බල්ලාගේ වැඩේ සහ බූරුවාගේ වැඩේ


බල්ලාගේ වැඩේ බූරුවා විසින් නොකළ යුතු ය. අපේ ජනවහරේ එන මේ උපදේශය වත්මන් ලෝකය තුළ විශේෂයෙන් කළමනාකරණය සම්බන්ධයෙන් කොතෙක් දුරට අදාළ වන්නේ දැයි අප විසින් විමසිය යුතුව තිබේ.

අපේ ආයතන තුළ වැඩ කරන බොහෝ අය මේ උපදේශය හිස් මුදුණින් පිළිගන්නා අය ය. ඒ නිසා ම තමන්ගේ රාජකාරි ලයිස්තුවේ නැතිනම් ඒ වැඩයට අත ගසන්නේ නැත. රෝගියාගේ ට්‍රොලිය තල්ලු කිරීමේ රාජකාරිය පැවරුණු සාත්තු සේවකයෙක් සිටින බැවින් හෙද නිලධාරියෙක් හෝ වෛද්‍ය නිලධාරියෙක් ඊට අත ගසන්නේ නැත. සාමාන්‍ය තත්වයක් යටතේ එය නිවැරදි ය.
එහෙත් ජිවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින රෝගියෙකු සිටින තැනක ද එවැන්නක් සිදු වන්නේ නම් තත්වය බරපතළ ය.

මුල් ඡයාරූපයේ දැක්වෙන්නේ තමන්ගේ රාජකාරියට අයිති වන්නේ පාරේ සුදු ඉර ඇඳීම පමණක් නිසා දර ඉත්ත ඉවත් කිරීම ප්‍රතික්ෂේප කළ පින්තාරුකරුවෙකුගේ කතාව ය. මේ ඡයාරූපය දැක හිනැහෙන අප මීට සමාන කටයුතු අපේ කාර්යාල වල වැඩ බිම් වල අප ම කරන බව අමතක කරමු.

වැඩ බෙදා ගැනීම ඵලදායකත්වය ඇති කිරීම සඳහා අවශ්‍ය ය. වෛද්‍යවරයෙකුගේ කාලය ට්‍රොලියක් තල්ලු කිරීම සඳහා යෙදවීමේ තේරුමක් නැත. එහෙත් එය අවශ්‍ය වන්නේ හදිසි ලෙඩෙකුගේ දිවි බේරා ගැනීමට නම් එවැනි තැනක ට්‍රොලියක් තල්ලු කිරීම ප්‍රතික්ෂේප කරන වෛද්‍යවරයෙකුගේ කාලය ද කිසි කමකට නැත.

බල්ලාගේ වැඩ බූරුවා කළ යුතු නැත. ඒ සාමාන්‍ය තත්වයන් යටතේ ය. එසේ නොමැති ව එය දේව නියමයක් සේ සළකා කටයුතු කරන්නට අපට අවසර නැත. රාජකාරි බෙදන ඉරි සැළකිය යුත්තේ මහාමාර්ගයක ඇති තනි ඉරි හැටියට නොවේ. කඩ ඉරි හැටියට ය. එසේ වුව ද මහාමාර්ගයේ තනි ඉර කිසි දු සැළකීමකින් තොරව කපන අපේ මිනිස්සු රාජකාරියේ කඩ ඉරි ද තනි ඉරි හැටියට සළකති. ඒ කබරගොයා ද තලගොයා වීමේ න්‍යාය අනුව ය.

දෙවැනි ඡයාරූපයෙන් දැක්වෙන්නේ තමන්ගේ වපසරියෙන් පිට පැන වැඩ කරන රථවාහන පොලීසියේ නිලධාරීන් පිරිසකි. ඔවුන් මේ යෙදී සිටින්නේ මහමග දෝරේ ගලමින් යන වැහි වතුර බැස නොයන්නේ ඇයි දැයි පිරික්සීමක ය. එය ඔවුන්ගේ රාජකාරිය නොවේ. එහෙත් ඒ ගැන නොසළකා රථවාහන හසුරුවන්නට බැරි ය. ඒ නිසා තම වැයික්කියෙන් පිට පැන වෙනත් රාජකාරියක යෙදීමට ඔවුනට සිදු ව තිබේ. ඔවුහු එය අනලස්ව සිදු කරමින් සිටිති.

