවරත්වයටත් මග පෑදෙයි. මේ ප්‍රතිපක්ෂ ප්‍රතිඵල දෙක පිළිබඳ නොදන්නා කළමනාකරුවන් අල්ප ය. ප්‍රශ්නය ඇත්තේ ඒ බව දන්නා අයටත් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නොහැකිව තිබීම ය.

එක්කෝ බිය නැතිනම් අවිනිශ්චිතතාවය මීට හේතුව ය. ඒ දෙකම කළමනාකරුවන් තල්ලු කරන්නේ වැරදි අස්ථානයන්ට ය. එක්කෝ කළමනාකරුවා වෘත්තිය සමිතිවලට බිය වී එහි හිරකරුවෙක් වෙනු ඇත්තේ ය. නැතිනම් බය නිසාම ප්‍රහාරයන් එල්ල කරන්නට ගොස් නිෂ්ක්‍රීය බලවේගයක් අනවශ්‍ය ලෙස අවදි කරවා ගන්නේ ය.

වෘත්තීය සමිති කළමනාකරණයේ දී කළමනාකරුවන් තේරුම් නොගන්නා එක් ප්‍රධාන කාරණයක් නම් වෘත්තීය සමිති ද මිනිසුන් මෙන්ම විවිධ බව ය. විවිධ ආකාර ගන්නා බව ය. එය සමග ගනුදෙනුව එකම සූත්‍රයකට ලඝු කළ නොහැකි බව ය. වෘත්තීය සමිති හා ඒවා ක්‍රියාත්මක වන පසුබිම හරිහැටි තේරම් ගත් විට බිය ද අවිනිශ්චිතතාවය ද නැති වේ. එවිට වෘත්තිය සමිතියට ද එය ක්‍රියාත්මක වන වටපිටාවට ද අනුරූප පියවර ගත හැකි ය.

වෘත්තිය සමිතියක භූමිකාව බොහෝ විට වෘත්තීය සමිතියේ නායකත්වය අනුව ද සමාජිකයින්ගේ ස්වභාවය අනුව ද ඔවුන්ගේ පරිණතභාවය අනුව ද ආයතනයේ ස්වභාවය අනුව ද ආයතනය අයත් කර්මාන්ත ක්ෂේත්‍රය අනුව පමණක් නොව රටක දේශපාලන පරිසරය අනුව ද වෙනස් වෙයි.

වෘත්තීය සමිති නායකත්වයට පත් වන සමහර අයට අවශ්‍ය වන්නේ සාමාජිකයින් අතර තමන් වීර චරිතයක් වීමට ය. තවත් අයට අවශ්‍ය වන්නේ ඒ තනතුර හා බලය තමන්ගේ පුද්ගලික වාසි සඳහා කේවල් කිරීමට භාවිතා කළ හැකි මෙවලමක් ලෙස යොදා ගැනීමට ය. තවත් අයට අවශ්‍ය වන්නේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට හැකි යාන්ත්‍රණයක් ලෙස වෘත්තීය සමිතිය භාවිතා කිරීමට ය.

කළමනාකරණයට වෘත්තීය සමිති හා ගනුදෙනු කිරීමට උපයෝගී කර ගත හැකි උපාය මාර්ගයන් නායකත්වයේ මේ වෙනස්කම් වලට අනුව වෙනස් වේ. වීර චරිතයක් වීමේ අභිලාෂයම මිනිසුන් වැරදිවලට යොමු කරන්නේ ය. එවැන්නන් නිසි වෙලාවට අනාවරණය කිරීමෙන් පාලනය කළ හැකි ය. පුද්ගලික වාසි සදහා කේවල් කරන්නන් පාලනය කිරීමට ද ඒ උපාය මාර්ගයම යෙදිය හැකි ය. තෙවැන්නන් සමග කළ යුත්තේ එක්ව වැඩ කිරීම ය. මක් නිසා ද යන් තෙවැන්න කළමනාකරුගේ ද අභිලාෂය විය යුතු බැවිනි.

වෘත්තීය සමිති බොහෝ විට කළමනාකාරිත්වයට තමන්ගේ කළමනාකාරිත්වය පිළිබඳ සැබෑ චිත්‍රයක් ලබා ගත හැකි දර්පණ තලයකි. එහි අගය දන්නා කළමනාකරුවෝ වෘත්තීය සමිති සමග කිට්ටු ගනුදෙනුවක් පවත්වා ගෙන යති.

