ඔක්සිජන් සහ කොකා කෝලා


38768

“ඉතාමත් ශක්තිමත් යකඩයක් පවා ඔක්සිජන් විසින් මළ කා කුඩු බවට පත් කරනවා ඇත. එයින් පෙනෙන්නේ ඔක්සිජන් වායුවට කෙතරම් හානිකර විය  හැකි ද කියා ය. ඔබේ පෙනහල්ල වඩාත් පරිස්සම් කර ගත යුත්තේ මේ භයානක ඔක්සිජන් වායුවෙනි. ඒ නිසා රෝහලේ දී ඔක්සිජන් දෙන්නට සූදානම් වුනොත් විරුද්ධ වන්න.“ කෙනෙක් එසේ  කියන විට ඉදිරිපත් කරන්නේ කුමක් ද? සාක්කි ද දත්ත ද? නැත. එය තර්කයකි.

ඔක්සිජන් නැතුව අපට ජීවත් විය නොහැකි බව අප දන්නා නිසා මේ කියන කියමන සාක්කියක් ලෙස හෝ දත්තයක් ලෙස අප බාර ගන්නේ නැත. එහෙත් අපව නොමග යවනු සඳහා හෝ නොදැනුවත් කම නිසා හෝ මේ සිදු කරන්නේ තර්කයක් සාක්කියක් ලෙස හුවා දැක්වීම ය.

අප ඔක්සිජන් ගැනත් යකඩ ගැනත් අපේ ජිවිතය ගැනත් දන්නා නිසා එහි ක්‍රියාකාරිත්වයට ඔක්සිජන් වල අවශ්‍යතාවයත් දන්නා නිසා  ඒ තර්කය අමන තර්කයක් හැටියට බාර ගැනීමට නොපැකිළෙමු. එය සාක්කියක් හැටියට කෙසේ වත් නොගනිමු. ඒ නිසා ම එය බැහැර කර දමමු.

ඇතැම් අය යමකට සාක්කි හැටියට ඉදිරිපත් කරන්නේ සාක්කි නොවේ. මෙවැනි තර්කය ය. බොහෝ විට අමන තර්ක ය.

ඔක්සිජන් ගැන ඉදිරිපත් කළ තර්කය සාක්කියක් හැටියට පිළි නොගන්නා ලංකාවේ අපි කෝකාකෝලා වලින් වැසිකිළි වලක තදින් සටහන්ව ඇති පහසු වෙන් ඉවත් කළ නොහැකි කුණුපැල්ලම් පවා ඉවත්ව යන බව පෙන්වා එයින් සිරුරට හානියක් විය හැකි යයි කෙනෙකු කීවොත් එය සාක්කියක් හැටියට පිළිගැනීමට මැලි නොවෙමු. මා මේ කියන්නේ සැවොම ගැන නොවේ. අතිමහත් බහුතරය ගැන ය. මේ තර්කය සාක්කියක් හැටියට මූණු පොතේ සිය දහස්වර බෙදා හදා ගනු මා දැක තිබේ.

(කෝකා කෝලා වල ගුණ අගුණ වෙනම කතා කළ යුතු එකකි. එය අපේ නොව පෝෂණ විශේෂඥයෙකුගේ කාර්යයකි. එහෙත් මේ කියන්නේ කෝකා කෝලා වලින් පහසුවෙන් නොයන කුණු පැල්ලමක් ඉවත් කළ හැකි යැයි පෙන්වා කොකා කෝලා සියල්ල ඛාදනය කරන භයානක එකක් යැයි පෙන්වීම ගැන ය.)

ඒ කියන්නේ අපට හුරු පුරුදු දේ සම්බන්ධයෙන් කෙසේ වෙතත් නුහුරු නුපුරුදු දේ සම්බන්ධයෙන් නම් අපි තර්ක සාක්කි හැටියට වරදවා තේරුම් ගන්නා බව ය. ඔක්සිජන් කතාව සිනා සී බැහැර කරන අප ම කෝකා කෝලා කතාව බදා ගෙන බෙදා ගන්නා බව ය.

