ගොඩනැගිල්ලක් හැදීම හා ආයතනයක් හැදීම


45263building

යමක් භෞතිකව නිර්මාණය කිරීම පහසු ය. අවශ්‍ය වන්නේ ඒ සඳහා සම්පත් සොයා ගැනීම ය. එහෙත් අපට අවශ්‍ය ලෙස මිනිසෙකු නිර්මාණය කර ගැනීම අමාරු ය. ගොඩනැගිල්ලක් නිර්මාණය කර එය ඉදිකිරීම පහසු ය. එහෙත් එය ආයතනයක් බවට ඵලදායී ආයතනයක් බවට පත් කර ගැනීම අමාරු ය. ගෙයක් ඉදිකිරීම පහසු ය. අමාරු එය ගෙදරක් කර ගැනීම ය.

භෞතිකව යමක් නිර්මාණය කිරීමේ දී අපට අවශ්‍ය න්‍යායික දැනුම ය. භෞතික දේ කෙසේ හැසිරෙන්නේ ද යන්න පිළිබඳ න්‍යායික දැනුම ය. යම් භෞතික දෙයක් කෙසේ හැසිරෙන්නේ ද යන්න පිළිබඳ තොරතුරු භෞතික විද්‍යාව විසින් ද ඉංජිනේරු ශිල්පය විසින් ද සොයා ගෙන තිබේ. ඒ දැනුම භාවිතා කරමින් භෞතික යමක් නිර්මාණය කර ගැනීම ඒ නිසා පහසු ය. දී ඇති තත්වයක යම් භෞතික දෙයක හැසිරීම පහසුවෙන් පුරෝකථනය කළ හැකි වීම එසේ පහසු වීමට හේතුව ය. යම් නිෂ්චිත ගණකමක් ඇති යකඩ තහඩුවක් නිශ්චිත බලයක් යෙදූ විට මෙසේ හැසිරෙන්නේ යන්න මේ න්‍යායන් ඇසුරෙන් කිව හැකි ය. එය බොහෝ දුරට නියතයකි. නිශ්චයකි.

එහෙත් මිනිසුන් ඊට වඩා වෙනස් ය. යම් නිශ්චිත අවස්ථාවක එක මිනිසෙකු හැසිරෙන විදිහට වඩා එහෙම පිටින් ම වෙනස් විදිහකට එවන් අවස්ථාවක තව මිනිසෙකු හැසිරෙන්නට පුළුවන. එකම මිනිසෙකු වුව ද ජීවිතයේ කාල වකවානු දෙකක එකම අවස්ථාවක වෙනස් විදිහට හැසිරෙන්නට පුළුවන. මිනිසෙකු තව මිනිසෙකුගෙන් වෙනස් වන තරමට එකම මිනිසා ද කාලානුරූපව වෙනස් විය හැකි නිසා ය. වෙනස් වන නිසා ය.

ගොඩනැගිල්ලක් හදනවාට වඩා ආයතනයක් හදන්නට අමාරු ඒ නිසා ය. ගෙයක් ඉදිකිරිම පහසු වුව ද ගෙදරක් හදා ගැනීම අමාරු ඒ නිසා ය.

යකඩ තහඩු වල ද විවිධ වෙනස් කම් තිබිය හැකි බව සැබෑ ය. එහෙත් යම් සම්මතයකට නිපදවූ විට ඒ වෙනස් කම් මග හැරේ. අවම වේ. අප භෞතික දේ නිම වීම සඳහා භාවිතා කරන්නේ එවැනි සම්මතයකට අනුව නිපදවූ ද්‍රව්‍ය නම් අපට වෙනස් ප්‍රතිඵල වලට මුහුණ දීමට සිදු නොවේ.

මිනිසුන් ද එසේ නිපදවා ගැනීමට සමාජය විසින් උත්සහ ගන්නා බව ඇත්ත ය. උදාහරණයක් ලෙස ඉංජිනේරුවකු නිපදවීමේ දි යම් සම්මතයන්ට අදාළව නිශ්පාදනය කිරිමට විශ්වවිද්‍යාල උත්සහ කරන බව ඇත්ත ය. එහෙත් යකඩ තහඩුවක මෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන නිශ්චය ලෙස සහතිකයක් දීමට නොහැකි ය.

