නිපදවිය යුත්තේ මොනවා ද?


38304

සමහරු නම් කියන්නේ රබර් කිරි නිපදවන අප මකන කෑල්ලක්වත් හදාගන්නේ නැතිව ඒ භාණ්ඩෙත් චීනෙන් ගෙන්වන බව ය. මට නම් ඒ ගැන ලොකු අරෝවක් නැත. ඒ අප ලෝකයේ විශාලම ගුවන් යානා වලට අවශ්‍ය ටයර් නිපදවමින් ඉන්නා නිසා ය. තව සමහරු කියන්නේ අප අල්පෙනිත්තක්වත් හදා ගන්නට බැරුව ඉන්නා බව ය. ලෝකයේ විශාල සමාගම් වලට අපේ සමාගම් මෘදුකාංග පද්ධති විකුණන තාක් එහි ද අවුලක් මට නම් පෙනෙන්නේ නැත.

කෙනෙකු කළ යුත්තේ ඔහු හෝ ඇය වඩාත් දක්ෂ දෙය ය. වෙන කෙනෙකුට පහසුවෙන් කරන්නට බැරි දේ ය. වැඩි අගයක් තමන්ට එකතු කළ හැකි දේ ය.

අමරදේව සිංදු කියන එක නවත්වා ගොවිතැන් කරන්නට යෑමේ තේරුමක් නැත. ඇත්තටම වරක් එක කට කැඩිච්ච එකෙක් අමරදේවගෙන් ඇසූ ප්‍රශ්නයකට අමරදේවගේ උත්තරය වී ඇත්තේ මට කියන්නේ උදැල්ලක් අරන් කුඹුරට බහින්නට දැයි කියා ය. ගොවිතැන් කළ හැකි අය බොහෝ ය. එහෙත් අමරදේව මෙන් ගායනා කරන්නට හැකි අය අඩු ය. එහෙම තියාගෙන අමරදේවට කුඹුරට බහින්නට කියන්නේත් තමන්ගේ දේ තමන් හදා ගත යුතු යැයි කියන්නේත් වත්මන් ලෝකය වැඩ කරන්නේ කෙසේදැයි නොදන්නා අය ය.

මෙය ඇගිල්ලෙන් ඇන කිව යුතු දෙයක් නම් නොවේ. එහෙත් කියන්නට සිදු ව තිබෙන්නේ මිනිසුන් සරල තර්කයක් දෙසා බෑමෙන් ශාස්ත්‍රී සංවාදයන් කරන්නට අර අඳින නිසා ය.

මතුපිටින් බැලුවහම වැඩේ ඇත්ත ය. මකන කෑල්ලක් අල්පෙනිත්තක් යනු සුළු දේ ය. ඒවාත් පිටින් ගෙන්වීම කරුමයක් ලෙස දකින්නම වටින්නේ ය. එහෙත් එසේ කියන අය අමතක කරන කාරණය නම් ලංකාවේ මේ පුංචි දේ සඳහා ඇති වෙළඳ පොළ අතිශයින් කුඩා බව ය. අප ඒවා නිපදවන්නේ නම් ලෝකය ඉලක්ක කර ගත යුතු බව ය. අනෙක් අතට දියුණු වී ඇතැයි කියන චීනයේ තවමත් අපට වඩා අඩු මිලකට ශ්‍රමය මිලට ගත හැකි ය. එහෙව් රටක් සමග තරග කර අල්පෙනිත්ති නිපදවීමට යෑම නුවණට හුරු නැත.

අප කළ යුත්තේ වඩා ලොකු දේ නිපදවීමට ඉදිරිපත් වීම ය. ලංකාවට නොව, ලෝක වෙළඳ පොලට එවැනි දේ සැපයීමට ඉදිරිපත් වීම ය. ගුවන්යානා ටයර් හා පරිගණක මෘදුකාංග එවැනි ලොකු දේ සඳහා උදාහරණ දෙකක් පමණ ය.

