කළ යුත්තේ ඇයි ද යන්න නොකියා කරන්නට කීම


බොහෝ නායකයින් සිය අනුගාමිකයන්ට තම ක්‍රමෝපායන් විස්තර කර දී ඒවා අනුගමනය කරන ලෙස ඉල්ලති. නැති නම් නියෝග කරති. එහෙත් ඔවුන්ට අමතක වෙන තීරණාත්මක කාරණය නම් තම අනුගාමිකයන් විසින් එසේ කළ යුත්තේ ඇයි ද යන්න ද ඒ සමගම ඔවුන්ට පැහැදිලි කර දිය යුතු බව ය. ඒ අමතක වීමෙන් සිදු වන්නේ තමන්ගේ උපාය මාර්ගය අනුගාමිකයින්ගෙන් සැගවී තිබීම ය.

සැගවීම යන වචනය වැරදි විය හැකි ය. එයින් අදහස් කෙරෙන්නේ හිතාමතා නොකියා සිටි බව කි. එහෙත් බොහෝ විට සිදු වන්නේ එසේ සිතාමතා සැගවීම නොව එසේ කීම අවශ්‍ය යැයි නොහැගීම ය. තවත් විටක ආඩම්බර කම නිසා එසේ හේතු පැහැදිලි කළ යුතු යැයි නොහැගී යාම ය.

අද තියෙනව කියන ඔය පාටි එකට ඔයා යන්න එපා යැයි තාත්තා කෙනෙක් තම දි්‍යණියට කියන කල සහ ඒ සම්බන්ධයෙන් වෙන මුකුත් නොකියන කල සිදු වන්නේ එවැන්නකි. කිසිදු පැහැදිලි හේතුවක් නොදී අතිකාල දීමනා සීමා කර ඇති බව කරන නිවේදනයක් කළමනාකරණය විසින් නිකුත් කළ විට ඇති වන්නේ ද එවැන්නකි. කිසිදු හේතුවක් නොදී රජය විසින් විදුලි බලයෙන් දුවන වාහන වල බදු වැඩි කළ විට ද ඇති වූයේ එවැන්නකි.

(සමහර විට එවැනි හේතු පැහැදිලි කිරීමක් නොකරන්නේ පැහැදිලි කිරීමට තරම් හේතුවක් නැති වූ විට ද විය හැකි යැයි මට හැගුනේ ඉහත උදාහරණ ටික පෙළ ගැස් වූ විට ය.)

හේතු දෙකක් නිසා මේ ක්‍රියාමාර්ගය වැරදි ය.

  • පළමුව අනුගාමිකයන්ට එසේ කළ යුතු බව ඒත්තු නොයෑම ය.
  • දෙවැන්න ඇතිවිය හැකි නව තත්වය යටතේ පවා ඔවුන් විසින් ඔවුන්ට දන්වා ඇති ක්‍රමෝපාය ක්‍රියාත්මක කරන්නට ගොස් ඇණ ගැනීම ය.

පළමුවැන්න සම්බන්ධයෙන් කිව යුත්තේ, ඇයි ද යන්න අනුගාමිකයන්ගේ කෝණයෙන් විස්තර නොවුනොත් එවැන්නක් කිරීමට ඇති අභිප්‍රේරණය/ පෙළඹවීම කුඩා බව ය. අදාළ ක්‍රමෝපාය අනුගමනය කිරීමෙන් ආයතනයට, සංවිධානයට, කණ්ඩායමට හා එක් එක් සමාජිකයාට ලැබෙන ප්‍රතිලාභය ද එසේ නොකිරීමෙන් අත්වන පාඩුව හෝ අලාභය ද දැන සිටින්නේ නම්, මිනිසුන් වඩා උද්යෝගයෙන් හා ස්වයං පෙළඹවීමෙන් උර දෙන්නට ඉදිරිපත් වන්නට තිබුණු කාර්යයක්, ඈලි මෑලිව ඔවුන් විසින් ඉටු කිරීම ය.

දෙවැන්න සම්බන්ධයෙන් කිව යුත්තේ ක්‍රමෝපාය නව තත්වයට නොගැලපෙන බව තේරුම් ගත හැකි, එය කළ යුත්තේ ඇයි ද යන්න දැන සිටි, නායකයා බොහෝ විට අසලක නොසිටිය හැකි ය යන්න නායකයා අමතක කර ඇති බව ය. නායකයා නොසිටිය ද උපාය මාර්ගය (දී ඇති ක්‍රමෝපාය අනුගමනය කළ යුත්තේ ඇයි ද යන්න) අනුගාමිකයන් විසින් දැන සිටියේ නම් වෙනස් වූ තත්වයට අදාළව එය සකසා ගැනීමට අනුගාමිකයන්ට ඉඩ කඩ තිබුනේ ය. ඒ ඉඩකඩ දැන් නැති ය.

(එසේ නැති විය හැක්කේ රාත්‍රියේ යෑමට තිබුනු පාටිය රෑ 9.00 ට ප්‍රථම අවසන් වන බවත් එම නිවැසි යෙහෙළිය විසින් ඇය ගෙදරටම ගෙනත් ඇරලන බවත් තොරතුරු ලැබෙන විට තීරණය ගැන විමසන්නට තාත්තා ළග නොහිටින්නට ඇති ඉඩ කඩ ය.)

තවත් ගැඹුරට විමසන්නේ නම් තෙවැනි හේතුවක් ද සොයා ගත හැකි ය. ඒ කළමනාකරුට එම ක්‍රමෝපාය නැවත විමසා බැලීමකට ලක් කිරීමකට ද ඒ නිසාම තව අවස්ථාවක් ලැබෙන්නේය යන්න ය. (ඇයි යන ප්‍රශ්නයට සාධාරණ උත්තරයක් තමන්ට ම සොයා ගැනීමට නොහැකි වීම හරහා ද ඒ උත්තරයෙන් අනුගාමිකයන් සෑහීමකට පත් නොවීම හරහා ද මේ කියන අවස්ථාව උදා විය හැකිය)

කළමනාකරුවෙකු මේ නිසා ම ක්‍රමෝපාය සමග එසේ එම ක්‍රමෝපාය අනුගමනය කරන ලෙස කියන්නේ ඇයි ද යන්න ද දැක් වීමට නිහතමානී විය යුතු ය. දැනුවත් විය යුතු ය. මතක තබා ගත යුතු ය.