ඉංජිනේරු ශිල්පය සම්බන්ධයෙන් ඉංජිනේරුවෙකු දෙන තීන්දුවක් නිශ්චිත විය හැකි නමුත් වෙතත් සෙසු දේ සම්බන්ධයෙන් ඔහුගේ ක්‍රියාකාරිත්වය කෙසේ වත් තවත් ඉංජිනේරුවෙකුගේ ක්‍රියාකාරිත්වයට සමාන නොවිමට ඇති ඉඩ විශාල ය. සම්මත ඉංජිනේරුවන් මිසක සම්මත මිනිසුන් හදන සරසවියක් තවම බිහි ව නැති නිසා ය.

යම් ආයතනයක ඉන්නා ඉංජිනේරුවරයෙකුගේ හැසිරීම ඉංජිනේරු ශිල්පීය ක්ෂේත්‍රයට කොටු කර තැබිය නොහැකි ය. ඔහු ආයතනයේ සමාජිකයෙකු ලෙස කෙසේ හැසිරෙන්නේ ද යන්න ඒ නිසා ම නිශ්චය ලෙස කිව නොහැකි ය. සාමාන්‍යයෙන් සිදු වන්නේ ආයතනය තුළ පවතින ආචාර ධර්ම පද්ධතියකට හා වත් පිළිවෙත් සමූහයකට යටත් කොට මේ හැසිරීම වඩාත් නිශ්චය ලෙස සකස් කිරීමට උත්සහ දැරීම ය. එහි දී ආයතනයේ නායකත්වය කොතරම් ශක්තිමත් ද යන්න පැහැදිලිව ම බලපාන්නේ ය.

ඇතැම් ආයතනයක නායකයා ද ආයතනයේ පවතින ආචාර ධර්මයන්ගේ හා වත් පිළිවෙත් වල හිරකාරයෙකු වෙන්නට පුළුවන. බොහෝ විට කාලයක් පැවතුණු ආයතන, බාහිරින් පැමිණෙන නායකයෙකුට වෙනස් කළ නොහැක්කේ ද අසාර්ථක උත්සහයන් ගණනාවකින් පසු අවසානයේ ඇය ද එහි ම හිරකාරයෙක් වන්නේ ද මේ හේතුව නිසා ය. වෙනස අමාරු වන්නේ මේ නිසා ය. ගොඩනැගිල්ලක් අලුතින් හැදිය හැකි මුත් ආයතනයක් පහසුවෙන් අලුතින් හැදිය නොහැක්කේ මේ නිසා ය.

භෞතික දේ මෙන් පහසුවෙන් හැසිරීම පුරෝකථනය කළ නොහැකි නිසා මිනිසුන් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් න්‍යායික දැනුමෙන් ලද හැකි ඵල ප්‍රයෝජන සීමිත ය. ඔවුන් හා ගනුදෙනු කිරීම විද්‍යාවක් නොව කලාවක් වන්නේ ඒ නිසා ය. එය වැරදි කරමින් උගත යුතු දෙයක්ව ඇත්තේ ද ඒ නිසා ය. එක මිනිසෙකුට හරි ගිය උපායක් තව මිනිසෙකු ඉදිරියේ ව්‍යර්ථ වන කල උකටලී නොවීමට නම් අප මේ කරුණ මැනවින් තේරුම් ගත යුතු ය. එක දිනක වැඩ කළ උපාය එකම මිනිසා සම්බන්ධයෙන් ඊළඟ දිනයේ වැඩ නොකරන්නට හැකි බව තේරුම් ගත යුතු ය. එසේ උකටලී නොවී අලුත් උපාය මාර්ගයකට මාරු වීමට අපට හැකි වෙතොත් ඊට අවශ්‍ය සංයමය අපට ඇතොත් අපට ආයතනයක් ගොඩ නැගීමේ, ගෙදරක් ඇති කර ගැනීමේ, අභියෝගය ජය ගත හැකි ය.