ඒ එක් පැත්තකි. අනෙක් පැත්ත ඊටත් වඩා ප්‍රශ්න කාරී ය.

අවශ්‍ය තැන්වල දී නොකළ ද අනවශ්‍ය තැන්වලදී බල්ලාගේ වැඩ කරන්නට ඉදිරිපත් වන බූරුවන්ගෙන් ද අපේ ආයතන වලට අඩුවක් නැත.

පවරන ලද රාජකාරියක් කරන කෙනෙකුගේ වැඩ වලට අත පොවමින් ඔවුන්ට නිසි නිදහස නොදෙන සුපරීක්ෂකයන් කරන්නේ එවැනි වැඩකි. වැඩ අනුයුක්ත කිරීමේ නිසි කලාව ඔවුන් දන්නේ නැත. වැඩ අනුයුක්ත කිරීමේ දී අප කරන්නේ අපේක්ෂිත ඉලක්ක ලබා දීම ය. ඒ ඉලක්ක ලගා කර ගත් බව මණින නිර්ණායකයන් කවරේ දැයි කියා සිටීම ය. අවශ්‍ය සම්පත් ලබා දීම ය. අවශ්‍ය කුසලතා ලබා දීම ය. අවශ්‍ය දැනුම ලබා දීම ය. ඊට පසු අවශ්‍ය ම නම් ඒ සඳහා අනුගමනය කළ හැකි විකල්ප මාර්ග කීපයක් අනාවරණය කර දීම ය. ඊට පසු අවශ්‍ය නම් පසු විපරම් කරමින් ඉලක්ක කරා ළගා වේ දැයි අවධානයෙන් සිටීම ය. එතෙකුදු ඒ වැඩ කළ යුතු නිශ්චිත ආකාරයක් නිර්දේශ නොකිරීමට අප ප්‍රවේශම් විය යුතු ය. වැඩය බාර දුන් තැනැත්තාට එය කිරීමට අවශ්‍ය නිදහස අප ලබා දිය යුතු ය. ඔහුගේ හෝ ඇයගේ නිර්මාණශීලිත්වය පුබුදු කරන්නට තමන්ගේ ආරකට වැඩ කරන්නට ඉඩ හසර ලබා දිය යුතු ය. බොහෝ සුපරීක්ෂකයන්ට නොහැකි ඒක ය. වැඩ අනුයුක්ත කළ එකාට කීර්තිය ලැබෙන ඒ වැඩ පිළිවෙල වෙනුවට පස්සෙන් පන්නමින් තමන් සියල්ල කරන බව අගවන වැඩ ශෛලියක් ඔවුහු අනුගමනය කරති. බල්ලාට බාර දුන් වැඩේ බාර දුන් බූරුවාම විසින්ම කරන්නට හදන සෙයක් බලා සිටිනවුනට එවිට පෙනේ.

බොහෝ විට එයට හේතුව තමන් සුපරීක්ෂකයෙක් හැටියට උසස්වීමක් ලැබුවේ වුව ද සේවකයෙකුගේ මට්ටමෙන් මිදීමට ඔහුට නොහැකි ව තිබීම ය. ඒ සම්බන්ධයෙන් දොස් පැවරිය යුත්තේ එවැනි සුපරීක්ෂකයන්ට පමණක් නොවේ. එවැනි උසස්වීමක් ලබා දීමේ දී නව තනතුරට අවශ්‍ය දැක්ම ආකල්ප කුසලතා හා දැනුම ලබා දීමට අසමත් වන කළමනාකාරිත්වයට ය.

