දුක හා සතුට


මිනිසුන් දුකට අකමැති ය. සතුටට කැමති ය.

කළමනාකරුවන්ගේ යුතුකම වන්නේ තමන් යටතේ වැඩ කරන මිනිසුන්ගේ දුක නැති කිරීමත් සතුට ඇති කිරීමත් ය. සමහරු මේ දෙක පටලවා ගනිති. දුක නැති කළ විට සතුට ඉබේ ඇති වෙතැයි ඔවුහු කල්පනා කරති.

කළමනාකරුවන් ලෙස අප තේරුම් ගත යුතු කාරණයක් නම් දුක නැති කළ පමණින් සතුට ඇති නොවන බව ය.

දුක නැති කල මිනිසුන් ආයතනය දමා යන්නට ඉක්මන් නොවෙති. දුක ඇති නම් ඒ සදහා විශාල පෙළඹවීමක් ඇති විය හැකි ය.

එහෙත් දුකක් නැති නිසා එසේ ආයතන තුළ රැදෙන අය වැඩ කරතැයි අපේක්ෂා නොකළ යුතු ය. ඔවුන් වැඩ කරනු ඇත්තේ සතුට ඇති කරන වටපිටාවක දී ය. ඒ සදහා දුක නැති කිරීම ප්‍රමාණවත් නැත. සතුට ද ඇති කළ යුතු ය.

දුක ඇති වන්නේ ප්‍රමාණවත් වැටුපක් නොලැබුණු කල ය. රැකියාවේ සුරක්ෂිතතාවය ගැටළුවක් වූ කල ය. වැඩකරන වටපිටාවේ පහසුකම් අඩු වූ කල ය. නිසි ආලෝකය වාතාශ්‍රය නොලැබුනු කල ය. නිසි ආයුධ මෙවලම් නැති කල ය. වැඩ කිරීමට අවශ්‍ය සම්පත් නැති කල ය. නායකයා යකෙක් වූ කල ය.

සතුට ඇති වන්නේ ප්‍රමාණවත් අභියෝගයක් රැකියාවේ තිබුනොත් ය. අලුත් අත්හදාබැලීම් කිරීමේ ඉඩ තිබුනොත් ය. ඒ සදහා වැරදීම්වලට පවා අවකාශ තිබුනොත් ය. කරන වැඩ අගැයීමට ලක් කළොත් ය. වෘත්තීය දියුණුවට කුසලතා සංවර්ධනයට ඉඩක් තිබුනොත් ය. ස්වයං සාක්ෂාත් කරගැනීමට අවකාශ සැලසුනොත් ය. නිර්මාණාත්මක හැකියාවන්ට පුබුදුවන්නට ඉඩ හසර තිබුනොත් ය.

එවිට මිනිසුන් වැඩ කරනු ඇත්තේ ය. ක්‍රීඩාවක් කරන උදයෝගයෙන්ම වැඩ ද කරනු ඇත්තේ ය.

වැඩෙන් බාහිරව නොව වැඩ කිරීම තුළම සතුට සොයනු ඇත්තේ ය.

දුක නැති වී සතුට ඇතිවීම සමගම ආයතනයේ දියුණුව ද ඇතිවනු ඇත්තේ ය.

සුපිරි කණ්ඩායමක පසුබිම් කතාව


සමහර කණ්ඩායම්වල සාමාජිකයින්ගේ හැසිරීම අතිශයින් සාධනීය ය.

ඔවුහු එකිනෙකා අදුනති. එක් එක් අය සතු ශක්තීන් ද දුර්වලකම් ද ගැන ඔවුන් සංවේදී වෙති. ඒ ශක්තීන් කණ්ඩායමේ අභිවෘද්ධිය සදහා යොදවා ගන්නේ කෙසේ දැයි සෑම කෙනෙක්ගේම කල්පනාවට හසුවෙයි. එවැනි ශක්තියකින් ප්‍රයෝජන ගන්නට අවස්ථාවක් ලද විට ඒ සදහා අදාළ සමාජිකයාට ඉඩ සැලසීමට පමණක් නොව ඒ සදහා ඉදිරිපත් වීමට ඔහු/ඇය දිරි ගැන්වීමට ද ඔවුහු සූදානමෙන් සිටිති.