එය පහසු නැත. කියන තරම් පහසු නැත. එය තනිව කළ හැකි කටයුත්තක් ද නොවේ. විදේශ ආයෝජන, දියුණු තාක්ෂණය, ක්‍රමවත් කළමනාකරණය වැනි දෑ ඒ සඳහා අවශ්‍ය ය. විදෙස් වෙළඳ පොලවල් සමග ගනුදෙනු කරන මහා පරිමාණ වෙළෙන්දන් සමග ජාල ගත වීම ද අවශ්‍ය ය. වත්මන් ලෝකයේ තනිව යා හැකි ඉඩ සහ දුර අල්ප ය. සන්ධාන ගත වීම අවශ්‍ය ය. එකිනෙකා මත යැපෙන්නට සූදානම් අයට පමණක් අද ලෝකය විවෘත ව ඇත.

එහෙත් බොහෝ දෙනා එයට සූදානම් නැත. ඔවුන් සූදානම් වන්නේ සුරක්ෂිත ලාංකික වෙළඳ පොලක් තුළ තම නිශ්පාදන විකුණන කුඩා ව්‍යවසායකයෙකු වීම ට ය.

ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙකු රජයෙන් ඉල්ලා සිටින්නේ විදේශ ආයතන සමග සම්බන්ධ විය හැකි වාතාවරණයක් රට තුළ ගොඩ නගන ලෙස නොවේ. විදේශිකයන් පන්නා දමා තනියම රජ විය හැකි වෙළඳ පොලක් ලංකාවේ ව්‍යාපාරිකයන්ට හදා දෙන ලෙස ය. කොටින් ම චීනයෙන් මකන කෑලිත් අල්පෙනිත්තිත් ගෙන්වන එක නතර කර දෙන ලෙස ය.

බොහෝ ව්‍යාපාරිකයන් රජය ඇති කරගන්නා වෙළඳ ගිවිසුම් දෙස බලන්නේ ම තමන්ගේ සුරක්ෂිත වෙළඳපොල ආක්‍රමණය කිරීමට පිටරැටියන්ට අවසර දෙන වෑයමක් ලෙස ය. රට පාවා දිමක් ලෙස ය. දේශීය නිෂ්පාදකයන්ට පිටුපෑමක් ලෙස ය. දේශීය වෘත්තිකයන්ට රැකියා අහිමි කිරීමේ උත්සහයක් ලෙස ය. මේ පිරිස් අවි අමෝරාගෙන වීදී බහින්නේ ඒ නිසා ය.

අප ලෝක වෙළඳ පොලට අවතීර්ණ වීමට අදහස් කරන්නේ නම් තනියම යන දේශීය ගමනකින් නම් එය කළ නොහැකි ය. ඒ සඳහා අපේ අඩුපාඩු සම්පූර්ණ කර ගත හැකි සන්ධානයන් අවශ්‍ය ය. විදේශ සන්ධානයන් අවශ්‍ය ය. තාක්ෂණික සන්ධානයන් අවශ්‍ය ය. කළමනාකරණ සන්ධානයන් අවශ්‍ය ය. වෙළඳ සන්ධානයන් අවශ්‍ය ය. අයෝජකයන් අවශ්‍ය ය. දැනුම සහිත විශේෂඥයන් අවශ්‍ය ය.

අපේ උපායමාර්ගය මේ නව අවස්ථාවන් ඉදිරියේ පසු බැසීම නම්, තරගයක් නොදීම පරාජය පිළිගෙන පසු බැසීම නම්, දේශීය බැනර් එකට මුවා වී රැකවරණ පැතීම නම්, අපට අනාගතයක් නැත.

රට ගැන අප කී කතාව ආයතන සම්බන්ධයෙන් ද එක සේ අදාළ ය.