කොට්ඨාෂයක් බාර ව කටයුතු කළ ඉංජිනේරුවෙකු එම ආයතනයේම ප්‍රධානියා බවට පත් වුනු කල ද කරන්නේ කොට්ඨාෂ පාලනය නම් ආයතනයට දෙයියන්ගේ පිහිට ය. බොහෝ ආයතන වල අප දකින්නේ ම එවැනි නායකත්වයන් ය. තමන් දැරූ මුල් තනතුරෙන් එහාට පරිණත නොවූ මිනිසුන් නායකත්ව භූමිකා උසුලන ආයතනයන් ය.

රටක ජනාධීපති කෙනෙකු චිත්‍රපටි වාරණය කිරීමට යා යුතු නැත. ගමක් ගානේ ගොස් බෝක්කු හදන්නට නියෝග දිය යුතු නැත. අපරාධකරුවන් අල්ලන්නට පරීක්ෂණ කණ්ඩායම් අහවල් ගණනක් පත් කරන්න යැයි පොලීසියට උපදෙස් දෙන්නට යා යුතු නැත. ඔහු කළ යුත්තේ රටේ ඉදිරි ගමනට අවශ්‍ය මූලික වෙනස් කම් කවරේදැයි සොයා බැලීම ය. රටක් නිසි පරිදි ඉදිරියට යෑමට රටේ ප්‍රතිපත්ති කෙසේ සකස් විය යුතු දැයි සොයා බැලීම ය. ඒවා සඳහා නිසි යාන්ත්‍රණයන් සකස් කිරීම ය. එසේ සකස් කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික හා ආයතනික කටයුතු සකස් කිරීම ය. මුලම්‍ය ම ය පහසුකම් ලබා දීම ය. එදිනෙදා වැඩ වෙනුවට දිගුකාලීන ගමන් මග ගැන අවධානයෙන් සිටීම ය. හදිසි වැඩ පස්සේ දුවනු වෙනුවට වැදගත් වැඩ පිරික්සීම ය.

රටක් සම්බන්ධයෙන් පමණක් නොව ආයතනයක් සම්බන්ධයෙන් ද මේ තත්වය අදාළ ය. අවශ්‍ය වනුයේ පහළම සේවකයන් පස්සෙන් පන්නනු වෙනුවට ඉහළ කළමනාකාරිත්වය හරහා ආයතනයේ පද්ධති හා යාන්ත්‍රණ හරහා ඔවුන් පාලනය කරන්නට කල්පනා කරන නායකයින් ය.

ඒ වෙනුවට අප අත් දැක ඇත්තේම ක්ෂුද්‍ර කළමනාකරණයේ යෙදෙන කුඩා කරුණු සොයමින් ලතවෙන නායකයන් ය. බල්ලාගේ වැඩේ කරන්නට යන උදවිය ය.

එක් පැත්තකින් රාමුවකට සීමා වන්නේ නැති තරමට නම්‍යශීලිත්වයත් අනෙත් පැත්තෙන් තමන්ගේ වපසරිය ගැන අවබෝධයෙන් ඉන් පිටතට විසි වන්නේ නැති ද්‍රෘඪ භාවයත් අපට අවශ්‍ය ව තිබේ. බල්ලාගේ වැඩේ නොකරන්නේ නමුත් අවශ්‍ය තන්හි ඒ සඳහා වුව ද සූදානම් මිනිසුන් අපට අවශ්‍ය ව තිබේ. බූරුවන් සිටිය ද එවන් හිතන මතන මිනිසුන්ගේ හිගයක් අපට තිබේ. ඒ සමහර විට ජන කතාවේ පරිදි බූරුවා තේරුම් ගැනීමට නොහැකි ජනතාවක් ඉන්නා නිසා ද විය හැකි ය.

එහෙත් මේ තත්වය අවබෝධ වන්නේ නම් එයින් මිදීමට අපහසු නැත. නායකයින් සිටින්නේ ජනතාව අනුගමනය කරන්නට නොවේ. ඔවුන් වෙනස් කරන්නට ය.

