අරමුණු හා උපාය මාර්ග අතර සාම්‍යයක් නැති වීම


අපේ රටටත් අපේ ආයතනවලටක් පොදුවේ සිදුව ඇති එක් නස්පැත්තියක් නම් තම අරමුණු හා ඒවා සාක්ෂාත් කරගන්නට ගන්නා උපායමාර්ග අතර සාම්‍යයක් නොමැති වීම ය. ගැලපීමක් නොමැති වීම ය.

කීකරු ශිෂ්‍යයෙක් වීම හොද ය. එහෙත් ඒ සදහා ගුරුවරයා කියන ඕනෑම බින්නයක් විශ්වාස කළ යුතු ය, වැරදි යැයි දැක දැකත් ප්‍රශ්න නොකට යුතු ය, යන උපායමාර්ගය අනුගමනය කළ යුතු ද? එයින් කීකරු කෙනෙකු විය හැකි මුත් ශිෂ්‍යයෙක් විය හැකි ද?

ආයතනයක් තුළ ගැටුම් අවම කිරීම වැදගත් ය. එහෙත් ඒ සදහා ආයතනයේ විරුද්ධ මත ධාරීන්ට පන්න පන්නා පහර ගැසීම යෝග්‍ය වන්නේ ද? එයින් ගැටුම් තාවකාලිකව යටපත් කර ගත හැකි මුත් අවම කර ගත හැකි වනු ඇත් ද? එම ගැටුම් පසුකලෙක තවත් දරුණු මුහුණුවරකින් මතු නොවෙනු ඇත් ද? එලිපිට විරුද්ධතාවය අවම වී රහසින් කරන කඩාකප්පල්කාරී ක්‍රියා වැඩිවීමකට තුඩු දෙනු ඇත් ද? එයින් ගැටුම අවම වීම වෙනුවට එය යටගොස් පුපුරායෑමක් බවට පෙරලී පසුකලෙක ප්‍රකාශයට පත්වේ නම් ගැටුම් අවම කිරීමේ අරමුණට කුමක් වේද?

ආයතනයක් තුළ වැඩි ප්‍රගතියක් පෙන්වන අයට වැඩි ප්‍රතිලාභ දීම වැදගත් ය. එහෙත් ඒ ප්‍රගතිය පෙන්වන්නේ අන් අයට අකුල් හෙලීම මගින් නම් අන් අයට සහය දීම වැළැක්වීමෙන් අන් අයට උදව් කළ යුතු අවස්ථාවන්වල මග හැර යාමෙන් නම් එයින් ආයතනයට අත් කර ගත හැකි සෙතක් තිබේ ද? එසේ කටයුතු කොට ප්‍රගතිය පෙන්වන්නට ප්‍රතිලාභ දිය යුතු ද?

දේශප්‍රේමය හොද ය. එහෙත් ඒ දේශප්‍රේමයේ නාමයෙන් ලංකාවේ නිපදවන බාල බඩු පමණක් අධික මිල ගණන් වලට දේශප්‍රේමී සාප්පුවලින්ම ගත යුතු යැයි නීති පැනවීම යහපත් ද? එයින් පාරිභෝගිකයන්ට පමණක් නොව අවසාන විශ්ලේෂණයේ දී රටටවත් සෙතක් අත් වෙයි ද?

අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු වීම යහපත් අරමුණක් බවට විවාදයක් නැත. එහෙත් ඒ සදහා අන් රටවල් ගර්හාවට ලක් කිරීම ඒ රටවල සියලු යහපත් දේ නොදුටුවාක් මෙන් සිටීම නැති අයහපත් දේ තිබේ යයි කියා පෑම සුදුසු ද? ඒ රටවලින් ඉගෙනීම ප්‍රතික්ෂේප කිරීම අපට වාසිදායක වෙයි ද? අභිමානවත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට එය රුකුලක් වෙයි ද?

බුදු දහම හෝ වෙනත් එවැනි මානව වාදී දහමක් හෝ ප්‍රචලිත කිරීම යහපත් ය. එහෙත් ඒ සදහා ගහක් ගලක් මුලක් ගානේ බුදු පිළිම හෝ දේව ප්‍රතිමා ඇති කිරීම ගැලපේ ද? පල්ලිවලට හෝ පන්සල්වලට ගල් ගැසීම ගැලපේ ද? ගිරිය යටින් කෑ ගැසීම ගැලපේ ද? වෙනත් ආගමිකයන්ට තර්ජනය කිරීම ගැලපේ ද? ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍රවලට අකුල් හෙලීම ගැලපේ ද?

ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කිරීම යහපත් ය. එහෙත් ඒ සදහා සියලු අන්‍ය ජාතිකයන් හා ආගමිකයන් සිංහල බෞද්ධ ධජය අතුළු එහි සංකේතත් එහි දර්ශනයත් පිළිගත යුතු යැයි කීම, ඒ ප්‍රධාන ධාරාව තුළ සැගව සිටිය යුතු යැයි කීම, ඔවුන්ගේ අනන්‍යතාවය අත්හල යුතු යැයි කීම කෙතරම් දුරට යෝග්‍ය ද?

අප ඉහත දැක්වූ බොහෝ උපායමාර්ග බැලූවිට පෙනී යන්නේ ඒවා අපේක්ෂිත අරමුණු ජයග්‍රහණය නොකරනවා පමණක් නොව ඒ වෙනුවට ඒවා ඇත්ත වශයෙන් පරාජය කිරීමට හේතු වී ඇති බව ය.

ඒ අතරම තමන් අරමුණ කරා යන බව මෝඩ ජනයාට පෙන්වන්නට බොරු කාරයින් විසින් යොදා ගෙන ඇති ශක්තිමත් ආවරණයන් පමණක් බව ය.

වචනයෙන් අරමුණ වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වන එහෙත් ක්‍රියාවෙන් එයට මරු කැදවන මේ අරමුණ හා උපාය මාර්ග ඇති පරස්පරය අදුනා නොගත හොත් රටක් ලෙසත් ආයතනයක් ලෙසත් ඉදිරියට යාමට නම් නොහැකි වනු ඇත්තේ ය.

කළමනාකරුවන් තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට ගන්නා උපාය මාර්ගම එම අරමුණු පරාජය කිරීමට කටයුතු නොකරන බවට දැඩි වගකීමකින් යුතුව වග බලා ගත යුත්තේ ය.