ආයතනයක් නිපදවිය යුත්තේ ආයතනයට වඩාත් වැඩි අගයක් ඇති කළ හැකි දේ ය. සෙසු දේ, ඒ ඒ අංශයේ දක්ෂ ආයතන මගින් සපයා ගත යුතු ය. අපේ ආයතනය මුද්‍රණය අතින් ඉහළ ප්‍රමිතියක් ඇති කර ගෙන තිබේ. අප අපට අවශ්‍ය කඩදාසි ද නිපදවා ගත යුතු යැයි සිතා ඒ කර්මාන්තයට ද අත නොගැසිය යුතු ය. එය වඩාත් හොඳින් කළ හැකි අන් අය ඉන්නා තාක් වත් එසේ නොකළ යුතු ය. අප ඒ කර්මාන්තයට පිවිසිය යුත්තේ ඒ කර්මාන්තයේ නියැලී සිටින අය නොකරන යමක්, ඔවුන් නොකරන තරමේ කාර්යක්ෂමතාවයකින් යුතු ව, අපට කළ හැකි නම් ය. අප ප්‍රකාශනයේ වගකීම ද බාර නොගත යුතු ය. එසේ කරනවා නම් අප එය කළ යුත්තේ වෙනත් ප්‍රකාශණ ආයතන නොකරන යමක්, ඔවුන් නොකරන තරමේ කාර්යක්ෂමතාවයකින් යුතු ව, කළ හැකි නම් පමණ ය.

අප මේ උදාහරණ ගෙනාවේ ඇතැම් ආයතන මේ පිළිබඳ තැකීමකින් තොරව තමන්ගේ සැපයුම් දම්වැලේ අනිත් පුරුක් ද අල්ලන්නට ගොස් ඇතැම් විට අනා ගන්නා නිසා ය.  ඇන ගන්නා නිසා ය.

සැපයුම් දම්වැලේ පාලනය අපට ලබා ගත හැකි නම් හොඳ ය. ඒ අපට අන් ආයතන වල කටයුතු ඊට වඩා හොඳින් කළ හැකි නම් පමණ ය.

අවසාන නිගමනය නම් අප කළ යුත්තේ අපට වඩාත් හොඳින් කළ හැකි දේ පමණක් බව ය. අප වඩ වඩා උත්සහ කළ යුත්තේ වෙන අයට කරන්නට අපහසු, ඔවුන් නොකරන, අතපසු කරන දෙය, කිරීමට උගෙනීම ය. වඩා හොඳින් අන් අයට කළ හැකි දේ ඔවුන්ට කරන්නට දෙන්න. අපි ඉන්පසු එකිනෙකාගේ දේ හුවමාරු කර ගමු. ලෝකය අද කැරකෙන්නේ එසේ ය. එය වෙනත් ලෙසකින් කරකවන්නට අපට බැරි ය. කරකවනවා නම් ඒ අපේ විනාශයට ද පාර කපා ගනිමින් ය.

ඔක්සිජන් සහ කොකා කෝලා


38768

“ඉතාමත් ශක්තිමත් යකඩයක් පවා ඔක්සිජන් විසින් මළ කා කුඩු බවට පත් කරනවා ඇත. එයින් පෙනෙන්නේ ඔක්සිජන් වායුවට කෙතරම් හානිකර විය  හැකි ද කියා ය. ඔබේ පෙනහල්ල වඩාත් පරිස්සම් කර ගත යුත්තේ මේ භයානක ඔක්සිජන් වායුවෙනි. ඒ නිසා රෝහලේ දී ඔක්සිජන් දෙන්නට සූදානම් වුනොත් විරුද්ධ වන්න.“ කෙනෙක් එසේ  කියන විට ඉදිරිපත් කරන්නේ කුමක් ද? සාක්කි ද දත්ත ද? නැත. එය තර්කයකි.

ඔක්සිජන් නැතුව අපට ජීවත් විය නොහැකි බව අප දන්නා නිසා මේ කියන කියමන සාක්කියක් ලෙස හෝ දත්තයක් ලෙස අප බාර ගන්නේ නැත. එහෙත් අපව නොමග යවනු සඳහා හෝ නොදැනුවත් කම නිසා හෝ මේ සිදු කරන්නේ තර්කයක් සාක්කියක් ලෙස හුවා දැක්වීම ය.