අප අසාර්ථක විය හැකි බව දැන ඒ සඳහා සූදානමින් පසු වීම ඊට අවශ්‍ය වන එක් පූර්ව කොන්දේසියකි. එක් මාවතක් ඇහුරුණු කල එයින් සාර්ථකත්වයක් නොලැබෙන කල තව මාවතක් සොයා ගැනීමට උත්සුක වීම ද අමතර කොන්දේසියකි.

ඉහත කී හේතු නිසා ම ආයතනයක් හැදිම ගොඩනැගිල්ලක් හැදීමට වඩා අමාරු ය. එසේ වුව ද එය බැරි නැත. එය අභියෝගාත්මක බව ඇත්ත ය. එහෙත් එය සැබැවින් ම ආශ්වාදජනක ය. වැරදීම් පසුබැසීම් මැද්දේ එය ඉදිවන විට එයින් ලැබෙන තෘප්තිය ද මහත් ය. වැරදීම් පසුබැසීම්වල දී සිදු වන පසුතැවීම් සියල්ල අමතක කර දැමීමට තරම් ප්‍රමාණවත් ය.

මේ පරිවර්තනය කිරීම සඳහා දැනුම අවශ්‍ය ය. කළමනාකරණය පිළිබඳ දැනුම, විශේෂයෙන් මනෝ විද්‍යාව හා සමාජ විද්‍යාව පිළිබඳ දැනුම, අවශ්‍ය ය. මිනිසුන්ගේ සිත් වැඩ කරන හැටි ද ඔවුන් වෙනස් වීමට ප්‍රතිචාර දක්වන හැටි ද වැනි නොයෙක් දේ පිළිබඳ දැනුම අවශ්‍ය ය.

එහෙත් ඔය කියන දැනුමට ද වඩා අවශ්‍ය වන්නේ සහකම්පනය යි. ඒ හරහා මිනිසුන් තේරුම් ගැනීමට ඇති හැකියාව යි. වැරදිවල වගකීම තමන් දරණ අතරේ ජයග්‍රහණයේ භුක්තිය කණ්ඩායමේ  සෙසු අයට පිරිනැමීමට සමත්වන නිහතමානිත්වය යි. එය බිහිවන තුරු අපේක්ෂා රඳවා ගෙන බලා සිටිය හැකි සංයමය යි. වැරදි පිළිගැනීමටත් ඒවා තුළින් ඉගෙන ගැනීමටත් ඇති සූදානමයි. භාවමය බුද්ධිය යයි කළමනාකරණ සාහිත්‍ය තුළ හඳුන්වන්නේ මේ හැකියාවට ය.

ශුභවාදී, අශුභවාදී සහ යථාර්ථවාදී


201208-omag-quiz-half-empty-glass-600x411

හැම විටම ශුභවාදී වෙන්න. වීදුරුවක ජලය බාගයට ඇති විට එහි භාගයක් අඩුවෙන් ඇතැයි සිතනවා වෙනුවට එය භාගයක් පිරී ඇතැයි සිතන්න. ඕනෑම දෙයක් කළ හැකි යයි සිතන්න. ඕනෑම අරමුණක් ජයගත හැකි යයි සිතන්න. අශුභවාදී වන්න නම් එපා. එය ඔබව අකර්ණම්‍ය කරනු ඇත. ඔබට කළ නොහැකි දෙයක් නැතැයි සිතන්න.

ධනාත්මක චින්තන ගුරුවරුන් විසින් නිතර වහරනු ලබන මේ උපදෙස් දෙස ඔබ විමසිල්ලෙන් බලා තිබේ ද? ඒවා ඇත්ත ද? ඒවා ඒ හැටියෙන් ම ගත හැකි ද? මේ ලිපියේ අරමුණ ඒ පිළිබඳව විමසීම ය. ශුභවාදීත්වය, අශුභවාදීත්වය පමණක් නොව යථාර්ථවාදීත්වය ද ගැන කරන විමසුමකින් අපට ඒ සඳහා ප්‍රවේශ විය හැකි ය.

