සමහර දේ දැඩිව අල්ලා ගන්නට තැත් කරන තරමට ලිස්සා යෑමට වැඩි ඉඩක් ඇත්තේ ය


තෙත සබන් කැබැල්ලක් දැඩිව ඇල්ලූ විට සිදුවන්නේ එය අතින් ලිස්සා යෑම ය. ලිස්සන මතුපිටක යන වාහනයක් නවත්වන්නට තිරිංග යොදන කෙනෙකුට සිදුවන්නේ වාහනය පාලනය කර ගැනීම තවදුරටත් අසීරුවීම ය.

දරුවෙකුට දැඩී සීමා පනවා හදන පියෙකුට සිදුවන්නේ ඔහු ගෙදරින් පැන යනු දැකීමට ය. බිරින්දෑට අඩම්තේට්ට්ම් කර පාලනය කරන සැමියෙකුට සිදුවන්නේ තමන්ගේ පාලනයෙන් එහෙම පිටින්ම මිදී යන බිරින්දෑ කෙනෙකු දැක ගැනීමට ය.

පොල් මිල ඉහළ ගිය විට බොහෝ ආණ්ඩු කරනුයේ පොල් අපනයනයට තහංචි පැමිණවීම ය. ඒ හරහා පොල් මිල පහල බැස්සීමට කටයුතු කිරීම ය. එයින් සිදුවන්නේ පොල් වැවිලි කරුවන් අධෛර්යමත් වී පොල් ඉඩම් කට්ටි කඩා විකිණීමට කටයුතු කිරීම ය. පොල් ඉඩමට කරන ආයෝජන නවතා දැමීම ය. වෙනත් භෝගයක් වවන්නට තීරණය කිරීම ය. තාවකාලිකව මිල ඉහළ ගිය පොල් සදාකාලයට මිල ඉහළ යන්නේ එවැනි ක්‍රියා නිසා ය. කළ යුතුව තිබුනේ පොල් වවන්නන්ට තව තවත් උදව් කිරීම වුව කළේ ඔවුන්ට ලද අවස්ථාව ද අවුරා දැමීම ය. පොල් මිල පහල  දැමීමට කළ වැඩම පොල් මිල ඉහල යාමට තුඩු දෙන්නේ එසේ ය.

සිතු දේ නොම වෙන නොසිතු දෙයම වන මේ කලබැගෑනිය ඇති කරගන්නේ අපට ඇති දැඩි වුවමනාව විසින්ම ය.

දැඩිව අල්ලා ගන්නේ ආදරය නිසා ය. සතුට රැක ගනු සදහා ය. එහිදී අහිමි වී යන්නේත් අප දැඩිව අල්ලා ගන්නට හදන දෙය ය. නැතිවන්නේ ම සතුට ය. ඉහල යන්නේ ම පහල දමන්නට දැගලූ පොල් මිලම ය.

අපට ස්වභාවික නියාමයන්ට එරෙහිව යා නොහැකි ය. අපට කළ හැක්කේ ඒවා පරිස්සමින් පාවිච්චියට ගැනීම පමණකි. යමකට ඇති දැඩි ඇලීම නිසාම මේ සත්‍යය අපට මග හැරෙයි. එවිට අප ඇල්ම කරන දෑම අපෙන් ගිලිහී යයි.

මිනිසුන් ස්වභාවයෙන්ම ආර්ථමාර්ථකාමී ය. අපට එය වෙනස් කළ නොහැකි ය. ඔවුන්ට දොස් කීමෙන් පලක් නොවේ. අපට කළ හැක්කේ ඒ සත්‍යය තේරුම්ගෙන ඒ මත පිහිටා මිනිසුන් සංවිධානය කිරීම ය. ආර්ථමාර්ථය වටා සංවිධානය කිරීම ය.

එහිදී ඔවුන්ගේ පටු ආර්ථමාර්ථකාමය (narrow self-interest) වෙනුවට හැකි නම් ඔවුන්ගේ බුද්ධිමත් ආර්ථමාර්ථකාමිත්වයට (enlightened self-interest) ආමන්ත්‍රණය කිරීම ය.