නොරැකෙන රැකියා


4b40c430568452d1708fc71d8e89ed09

තමන්ගේ ප්‍රධානියා කවරෙක් ද යන්න මත අපේ රැකියාවේ සතුට සාර්ථකත්වය සහ අනාගතය තීරණය වන බව බොහෝ දෙනෙකුගේ අදහස ය. රැකියාවක් වෙනුවට ප්‍රධානියෙක් සොයන්න යන මේ නිවේදනයෙන් දැක්වෙන්නේ ද එයයි.

එහෙත් අපට හැක්කේ රැකියාවකට අයැදුම් කිරීමට මිස ප්‍රධානියෙකුට අයැදුම් කිරීම නොවේ. ඒ නිසා ම ලබන රැකියාවත් සමග ලැබෙන ප්‍රධානියා කවරෙක් ද යන්න අපේ තෝරාගැනීමක් නොවේ. නිසි ප්‍රධානිියෙක් නොලැබීම රැකියාව සම්බන්ධයෙන් විය හැකි එකම අභාග්‍ය නොවුනත් ප්‍රධානම අභාග්‍යය ලෙස අප මත කඩාපාත් වන්නේ ඒ අනුව ය.

ප්‍රධානියා හෝ ආයතනය ඔබට සාධාරණ නොවන්නේ නම් කළ හැක්කේ කුමක් ද? කළ යුත්තේ කුමක් ද? ඒ සඳහා විවිධ අය විවිධ ප්‍රතිචාර දක්වති. ඉන් එකක් වන්නේ උඩින් විරුද්ධ විය නොහැකි නිසා යටින් ඔහු පරාජය කිරීමට ය. ඔහුගේ වැඩ කඩාකප්පල් කිරීම ඔහුට විරුද්ධව පෙත්සම් ගැසීම ඔහුට නැති තැන අපහාස කිරීම යන විවිධ උපක්‍රම එහි දී අනුගමනය කෙරේ. වැඩ නොකර මග හැරීම වැනි අහිංසක විරෝධයන් ද ඒ අතර සළකා බැලේ.

මේ සියල්ලෙන් ඔහුට වඩා පරාජය ලබන්නේ අප ය.

වැඩ නොකර සිටීමෙන් අප අලස වේ. අපේ කුසලතා මොට්ට වේ.

වැඩ කඩා කප්පල් කිරීම අපහාස කිරීම කකුලෙන් ඇදීම යන සියල්ල අපේ ලේ කෝප කරවන අපව ලෙඩ කරවන ක්‍රියා ය.

එවැනි තත්වයක් පවත්වා ගනිමින් ආයතනයේ රැඳී සිටිමෙන් වඩාත් අර්බුදයට යන්නේ බොස් නොව ඔබ ය. මේ වැඩ නිරාවරණය වූ දවසක එලියට බහින්නට සිදු වන්නේ ද ඔබට ම ය.

ඒ වෙනුවට අපට කළ හැකි තවත් දෙයක් තිබේ. කපන්නට බැරි අත සිඹීම ය. ප්‍රධානියාට වඩාත් හොඳින් සැළකීම ය. ඔහුව ඇයව දිනා ගැනීමට තැත් කිරීම ය. ඔහු අසරණ වූ අවස්ථාවක පිහිටට ඉදිරිපත් වීම ය. ඔහුට ම ලජ්ජා හිතෙන තරමට හොඳ වීම ය.

කියන කොට ලස්සණ වුනාට එය කියන තරම් පහසු නැත. ඒ සඳහා ධෛර්යය තිබිය යුතු ය. දක්ෂතාවයක් තිබිය යුතු ය. අතිවිශාල ආත්ම දමනයක් තිබිය යුතු ය.

සමහර ප්‍රධානියෙක් ඔබේ ඒ අපූරු ප්‍රතිචාරයට සාධනීය ලෙස පිළිතුරු දෙන්නට පුළුවන. ඒත් වැඩි දෙනා එය තේරුම් ගැනීම ප්‍රතික්ෂේප කරනු ඇත. ඔබට හතුරුකම් කළේ ඔබට නරක කෙනෙකු ලෙස ලේබලයක් අලවා නම් ඒ ලේබලය ප්‍රධානියාට වෙන විදිහකට සිතන්නට ඉඩ දෙන එකක් නැත.