සියල්ල යහපත් අතට හැරෙනු ඇතැයි ශුභවාදියා සිතයි. ඒ පිළිබඳව විශ්වාසයෙන් යුතු ව ඔහු ජීවිතය දෙස බලයි. ඒ නිසා ම වැඩි ආතතියකින් තොරව හේ ජීවත් වෙයි. සියල්ල සිදුවන්නේ හොඳට යැයි ද ඔහු සිතයි. ඉතාමත් අයහපත් දෙයක් දෙස බලා වෙන මොකක්වත් නැතත් අඩුවශයෙන් ඉන් ඉගෙනීමට යම් දෙයක් ඇතැයි ඔහු සිතයි. ඒ නිසා කුමක් සිදු වුව ද එයින් නොසැලී සිටින්නට ඔහුට පුළුවන. ඔහුට තිබෙන වඩාත් ම වැදගත් වාසිය නම් කිසිම කෙනෙකුට හෝ කිසිම අභියෝගයකට ඔහුව නැවැත්වීමට පුළුවන් නොවීම ය.

ඔහුට තිබෙන ගැටළුව නම් සූදානම් නැති කම ය. අවදානම් පිළිබඳ තැකීමක් නැති කම නිසා අවදානමට මුළුමණින් නිරාවරණය වී එහි ප්‍රතිවිපාක විඳින්නට සිදු වීම ය.

අශුභවාදියා එහි දී දිනුම් ය. ඔහු අවදානම් ගැන අපමණ සංවේදිත්වයකින් පසුවන නිසා ම ඒ සඳහා සූදානම් විමට ඔහුට හැකි නිසා ය.

අශුභවාදියා හැම විටම සිතන්නේ කුමක් හෝ මතුව අවුත් තමන්ගේ පැතුම ඉටු නොවෙනු ඇතැයි කියා ය. ඔහුට පෙනෙන්නේ ම එසේ මතු විය හැකි බාධා ය. අශුභවාදිත්වය වැඩි වන තරමට පෙනෙන බාධා ප්‍රමාණයෙන් (ගණනින්) ද විශාලත්වයෙන් ද වැඩි ය. එය පමණ ඉක්මවා ගිය විට සිදු වන්නේ ඔහුට මුකුත් නොකොට පසු බෑමට ය. එහෙත් එක්තරා ප්‍රමාණයකට තිබීමෙන් සිදු වන්නේ ඒ අවදානම් පිළිබඳ තක්සේරුවක් කිරීමටත් ඒවාට සූදානම් වීමට වැඩ පිළිවෙලක් සකස් කිරීමටත් ඔහු උනන්දු වීම ය.

එසේ බැලූ විට පෙනෙනුයේ ශුභවාදියාත් අශුභවාදියාත් සතුව සාධනීය මෙන්ම නිශේධනීය ලක්ෂණ ද ඇති බව ය. ඒ අන්ත දෙකම මුළුමණින් ම කළු හෝ සුදු නොවන බව ය.

යථාර්ථවාදියා ශුභවාදීත් නැත. අශුභවාදීත් නැත. ඒ නිසා එ දෙදෙනාම සතු යහපත් ලක්ෂණ ද අයහපත් ලක්ෂණ ද දෙකම ඔහු උරුම කර නොගනී.

මිනිසුන් දෙදෙනකු එකතුව පැයත් ඇතුළත කළ හැකි වැඩ ප්‍රමාණය කොතෙක් දැයි මේ තුන් දෙනාගෙන් ඇසුවොත් ශුභාවාදියා කියනු ඇත්තේ එක් කෙනෙකු පැයකින් කරණ ප්‍රමාණය මෙන් දෙගුණයක් ඉක්මවන වැඩ ප්‍රමාණයක් ඔවුන් කරනු ඇති බව ය. දෙවැන්නා, එනම් අශුභවාදියා, කියනු ඇත්තේ තනි මිනිහෙකු පැයකින් කරණ ප්‍රමාණය මෙන් දෙගුණයක් නම් කිසිසේත් නොඉක්මවන බව ය. යථාර්ථවාදියා කියනු ඇත්තේ එය දෙගුණයකට ආසන්න වශයෙන් සම විය හැකි බව ය.