පොල් අපනයනයට තහංචි දැමීම නොව එයින් ලැබෙන මුදල් පොල් ඉඩමේ වැඩි දුර වර්ධනය වෙනුවෙන් යොදවන්නට ඔවුන් පෙළඹවීම ය. අද නැතත් හෙට පොල් මිල අඩුවනු ඇත්තේ එසේ ය. දරුවාට තහංචි දමනවා වෙනුවට ඔහුට සමාජය ගැන දැනුවත් වීමට ඉඩ සලස්වා දීම ය. ඔහු බලාත්මක කිරීම ය. බිරිදට අඩම්තේට්ටම් කිරීම පැත්තකට දා ආදරය කිරීමට ඉදිරිපත් වීම ය. ඇය තුළ තමන් ගැන සෙනෙහසක් ඇති කරලීමට පියවර ගැනීම ය.

වුවමනාව තිබුනාට මදි ය. දැනුම ද අවශ්‍ය යැයි කියන්නේ ඒ නිසා ය. බොහෝ කළමනාකරුවන් තම වුවමනාවන් ඉටු කරගන්නට වලි කන මුත් එසේ කර ගත හැක්කේ කෙසේදැයි දන්නේ නැත. මිනිසුන් කළමනාකරණයට common sense ඉක්මවන දැනුමක් වුවමනා ය.

කළමනාකරුවන් සමාජවිද්‍යාව ද මනෝ විද්‍යාව ද ඉගෙන ගත යුත්තේ මේ නිසා ය. සමාජය හා මනස වැඩ කරන හැටි දැනගත් විට ඒ නියාමයන්ට විරුද්ධව නොයා ඒවා තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීමට භාවිතා කළ හැක්කේ ය.

ප්‍රශ්නය අප වීජ ගණිතය ඉගෙන තිබීම ය


වීජ ගණිතයේ ස්වායත්ත විචල්‍ය කියා එකකුත් පරායත්ත විචල්‍ය කියා එකකුත් තිබෙයි. ස්වායත්ත විචල්‍යය වෙනස් වුනාම පරායත්ත විචල්‍යය ද වෙනස් වෙයි.

වීජ ගණිතයේ වගේ ඉතාම සරල රේඛීය සම්බන්ධයක් විදිහට අපේ ජිවිතයත් තිබේ නම් සියල්ල පහසු ය. අපේ අවාසනාවට ජීවිතය වීජගණිතය තරම් සරල නැත.

මා වෙනස් වන විට මගේ බිරිද වෙනස් වෙයි. එහෙත් වීජ ගණිතයේ මෙන් එය එතැනින් අවසන් වෙන්නේ නැත. ඇය වෙනස් වුනහම මා නිකම් සිටින්නේ නැත. නැවත මම ද වෙනස් වෙමි. එවිට බිරිද නැවතත් වෙනස් වෙයි. මෙය චක්‍රාකාර ය. කෙළවරක් නැති ය.

ආයතනයක කළමනාකරණය හා වෘත්තීය සමිති අතර ගනුදෙනුව ද ඊට සමාන ය. කළමනාකරණය වෙනස් වුනහම වෘත්තීය සමිතිය වෙනස් වෙයි. ඊට අනුව කළමනාකරණය නැවත වෙනස් වෙයි. වෙනස වෙනසකට ද එය තවත් වෙනසකට ද බල පායි. ටික කලක් යන විට ආරම්භය සිදු වුනේ කෙසේ දැයි අමතකව ගොස් ය. වෙනස නොනැවතී වෙනස් වෙමින් ඉදිරියට යයි. අවසානයේ කුඩා ප්‍රශ්නයක් දළු ලා ගිය සටනකට පරිවර්ථනය වී අවසන් වීමට ද පුළුවන. (ආරම්භය සාධනීය වූයේ නම් කාලයත් සමග අලුත් ආකාරයේ සහයෝගීතාවයකට ද එය පරිවර්ථනය වන්නට පුළුවන).