අප ඔක්සිජන් ගැනත් යකඩ ගැනත් අපේ ජිවිතය ගැනත් දන්නා නිසා එහි ක්‍රියාකාරිත්වයට ඔක්සිජන් වල අවශ්‍යතාවයත් දන්නා නිසා  ඒ තර්කය අමන තර්කයක් හැටියට බාර ගැනීමට නොපැකිළෙමු. එය සාක්කියක් හැටියට කෙසේ වත් නොගනිමු. ඒ නිසා ම එය බැහැර කර දමමු.

ඇතැම් අය යමකට සාක්කි හැටියට ඉදිරිපත් කරන්නේ සාක්කි නොවේ. මෙවැනි තර්කය ය. බොහෝ විට අමන තර්ක ය.

ඔක්සිජන් ගැන ඉදිරිපත් කළ තර්කය සාක්කියක් හැටියට පිළි නොගන්නා ලංකාවේ අපි කෝකාකෝලා වලින් වැසිකිළි වලක තදින් සටහන්ව ඇති පහසු වෙන් ඉවත් කළ නොහැකි කුණුපැල්ලම් පවා ඉවත්ව යන බව පෙන්වා එයින් සිරුරට හානියක් විය හැකි යයි කෙනෙකු කීවොත් එය සාක්කියක් හැටියට පිළිගැනීමට මැලි නොවෙමු. මා මේ කියන්නේ සැවොම ගැන නොවේ. අතිමහත් බහුතරය ගැන ය. මේ තර්කය සාක්කියක් හැටියට මූණු පොතේ සිය දහස්වර බෙදා හදා ගනු මා දැක තිබේ.

(කෝකා කෝලා වල ගුණ අගුණ වෙනම කතා කළ යුතු එකකි. එය අපේ නොව පෝෂණ විශේෂඥයෙකුගේ කාර්යයකි. එහෙත් මේ කියන්නේ කෝකා කෝලා වලින් පහසුවෙන් නොයන කුණු පැල්ලමක් ඉවත් කළ හැකි යැයි පෙන්වා කොකා කෝලා සියල්ල ඛාදනය කරන භයානක එකක් යැයි පෙන්වීම ගැන ය.)

ඒ කියන්නේ අපට හුරු පුරුදු දේ සම්බන්ධයෙන් කෙසේ වෙතත් නුහුරු නුපුරුදු දේ සම්බන්ධයෙන් නම් අපි තර්ක සාක්කි හැටියට වරදවා තේරුම් ගන්නා බව ය. ඔක්සිජන් කතාව සිනා සී බැහැර කරන අප ම කෝකා කෝලා කතාව බදා ගෙන බෙදා ගන්නා බව ය.

විද්‍යාවට සියලු දේ විස්තර කළ නොහැකි ය. එය අප නිතර අසා ඇති කතාවකි (විද්‍යාවට සියලු දේ විස්තර කළ නොහැකි ය යන්න නිශ්චිත දත්තයකි. ඒ නිසා එය කතාවකට වැඩි දෙයකි. සත්‍යයකි).

එහෙත් ඒ ප්‍රකාශය ඉදිරිපත් වන්නේ මිත්‍යා විශ්වාස (සාක්කි සහිතව සම්බන්ධයක් සනාථ කළ නොහැකි විශ්වාස) සත්‍යය ලෙස ගැනීමට තර්කයක් හැටියට ය.

