කාලත්‍රය තුළ දිවි ගෙවීම


ගෙවී ගිය අතීතය පිළිබඳව වැලපීමේ තේරුමක් නැත. එළඹීමට නියමිත අනාගතය ගැන බිය වීමේ තේරුමක් නැත. කළ යුත්තේ මේ මොහොත සතුටින් ගත කිරීම ය. මේ මොහොතේ කළ යුතු දෙය මනා ලෙස කිරීම ය. සතුටින් කිරීම ය. ක්‍රමවත්ව කිරීම ය. කරන දේ පිළිබඳ මනා සිහියෙන් කිරීම ය.

මේ අවවාදය බොහෝ සෙයින් යහපත් එකක් බවට විවාදයක් නැත. අවසන් වූ දෙයක් ගැන පසුතැවිලි වෙමින් දුක් වීම තේරුමක් රහිත එකක් බව සැබෑ ය. එයින් සිදු වන්නේ කාලය අපතේ යැවීම පමණ ය. ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැකි ය. එසේ තිබිය දී අතීතය ගැන පසුතැවිලි වීමේ මිනිස් ස්වභාවයට හේතුව කුමක් ද? ඒ අතීතයේ වැරදි වලින් නිදහස් වීමට අපව දිරි ගැන්වීමට ය. ඒවා නැවත නොවන බවට වග බලා ගත හැක්කේ එසේ කරන කෙනෙකුට ය. පසුතැවිලි නොවන කෙනෙකුට වැරැද්දක් ඇති වූ බව පෙනෙන්නේ නැත. ඒ නිසා වැරැද්ද සොයනු පිණිස අපව පොළඹවන ස්වභාවික සිතුවිල්ලක් ලෙස මේ පසුතැවිල්ල ගත යුතු ය. එහෙත් බොහෝ දෙනෙකු පසුතැවිල්ල ලගම නතර වෙයි. එතැනින් එහාට නොයයි. ප්‍රශ්නය ඇත්තේ එතැන ය. අතීතය ඉගෙනුම සඳහා භාවිතා නොකොට පසුතැවිලි වෙමින් ලත වෙමින් සිටීමට යොදා ගැනේ.

එළැඹී නැති අනාගතය ගැන බිය වීමේ තේරුමක් ද නැත. ඇතැම් විට අප හිතන බොහෝ දේ නොසිදු වන්නට පුළුවන. අපේ බිය හුඹස් බියක් වන්නට ද පුළුවන. එසේ තිබිය දී අප බිය වන්නේ ඇයි? ඒ හෙටට සූදානම් වීමට ය. සිදු විය හැකි දේ පිළිබඳ අවබෝධයෙන් සිටින විට ඒ සඳහා සූදානම් වීමට වුවමනා වෙයි. එවිට අනාගතය එළඹෙන විට අප ඊට සූදානම් ය. වස්සාන කාලය එළඹෙන බව දැන ඉතා ඉක්මණින් කන්න දේ රැස් කරන කූඹුවන් මෙන් මේ සූදානම හෙටට හොඳින් මුහුණ දීමට අපව ලක ලෑස්ති කරන්නේ ය. වැරැද්ද අනාගතය පිළිබඳ බියෙන් අකර්ණම්‍ය වීම ය. ඒ නිසා ම අනාගතය මග හැර යෑමට තැත් කිරීම ය. පෑල දොරින් පලා යෑමට සිතීම ය. වැරැද්ද ඇත්තේ බිය, සූදානම සඳහා උපයෝගී නොකර, එළඹෙන අනාගතය මග හැර යෑමට ඉදිරිපත් වූ විට ය.

වත්මන සතුටින් ගත කළ යුතු ය. ආතතියෙන් තොරව ජීවත් වීමට නම් ඒ ඉස්පාසුව වැදගත් ය. සියල්ල අමතක කොට මේ මොහොත තුළ සතුටින් සිටීම නිසා ම අනාගතයට මුහුණ දීමට අවශ්‍ය නව ජවයකින් අපට ශක්තිමත් විය හැකි ය.

එහෙත් ඒ අතීතයෙන් පාඩම් ඉගෙන ගැනීමට ද අනාගතය සඳහා සූදානම් වීමට ද වෙලාවක් ගන්නා අතරේ ය.

එහෙම නැති අය තමන්ට ද කරදරයක් වී අනුන්ට ද කරදරයක් වන්නට බොහෝ විට ඉඩ තිබේ. ඒ උන් අතීතයෙන් ඉගෙන ගැනීමට වත් අනාගතය සඳහා සූදානම් වීමටත් ලෑස්ති නැති නිසා ය.

ඔවුන් මේ මොහොතේ ආතතියෙන් තොරව ජීවත් වෙතත් අනාගතයේ දී ඔවුන්ට ඒ නිසා ම ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදු විය හැකි නිසා ය.

අප කළ යුත්තේ කාලත්‍රය තුළම ජීවත් වීම ය.

අවාසනාව බොහෝ දෙනා මෙයින් එකක් තෝරා ගෙන ඒ තුළ වැඩිපුර ගැවසීම ය.