සාමාජිකයින් නොමේරුණු පිරිසක් නම් ඔවුන්ගේ ලෝකය ගැන දැනුම අල්ප නම් එවන් පිරිසක් ඕනෑම දිසාවකට රැගෙන යා හැකි ය. ඔවුන් සමග කිට්ටුවෙන් සිටීමෙන් ඔවුන් වෙනත් මගකට ගෙන යෑමේ ඉඩ ඇහිරිය යුතු ය.

ආයතනය අයත් වන්නේ ප්‍රසාරණය වන කර්මාන්ත ක්ෂෙත්‍රයකට නම් මිනිසුන් අරගල මාවක වෙනුවට තෝරාගන්නේ වඩා දියුණුවන ආයතනයක රැකියාවක් සොයා යෑමේ ඉඩ ය. ඒ වෙනුවට එය සංකෝචනය වන කර්මාන්ත ක්ෂේත්‍රයකට අයත් නම් එවැනි ඉඩක් නැති ය. ඒ නිසාම වෘත්තීය අයිතිවාසිකම් ආයතනය හරහාම ලබා ගන්නවා හැර වෙනත් විකල්පයක් ඔවුන්ට නැත. එවන් අවස්ථාවක කර්මාන්ත ක්ෂෙත්‍රයේ සංකෝචනය පිළිබඳව ඔවුන් දැනුවත් කර එක්ව ඉන් ගොඩ ඒමට මං සෙවීමට හැර වෙන විසඳුමක් කළමනාකරුවන්ටවත් වෘත්තීය සමිතිවලටත් නැත.

රටක දේශපාලන අස්ථාවරභාවයක් පවතින්නේ නම් එහි අතුරුඵල කර්මාන්ත ක්ෂෙත්‍රය තුළට කාන්දුවීම වැළැක්විය නොහැකි ය. රජය ස්ථාවර නම් දේශපාලන කැළඹිලි නොමැති නම් ආර්ථිකය ඉදිරිගමනක යයි නම් ඒ සියල්ල වෘත්තීය සමිති එක්තරා දුරකට ස්වයං පාලනයකට යොමු කරයි. එහි ප්‍රතිපක්ෂය වෘත්තීය සමිති සටන් මගට ගෙන යයි. මේ ගැන කළමනාකරුවෙකුට කළමනාකරුවෙකු ලෙස කළ හැකි යමක් නැත. එහෙත් පුරවැසියෙකු ලෙස විශාල වැඩක් කළ යුතුව තිබේ. වඩාත් වැදගත් වන්නේ මෙවැනි තත්වයකට රට පිරිහීම වැළැක්වීමට මුල සිට පියවර ගෙන තිබීම ය.

මේ සටහන අවසන් කිරීමට මත්තෙන් අපට කිව යුතුව ඇත්තේ වෘත්තිකයන්ගේ සැබෑ වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් කළමනාකාරිත්වය පෙනී සිටින්නේ නම් ඒ සඳහා වෙනම සමිතියක අවශ්‍යතාවය පැන නොනගින බව ය. වෘත්තීය සමිති කළමනාකරණයේ අවසාන ඉලක්කය ඒ එල්ලය තබා ගන්නේ නම් ද එය කරා ළගා වන තෙක් සම්පූර්ණ චිත්‍රයම විමසා ඊට ගැලපෙන උපාය මාර්ගයන් අනුගමනය කරන්නේ නම් ද කළමනාකරණයට වෘත්තීය සමිති හිසරදයක් වන එකක් නැත.

නොසැලී සිටීමේ ධීර ගුණය


අල්ලස් නොගන්නා කෙනෙකුට අල්ලස් ගත්තේ යැයි චෝදනා කිරීම ඔහු හෝ ඇය අස්ථාවර කළ හැකි සාර්ථක උපක්‍රමයකි. බොරු නොකියන කෙනෙකුට බොරු කාරයා යයි කීම ද වෙනත් ගැහැණියකගේ පහස නොපතන කෙනෙකුට ගැහැණු සොඩෙකැයි කීම ද එවැනිම උපක්‍රමයන් ය. නිලය අල්ලා ගහනවා යයි කියන්නේ මේ කාරණයට ම ය. වැඩි මනත් කරදරයක් නැතිව ප්‍රතිවාදියා මෙල්ල කිරීමේ හැකියාව නිලය අල්ලා ගැහූ විට ලැබේ.

