ජාතිය ඇමතීමේ වැරදුණු තැන් හරහා සන්නිවේදනය ඉගෙනීම


Image

ජනාධිපති තුමා කෙටි කාලයක් තුළ දෙවැනි වතාවටත් (2021 අගොස්තු 21 දා) ජාතිය ඇමතුුුවේ ය. පළමු වතාවේ සිදු වූ තාක්ෂණික වැරදි රැසක් ඉවත් කර ගැනීමට මෙවර ඔහුට හැකි වී තිබිණි. පළමු දවසේ රාත්‍රී කළ ඇමතීම පටිගත කර තිබුනේ මහ දවල් එලියේ ය. අවට පරිසරය හා නිතර වෙනස් වුනු රූප රාමු කතාවට එලියක් වනු වෙනුවට බාධකයක් ලෙස ක්‍රියා කළේ ය. එය මිනිත්තු 69 ක් දක්වා කාලයක් ද ඇදී ගොස් තිබුනේ ය. ඒ වැරදි කිසිවක් දෙවැනි ඇමතීම තුළ නැත. වැරදි වලින් ඉක්මණින් ඉගෙනීම යහපත් නායකයෙකුගේ ලක්ෂණයකි.

එසේ වුව ද දෙවැනි ඇමතීම තුළ ද බොහෝ කැපී පෙනෙන අඩුපාඩු තිබිණි. මේ සටහනේ අදහස ඒවා මතු කර, විශේෂයෙන් සන්නිවේදනය ඉගෙන ගැනීමට කැමති අයට වඩා දියුණු සන්නිවේදනයක් කිරීමේ දී, විශේෂයෙන් දුෂ්කර අවස්ථාවක එවැන්නක් කිරීමේ දී, අනුගමනය කළ යුතු කාරණා කීපයක් මතක් කර දීමට ය.

අප තේරුම් ගත යුත්තේ ජනාධිපතිතුමාට ජාතිය ඇමතීමට සිදු වුනේ කටුක පීඩාකාරී කාලයක බව ය. ආණ්ඩුවේ ඇතැම් උපාය මාර්ග වැරදී ඒවා නැවත ආපස්සට ගත් පසු බිමක බව ය. කොටින් ම පන්දුවට පහර දීමට තිබුණේ අතිශයින් අවාසිදායක විකැට්ටුවක ය.

නායකයෙකු අතින් වැරදි වීමට පුළුවන. විශේෂයෙන් නව තත්වයන්ට මුහුණ දීමේ දී එසේ සිදු වීමේ ඉඩකඩ වැඩි ය. එහෙත් නායකයෙකුට අනුගාමිකයන්ගේ සමාව පහසුවෙන් ලැබෙන්නේ නැත. විශේෂයෙන් එවැනි වැරදි නිසා අනුගාමිකයන් දැඩි ලෙස පීඩාවට පත් ව ඇති විටක එය අපේක්ෂා කිරීම කොහෙත්ම අපහසු ය. ඔවුන්ගේ අපේක්ෂා භංගත්වය හමුවේ නායකයා අතිශය ප්‍රවේසමෙන් සිය සන්නිවේදනය සිදු නොකළොත් සන්නිවේදනයෙන් වැඩකට වඩා සිදු වන්නේ අවැඩකි. අපේ ජනාධිපතිතුමා ද පත්ව සිටියේ එවන් තත්වයකට ය.

සෑම නායකයෙකුට ම තම නායකත්ව දිවියේ මෙවැනි අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වේ. සමහරු ඒ කඩඉම් ජය ගන්නා අතර සමහරු ඒවා නිසා අසරණ වේ.

තමන් විසින් ගත් තීරණ වැරදී ගිය වටපිටාවක නායකයෙකුට අහිමි වන්නේ අනුගාමිකයන්ගේ විශ්වාසය ය. ඒ විශ්වාසය නැවත ගොඩ නගා ගත යුතු ය. එවන් විටක අනුගාමිකයන් ඇමතීමේ දී ප්‍රමුඛ අරමුණ විය යුත්තේ විශ්වාසය ගොඩ නගා ගැනීම ය.

ඒ සඳහා අවශ්‍ය මූලික ම දේ නම් තම සන්නිවේදනය තුළ අවංක භාවය (sincerity) ප්‍රදර්ශනය වීම ය. තමන් ඇත්ත කියන බව, කිසිදු දෙයක් නොසඟවා ඇත්ත ම කියන බව, ඇත්ත පමණක් කියන බව, ප්‍රදර්ශනය වීම ය. ඒ සඳහා ගත යුතු පියවර ගණනාවකි.