වඳින්න වඳින්න ගහන මිනිහාත් ගහන්න ගහන්න වඳින මිනිහාත් මෝඩයෙකි යන කියමනක් තිබේ. ඒ අනුව දිගෙන් දිගට කරගෙන යන එම ගනුදෙනුවෙන් සිදුවන්නේ ප්‍රධානියා සමග ඔබත් මෝඩයෙක් වීම ය.

කළ හැකි ඊළග දෙය නම් ප්‍රධානියා වෙනුවට ආයතනය ප්‍රධානියා තනතුරේ දමා වැඩ කිරීම ය. බ්‍රහ්ම දණ්ඩනයෙන් ප්‍රධානියා සමග ගනුදෙනු කරන ගමන් ආයතනය වෙනුවෙන් තමන්ගේ වගකීම දැරීම ය. දායකත්වය සැපයීම ය. ප්‍රධානියා ඉවත්ව යන තෙක් කල් ගැනීම ය. හාමුදුරුවන්ගේ අකටයුතුකම් හා අශ්ලීලත්වය නිසා පන්සල අත්නොහැර හාමුදුරුවන් අත් හැරීම ය.

සමහර ප්‍රධානීන් යටතේ ඒ ක්‍රියාමාර්ගයට පවා ඉඩක් නැත. පස්සෙන් පන්නමින් පහර දෙන්නේ නම් පන්සල තුළ රැඳිය නොහැකි ය. ආයතනය තුළ රැඳිය නොහැකි ය.

ඊළගට කළ හැක්කේ ප්‍රධානියාගේ ක්‍රියාකලාපය නුරුස්සන සෙසු මිනිසුන් සමග එක්ව සංවිධානය වී ප්‍රධානියා මෙල්ල කිරීම ය. ලාංකීය සමාජය අතිශය දුර්ලභ අවස්ථාවක දී මිස එවැනි කැරලි ඉවසන්නේ නැත. ඒ නිසා ම එය කළු ගලක ඔලුව ගසා ගැනීමක් විය හැකි ය. බලය ඇති ප්‍රධානියෙකු මෙන්ම ඒ බලය පිළිගත් සමාජයක් ද ඉදිරියේ ඔබ කෙතරම් ශක්තිමත් ද ඔබ හා සමග සම්බන්ධ වන බලවේග කෙතරම් ශක්තිමත් ද යන්න සොයා බැලිය යුතු ය. ඔවුන් ආයතනය තුළ සමාජය තුළ කොතරම් පිළිගත් කොටසක් ද කොතරම් පිළිකෙව් කරන කොටසක් ද යන්න ගැන ඔබ සංවේදී විය යුතු ය. ප්‍රධානියාට විරුද්ධ වීම සඳහා ප්‍රධානියාටත් වඩා පිළිකුල් කළ යුතු බලවේග සමග එක් වීමේ තේරුමක් නැත. බල්ලන් සමග ලැග්ගොත් ඔබට සිදුවන්නේ මැක්කන් සමග නැගිටීමට ය.

ඒ නිසාම ප්‍රධානියා නරක නම් කළ හැකි තවත් විකල්පයක් ද සොයා ගත යුතු ය. ඒ වෙනත් හොඳ ප්‍රධානියෙක් සොයාගැනීම ය. මාරුවක් ලබා ගැනීම ය. වෙනත් රැකියාවකට යෑම ය. රටින් ම බැහැර වීම ය.

කාලයක් තිස්සේ වැඩ කළ තමන් ආදරය කළ ආයතනයක් රටක් දමා යෑම අසීරු ය. විශේෂයෙන් එක් මුග්ධ පුද්ගලයෙකු සහ ඔහු හෝ ඇයව ආරක්ෂා කරන ඊට සමාන මෝඩ පුද්ගලයින් පිරිසක් වෙනුවෙන් ඒ අත්හැරීම තේරුමක් නැතැයි ඔබට සිතුනොත් එය පුදුමයට කාරණයක් නොවන්නේ ය.