ශුභවාදියා වැඩි අගයක් ඇතැයි සිතන්නේ දෙදෙනෙකු වැඩ කරන විට එම වැඩය සංවිධානය කිරීමට විවිධ ක්‍රමවේදයන් භාවිතා කළ හැකි ය යන අස්ථානයේ පිහිටා ය. දෙදෙනෙකු වැඩ කරන විට ඔවුන් අතර ඇති වන මත භේද, ඒ කාර්යයට අහිතකර ලෙස බලපානු ඇතැයි යන්න ඔහුගේ මනසට නොනැගේ. එය නැගෙන්නේ අශුභවාදියාගේ මනසට ය.

ශුභවාදියා වැඩ නව ආරකින් සංවිධානය කිරීම ගැන බර තබා වැඩ කරන අතරතුර අශුභවාදියා ඇති විය හැකි මත භේද ගැන සිතා ඒවාට පිළියම් යෙදීමට මුළු බර යොදන්නේ නව ආරකින් වැඩ කළ හැකි ය යන කාරණය අමතක කර දමන්නේ ය.

යථාර්ථවාදියා මේ දෙක ම දකින නිසා ඔහුගේ අවධානය දෙකටම බෙදී යන්නේ ය.

දැන් මේ තුන්දෙනා ගැන ම වෙන වෙනම දන්නා අපගේ තෝරාගැනීම කුමක් විය යුතු ද? විශේෂයෙන් කළමනාකරුවෙකු හැටියට අප මේ අස්ථාන තුනෙන් කවරක් ගත යුතු ද?

උත්තරය සරල ය. ඔහු මේ අස්ථාන තුනටම පිවිසිය යුතු ය. ඒ තුනෙන් ම උපරිමය ගත යුතු ය.

ශුභවාදී විමෙන් ආත්ම විශ්වාසය ද අශුභවාදි වීමෙන් සූදානම ද ලබා ගත යුතු ය. යථාර්ථවාදි වීමෙන් අන්ත දෙකෙන් ම අගතියට නොයෑ සිටීමේ ශක්තිය ලබා ගත යුතු ය. සමබරව සිටීමේ හැකියාව ලබා ගත යුතු ය.

කළමනාකරුවෙකුගේ සාර්ථකත්වය ඇත්තේ මේ අරුම පුදුම එකිනෙකට වෙනස් බලවේග තුන ම බැඳ වැඩ ගැනීමට ඇති හැකියාවේ ය. ඒ නිසා එකක් තෝරාගැනීමට කරන නිර්දේශය එතරම් ඵලදායක වන්නේ නැත.

ජීවිතයේ ඉලක්ක ඇති කර ගැනීමට ශුභවාදීත්වය අවශ්‍ය ය. ඒ ඉලක්කය කරා යන ගමනේ උපාය මාර්ග තීරණය කිරීමට අශුභවාදියෙකු ලෙස ඇතිවිය හැකි බාධා කවරේදැයි පිලිවිසීම අවශ්‍ය ය. ඉලක්ක ජය ගත හැක්කේ එ්වා ගැන දැන ගියොත් ය.

ජීවිතය මුහුණ දෙන ඇබැද්දියක දී ඉන් ගැලවීමට ශුභවාදිත්වය අවශ්‍ය ය. ඒ ගැලවීම සඳහා ගත යුතු මග තීරණය කිරීමට අශුභවාදී ලෙස ඇති විය හැකි බාධා ගැන අවදියෙන් සිටීම අවශ්‍ය ය. ඒවා ඉක්මවීය හැක්කේ කල්තියා දැක  එසේ සූදානම් විමෙන් පමණක් නිසා ය.

වැඩක් ආරම්භ කිරීමේ දී ශුභවාදිත්වය අවශ්‍ය ය. ඒ අවශ්‍ය ධෛර්යය හා ශක්තිය ලබා ගන්නට ය. ඒ අවස්ථාවේ අශුභවාදිත්වයට මැදිහත් විමට ඉඩ නොහල යුතු ය.

