කණ්ඩායම් වැඩ අගතියක් නොවන්නට…


කණ්ඩායමක් ලෙස වැඩ කිරීමෙන් අමතර ශක්තියක් ජනනය කළ හැකි බවට විවාදයක් නැත. ඒ ගැන ඇති තරම් කළමනාකරණයේ දී කතා කෙරේ. එවැන්නක් සාර්ථක කර ගත හැක්කේ කෙසේ ද යන්න ගැනත් කළමනාකරණ සාහිත්‍යයේ බොහෝ දේ ලියැවී ඇත.

එහෙත් සාර්ථකව වැඩ කරන කණ්ඩායමක් යනු රෝසමල් යහනාවක් ද? එය ආයතනයේ අට අනූවක් රෝග නිවාරණය කරන කෝකටත් තෛලයක් ද? එයින් සිදුවිය හැකි අනර්ථයක් ඇත්තේම නැද්ද? එය නැවත කැරකී අවුත් අප විනාශ කර දමන බූම රංගයක් බවට පත් විය නොහැකි ද? එවැනි ප්‍රශ්න අපි මග හැර යමු. මක්නිසා ද යත් කණ්ඩායමක් ගැන අහිතක් කීම පමණක් නොව සිතීම පවා පාපයක් ලෙස සැළකිය හැකි බැවිනි.

කණ්ඩායමක වැඩ කිරීමේදී වුව බොහෝ විට එහි බර කරට ගන්නේ ටික දෙනෙක් බව අපි අමතක කරමු. බොහෝ විට එයට හේතුව කණ්ඩායමක් තුළ පවා යම් දෙයකට දක්ෂයන් සිටින්නේ අතලොස්සක් බැවිනි. එවැනි දක්ෂයෙකු පැකිලීමකින් තොරව කණ්ඩායමේ උන්නතිය වෙනුවෙන් වැඩ කිරීම තවත් දුර්ලභ ය. කණ කැස්බෑවා විය සිදුරින් අහක බලන වෙලාවටම සඳ අහසේ පැහැදිලිව පායා තිබෙන්නාක් මෙනි. එසේ සිදුවන්නේ නම් කණ්ඩායම ගොඩ ය.

එවැන්නෙකු (එකවර දක්ෂයෙකු හා කණ්ඩායම වෙනුවෙන් එම දක්ෂතාවය කැප කිරීමට සූදානම් අයෙකු) ගැන දැන ගත් විට ආයතනයේ හැම කණ්ඩායමකටම ඔහුගේ හෝ ඇයගේ සහභාගිත්වය ඉල්ලා සිටීමට ඒ නිසාම බොහෝ අය පෙළඹෙති.

කණ්ඩායමකට සිය දායකත්වය සපයන්නේ තොරතුරු සැපයීමෙන් නම් තොරතුරු ලබා ගත හැකි මූලාශ්‍ර සැපයීමෙන් නම් හෝ එවැනි මූලාශ්‍රයන්ට ප්‍රවේශයක් ලබා දීමෙන් නම් එවැනි දායකත්වයක් සඳහා අප කලින් කී තැනැත්තාගේ කාලයෙන් විශාල කොටසක් වැය නොවේ. එහෙත් සිය දායකත්වය සපයන්නේ තමන්ට අයත් රාජකාරි කිරීමට ඇති කාලයෙන් විශාල කොටසක් කැප කර වැඩක යෙදීමෙන් නම් තත්වය වෙනස් ය. එවැනි අවස්ථාවක බොහෝ විට සිදු වනුයේ ඔහුට හෝ ඇයට තම භූමිකාව කර ගෙන යාමට කාලයක් නැති වීම ය. වැඩ ගෙදර ගෙන ගොස් කිරීමට සිදු වීම ය. අතිකාල නැතිවත් අතිකාල වැඩෙහි යෙදීමට සිදු වීම ය.

ආයතනය ප්‍රතිලාභ පිරිනැමීමේදී වැඩි සැළකිල්ල දක්වන්නේ එක් එක් පුද්ගලයාට අයත් භූමිකාවට අයිති රාජකාරියේ ප්‍රගතිය ගැන නම් ඔහුට හෝ ඇයට එවිට අවැඩක් සිදුවීමට ද ඉඩ තිබේ. එහි අවසාන ප්‍රතිඵලය වැඩත් වැඩියෙන් කර ලැබිය හැකි ව තිබූ තුට්ටු දෙකත් අහිමි කර ගැනීඹ ය. සමහර විට කාලයක් මෙසේ කටයුතු කිරීම නිසා ඔහුට හෝ ඇයට ආයතනය ගැනත් තමන් ගැනත් කළකිරීමක් ඇති විය හැකි ය. අසනීපයට පත් විය හැකි ය. අවසාන ප්‍රතිඵලය ආයතනයට ඔහු හෝ ඇය එක්කෝ භෞතිකව අහිමිවීම ය. නැතිනම් භෞතිකව සිටියත් අධෛර්යයට පත් කෙනෙකු ලෙස ආයතනය තුළ ඉතිරි වීම ය.

අනිත් අතට කණ්ඩායමේ බොහෝ දෙනෙකුට මේ කණ්ඩායම් හැගීම ඇති පුද්ගලයාගේ භූමිකාව නිසා වැඩ නොකරම ලකුණු වැටේ. ඒ නිසා ඔවුන් වඩ වඩාත් අලස වන අතර ඔවුන් තුළ ඉගෙනීමට ඇති උනන්දුව ද අඩු වේ. තමන්ට කරන්නට තිබෙන වැඩ අනිකා කරද්දී ඒ ගැන වෙහෙසව ඉගෙන ගැනීමට හේතුවක් නැති බැවිනි.

එයින් සිදුවන්නේ වැඩකරු අධෛර්යයට පත් වී ක්‍රියාවලියෙන් වෙන්වන විට ඊට විකල්පයන් ආයතනය තුළින් මතු නොවීම ය.

කණ්ඩායම නිසා ඇති වූ අමතර ශක්තිය දැන් නැතිව ගොස් ඇතිවා මදිවාට එය නැවත ගොඩ නැගීමට අපහසු වන ලෙස ක්ෂය වී ද තිබේ.

කණ්ඩායමක් ලෙස වැඩ කිරීම දිරිමත් කරන ආයතන ප්‍රධානීන්ගේ සැළකිල්ල මේ සිද්ධිදාමය දෙස ද යොමු විය යුතු ය. නැතිනම් වන්නේ මුලදී ඉහළ ගිය වේගයට වඩා වැඩි වේගයකින් පල්ලම් බසින ආයතනයකට උරුම කම් කීමට ය.