පළමු පියවර තමන් අතින් වූ වැරදි පිළිගැනීම ය. දෙවැනි පියවර ඒ වැරදි සිදු වූ වාතාවරණය පැහැදිලි කර දීම ය. තුන්වෙනි පියවර ඒ වතාවරණය කුමක් වුව ද ඒ වැරදි සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලන බව කියා සිටීම ය. සිව් වෙනි පියවර ඉදිරියේ දී එවන් වැරදි සිදු වීම වැළැක්වීම උදෙසා තමන් ගන්නා පියවර ප්‍රකාශයට පත් කර සිටීම ය. පස් වෙනි පියවර එම වැරදි හදා ගෙන ඉදිරියට යෑමට තමන් බලාපොරොත්තු වන ආකාරය පැහැදිලි කර දීම ය. ඒ ගමනේ දී අනුගාමිකයන්ගෙන් කුමන සහයෝගයක් අපේක්ෂා කරන්නේ ද යන්න කීම ය. ඔවුන්ගෙන් කුමන කැප කිරීම් අපේක්ෂා කරන්නේ දැයි කීම ය. ඒ සියල්ල හරහා පවතින අභියෝගය ජය ගත හැකි වනු ඇති බවට විශ්වාසය පළ කිරීම ය.

එසේ කිරීමෙන් තොරව, තමන් අතින් සිදු වූ වැරදි ගැන කතා නොකර මග හැරීමෙන්, ඒවාට සමාවට කාරණා සැපයීමට ඉදිරිපත් කර පමණ් නැවතීමෙන්, වන්නේ අහිමි වූ විශ්වාසය නැවත ගොඩ නගා ගැනීමට තිබූ ඉඩ නැති කර ගැනීම ය.

මේ අර්බුදය ජයගැනීම ආණ්ඩුවට පමණක් කළ නොහැකි ය. ඒ නිසා ජනතාවගේ සහයෝගය ඒ සඳහා ඉල්ලා සිටීම නිවැරදි ය. ඊට අමතරව ආර්ථිකය අර්බුදය පවතින නිසාත් කෝවිඩ් උවදුර තුළ එය වඩාත් උග්‍රවන නිසාත් ජනතාවගේ පැත්තෙන් කැප කිරීම් අපේක්ෂා කිරීම ද නිවැරදි ය. එහෙත් මිනිසුන්ගෙන් කැප කිරීම් කරන ලෙස ඉල්ලා සිටින නායකයෙකුට අනිවාර්යයෙන් සිදු වන්නේ ඊට සමගාමීව තමන් හා තමන්ගේ ඊළග නායකත්ව ස්ථරය කුමන කැප කිරීම් කරන්නේ ද යන්න පැහැදිලිව කියා සිටීමට ය. එය ද සිදු නොවී ය.

ජනාධිපතිගේ ජාතිය ඇමතීමේ කතාව සකස් කිරීමට මේ සංකල්ප දන්නා කෙනෙකුට දුන්නේ නම් ඔහු / ඇය විසින් ලබා දෙන කතා පිටපත කෙසේ වේ දැයි මම සිතුවෙමි. ඉන්පසු ඒ කල්පිත පිටපත මට නිවැරදි යැයි හැඟෙන ආකාරයට මම ලීවෙමි. පහත සම්බන්ධය ඔස්සේ ඔබට ඒ පිටපතට ප්‍රවේශ විය හැකි ය. එය කියවීම හරහා නායකයෙකුගේ සන්නිවේදනය ගැන ඔබට ඉගෙන ගත හැකි වෙතැයි මම සිතමි.

ඇතැම් විට මට මග හැරණු සමහර කාරණා මෙහි තිබිය හැකි ය. මට වැරදුණු තැන් ද තිබිය හැකි ය. ඒවා පෙන්වා දෙන ලෙස ගෞරවාදරයෙන් ඉල්ලා සිටිනු කැමැත්තෙමි. මෙය සන්නිවේදන අභ්‍යාසයක් හැටියට ම සළකන ලෙස ඉල්ලා සිටිමි. කළමනාකරණය සිංහලෙන් බ්ලොග් අඩවියට මෙය ඇතුළත් කළේ ඒ අර්ථයෙනි.