නිදර්ශනයක් ගෙන මෙය පැහැදිලි කරගන්නට බලමු. විද්‍යාව තවමත් හොල්මන් වල පැවැත්ම පිළිගන්නේ නැත. කරන ලද පර්යේෂණයන්ගෙන් එවැන්නක පැවැත්මක කිසිම ලෙසකින් හෝ තහවුරු වී නැත. ඒ වෙනුවට එවැනි හොල්මන් දකින අය සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ වලින් අනාවරණය කර ගෙන ඇත්තේ එසේ හොල්මන් දකින පුද්ගලයන් විසින් යම් යම් දේ සිතෙහි මවා ගන්නා බව ය. ඒවා සැබෑ ලෙස ඔවුන්ට හැඟෙන බව ය. එසේ පෙනෙන හැඟෙන දේවල් හැලුසිනේෂන් යනුවෙන් වෛද්‍ය විද්‍යාවේ හඳුනා ගැනේ. එය අසාමාන්‍ය මානසික සංසිද්ධියකි. එවැනි අයට මනෝ වෛද්‍ය වරයෙකුගේ සහය අවශ්‍ය කෙරේ.

හොල්මන් තදින් විශ්වාස කරන ඇතැමෙක් විද්‍යාවේ මේ සොයා ගැනීම අවඥාවෙන් බැහැර කරමින් ඊට විරුද්ධව සාක්කියක් හැටියට ගෙන එන්නේ අප අර කලින් කී විද්‍යාවට සියලු දේ විස්තර කළ නොහැකි යයි කියන කතාව ය. පංචේන්ද්‍රියන්ට අහු නොවන දේ “තිබිය හැකි ය“ යන කතාව ය. හොල්මන් අහු නොවන්නේ විද්‍යාවේ අඩු කමක්  නිසා මිස හොල්මන් නැති නිසා නොවන බව ය.

(අප මෙහි දී තේරුම් ගත යුත්තේ “තිබිය හැකි ය“ යන්න තර්කයක් බවත් “තිබේ ය“ යන්න සාක්කියක් බවත් ය).

“පුදුම වැඩක් නෙ? පංචේන්ද්‍රියන්ට අහුනොවන දේ සම්බන්ධයෙන් සාක්කි සපයන්නේ කෙසේ ද?“ මේ ඉදිරිපත් වන තර්කය යි. අප විසින් එසේ කියන අයගෙන් පෙරලා ප්‍රශ්න කළ යුත්තේ එසේ නම් එවැන්නක පැවැත්ම දැන ගත්තේ කෙසේ ද යන්න ය. ඊට උත්තර තිබේ. ඒවා දැන ගැනීමට විශේෂ බලයක් අවශ්‍ය බව ය. එය ද තර්කයක් මිස සාක්කියක් නොවේ. එසේ නම් යම් කෙනෙකුට එවන් විශේෂ බලයක් තිබෙන බව අප දැන ගන්නේ කෙසේ ද?

එය දැන ගත හැකි ක්‍රමයක් නැත. එය අප විසින් විශ්වාස කළ යුතු ය. මක් නිසා ද යත් විද්‍යාවට හැම දෙයක් ම තේරුම් කළ නොහැකි නිසා ය.

දැන් නැවතත් සිදුවන්නේ “විද්‍යාවෙන් සියලු දේ විස්තර කළ නොහැකි ය“ යන සාක්කිය (නිශ්චිත දත්තය) තර්කයක් හැටියට ඉදිරිපත් වීම ය.

ඒ කියන්නේ ඇතැම් විට සාක්කි හා නිශ්චිත දත්ත, තර්ක හැටියට ද අප විසින් ගෙන එන බව ය. ඉදිරිපත් කරන බව ය. එහෙම බැලුවහම පෙනෙන්නේ මේ දෙක – සාක්කි හා තර්ක – අපේ වාසියට කලවම් කර පාවිච්ච් කිරීමට අප විසින් කටයුතු කරන බව ය.

සත්‍යය සෙවීමට සූදානම් කවරෙකු වුව ද මුලින් ම කළ යුත්තේ සාක්කි හා තර්ක කියන මේ දෙකේ වෙනස වටහා ගැනීම ය. සාක්කි, සාක්කි හැටියටත් – තර්ක, තර්ක හැටියටත් පටලවා ගන්නේ නැතුව දැකීම ය. සාක්කි, තර්ක හැටියටත් – තර්ක, සාක්කි හැටියටත් ඉදිරිපත් කරන බව දැන විමසුම් ඇසකින් ඒවා දෙස බැලීම ය.