විද්‍යාවට සියලු දේ විස්තර කළ නොහැකි ය. එය අප නිතර අසා ඇති කතාවකි (විද්‍යාවට සියලු දේ විස්තර කළ නොහැකි ය යන්න නිශ්චිත දත්තයකි. ඒ නිසා එය කතාවකට වැඩි දෙයකි. සත්‍යයකි).

එහෙත් ඒ ප්‍රකාශය ඉදිරිපත් වන්නේ මිත්‍යා විශ්වාස (සාක්කි සහිතව සම්බන්ධයක් සනාථ කළ නොහැකි විශ්වාස) සත්‍යය ලෙස ගැනීමට තර්කයක් හැටියට ය.

නිදර්ශනයක් ගෙන මෙය පැහැදිලි කරගන්නට බලමු. විද්‍යාව තවමත් හොල්මන් වල පැවැත්ම පිළිගන්නේ නැත. කරන ලද පර්යේෂණයන්ගෙන් එවැන්නක පැවැත්මක කිසිම ලෙසකින් හෝ තහවුරු වී නැත. ඒ වෙනුවට එවැනි හොල්මන් දකින අය සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ වලින් අනාවරණය කර ගෙන ඇත්තේ එසේ හොල්මන් දකින පුද්ගලයන් විසින් යම් යම් දේ සිතෙහි මවා ගන්නා බව ය. ඒවා සැබෑ ලෙස ඔවුන්ට හැඟෙන බව ය. එසේ පෙනෙන හැඟෙන දේවල් හැලුසිනේෂන් යනුවෙන් වෛද්‍ය විද්‍යාවේ හඳුනා ගැනේ. එය අසාමාන්‍ය මානසික සංසිද්ධියකි. එවැනි අයට මනෝ වෛද්‍ය වරයෙකුගේ සහය අවශ්‍ය කෙරේ.

හොල්මන් තදින් විශ්වාස කරන ඇතැමෙක් විද්‍යාවේ මේ සොයා ගැනීම අවඥාවෙන් බැහැර කරමින් ඊට විරුද්ධව සාක්කියක් හැටියට ගෙන එන්නේ අප අර කලින් කී විද්‍යාවට සියලු දේ විස්තර කළ නොහැකි යයි කියන කතාව ය. පංචේන්ද්‍රියන්ට අහු නොවන දේ “තිබිය හැකි ය“ යන කතාව ය. හොල්මන් අහු නොවන්නේ විද්‍යාවේ අඩු කමක්  නිසා මිස හොල්මන් නැති නිසා නොවන බව ය.

(අප මෙහි දී තේරුම් ගත යුත්තේ “තිබිය හැකි ය“ යන්න තර්කයක් බවත් “තිබේ ය“ යන්න සාක්කියක් බවත් ය).

“පුදුම වැඩක් නෙ? පංචේන්ද්‍රියන්ට අහුනොවන දේ සම්බන්ධයෙන් සාක්කි සපයන්නේ කෙසේ ද?“ මේ ඉදිරිපත් වන තර්කය යි. අප විසින් එසේ කියන අයගෙන් පෙරලා ප්‍රශ්න කළ යුත්තේ එසේ නම් එවැන්නක පැවැත්ම දැන ගත්තේ කෙසේ ද යන්න ය. ඊට උත්තර තිබේ. ඒවා දැන ගැනීමට විශේෂ බලයක් අවශ්‍ය බව ය. එය ද තර්කයක් මිස සාක්කියක් නොවේ. එසේ නම් යම් කෙනෙකුට එවන් විශේෂ බලයක් තිබෙන බව අප දැන ගන්නේ කෙසේ ද?