වැඩය සැලසුම් කිරීමේ දී අශුභවාදී ලෙස සියලුම අවදානම් ලයිස්තු ගත කිරීම අවශ්‍ය ය. වැරදිය හැකි සියලු තැන් කල් ඇති ව හඳුනා ගැනීම අවශ්‍ය ය. වැරදිය හැකි හැම තැනකම වැරදෙනු ඇත යන මර්ෆිගේ නියමය මෙහි දී සැළකිල්ලට ගත යුතු ය. හැම දෙයක් ම හොඳින් සිදුවනු ඇතැයි යනුවෙන් සිතා අවශ්‍ය සූදානම නොගෙන සිටීමෙන් වැළකීමට එවිට පුළුවන.

වැඩය සංවිධානය කිරීමේ දී අවදානම වැඩි කවර සාධක වල දැයි බලා ඒ අවදානම්වලට විශේෂයෙන් සූදානම් වීම අවශ්‍ය ය. අවධානමේ ප්‍රමාණය ද එම අවදානම සිදු වීමේ සම්භාවිතාවය ද යන දෙකම මෙහි දී සැළකිල්ලට ගත යුතු ය. වඩාත් ම වැරදීමට ඉඩකඩ තිබෙන හා එවැනි වැරදීමක දී වඩාත් වැඩි විපාක ඇති කරන අවදානම් සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලක් දැක්විය හැකි ය.

වැඩය ක්‍රියාත්මක කිරීමේ දී මහපොළොවේ සියල්ල දිග හැරෙන හැටි දෙස බලමින් යථාර්ථවාදී වීම අවශ්‍ය ය. ඒ වැඩය පසුවිපරම් කිරීමේ දී මේ තුන් බලවේගයන්ගේ භූමිකාවන් කෙසේ බලපෑවේදැයි බලා එයින් පාඩම් උගෙනීමට ද වග බලා ගත යුතු ය.

අවසාන නිගමනය මෙසේ ය. වැඩ ගත හැක්කේ දෙවියන්ගෙන් පමණක් නොවේ. යක්කුන්ගෙන් ද බැඳ වැඩ ගත හැකි ය. ඒ අප දක්ෂ වෙතොත් ය.

දන්න දේ හා නොදන්න දේ


42235

සමහරු නොදන්න දෙයක් නැත. ඊට අමතරව ඒ හැම දෙයක්ම ඔවුන් හොඳින්ම දන්නා බව ඔවුන්ට විශ්වාස ය. සැකයක් නැතිව ම විශ්වාස ය. ඒ බව ඔවුහු දිව්රා කියති. තව කෙනෙකුට කිසිවක් කීමට ඉඩ නොතබා කියති.

ඒ සඳහා ඔවුන් බර තබන්නේ ඔවුන්ගේ ජේෂ්ඨත්වයට ය. අත්දැකීම් වලට ය. පළපුරුද්දට ය. වයසට ය. ඔවුන් ලඟ තිබෙනවා යැයි සෙසු අය විසින් විශ්වාස කළ යුතු අත් ගුණයට ය.

සෙසු අයට තිබෙන්නේ අහගෙන ඉන්නට ය. පිළිගන්නට ය. සාක්කි, කරුණු සංඛ්‍යා ලේඛන කිසිවක් නොමැතිව පිළිගන්නට ය. දිගින් දිගට කියන නිසා ම පිළිගන්නට ය. විශාල හඩකින් කියන නිසා පිළිගන්නට ය.

මාව විශ්වාස කරන්න වරදින එකක් නැතැයි ඔවුහු තදින් කියති. නෑ ඒක එහෙම කරන්න බෑ යැයි ඔවුහු හේතු නොදක්වාම කියති. මේ ගමන මම කියන විදිහට කරල බලන්න යැයි ඔවුහු අවසාන තීන්දුව ද දෙති.

තීරණයකට කාලයක් වැය වන්නේ ම නැති තරම් ය.