මේ ගමන අගාධයකට දෙපාර්ශවයම තල්ලු කරන්නේ නම් එය කණගාටුදායක ය. එහෙත් බලාපොරොත්තු අත් හැර ගත යුතු නැත. එය වෙනස් කළ හැකි නිසා ය. ඒ අනෙකාගේ වෙනසට ප්‍රතිචාරයක් ලෙස වෙනස් වන්නේ නැතිව එහෙම පිටින්ම වෙනස් වීමෙනි. අනෙකා අපේක්ෂා නොකළ ආකාරයට වෙනස් වීමෙනි. අතීතය එහැම පිටින්ම අමතක කොට නිදහස්ව අනාගතය දෙස බැලීමෙනි. ඉරි ඇද බලි කුරුටු ඇද කිලිටව ගිය කොළය ඉවත දමා හිස් සුදු කොළයක් අතට ගැනීමෙනි.

දන්න ඉංග්‍රීසියෙන් කියන්නේ නම් reactive වීම නවතා proactive වීමෙනි.

අවාසනාවට proactive කියන වචනයට සිංහල වචනයක් මධුර ශබ්ද කෝෂයේ නැත. එයින් එහි වැදගත් කම අඩු නොවේ.

අතීතයෙන් බැහැරව අලුතින් හිතන්නට ඉගෙන ගන්නා මිනිස්සු තමන් කර දා ඉන්නා උරචක්‍රමාලාවෙන් නිදහස් වෙති. මේ තුළ පැරණි කරුණු මත පදනම් වූ තර්කයට තැනක් නැත. තැන ඇත්තේ අලුතින් ඇති කර ගත යුතු විශ්වාසයට ය. ඒ සදහා අවශ්‍ය නිර්මාණශීලී මනසකි. තර්කයට කොටු කර ගත නොහැකි නිර්මාණශීලි මනසකි.

මේ සටහන ලියන්නට මා යොමු කළේ උතුරු පළාත් ප්‍රධාන ඇමතිවරයාගේ දිවුරුම් දින කතාව කි. ඒ නිසාම එහි යොමුව පහත දැක්වේ.

දේශපාලන කදවුරු පැත්තක තබා ඒ දෙස අප ඉහත දැක්වූ තර්කනය ඔස්සේ බැලුවොත් ඉගෙනීමට බොහෝ දේ ඇතැයි මම සිතමි.

https://www.colombotelegraph.com/index.php/i-took-oaths-a-little-while-ago/

ප්‍රධාන ඇමතිවරයාගේ මේ කතාව පිළිබදව නොව ඒ මත පදනම්ව අප ගොඩ නැගූ සංවාදාත්මක මූලධර්මය සංවාදයට බදුන් වෙතැයි සිතමු.

එක් පැත්තකින් නොසිතූ ප්‍රතිචාරයක් ලැබී තිබේ. අනිත් පැත්ත එය පාවිච්චියට ගත්තොත් අලුත් මාවතක් රටට විවෘත වනු ඇත්තේ ය. ඒ අරගලයේ මාවත නොව සංහිදියාවේ මාවත ය.

අරමුණු හා උපාය මාර්ග අතර සාම්‍යයක් නැති වීම


අපේ රටටත් අපේ ආයතනවලටක් පොදුවේ සිදුව ඇති එක් නස්පැත්තියක් නම් තම අරමුණු හා ඒවා සාක්ෂාත් කරගන්නට ගන්නා උපායමාර්ග අතර සාම්‍යයක් නොමැති වීම ය. ගැලපීමක් නොමැති වීම ය.

කීකරු ශිෂ්‍යයෙක් වීම හොද ය. එහෙත් ඒ සදහා ගුරුවරයා කියන ඕනෑම බින්නයක් විශ්වාස කළ යුතු ය, වැරදි යැයි දැක දැකත් ප්‍රශ්න නොකට යුතු ය, යන උපායමාර්ගය අනුගමනය කළ යුතු ද? එයින් කීකරු කෙනෙකු විය හැකි මුත් ශිෂ්‍යයෙක් විය හැකි ද?