අතීතය තෝරාගන්නා බොහෝ අයට අතීතයෙන් නිදහස් වෙන්නට බැරි ය. අතීතය තුළ එකතු කර ගෙන ගොඩ ගසා ගෙන ඇති මනස්ගාත වලින් නිදහස් වීමට බැරි ය. පරණ එදිරිවාදු කම් ගහ මරා ගැනීම් තරහ මරහ අමනාපකම් නිසා ඔවුන් මුළු ජීවිතයම ක්‍රෝධයෙන් වෛරයෙන් ගෙවා දමන්නෝ ය. නැති වී ගිය සුන්දරත්වය ගැන, අහිමිව ගිය සම්පත් ගැන, ක්ෂය වී ගිය වත්කම් ගැන, උදේ හවා කල්පනා කර කර ඉන්නවා හැරෙන්නට කළ හැකි වෙනත් යමක් ඔවුන් දන්නේ නැත. ඔවුහු දහස් වතාවක් මනසින් අතීතයට යන්නෝ ය. නැතිනම් අඩුවශයෙන් ඊට එබිකම් කරන්නෝ ය. මග හැරුණු මඅතීතය නැවත ඇති වෙනු ඇතැයි සිහින දකින්නෝ ය.

අතීතය සම්බන්ධයෙන් ඔවුන් නොකරන දෙය එයින් ඉගෙනීම ය. පාඩම් ඉගෙනීම ය. නැවත නොකළ යුත්තේ කුමක් දැයි විමසීම ය.

අනාගතය තෝරාගන්නා බොහෝ අයට ඒ පිළිබඳව ඇති අවිනිශ්චිතතාවයෙන් නිදහස් වන්නට බැරි ය. එය කෙබඳු විය හැකි දැයි යන බියෙන් නිදහස් වීමට බැරි ය. ඔවුන් ඇතැම් විට මවා ගන්නේ සිදු විය හැකි නරකම දේ ය. තමන් කරන්නට යන දේ ගැන සැක සංකා ය. ඔවුන් තුළ ඇත්තේ තමන් සතු සියල්ල අහිමි වෙතැයි යන බිය ය. සොර සතුරන් ඩැහැ ගනිතැයි බිය ය. හිතේෂින් හැරදා යනු ඇතැයි, අහිමි වෙතැයි, තමන් තනි වෙතැයි යන බිය ය.

ඇතැම්හු ඊට ප්‍රතිපක්ෂව අනාගතය ගැන සුභ සිහින දකිති. එහෙත් ඒ සිහින සැබෑ කරගත හැක්කේ කෙසේ දැයි සොයා නොබලති. ඒ වෙනුවෙන් අද කිරීමට ඇත්තේ කුමක්දැයි නොසොයති. දිගින් දිගට ම සිහින තුළ ඔවුහු ජීවත් වෙති. කිසියම් ආශ්චර්යයකින් ඒ සිහින සැබෑ වනු ඇතැයි යන විශ්වාසයේ පසුවෙති. අතීත පාඩම් තුළින් ඉගෙන ඒ හරහා වඩා ප්‍රායෝගික වත්මන් ක්‍රියාකාරිත්වය කුමක් දැයි තෝරාබේරා ගෙන එය අනාගතය ඉලක්කයන් කරා යන ගමනට සම්බන්ධ කරගන්නට ඔවුහු නොදනිති.

වත්මන ජීවත් වෙන තැනැත්තා සොයන්නේ අද දවස ගෙවා ගන්නා අයුරු ය. එදා වේල ටුවර්ස් යනුවෙන් සුරතල් නාමයෙන් හඳුන්වන්නේ ඔවුන්ව ය. හෙට මැරණත් හිතට සැපයි අද ජොලි කරලා යනුවෙන් අමුතුම බණක් දේශනා කරන්නේ ඔවුන් ය. මේ බොහෝ දෙනෙකු අනාගතය උගසට තබා ණයට කන බොන මිනිසුන් ය. ණය ගෙවන කාලයට එදා වේල ගත වෙන්නේ ණයට ගත් උන් මග හැරීමට ය. අලුතෙන් ණය ගනු පිනිස තව එකෙකු සොයා ගැනීමට ය.

කළමනාකරුවෙකු මේ කාලත්‍රය ගැන හා මේ නැඹුරුතා ගැන දැන ගත යුත්තේ තමන් නිසි ලෙස පැවතීම සඳහා පමණක් නොවේ. අනුන් සමග ගනුදෙනුවේ දී මනා අස්ථානයක සිට ඒ කටයුතු කිරීමටත් ය.

කළමනාකරුවෙකුට මේ සියලු වර්ගයේ මිනිසුන් සමග ගනුදෙනු කිරීමට ද සිදු වේ. ඔවුන් නිවැරදිව හඳුනාගැනීම මත කළමනාකරුගේ සාර්ථකත්වය තීරණය වෙයි. ඒ නිසා ද මේ කාරණා ගැන සැලකිලිමත් වීමට ඔහුට සිදු වේ. එක් පැත්තකින් තමන් කාලත්‍රයේ ම කටයුතු කරන අතරේ සෙසු මිනිසුන් කටයුතු කරන්නේ කුමක් මුල් තැනේ ලා දැයි සංවේදී වීමට ද අවශ්‍ය අවස්ථාවල ඔවුන් ව ද කාලත්‍රයේ කටයුතු කිරීම සඳහා පෙළඹවීමට ද ඔහු විසින් කටයුතු කළ යුතු ය.