දෙවැනි වර්ගයට අයත් අය එහි ප්‍රතිපක්ෂය ය. ඔවුහු බොහෝ දේ දනිති. එහෙත් තවමත් තමන් දන්නා දේ සීමිත යැයි සිතති. ඒවා වරදින්නට ඉඩ ඇතැයි හඟිති. නොදන්නා දේ බොහෝ යැයි සිතති. ඒ නිසා ම මෙය මෙසේ යැයි දැඩි ව අවධාරණය කිරීමක් ඔවුන් අතින් සිදු නොවේ. ඔවුන් කැමති තමන් නොදන්නා පැතිකඩක් ඇත්නම් එය දැන ගැනීමට ය. ඒ නිසා ම සෙසු අයට සවන් දීමට ය.

සෙසු අයගේ අදහස් දැන ගැනීම උදෙසා තීරණ කල් දැමීමට ඔවුන් සූදානම් ය. තොරතුරුවල විශ්වාසනීයත්වය තහවුරු කර ගැනීම සඳහා වෙහෙස වන්නට ඔවුන් සූදානම් ය.

මම මෙය වරක් අත්හදා බලා තියෙනව එවර නම් එය වැඩ කළා ඒ විදිහට කරල බලමුදැයි ඔවුන් අසන්නේ අවශ්‍ය නම් විකල්ප යෝජනාවකට ද ඉඩක් තබමිනි. මේ අදහස වැඩ කරයි කියල හිතෙනව උත්සහ කරල බලමු දැයි ඔවුන් අසන්නේ තවත් අදහසකට වුව ඉඩක් ඇති කරමිනි.

අවසන් තීන්දුවක් වෙනුවට පසු ව වෙනස් කළ හැකි විවෘත තීන්දුවක් දීමට ඔවුන් කැමති ය.

ලෝකයේ තිබෙන එක ප්‍රධාන ප්‍රශ්නයක් නම් ටිකක් දන්නා අය වැඩිපුර කෑ ගැසීමත් වැඩියෙන් දන්නා අය කතා කිරීමට පෙර තුන් හතර වතාවක් සිතීමත්, පසුබෑමත්, ඇතැම් විට නිහඩ වීමත් ය. පිරුණු කලේ දිය නොසැලේ යැයි පැරැන්නන් කියන්නට ඇත්තේ මේ නිසා විය යුතු ය. එහෙත් ප්‍රශ්නයකට ඇත්තේ සද්දයක් නැති තාක් කිසිවකුගේ සැළකිල්ලට භාජනය නොවීම ය. හිස් කල විසින් අවධානය දිනා ගැනීම ය.

මෙහි ඇති අභාග්‍යය නම් කටවාචාලයන්ට මිනිසුන් තමන්ට රිසි සේ දැක්කීමට පුළුවන් වීම ය. නොදන්නා එහෙත් කට කියවන්නට පුළුවන් අයට ශබ්ද කරන්නට පුළුවන් අයට තමන් වටා මිනිසුන් රැස් කිරිමට පුළුවන් වීම ය.

බැලූ බැල්මට මිනිසුන්ට දොස් කියන්නට ද බැරි ය. එක් අයෙක් විශ්වාසයෙන් යමක් කියන කල අනෙකා කියන්නේ සැකයක් ද ඇතිවන විදිහට ය. හිතන්නට කම්මැලි බහුතරයක් මිනිසුන්ගේ තෝරා ගැනීම පැහැදිලි ය. වඩා විශ්වාසවන්තව කියන දෙයට ඒ මිනිසුන් වශීවීම ඒ අනුව පුදුමයක් නොවේ.

කිසි දින වෙනස් නොවන පරම සත්‍යය ඇතැයි කියන ආගම් කෙරෙහි මිනිසුන්ගේ ඇලීමත් නිරන්තරයෙන් වෙනස් වන අලුත් වන විද්‍යාව ගැන ඔවුන්ගේ සැකයත් තේරුම් කර ගත යුත්තේ මේ අනුව ය. විද්‍යාවෙන් සියලු ප්‍රයෝජන ලබමින් වුව ද පොරොන්දු පමණක් සපයන ආගමට වැඩි නැඹුරුවක් මිනිසුන් දක්වන්නේ මේ හේතුව නිසා ය.

