ගොඩනැගිල්ලක් හැදීම හා ආයතනයක් හැදීම


45263building

යමක් භෞතිකව නිර්මාණය කිරීම පහසු ය. අවශ්‍ය වන්නේ ඒ සඳහා සම්පත් සොයා ගැනීම ය. එහෙත් අපට අවශ්‍ය ලෙස මිනිසෙකු නිර්මාණය කර ගැනීම අමාරු ය. ගොඩනැගිල්ලක් නිර්මාණය කර එය ඉදිකිරීම පහසු ය. එහෙත් එය ආයතනයක් බවට ඵලදායී ආයතනයක් බවට පත් කර ගැනීම අමාරු ය. ගෙයක් ඉදිකිරීම පහසු ය. අමාරු එය ගෙදරක් කර ගැනීම ය.

භෞතිකව යමක් නිර්මාණය කිරීමේ දී අපට අවශ්‍ය න්‍යායික දැනුම ය. භෞතික දේ කෙසේ හැසිරෙන්නේ ද යන්න පිළිබඳ න්‍යායික දැනුම ය. යම් භෞතික දෙයක් කෙසේ හැසිරෙන්නේ ද යන්න පිළිබඳ තොරතුරු භෞතික විද්‍යාව විසින් ද ඉංජිනේරු ශිල්පය විසින් ද සොයා ගෙන තිබේ. ඒ දැනුම භාවිතා කරමින් භෞතික යමක් නිර්මාණය කර ගැනීම ඒ නිසා පහසු ය. දී ඇති තත්වයක යම් භෞතික දෙයක හැසිරීම පහසුවෙන් පුරෝකථනය කළ හැකි වීම එසේ පහසු වීමට හේතුව ය. යම් නිෂ්චිත ගණකමක් ඇති යකඩ තහඩුවක් නිශ්චිත බලයක් යෙදූ විට මෙසේ හැසිරෙන්නේ යන්න මේ න්‍යායන් ඇසුරෙන් කිව හැකි ය. එය බොහෝ දුරට නියතයකි. නිශ්චයකි.

එහෙත් මිනිසුන් ඊට වඩා වෙනස් ය. යම් නිශ්චිත අවස්ථාවක එක මිනිසෙකු හැසිරෙන විදිහට වඩා එහෙම පිටින් ම වෙනස් විදිහකට එවන් අවස්ථාවක තව මිනිසෙකු හැසිරෙන්නට පුළුවන. එකම මිනිසෙකු වුව ද ජීවිතයේ කාල වකවානු දෙකක එකම අවස්ථාවක වෙනස් විදිහට හැසිරෙන්නට පුළුවන. මිනිසෙකු තව මිනිසෙකුගෙන් වෙනස් වන තරමට එකම මිනිසා ද කාලානුරූපව වෙනස් විය හැකි නිසා ය. වෙනස් වන නිසා ය.

ගොඩනැගිල්ලක් හදනවාට වඩා ආයතනයක් හදන්නට අමාරු ඒ නිසා ය. ගෙයක් ඉදිකිරිම පහසු වුව ද ගෙදරක් හදා ගැනීම අමාරු ඒ නිසා ය.

යකඩ තහඩු වල ද විවිධ වෙනස් කම් තිබිය හැකි බව සැබෑ ය. එහෙත් යම් සම්මතයකට නිපදවූ විට ඒ වෙනස් කම් මග හැරේ. අවම වේ. අප භෞතික දේ නිම වීම සඳහා භාවිතා කරන්නේ එවැනි සම්මතයකට අනුව නිපදවූ ද්‍රව්‍ය නම් අපට වෙනස් ප්‍රතිඵල වලට මුහුණ දීමට සිදු නොවේ.

මිනිසුන් ද එසේ නිපදවා ගැනීමට සමාජය විසින් උත්සහ ගන්නා බව ඇත්ත ය. උදාහරණයක් ලෙස ඉංජිනේරුවකු නිපදවීමේ දි යම් සම්මතයන්ට අදාළව නිශ්පාදනය කිරිමට විශ්වවිද්‍යාල උත්සහ කරන බව ඇත්ත ය. එහෙත් යකඩ තහඩුවක මෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන නිශ්චය ලෙස සහතිකයක් දීමට නොහැකි ය.

ඉංජිනේරු ශිල්පය සම්බන්ධයෙන් ඉංජිනේරුවෙකු දෙන තීන්දුවක් නිශ්චිත විය හැකි නමුත් වෙතත් සෙසු දේ සම්බන්ධයෙන් ඔහුගේ ක්‍රියාකාරිත්වය කෙසේ වත් තවත් ඉංජිනේරුවෙකුගේ ක්‍රියාකාරිත්වයට සමාන නොවිමට ඇති ඉඩ විශාල ය. සම්මත ඉංජිනේරුවන් මිසක සම්මත මිනිසුන් හදන සරසවියක් තවම බිහි ව නැති නිසා ය.