සෙසු අය එසේ දුර්වලකම් ඇති සමාජිකයන්ට දුර්වලකම් තුනී කර ගැනීමට උදව් වෙති.

දුර්වල කම් කණ්ඩායමේ දායකත්වයට ප්‍රශ්නයක් නොවන්නට ද ඔවුහු වග බලා ගනිති. උදාහරණයක් ලෙස කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරීමට අවශ්‍ය කුසලතා නැත්තේ වුව ද ඔහුගේ ඇයගේ අදහස හොද නම් එය වැඩි දියුණු කොට ඉදිරියට ගැනීමට එසේ පුලුවන් අය වග බලා ගනිති.

ඒ සියල්ල කරනුයේ කණ්ඩායමේ ජයග්‍රහණය තමන්ගේ ජයග්‍රහණය සමග බද්ධ වී ඇති බැවිනි.

ඒ නිසා කණ්ඩායමට අලාභයක් වෙන්නට ඉඩක් නැත. ලාභයක් වෙන්නට හැම විටම කටයුතු යෙදේ.

ඔවුන් එකිනෙකාට අවමන් කරන්නේ නැත. ඒ වෙනුවට හැම කෙනෙකුටම ගෞරවයක් කණ්ඩායමෙන් ලැබේ. විවේචනය වෙනුවට විචාරය ඔවුන්ගේ තෝරාගැනීම ය. ඒ තුළ හිත රිදීමකට ඉඩක් නැත. ඔවුන් හීනමානයෙන් නොපෙලෙන්නන් බැවිනි.

කැපී පෙනීමේ වුවමනාවක් කිසිවෙකුට නැත. හැම දෙනාම එක් හෝ තවත් ආකාරයක දක්ෂයන් බැවිනි. දිගු කලක් එකට වැඩ කර ඇති බැවිනි. තමන් ගැන දන්නා උදවියට නැවතත් තමන්ව අලෙවි කර ගැනීමට අවශ්‍ය නැති බැවිනි.

ආත්මාරක්ෂාව සදහා බොරු කීමේ වුවමනාවක් ද ඔවුන්ට නැත. වැරදීම්වලට ඉඩ හසර ඇති බැවිනි. වැරදුනේ වුව ද අත්හදා බැලීම් අගය කෙරෙන බැවිනි.

නායකයාගේ හෝ වැඩියෙන් කට හයිය කෙනාගේ පැත්ත ගැනීමට ද ඔවුන්ට අවශ්‍ය නැත. විරුද්ධවීමට වෙනස් මත දැරීමට ඉඩ තිබෙනවා පමණක් නොව එවැනි මත වලට විශේෂ සැළකිල්ලක් ද අගැයීමක් ද ඇති බැවිනි.

විහිළුවලට ඉඩ ඇතත් වැඩ විහිළුවක් කර ගැනීමට කාගේවත් කැමැත්තක් නැත. ඒ වැඩ තුළ ඔවුන්ට සතුටක් තෘප්තියක් ලැබෙන බැවිනි. වැඩම විනෝදයක් වන බැවිනි.

කණ්ඩායම තුළ කල්ලි වලට ඉඩක් නැත. කුමන ගගකින් ආවත් සාගරයට ආපසු එකම ජලය බවට පත්වනවාක් මෙන් කණ්ඩායම තුළ හැම කෙනෙකුටම තමන් පැමිණියේ කුමන පසුබිමකින් ද යන්න නොසළකා එකම ගෞරවය ලැබෙන බැවිනි. ඒ නිසාම යෝජනා ඉදිරිපත් කරන්නේ කවුද යන්න අදාළ නොවේ. අදාළවන්නේ යෝජනාවේ නිවැරදි භාවය ය. ප්‍රයෝජනවත් භාවය ය.