කළමනාකරුවෙකු ද මේ නිසා අර්බුදයකට යයි. නිතර කතා කරන, අවධාරණයෙන් කතා කරන, මිනිසුන්ට ඉඩ දී අයින් වන්නට බොහෝ කළමනාකරුවන්ට සිදු ව තිබේ. එසේත් නැතිනම් කළමනාකරණයේ නාමයෙන් ම නිතර කතාකරන, අවධාරණයෙන් කතා කරන, ශබ්ද නගා කතා කරන කෙනෙකු බවට තමන් පත් කර ගැනීමට ඔවුන්ට සිදු ව තිබේ. ඒ කුමක් කළ ද අවසානයේ සිදු වන්නේ වෙනස් අදහස් හා විකල්ප වලට ඉඩ ඇහිරීම ය. මැණික් යට ගොස් ගොම රිටි උඩ ඒම ය.

බුද්ධිමතෙකු යනු සියල්ල දත් කෙනෙකු නොවේ. දන්නා දේ බොහෝ වෙතත්, හෙතෙම ඒ අතරම තමන් නොදන්නා බව ද දන්නා කෙනෙකි. තමන් දන්නා දේ පවා වැරදි විය හැකි යයි දන්නා කෙනෙකි. කළමනාකරුවෙකු බුද්ධිමතෙකු විය යුත්තේ කළමනාකරණය ගැන දැන උගත් ප්‍රමාණයෙන් පමණක් නොවේ. තමන්ගේ සීමාවන් ගැන දැනුවත් බව ද ඇතුළත් ඉහත කී නිර්ණායකයකට අනුව ය.

අවාසනාවට අප සොයන්නේ සර්වතෝභද්‍ර මිනිසුන් ය. වැරදි නැති මිනිසුන් ය. සියල්ලෙන් සම්පූර්ණ මිනිසුන් ය. තමන් එසේ යැයි සිතන මිනිසුන් ය. ආත්ම විශ්වාසයක් ඇති මිනිසුන් ය. බොහෝ ආයතන විසින් තෝරාගන්නේ එවැනි මිනිසුන් ය.

උන් ආයතන තමන්ගේ ග්‍රහණයට ගන්නේ වෙන කිසිවෙකුට ඉඩක් නොතබමිනි. වැරදී ඇති බව දැන ගන්නා විට අස්සයා පැන ගිහින් ඉවර ය. සිදු වන්නේ ඉස්තාලය වසා දැමීමට ය.

පාඩු ලබන අකාර්යක්ෂම ආයතන ගැන හොඳින් සොයා බලන්නේ නම් ඒ පිටුපස, මෙසේ තමන් නිවැරදි යැයි දැඩි ව ඇදහූ, කළමනාකරුවන් සිටි බව දැන ගන්නට ලැබෙනු ඇත.

මේ නිසා අපට තීරණයක් නොගෙන කල් බල බල දිගින් දිගට සිටීමේ අවසරයක් ලැබෙන්නේ නැත.

කිසිදා සම්පූර්ණ තොරතුරු ලැබෙන්නේ නැත. අප කොතෙක් උත්සහ කළ ද කෙතරම් සංවාදයේ යෙදුන ද අපට මග හැරුණු දේ තව තිබිය හැකි ය. ඒ නිසා ම යම් තැනක දී තීරණයක් ගැනීම අවශ්‍ය ය. එය ගැන විශ්වාසයෙන් ක්‍රියාත්මක වීම අවශ්‍ය ය. බුද්ධිමතෙකු වන්නේ අදහස් පමණට ම ක්‍රියාකාරිත්වය ද අවශ්‍ය යැයි හගින තැනැත්තෙකි.

එසේ වුව ද අවශ්‍ය වුවහොත් වෙනස් කිරීමට යටත් ව එය සිදු කිරිමට තරම් එවැන්නෙකු පරිස්සම් විය යුතු ය.