දැන් ඇත්තේ අප මෙතෙක් අප කල්පනා කළ විකල්ප එකිනෙක සන්සන්දනය කර බැලීම ය. ඒවායින් දැනටම අත්හදා බලා කල් ඉකුත් වූ විකල්පයන් තිබේ නම් ඒවා බැහැර කර ඉතිරි ඒවා සන්සන්දනය කර බැලීම ය.

ඔබ සතු ශක්තීන් ඔබගේ දුර්වලතා ඔබට ඇති අවස්ථා හා ඔබට ඇති තර්ජන සළකා බලමින් තීරණයකට එළැඹීම ය. ඔබ පමණක් නොව ඔබට පක්ෂ වෙතැයි සැළකිය හැකි සෙසු බලවේග සම්බන්ධයෙන් ද මේ ශදුඅත (ශක්තීන් දුර්වලතා අවස්ථා හා තර්ජන) විමසුම කළ යුතු ය. ඔබට විරුද්ධ වෙතැයි සැළකිය හැකි බලවේග සම්බන්ධයෙන් ද ඒ විමසුම කළ යුතු ය. මිතුරු හා සතරු බලවේග ඔබ ගන්නා තීරණයට කෙසේ ප්‍රතිචාර දක්වනු ඇති දැයි ඒ අනුමාන කළ හැකි ය. අවසාන විශ්ලේෂණයේදී ඔබ විසින් ගනු ලබන ක්‍රියාමාර්ගය කෙසේ අවසන් වනු ඇති දැයි ඔබ දැකිය යුතු ය. එවැන්නක කෙටි විපාක පමණක් නොව දීර්ඝ කාලීන විපාක ද ඔබේ සැළකිල්ලට යොමු විය යුතු ය. ඔබ ගන්නා අවදානම හා එවැන්නක් සාර්ථක වීමට ඇති ඉඩකඩ ඒ මගින් පිරික්සිය හැකි ය. ඒ සියල්ල අවසානයේ ඔබ කළ යුතු දෙය සම්බන්ධයෙන් තීරණයකට පැමිණිය හැකි ය.

ඔබ කුමන පියවරක් ගත්ත ද නොකළ යුතු දේ ගණනාවක් තිබේ. ඉන් පළමුවැන්න ආයතනයට සතුරු වීම ය. මුහුණ සමග තරහ වී නහය කපා නොගැනීම ය. දෙවැන්න උකටලී වීම ය. කිසිවක් නොකොට නිකම් සිටීම ය. තුන්වැන්න කෝපයෙන් තරහෙන් ආවේගයෙන් ජීවත් වීම ය. දෙවැනි හා තුන්වෙනි පියවර දෙකින්ම ඔබ කරගන්නේ ඔබට නපුරකි. දෙවැන්නෙන් සිදු වන්නේ ඔබේ කුසලතා මොට්ට වී යෑම ය. ඔබේ ප්‍රතිරූපය කෙළෙසීම ය. ඔබේ අනාගතය අඳුරු වීම ය. තුන්වැන්නෙන් සිදු වන්නේ ඔබ රෝගී වීම ය. ඔබේ ආයුස කෙටි වීම ය. ඔබේ හැගීමි හා ආවේගයන් පිටාර ගොස් ඔබ ඇසුරු කරන මිනිසුන්ගේ ජීවිත ද අඳුරු වීම ය.

කළ හැකි දේ හා නොකළ යුතු දේ දන්නා ඔබට දැන් තීන්දුවක් ගත හැකි ය. ඒ ගන්නා තීරණය කුමක් වුව ද එය වැඩි දෙනෙකුට පමණක් නොව විශේෂයෙන් ඔබට යහපත් එකක් විය යුතු බව කෙටි කාලීනව පමණක් නොව දිගු කාලීන ව ද යහපත් දෙයක් විය යුතු බව එහි දී ඔබ නැවත නැවතත් සිහිපත් කළ යුතු ය.