ආයතනයක් තුළ ගැටුම් අවම කිරීම වැදගත් ය. එහෙත් ඒ සදහා ආයතනයේ විරුද්ධ මත ධාරීන්ට පන්න පන්නා පහර ගැසීම යෝග්‍ය වන්නේ ද? එයින් ගැටුම් තාවකාලිකව යටපත් කර ගත හැකි මුත් අවම කර ගත හැකි වනු ඇත් ද? එම ගැටුම් පසුකලෙක තවත් දරුණු මුහුණුවරකින් මතු නොවෙනු ඇත් ද? එලිපිට විරුද්ධතාවය අවම වී රහසින් කරන කඩාකප්පල්කාරී ක්‍රියා වැඩිවීමකට තුඩු දෙනු ඇත් ද? එයින් ගැටුම අවම වීම වෙනුවට එය යටගොස් පුපුරායෑමක් බවට පෙරලී පසුකලෙක ප්‍රකාශයට පත්වේ නම් ගැටුම් අවම කිරීමේ අරමුණට කුමක් වේද?

ආයතනයක් තුළ වැඩි ප්‍රගතියක් පෙන්වන අයට වැඩි ප්‍රතිලාභ දීම වැදගත් ය. එහෙත් ඒ ප්‍රගතිය පෙන්වන්නේ අන් අයට අකුල් හෙලීම මගින් නම් අන් අයට සහය දීම වැළැක්වීමෙන් අන් අයට උදව් කළ යුතු අවස්ථාවන්වල මග හැර යාමෙන් නම් එයින් ආයතනයට අත් කර ගත හැකි සෙතක් තිබේ ද? එසේ කටයුතු කොට ප්‍රගතිය පෙන්වන්නට ප්‍රතිලාභ දිය යුතු ද?

දේශප්‍රේමය හොද ය. එහෙත් ඒ දේශප්‍රේමයේ නාමයෙන් ලංකාවේ නිපදවන බාල බඩු පමණක් අධික මිල ගණන් වලට දේශප්‍රේමී සාප්පුවලින්ම ගත යුතු යැයි නීති පැනවීම යහපත් ද? එයින් පාරිභෝගිකයන්ට පමණක් නොව අවසාන විශ්ලේෂණයේ දී රටටවත් සෙතක් අත් වෙයි ද?

අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු වීම යහපත් අරමුණක් බවට විවාදයක් නැත. එහෙත් ඒ සදහා අන් රටවල් ගර්හාවට ලක් කිරීම ඒ රටවල සියලු යහපත් දේ නොදුටුවාක් මෙන් සිටීම නැති අයහපත් දේ තිබේ යයි කියා පෑම සුදුසු ද? ඒ රටවලින් ඉගෙනීම ප්‍රතික්ෂේප කිරීම අපට වාසිදායක වෙයි ද? අභිමානවත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට එය රුකුලක් වෙයි ද?

බුදු දහම හෝ වෙනත් එවැනි මානව වාදී දහමක් හෝ ප්‍රචලිත කිරීම යහපත් ය. එහෙත් ඒ සදහා ගහක් ගලක් මුලක් ගානේ බුදු පිළිම හෝ දේව ප්‍රතිමා ඇති කිරීම ගැලපේ ද? පල්ලිවලට හෝ පන්සල්වලට ගල් ගැසීම ගැලපේ ද? ගිරිය යටින් කෑ ගැසීම ගැලපේ ද? වෙනත් ආගමිකයන්ට තර්ජනය කිරීම ගැලපේ ද? ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍රවලට අකුල් හෙලීම ගැලපේ ද?

ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කිරීම යහපත් ය. එහෙත් ඒ සදහා සියලු අන්‍ය ජාතිකයන් හා ආගමිකයන් සිංහල බෞද්ධ ධජය අතුළු එහි සංකේතත් එහි දර්ශනයත් පිළිගත යුතු යැයි කීම, ඒ ප්‍රධාන ධාරාව තුළ සැගව සිටිය යුතු යැයි කීම, ඔවුන්ගේ අනන්‍යතාවය අත්හල යුතු යැයි කීම කෙතරම් දුරට යෝග්‍ය ද?

අප ඉහත දැක්වූ බොහෝ උපායමාර්ග බැලූවිට පෙනී යන්නේ ඒවා අපේක්ෂිත අරමුණු ජයග්‍රහණය නොකරනවා පමණක් නොව ඒ වෙනුවට ඒවා ඇත්ත වශයෙන් පරාජය කිරීමට හේතු වී ඇති බව ය.

ඒ අතරම තමන් අරමුණ කරා යන බව මෝඩ ජනයාට පෙන්වන්නට බොරු කාරයින් විසින් යොදා ගෙන ඇති ශක්තිමත් ආවරණයන් පමණක් බව ය.

වචනයෙන් අරමුණ වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වන එහෙත් ක්‍රියාවෙන් එයට මරු කැදවන මේ අරමුණ හා උපාය මාර්ග ඇති පරස්පරය අදුනා නොගත හොත් රටක් ලෙසත් ආයතනයක් ලෙසත් ඉදිරියට යාමට නම් නොහැකි වනු ඇත්තේ ය.

කළමනාකරුවන් තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට ගන්නා උපාය මාර්ගම එම අරමුණු පරාජය කිරීමට කටයුතු නොකරන බවට දැඩි වගකීමකින් යුතුව වග බලා ගත යුත්තේ ය.

දියසේන කුමාරයා එනතුරු බලා සිටි අපට ඔහු මග හැරුනේ ය.


සවිමත් සතෙක් මෙන්ම හොදින් ඵල දරණ ගහක් හැදීමටත් ඊට සුදුසු පරිසරය තිබිය යුතු ය. එහෙව් පරිසරයක් නැති තැනක කොතරම් සාර්ථක බීජයක් වුවත් අවසානයේ ඇති කරනුයේ කැහැටු සතෙක් හෝ කේඩෑරි විය ගිය ගහක් පමණකි.

නායකයෙකු සම්බන්ධයෙන් ද සත්‍යය වනුයේ එයයි.

හොද නායකයෙකු බිහිවිය හැක්කේ හොද අනුගාමිකයන් කීප පොලක්වත් ඉන්නා පරිසරයක ය. ඒ අනුගාමිකයන්ට නායකයාගේ පණිවුඩය හොදින් ග්‍රහණය කරගන්නටත් එය තමන්ගේම එකක් කර ගන්නටත් හැකියාවක් හා උණක් තිබිය යුතු ය.

බහුතර පිරිස රැස්වන්නේ නායකයා වටා නොවේ. නායකයාගේ ප්‍රබල අනුගාමිකයන් වටා ය. පහත වීඩියෝව ඊට කදිම උදාහරණයක් සපයයි.

http://www.youtube.com/watch?v=fgVWce4ToFw

ඉහත වීඩියෝ පටයේ දැක්වූ සරල නැටුමකට නම් නායකත්වය දීම තරමක් පහසු ය. එහෙත් නායකත්වය දැරිය යුත්තේ ඊට වඩා බරපතල මෙහෙවරක් වෙනුවෙන් නම් තත්වය තවත් සංකීර්ණ ය. විශේෂයෙන් මිනිසුන්ට ඒ මෙහෙවරට සහභාගී වීම වෙනුවෙන් විශාල බරපැනක් දරන්නට වෙයි නම් තත්වය තවත් අමාරු ය.

ඒ මෙහෙවර පවතින බලතුලනයට සමතුලිතතාවයට එරෙහිව යන්නක් නම් වැඩේ කිරිමෙල් ය.

