නිපදවිය යුත්තේ මොනවා ද?


38304

සමහරු නම් කියන්නේ රබර් කිරි නිපදවන අප මකන කෑල්ලක්වත් හදාගන්නේ නැතිව ඒ භාණ්ඩෙත් චීනෙන් ගෙන්වන බව ය. මට නම් ඒ ගැන ලොකු අරෝවක් නැත. ඒ අප ලෝකයේ විශාලම ගුවන් යානා වලට අවශ්‍ය ටයර් නිපදවමින් ඉන්නා නිසා ය. තව සමහරු කියන්නේ අප අල්පෙනිත්තක්වත් හදා ගන්නට බැරුව ඉන්නා බව ය. ලෝකයේ විශාල සමාගම් වලට අපේ සමාගම් මෘදුකාංග පද්ධති විකුණන තාක් එහි ද අවුලක් මට නම් පෙනෙන්නේ නැත.

කෙනෙකු කළ යුත්තේ ඔහු හෝ ඇය වඩාත් දක්ෂ දෙය ය. වෙන කෙනෙකුට පහසුවෙන් කරන්නට බැරි දේ ය. වැඩි අගයක් තමන්ට එකතු කළ හැකි දේ ය.

අමරදේව සිංදු කියන එක නවත්වා ගොවිතැන් කරන්නට යෑමේ තේරුමක් නැත. ඇත්තටම වරක් එක කට කැඩිච්ච එකෙක් අමරදේවගෙන් ඇසූ ප්‍රශ්නයකට අමරදේවගේ උත්තරය වී ඇත්තේ මට කියන්නේ උදැල්ලක් අරන් කුඹුරට බහින්නට දැයි කියා ය. ගොවිතැන් කළ හැකි අය බොහෝ ය. එහෙත් අමරදේව මෙන් ගායනා කරන්නට හැකි අය අඩු ය. එහෙම තියාගෙන අමරදේවට කුඹුරට බහින්නට කියන්නේත් තමන්ගේ දේ තමන් හදා ගත යුතු යැයි කියන්නේත් වත්මන් ලෝකය වැඩ කරන්නේ කෙසේදැයි නොදන්නා අය ය.

මෙය ඇගිල්ලෙන් ඇන කිව යුතු දෙයක් නම් නොවේ. එහෙත් කියන්නට සිදු ව තිබෙන්නේ මිනිසුන් සරල තර්කයක් දෙසා බෑමෙන් ශාස්ත්‍රී සංවාදයන් කරන්නට අර අඳින නිසා ය.

මතුපිටින් බැලුවහම වැඩේ ඇත්ත ය. මකන කෑල්ලක් අල්පෙනිත්තක් යනු සුළු දේ ය. ඒවාත් පිටින් ගෙන්වීම කරුමයක් ලෙස දකින්නම වටින්නේ ය. එහෙත් එසේ කියන අය අමතක කරන කාරණය නම් ලංකාවේ මේ පුංචි දේ සඳහා ඇති වෙළඳ පොළ අතිශයින් කුඩා බව ය. අප ඒවා නිපදවන්නේ නම් ලෝකය ඉලක්ක කර ගත යුතු බව ය. අනෙක් අතට දියුණු වී ඇතැයි කියන චීනයේ තවමත් අපට වඩා අඩු මිලකට ශ්‍රමය මිලට ගත හැකි ය. එහෙව් රටක් සමග තරග කර අල්පෙනිත්ති නිපදවීමට යෑම නුවණට හුරු නැත.

අප කළ යුත්තේ වඩා ලොකු දේ නිපදවීමට ඉදිරිපත් වීම ය. ලංකාවට නොව, ලෝක වෙළඳ පොලට එවැනි දේ සැපයීමට ඉදිරිපත් වීම ය. ගුවන්යානා ටයර් හා පරිගණක මෘදුකාංග එවැනි ලොකු දේ සඳහා උදාහරණ දෙකක් පමණ ය.

එය පහසු නැත. කියන තරම් පහසු නැත. එය තනිව කළ හැකි කටයුත්තක් ද නොවේ. විදේශ ආයෝජන, දියුණු තාක්ෂණය, ක්‍රමවත් කළමනාකරණය වැනි දෑ ඒ සඳහා අවශ්‍ය ය. විදෙස් වෙළඳ පොලවල් සමග ගනුදෙනු කරන මහා පරිමාණ වෙළෙන්දන් සමග ජාල ගත වීම ද අවශ්‍ය ය. වත්මන් ලෝකයේ තනිව යා හැකි ඉඩ සහ දුර අල්ප ය. සන්ධාන ගත වීම අවශ්‍ය ය. එකිනෙකා මත යැපෙන්නට සූදානම් අයට පමණක් අද ලෝකය විවෘත ව ඇත.

එහෙත් බොහෝ දෙනා එයට සූදානම් නැත. ඔවුන් සූදානම් වන්නේ සුරක්ෂිත ලාංකික වෙළඳ පොලක් තුළ තම නිශ්පාදන විකුණන කුඩා ව්‍යවසායකයෙකු වීම ට ය.

ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙකු රජයෙන් ඉල්ලා සිටින්නේ විදේශ ආයතන සමග සම්බන්ධ විය හැකි වාතාවරණයක් රට තුළ ගොඩ නගන ලෙස නොවේ. විදේශිකයන් පන්නා දමා තනියම රජ විය හැකි වෙළඳ පොලක් ලංකාවේ ව්‍යාපාරිකයන්ට හදා දෙන ලෙස ය. කොටින් ම චීනයෙන් මකන කෑලිත් අල්පෙනිත්තිත් ගෙන්වන එක නතර කර දෙන ලෙස ය.

බොහෝ ව්‍යාපාරිකයන් රජය ඇති කරගන්නා වෙළඳ ගිවිසුම් දෙස බලන්නේ ම තමන්ගේ සුරක්ෂිත වෙළඳපොල ආක්‍රමණය කිරීමට පිටරැටියන්ට අවසර දෙන වෑයමක් ලෙස ය. රට පාවා දිමක් ලෙස ය. දේශීය නිෂ්පාදකයන්ට පිටුපෑමක් ලෙස ය. දේශීය වෘත්තිකයන්ට රැකියා අහිමි කිරීමේ උත්සහයක් ලෙස ය. මේ පිරිස් අවි අමෝරාගෙන වීදී බහින්නේ ඒ නිසා ය.

අප ලෝක වෙළඳ පොලට අවතීර්ණ වීමට අදහස් කරන්නේ නම් තනියම යන දේශීය ගමනකින් නම් එය කළ නොහැකි ය. ඒ සඳහා අපේ අඩුපාඩු සම්පූර්ණ කර ගත හැකි සන්ධානයන් අවශ්‍ය ය. විදේශ සන්ධානයන් අවශ්‍ය ය. තාක්ෂණික සන්ධානයන් අවශ්‍ය ය. කළමනාකරණ සන්ධානයන් අවශ්‍ය ය. වෙළඳ සන්ධානයන් අවශ්‍ය ය. අයෝජකයන් අවශ්‍ය ය. දැනුම සහිත විශේෂඥයන් අවශ්‍ය ය.

අපේ උපායමාර්ගය මේ නව අවස්ථාවන් ඉදිරියේ පසු බැසීම නම්, තරගයක් නොදීම පරාජය පිළිගෙන පසු බැසීම නම්, දේශීය බැනර් එකට මුවා වී රැකවරණ පැතීම නම්, අපට අනාගතයක් නැත.

රට ගැන අප කී කතාව ආයතන සම්බන්ධයෙන් ද එක සේ අදාළ ය.

ආයතනයක් නිපදවිය යුත්තේ ආයතනයට වඩාත් වැඩි අගයක් ඇති කළ හැකි දේ ය. සෙසු දේ, ඒ ඒ අංශයේ දක්ෂ ආයතන මගින් සපයා ගත යුතු ය. අපේ ආයතනය මුද්‍රණය අතින් ඉහළ ප්‍රමිතියක් ඇති කර ගෙන තිබේ. අප අපට අවශ්‍ය කඩදාසි ද නිපදවා ගත යුතු යැයි සිතා ඒ කර්මාන්තයට ද අත නොගැසිය යුතු ය. එය වඩාත් හොඳින් කළ හැකි අන් අය ඉන්නා තාක් වත් එසේ නොකළ යුතු ය. අප ඒ කර්මාන්තයට පිවිසිය යුත්තේ ඒ කර්මාන්තයේ නියැලී සිටින අය නොකරන යමක්, ඔවුන් නොකරන තරමේ කාර්යක්ෂමතාවයකින් යුතු ව, අපට කළ හැකි නම් ය. අප ප්‍රකාශනයේ වගකීම ද බාර නොගත යුතු ය. එසේ කරනවා නම් අප එය කළ යුත්තේ වෙනත් ප්‍රකාශණ ආයතන නොකරන යමක්, ඔවුන් නොකරන තරමේ කාර්යක්ෂමතාවයකින් යුතු ව, කළ හැකි නම් පමණ ය.

අප මේ උදාහරණ ගෙනාවේ ඇතැම් ආයතන මේ පිළිබඳ තැකීමකින් තොරව තමන්ගේ සැපයුම් දම්වැලේ අනිත් පුරුක් ද අල්ලන්නට ගොස් ඇතැම් විට අනා ගන්නා නිසා ය.  ඇන ගන්නා නිසා ය.

සැපයුම් දම්වැලේ පාලනය අපට ලබා ගත හැකි නම් හොඳ ය. ඒ අපට අන් ආයතන වල කටයුතු ඊට වඩා හොඳින් කළ හැකි නම් පමණ ය.

අවසාන නිගමනය නම් අප කළ යුත්තේ අපට වඩාත් හොඳින් කළ හැකි දේ පමණක් බව ය. අප වඩ වඩා උත්සහ කළ යුත්තේ වෙන අයට කරන්නට අපහසු, ඔවුන් නොකරන, අතපසු කරන දෙය, කිරීමට උගෙනීම ය. වඩා හොඳින් අන් අයට කළ හැකි දේ ඔවුන්ට කරන්නට දෙන්න. අපි ඉන්පසු එකිනෙකාගේ දේ හුවමාරු කර ගමු. ලෝකය අද කැරකෙන්නේ එසේ ය. එය වෙනත් ලෙසකින් කරකවන්නට අපට බැරි ය. කරකවනවා නම් ඒ අපේ විනාශයට ද පාර කපා ගනිමින් ය.

Advertisements