කණ්ඩායම තුල ජේෂ්ඨත්වයට නිශේධනීය බලයක් නැත. පසුබිම පමණක් නොව සාමාජිකයෙකුගේ තාරාතිරම වයස පලපුරුද්ද යන්න ද අදහසක් අගැයීමේ දී වැදගත් සාධකයක් නොවේ. වඩාත්ම හොදම අදහස තෝරාගැනීමට ඒ බෙදීම් බාධාවන බව සාමාජිකයින් දන්නා නිසා ය. වඩාත් වැදගත් වන්නේ තම තමන්ගේ පෞද්ගලික ස්ථානයන් රැක ගැනීම නොව කණ්ඩායමේ ජයග්‍රහණය බව ඔවුන් අවබෝධ කරගෙන ඇති නිසා ය. කණ්ඩායම ජය ලැබුවොත් තමන්ට ද එහි උරුමය හිමිවන බව එහි ප්‍රතිලාභ ලැබෙන බව ඔවුන් දන්නා නිසා ය.

මේ නිසාම කණ්ඩායම් වැඩ පමණක් නොව සාකච්ඡා ද අතිශයින් ඵලදායී ය.

කණ්ඩායම වෙනුවෙන් තම දායකත්වය උපරිමව ලබා දීමට කිසිවෙක් මැලි නොවෙයි. ඒ තුළ නිශ්ශබ්දව සිටින්නන් නැත. මගහැර යන්නන් නැත. ඒ දායකත්වයට අනුව කණ්ඩායම තුළ අගැයීමක් හැම කෙනෙකුගෙන්ම ලැබෙන නිසා ය. කණ්ඩායම වෙනුවෙන් දායකත්වයක් ලබා නොදෙන අයට කණ්ඩායම තුළ දිගින් දිගට රැදීම අපොහොසත් වන නිසා ය. කණ්ඩායම තුළ ඉදිරියට යාමට ඉඩකඩ ඇති නිසා ය.

මේ නිසා ම කණ්ඩායම අතිශය උසස් ප්‍රතිඵල ලගා කර ගැනීමේ සමත් ය.

මෙවැනි කණ්ඩායම්වල ද ඉන්නේ මිනිසුන් ය. වෙනත් කණ්ඩායම්වල නැති හැසිරීමක් මේ මිනිසුන් ප්‍රදර්ශනය කරන්නේ කෙසේ ද? ඒ ලැබෙන නායකත්වය හා මග පෙන්වීම නිසා ය. ආයතනයේ කාලයක් තිස්සේ ගොඩ නගාගෙන ඇති නායකයා විසින් අතිශය වුවමනාවෙන් රකින සෙසු අය විසින් ගරුත්වයෙන් සළකන ආයතනික සංස්කෘතිය නිසා ය. ආයතනයේ ක්‍රමවේද හා ප්‍රතිපත්ති නිසා ය. යාන්ත්‍රණ නිසා ය. ඒවා නැතිව ගිය දාට මේ සාමාජිකයන් ද වෙනත් නිශේධනීය කණ්ඩායම්වල පෙන්වන ලක්ෂණ පෙන්නුම් නොකරනු ඇතැයි සිතීම උගහට ය.

නායකත්වය තීරණාත්මක වන්නේ මේ පසු බිම නිර්මාණය කිරීමේ හා පවත්වා ගැනීමේ හැකියාව ඇත්තේ ඊට බැවිනි.

කල්ලි කිහිපයක් තව කල්ලියකට එරෙහිව කල්ලි ගැසෙන කල්ලි වලින් පිරුණු ආයතන


බොහෝ ආයතනවල කල්ලි වැහි වැහැලා ය. පළාත් අනුව බිහි වූ කල්ලි ය. තමන් උගත් පාසල හෝ සරසවිය අනුව බිහි වූ කල්ලි ය. දේශපාලන මතවාද පදනම් වූ කල්ලි ය. ආගම් මත පදනම් වූ කල්ලි ය. ජාතිය මත පදනම් වූ කල්ලි ය.

සමහර කල්ලිවල පදනම ඉතාම ලිහිල් ය. එවැනි කල්ලි ගොඩ නැගෙන්නේ කෙසේ ද යන්න පවා අදහා ගන්නට බැරි ය. කල්ලි ගැසීමේ අර්ථය තනිව කර ගත නොහැකි බොහෝ දේ කරගැනීමට බලය පාවිච්චි කිරීමට අවශ්‍ය ශක්තිය ගොනු කර ගැනීම ය.

මේවා විධිමත් ආයතනය බෙදා දමයි. එක කල්ලියක සමාජිකයෙක් ඉදිරිපත් කළ අදහසක් එය කොතරම් නිවැරදි වුව ද අනෙක් කල්ලිවලට අරහං වෙයි.