එයින් අදහස් කරන්නේ ඔබ කවදාවත් නොකරන ක්‍රියාවක්ම කරනවා යැයි අභූත චෝදනාවක් ඔබ වෙත එල්ල කිරීමෙන් වෙන කිසිම චෝදනාවකටත් වඩා හොඳින් ඔබව අස්ථාවරව කළ හැකි බව ය.

එ නිසාම එවැනි දෙයක් ඔබ ඔබේ ප්‍රතිවාදියෙකුගෙන් එල්ල වෙතැයි අපේක්ෂාවෙන් සිටිය යුතු ය. ඔබව පාලනය කිරීම සඳහා ඔහු සතුව නැතැයි ඔබ සිතූ එහෙත් ඔහු සතුව තිබෙන ඒ අප්‍රමාණ ශක්තිය ඔබ වෙත එල්ල වීමට ඉඩ තිබේ.

ඔබ එවැන්නක් බලාපොරොත්තුව නොසිටිය හොත් ඔබට අත්වන්නේ දුර්භාග්‍යයකි. සිදු විය හැකි නරකම දෙය ඔබ අස්ථාවර වීම ය. කෝප වීම ය. මේ අභූත චෝදනාවෙන් ගැලවෙන්නට මං සෙවීම ය. ඔබ එසේ නොවන බව ඔප්පු කිරීමට කළ හැක්කේ කුමක් දැයි සෙවීම ය.

දැන් එළඹෙන්නේ ප්‍රතිවාදියාගේ මොහොත ය.ඒ ඔබ ඔප්පු කිරීමට ගන්නා ක්‍රියාමාර්ගය තුළ ප්‍රතිවාදියාට අවශ්‍ය දේ තිබෙන නිසා ය.

අහවල් තැනැත්තාට මාරුවක් නොදෙන්නේ ඔබ ඔහුගෙන් අල්ලසක් ලබා ගෙන ඇති නිසා යැයි ප්‍රතිවාදියා කියන විට ඔබට ඇති එක ගැලවීමක් නම් ඒ අහවල් තැනැත්තා මාරු කර එම චෝදනාවෙන් ගැලවීම ය. සමහරු චෝදනාව කෙතරම් නුරුස්සන්නේ දැයි කිව හොත් එයින් ගැලවීමට ප්‍රතිවාදියාගේ උගුලට ම පනින්නෝ ය.අහවල් තැනැත්තා මාරු කරන්නේ ය.

ඒ වෙනුවට ඔබ කළ යුත්තේ නොසැලී සිටීම ය. ඔබේ ක්‍රියාව විනිශ්චය කිරීම වෙන කෙනෙකුට පැවරීම ය. අපක්ෂපාත කෙනෙකුට පැවරීම ය. ඔබට ඉහළින් ඉන්නා කෙනෙකුට නැතිනම් මණ්ඩලයකට පැවරීම ය. මිනිසුන්ගේ විශ්වාසය දිනාගෙන සිටින වෙනත් කෙනෙකුට පැවරීම ය. ඔහුගේ /ඇයගේ හෝ මණ්ඩලයේ අදහස ලැබෙන තෙක් මුවින් නොබැන සිටීම ය. නොසැලී සිටීම ය.

බුදුන්ටත් ස්ත්‍රී දූෂණ චෝදනාවන් පැමිණි නිසා මෙවැනි චෝදනා අරුමයක් නොවේ. එක් අතකට චෝදනා පැමිණෙන්නේම ඔබ සැළකිය යුතු බලපෑමක් කර ඇති නිසා ය. පුංචි මිනිසුන් ගැන මිනිස්සු කරදර නොවෙති. ඔබ ගැන ඔවුන් කරදර වන්නේ ඔබ ලොකුවට වැඩී ඇති නිසා ය.

ලොකුවට වැඩෙන හැම කෙනෙක්ම නොසැලී සිටීමට ඉගෙන ගත යුත්තේ ය. එය නායකයෙකු සතු ධීර ගුණයකි.

ඒ සඳහා අවශ්‍ය එක් වැදගත් දෙයක් නම් දැනුම ය. ඔබ මෙල්ල කරන්නට ප්‍රතිවාදියෙකු විසින් කුමන උපක්‍රම භාවිතා කළ හැකි දැයි යන්න පිළිබඳ දැනුම එහි දී විශේෂ වන්නේ ය. ඔබ මැකියාවෙලිගේ ‘ද ප්‍රින්ස්‘ කියවිය යුතුව ඇත්තේ ඒ නිසා ය. හිට්ලර්ගේ, ස්ටාලින්ගේ හා මැරයන්ගේ චරිතාපදානයන් කිව යුතුව ඇත්තේ ඒ නිසා ය.