එහෙම නොකරන කෙනෙකුට සත්‍යය මුණ ගැසෙන්නේ නැත. ඒ නිසා ම එවන්නෙකු රැවටිල්ලට පහසුවෙන් ම ගොදුරු වන්නේ ය.

මිත්‍යාව ගොඩ නැගෙන්නේ මේ කළවම් කිරීමට අමතරව බොළඳ තර්කයන් ද ගෙන එමිනි.

“මේ ගැන පොතකත් තිබුන. අහවල් පුද්ගලයාත් කියල තියෙනව. පිළිනොගන්නෙ ටික දෙනෙක් විතරයි. බහුතරයක් විශ්වාස කරනව. එහෙම තමයි විදිහ. කොච්චර කාලයක් තිස්සෙ තියෙන කතාවක් ද? බොරුවක් නම් ඔච්චර කල් ඕක තියෙන්නෙ කොහොම ද?“ මේ සියල්ල තර්ක ය. එහෙත් ඒවා කමකට නැති තර්ක ය. පුහු තර්ක ය.

මේ සංවාදය ඉදිරිපත් කළේ කළමනාකරුවන් ද සෙසු මිනිසුන් මෙන් ම මේ මුලා වේ සිටින නිසා ය. ඒ නිසා ම වැරදි නිගමනයන්ට එළඹෙන නිසා ය. එම නිගමන විසින් මෙහෙයවනු ලැබ සිය අනුගාමිකයන් ද ආයතන ද අමාරුවේ දමන නිසා ය.

කළ යුත්තේ සාක්කි විමසීම ය. ඒ සාක්කි වල සත්‍යතාවය විමසීම ය. ඊළග පියවර ඒ සාක්කි ද සමග ගොඩ නගන තර්ක විමසීම ය. ඒ තර්ක වල නිරවද්‍යතාවය සාවද්‍යතාවය පිළිවිසීම ය. තුන්වෙනි පියවර ඒ සාක්කි සහ තර්ක විසින් අවසාන නිගමනය ගොඩ නගන අයුරු විමසිම ය. එහි හිස්තැන් හා නොගැලපෙන තැන් තිබේ දැයි බැලීම ය. නිගමනය බාර ගත යුත්තේ ඒ සියල්ල අවසානයේ ය.

ඇතුවත් බැරි නැතුවත් බැරි සැළසුම්


එන එන විදිහට ජිවිතය පිළිගැනීම එක් විදිහකි. සැළසුම් ඇති ව ජීවිතයට මුහුණ දීම තව විදිහකි. බොහෝ කළමනාකරණ පොත් වල ද කළමනාකරණ ගුරුවරුන්ගේ උපදෙස් වල ද ඉගැන්වීම නම් සාර්ථක මිනිසෙකු විමට දෙවැන්න අනුගමනය කළ යුතු බව ය. සාර්ථක ආයතනයකට නම් දෙවැන්න නැතිවම බැරි බව ය.

සැළසුමක වැදගත් ම දෙය ඉලක්කයක් තිබීම ය. ඒ ඉලක්කයට යා හැකි මාවතක් ඒ තුළ නිශ්චය කර තිබීම ය. එම මාවතේ ගමන් කිරීමේ දී අනුගමනය කළ යුතු උපාය මාර්ගයක් (නිශ්චිත වාහනයක්) හඳුනා ගෙන තිබීම ය. ඒ උපායමාර්ගය අනුගමනය කරමින් කළ යුතු විවිධ වැඩ කොටස් අඳුනා ගෙන තිබීම ය. ඒවාට අවශ්‍ය සම්පත් හඳුනා ගෙන තිබීම ය. ඒ එක් එක් වැඩ කොටස එක් එක් අයට හෝ කණ්ඩායමට පවරා තිබීම ය. එම අයට හෝ කණ්ඩායමට හඳුනා ගත් එම සම්පත් ලබා දීමට ඒ අනුව හැකි වෙන අතර මේ සියල්ල නිසා වැඩ කටයුතු ඒ සැලසුමට අනුව සිදු වේ දැයි බැලීමට ද හැකි වේ. පසු විපරම් කිරීමට හැකි වේ. අඩුපාඩුවක් තිබේ නම් ඒ පිළිබඳ හේතු සොයා පිළියම් යෙදීමට හැකි වේ. ඒ ක්‍රියාවලිය තුළ ඉලක්කය කරා යා හැකි වේ.