කාර්ය සාධනය මැනෙන්නේ කරන වැඩ අනුව නොව තමන් අයිති කල්ලිය අනුව ය.

මාරු කිරීම්වලදි ද උසස්වීම් වලදී ද ශිෂ්‍යත්වයක් ප්‍රදානයෙදී ද පුහුණුවකට නම් කිරීමේ දී ද නිවැරදි කල්ලියක සිටීම වැදගත් අනුග්‍රහයක් වෙයි. ගොඩ දා ගන්නේ අපේ මිනිහා ය.

විනය  සම්බන්ධයෙන් කටයුතු වලදී ද අපේ මිනිහෙක් නම් (අපේ කල්ලියේ මිනිහෙක් නම්) ඔහුට බුරුලක් ලිහිලක් ලැබේ.

ගැටුමකදී ගන්නේ නිවැරදි පැත්ත නොවේ. අපේ කල්ලියේ පැත්ත ය.

“වැරදි“ කල්ලිවල සමාජිකයන් තමන්ට කරන අකටයුත්ත ඉවසා ගන්නට නොහැකි වූ තැන කැරලි ගසයි. තනිව ගසන කැරැල්ලකට වඩා ශක්තියක් එය ඇති නිසා ම එය ආයතනයට නව ගැටළු මතු කරයි.

කැරලි ගහන්නට වූ විට ඔවුන් මට්ටු කරන්නට ද වෙනත් කල්ලි ඉදිරිපත් වේ. කැරැල්ල යුද්ධයක් බවට පත්වෙයි.

බලය පදනම් කර ගත් කේවල් කිරීම තර්කය පදනම් කරගත් සත්‍යය වෙනුවට ආයතනය තුළ සන්නිවේදන ක්‍රමවේදය බවට පත්වෙයි.

විධිමත් සංවිධානයක පදනම මත කණ්ඩායමක් ගොඩ නැගීම සිහිනයක් වෙයි. කල්ලි අතර බෙදීම් මෙන්ම සහයෝගය ද ඇති වෙයි. කල්ලි කීපයක් තව කල්ලියකට එරෙහිව කල්ලි ගැසීම සාමාන්‍ය දෙයක් වෙයි.

මේ බිහිව ඇත්තේ ආයතනික දේශපාලනයට අපූරු තෝතැන්නකි. කල්ලි අතර බලය සදහා කරන අරගලය ආයතනය තුළ අනෙත් සියලු කාරණා මැඩ ඉදිරියට පැමිණෙයි.

විධිමත් ආයතනය අවුරුවමින් මේ කල්ලි වැඩෙයි. පිළිලයක් මෙන් වැඩෙයි. ආයතනයට ඉදිරියට යන්නට නොහැකි වෙන අතර එහි පැවැත්ම පවා අනතුරේ වැටේ.

නායකයාට කල්ලියකට අයත් නැත්නම් ඔහුට ඇති ප්‍රධානම අභියෝගය වනුයේ කල්ලි අතර සාම්‍යය ඇති කිරීමට ය. ඔහුගේ කාලයෙන් ශ්‍රමයෙන් වැඩි හරිය ගෙවෙන්නේ මේ ගැටුම් සමතයකට පත් කරනු පිණිස ය.

ඔහු කල්ලියක සමාජිකයෙක් නම් ඔහුට තම කල්ලිය වෙනුවෙන් කැප වීමට සිදුවේ. ඒ ආයතනය පවා පරදුවට තබමිනි.

නායකයෙකුගේ අභියෝගය වන්නේ කිසිම කල්ලියකට යටත් නොවී සිටීමට හැකිවීම තුළ ය. කල්ලි විසිරවීමට හැකි වීම තුළ ය. ආයතනය මත පදනම්ව කණ්ඩායම ගොඩ නැගීමට හැකි වීම තුළ ය.

එය පහසු කටයුත්තක් නම් නොවේ. නායකයන් අවශ්‍ය වනුයේ ද එවැනි අපහසු කටයුතු කිරීමට ය.

ආයතනයකට පමණක් නොව රටට ද මේ කාරණය අදාළ ය.