ඒ සඳහා අවශ්‍ය අනෙත් වැදගත් දෙය නම් අට ලෝ දහම (ලාභ-අලාභ, යස-අයස, නින්දා-ප්‍රසංසා, සැප-දුක) ඉදිරියේ කම්පා නොවී සිටීමට ඔබේ සිත පුරුදු පුහුණු කිරීම ය.

මේ කරුණු සම්පූර්ණ කිරීමට උනන්දු වීමට වෙහෙසීමට අකමැති අය නායකයන් නොවිය යුත්තේ ය.

ප්‍රශ්න ප්‍රශ්නයක් කර නොගැනීමේ කලාව


සමහරු ප්‍රශ්නවලට බිය ය. ප්‍රශ්නයක් ඇති වූ වහාම ඔවුන්ට විසඳුමක් ඕනෑ වෙයි. එසේ විසඳුමක් නැති කළ ඔවුන් ඊළගට සොයන්නේ එතැනින් පැන යාමට ය. ඒ අයට ඊළගට එන ප්‍රශ්නයට තම මනස යොමු කළ හැක්කේ මුල් ප්‍රශ්නය විසඳා අවසන් වූ විට ය. එසේ නැතිව එන එළඹෙන ඊළග මොහොතේ ප්‍රශ්නයක් ආවොත් ඔවුන් වැටෙන්නේ ලොකු අමාරුවක ය.

එවැනි චරිත ලක්ෂණ ඇති අයට කළමනාකරුවන් වීමට බැරි ය. ඊට ප්‍රතිපක්ෂව දක්ෂ කළමනාකරුවෝ හැම ප්‍රශ්නයක්ම අලුත් අවස්ථාවක් ලෙස ගනිති. ඔවුහු ප්‍රශ්න මගහරිනු වෙනුවට ප්‍රශ්න සොයා යන්නෝ ය.

නව ප්‍රශ්නයකට සිත යොමු කිරීමට එක් ප්‍රශ්නයක් අවසන් වන තුරු ඉන්නට ඔවුනට ඕනෑ නැත. ඊට ඔවුන්ගේ කැමැත්තක් ද නැත. නොවිසඳුනු ප්‍රශ්න සමග ජීවත්වන්නට ඔවුන්ට හැකි ය.

එයින් අදහස් වන්නේ ප්‍රශ්න විසඳීමට ඔවුන් කල් ගන්නා බව වත් ප්‍රශ්න විසඳීම ඔවුන් කාලයට බාර දෙන බව වත් නොවේ.

ප්‍රශ්න සමගාමීව විසඳන්නට ඔවුන්ට ගැටළුවක් නැති බව ය. ප්‍රශ්න ඔවුන්ට ප්‍රශ්න නොවන බව ය. වඩාත් නිවැරදිව කියන්නේ නම් ඔවුන් ප්‍රශ්න ප්‍රශ්නයක් කර ගන්නේ නැති බව ය.

ප්‍රශ්නයක් ඔවුන්ට හිරිහැරයක් නොව අභියෝගයකි. ප්‍රශ්නයක් ඉක්මණින් අවසන් කිරීමට නොව දක්ෂ ලෙස ජය ගැනීම ඔවුන්ගේ අභිප්‍රාය වෙයි. ඒ සඳහා මුහුණ දීමට ඔවුන් ලක ලෑස්ති වෙන අතර ඒ තුළ ඔවුන්ගේ උද්යෝගය ද වඩ වඩා ප්‍රකට වේ.

ප්‍රශ්නයක් ඉදිරියේ කැළඹෙන සෙසු අයට පරස්පරව ප්‍රශ්නයක් ඉදිරියේ විකසිත වන ඔවුන්ගේ ආත්මය බලා සිටින අන් අය තුළ ද සතුටක් හා ප්‍රසාදයක් ඇති කරයි.

එවන් අය සමග ජීවත් වීම පහසුවකි. විනෝදයකි. සැහැල්ලුවකි. එවැනි නායකයින් වටා අනුගාමිකයන් එකතු වන්නේ නිරායාසයෙනි.

ඔබ දක්ෂ කළමනාකරුවෙකු වීමට කැමති නම් ප්‍රශ්න ප්‍රශ්නයක් කර ගන්නේ නැතිව ජීවත්වීමේ කලාව ඔබ හොඳින් ප්‍රගුණ කළ යුතු ය.