එන එන විදිහට කටයුතු කිරීමේ දී ඉලක්කයට අමතරව වෙන කිසිවක් නැති නිසා ව්‍යාකූලත්වයක් ඇති වේ. කවුරුන් විසින් කුමක් කළ යුතු දැයි නොදැන මිනිසුන් අතරමං වේ. සම්පත් අවශ්‍ය යැයි මතක් වන්නේ වැඩ ආරම්භ කළ විට ය. අනුගමනය කළ යුතු උපාය මාර්ග හඳුනා ගෙන නොතිබීම නිසා ආරම්භ කරන වැඩ අසාර්ථක වේ. ඉලක්කය කරා යන මාවත හඳුනා ගෙන නැති නිසා විවිධ මාවත් වල ගමන් කරන්නට උත්සහ කොට අතරමං වේ.

මේ කාරණා සියල්ල බැලූ විට පෙනෙන්නේ සැලසුම් කිරීමේ වැදගත් කම ය.

එහෙත් අභාග්‍ය නම් බොහෝ දෙනෙකු මේ සැළසුම් ක්‍රියාවලිය තුළ සිරකරුවන් බවට පත් වීම ය. සැලසුම ඉතා විස්තීරණ එකක් බවට පත් කර ගැනීමට යෑම තුළ එහි සිර වීම ය. ඒ සැලසුම තෙල් කඩදාසියක පැන්සලෙන් අඳින දළ සැළැස්මක් වනු වෙනුවට එය සුදු කඩදාසියක නොමැකෙන තීන්තයෙන් ඇඳී දෘඪ සැලැස්මක් කිරිම නිසා ඇති කර ගන්නා අවුල ය. සැලසුම තුළ අනවශ්‍ය විස්තර ඇතුළත් කිරීමට කටයුතු කිරීම නිසා ඇති කර ගන්නා අවුල ය. ඒ තුළ නිරපරාදේ කාලය වැය කරමින් කර ගන්නා අවුල ය. කොහොමටත් පසුව වෙනස් කළ යුතු ව තිබෙන දෙයක් වෙනුවෙන් වටිනා කාලය වෙන් කිරීමේ අවුල ය. මේ සියල්ල හරහා සැලසුම මග පෙන්වන දෙයක් බවට නොව හිර කරන දෙයක් බවට පත් කර ගැනීම ය.

ඒ නිසා සිදු වන්නේ පරිසරයේ සිදු වන වෙනස් කම් වලට සංවේදී ව සැලසුම නැවත විමසන්නට අපොහොසත් වීම ය. අනවශ්‍ය කාලයක් ගෙන සකස් කරන ලද එකක් නිසා එය නොගැලපෙන බව පෙනි පෙනීත් එය අතැරීමට නොහැකි වීම ය. එසේ නොකොට වෙනස් කරන්නට අමාරුවෙන් කැමති වූ කල ද නැවතත් සිදු වන්නේ නව විස්තීර්ණ දෘඪ සැලැස්මක් සඳහා තවදුරටත් කාලය ගැනීම ය. එසේ ගෙන නැවතත් අමාරු වැටීමට මං පාදා ගැනීම ය. අන්තිමට කාලය ගත කර ඇත්තේ සැලැස්ම හදන්නට පමණක් බව පෙනී යන විට කෝච්චිය ගිහින් ඉවර ය. වසරේ වැඩි කාලයක් ගත කර ඉවර ය.