පලා යාම නිවට කමකි. එතකොට කලු ගලක ඔලුව හප්පා ගැනීම?


නායකයෙකුට තම වෘත්තීය ජීවිතයේ මුහුණ දිය යුතු එක් දුෂ්කරතාවයක් වන්නේ පහසුවෙන් ජය ගත නොහැකි අභියෝග හමුවේ කළ යුත්තේ කුමක් ද යන ප්‍රශ්නයට උත්තර සෙවීම ය.

ජය ගත නොහැකි අභියෝගයක් නැතැයි කීව ද සමහර අභියෝග ජය ගැනීමට දරණ පරිශ්‍රමය එයින් ලබන ප්‍රතිඵලය දෙස බලන විට තේරුමක් නැතැයි හැගේ. කන්දක් විලිලා කෙන්දක් වැදීමේ තේරුමක් නැත.

ඒ නිසා පහසුවෙන් ජය ගත නොහැකි අභියෝගයක් යන්නෙන් අදහස් කළේ ප්‍රතිඵලවලට වඩා ලොකු පරිශ්‍රමයක් අවශ්‍ය අභියෝගයන් ගැන ය.

එවැනි අභියෝගයන් හමුවේ ඒවා මග හැර යෑමට නායකයෙකුට අයිතියක් නැත් ද?

ඔහුට ඇති විකල්පය කලුගලක ඔලුව ගසා ගැනීම නම් මග හැර යෑම හෝ සමහර විට පලා යාම ඊට වඩා උචිත ය. තවත් දිනක සටන් කිරීමට ඔහු ජීවිතය ඉතිරි කර ගත යුතු බැවිනි.

නායකයෙකු යනු අභියෝග ඉදිරියේ නොසෙල්වෙන කෙනෙකු යැයි යන සම්ප්‍රදායික මතය නිකම් පුරාජේරු කීමට හොද ය. එහෙත් නායකයෙකුගේ සැබෑ වත එයින් හෙලි නොවේ.

සටන් කිරීම තරමට පසුබැසීමට ද නායකයෙකු උගත යුත්තේ ය.

එක සටන් බිමක සටන දුෂ්කර වූ කල සටන් බිම මාරු කිරීමට ඔහු උපාය ශීලි විය යුතු ය.

එක් ආයතනයක තවදුරටත් ඉදිරියට යා නොහැකි යයි හැගේ නම් ඒ මත්තේ නැහීමේ තේරුමක් නැත. ඔහුට ඉන් ඉවත්වන්නට ධෛර්යය තිබිය යුතු ය. එහෙත් එසේ කළ යුතු වන්නේ ඒ සදහා ඇති සියලු ප්‍රවේශ මාර්ග පරීක්ෂා කිරීමෙන් පසු පමණකි.

නව ස්ථානය කලින් ස්ථානයට වඩා විවෘත ඉඩ හසර ඇති එකක් විය යුතු ය. එවැනි එකක් තිබියදී පැරණි තැන එක තැන කරකැවීම තේරුමක් නැති වැඩකි.

ස්ථාන මාරුව අමාරු එකකි. නායකයෙකු තමන් නායකත්වය දුන් තැනකට ඇති ඇලීම එසේ මාරුව අමාරු වීමට එක් හේතුවකි. නව ස්ථානය පිළිබද ඇති අවිනිෂ්චිතතාවය දෙවැනි හේතුව ය. තම සගයින් අනුගාමිකයින් අතරමං කළේය යන පසුතැවිල්ල අනික ය. අභියෝග හමුවේ පරාජයට පත් වූවා ය යන්න ද මනසට ඇති කරන ධනාත්මක ඉතිරියක් නොවීම ඉතිරි හේතුව ය.

එසේ බැලූ විට මාරුවද අභියෝගයකි. එක් අභියෝගයක් වෙනුවට අනිත් අභියෝගය තෝරාගැනීම කි. එය අභියෝග හමුවේ පලා යෑමක් නොවන්නේ ඒ නිසා ය. ඔලුව ගලේ හප්පා ගැනීම වෙනුවට වෙනත් වඩා ඵලදායී අභියෝගයක් තෝරා ගැනීම ගැන නායකයෙකුට දොස් කිව නොහැකි ය.