එය දැන ගත හැකි ක්‍රමයක් නැත. එය අප විසින් විශ්වාස කළ යුතු ය. මක් නිසා ද යත් විද්‍යාවට හැම දෙයක් ම තේරුම් කළ නොහැකි නිසා ය.

දැන් නැවතත් සිදුවන්නේ “විද්‍යාවෙන් සියලු දේ විස්තර කළ නොහැකි ය“ යන සාක්කිය (නිශ්චිත දත්තය) තර්කයක් හැටියට ඉදිරිපත් වීම ය.

ඒ කියන්නේ ඇතැම් විට සාක්කි හා නිශ්චිත දත්ත, තර්ක හැටියට ද අප විසින් ගෙන එන බව ය. ඉදිරිපත් කරන බව ය. එහෙම බැලුවහම පෙනෙන්නේ මේ දෙක – සාක්කි හා තර්ක – අපේ වාසියට කලවම් කර පාවිච්ච් කිරීමට අප විසින් කටයුතු කරන බව ය.

සත්‍යය සෙවීමට සූදානම් කවරෙකු වුව ද මුලින් ම කළ යුත්තේ සාක්කි හා තර්ක කියන මේ දෙකේ වෙනස වටහා ගැනීම ය. සාක්කි, සාක්කි හැටියටත් – තර්ක, තර්ක හැටියටත් පටලවා ගන්නේ නැතුව දැකීම ය. සාක්කි, තර්ක හැටියටත් – තර්ක, සාක්කි හැටියටත් ඉදිරිපත් කරන බව දැන විමසුම් ඇසකින් ඒවා දෙස බැලීම ය.

එහෙම නොකරන කෙනෙකුට සත්‍යය මුණ ගැසෙන්නේ නැත. ඒ නිසා ම එවන්නෙකු රැවටිල්ලට පහසුවෙන් ම ගොදුරු වන්නේ ය.

මිත්‍යාව ගොඩ නැගෙන්නේ මේ කළවම් කිරීමට අමතරව බොළඳ තර්කයන් ද ගෙන එමිනි.

“මේ ගැන පොතකත් තිබුන. අහවල් පුද්ගලයාත් කියල තියෙනව. පිළිනොගන්නෙ ටික දෙනෙක් විතරයි. බහුතරයක් විශ්වාස කරනව. එහෙම තමයි විදිහ. කොච්චර කාලයක් තිස්සෙ තියෙන කතාවක් ද? බොරුවක් නම් ඔච්චර කල් ඕක තියෙන්නෙ කොහොම ද?“ මේ සියල්ල තර්ක ය. එහෙත් ඒවා කමකට නැති තර්ක ය. පුහු තර්ක ය.

මේ සංවාදය ඉදිරිපත් කළේ කළමනාකරුවන් ද සෙසු මිනිසුන් මෙන් ම මේ මුලා වේ සිටින නිසා ය. ඒ නිසා ම වැරදි නිගමනයන්ට එළඹෙන නිසා ය. එම නිගමන විසින් මෙහෙයවනු ලැබ සිය අනුගාමිකයන් ද ආයතන ද අමාරුවේ දමන නිසා ය.

කළ යුත්තේ සාක්කි විමසීම ය. ඒ සාක්කි වල සත්‍යතාවය විමසීම ය. ඊළග පියවර ඒ සාක්කි ද සමග ගොඩ නගන තර්ක විමසීම ය. ඒ තර්ක වල නිරවද්‍යතාවය සාවද්‍යතාවය පිළිවිසීම ය. තුන්වෙනි පියවර ඒ සාක්කි සහ තර්ක විසින් අවසාන නිගමනය ගොඩ නගන අයුරු විමසිම ය. එහි හිස්තැන් හා නොගැලපෙන තැන් තිබේ දැයි බැලීම ය. නිගමනය බාර ගත යුත්තේ ඒ සියල්ල අවසානයේ ය.

Advertisements