අද අප ජිවත් වන්නේ වේගයෙන් වෙනස් වන සමාජයක ය. ඒ තුළ නිත්‍ය සැලසුමකට ඉඩක් නැත. එයින් අදහස් කරන්නේ අවට වෙනස්වීම් සැළකිල්ලට ගෙන අප ද වෙනස් විය යුතු බව ය. අපේ උපායමාර්ග ඒ අනුව වෙනස් විය යුතු බව ය. අප කළ යුත්තේ අපට මග පෙන්වන දළ සැලැස්මක් ඇඳ ගමන ආරම්භ කිරීමට ය. ගමන තුළ නැවත නැවතත් සැලැස්ම විමසීම ය. විස්තර ගමනට පෙර නොව ගමන සමග ගොඩ නැගීම ය.

ඊළගට අප විසින් සැළකිය යුතු කාරණය වන්නේ අප සැලසුම් කරන්නේ කුමන ආකාරයේ කටයුත්තක් ද යන්න ගැන වැටහීමක් ඇතිව සැලසුම් කිරීමේ ක්‍රියාවලියට අවතීර්ණය වීමට ය. එය එළඹෙන වර්ෂය වෙනුවෙන් අපේ ආයතනයේ වාර්ෂික සැලැස්ම නම් අපට එය තරමක් විස්තර සහිතව කිරිමේ හැකියාව තිබේ. ඒ අප කරන කටයුතු හා ඒ කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී අපට අවශ්‍ය සම්පත් මෙන් ම මතුවන අභියෝග ගැන ද අපට පූර්ව දැනුමක් ඇති කර ගත හැකි නිසා ය.

එහෙත් අප කරන්නට යන්නේ නව වෙනසක් නම් එහි දී අපට සිදු වන්නේ පළල් ඉලක්කයන් හා අනුමාන උපායමාර්ගයන් සහිතව අවිනිශ්චිත ගමනක යන්නට ය. එවැනි තැනක විස්තිර්ණ වැඩ පිළිවෙලක් ගොඩ නැගීමට වැය කරන කාලය නාස්තියකි.

උදාහරණයක් ලෙස අපට වහලයේ ඇතැම් ලී දිරාපත් ව ඇති නිසා අලුත්වැඩියා කරන්නට සිදු වූවා යැයි සිතමු. වහල ගැලවීමෙන් තොරව කොපමණ ලී අවශ්‍ය වේදැයි අපට කිව නොහැකි ය. ඒ නිසා ම අපට අනුගමනය කරන්නට වෙන උපාය මාර්ගය ද කල් ඇති ව කිව නොහැකි ය. එය අලුතින් වහලයක් හදනවාට වඩා සංකීර්ණ ය. ඒ නිසා ම විස්තර සහිතව සැලසුම් කළ නොහැකි ය.

මීට සමානව ආයතනික වෙනස්කමක් ද විස්තර ඇතිව සැලසුම් කළ නොහැකි ය. එය වෙනස ක්‍රියාත්මක කරන්නට යන විට මතු වන අභියෝග කළමනාකරණය කරමින් කළ යුතුව ඇති වැඩකි. අලුත්ම ආයතනයක් පිහිටුවනවාට වඩා සංකීර්ණ වැඩකි.

වෙනත් ඕනෑම කටයුත්තක දී මෙන්ම සැලසුම් කිරීමේ දි ද දැනගියොත් කතරගම ය – නොදැන ගියොත් අතරමග ය. බොහෝ දෙනෙකුට සිදු වන්නේ එක තැනක එක තත්වයක් යටතේ කළ යමක් තව තැනක තව තත්වයක් යටතේ ද කිරීමට ගොස් අනාගන්නට ය. එසේත් නැත්නම් කළමනාකරණ දේශකයෙකු පුහුණු සැසියක දී කී දෙයක් විමසීමකින් තොරව කරන්නට ගොස් අනා ගන්නට ය.

සැලසුම අවශ්‍ය ය. ඕනෑ ම දෙයක් මෙන් ම එය ද මාත්‍රාව ඉක්මවා භාවිතා කිරීමෙන් කෙනෙකු රෝගී විය හැකි ය.