බාහිරට පෙනෙන නායකයෙකු වීම ලෙහෙසි නැත. ඒ සදහා විවිධ කුසලතා රැසක් අවශ්‍ය වේ. සමහරවිට දේශපාලන සත්ත්වයෙක් වීම පමණක් නොව විශිෂ්ඨ රංගනයක යෙදීම ද අවශ්‍ය වේ. එහෙත් ශක්තිමත් අනුගාමිකයෙකු වීමට -නායකයා ශක්තිමත් කළ හැකි අනුගාමිකයෙක් වීමට- එවැනි කුසලතා හැම එකක්ම අවශ්‍ය නැත. මෙහෙවර වෙනුවෙන් කැප වීම ප්‍රදර්ශනය හා ඒ වෙනුවෙන් අභිතව පෙනී සිටීම පමණක් වුව සමහර විට සෑහේ.

නායකයෙකු වීමට තැත් කිරීම හොද දෙයකි. එහෙත් බැරි නම් ඊළගට කළ යුතු හොදම කාර්යය වන්නේ ඊට අවශ්‍ය පරිසරය තැනීමටවත් දායක වීම ය.

වෙනසක අවශ්‍යතාවය යම් පමණකට මෝරා ඇති විට ඒ වෙනස කළ හැකි නායකයෙකු බිහිවීමේ ඉඩ කඩ වැඩි ය. එය හරියට මාස දහයක් සම්පූර්ණ කළ මිනිස් කලලයක් එලියට එන්න තතනවා වැනි ය. එවැනි තත්වයක් මෝරා ඇති විටෙක කවරෙකුටත් ඒ උත්පත්තිය කල් දැමිය නොහැකි ය. එසේ කළොත් වෙන්නේ වින්නැහියකි. එහෙත් උත්පත්තිය පහසු කිරීමට වින්නඹු කම් කිරීමට සිදුවේ.

සමාජ තත්වයන් වෙනසකට මෝරා ඇත්නම් (එය ආයතනයකට ද අදාළ ය) නායකයෙකු බිහිවීම පහසු ය. හොද වින්නඹුවෙකු සිටී නම් එය වඩාත් කදිමට සිදුවනු ඇත්තේ ය. නැතිනම් සිදුවිය හැක්කේ වෙනස මල දරුවෙකු ලෙස උපත ලැබීම ය. එහි අවසානය ආයතනයේ (මවගේ) මරණය ද සනිටුහන් කරනු ඇත.

අපේ කතිකාව සම්බන්ධයෙන් නම් හොද වින්නඹුවකැයි කීවේ මුල් අනුගාමිකයන්ට ය. ඔවුන් අවශ්‍ය වන්නේ නායකයන් බිහිකිරීමට ය. නායකයෙක් බිහිකිරිමට වෑයම් කරන අය මුලින් කළ යුත්තේ හොද අනුගාමිකයන් තැනීමට උත්සුක වීම ය. නායකයෙකුට බිහිවිය හැකි වතාවරණය සකස් කිරීම ය. එහි වගකීම ඇත්තේ අපට ය.

රටට හෝ සමහර විට මා ඉන්නා ආයතනයට හෝ නායකත්වයක් දීමට මට බැරි වන්නට පුලුවන. එහෙත් ඒ සදහා අවශ්‍ය මිනිසුන් සූදානම් කිරීමට ඔවුන්ට යම් මග පෙන්වීමක් කිරීමට ඔවුන්ට තල්ලුවක් දීමට එයට අවශ්‍ය පරිසරය සැකසීම සදහා දායක වීමට මට ද හැකි ය.

මා එසේ නොකොට නායකයෙක් දෙයියෝ දෙන තෙක් බලා සිටියොත් වන්නේ මට දිගටම බලා සිටීමට ය. රටට පමණක් නොව රටේ බොහෝ ආයතනවලට ද සිදුව ඇත්තේ තමන්ගේ කොටස ඉටු නොකොට එසේ බලා ඉන්නා මිනිසුන්ගෙන් ඒවා සමන්විතව තිබීම ය.