යම් ආයතනයක ඉන්නා ඉංජිනේරුවරයෙකුගේ හැසිරීම ඉංජිනේරු ශිල්පීය ක්ෂේත්‍රයට කොටු කර තැබිය නොහැකි ය. ඔහු ආයතනයේ සමාජිකයෙකු ලෙස කෙසේ හැසිරෙන්නේ ද යන්න ඒ නිසා ම නිශ්චය ලෙස කිව නොහැකි ය. සාමාන්‍යයෙන් සිදු වන්නේ ආයතනය තුළ පවතින ආචාර ධර්ම පද්ධතියකට හා වත් පිළිවෙත් සමූහයකට යටත් කොට මේ හැසිරීම වඩාත් නිශ්චය ලෙස සකස් කිරීමට උත්සහ දැරීම ය. එහි දී ආයතනයේ නායකත්වය කොතරම් ශක්තිමත් ද යන්න පැහැදිලිව ම බලපාන්නේ ය.

ඇතැම් ආයතනයක නායකයා ද ආයතනයේ පවතින ආචාර ධර්මයන්ගේ හා වත් පිළිවෙත් වල හිරකාරයෙකු වෙන්නට පුළුවන. බොහෝ විට කාලයක් පැවතුණු ආයතන, බාහිරින් පැමිණෙන නායකයෙකුට වෙනස් කළ නොහැක්කේ ද අසාර්ථක උත්සහයන් ගණනාවකින් පසු අවසානයේ ඇය ද එහි ම හිරකාරයෙක් වන්නේ ද මේ හේතුව නිසා ය. වෙනස අමාරු වන්නේ මේ නිසා ය. ගොඩනැගිල්ලක් අලුතින් හැදිය හැකි මුත් ආයතනයක් පහසුවෙන් අලුතින් හැදිය නොහැක්කේ මේ නිසා ය.

භෞතික දේ මෙන් පහසුවෙන් හැසිරීම පුරෝකථනය කළ නොහැකි නිසා මිනිසුන් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් න්‍යායික දැනුමෙන් ලද හැකි ඵල ප්‍රයෝජන සීමිත ය. ඔවුන් හා ගනුදෙනු කිරීම විද්‍යාවක් නොව කලාවක් වන්නේ ඒ නිසා ය. එය වැරදි කරමින් උගත යුතු දෙයක්ව ඇත්තේ ද ඒ නිසා ය. එක මිනිසෙකුට හරි ගිය උපායක් තව මිනිසෙකු ඉදිරියේ ව්‍යර්ථ වන කල උකටලී නොවීමට නම් අප මේ කරුණ මැනවින් තේරුම් ගත යුතු ය. එක දිනක වැඩ කළ උපාය එකම මිනිසා සම්බන්ධයෙන් ඊළඟ දිනයේ වැඩ නොකරන්නට හැකි බව තේරුම් ගත යුතු ය. එසේ උකටලී නොවී අලුත් උපාය මාර්ගයකට මාරු වීමට අපට හැකි වෙතොත් ඊට අවශ්‍ය සංයමය අපට ඇතොත් අපට ආයතනයක් ගොඩ නැගීමේ, ගෙදරක් ඇති කර ගැනීමේ, අභියෝගය ජය ගත හැකි ය.

අප අසාර්ථක විය හැකි බව දැන ඒ සඳහා සූදානමින් පසු වීම ඊට අවශ්‍ය වන එක් පූර්ව කොන්දේසියකි. එක් මාවතක් ඇහුරුණු කල එයින් සාර්ථකත්වයක් නොලැබෙන කල තව මාවතක් සොයා ගැනීමට උත්සුක වීම ද අමතර කොන්දේසියකි.

ඉහත කී හේතු නිසා ම ආයතනයක් හැදිම ගොඩනැගිල්ලක් හැදීමට වඩා අමාරු ය. එසේ වුව ද එය බැරි නැත. එය අභියෝගාත්මක බව ඇත්ත ය. එහෙත් එය සැබැවින් ම ආශ්වාදජනක ය. වැරදීම් පසුබැසීම් මැද්දේ එය ඉදිවන විට එයින් ලැබෙන තෘප්තිය ද මහත් ය. වැරදීම් පසුබැසීම්වල දී සිදු වන පසුතැවීම් සියල්ල අමතක කර දැමීමට තරම් ප්‍රමාණවත් ය.

මේ පරිවර්තනය කිරීම සඳහා දැනුම අවශ්‍ය ය. කළමනාකරණය පිළිබඳ දැනුම, විශේෂයෙන් මනෝ විද්‍යාව හා සමාජ විද්‍යාව පිළිබඳ දැනුම, අවශ්‍ය ය. මිනිසුන්ගේ සිත් වැඩ කරන හැටි ද ඔවුන් වෙනස් වීමට ප්‍රතිචාර දක්වන හැටි ද වැනි නොයෙක් දේ පිළිබඳ දැනුම අවශ්‍ය ය.

එහෙත් ඔය කියන දැනුමට ද වඩා අවශ්‍ය වන්නේ සහකම්පනය යි. ඒ හරහා මිනිසුන් තේරුම් ගැනීමට ඇති හැකියාව යි. වැරදිවල වගකීම තමන් දරණ අතරේ ජයග්‍රහණයේ භුක්තිය කණ්ඩායමේ  සෙසු අයට පිරිනැමීමට සමත්වන නිහතමානිත්වය යි. එය බිහිවන තුරු අපේක්ෂා රඳවා ගෙන බලා සිටිය හැකි සංයමය යි. වැරදි පිළිගැනීමටත් ඒවා තුළින් ඉගෙන ගැනීමටත් ඇති සූදානමයි. භාවමය බුද්ධිය යයි කළමනාකරණ සාහිත්‍ය තුළ හඳුන්වන්නේ මේ හැකියාවට ය.

Advertisements